මිදිගම පිහිටි මිචෙලින් ටයර් කම්හලේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය සඳහාත් සමාගමේ දඩයමට එරෙහිවත් කම්කරුවන්ගේ අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (කක්‍රිකස) ජුනි 15දා බලගතු ඔන්ලයින් රැස්වීමක් පැවැත්වූයේය.
මිචෙලින් අන්තර්ජාතික සංගතය විසින් ඉන්දියාවේ සියැට් සමාගමට විකිනීම නිසා 1,500 පමන වන සේවකයන් තම රැකියාවලට කුමක්වේ ද යන්න ගැන අවිනිශ්චිතතාව නිසා මිචෙලින් කම්කරුවෝ රැකියා සුරක්ෂිත කරගැනීමට මැයි 23 දා පටන් අරගලයක් දියත් කලහ. ඔවුන්ට පැවති ප්‍රධාන බාධකය වූයේ, අන්තර් සමාගම් සේවක සංගමය (අසසේසං), එහි මිචෙලින් ශාඛා නායකයන් සමග එක්ව, සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව, රහසිගතව මිචෙලින් සහ සියැට් සමාගම් දෙක සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමයි. අසසේසං අයත් වන්නේ පාලක ජනතා විමුක්ති පෙරමුනට ය.
මිචෙලින් සමාගමෙන් රුපියල් ලක්ෂ 30ක වන්දියක් හා ජ්‍යෙෂ්ඨත්වය හා අඛන්ඩතාවය සහිතව රැකියා සුරක්ෂිතභාවය ඉල්ලු කම්කරුවන්, සියැට් හිමිකාරිත්වය යටතේ තම තත්වය පිලිබඳ පැහැදිලි සහතිකයක් ලබා දෙන ලෙස බලකරමින් වර්ජන, පිකට් සහ රැස්වීම් පවත්වමින් උද්ඝෝෂනය දියත් කලහ. මෙම අරගලයේ මුල සිටම, සසප සහ කක්‍රිකසා සාමාජිකයෝ ඔවුන්ට ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමින් මිචෙලින් කම්කරුවන් සමග ඉතා සමීප ව ක්‍රියා කලහ.
සූම් තාක්ෂනය ඔස්සේ පැවැත් වූ රැස්වීමට මිචෙලින් කම්කරුවන් මෙන් ම, අනෙක් ක්ෂේත්‍රවල කම්කරුවන්ද සසප ආධාරකරුවන් ද ඇතුලු සියයට වැඩි පිරිසක් රැස්වීමට සහභාගී වූහ. සසප නිල ෆේස්බුක් ගිනුමේද සමගාමී ව විකාශය වූ රැස්වීමේ වීඩියෝව මේ වනවිටත් 2000කට ආසන්න ප්‍රමානයක් නරඹා ඇත.
අසසේසං නිලධාරීන් තම අයිතීන් නොතකා ක්‍රියාකිරීම නිසා කම්කරුවන් අතරින් පැන නැගුනු විරෝධයත්, අප සංවිධාන මගින් ඉදිරිපත් කෙරුනු ක්‍රියාමාර්ගය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවීමත් නිසා කෝපාවිෂ්ට ව සිටි සමිති නායකයන් රැස්වීම කඩාකප්පල් කිරීමට වියරු උත්සාහයක යෙදුන ද එය අසාර්ථක විය.
රැස්වීමේ මුලසුන හෙබවූ සසප මධ්‍යම කාරක සභික අරුන මලලගම රැස්වීමට සහභාගීවූවන් පිලිගනිමින්, මෙම අරගලය තුලදී මිචෙලින් සහ සියැට් සමාගම්වල උවමනාකම් වෙනුවෙන් වෘත්තීය සමිති නිලධරය සහ ආන්ඩුව ඉටුකරන ක්‍රියාකලාපය වගවිභාග කලේය. දැන් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ඇමතිධුරයක් ද දරන අසසේංහි සභාපති වන වසන්ත සමරසිංහ, එකල අසසේසං පිහිටුවීම සඳහා කම්කරුවන්ට බොරු කියා රැවටූ ආකාරය කම්කරුවන් සසපට පැවසූ බව ඔහු සඳහන් කලේ ය.
