[මෙය The case of Nancy Wohlforth, a.k.a. Fields, and the origins of Security and the Fourth International යන මැයෙන් 2025 මැයි 22 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
මැයි 20 වන අඟහරුවාදා, ධවල මන්දිරය දෙසට දිවෙන වීදියෙන් අනෙක් පැත්තේ, වොෂින්ටන් ඩී.සී. හි ඒඑෆ්එල්-සීඅයිඕ හි ජාතික මූලස්ථානයේ ප්‍රධාන ශාලාවේ දී, 2024 දෙසැම්බර් 31 වන දින, වයස අවුරුදු 79 දී මියගිය නැන්සි වුල්ෆර්ත්ගේ ජීවිතයට ගෞරව පුද කිරීම සඳහා අනුස්මරන රැස්වීමක් පැවැත්විනි.
ජාත්‍යන්තර කාර්යාල සහ වෘත්තීය සේවක සංගමයේ (ඕපීඊඅයියූ) භාන්ඩාගාරික-ලේකම් සහ ඒඑෆ්එල්-සීඅයිඕ හි ජාතික විධායක මන්ඩලයේ සාමාජිකාවක ලෙස වුල්ෆර්ත්ගේගේ භූමිකාවට කථිකයෝ උපහාර දැක්වූහ.
රැස්වීමේ මුලසුන දැරුවේ, ඇමරිකාවේ සන්නිවේදන සේවක සංගමයේ (සීඩබ්ලිව්ඒ) හිටපු සභාපති ලැරී කොහෙන් විසිනි. ප්‍රධාන ගුන වර්නනාව කරන ලද්දේ වසර 20 ක් තිස්සේ වුල්ෆර්ත් සමඟ සමීප ව කටයුතු කල ඒඑෆ්එල්-සීඅයිඕ හි සභාපති ලිස් ෂූලර් විසිනි. පසුගිය වසරේ, ජාත්‍යන්තර සේවා සේවක සංගමයේ (එස්ඊඅයියූ) සභාපති ධුරයෙන් විශ්‍රාම ගිය මේරි කේ හෙන්රි ද උපහාර දැක්වූවා ය. 2022 දී වොෂින්ටෝනියන් හි, හෙන්රි මහත්මිය 'ධවල මන්දිරයේ වඩාත්ම බලගතු වෘත්තීය සමිති හඬ...' ලෙස විස්තර කරනු ලැබ තිබුනි.
අනුස්මරන රැස්වීමට ආසන්න වශයෙන් 75 දෙනෙකු පමන සහභාගී වූ අතර, ඔවුන් සියලු දෙනා ම පාහේ වෘත්තීය සමිති නිලධාරීන් සහ නැන්සි වුල්ෆර්ත්ගේ මිතුරෝ වූහ. ඕපීඊඅයියූ හෝ වෙනත් වෘත්තීය සමිතියක කිසිදු සාමාන්‍ය සාමාජිකයෙකු උත්සවයට සහභාගී වූයේ හෝ කතා කලේ නැත.
පැය දෙකක අනුස්මරන උත්සවය අතරතුර කථිකයින් අවධානය යොමු කලේ, ඔපීඊඅයියූ සහ ඒඑෆ්එල්-සීඅයිඕ නිලධරය තුල වුල්ෆර්ත් ගේ කාර්යයන් ගැන සහ සමලිංගික අයිතිවාසිකම් සඳහා වන සටනේ දී ප්‍රමුඛ ස්ත්‍රී-සමලිංගිකයෙකු ලෙස ඇයගේ කැපවීම කෙරෙහි ය. 2005 දී, ඇය ඒඑෆ්එල්-සීඅයිඕ හි ජාතික නායකත්වයට තේරී පත් වූ එල්ජීබීටීකියු ප්‍රජාවේ පලමු සාමාජිකාව බවට පත්වූවා ය.
සමාජවාදී ව්‍යාපාරය විසින් ඇයව සිහිපත් කරනු ලබන සහ සදහට ම අවඥාවට ලක් කරනු ලබන ඇගේ ජීවිතයේ එම කොටස ගැන—එනම්, 1973-74 දී සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ වර්කර්ස් ලීගය විනාශ කිරීමේ උත්සාහයේ දී ඇයගේ කේන්ද්‍රීය භූමිකාව ගැන—සඳහනක් කිසිදු කතාවකින් ඉස්මතු නොවීම කැපී පෙනුනි.
“නැන්සි ෆීල්ඩ්ස්” යන නම කථිකයෝ කිසි විටෙකත් සඳහන් කලේ නැත. නමුත්, නැන්සි වුල්ෆර්ත්, වර්කර්ස් ලීගය තුල විනාශකාරී මෙහෙයුමක් සිදු කලේ එම නමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස, වසරක් ඇතුලත සංවිධානයට සාමාජිකත්වයෙන් අඩක් පමන අහිමි විය.
