[මෙය, Boeing 787 Dreamliner crashes and explodes in India, killing at least 274 මැයෙන් 2025 ජුනි 13දා පල කල ලිපියේ පරිවර්තනයයි.]
ජූනි 12දා ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ අගනුවර වන අහමදාබාද් නුවර සිට ලන්ඩනය බලා ගමන් ගත්, එයාර් ඉන්දියා සමාගමට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයක් කඩා වැටීමෙන් මගීන් 241ක් හා කාර්ය මන්ඩලය මරනයට පත්විය. ගුවන්ගත වීමෙන් ක්ෂනික ඉක්බිත්තේ අතිශයින් ජනාකීර්න මෙම ප්‍රදේශයට යානය කඩාවැටීම නිසා ගොඩබිම සිටි තවත් පුද්ගලයින් 24ක් පමන මරුමුවට පත් වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කලේය. සිසුන් දිවා ආහාරය ගැනීමට රැස්වී සිටි වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයක් ඍජුවම හානියට පත්විය.
යානයේ අනතුරෙන් දිවි ගලවා ගත්, එහි හදිසි දොරටුව අසල වාඩි වී සිටි රමේෂ් විශ්වකුමාර්, යානයෙන් පැනගැනීමට සමත් විය. ඔහු දැන් අහමදාබාද්හි සිවිල් රෝහලේ මානසික රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඉන්දියානු ජාතිකයින් 168ක්, බ්‍රිතාන්‍ය පුරවැසියන් 53ක්, පෘතුගීසි ජාතිකයින් හතක්, එක් කැනේඩියානු ජාතිකයෙක් මෙන් ම, යානයේ නියමුවා, උප-නියමුවා සහ කාර්ය මන්ඩලයේ සාමාජිකයෝ 10ක් එලෙස මරනයට පත්වූහ.
ඉන්ධන ලීටර් 100,000ක් (ගැලුම් 25,000ක් පමන) රැගෙන මෙම දිගු-දුර ගුවන් යානය ගමන් ඇරැඹූ අතර, යානයේ සුන්බුන් ගිනිගෙන අහසට ඝන කලු දුම් පැතිර ගියේ ය. යානය කඩා වැටී ගිනිගත් ගොඩනැගිල්ල වටා එහි බඳේ කොටසක් විසිරී ගොස් තිබුනි. යානයේ පිටුපස කොටස ගොඩනැගිල්ලේ මුදුනේ ඇමිනුනි. අනතුරට ගොදුරු වූවන් ගිලන් ඇඳන් මත හොවා, ඇම්බියුලන්ස් මගින් ඉක්මනින් රෝහල් කරා රැගෙන යන ආකාරය වීඩීයෝ දර්ශන මගින් පෙන්නුම් කලේ ය.ජංගම දුරකථනවලින් ගෙන තිබූ කෙටි වීඩියෝ , සමහර හඳුනාගත නො හැකි තරමට පිලිස්සී ගිය ඒවා ඇතුලු මල සිරුරු, දරුනු පුපුරා යාමකට පසු යුද බිමක දසුන් සිහි ගැන්වීය .
“අපි ගෙදර ඉඳිද්දී එක්වර ම මහා හඬක් ඇසුනා, ඒක ලොකු පිපිරීමක් වගේ. ඊට පස්සේ මුලු පලාතම වසාගත් ඝන දුමාරයක් අපි දැක්කා” යැයි යි වසර 50කට වඩා ප්‍රදේශයේ ජීවත් වන 63-හැවිරිදි නිටින් ජෝශි රොයිටර් පුවත් සේවයට කීවේ ය.
සිය ආදරනීයයන් හඳුනාගැනීමට ඩීඑන්ඒ සාම්පල භාරදීමෙන් පසු ව, අහමදාබාද් සිවිල් රෝහලින් පිටත රැස් වී සිටින, අනතුරකට ලක්වූවන්ගේ පවුල්වල අය ද වාර්තා මගින් පෙන්නුම් කෙරුනි.
