[මෙය Sri Lankan government continues to ignore the rise of COVID-19 and other dangerous infections යන මැයෙන් 2025 ජූනි 13 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
මේ වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදන වැඩි වෙමින් පවතී. මහා පරිමාන පරීක්ෂන හෝ රෝග නිරීක්ෂනයන් කිසිසේත්ම නොමැති වීම නිසා, පැතිරීමේ පරිමාව තීරනය කල නොහැක. කෙසේ වෙතත්, ඛේදජනක මරන ගනනාවකින් දැන් වෛරසයේ ව්‍යාප්තිය පෙන්නුම් කෙරේ.
ශ්‍රී ලංකාවේ ආසාදන වැඩිවීම පුලුල් කලාපීය ප්රවනතාවයක කොටසක් ලෙස පෙනේ. මෑත කාලීන මාධ්‍ය වාර්තාවලින් පෙනී යන්නේ, ඉන්දියාවේ කෝවිඩ්-19 ආසාදන ඉහල මට්ටමක පවතින බවයි; ජුනි 12 වන දින නව රෝගීන් 306 ක් සමඟ සක්‍රීය රෝගීන් 7,121 දක්වා ඉහල ගොස් ඇති බව එහි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය දුෂාන්ත මැදගෙදර උපුටා දක්වමින් බ්‍රහස්පතින්දා ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ, නව කොවිඩ්-19 ප්‍රභේදයකින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි. එය සිදු වූයේ, මේ මස මුල දී දකුනු පලාතේ ගාල්ල ප්‍රදේශයේ මාස 18 ක දරුවෙකු වෛරසය ආසාදනය වීමෙන් මරනයට පත් වූ බව පරික්ෂන වලින් තහවුරු වීමෙන් අනතුරුව ය.
නරක අතට හැරෙන තත්වය පිලිබඳ ව මහජන කනස්සල්ල ඉහල යමින් තිබිය දී, ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, මෙම රෝගය සහ වේගයෙන් බෝවන අනෙකුත් රෝග පැතිරීමේ සැබෑ ප්‍රමානයත්, ඉන් මතු කෙරී ඇති අන්තරායත් සඟවමින් සිටී.
ජුනි 2 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “රෝග ප්රවනතා නිරීක්ෂනය කිරීමේ දී සෞඛ්‍ය බලධාරීන් සුපරීක්ෂාකාරී ව සිටින” නමුත් ජනතාව “අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති” බව යි. “පුද්ගලයින්ට උන හෝ ශ්වසන රෝග ලක්ෂන ඇති වුවහොත්, බිය නිසා රෝහල් ගත වීමේ අවශ්‍යතාවයක් නොමැත; කෙසේ වෙතත්, යමෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු ය” යනුවෙන් ඔහු උපදෙස් දුන්නේ ය.
වත්මන් කෝවිඩ්-19 පැතිරීම සම්බන්ධයෙන් 'වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මත පදනම්ව' තම අමාත්‍යාංශය ඊලඟ තීරනය ගන්නා බව, ජුනි 3 වන දින පැවති මාධ්‍ය හමුවක දී, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.
ඇත්ත වශයෙන්ම, දිවයිනේ ප්‍රධාන රෝහල් 20 තුල ප්‍රතිකාර සඳහා පැමිනෙන රෝගීන් අහඹු ලෙස පරීක්ෂා කිරීම හැර, කෝවිඩ්-19 හි වර්තමාන ව්‍යාප්තිය තක්සේරු කිරීමට විද්‍යාත්මක සහ මහා පරිමාන ක්‍රමයක් නොමැත. එපමනක් නොව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ “කෝවිඩ්-19 තත්ව වාර්තාව” 2022 දෙසැම්බර් 13 සිට යාවත්කාලීන කර නොමැත.
'වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අනුව' තම අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වනු ඇති බවට ජයතිස්ස කරන ප්‍රකාශ විකාර සහගත මෙන් ම නරුම ය. නිසි තක්සේරු ක්‍රමවේදයක් නොමැති වීමෙන් ඇඟවෙන්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුව මාරාන්තික රෝගයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා කිසිදු බැරෑරුම් පියවරක් නොගන්නා බවයි.