මුලින්, ඇගේ පලමු සැමියාගේ වාසගමට අනුව නැන්සි ෆ්‍රොයිඩ්න් ලෙස හඳුන්වනු ලැබූ ඇය, 1971 දී වර්කර්ස් ලීගයට සම්බන්ධ වූ අතර පක්ෂයේ ජාතික කාර්යාලයේ සෝදුපත් කියවන්නියක ලෙස පූර්න කාලීන ව සේවය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවා ය. ටයිම් සඟරාවේ සේවය කල කාලයේ ලද අත්දැකීම් තුලින් එම සාමාර්ථ්‍යය ලබගත් බව ඇය කියා සිටියා ය. කාර්යාල පිලිගැනීමේ නිලධාරිනිය ලෙස සේවය කිරීම සහ සාහිත්‍ය ග්‍රන්ථ ලැයිස්තු බාරව කටයුතු කිරීම ඇගේ අනෙකුත් වගකීම් අතරට ඇතුලත් විය. වර්කර්ස් ලීගයේ පුවත්පත වන බුලටින් වෙත ඉඳහිට සම්ප්‍රදානය කල ලිපි වල දී ඇය “ෆීල්ඩ්ස්” යන කතෘ-නාමය භාවිතා කලා ය.
ඇය තම සැමියා අතැර ගොස්, වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් ටිම් වුල්ෆර්ත් සමඟ පෞද්ගලික සම්බන්ධතාවයක් ආරම්භ කල 1973 වසන්තයේ අග භාගය වන තෙක්, ෆීල්ඩ්ස් වර්කර්ස් ලීගයේ නායකත්වය තුල සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කලේ නැත.
මෙම සම්බන්ධතාවයේ පදනම මත පමනක් ම, වුල්ෆර්ත්, ෆීල්ඩ්ස්ව පක්ෂ නායකත්වයට උසස් කලේ ය. ඇය වුල්ෆර්ත්ගේ වෙන් කල නොහැකි සහකාරිය බවට පත්විය. ඔහුගේ පූර්න අනුමැතිය මත, ජාතික සංවිධානයේ ක්‍රියාකාරකම් පාලනය කිරීමේ හැකියාව ෆීල්ඩ්ස්ට ලබා දෙන ලදී.
අනුස්මරන උත්සවයේ ගුන කථකයන් නැන්සි වුල්ෆර්ත්ගේ ලගන්නාසුලු බව හා හාස්‍යය ගැන උද්‍යෝගිමත් ලෙස කතා කලහ. නමුත් මේවා 1973-74 කාලයේ පක්ෂ සාමාජිකයින් විසින් නිරීක්ෂනය කරන ලද ලක්ෂන නොවේ. ඇය කේඩරය සමඟ කල අන්තර්ක්‍රියා මුලුමනින්ම පාහේ සමන්විත වූයේ, කෑගැසීම් සහ මිටමෙලවූ හස්තය ලෙලවමින් කරන ලද අසීමිත අක්‍රෝෂ පරිභවයන්ගෙනි. වුල්ෆර්ත් අන්ධ ලෙස එකඟ වූ ඇගේ හැසිරීම, ඒ කාලයේ බොහෝ දුරට, සාපේක්ෂව අද්දැකීම් අඩු කේඩරයකින් සමන්විත වූ වර්කර්ස් ලීගයට විනාශකාරී බලපෑමක් ඇති කලේ ය.
ෆීල්ඩ්ස්ගේ ක්‍රියා පටිපාටිය, පසුව, 1976 දී ලියන ලද, හතරවන ජාත්‍යන්තරය සහ වුල්ෆර්ත් ද්‍රෝහියා නම් වූ ලේඛනයේ මෙසේ විස්තර කරන ලදී:
ඇය ගිය සෑම තැනකම, ෆීල්ඩ්ස්, දේශපාලන විනාශයේ සලකුනු ඉතිරි කලාය. ඇය වුල්ෆර්ත්ගේ වෙන් කල නොහැකි ගමන් සහකාරිය සහ දකුනු අත බවට පත් වූවාය. වර්කර්ස් ලීගය එතෙක් කිසිදා අත්දැක නොතිබූ විනාශකාරී මෙහෙයුමක් සඳහා ඔවුහු ඩොලර් දහස් ගනනක් වැය කරමින් රට පුරා ගුවනින් ගමන් කලහ. ඔවුහු, අතැම් ශාඛා වසා දැමූහ; සාමාජිකයින් නෙරපා හැරීමට තර්ජනය කලහ; වර්කර්ස් ලීගයෙන් සහෝදරවරුන් පලවා හැරීම සඳහා කෲරතම කට්ටිවාදී කුමන්ත්‍රන භාවිතා කලහ.
වුල්ෆර්ත් සහ ෆීල්ඩ්ස්ගේ ඊනියා 'ජාතික සංචාර' දේශපාලන මැදිහත්වීමකට වඩා මධුසමය ගතකිරීමක ස්වභාවයක් ගත්තේය.
මෙම කාර්යභාරය සඳහා ඇයට කිසිදු සුදුසුකමක් නොතිබුන ද, 1974 අප්‍රේල් මාසයේදී ලන්ඩනයේ පැවති හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සම්මේලනයට වර්කර්ස් ලීගයේ නියෝජිතවරියක ලෙස තමා සමඟ යාමට, වුල්ෆර්ත්, නැන්සි ෆීල්ඩ්ස් තෝරා ගත්තේය. නීති-විරෝධී කොන්දේසි යටතේ තම දේශපාලන කටයුතු කරගෙන ගිය ග්‍රීසිය, ස්පාඤ්ඤය සහ පේරු යන රටවලින් පැමිනි නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගී වූහ.