මෙම ඛේදවාචකය හේතුවෙන් මහජනයා අවංක ව කැලඹීමට පත් ව සිටින අතර, අගමැති නරේන්ද්‍ර මෝදි හා අනෙකුත් රාජ්‍ය ප්‍රධානීන් ඇතුලු දේශපාලන නායකයෝ, උත්සුකතාව හා අනුකම්පාව පිලිබඳ හිස් ප්‍රකාශ දෙමින් හා අනතුර සිදු වූ ප්‍රදේශය හා රෝහල් වෙත යමින් ප්‍රතිචාර දැක්වූහ. එයාර් ඉන්දියා සමාගමේ හිමිකරු වන ටාටා ගෘප් සංගතය, මුහුන බේරාගැනීමේ උපාමාරුවක යෙදෙමින්, අනතුරට ලක්වූ සෑම අයෙකුගේ ම පවුලකට ඉන්දියානු රුපියල් මිලියන 10ක් (එක්සත් ජනපද ඩොලර් 116,106ක් පමන) වන්දියක් නිවේදනය කලේ ය. එමෙන්ම, තුවාල ලැබූවන්ගේ වෛද්‍ය වියදම් ගෙවීමට හා අනතුරට පත් වූ බී. ජේ. වෛද්‍ය නේවාසිකාගාරය යලි ගොඩනැගීමට එය පොරොන්දු විය.
සිවිල් ගුවන් සේවා ඇමති රාම් මෝහන් නායිදු කින්ජරාපු පවසන පරිදි, ඉන්දියාවේ ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශය (ඒඒඅයිබී) විමර්ශනයක් අරඹා ඇත. විමර්ශනයට සහයෝගය දීමට එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ ගුවන් සේවා නිලධාරීන් ද එවීමට නියමිත බව ද කාර්යාංශය වාර්තා කලේ ය.
මෙම අනතුර, මගීන් හා කාර්ය මන්ඩලයේ 346ක් මරනයට පත් කරමින් 2018 දී හා 2019 දී 737 මැක්ස් 8 ගුවන් යානා දෙකක් කඩා වැටීමෙන් පසු, බෝයිං ජෙට් යානයක් මුහුන දුන් දරුනුතම අනතුර වේ. මෙම ගුවන් යානා නිෂ්පාදනය සම්බන්ධ ගනන් නැති විමර්ශනයන්ට බෝයිං සමාගම මුහුන දී ඇති අතර, එම විමර්ශන, යානාවල මාරාන්තික සැලසුම් වැරදි පිලිබඳ ව බෝයිං සමාගමේ විධායක නිලධාරීන් දැන සිටි නමුත්, ඒවා නිෂ්පාදනය කර බෙදා හැරීමට ඉඩ දුන් බව සොයාගත්තේ ය.
සංගත හා ඒවා ආරක්ෂා කරන ධනපති රාජ්‍යය අතර හවුල පෙන්වන බොහෝ උදාහරනවලින් එකක දී, බෝයිං සමාගම මෑත දී (එක්සත් ජනපදයේ) අධිකරන දෙපාර්තමේන්තුව සමග චෝදනාවන්ට ලක් නො වීමේ ගනුදෙනුවකට එලැඹුනේ, මැක්සි 8 කඩාවැටීම් සඳහා කිසිදු අපරාධ චෝදනාවකට තමන් ලක්වීම වලක්වාගනිමින් හා මරනයකට ඩොලර් මිලියන 1.3ක් පමනක් ගෙවීමට එකඟ වෙමිනි.
අහමදාබාද් ගුවන් අනතුරේ නිත්‍ය හේතුව තවමත් පැහැදිලි නැති අතර, මේ ගැන ආරම්භක සාකච්ඡාවන්හිදී යානයේ පියාසර පෙති, ගොඩබෑමේ ගියර, එන්ජින් සහ එහි ගමන යාම සඳහා අවශ්‍ය ආරෝහනය ජනනය කිරීමෙන් එය වැලැක්වූ හේතූන් ඉදිරිපත්ව තිබේ. රූපවාහිනී වීඩියෝ හා ඡායාරූප යානය ගුවනට එසවීම හසුකරගත් රූපවාහිනී සහා ඡායාරූප පෙන්නුම් කලේ, ගුවන් තොටුපොල අසල දී කඩාවැටී ගිනිබෝලයක් බවට පුපුරා යාමට පෙර, නියමුවා දිගට ම යානය සමබර කර ගැනීමට උත්සාහ දරන ආකාරය යි.
