ප්‍රමූඛ පෙලේ ජවිපෙ වෘත්තීය සමිති නායකයකු වන රන්ජන් ජයලාල් කඩුවෙල නගරාධිපති තනතුරෙන් පිදුම් ලබයි

ජනතා විමුක්ති පෙරමුනට අනුබද්ධිත වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රමුඛ පෙලේ නායකයකු වන රන්ජන් ජයලාල්, කඩුවෙල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා බවට ජූනි 2දා පත් විය. ඔහු මෙම තනතුරට පත්වූයේ, පසුගිය මැයි මස පැවැත්වූ පලාත් පාලන මැතිවරනයේදී ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) අපේක්ෂක කන්ඩායමේ නායකයා ලෙස කඩුවෙල මහ නගර සභාවට තරග කිරීමෙනි.

ජවිපෙ හි ධනපති දේශපාලන අවශ්‍යතා වෙනුවෙන්, කම්කරු අරගල වලකාලීමටත්, පැනනැගි අරගල ධනපති ක්‍රමයට අභියෝගී නොවන අයුරින් හුදෙක් ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීමේ සීමාවේ රඳවා ගැනීමටත්, දශක දෙකකටත් අධික කාලයක් පුරා, ජයලාල් ඉටුකල ප්‍රතිගාමී භූමිකාව, ජවිපෙ නායකයෙකු ලෙස ඔහු ඔසවා තැබීමට ද, නගරාධිපති ධූරයකින් පිදුම් ලැබීමට ද හේතු විය.

වෘත්තීය සමිති නායකයෙකුව සිට ධනේශ්වර රාජ්‍ය තන්ත්‍රයට ඝෘජුවම හවුල් වීමේ ඔහුගේ මෙම පරිනාමය මගින් පෙන්නුම් කෙරෙන්නේ ධනේශ්වර ගැති සහ ජාතිකවාදී වැඩපිලිවෙලවල් මත පදනම් වූ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ආන්තික කුනුවීම සහ එහි නිලධරයේ ගමනාන්තය යි.

ජයලාල්, ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) බහුතරයක් කම්කරුවන් නියෝජනය කරන සහ ජවිපෙ විසින් මෙහෙයවන සමස්ත ලංකා විදුලි සේවක සංගමයේ (සලංවිසේසං) නායකයා ද, ලංවිම සමිති සන්ධානයක් වන ලංකා විදුලිබල මන්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ (ලංවිමඑවෘසසං) කැඳවුම්කරු ද විය.

නගරාධිපති තනතුරේ වැඩ භාරගෙන යන්තම් සතියක් ඉක්ම යද්දී, ජූනි 11 දා, ලයිෆ් ට්‍රැවලර් යූටියුබ් නාලිකාවට කතා කල ඔහු, විරෝධතා සහ පන්ති සටන් නතර කල යුතු බවට කම්කරුවන්ට තර්ජනය කලේ, පසුගිය වසරේ පැවති මැතිවරන දෙකේදීම මහජනතාව ජවිපෙ/ජාජබ බලයට පත් කල බැවින් තවදුරටත් විරෝධතා සහ පන්ති සටන් නොකල යුතු බව පවසමිනි. “වරායේ විදුලි බල මන්ඩලයේ මේ කිසිම තැනක අරගල පවතින්න විදියක් නැහැ“ යැයි ඔහු කීවේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු විධානයන් අකුරටම ක්‍රියාවට නංවමින් කම්කරු-පීඩිත මහජනතාව විරැකියාවට හා දරිද්‍රතාවට ඇද දමන සහ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගා දමන ජවිපෙ/ජාජබ ආන්ඩුව, “ජනතා ආන්ඩුවක්” ලෙස ව්‍යාජව නම් කරමින්, තම ආන්ඩුව කම්කරුවන්ගේ ප්‍රශ්න බොහොමයක් විසඳා ඇති බවත්, ඉදිරියේදී අනෙක් ප්‍රශ්න ද විසඳන බවත් පැවසූ ජයලාල්, එවන් 'ජනතා ආන්ඩුවක්' පැවතිය දී කම්කරු අරගල නොපැවතිය යුතු යැයි කීවේය.

කම්කරු අරගලවලට තහංචි දැමීමේ මෙම පිලිවෙත, පසුගිය වසරේ ජනවාරි මස මුලදී පෞද්ගලීකරනයට එරෙහිව ලංවිම කම්කරුවන් දස දහස් ගනනක් දින තුනක අසනීප නිවාඩු දමා විරෝධතා පැවැත්වීමෙන් පසු වඩාත් විශද ලෙස හෙලිදරව් වීමට පටන් ගත්තේය.