සාකච්ඡාව අතරතුර, ශ්‍රී ලංකා නියෝජිත විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය, ජාත්‍යන්තර කමිටුවේ පූර්ව රැස්වීමට සහභාගී වූ වර්කර්ස් ලීගයේ නියෝජිතයා සංවිධානයෙන් ඉවත් වීම ගැන තම උත්සුකය පල කලේ ය. අනෙකුත් සංවිධානාත්මක සාර්ථකත්වයන් ගැන පුරසාරම් දොඩමින් සහ ඉල්ලා අස්වීම හුදෙක් පෞද්ගලික අතහැර යාමක් ලෙස බැහැර කරමින්, වුල්ෆර්ත්, බාලසූරියගේ ප්‍රශ්න මග හැරියේ ය.
කෙසේ වෙතත්, 1974 අගෝස්තු මැද භාගයේ දී, වර්කර්ස් ලීගයෙන් ඉවත් වූ දිගුකාලීන සාමාජිකයෙකු බ්‍රිතාන්‍යයට ගොස්, වර්කර්ස් ලීගය අත්විඳින ලද පාඩුවල දැවැන්ත පරිමානය, කම්කරු විප්ලවවාදී පක්ෂයේ නායක ජෙරී හීලිගේ අවධානයට යොමු කලේ ය. විප්ලවවාදී දේශපාලනය පිලිබඳ පුලුල් අත්දැකීම් ඇති හීලි, මෑත දී පැවැත්වුනු ජාත්‍යන්තර සමුලුවට, කලින් නොදැන සිටි නැන්සි ෆීල්ඩ්ස්ගේ සහභාගීත්වයෙන් කරදරයට පත් ව සිටියේ ය. එපමනක් නොව, වුල්ෆර්ත්, ෆීල්ඩ්ස් සමඟ සම්බන්ධතාවය ආරම්භ කිරීම, ඇය පක්ෂ නායකත්වයට වේගයෙන් නැගී ඒම සහ වර්කර්ස් ලීගයේ විනාශකාරී සංවිධානාත්මක අර්බුදයක් පුපුරා යාමේ සම්පාතය ඔහුගේ අවධානයට ලක් විය.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ බ්‍රිතාන්‍ය ශාඛාව වන කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප), වුල්ෆර්ත් අමතා, වර්කර්ස් ලීගයේ තත්වය සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍යයට පැමිනෙන ලෙස ඉල්ලා සිටියේ ය. පසු ව ලන්ඩනයේ පැවති සාකච්ඡා අතරතුර, ඔහුගේ සහකාරිය වන නැන්සි ෆීල්ඩ්ස්, එක්සත් ජනපද පොලිසියට හෝ බුද්ධි අංශවලට කිසියම් ආකාරයකින් සම්බන්ධ වී ඇති බවට ඇඟවීමට කිසියම් තොරතුරක් ඔහු සතු ව තිබේ දැයි වුල්ෆර්ත්ගෙන් කෙලින්ම විමසන ලදී. එසේ යැයි සැක කිරීමට කිසිදු හේතුවක් නොමැති බව වුල්ෆර්ත් අවධාරනය කලේ ය.
හීලිගේ විමර්ශනය සම්බන්ධයෙන් අමුතු දෙයක් තිබුනේ නැත. 1971 දී, ප්‍රධාන බුද්ධි ඒජන්සිය සහ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය විසින්, එක්සත් ජනපදයේ සමාජවාදී ව්‍යාපාරය තුලට පොලිස් ඒජන්තතයින්ගේ දැවැන්ත පරිමාන කාන්දු වීම් සහ සෝදිසි කිරීම් හෙලිදරව් කරන තොරතුරු මතු විය. කඩාකප්පල්කාරී කන්ඩායම් 'හෙලිදරව් කිරීම, භේද ඇති කිරීම, නොමග යැවීම හෝ වෙනත් ආකාරයකින් උදාසීන කිරීම' සඳහා ආන්ඩුව විසින් පවත්වාගෙන ගිය කොයින්ටෙල්ප්‍රෝ (COINTELPRO) හෙවත් ප්‍රති-බුද්ධි වැඩසටහන 1956 දී ආරම්භ කරන ලදී. එහි ප්‍රධාන ඉලක්ක අතර ඒජන්තයින් සහ තොරතුරු සපයන්නන්ගෙන් පිරී ඉතිරී ගිය සමාජවාදී කම්කරු පක්ෂය ද විය.
එපමනක් නොව, 1973 දී කැනඩාවේ පැවති ගිම්හාන කඳවුරේදී, වර්කර්ස් ලීගය, තම ප්‍රධාන දේශන ශාලාවේ ස්ථාපනය කර තිබූ ඔත්තු බැලීමේ උපකරන සොයා ගෙන තිබුනි.
සියල්ලටමත් වඩා, ෆීල්ඩ්ස්ගේ දේශපාලන සුදුසුකම් පිලිබඳ කිසිදු සැකයක් නොමැති බවට වුල්ෆර්ත්ගේ සහතිකය තිබියදීත්, හීලි ඇගේ පසුබිම පිලිබඳ ව පරීක්ෂනයක් ආරම්භ කලේ ය. වුල්ෆර්ත් දුන් සහතිකයන්ට සෘජු ව ම පටහැනි තොරතුරු මතු විය. ප්‍රධාන බුද්ධි ඒජන්සියේ ඉහල මට්ටමේ නිලධාරීන් සමඟ නැන්සි ෆීල්ඩ්ස්ගේ සමීපත ම පවුල් සම්බන්ධතා ඇති බව හීලිට, ජාත්‍යන්තර කමිටුවට සහ වර්කර්ස් ලීගයට හෙලි කිරීමට ඔහු අපොහොසත් ව තිබුනි.
