[මෙය 2025 ජූනි 18 වැනි දින Demanding “unconditional surrender,” Trump plots assault on Iran යන මැයෙන් පල කෙරුනු ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]
ඇමරිකානු අධිරාජ්‍යවාදය ඉරානය සමඟ යුද්ධයට කඩා වදිමින්, මැද පෙරදිග තම ඒජන්තයා වන ඊශ්‍රායලය සමඟ දිගු කලක් කුමන්ත්‍රනය කොට දියත් කර තිබෙන කොල්ලකාරී ප්‍රහාරය සිය සෘජු අනසක යටතේ මෙහෙයවීම අතට ගෙන ඇත. එක්සත් ජනපද සහයෝගය සහ උසිගැන්වීම ඇති ව, ඊශ්‍රායලය ජුනි 12 වන දින රාත්‍රියේ ඉරානයට පහරදීම ආරම්භ කලේ ය.
ඔහුගේ ට්‍රුත් සමාජ මාධ්‍ය වේදිකාවේ මාෆියා වර්ගයේ යුදෝන්මත්තක පොස්ටු පලකරමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ යුද්ධයට සෘජු ව ම ඇතුලු වන ලෙස එක්සත් ජනපද හමුදාවට නියෝග දී ඇති බවයි.
ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා එකක් ලෙස සලකමින් ට්‍රම්ප් ප්‍රකාශ කලේ, “දැන් ඉරානයට ඉහල අහසේ සම්පූර්න පාලනය අප සතුයි' යනුවෙනි. මෙයින් පසු ව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා ඛමේනි ඝාතනය කිරීමට සෘජු තර්ජනයක් එල්ල විය. ඔහු “සැඟවී සිටින්නේ කොහේදැයි අපි හරියටම දනිමු” යැයි ට්‍රම්ප් තර්ජනය කලේ ය. “අපි ඔහුව එලියට ගන්නේ නැහැ [මරන්නේ නැහැ!], ඒත්, ඒ දැනට නොවේ. නමුත් ... අපේ ඉවසීම ඉවරවෙමින් තිබෙනවා.”
මිනිත්තු තිහකට පමන පසු, ට්‍රම්ප් ටෙහෙරානය “කොන්දේසි විරහිත ව යටත්වන ලෙසට” නියමය පැන වුයේ ය.
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නිහීන අපරාධකාරී ක්‍රියාවකි. ඇමරිකානු අධිරාජ්‍යවාදය යුද්ධයට ඍජු ව ම ඇතුලු වීම ඓතිහාසික වශයෙන් පීඩිත රටක් වන ඉරානයේ ජනතාවට මෙන්ම පුලුල් මැද පෙරදිගට සහ ලෝකයට විනාශකාරී දුර්විපාක ගෙන එයි.
ඉන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නායකත්වයෙන් දිග ඇරෙන ගෝලීය යුද්ධය දැවැන්ත තීව්‍රකිරීමක් ප්‍රකාශයට පත්වේ. ඉරානය යටත් කර ගැනීමට සහ ලෝකයේ ප්‍රධාන තෙල් අපනයන කලාපය සහ ප්‍රධාන සාගර වෙලඳ මාර්ග මත සිය අබාධිත ආධිපත්‍යයට යටත් කර ගැනීම, චීනය සමඟ යුද්ධයට සූදානම් වීම සඳහා තීරනාත්මක බව වොෂින්ටනය දිගු කලක් තිස්සේ දැක ගෙන තිබේ.
1979 මහජන නැගිටීමෙන් ෂා රජුගේ රාජාන්ඩු ආඥාදායකත්වය පෙරලා දැමීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කිසි විටෙකත් පිලිගත්තේ නැත. “කොන්දේසි විරහිත ව යටත්වනු”යි කියමින් නියම මැරයෙකු ලෙසින් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයේ අරමුන වෝල් වීදිය සහ වොෂින්ටනය ඉරාන ජනතාව මත යලිත් නව යටත් විජිතවාදී ආධිපත්‍යය පැටවීමට තීන්දු කර ඇති බවයි.
මෑත දිනවල, එක්සත් ජනපද මිලිටරිය මැද පෙරදිග කලාපයේ යුධ ගුවන් යානා, නාවික යාත්‍රා සහ අනෙකුත් යුද උපකරන දැවැන්ත ව ගොඩ ගසමින් සිටී. න්‍යෂ්ටික අවි සැපයීම සඳහා නිමවා ඇති බී-52 යානා දැන් පෙරමුනට යෙදීමත් සමගම, මිලියන 9ක් වන ටෙහෙරානයේ පදිංචිකරුවන්ට නගරයෙන් පලා යන ලෙසට ට්‍රම්ප් කල නියෝගයේ තේරුම ඉරාන ජනතාව න්‍යෂ්ටික බෝම්බවලට ඉලක්ක කර ගත හැකි බවට තර්ජනාත්මක ඉඟි කිරීමක් බවයි.