එකල පැවැති, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ලංවිම සේවකයින් 62 දෙනෙකුගේ වැඩ තහනම් කර මර්දනය ආරම්භ කල විට ජයලාල් ඇතුලු සමස්ත ලංවිම වෘත්තීය සමිති නිලධරය, වික්‍රමසිංහ-රාජපක්ෂ ආන්ඩුවේ මර්දනීය පිලිවෙත්වලට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්වීම වලකාලමින්, මර්දනයට නියෝග කල ආන්ඩුවටම, වැඩතහනමට ලක් වූ සේවකයින් යලි සේවයේ පිහිටුවන ලෙසට නිෂ්ඵල ආයාචනා කලේය. එපමනක් නොව, එම කම්කරුවන් අධිකරනමය වටවංගුවල සිරි කිරීමට ද කටයුතු කලේය.

කම්කරුවන් අතර පැනනැගි දැඩි විරෝධය හමුවේ, ඔවුන් යලි සේවයේ පිහිටවූව ද, ජයලාල් ඇතුලු සමිති නිලධරයේ ඉහත ද්‍රෝහී භූමිකාවෙන් අත ශක්තිමත් කරගත් ආන්ඩුව, ඔවුන් යලි සේවයේ පිහිටුවූයේ දරුනු කොන්දේසි සහිතවය.

2024 අප්‍රේල් 25 වැනිදා විදුලිබල ප්‍රතිසංස්කරන පනත මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අවස්ථාවේ කම්කරුවන් එයට එරෙහිව අරගලයට පැමිනීමේ සූදානම දුටු ජයලාල්, ධනපති ආන්ඩු, සංගත මාධ්‍ය සහ පාලක ප්‍රභූව විසින් තොරොම්බල් කරන, කම්කරු සටන් හේතුවෙන් මහජනතාව 'පීඩාවට' පත් වෙතැයි යන කුතර්කය, එම අරගලය ලොප් කිරීමට භාවිතා කලේය. “විදුලි බල මන්ඩලයේ වැඩවර්ජනයක් කලොත් මුලු රටම අඳුරට පත්වෙනවා, දෙකෝටියට ආසන්න ජනතාවක් දැවැන්ත පීඩාවකට පත් වෙනවා“ යැයි ජයලාල් පැවසීය.

ජයලාල් ඇතුලු ජවිපෙ වෘත්තීය සමිති නිලධරයේ ද්‍රෝහී භූමිකාව වඩාත් කැපී පෙනුනේ, 2025 ජනාධිපතිවරනය ප්‍රකාශයට පත් කිරීමත් සමගය. දසදහස් සංඛ්‍යාත කම්කරුවන් ජාමූඅ හි රුදුරු කප්පාදු පිලිවෙත්වලට එරෙහිව සටන් කිරීමේ තම සූදානම පෙන්නුම් කල තතු තුල, ජයලාල් ඇතුලු ජවිපෙ සමිති නිලධරය අනාගතයේදී ගොඩනැගෙන ජවිපෙ/ජාජබ ආන්ඩුවෙන් ප්‍රශ්න විසඳා ගත හැකියි යන මිත්‍යාවට කොටු කරමින් එම අරගල වලකාලූහ.

ලංවිම කොටස් 14 කට කැඩීමට සූදානම් වූ බව මතකයට නැංවූ ඉහත ලයිෆ් ට්‍රැවලර් යූටියුබ් නාලිකාවේ මාධ්‍යවේදියා 'දිසානායකගේ ආන්ඩුව යටතේද කැබලි කිරීම දිගටම සිදු කරන්නේද' යනුවෙන් ප්‍රශ්න කලේය. “විදුලි බල මන්ඩලයට ව්‍යූහාත්මක වෙනසක් අවශ්‍යයි. ඊට අදාල රාජ්‍ය සමාගම් පහකට වෙන් කිරීම තමයි මේ කටයුතු කරන්නේ“ යැයි පිලිතුරුදුන් ජයලාල්, දැන් සිදු කරන්නේ “විකිනීමක්“ නොවන බව පැවසීය.