දැනට දන්නා දේවල්වලින් එකක් වන්නේ, ගුවන්යානය පිට වී යාමෙන් මිනිත්තු කීපයකට පසුව නියමුවන් “මේඩේ” පනිවුඩයක් -ජීවිත තර්ජනයක් ඇතිකරන හදිසි තත්ත්වයක් හටගෙන ඇතිබවට සංඥාවක්- නිකුත් කල බවත් ගුවන් ගමන් පාලන කාර්යාලය සමග වැඩිදුර සන්නිවේදනයන්ට ප්‍රතිචාර දැක්වීමට අසමත් වූ බවත් ය. කඩාවැටුනු ගුවන්යානයේ කලු පෙට්ටි දෙක ම සොයාගත් බව එරට අධිකාරීහු සිකුරාදා තහවුරු කලහ.
“අතිශයින් දුර්ලභ එන්ජින් දෙකෙම අක්‍රීයවීමේ” හැකියාව පිලිබඳව විශේෂඥයෙකුගේ සමපේක්ෂනයක් බීබීසී වාර්තාවක් තුල උපුටා දැක්වුනි. යානයේ ප්‍රධාන එන්ජින් අසමර්ථ වන විට ක්‍රියාත්මක වන හදිසි අතිරේක පද්ධතියක් වන රැම් ගුවන් ටර්බයිනය (RAT) දිගේලි කර තිබුනේ ද යන ප්‍රශ්න මතුවන බව එය සටහන් කෙල් ය. “ඉන්ධන දූෂනය හෝ අවහිර වීම“ මගින් එවන් අසමර්ථතාවක් පැනනැගිය හැකි බව, ජ්‍යෙෂ්ට ගුවන් නියමුවෙකු උපුටා දැක්වූ බීබීසී ඉස්මතු කලේ, ගුවන් යානා එන්ජින් නිරවද්‍ය ඉන්ධන මීටර පද්ධතිය මත රඳා පවතින බවත්, ඕනෑ ම බාධාවක් ඉන්ධන නැතිකමට හා එන්ජිම වැසීයාමට තුඩු දිය හැකි බවත් විස්තර කරමිනි.
නිගමනවලට පැනනැගීමට එරෙහිව ගුවන් ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවා ඇත. උපදේශන ආයතනයක් වන සේෆ්ටි ඔපරේටිං සිස්ටම්ස් ආයතනයේ ප්‍රධාන විධායක හා හිටපු ගුවන් යානා නියමුවෙක් වන ජෝන් එම්. කොක්ස් බිස්නස් ටුඩේ වෙත මෙසේ පැවසී ය: “මේ මොහොතේදී, අපට තවමත් කල්වැඩියි. අපි බොහෝ දේ නො දන්නා නමුත්, 787 සතු ව ඉතා විස්තීර්න ගුවන් යානා දත්ත සමීක්ෂන පද්ධතියක් තිබෙනවා”.
නිව් යෝක් ටයිම්ස් මෙසේ සටහන් කලේ ය: “ගුවන් යානා හා සිවිල් ගුවන් සේවා පද්ධතිය සතු ව, තනි හේතුවකින් විනාශයට යාම වැලක්වීමට අතිරේක ආරක්ෂන විධි ගනනාවක්ම තිබේ.” මෙහි ප්‍රතිඵලයක් ලෙස, බහුවිධ අසමර්ථතාවන්ගේ ප්‍රතිඵලය වන කඩාවැටීම් අනාවරනය කිරීමට දීර්ඝ විමර්ශනයක් අවශ්‍ය වේ.
එහෙත්, එයාර් ඉන්දියා සමාගම, මෝදි ආන්ඩුව හා බෝයිං සංගතය ඛේදවාචකය සඳහා වගකීම හරවා යැවීමට උත්සාහ දරනු ඇති බවට සැකයක් නැත.
රජයට අයත් රටෙහි විශාලතම ගුවන් සේවාව වන එයාර් ඉන්දියා සේවය, එය තවමත් රජය සතුව පැවැති කාලයේ, ඉන්දීය රුපියල් බිලියන 580ක (ඩොලර් බිලියන 8ක) නය බරක් සමග පොරබදමින් සිට ඇත. තථ්‍ය වසයෙන් රජයට අයත් සියලුම සමාගම් පාහේ පුද්ගලීකරනය කිරීමේ වැඩපිලිවෙලට තල්ලුවක් දීමට, මෝදි ආන්ඩුව ගුවන් සේවය ඉන්දියාවේ දැවැන්තම සමාගම වන රටන් ටටාට අයත් ටාටා සමාගමට 2022 දී කුනු කොල්ලයට විකුනා දැමුවේ ය. පසුගිය වසරේ දී, ටාටා සමාගම සිංගප්පූර් එයාර්ලයින්ස් සමාගම වන ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන විස්තරා සමග එයාර් ඉන්දියා සමාගම ඒකාබද්ධ කලේ ය.