එක්සත් ජනපද සංගත මාධ්‍ය, එක්සත් ජනපදය මෙහෙයවන අපරාධකාරී යුද්ධ එකින් එක සාධාරනීකරනය කිරීමට ටෙහෙරානයෙන් “ආසන්න තර්ජනයක්” එල්ලවිමට හැකියි යන බොරුව එක දිගට ම ප්‍රකාශ කරමින් සිටී.
වොෂින්ටනයේ සහ අනෙකුත් ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය සහතික කර ඇති තතු තුල ඊශ්‍රායලය, න්‍යෂ්ටික බලාගාර, මිසයිල ආරක්ෂක සහ අනදෙන පද්ධති වලට අමතර ව බලශක්ති යටිතල පහසුකම්, ජාතික විද්‍යුත් විකාශන පද්ධති, රෝහල් සහ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් යුද්ධය දැනටමත් පුලුල් කර ඇත.
ඒ සමඟම, සියොන්වාදී තන්ත්‍රය ගාසා තීරයෙන් පලස්තීනුවන් වාර්ගික සුද්ධකරනයේ ඝාතනයට ලක්කිරීමේ තම ප්‍රහාර තීව්‍ර කරමින් සිටී.
ඉරානයට එල්ල කල ඊශ්‍රායල ප්‍රහාරය 'විශිෂ්ට' බව ප්‍රකාශ කල ට්‍රම්ප්, ඔහු ඒවා සැලසුම් කිරීමේ කටයුතුවල නියැලී සිටි බවට සිකුරාදා පල කෙරුනු ට්‍රම්ප්ගේ ප්‍රකාශවලින් පෙන්නුම් කෙරී ඇත්තේ, ආරම්භයේ සිට ම මෙම යුද්ධය එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුමක් බවයි.
න්‍යෂ්ටික ගැටුමට සාමකාමී විසඳුමක් ඇතිකර ගැනීම සඳහා එක්සත් ජනපද සහ ඉරාන නිලධාරීන් අතර පසුගිය ඉරිදා ඕමානයේ දී හයවන වටයේ සාකච්ඡා පැවැත් වෙන බවට ධවල මන්දිරය කල ප්‍රකාශය, ඉරානයේ දේශපාලන හා මිලිටරි නායකයින් මර උගුලකට තල්ලු කිරීමට සැලසුම් කරන ලද උපක්‍රමයක් විය.
ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ සාපරාධී ප්‍රහාරයට ට්‍රම්ප් නායකත්වය දෙන අතර, අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නායකයෝ ඊට සහාය දක්වති. ජී7 සමුලුවට සමගාමී ව අඟහරුවාදා කතා කල ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්‍රික් මර්ස්, ඊශ්‍රායලය ඉරානයට එල්ල කල ප්‍රහාරයට කෘතඥතාව පල කරමින් කියා සිටියේ ඊශ්‍රායලය 'අපි වෙනුවෙන් ගොහොදු වැඩවල යෙදී සිටින' බවයි.
සඳුදා සවස නිකුත් කරන ලද “ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීන වර්ධනයන් පිලිබඳ ජී7 නායකයින්ගේ ප්‍රකාශය,” ඉරානය ආක්‍රමනිකයා ලෙස නම් කරමින් යුද්ධය උත්සන්න කිරීමට කොල සඥාව නිකුත්කර ඇත. “ඊශ්‍රායලයට තමන් ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇත” යනුවෙන් කියා සිටී; “ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා” අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය හා පොරොන්දු දෙන අතර, ඉරානය හෙලා දැක ඇත්තේ, “කලාපයේ අස්ථාවරත්වය සහ භීෂනය ඇතිකරන ප්‍රධාන සාධකය” ලෙසයි.
මොනතරම් බොරුවක් ද! අධිරාජ්‍යවාදී සහාය ඇති ව නීති විරෝධී ලෙස න්‍යෂ්ටික අවි අත්පත් කර ගත්තේ ඉරානය නොව ඊශ්‍රායලයයි; සිය න්‍යෂ්ටික ක්‍රියාමාර්ග පිලිබඳ ව ජාත්‍යන්තර පරමානු බලශක්ති ඒජන්සියේ (IAEA) අධීක්ෂනය මෙන් ම න්‍යෂ්ටික බලශක්ති බහුලනය [proliferation] නොකිරීම පිලිබඳ ගිවිසුමේ වගන්තිවලට අනුව ක්‍රියාකිරීම ද ප්‍රතික්ෂේප කරන්නේ ඊශ්‍රායලයි.