ආන්ඩුව මුඛ ආවරන පැලඳීම අනිවාර්ය කරන්නේ දැයි මාධ්‍යවේදියෙකු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසූ විට ආන්ඩුවේ සැබෑ ප්‍රතිපත්තිය හෙලි විය. ඔහු මෙසේ පිලිතුරු දුන්නේ ය: 'අපි රෝහල්වල පීසීආර් පරීක්ෂන වැඩි කර තිබෙනවා. අපට වගකීම් විරහිත ව තීරන ගන්න බැහැ.'
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩසටහනට සම්පූර්නයෙන්ම කැප වී සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව මුඛ ආවරන අනිවාර්ය කිරීමට අකමැති වීමට හේතුව, එමගින් කෝවිඩ්-19 පිලිබඳ ව මහජනතාව වඩාත් දැනුවත් වනු ඇති බවටත්, එවිට මහජන සෞඛ්‍යය සඳහා රජයේ වියදම් වැඩි කරන ලෙස ඉල්ලා සිටිනු ඇති බවටත් ඔවුන් තුල ඇති බියයි.
කෝවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමත් සමඟ, දිවයින පුරා ඩෙංගු උන සහ චිකුන්ගුන්යා වැනි අනෙකුත් භයානක ආසාදනවල හදිසි වැඩිවීමක් ද දක්නට ලැබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරන හා අනුක වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ පවසන පරිදි, “ශ්‍රී ලංකාව වසර 16 කට පසු දැවැන්ත චිකුන්ගුන්යා වසංගතයක් අත්විඳිමින් සිටී; ඉන්දියානු සාගර පරම්පරාවට (අයිඕඑල්) අයත් වන වත්මන් වෛරසයේ අනන්‍ය විකෘතීන් කිහිපයක් ඇත.”
චිකුන්ගුන්යා රෝගය මිනිසුන්ට සම්ප්‍රේෂනය වන්නේ ආසාදිත මදුරුවෙකු දෂ්ට කිරීමෙනි. රෝගය මාරාන්තික නොවූවත්, සමහර අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ, රෝගීන්ගෙන් සියයට 30 ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් අසනීපයෙන් පසු මාස හෝ වසර ගනනාවක් පුරා අඛන්ඩ සන්ධි වේදනාවන් සහ දිගුකාලීන තෙහෙට්ටුවක් අත්විඳින බවයි.
කෝවිඩ්, ඩෙංගු සහ චිකුන්ගුන්යා ආසාදිතයෝ, ශ්‍රී ලංකාවේ මහජන අරමුදල් වලින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධතියේ මානව හා භෞතික සම්පත්වල භයානක හිඟයකට ද මුහුන දෙමින් සිටිති. රටේ රෝහල් ජාලය තුල දැනට ප්‍රතිජීවක, ඉන්සියුලින්, වේදනා නාශක සහ හෘද රෝග සහ අධි රුධිර පීඩනය සඳහා වන ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් පවතී.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චමිල් විජේසිංහට අනුව, වෛද්‍ය සැපයුම් අංශයේ අත්‍යවශ්‍ය ඖෂධ 180 කට ආසන්න ප්‍රමානයක් සම්පූර්නයෙන්ම අවසන් වී තිබුනු අතර, අප්‍රේල් මාසය අවසන් වන විට, රෝහල් සඳහා අවශ්‍ය අනෙකුත් මූලික ඖෂධ 50 ක් හිඟ තත්වයේ පැවතුනි.
රටේ දෙවන විශාලත ම රෝහල වන මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ඊටීයූ) වෛද්‍යවරයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ, අප්‍රේල් මාසයේ සති තුනක් සඳහා ඇදුම ප්‍රතිකාර සඳහා ඉතා වැදගත් වන සැල්බුටමෝල් නෙබියුලීකරන ද්‍රාවන තොග නොමැති බවයි. “මෙය ඊටීයූ සඳහා අත්‍යවශ්‍ය ඖෂධයකි,” ඔහු පැවසීය.