ආන්ඩුවේ පාලනය යටතේ තිබිය දී, ගුවන් සේවය මීට කලින් මාරාන්තික කඩාවැටීම් දෙකක් අත්විඳ තිබූ බව ඇසෝෂියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි. 2010 දී, ඩුබායිහි සිට පැමිනි එයාර් ඉන්දියා යානයක් දකුනු ඉන්දියාවේ මැන්ගලෝර්හි ගොඩබස්සද්දී පුපුරා ගොස් තල්ලු වී ගියේ, එහි 166 දෙනාගෙන් 158ක් මරනයට පත් කරමිනි. ඩුබායිහි සිට දකුනු ඉන්දියාවේ කොෂිකෝඩ් වෙත පැමිනි, එයාර් ඉන්දියාහි අඩු-මිල උප-අංශයක් වූ එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක්, අධික වර්ෂාව හේතුවෙන් 2020 දී ධාවන පථයෙන් ඉවත් ව ගොස් දෙකට කැඩුනු අතර, එම අනතුරෙන් 18 දෙනෙකු මරනයට පත්ව, 120ට අධික පිරිසකට තුවාල සිදු විය. එම අනතුරු දෙකට ම මුහුන දුන්නේ පැරනි බෝයිං 737-800 ගුවන්යානාවන් ය.
බෝයිං ගුවන් යානා මෑත දී මුහුන දී ඇති සිද්ධිවල පසුබිම සිදු වූ බ්‍රහස්පතින්දා ඛේදජනක කඩාවැටීම, ආරක්ෂක රෙගුලාසිවලට ගැලපීම හා නිෂ්පාදනයේ ගුනාත්මකභාවය පිලිබඳ සැලකිය යුතු උත්සුකතා මතු කර තිබේ. 50කට තුවාල සිදු කරමින්, පසුගිය වසරේ මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ සිට නවසීලන්තයට පියාසර කල ලතාම් එයාර් ලයින් සේවයේ බෝයිං 787-9 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයක් ගුවන මැදදී අන්පේක්ෂිත ව කඩාවැටීම මීට ඇතුලත් ය.
මෙය බෝයිං 787 මොඩලයේ යානයක පලමු මාරාන්තික කඩාවැටීම වන අතර, බෝයිං සංගතයේ රෙන්ටන් කර්මාන්තශාලාවේ හා එහි මූලික සැපයුම්කරුවා ස්පිරිට් ඒරෝසිස්ටම්ස් ගැන මධ්‍යම ගුවන් සේවා පරිපාලනය (එෆ්ඒඒ) කල විගනනයක්, “ගැටලු දුසිම් ගනනක්” සහ තත්ත්ව පාලන අවශ්‍යතා සමග නො ගැලපෙන “බහුවිධ අවස්ථා” අනාවරනය කලේ ය. නිෂ්පාදන 89ක විගනනයන්ගෙන් 33කින් බෝයිං අසමර්ථ විය. මේ අතර, “දොර මුද්‍රාවක් පරීක්ෂා කිරීමට හොටෙල් යතුරු කාඩ් එකක්” භාවිතා කිරීම හා “ලිහිසි ද්‍රාවනයක් ලෙස දොර මුද්‍රාවකට ඩෝන් සබන්” භාවිතා කිරීම ඇතුලු ප්‍රමිතියට නැති අවස්ථා 97ක් පිලිබඳ චෝදනා ද ඇතුලුව පරීක්ෂන 13කින් පරීක්ෂන 7ක් ම ස්පිරිට් ඒරෝසිස්ටම්ස් අසමත් විය.