1974 අගෝස්තු අග භාගයේ පැවති වර්කර්ස් ලීග් ජාතික කමිටුවේ ගිම්හාන පාසල අතරතුර පැවති රැස්වීමකදී, ෆීල්ඩ්ස්ගේ පසුබිම පිලිබඳ තොරතුරු ඔහු සඟවා ගත්තේ මන්දැයි විමසූ විට, එය වැදගත් යැයි තමා නොසලකන බවට වුල්ෆර්ත් පිලිතුරු දුන්නේ ය. ඇගේ පවුල් සබඳතා තනිකර ම පෞද්ගලික කාරනයක් විය.
ෆීල්ඩ්ස්ගේ පවුල් පසුබිම පිලිබඳ ව තමා දන්නා දේ හෙලි කිරීමට වුල්ෆර්ත් වගකීම් විරහිත ලෙස අපොහොසත් වීම සාධාරනීකරනය කිරීම, වර්කර්ස් ලීගයේ ජාතික කමිටුව ප්‍රතික්ෂේප කලේ ය. ජාතික ලේකම් ධුරයෙන් වුල්ෆර්ත් තාවකාලිකව ඉවත් කිරීමටත්, නැන්සි ෆීල්ඩ්ස්ගේ පෞද්ගලික පසුබිම පිලිබඳව හජාජාක පරීක්ෂනයක් පවත්වන තෙක් සාමාජිකත්වයෙන් අත්හිටුවීමටත් එය ඡන්දය දුන්නේය. නැන්සි ෆීල්ඩ්ස් ඒජන්තවරියක් බවට චෝදනා එල්ල නොවීය. කෙසේ වෙතත්, වුල්ෆර්ත් සහ ෆීල්ඩ්ස් සීඅයිඒ නිලධාරීන් සමඟ ඇගේ පවුලේ සම්බන්ධතාවය හෙලි කිරීමට අපොහොසත් වීම වර්කර්ස් ලීගයේ සහ ජාත්‍යන්තර කමිටුවේ ආරක්ෂාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් විය.
ජාතික කමිටුව විසින් සම්මත කරන ලද යෝජනාවලට වුල්ෆර්ත් සහ ෆීල්ඩ්ස් මුලින් ඡන්දය දුන්හ. නමුත් මාසයකට පසු, ජාත්‍යන්තර කොමිසම එහි වැඩ ආරම්භ කරමින් සිටිය දී, වොල්ෆර්ත් සහ ෆීල්ඩ්ස් වර්කර්ස් ලීගයෙන් ඉල්ලා අස්වූහ.
1974 නොවැම්බර් 9 වන දින කොමිසම සිය වාර්තාව නිකුත් කල අතර එහි මෙසේ සඳහන් විය:
පරීක්ෂනයෙන් තහවුරු වූයේ වයස අවුරුදු 12 සිට ඇගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක්, නැන්සි ෆීල්ඩ්ස්, ඇගේ නැන්දා සහ මාමා වන ඇල්බට් සහ ගිග්ස් මොරිස් විසින් ඇති දැඩි කර, අධ්‍යාපනය ලබා දී සහ මූල්‍යමය වශයෙන් ආධාර ලබා දුන් බවයි. ඇල්බට් මොරිස් වොෂින්ටනයේ සීඅයිඒ හි අයිබීඑම් පරිගනක මෙහෙයුමේ ප්‍රධානියා මෙන්ම අයිබීඑම් හි විශාල කොටස් හිමියෙකු ද වේ. ඔහු සීඅයිඒ හි පූර්වගාමියා වූ ඕඑස්එස් හි සාමාජිකයෙකු වූ අතර, අධිරාජ්‍යවාදයේ ඒජන්තයෙකු ලෙස පෝලන්තයේ සේවය කලේය. 1960 ගනන්වලදී, සීඅයිඒ හි හිටපු අධ්‍යක්ෂ සහ දැන් ඉරානයේ එක්සත් ජනපද තානාපති රිචඩ් හෙල්ම්ස්, මේන් හි ඔවුන්ගේ නිවසට නිතර නිතර පැමිනි අමුත්තෙකු විය.
සීමිත සම්පත් සමඟ සහ අන්තර්ජාලය වර්ධනය වීමට දශක ගනනාවකට පෙර කටයුතු කල කොමිසම, නැන්සි ෆීල්ඩ්ස් ඒජන්තයෙකු බවට කිසිදු තොරතුරක් සොයා ගත්තේ නැත. කෙසේ වෙතත්, කම්කරු හා සමාජවාදී ව්‍යාපාරයේ දිගුකාලීන සම්ප්‍රදායන්ට අනුකූලව, ඇල්බට් මොරිස් සමඟ ෆීල්ඩ්ස්ගේ සම්බන්ධතාවය පක්ෂ නායකත්වයට දැනුම් දීමට වුල්ෆර්ත් සහ ෆීල්ඩ්ස් බැඳී සිටින බව මෙයින් වෙනස් නොවීය. එහි ආරක්ෂාව අවදානමට ලක් නොවන බව සහතික කරනුවස් මෙම සම්බන්ධතාවය විමර්ශනය කිරීමට පක්ෂයට අයිතියක් තිබුනි.