'මෙම වෘත්තීය සමිති නිලධරය සමාගම් දෙක-මිචෙලින් හා එහි නව ගැනුම්කරු සියැට් සමග ඇතිකරගත් රහස් ගිවිසුමේ අන්තර්ගතය පිලිබඳ අබමල් රේනුවක වගක් කම්කරුවන්ට දන්වා නෑ. හැබැයි ඔවුන්, කම්කරුවන් සියැට් සමාගමට තල්ලු කරන්න ඉතාම ක්‍රමානුකූල ව වැඩකරනවා. ඒක ආන්ඩුවේ කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තිවලට ගැලපෙන විදියට තිතට යනවා” මලලගම සඳහන් කලේ ය.
මිචෙලින් කම්කරුවන්ගේ අරගලය හුදකලා අරගලයක් නොව, ඇමරිකාව ඇතුලු ජාත්‍යන්තර පරිමාන ව ධනපති ආන්ඩුවල ම්ලේච්ඡ ප්‍රහාරවලට එරෙහි ව පැන නගින අරගල මාලාවක කොටසක් බවත් මලලගම සඳහන් කලේ ය. ඇමෙරිකාවේ දී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංක්‍රමනික කම්කරුවන්ට එරෙහි ව ගෙන යන ෆැසිස්ට් ප්‍රහාරවලටත්, කම්කරු අයිතීන් විනාශ කිරීමටත් එරෙහි ව මිලියන සංඛ්‍යාත ජනයා අතරින් අරගල පැන නගිමින් තිබෙන බව ඔහු සඳහන් කලේ ය.
'මේ සියලු ව්‍යසනයන්ට සහ අවමංගත කිරීම්වලට විරුද්ධව සටන් කල හැකි පංතිය විදියට පවතින්නේ කම්කරු පන්තිය යි. කම්කරුවෝ මේ බර තමන්ගේ අතට ගත යුතු ව පවතිනවා. මේක ධනපති පංතිය අතට නොදිය යුතු ව පවතිනවා,”
'මෙම අරගලය තනි ජාතික රටක් තුල ගෙනයා නොහැකි බව” යලිත් අවධාරන කරමින් මලලගම, කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු මෙන් ම, හතරවැන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අරඹා ඇති, කම්කරුවන්ගේ ක්‍රීයාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැගීමට එක්වන්න යැයි ඉල්ලා සිටිමින් සිය හඳුන්වා දීම අවසන් කලේ ය.
රැස්වීමේ සාකච්චාව සඳහා ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරමින් කතාකල සසප දේශපාලන කමිටු සාමාජික සුනිල් වීරසිංහ, කම්කරුවන් අරඹා ඇති අරගලය හුදෙක් මිචෙලින් සමාගමෙන් හා සියැට් සමාගමෙන් තම අයිතීන් රැකගැනීමේ අරගලයක් පමනක් නොවන බව පෙන්වා දුන්නේය. ඔහු කීවේ, එය මේ සමාගම් දෙක සමග එකට ක්‍රියාකරන වෘත්තීය සමිති නිලධරයට මෙන්ම ඔවුන් පිලිපදින ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ආයෝජක ගැති පිලිවෙත්වලට එරෙහි අරගලයක් වී තිබෙන යි.
“එසේ වී ඇත්තේ, මේ සමාගම් තම ලාභ තරගැනීමේ අවශ්‍යතා මත ගනුදෙනුව කරන අතර අස්සේසං මව් සමිතියේ සහ ශාඛා සමිතියේ නායකයන් එම සමාගම් සමග එකට කටයුතු කරන නිසයි. ප්‍රශ්නය මතු වී මාසයක් ගතවීත් ඔවුන් කම්කරුවන්ගේ අදහස් විමසීමට රැස්වීමක්වත් තබා නැහැ.”