“කර්මාන්තශාලා බිමේ සනීපාරක්ෂාව” හා උපකරන කලමනාකරන ගැටලු ලෙස එෆ්ඒඒ විසින් විලක්ෂනය කරනු ලබන, “අනුමත නිෂ්පාදන ක්‍රියාදාම, පටිපාටි හෝ උපදෙස්” අනුගමනය නො කිරීම සහ තත්ත්ව පාලන ලේඛනකරනය පිලිබඳ ගැටලු බහුතර අසමර්ථතාවන්ට ඇතුලත් විය.
හිටපු තත්ත්ව පාලක ජෝන් බානෙට් විසින් අනතුරු ඇඟවූ “ව්‍යසනකාරී” ආරක්ෂක අසමර්ථතා “සැඟවීමේ සංස්කෘතියක්” සහ බෝයිං සමාගම “ආරක්ෂාවට වඩා ලාභයට ප්‍රමුඛතාව” ලබා දෙමින් තිබීම යනාදිය සමග මෙම සොයාගැනීම් අනුරූප වෙයි. 1985 සිට 2017 දක්වා බෝයිං සමාගමේ වැඩකල බානෙට් වාර්තා පහත කරුනු වාර්තා කර තිබුනේ ය: ලෝහමය පතුරු පියාසර පාලන රැහැන් පථවලට බලපාන බව; 787 ඩ්‍රීම්ලයිනර් හදිසි ඔක්සිජන් පද්ධතිවලින් සියයට 25ක් නිසි පරිදි ක්‍රියාත්මක නො වූ බව; සහ කලමනාකාරීත්වය සේවකයින්ට “අඩුපාඩු ලේඛනගත නො කරන” හා සදොස් අමුද්‍රව්‍ය යොදන ලෙසත් පීඩනය යොදන බව යනාදියයි.
මිලිටරි කොන්ත්‍රාත්කරුවාට එරෙහිව සාක්ෂි දීමට පෙර හෝ සාක්ෂි දෙන කාලය අතර තුර මරනයට පත්ව සිට සොයාගත්, බෝයිං සමාගමේ තොරතුරු හෙලිදරවු කරන්නන් දෙදෙනාගෙන් එක් අයෙක් වන්නේ බානෙට් ය.
බෝයිං සමාගමෙන් වඩා විශාල ආයෝජන අද්දවා ගැනීමට කරන උත්සාහයේ දී, මෝදි යලි යලිත් යෝධ ගුවන් සමාගම උත්කර්ෂයට නංවා ඇත. මාර්තු 18දා ඉන්දියාවට කල සංචාරයක දී, බෝයිං සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බ්‍රෙන්ඩන් නෙල්සන් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙත කීවේ, මෑත දී සිදුකල ප්‍රතිසංස්කරන බෝයිං වැනි සමාගම් සඳහා අතිශය “ආකර්ශනීය ස්ථානයක්” බවට රට පත්කර ඇති බව යි. ඉන්දියාව සමග සමාගමේ ගනුදෙනු “සැලකිය යුතු ලෙස වැඩිකිරීමේ” සැලසුම් නෙල්සන් හෙලිදරවු කලේ, වර්තමානයේ රුපියල් බිලියන 100ක (ඩොලර් බිලියන 1.3ක) වාර්ෂික යෙදවුම් රුපියල් බිලියන 320කට පමන පුම්බන බවට පොරොන්දු ද ඇතුලත්ව ය. ඊට සමාන්තර ව, ඊලඟ වසර දෙක පුරා ඉන්දියානු ගුවන් සමාගමට මාසයකට ගුවන් යානා දෙකක් බැගින් සැපයීමට බෝයිං සංගතය අපේක්ෂා කරයි.
මාරාන්තික අහමදාබාද් ගුවන් අනතුර ගැන නීර්නය කරන නිල හේතුව කවරක් වුවත්, මෝදි ආන්ඩුව හා බෝයිං සංගතය යන දෙක ම, මගී ආරක්ෂාව තහවුරු කරනවාට වඩා සංගත අවශ්‍යතා ආරක්ෂා කිරීම මත අවධානය යොදනු ඇත. මෙම නවතම අනතුරු යලි වතාවක් අවධාරනය කරන්නේ, සමාජය පලල් ලෙස සමාජවාදීව පරිවර්තනය කිරීමේ කොටසක් ලෙස, පුද්ගලික ලාභය වෙනුවට මානව ජීවිතවලට ප්‍රමුඛතාව දෙන පරිදි ගුවන් සේවා කර්මාන්තය මුලුමනින් ම ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව යි.