වර්කර්ස් ලීගයෙන් ඉල්ලා අස්වීමෙන් සහ විමර්ශන කොමිසම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ෆීල්ඩ්ස් තවමත් ඔහු සමඟ සිටියදී ම, වුල්ෆර්ත් නැවත සමාජවාදී කම්කරු පක්ෂය (සකප) ට එකතු විය. ෆීල්ඩ්ස් සකප තුල රැඳී සිටීම මෙන්ම වුල්ෆර්ත් සමඟ ඇයගේ සම්බන්ධතාවය ද වැඩි කල් පැවතුනේ නැත.
වුල්ෆර්ත් සමඟ ඇයගේ කෙටි විවාහය 1978 මුල් භාගය වන විට මුලුමනින් පාහේ අවසන් විය. වුල්ෆර්ත්ගේ නම එසේම රඳවා ගත්තද, ඇය සමලිංගිකයෙකු ලෙස එලිමහනට පැමිනි අතර 1981 දී ඇගේ බිරිඳ බවට පත් වූ කාන්තාව සමඟ දිගුකාලීන සම්බන්ධතාවයකට එලඹුනා ය. ඇය එවැනි දැඩි අධිෂ්ඨානයකින් යුතු ව ඔහු ලුහුබැඳීමට පෙලඹ වූ ආකාරය සහ වසර කිහිපයකට පෙර වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා ඇය තුල ඇති වූ අභිප්‍රේරනයන් පිලිබඳ ව ඒවා මතු කරන ප්‍රශ්න නොතිබුනේ වී නම්, ඇගේ ලිංගික මනාපයන්ගේ ස්වභාවය ගැන අදහස් දැක්වීමට ඇවැසි නොවනු ඇත.
1978 දී නැන්සි වුල්ෆර්ත්, ඕපීඊඅයියූ සංගමයෙහි නිලධාරිනියක ලෙස වෘත්තියක් ආරම්භ කල අතර වැඩි කල් නොගොස් එහි කැපී පෙනෙන වර්ධනයක් අත්විඳින ලදී. නිසැකවම, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ඇයගේ ක්‍රියාකාරකම් ඇගේ වෘත්තීය ජීවිතයේ දියුනුවට කිසිදු බාධාවක් නොවීය.
1983 දී ඇය තම ලෝකලයේ පූර්න කාලීන වැටුප් ලබන නිලධාරිනියක බවට පත් වූ අතර අවසානයේ ජාතික සංගමයේ භාන්ඩාගාරික- ලේකම් තනතුර දක්වා ඉහල ගියාය. ඕපීඊඅයියූ නිලධාරිනියක ලෙස ඇයගේ වෘත්තීය ජීවිතයේ උච්චත ම අවස්ථාවේ දී, ඇය වාර්ෂික ව ඩොලර් මිලියන කාලක ආදායමක් ලැබුවා ය.
ටිම් වුල්ෆර්ත් සම්බන්ධයෙන් ගත් කල, සකප ට්‍රොට්ස්කිවාදය පාවාදීමට සහ එහි ප්‍රධාන නායක ජෝසප් හැන්සන්ගේ දෙපිට කාට්ටු භූමිකාවට එරෙහිව 1960 සිට 1974 දක්වා තමන් කල වසර 14 ක අරගලය එක රැයකින් අමතක කලේ ය.
1974 ජුනි මාසයේදී වුල්ෆර්ත්, ජෝසප් හැන්සන්ගේ ට්‍රොට්ස්කිවාද-විරෝධී දේශපාලනය පිලිබඳ දීර්ඝ හෙලිදරව්වක් ලියා තිබූ අතර එය බුලටින් හි “වයෝවෘද්ධ බොරුකාරයෙක් තම භාන්ඩ තොරොම්බල් කරයි” යන මැයෙන් පල විය. නමුත් 1975 පෙබරවාරි-මාර්තු මාසවලදී, හැන්සන් විසින් සංස්කරනය කරන ලද පැබ්ලෝවාදී සඟරාවක් වන ඉන්ටර්කොන්ටිනෙන්ටල් ප්‍රෙස් හි, ඔහු, ජෙරී හීලි සහ ජාත්‍යන්තර කමිටුව පිලිබඳ දීර්ඝ හෙලාදැකීමක් ප්‍රකාශයට පත් කලේ ය. පක්ෂ ආරක්ෂාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හීලිගේ කනස්සල්ල ඔහු විස්තර කලේ 'උමතුවක්' ලෙස ය.
වුල්ෆර්ත් ජාත්‍යන්තර කමිටුවට එල්ල කල ප්‍රහාරයෙන් පසු ව, හැන්සන් ඉන්ටර්කොන්ටිනෙන්ටල් ප්‍රෙස් හි 1975 මාර්තු 24 කලාපයේ 'හීලිගේ අපෝහකයේ රහස' යන මැයෙන් දරුනු අපහාසයක් ලියා පල කලේ ය. එහි ආරක්ෂාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කමිටුවේ ප්‍රතිචාරය උපහාසාත්මක ලෙස සමච්චලයට ලක් කරමින් හැන්සන් මෙසේ ලිවීය:
වුල්ෆර්ත්, හීලිගේ කාර්ය සාධනය “උමතුවක්” ලෙස විස්තර කරයි. සමහර විට වඩාත් නිවැරදිව කිවහොත් “ ” වැනි නූතන යෙදුමක් භාවිතා කිරීම වඩාත් සුදුසු නොවේද?