2018 දී එක්සත් ජාතීන්ගේ අනුබලය ලත් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අවලංගු කර දැමුවේ වොෂින්ටනයයි. ට්‍රම්ප් ඒකපාර්ශ්වික ව ඉරානයේ ආර්ථිකය බිඳ දැමීමේ සහ පාලන තන්ත්‍ර මාරුවක් ඇති කිරීමේ අරමුනෙන් ටෙහෙරානයට ගෝලීය වශයෙන් බලපාන පුලුල් සම්බාධක පැනවී ය. ඉරානය න්‍යෂ්ටික අවි තනන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව බටහිර බුද්ධි අංශ නැවත නැවතත් පිලිගෙන ඇත; එසේ කලත්, ටෙහෙරානයට එවැනි ආයුධයක් නිර්මානය කිරීමට පවා වසර ගනනාවක් ගත වනු ඇත.
අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සාපරාධිත්වය සහ ප්‍රචන්ඩත්වය පැන නැගී ඇත්තේ ඔවුන් ගිලී සිටින මංමුලාසහගත අර්බුදය තුලිනි.
ඉරානයට එල්ල වූ ප්‍රහාරයේ ආරම්භක ප්‍රතිඵලය කුමක් වුවත්, එය අවසානයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සහ එහි සියොන්වාදී සහචරයින්ට ව්‍යසනයක් වනු ඇත.
වොෂින්ටනය ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය ආක්‍රමනය කිරීම්, ව්‍යසනයන්ගෙන් අවසන් විය. දශක දෙකකට පසු, ගැඹුරු වන නය අර්බුදයකට මුහුන දී සිටින ඇමරිකානු ධනවාදය, වැඩෙන සමාජ ගැටුමකින් වටලනු ලැබ, ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩනැගීමෙන් මහජන කම්කරු පන්ති විරෝධය පූර්ව භංග කොට මැඩපැවැත්වීමට උත්සාහ කරන කතිපයාධිකාරී අපරාධකාරීයෙකු විසින් මෙහෙයවනු ලබමින් පවතී.
ඉරානය මිලියන 90කට අධික ජනගහනයක් සහ විශාල හා සටන්කාමී කම්කරු පන්තියක් සහිත සංකීර්න රටකි. අධිරාජ්‍යවාදී ප්‍රහාරය ඉරානයේ, මැද පෙරදිග පුරා සහ ගෝලීය වශයෙන් ජනතාව රැඩිකලීකරනය කරනු ඇත.
අධිරාජ්‍යවාදයට සහ මතුවෙමින් පවතින තුන්වන ලෝක යුද්ධයට එරෙහි අරගලය සඳහා සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් බලගැන්වෙන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය වේ.
මැදපෙරදිග යුද්ධය පුලුල්වීම නිසැක ව ම තවත් විශ්මිතයන් සහ කම්පනයන් ජනිත කරනු ඇත. නමුත් ඉරානයේ ධනේශ්වර ජාතිකවාදී තන්ත්‍රය ආරම්භක ප්‍රහාරයෙන් වික්ෂිප්ත වී ඇති බවට කිසිදු සැකයක් නැත.
එසේ සිදු ව ඇත්තේ, ප්‍රමුඛ ව ම එක්සත් ජනපදය විසින් සපයන ලද ඊශ්‍රායල හමුදාවට වැඩි යුද බලයක් සහ තාක්ෂනික ඥානයක් තිබීම නිසා නොවේ. ඊට විපරීත ලෙස, මෙම තත්වයේ මූලය ඇත්තේ, ඉරාන පාලන තන්ත්‍රයේ පන්ති ස්වභාවය තුලයි. ඉරාන ධනේශ්වරය කම්කරු පන්තිය කෙරෙහි මාරාන්තික බියකින් ජීවත් වේ - ඊට හේතුව, විශේෂයෙන් 1979 විප්ලවයෙන් ඉක්බිති ව ඉරානයේ කම්කරුවන්ට සහ වැඩ කරන ජනතාවට ලබා දුන් සියලු සමාජ සහන ක්‍රමානුකූල ව ආපසු උදුරා ගැනීමයි.