රජයේ රෝහල්වල රසායනාගාර පහසුකම් බිඳ වැටීම නිසා, පෞද්ගලික රසායනාගාරවලින් වෛද්‍ය පරීක්ෂන කර ගැනීමට රෝගීන්ට දැන් අධික ගාස්තු ගෙවීමට සිදු වී ඇත. වෛද්‍යවරුන් පවසන්නේ, මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගත නොහැකි රෝගීන්ට මෙම පරීක්ෂන සිදු කරගත නොහැකි බැවින්, රෝග නිවැරදි ව හඳුනා ගැනීමට නොහැකි බවයි.
උපකරන නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් සේවා ඇනහිටීම් සිදුවන බව සෞඛ්‍ය සේවකයින් ද වාර්තා කරයි. රජයේ විකිරනවේද තාක්ෂනවේදීන්ගේ සංගමය මෑතක දී ප්‍රකාශ කලේ, කරාපිටිය, මහරගම, මඩකලපුව සහ යාපනය යන ප්‍රධාන රෝහල්වල පිලිකා ඒකකවල “රේඛීය ත්වරක (linear accelerator)” විකිරන යන්ත්‍ර හතරක් අක්‍රිය වීම හේතුවෙන් රෝගී ප්‍රතිකාර බිඳ වැටී ඇති බවයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වටා කේන්ද්‍රගත වන මහජන සෞඛ්‍ය සේවාවන්ට අත්ව ඇත්තේ ද එවැනිම ඉරනමකි. එම ආයතන නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් නොමැතිකම චිකුන්ගුන්යා රෝගය වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වී තිබේ.
මේ අතර, මදුරුවන්ගෙන් බෝවන රෝගයක් වන ඩෙංගු රෝගය පැතිරීම පිලිබඳව ද වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,300 ක් සහ මරන 13 ක් වාර්තා වී තිබේ.
මෙම සියලු වර්ධනයන් මගින් පෙන්නුම් කෙරෙන්නේ රටේ මහජන සෞඛ්‍ය සේවයේ බරපතල බිඳවැටීමකි.
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය දකුනු ආසියාවට ආදර්ශයක් ලෙස බොහෝ විට උත්කර්ශයට නැංවුව ද, කෝවිඩ්-19 වසංගතය හෙලි කලේ, ජාමූඅ විධානයන් හි ප්‍රතිඵලයක් ලෙස රජයේ වියදම් සීමා කිරීම සහ පෞද්ගලික අංශයේ ප්රසාරනය හේතුවෙන්, එය බරපතල ලෙස පරිහානියට පත්ව ඇති බවයි.
සෞඛ්‍ය පද්ධතිය වහා ම වැඩිදියුනු කරන බවට ව්‍යාජ පොරොන්දු දෙමින් බලයට පත් වූ ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ ද ජාමූඅ වියදම් අඩු කිරීමේ ඉල්ලීම් දිගටම පවතී. නමුත් පූර්ව මහා-ව්‍යාපාරික ආන්ඩු මෙන් ම, එය ද දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) මහජන සෞඛ්‍ය සඳහා වෙන් කර ඇත්තේ යන්තම් සියයට 1.83 ක් පමනි.
කෝවිඩ් වසංගතයෙන් ජීවිත බේරා ගැනීම සඳහා සෞඛ්‍ය සේවාවලට බිලියන ගනනක් ආයෝජනය කිරීම වෙනුවට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව කලේ එහි ප්‍රතිවිරුද්ධ දෙයයි. වසංගතය ආරම්භ වී වසරකටත් අඩු කාලයකට පසු, එය කලින් අනුගමනය කල සීමිත පියවර පවා අතහැර දමා, සියලුම සේවකයින් නැවත සේවයට පැමිනෙන ලෙස ඉල්ලා සිටියේ ය.