මෙම යෙදුම ගැලපෙන්නේ නම්, සීඅයිඒ නියෝජිතයන්, පොලිස් නියෝජිතයන් සහ ඔහුගේ ජීවිතයට එරෙහි කුමන්ත්‍රන මෙන්ම ඔහුගේ කෝපය, “ආන්තික ප්‍රතිචාරයන්” සහ අපෝහකයේ අමුතු අනුවාදය පිලිබඳ හීලිගේ උමතුව පිලිබඳ සැබෑ පැහැදිලි කිරීම් සෙවිය යුත්තේ ඔහුගේ දේශපාලනය, දාර්ශනික විධි විද්‍යාව හෝ කැනන් හෝ පැබ්ලෝ වැනි ආදර්ශරූප තුල නොව, මනෝචිකිත්සකයින් විසින් වඩාත් හොඳින් තේරුම් ගන්නා චින්තන ක්‍රියාකාරිත්වය තුල ය.
වුල්ෆර්ත්ගේ නොසැලකිලිමත් හැසිරීම හැන්සන් ආරක්ෂා කිරීම, ප්‍රතිපත්ති විරහිත කල්ලිවාදයේ උපහැරනයක් ලෙස සරල ව බැහැර කල නොහැකි ය. සීඅයිඒ නියෝජිත ඇල්බට් මොරිස් සමඟ ෆීල්ඩ්ස්ගේ සම්බන්ධතාවය වුල්ෆර්ත් සැඟවීම හැන්සන් සාධාරනීකරනය කරමින් සිටියේ, හැන්සන්ගේම සංවිධානය වන සමාජවාදී කම්කරු පක්ෂයට දැවැන්ත රාජ්‍ය කාන්දුවීම් මුල් පිටුවේ ප්‍රවෘත්තියක් වූ අවස්ථාවක ය. ඊටත් වඩා බරපතල කාරනය නම්, හැන්සන්ගේම දේශපාලන අත්දැකීම් තුලින්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ඒජන්තයෙකු විනිවිද ඒමේ ප්‍රතිවිපාක ඔහුට ඉතාමත් ඛේදජනක ආකාරයෙන් එලිදරවු කර තිබීමයි.
1937 සිට 1940 දක්වා හැන්සන් මෙක්සිකෝවේ කොයෝකාන්හි ට්‍රොට්ස්කිගේ ලේකම්වරයෙකු ලෙස සේවය කලේ ය. 1940 අගෝස්තු 20 වන දින ස්ටැලින්වාදී රහස් පොලිසියේ (ජීපීයූ) නියෝජිත රේමන් මර්කේඩර්, ට්‍රොට්ස්කිගේ විලාවට (ගම්බද විශාල නිවසට) ඇතුලු කල ආරක්ෂකයා ඔහු ය. එම භයානක දිනයේ සවස් කාලයේ ට්‍රොට්ස්කිගේ ඝාතනය හැන්සන් දුටුවේ ය. එපමනක් නොව, හතරවන ජාත්‍යන්තරයේ නායකත්වය තුලට එවන ලද ස්ටැලින්වාදී ඒජන්ත මාර්ක් ස්බොරොව්ස්කි විසින් සපයන ලද තොරතුරු භාවිතා කරමින් 1937-38 දී ජීපීයූව සිදුකල ප්‍රමුඛ ට්‍රොට්ස්කිවාදීන්ගේ ඝාතන මාලාව ඔහුට මනා ව හුරුපුරුදු විය.
1975 අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද, හැන්සන්ට දැක් වූ ආරම්භක ප්‍රතිචාරයේදී, කම්කරු විප්ලවවාදී පක්ෂයේ දේශපාලන කමිටුව ප්‍රකාශ කලේ, ආරක්ෂක ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම “කම්කරු පන්තිය තුල විප්ලවවාදී කේඩරයක් පුහුනු කිරීමේදී මුහුනදීමට සිදුවන කේන්ද්‍රීය දේශපාලන ප්‍රශ්නයක් ලෙස දැකිය යුතු” බවයි. මෙය භීතියට කැඳවුමක් නොවේ; මන්ද පක්ෂය තුල “බියමුසු වටාපිටාවක් පවතින විට පොලිස් කාන්දුවීම් මැඩපැවැත්වීම සඳහා එහි සාමාජිකයින් නිසි ලෙස සංවිධානය කල නොහැකි” බැවිනි. ඒ වෙනුවට, ආරක්ෂක ගැටලු වල දේශපාලන වැදගත්කම පක්ෂ සාමාජිකත්වය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා, කවිප නායකත්වය මෙසේ ලිවීය:
හැන්සන්ගේ ලිපිය අපට ට්‍රොට්ස්කිවාදයේ ඉතිහාසයේ වැදගත් පිටු නැවත පෙරලා බැලීමට හැකියාව ලබා දෙයි. අපගේ ව්‍යාපාරය අතීතයේ දී තම සාමාජිකත්වය තුල ආරක්ෂක පුහුනුව නොසලකා හැර, උපහාසයට ලක් කිරීම වෙනුවෙන් අපට ගෙවීමට සිදු වූ මිල ඉමහත් බැවින්, මෙම ඉතිහාසය, සියලු වාසි අවාසි සමග ඉදිරිපත් කිරීමට අපි බැඳී සිටිමු. හැන්සන්ට සඟවා තැබීමට අවශ්‍ය වූ පිටු මේවාය....
