ඉදිරිදර්ශන

ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වනු!

[මෙය Oppose the imperialist war on Iran! මාතෘකාවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

2025 ජුනි 13 සිකුරාදා ඊශ්‍රායලය, ඉරානයේ අගනුවර වන ටෙහෙරානයට පහරදීමේදී නේවාසික පරිශ්‍රයක සිදුවූ පිපිරීමකින් ගොඩනැගිල්ලක් හානිවී ඇති ආකාරය. (AP ඡායාරූපය/වහීඩ් සලේමි) [AP Photo]

බ්‍රහස්පතින්දා සවස, අන්ධකාරයට මුවා වී, ඊශ්‍රායලය ඉරානයට දැවැන්ත ගුවන් හා මිසයිල ප්‍රහාරයක් දියත් කරමින්, ගුවන් ආරක්ෂක, න්‍යෂ්ටික බලාගාර, ප්‍රධාන හමුදා නිලධාරීන් සහ අනදෙන මධ්‍යස්ථාන ඉලක්ක කොට පහර දුන්නේය.

1980 ගනන්වල ඉරාන-ඉරාක යුද්ධයෙන් පසු ඉරානයට එල්ල වූ මෙම දරුනුතම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් 300 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ඊස්‍රායලය, න්‍යෂ්ටික විද්‍යාඥයින් හය දෙනෙකු සහ ඉරාන හමුදා මානඩලික ප්‍රධානියා සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අනදෙන නිලධාරියා ඇතුලු ඉහල පෙලේ හමුදා නිලධාරීන් 20 දෙනෙකු ඝාතනය කලේ ය.

ඉරානය පාර්ශවයෙන් කිසිදු ප්‍රකෝපකිරීමකින් තොරව ටෙහෙරානයට එල්ල කල ඊශ්‍රායලයේ නීති විරෝධී ප්‍රහාරය, අධිරාජ්‍යවාදී ආක්‍රමනයේ නීච ක්‍රියාවක් ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් තරයේ ම හෙලා දකිනු ලබයි. දැනටමත් ගාසා තීරයේ මිලියන 2 ක ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරමින් වඩ වඩාත් උමතුව සිටින ඊශ්‍රායල තන්ත්‍රය, දැන් හිතාමතාම එහි ප්‍රමානය මෙන් 10 ගුනයක් විශාල රටක් සමඟ යුද්ධයක් අවුලුවා ඇත; එය සමස්ත කලාපයටම විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරන තර්ජනයකි.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනකින් එල්ලවිය හැකි තර්ජනයකින් 'ආත්මාරක්ෂාව' සහතික කර ගැනීමට ක්‍රියා කල බවට ඊශ්‍රායලය කරන ප්‍රකාශය, විකාර සහ නග්න වංචාවකි. ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් අත්පත් කරගත් න්‍යෂ්ටික අවි ඊශ්‍රායලය සතුව ඇති බව ප්‍රසිද්ධ කරුනකි.

ප්‍රහාරයට පෙර, ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ධවල මන්දිරය සමඟ සාකච්ඡාවල නිරත විය. ප්‍රහාරයට පෙර දිනවල, එක්සත් ජනපදය ඇතුලු සෑම ප්‍රධාන අධිරාජ්‍යවාදී ආන්ඩුවක්ම, ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරයකට විරුද්ධ බව ප්‍රකාශ කරමින්, ඒ වෙනුවට සාකච්ඡාමය විසඳුමක් ඉල්ලා සිටියේ ය.

එක්සත් ජනපදයේ පූර්ව දැනුම හා අනුග්‍රහය ඇතිව ඊශ්‍රායලය ටෙහෙරානයට මිසයිල වර්ෂාවක් පතිත කිරීමට පැය කිහිපයකට පෙර, ඉරිදා ඉරානය සමඟ නව සාකච්ඡා වටයක් නිවේදනය කිරීමට පවා එක්සත් ජනපදය දුරදිග ගියේය. එසේ වුවද , පැය 24 ක් තුල, ධවල මන්දිරය ඉරානයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීමට විරුද්ධ බව වාචිකව ප්‍රකාශ කිරීමේ සිට එම ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ ප්‍රීතියට පත්වීම දක්වා ගමන් කලේය.

සිකුරාදා වෝල් ස්ට්‍රීට් ජර්නලය විසින් එක්සත් ජනපදයට ප්‍රහාර පිලිබඳ 'පෙර සූදානමක්' ගැන දැනුම්දීමක් ලැබී ඇත්දැයි විමසූ විට, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිලිතුරු දුන්නේ, 'පෙර සූදානමක්? එය පෙර සූදානමක් නොවේ. අපි දන්නවා මොකක්ද වෙන්නේ කියලා.'