විකිනීමක් වූවද නොවූව ද, ජාමූඅ හි නියෝග පරිදි රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනයේ දී සිදුවනු ඇත්තේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා අහෝසි කිරීමයි. රාජ්‍ය රැකියාවලින් 550,000ක් කපා දැමිය යුතු බවට, ජනාධිපති දිසානායකගේ ආර්ථික උපදේශක සහ ලංකා වානිජ මන්ඩලයෙහි සභාපති දුමින්ද හුලංගමුව ඉදිරිපත් කරන ලද යෝජනාව ආන්ඩුවේ කිසිදු නියෝජිතයෙකු නිෂ්ප්‍රභාකර නොමැත.

ජයලාල් ඇතුලු ජවිපෙ සමිති නිලධරයේ වත්මන් භූමිකාව තක්සේරු කිරීමෙි දී, ජවිපෙ කම්කරු-විරෝධී ඉතිහාසය විමසා බැලීම අත්‍යවශ්‍යය. 1965 දී එය ආරම්භවූයේ, මාඕවාදයේ, කැස්ත්‍රෝවාදයේ සහ සිංහල ස්වෝත්තමවාදයේ මිශ්‍රනයක් මත පාදක වූ සුලු ධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයක් ලෙසිනි. කම්කරු පංතියේ විප්ලවවාදී ශක්තිය ප්‍රතික්ෂේප කල ජවිපෙ, කම්කරු සටන් 'කැඳ කෝප්ප සටන්' ලෙස ගර්හාවට ලක් කලේය. ඔවුන් 1977 න් පසු වෘත්තීය සමිති ගොඩනගමින් කම්කරු පංතිය තුල මැදිහත් වීමට පටන් ගත්තේ, කම්කරු පංතිය තම සුලු ධනපති අවශ්‍යතා වෙනුවෙන් නතුකර ගැනීමේ අරමුනෙනි.

1980 ජූලි මහවැඩවර්ජනය පුපුරා යත්ම ජවිපෙ එයට හොරිකඩකම් කරමින්, තම සමිති සහභාගි නොකිරීමට තීන්දු කලේ ය. 1988-89 වකවානුවේ ජවිපෙ දියත්කල ඉන්දියානු-විරෝධී ෆැසිස්ට් ව්‍යාපාරයේ දි, කම්කරුවන්ට තුවක්කුව මානා ඊනියා වැඩවර්ජන වලට දැක්කූ අතර, එයට එරෙහි වූ කම්කරුවන් අමුඅමුවේ මරා දැමීය. ජයලාල් ඇතුලු ජවිපෙ සමිති නිලධරයට ඇත්තේ එම උරුමය යි.

ලංවිම පෞද්ගලීකරනයට එරෙහි ව 1996 මැයි මස පුපුරා ගොස් දින ගනනාවක් පැවති, දහස් සංඛ්‍යාත විදුලි සේවකයන්ගේ වැඩ වර්ජනය, එකල විදුලි කම්කරුවන් තුල ආධිපත්‍ය දැරූ ලංකා සම සමාජ පක්ෂය (ලසසප) සහ නව සම සමාජ පක්ෂය (නසසප) නායකත්වය යටතේ පැවැති ලංවිම සුරැකීමේ සංවිධානය විසින් පාවා දුන් අතර, වැඩ වර්ජනයට සහභාගී නොවූ ජයලාල්ගේ ජවිපෙ වෘත්තීය සමිති හොරිකඩකම් කලේය.

කෙසේ වෙතත්, ලසසප සහ නසසප පාවාදීම ගසා කමින් ජයලාල්ට තම වෘත්තීය සමිතියේ අධිකාරය ගොඩනගා ගැනීමට හැකිවිය.

ජයලාල් ඇතුලු ජවිපෙ සමිති නිලධරය, ලංවිම පෞද්ගලීකරනයට එරෙහි සටන සෑම විට ම පෙර පැවැති ආන්ඩුවලට පීඩනය දැමීමේ මාවත්වල සිර කරන ලද අතර අවසානයේ දී අනෙකුත් වෘත්තීය සමිති සමඟ එක්ව ජයලාල් අනුගමනය කලේ ජවිපෙ/ජාජබ බලයට ගෙන ඒම මගින් පෞද්ගලීකරනය නවත්වා ගත හැකි ය යන මිත්‍යාව කම්කරුවන් මත පටවමින්, සියලු කම්කරු සටන් නවතා දැමීමේ වැඩපිලිවෙල යි.

ජයලාල් මෙන් ම ඔහුගේ ජවිපෙ වෘත්තීය සමිති නායක සගයන් වන, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ වෙලඳ ඇමති ලෙසද, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ආන්ඩුවේ නියෝජ්‍ය කම්කරු ඇමති ලෙස ද ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ඍජු ඒජන්තයින් බවට පත්වී ඇත.

Loading