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සංශෝධනවාදීන්ගේ ඝෝෂාවට සහ හඬතැලීම් වලට බිය නොවනු ඇත. ඔවුන්ගේ මුහුනු නිල්පැහැ ගැන්වෙන තෙක් ඔවුන්ට අප “කට්ටිවාදීන්” සහ “සංශයවාදීන්” ලෙස හැඳින්විය හැකි ය. මෙම ලේබල් භාවිතා කිරීමෙන්, ඔවුන් ඇත්ත වශයෙන් ම ජාත්‍යන්තර කමිටුවේ මූලධර්ම සඳහා වන අරගලයට සහ අපගේ කේඩරවල විනය සහ ආරක්ෂක සුපරීක්ෂාකාරිත්වය කෙරෙහි එහි අවධානයට පහර දෙති. හැන්සන්ගේ ජාත්‍යන්තර කන්ඩායම්වල ලක්ෂනය වන, මධ්‍යම පාන්තික මංපහරන්නන් සහ ධීර-වීරයින් සඳහා අපි සූදු-පොලක් ගොඩනඟනවා නොවේ. එම මාර්ගය සීඅයිඒ හෝ පොලිසියේ කාන්දුවකට විවෘත ආරාධනයකි; පොලිස් ආයතන ඉතා කැමැත්තෙන් ක්‍රියාත්මක වන්නේ එවැනි කොටස් අතර ය.
හැන්සන්ට ආරක්ෂක ප්‍රශ්නය සැඟවීමට අවශ්‍ය ය: අපගේ ව්‍යාපාරය පුහුනු කිරීමේදී සහ ගොඩනැගීමේදී එය උසස් කිරීමට අපට අවශ්‍ය ය. වුල්ෆර්ත්ට එරෙහි ව පියවර ගත්තේ ඇයි සහ අවශ්‍යතාවයක් ඇති වුවහොත් අනාගතයේ දී ඒ හා සමාන පියවර නැවත ගනු ලබනු ඇත්තේ ඇයි යන්න පැහැදිලි කිරීම සඳහා ට්‍රොට්ස්කිවාදයේ ඉතිහාසයේ පිටු නැවත පෙරලා බැලීම අවශ්‍ය යැයි අපට හැඟෙන්නේ එබැවිනි.
ප්‍රකාශය පහත නිවේදනයෙන් අවසන් විය:
ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය සහ හැන්සන් වැනි පුද්ගලයින්ගේ භූමිකාව පිලිබඳ ගැඹුරු විමර්ශනයක් සඳහා සම්පත් සපයනු වස් විශේෂ අරමුදලක් ආරම්භ කල යුතු බව ජාත්‍යන්තර කමිටුව හයවන ලෝක සම්මේලනයට නිර්දේශ කරයි.
මාසයකට පසු, ජාත්‍යන්තර කමිටුවේ හයවන සම්මේලනය මැයි 19 සිට මැයි 25 දක්වා රැස්වූ අතර, එහි දී, සෝවියට් ස්ටැලින්වාදී නිලධරයේ සහ අධිරාජ්‍යවාදී රාජ්‍යයන්ගේ ඒජන්තයින් හතරවන ජාත්‍යන්තරයට කාන්දුවීම සහ 1940 අගෝස්තු මාසයේදී එහි නිර්මාතෘවරයාගේ ඝාතනයෙන් කුලු ගැන්වුනු හතරවන ජාත්‍යන්තරයට එරෙහි කුමන්ත්‍රනය පිලිබඳ ව විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා ජෙරී හීලි විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් නිල වශයෙන් පිලිගත්තේ ය.
එම යෝජනාව සම්මත වන විට, ට්‍රොට්ස්කි ඝාතනය ගැන, හතරවන ජාත්‍යන්තරය තුල ඔහුගේ ඝාතනයෙන් පසු දිනවල පුලුල් ලෙස වාර්තා වූ දේට වඩා වැඩි යමක් දැන සිටියේ නැත. නිල ආඛ්‍යානය වූයේ මෙයයි: ජීපීයූ ඝාතකයෙකු කොයෝකාන්හි විලාවට ප්‍රවේශ වීම සඳහා සිල්වියා ඇගෙලොෆ් නම් තරුන හා සැක කල නොහැකි ට්‍රොට්ස්කිවාදිනියක සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන තිබුනි.
ඉන් පසු වසරවල දී මතු වූ නව තොරතුරු—ඝාතකයාගේ සැබෑ නම වන රේමන් මර්කාඩර් සහ හතරවන ජාත්‍යන්තරය තුල ක්‍රියාත්මක වන ස්ටැලින්වාදී නියෝජිතයින්ගේ ජාලය පිලිබඳ ව—අනාවරනය වූයේ, මෙක්සිකෝවේ ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතු සමාජවාදී කම්කරු පක්ෂය විසින් ගන්නා ලද කිසිදු උත්සාහයකට සම්බන්ධ නොවී පැවැත්වුනු පරීක්ෂන මගිනි. සියලු අභිප්‍රායන් සහ අරමුනු සහිත ව, සකප ට්‍රොට්ස්කි ඝාතනයේ තත්වයන් පිලිබඳ කිසිදු ස්වාධීන පරීක්ෂනයක් පැවැත්වීම අතහැර දැමුවා පමනක් නොවේ. එය, 1950 ගනන්වල සහ 1960 ගනන්වල මුල් භාගයේ ප්‍රසිද්ධියට පත් වූ තොරතුරු නොසලකා හැර යට ගැසීමට උත්සාහ කලේය.