ලොව පුරා ඕනෑම ධනේශ්වර ආන්ඩුවක් මෙන්, රාජපක්ෂ සහ ඔහුගේ අනුප්‍රාප්තික රනිල් වික්‍රමසිංහ ද විද්‍යා-විරෝධී “ඔහේ පැතිර ගියාවේ” න්‍යාය පත්‍රය වැලඳ ගත් අතර, එමඟින් කෝවිඩ්-19 නිදහසේ පැතිරීමට ඉඩ සැලසුනි. එහි ප්‍රතිඵලයක් ලෙස, 2024 අප්‍රේල් 12 වන විට, ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 16,897 ක් පමන කෝවිඩ් වලින් මිය ගොස් තිබූ අතර ආසාදිතයින් ගනන 672,754 ක් විය.
මෙම ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කලේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ එහි සමාජවාදී සමානතා පක්ෂ (සසප) පමනි. 2020 මාර්තු 17 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවි ඉදිරිදර්ශනයක සඳහන් වූ පරිදි:
පන්ති දෙකක නොපෑහෙන අවශ්‍යතා දෙකක් එකිනෙකට ප්රතිවිරුද්ධව පවතී. ධනපතියන්ට නම්, එය ඔවුන්ගේ ලාභ අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීම සහ ඔවුන්ගේ දේපල හා ධනයට අත නොතැබීම සහතික කර ගැනීම පිලිබඳ ප්රශ්නයකි. ඔවුන්ගේ අවශ්‍යතාවලට බාධා කරන කිසිදු පියවරක් නොගත යුතුය. කම්කරු පන්තිය සැලකිලිමත් වන්නේ, පුද්ගලික ලාභය ගැන නොව, සමාජ අවශ්යතාවන්ගෙන් ගාමකය ලබන පුලුල් බහුජනතාවගේ අවශ්‍යතා ගැන ය.
රංචු ප්‍රතිශක්තියේ ප්රතිගාමී මූලෝපායට විරුද්ධ වෙමින්, හජාජාක, එකම ශක්‍ය උපාය මාර්ගය ලෙස කෝවිඩ්-19 ගෝලීය වශයෙන් තුරන් කිරීම ඉදිරිපත් කලේය:
“මුලිනුපුටා දැමීම යනු, වෛරසය සදහටම තුරන් කිරීම සඳහා ගෝලීය පරිමානයෙන් සම්බන්ධීකරනය කරන ලද, කෝවිඩ්-19 ට එරෙහිව සටන් කිරීම සඳහා වන පියවරයන්ගේ අවි ගබඩාවේ සෑම ආයුධයක්ම විශ්වීයව යෙදවීමයි.'
මෙය සාක්ෂාත් කරගත හැක්කේ, ගෝලීය කම්කරු පන්තිය ස්වාධීන බලවේගයක් ලෙස බලමුලු ගැන්වීමෙන් සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීමෙන් පමනක් බව ජාත්‍යන්තර කමිටුව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ සසප මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කල අතර, ජවිපෙ/ජාජබ ඇතුලු සියලුම ධනේශ්වර පක්ෂ, ව්‍යාජ වාම කන්ඩායම් සහ වෘත්තීය සමිති රාජපක්ෂගේ සහ වික්‍රමසිංහගේ “ඔහේ පැතිර ගියාවේ” න්‍යාය පත්‍රයට සම්පූර්නයෙන්ම සහාය දුන්හ.
වසර පහකට පසු, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය මහජන සෞඛ්‍යයට එල්ල වන ගෝලීය ප්‍රහාරයක් අත්විඳිමින් සිටී. මෙයට එරෙහිව සටන් කල හැක්කේ, ධනේශ්වර ක්‍රමයට එරෙහිවත්, එය, පුද්ගලික ලාභයට වඩා ඉහලින් මිනිස් ජීවිත තබන සමාජවාදයෙන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහාත් කරන ඒකාබද්ධ අරගලයකින් පමනි.