යථාර්ථයේ දී, ඊනියා “සාකච්ඡා” යනු, ඉරානයේ හමුදා නායකයින් ඔවුන්ගේ නිවෙස් තුලදීම මරා දැමීමට ඊශ්‍රායලයට අවස්ථාව ලබා දීම සඳහා නිර්මානය කරන ලද ද්‍රෝහී ප්‍රෝඩාවකි. බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඊශ්‍රායලයේ ප්‍රහාරයෙන් ඉලක්ක කර, ඝාතනයට ලක් වූවන් අතර ඉරාන න්‍යෂ්ටික සාකච්ඡාකරුවෙකු වන අලි ෂම්කානි ද විය.

එක්සත් ජනපද සහ ඊශ්‍රායල නිලධාරීන් උපුටා දක්වමින් ඇක්සියෝස් සිකුරාදා වාර්තා කලේ, “ට්‍රම්ප් සහ ඔහුගේ සහායකයින් ප්‍රසිද්ධියේ ඊශ්‍රායල ප්‍රහාරයකට විරුද්ධ වන බව මවාපෑමක් පමනක් කල නමුත් පෞද්ගලිකව විරුද්ධත්වය ප්‍රකාශ කලේ නැති බවයි . 'අපට පැහැදිලි එක්සත් ජනපද කොල එලියක් තිබුනා' එක් අයෙක් පැවසීය. කිසිදු ප්‍රහාරයක් අහලකවත් නැති බව ඉරානයට ඒත්තු ගැන්වීම සහ ඊශ්‍රායලයේ ඉලක්ක ලැයිස්තුවේ සිටින ඉරාන ජාතිකයන් නව ස්ථානවලට නොයන බවට වග බලා ගැනීම එහි ඉලක්කය වූ බව ඔවුහු පවසති. ”

ඔවුන් මිසයිල ප්‍රහාරවලට ගොදුරු විය හැකි සිවිල් නිවාසවල සිටියදී ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ලවීම ගැන ඇමෙරිකානු මාධ්‍ය විසින් විවෘතවම සංඥාකර තිබියදී පවා, ඉරානය තම නායකත්වයේ සැලකිය යුතු කොටසක් ඝාතනය කිරීමට ඉඩ හැරෙන පරිදි ක්‍රියාකිරීම ඉරාන පාලන තන්ත්‍රයේ උපායමාර්ගික බංකොලොත්භාවය පිලිබඳ තරයේම හෙලිදරවු වීමකි. ට්‍රම්ප් පරිපාලනයේ යහපත් විශ්වාසය කෙරෙහි පාලන තන්ත්‍රය ඉමහත් විශ්වාසයක් තැබීය. 2020 ජනවාරි මාසයේදී ජෙනරාල් සුලෙයිමානි ඝාතනයට ට්‍රම්ප්ගේ අවසරය ලැබීම ඇතුලුව සිදුවී ඇති සියල්ල නොසලකා හරිමින් සහ අමතක කරමින්, සාකච්ඡා පැවැත්වෙන අතරතුර එක්සත් ජනපදය ඊශ්‍රායලය පහර දීමකින් වලක්වනු ඇතැයි ඉරාන නායකයින්ගේ ඒත්තු ගැනීම විය. අමුත්තෙකුගෙන් රසකැවිලි ලබා ගන්නා දරුවෙකු මෙන් ඔවුන් සරල උපක්‍රමයකට රැවටුනි.

නමුත් ඉරාන පාලන තන්ත්‍රයේ පුදුම එලවන බොලඳකම පිටුපස දේශපාලනයක් තිබේ. තමන්ගේම කම්කරු පන්තිය ගැන භීතියට පත්ව සිටින ඉරාන ධනපති ප්‍රභූව, ඉරානයේ විනාශය සහ යටත් කිරීම සඳහා පූර්නව කැපවීම පෙන්නුම් කර තිබෙන අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ ගිවිසුමක් සඳහා මංමුලා සහගත ලෙස උත්සාහ කරයි.

ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයේ ඇතැම් අංශ ගැන යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් මෑතකදී කල විවේචන නොතකා, ඉරානයට එල්ල කල ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඔවුන්ගේ සැබෑ ස්ථාවරය හෙලි වී තිබේ. සැලසුම් කල ප්‍රහාරය පිලිබඳව, නෙතන්‍යාහු චාන්සලර් මර්ස්ට දැනුම් දුන් බව ජර්මානු රජය නිවේදනය කලේය. ප්‍රංශ සහ ජර්මානු ආන්ඩු දෙකම ඊශ්‍රායලයට “තමන්ව ආරක්ෂා කර ගැනීමේ අයිතිය” තහවුරු කරමින් සහ ඉරානයේ එකටෙක කිරීමේ ප්‍රහාර හෙලාදකිමින් ප්‍රකාශ නිකුත් කලෝය.

ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය, 2023 ඔක්තෝබර් 7දා දින සිදුවීම්වලින් පසුව තීව්‍රවූ අධිරාජ්‍යවාදී ආධිපත්‍යය යටතේ 'නව මැද පෙරදිගක්' නිර්මානය කිරීම සඳහා දිගුකාලීන එක්සත් ජනපද-ඊශ්‍රායල ධාවනයේ සෘජු ප්‍රතිඵලයකි. එය කල හැකි වූයේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පරිපාලන දෙකම යටතේ, දශක ගනනාවක් තිස්සේ ඊශ්‍රායලයට එක්සත් ජනපදයෙන් ලැබී ඇති දැවැන්ත දේශපාලන, මිලිටරි සහ ඔත්තු සේවා ආධාර මගිනි.

පෙන්ටගනය සහ ඊශ්‍රායල හමුදාව දිගු කලක් තිස්සේ ඉරානයට සහ එහි න්‍යෂ්ටික වැඩසටහනට පහර දීමක් සැලසුම් කර එම පහර යුද අභ්‍යාස ලෙස පවත්වා සුදානම් කර තිබේ. එවැනි ප්‍රහාරයකට අවසර දෙන බවට ට්‍රම්ප් නැවත නැවතත් පොරොන්දු වී ඇත.

මැද පෙරදිග ප්‍රධාන ඇමරිකානු සගයෙකු වූ ෂා මොහොමඩ් රේසා පහ්ලවිගේ ආඥාදායකත්වය පෙරලා දැමූ 1979 ඉරාන විප්ලවයේ ප්‍රතිඵලය ඇමරිකානු අධිරාජ්‍යවාදය කිසි විටෙකත් පිලිගත්තේ නැත. 1980 දශකය පුරාම ඉරානයට එරෙහි කුරිරු යුද්ධයේදී වොෂින්ටනය ඉරාකයට සහාය දැක්වූයේය. එක්සත් ජනපදය 1990-91 දී ඉරාකයට එරෙහිව යුද්ධ කරමින් සහ 2003 දී එරට ආක්‍රමනය කරමින් ඉරාකයට එරෙහිව හැරුනු විට පවා, තමන්ට යටත් තන්ත්‍රයක් ටෙහෙරානයේ ස්ථාපනය කිරීම ආම්‍රිකාවේ කේන්ද්‍රීය අරමුනක් ලෙස පැවතුනි.

අද වන විට, ඉරානය, ඇමරිකානු ගෝලීය ආධිපත්‍යයට ප්‍රධාන බාධකයක් ලෙස රුසියාව, චීනය සහ උතුරු කොරියාව සමඟ කාන්ඩ ගැසී සිටි. වොෂින්ටනය ඕනෑම වියදමක් දරා එය තුරන් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

මෙම ප්‍රහාරයේ අවසාන ඉලක්කය වන්නේ, මැද පෙරදිග අධිරාජ්‍යවාදී ආධිපත්‍යය පිහිටුවීමයි - එය ලෝකයේ වැදගත්ම තෙල් අපනයන කලාපය වන අතර, පර්සියානු ගල්ෆ් ඇතුලු තීරනාත්මක වෙලඳ මාර්ග සහ උපායමාර්ගික මුරපොලවල්වල නිවස්න ද වේ. රුසියාව සහ චීනය යන දෙඅංශයේම ප්‍රධාන සගයෙකු වන ඉරානය යටත් කර ගැනීමෙන් එක්සත් ජනපදය තම ප්‍රධාන උපායමාර්ගික ප්‍රතිවාදීන් සමඟ සෘජු ගැටුමකට සූදානම් වීම සඳහා තම ගෝලීය තත්ත්වය ශක්තිමත් කිරීම අරමුනු කරයි.

ඉතිහාසය පෙන්වා දී ඇත්තේ අධිරාජ්‍යවාදී යුද්ධ අනපේක්ෂිත හා විනාශකාරී ප්‍රතිවිපාකවලට තුඩු දෙන බවයි. එක්සත් ජනපද ඉරාක ආක්‍රමනය කලාපීය ව්‍යසනයක් මුදා හැරියා සේම, ඉරානයට එරෙහිව ඊශ්‍රායලයේ ප්‍රහාරය ද එසේම වනු ඇත. මැද පෙරදිග ජනතාව තම රටවල් අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේ පොරපිටි බවට පත් කරන විට නිෂ්ක්‍රීයව නොසිටිනු ඇත.

ජාත්‍යන්තර කම්කරු පන්තිය ප්‍රතිචාර දැක්විය යුත්තේ, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ එයට හේතු වන ධනේශ්වර ක්‍රමයට එරෙහිව සවිඥානික ව්‍යාපාරයක් ගොඩනැගීමෙනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ඉරානය අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයෙන් සහ යටත් කර ගැනීමෙන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටී. නමුත් මෙය කිසිදු ධනේශ්වර රාජ්‍යයක සහාය හරහා කල නොහැකිය. ඒ සඳහා මැද පෙරදිග සහ මුලු ලෝකයේම කම්කරු පන්තිය, සියලු වාර්ගික, වාර්ගික සහ ආගමික බෙදීම්වලට එරෙහිව, විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත ස්වාධීනව බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.

Loading