වෘත්තීය සමිති නායකයන් මෙසේ ක්‍රියාකරන්නේ ඇයිදැයි ප්‍රශ්න කල ඔහු දිගු කලක් තිස්සේ වෘත්තීය සමිතිවල පරිහානිය ලෝක පරිමාන ව සිදු වී ඇති ආකාරය පැහැදිලි කලේ ය. “කලකට පෙර මෙම තන්ත්‍ර සමිති හරහා හාම්පුතුන් සමග ඉල්ලීම් සඳහා කේවල් කරමින් කම්කරුවන් පාලනය කලා නම්, ලෝකය පුරා ජාත්‍යන්තර සංගත ක්‍රියාකරන නිෂ්පාදනයේ ගෝලීයකරනය තුල එම කේවල් කිරීමේ වැඩපිලිවෙල බිඳ වැටී තිබෙනවා. සමිති නිලධාරි පෙලන්තිය අද ක්‍රියාත්මක වන්නේ කම්කරුවන් පාලනය කර, සමාගම්වලට හා රාජ්‍යයට ගැට ගසා පාවා දෙන කාර්මික පොලිසීයක් ලෙසයි,” සුනිල් චෝදනා කලේ ය.
ව්‍යාජ වාම පෙරටුගාමී සංවිධානය (පෙසප) විසින් මෙහෙයවන ඊනියා කම්කරු අරගල මධ්‍යස්ථානය, මිදිගම කම්කරුවන්ගේ අරගලය ගැන කතාකරමින් “කම්කරුවන්ට වගකියන වෘත්තීය සමිතියක්” හදාගැනීමේ අවශ්‍යතාව ගැන ප්‍රකාශයක් කර තිබේ. මේ ප්‍රකාශ වංචනික ය. මේ සංවිධානයේ සමිති ඇති තැන්වල ක්‍රියාකරන්නෙත් අනෙක් සමිති ක්‍රියාකරන ආකාරයටම බව සුනිල් පෙන්වා දුන්නේ ය.
හුදෙක් පුද්ගලික අංශයේ පමනක් නොව, රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ද දිගින් දිගටම පාවාදීම් සිදුකර ඇති බව පෙන්වා දුන් සුනිල්, එවන් තත්වයක් තුල මිචෙලින් කම්කරුවන් ස්වාධීනව අරගලයට පිවිසීම, සමිතිවලට එරෙහිව කම්කරුවන් තුල වැඩෙන කැරැල්ලක පිලිබිඹුවක් යැයි පැහදිලි කලේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිලිවෙත් ක්‍රියාවට දමන ආන්ඩුව තම අයිතීන් රැකගැනීමට පැනනැගින අරගල තලා දැමීමට තීන්දු කර තිබෙන බවත් එයට එරෙහි විය හැකිවන්නේ, කම්කරුවන් ජාත්‍යන්තර ව සංවිධානය වීමෙන් බව ඔහු පෙන්වා දුන්නේ ය.
වෘත්තීය සමිති නායකයන්, තම සාමාජිකයන්ට ම එරෙහි ව සමිති යොදා ගන්නා තත්වය තුල අරගලය කම්කරුවන් තම අතට ගැනීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලක ම ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව කථිකයා අවධාරනය කලේ ය.
කම්කරු පන්තියේ අයිතීන්ට එරෙහි ප්‍රහාරය ධනවාදයට එරෙහි ව සමාජවාදය සඳහා සටන සමග ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව අවධාරනය කල සුනිල්, එහි කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනය අහෝසි කිරීමට මහා කම්හල්, වතු හා බැංකු කමකරු පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කල යුතු බව පැහැදිලි කලේ ය.
ප්‍රධාන කතාවෙන් අනතුරුව, මිචෙලින් අරගලය ද සසප සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමුහිකයේ වැඩපිලිවෙල ද පිලිබඳවද ප්‍රශ්න ඇතිනම් ඉදිරිපත් කරන ලෙස මූලාසනය නිවේදනය කල අවස්ථාවේ කම්කරුවන් බොහෝ පිරිසක් තම රැකියාවන්හි සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු විසඳාගන්නා ගන්නා ආකාරය ගැන ප්‍රශ්න ඉදිරිපත් කලෝ ය.