ට්‍රොට්ස්කිට එරෙහි කුමන්ත්‍රනයට අදාල තොරතුරු සකප විසින් යට ගැසීමට හේතු දෙකක් තිබුනි. පලමුවැන්න නම්, සමාජවාදී කම්කරු පක්ෂයේ ප්‍රධාන නායකත්වයට ඒජන්තයින් රිංගා ගැනීම සාක්ෂි මගින් පෙන්වා දී තිබූ අතර එය හෙලිදරව් කිරීමට තර්ජනය කිරීම යි. දෙවනුව, සහ දේශපාලන දෘෂ්ටි කෝනයකින් ඊටත් වඩා සැලකිය යුතු කාරනය නම්, ස්ටැලින්වාදයේ ප්‍රති-විප්ලවවාදී භූමිකාව හෙලිදරව් කිරීම, ස්ටැලින්වාදී සංවිධාන සමඟ සංහිඳියාවක් ඇති කර ගැනීමට පැබ්ලෝවාදී සංවිධාන දැරූ උත්සාහයන්ට වල කැපීම යි.
එක්සත් ජනපද ජාතික ලේඛනාගාරයේ තැන්පත් කර ඇති රහසිගත ලිපිගොනු වෙත ප්‍රවේශය ලබා ගත් ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරයේ විමර්ශනය, හැන්සන් ජීපීයූ හි ඒජන්තයෙකු සහ එෆ්බීඅයි සඳහා තොරතුරු සපයන්නෙකු ලෙස චෝදනා කලේ ය. දිගු කලකට පෙර මුද්‍රා තැබූ ප්‍රධාන ජූරි පිටපත් ඇතුලු අනෙකුත් ලේඛන, 1938 සිට 1947 දක්වා ජේම්ස් පී. කැනන්ගේ පුද්ගලික ලේකම් ව සිටි සිල්වියා කැල්ඩ්වෙල්, සකප හි ජාතික කාර්යාලයෙන් ජීපීයූ වෙත තොරතුරු රාශියක් සැපයූ ස්ටැලින්වාදී ඒජන්තයෙකු බවට තීරනාත්මක ලෙස ඔප්පු කලේ ය.
ජාත්‍යන්තර කමිටුව විසින් පවත්වන ලද විමර්ශනයට සකප සහ ජාත්‍යන්තර පැබ්ලෝවාදී ව්‍යාපාරයේ එහි සහයෝගිතාකරුවෝ වියරු හෙලාදැකීම් එල්ල කරන ලදහ. ජාත්‍යන්තර කමිටුව විසින් අනාවරනය කරන ලද ලේඛන වඩාත් නින්දිත වන තරමට, පැබ්ලෝවාදීන්ගේ හෙලාදැකීම් වඩාත් අසීමිත විය.
ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳ විමර්ශනය, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට එරෙහි ව ස්ටැලින්වාදී සහ අධිරාජ්‍යවාදී රාජ්‍ය කුමන්ත්‍රන පිලිබඳ දැනුම බෙහෙවින් පුලුල් කලේ ය. එහි කාර්යය දශක ගනනාවක් තිස්සේ අඛන්ඩ ව සිදු වෙමින් පවතින අතර, එහි මෑත කාලීන පර්යේෂන මගින් මර්කාඩර්ට ට්‍රොට්ස්කිගේ නිවසට විනිවිද යාමට හැකියාව ලබා දුන් කාන්තාව වන සිල්වියා ඇගෙලොෆ්, ජීපීයූ ඒජන්තවරියක් බවට වන සියලු සාධාරන සැකයන්ගෙන් ඔබ්බට තහවුරු කරන තොරතුරු අනාවරනය කර ගෙන ඇත.
විමර්ශනය ආරම්භ කිරීමෙන් වසර පනහකට පසුවත්, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය දැඩි සමකාලීන අදාලත්වයක් රඳවා ගනී. වේගවත් වන අධිරාජ්‍යවාදී ප්‍රතිවිප්ලවය මධ්‍යයේ, ධනේශ්වර රාජ්‍යය සහ එහි ආයතන කම්කරු පන්තියට සහ සමාජවාදී ව්‍යාපාරයේ එහි වඩාත්ම දේශපාලනික ව සවිඥානික පෙරටු බලඇනියට එරෙහි ව, 1930 ගනන්වල භාවිතා කරන ලද කෲරත්වය සහ ප්‍රචන්ඩත්වය ඉක්මවා යන පියවරයන් යොදවනු ඇත. සියලු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පූර්න සහයෝගය ඇති ව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරනු ලබන ජන සංහාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ, පාලක ප්‍රභූන් ඕනෑ ම අපරාධයක් සිදු කිරීමට නොපැකිලෙන බවයි.
2025 අගෝස්තු 20 වන දින ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 85 වන සංවත්සරය සනිටුහන් කරනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙම සංවත්සරය සමරනු ලබන්නේ ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ ඓතිහාසික විමර්ශනයේ සොයාගැනීම් සහ සමකාලීන දේශපාලන වැදගත්කම සමාලෝචනය කරන ජාත්‍යන්තර රැස්වීම් සමඟිනි.
වැඩිදුර තොරතුරු සඳහා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය” යන විශේෂාංග පිටුවට පිවිසෙන්න.