ඊශ්‍රායල කම්කරු පන්තිය ඇතුලු මැදපෙරදිග සියලු පීඩිත ජනතාවට - වාර්ගිකත්ව හා ආගම් වෙනස්කම් කපා ගෙන- අධිරාජ්‍යවාදයට එරෙහි ඒකාබද්ධ අරගලයක් සඳහා පන්ති ආයාචනයක් කිරීමට ඓන්ද්‍රීය ව අසමත් ඉරාන පාලන තන්ත්‍රය, අඛන්ඩ ව එල්ල වන එක්සත් ජනපද පීඩනය හමුවේ උපාමාරු දැමීමට උත්සාහ කර ඇත; එ මෙන් ම, වොෂින්ටනය සමඟ යලි යලිත් සංහිඳියාවක් සොයමින් සිටී. ඒකපාර්ශ්වික නිරායුධකරයකින් තොර ව ට්‍රම්ප් සමඟ--මුල් න්‍යෂ්ටික ගිවිසුම බිඳ දැමූ සහ ඉරානය සමූලඝාතනය කරන බවට අවස්ථා කිහිපයක දී තර්ජනය කල එම ට්‍රම්ප් සමගම-- ගිවිසුමකට එලඹිය හැකි බවට ඇති මායාවෙන් තපින ඉරාන තන්ත්‍රය වොෂින්ටනය සහ ටෙල් අවිව් විසින් අටවන ලද උගුල ඇතුලට ගමන් කලේ ය.
ඩිමොක්‍රටික් පක්ෂය ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ නීති විරෝධී ප්‍රහාරයට සහ එ තුල ට්‍රම්ප්ගේ භූමිකාවට සහාය පල කර තිබේ.
එන්බීසී හි ඉරිදා සම්මුඛ සාකච්ඡාවක දී, ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභික ඇඩම් ෂිෆ් ඉරානයට එරෙහි ප්‍රහාරය අනුමත කරමින් මෙසේ ප්‍රකාශ කලේ ය: “එබැවින් මම එම ක්‍රියාමාර්ගවලට සහාය දෙමි. ඊශ්‍රායලයට ආරක්ෂා වීමට උදව් කරන පරිපාලනයේ ක්‍රියාමාර්ගවලට මම සහාය දෙමි.” ඉරානය, එක්සත් ජනපද කඳවුරුවලට පහර දීමට තැත්කලහොත්, එමගින්, “ෆෝඩෝ [යුරේනියම් වර්ධනය [enrichment] කිරීමේ පිරිපහදු මධ්‍යස්ථානයට හෝ වෙනත් තැනකට ප්‍රහාර එල්ල කිරීම සඳහා [එක්සත් ජනපදයට] ඉරානය විසින්ම කොන්දේසි විවෘත කරදෙයි,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
ඉරානයට එල්ල කරන ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ව ම ව්‍යාජ වම්මු නිහඬ ය. ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාරයට එරෙහි ව සති අන්තයේ පැවති රැලි අමතමින්, කොන්ග්‍රස් සභික රෂීඩා ට්ලයිබ් ඉරානයට බෝම්බ හෙලීම ගැන සඳහන් කලේවත් නැත. ග්‍රීසිය තුල යුරෝපා සංගම් කප්පාදු පැනවීමට උදව් කල හිටපු ග්‍රීක මුදල් ඇමති යානිස් වරූෆාකිස්, සඳුදා X හි සටහනක මෙසේ ලිවීය, 'ඉරානය සමඟ යුද්ධය ගැන තකන්න එපා. ඉරානුවන්ට තමන් ආරක්ෂා කර ගන්න පුලුවන්.'
අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි ව තිබෙන එක ම ප්‍රගතිශීලී පිලිතුර වන්නේ කම්කරු පන්තියේ විප්ලවවාදී බලමුලු ගැන්වීම පමනි. අධිරාජ්‍යවාදය ලෝක යුද්ධයකට තල්ලු කරන පද්ධතිගත ධනපති අර්බුදය ම කම්කරු පන්තිය දැවැන්ත සමාජ අරගලවලට එලඹවයි. සති අන්තයේ දී, මිලියන සංඛ්‍යාත ජනතාවක් ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ සමාජ ක්‍රියාමාර්ග වලට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව විරෝධතාවලට සහභාගී වූහ.
කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සටන අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය සමඟ ඒකාබද්ධ කල යුතු ය. කෙසේ වෙතත්, එවැනි ව්‍යාපාරයක වර්ධනය රඳා පවතින්නේ සමාජවාදී ක්‍රියාමාර්ගයකින් සහ විප්ලවවාදී නායකත්වයකින් එය සන්නද්ධ කිරීම මත ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ඊට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ මෙම අරගලයට නායකත්වය දීමට කැප වී සිටිති.