කෙසේවෙතත්, ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී පැහැදිලිව දැකිය හැකිවූ කරුනක් වූයේ, ව්‍යාජ නම්වලින් රැස්වීමට සම්බන්ධ වී සිටි අසසේසං මෙහෙයවන ජවිපෙට සම්බන්ධ පුද්ගලයන්, සසප වැඩපිලිවෙලට එරෙහිව මිචෙලින් කම්කරුවන් ඇවිස්සීමට දරන ලද ප්‍රයත්නයයි. 'රැස්වීමේ අරමුන කම්කරුවන්ගේ ප්‍රශ්න කතා කිරීමද, නැතහොත් දේශපාලන පක්ෂ හැදීම ද; පක්ෂයට ජාත්‍යන්තර සංවිධානවලින් මුදල් ලැබෙනවාද; කම්කරුවෝ කියනකොට මල පනිනවා; ආන්ඩු බලය ගන්න දැන් ඉදන්ම ගේමක් ගහනව කියල නම් පේනවා” ආදිය එවැනි “ප්‍රශ්න” විය.
රැස්වීමට ඉදිරිපත්වූ ප්‍රශ්නවලට පිලිතුරුදීම සඳහා ලෝසවෙඅ ලංකාවේ ජාතික කර්තෘ වන කේ. රත්නායකට මූලාසනයෙන් අරාධනා කලේය. සියලුම ප්‍රශ්න අලලා ගනිමින් රත්නායකගේ පිලිතුරු දීම සිදුවිය.
රැස්වීමේ අරමුන කුමක් ද යන්න ලෝසවෙඅ අඩවියේ ලිපි මගින් දැනටමත් පෙන්වා දී ඇති බව කී ඔහු කම්කරුවන් තමන්ගේ අයිතීන් සදහා ස්වාධීනව අරගලය සඳහා සුදානම් කරීම සසප අරමුන බව සඳහන් කලේය.
ජවිපෙ/ජාජබ ආන්ඩුව ජාමූඅ අරමුදලේ ප්‍රහාර ප්‍රකාරව කම්කරුවන් මිරිකා විදේශ නය ගෙවීමට විදේශ සංචිත ගොඩනගමින් තිබෙන තත්වයක් යටතේ මෙම ප්‍රහාර දියත් කර ඇති බවත්, මිචෙලින් කම්කරුවන් සේම අවශේෂ කම්කරුවන් ද වැටුප් හා සේවා කප්පාදුවලට මුහුන දී තිබෙන බවත් ඔහු තවදුරටත් පැහැදිලි කලේ ය.
මිචෙලින් කම්කරුවන් තමන්ට සාහාය දෙන ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තියට ආයාචනා කර ඇත. එය අතිශයින් වැදගත් මුලිකත්වය ගැනීමකි. මිචෙලින් හා සියැට් වේවා, ලංකාවේ හෝ වෙනත් රටක සමාගමක් වේවා, ඒ සෑම තැනක දී ම ධනපතියන් කම්කරුවන් සලකන්නේ වැටුප් වහලුන් ලෙසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය මැයි 26 දා රැස්වීමක් කැඳවා වෘත්තීය සමිතිවල කාර්යභාරය පැහැදිලි කල බව, අස්සේසං ප්‍රධාන ලේකම් ජනක අධිකාරී සිය ෆෙස්බුක් ගිනුමෙන් වාර්තා කර ඇත. එහිදී පැහැදිලි කර ඇත්තේ වෘත්තීය සමිති දැන් පරිපාලනයත් සමග එකතු වෙලා රට ගොඩනැගීමේ වැඩවල යෙදිය යුතු බවයි. වෘත්තීය සමිතිවල ප්‍රධානියෙක් වන ඇමති ලාල්කාන්ත, “රට ගොඩ නැගීමට” වෘත්තීය සමිති ක්‍රියාකල යුතු බව නිතර සඳහන් කරයි.
“කාගේ රට ද?” රත්නායක ප්‍රශ්න කරමින්, “ ජනාධිපති උපදේශක, ලංකා වානිජ මන්ඩලයේ සභාපති හුලංගමුවලාගේ, ධනපති සමාගම්වල රට” යැයි පිලිතුරු දුන්නේ ය. “හුලංගමුව ඇතුලු ධනපතියන් එලෙස රට පාලනය කරන අතරේ, අයිඑම්එෆ් සංවිධානය ඊට ඉහලින් රටේ ආර්ථිකය පාලනය කරනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලයක් ඇති දිසානායක ආන්ඩුව, අයිඑම්එෆ් වෙනුවෙන් මහජනයා මිරිකා ගනිමින් විදෙස් සංචිත ගොඩනගනවා” රත්නායක අවධාරනය කලේ ය. මෙම සත්‍යය ජවිපෙ වෘත්තීය සමිතිවලට සම්බන්ධ කොටස්වලට නොපෙනුනත්, ප්‍රබුද්ධ කම්කරුවන්ට හොඳින් පෙනෙන බව රත්නායක අවධාරනය කලේ ය.
ලංකාවේ අර්බුදය හුදෙක් ජාතික අර්බුදයක් නොව ලෝක ආර්ථික අර්බුදය තුලින් සෘජු ව ම ගලා එන බව අවධාරනය කල රත්නායක, එහි විපාක මිදිගම මිචෙලින් කම්කරුවන්ට පමනක් නොව, සමස්ත ජාත්‍යන්තර කම්කරු පන්තියට ම බලපාන ආකාරය පැහැදිලි කලේ ය. 2020දී ආරම්භ වූ කෝවිඩ් වසංගතය, යුක්‍රේනයේ එක්සත් ජනපය හා නැටෝ බලයන් රුසියාවට එරෙහි ව දියත් කල යුද්ධය සැපයුම් ජාල අඩාල කරමින් සෘජු ව ම ලංකාව ඇතුලු රටවලට බලපෑවේ ය.
2022 දී ලංකාවේ මහජනය අරගලයට තුඩු දුන් ලෝක ආර්ථික හා දේශපාලනික තත්වය එලෙස පැහැදිලි කල රත්නායක, පැරැනි ධනපති පක්ෂවල කුජීතවීම ගසාකමින් ජවිපෙ බලයට ඒමට පාර කපාගත් ආකාරය විස්තර කලේ ය. පසුගිය වසරේ ජනාධිපති අපේක්ෂකයා දිසානායක ලෙස ධනපති සමාගමේ අයිතිකරුවන් අබිමුව කතා කරමින් “අපේ වැඩපිලිවෙල හා ඔබේ වැඩපිලිවෙල එකට සම්මුඛ වන තත්වයක් පලමු වරට ඇතිවී තිබෙන” බව කියමින් ධනපතියන්ට ඔවුන්ගේ පාලනයක් පිලිබඳ විස්වාසය ඇති කලේය. දැන් ඉටු කරමින් ඇත්තේ එම පොරොන්දු ය.
“රැස්වීම අරමුන දේශපාලන පක්ෂ ගොඩනැගීම ද?” යන ප්‍රශ්නයට පිලිතුරක් දෙමින් රත්නායක සඳහන් කලේ, “ කම්කරුවන්ගේ අරගලය සහ විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම දෙකක් නොව එකක්” බවයි. “මිචලින්-සියැට් සමාගම් දෙකයි වෘත්තීය සමිති නායකයොයි එකතු වෙලා කම්කරුවන්ට වැඩ කරන්න බැරි තත්වයක් හදලා තියෙන්නේ. මිචෙලින් කම්කරුවො තුන් දෙනෙක් දොට්ට දාලා තියෙනවා. කටුනායක නෙක්ස්ට් ගාමන්ට් ෆැක්ටරිය හිතුමතේ වහලා දැම්ම. මේ දැන් වතුකරයේ ඕල්ටන් වත්තේ, කම්කරුවන් 26 දෙනෙක් බොරු චෝදනා පටවලා හිරේ කුනුවෙන්න දාන්න හදන්නේ. මේවාට විරුද්ධව සටන් කරන්න කම්කරුවන් එක්සත් වීම අවශ්‍යයි. කම්කරුවන්ට අවශ්‍ය ධනපති පක්ෂ නෙවෙයි, කම්කරුවන්ගේ විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයක්,” රත්නායක අවධාරනය කලේ ය.
“ක්‍රියාකාරී කමිටුවලට බලයක් තිබේ ද” යන ප්‍රශ්නයට පිලිතුරු දෙමින්, රත්නායක කීවේ, ධනපති සමාගම්වල පන්දම් අල්ලන සමිති නිලධරයට එරහි ව, කම්කරුවන් ප්‍රජාතන්ත්‍රවාදී ව තීන්දු ගන්නා ක්‍රියාකාරී කමිටුවලට ඉමහත් බලයක් පවතින බවයි. “තමන්ට අවශ්‍ය මොනවාද අරගලය කරන්නේ කෙසේද, අනෙකුත් කම්කරුවන් සමග එකමුතු වන්නේ කෙසේද? යන්න කම්කරුවන් තීන්දු කරයි. විප්ලවවාදී පක්ෂයේ නියෝජිතයන්, ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට උත්සහ දරයි, අපේ වැඩපිලිවෙල ඉදිරිපත් කරන්න.”
රුසියානු විප්ලවයේ අත්දැකීම ගෙන එමින් ඔහු මෙසේ සඳහන් කලේ ය: “කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස බලමුලු ගැන්වීමේ සක්‍යතාව 1917 රුසියාවේ සමාජවාදී විප්ලවය විසින් තහවුරු කලා. රුසියානු කම්කරුවන් නිල වෘත්තීය සමිතිවලට පිටතින් සෝවියට් සභා ගොඩ නැගුවා. කම්කරුවන් අනුව යමින්, විශාල ගොවිජනතාවක් සිටි රටේ ගොවි පසුබිමක් සහිත සොල්දාදුවන්ගේ සෝවියට් සභා ගොඩ නැගුනා. මේ සෝවියට් සභා මගින් තමයි රුසියානු විප්ලවය ජයගනු ලැබුවේ,” රත්නායක පැහැදිලි කලේ ය.
විප්ලවවාදී පක්ෂයේ කාර්යභාරය වන්නේ, කම්කරු පන්තියට ලංකාව තුල හා ජාත්‍යන්තරව ඔවුන් මුහුන දී තිබෙන සැබෑ කොන්දේසි පිලිබඳ සත්‍ය පිලිබඳව දැනුවත් කරමින්, ධනපති පක්ෂ වලින් හා ව්‍යාජ වම්මුන්ගෙන් ඔවුන් ස්වාධීන කර බලමුලු ගැන්වීමට අරගලය කිරීමයි.
'ලෝක ධනවාදය විසින් මනුෂ්‍ය වර්ගයා ඇද දමා ඇති වසංගත, සමාජ අසාමානතාව, හා පරිසර විනාශයෙන්, ඔවුන් ම්ලේච්ඡත්වයට ඇද දමන යුද්ධයෙන් මානව වර්ගයා බේරාගත හැකි එකම විප්ලවවාදී බලවේගය වන්නේ, කම්කරු පන්තියයි. මිදිගම මිචෙලින් කම්කරුවන් මේ සමස්ත කම්කරු පන්තියේ, මේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සාමාජිකයන්. මෙම ජාත්‍යන්තර එකමුතුව දැනුවත් ව ගොඩනගා ගැනීම අත්‍යවශ්‍යයි.
“කම්කරුවන්ට අවශ්‍ය වන්නේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක්. ඔවුන්ට අවශ්‍ය කොම්පැනිකාරයින්ගේ හා ජාමුඅ ආන්ඩුවක් නෙවෙයි. ඔවුන්ට අවශ්‍ය මහ සමාගම් කම්කරු පාලනය යටතේ ජනසතුකරන කම්කරුවන්ගේ ආන්ඩුවක්,” රත්නායක ලංකාවේ කම්කරු පන්තිය ගතයුතු මග පැහැදිලි කරමින් පිලිතුරු දීම සමාප්ත කලේ, එම අරගලයට එක්වන ලෙස සභාවට ආරාධනය කරමිනි.