ආන්ඩුව සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති නායක රවී කුමුදේශ්ගේ වැඩ තහනම් කරයි

පසුගිය වසරේ ඔක්තෝබරයේ පැවැත්වුනු මහ මැතිවරනයට තරඟ කිරීමේ දී, ආයතන සංග්‍රහය උල්ලංඝනය කලේ යයි කියාපාමින්, රාජ්‍ය සෞඛ්‍ය අංශයේ ප්‍රමුඛ වෘත්තීය සමිති නායකයෙකු වන රවී කුමුදේශ්ගේ වැඩ තහනම් කිරීම, සමාජවාදී සමානතා පක්ෂය (සසප) දැඩි ලෙස හෙලා දකියි.

රවී කුමුදේශ් [Photo by Facebook/Ravi Kumudesh]

විකිරනවේදීන්, රසායනාගාර තාක්ෂනවේදීන්, ඖෂධවේදීන්, ඖෂධ සංයෝජකයින්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා නිලධාරීන් හා සෞඛ්‍ය සහායකයින් නියෝජනය කරන සංවිධාන 72ක එකතුවක් වන සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ (සෞවෘසස) කැඳවුම්කරු වන්නේ කුමුදේශ් ය. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ (සෞවෘස) සභාපති වන්නේ ද ඔහු ය. මේ සියලු සංවිධාන සෞඛ්‍ය සේවකයින් දස දහස් ගනනක් නියෝජනය කරයි.

සමහර රාජ්‍ය අංශ සේවකයින් දේශපාලන ක්‍රියාකාරීත්වයෙහි නිරතවීම වලක්වන නීතිරීති උල්ලංඝනය කර ඇති බවත්, 2024 ඔක්තෝබර් 10දා සිට වැඩ තහනම් කිරීම බලපැවැත්වෙන බවත්, ජුනි 9දා දාතමින් යුත් ලිපියක් මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කුමුදේශ්ට දැනුම් දුන්නේ ය. අලුතින් තනන ලද දේශපාලන පක්ෂයක් වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් මහ මැතිවරනයට තරඟ කිරීම සඳහා ඔහු නාම යෝජනා අත්සන් කල දිනය ඔක්තෝබර් 10 විය. වැඩ තහනම් කාලය තුල, ඔහුට වැටුප් හෝ අනෙකුත් හිමිකම් නො ලැබෙන අතර, එම කාලය තුල ඔහුට රටින් පිටවීම ද තහනම් ය.

මෙයට සැබෑ හේතුව චෝදිත පරිදි ඔහු ආයතන සංග්‍රහය උල්ලංඝනය කිරීම නො වේ. කුමුදේශ්ගේ වැඩ තහනම් කිරීම, සියලු වෘත්තීය සමිති නායකයන් ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල සමග පෙලගැසී, ඔවුන්ගේ සාමාජිකයින් මෙල්ල කරගත යුතු බවට දෙන පනිවුඩයකි. මහජනතාවට බලපාන නිසා කිසිදු වැඩ වර්ජන ක්‍රියාවක් කැඳවන්නේ නැති බවට ජවිපෙ ට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින් ප්‍රසිද්ධියේ ගෙන ඇති තීරනය එය යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් විධානය කරන ලදු ව, ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින ම්ලේච්ඡ කප්පාදු පියවරයන්ට එරෙහි කවර හෝ විරුද්ධත්වයක් නො ඉවසන බවට සමස්ත කම්කරු පන්තියටත්, විශේෂයෙන් සෞඛ්‍ය සේවකයින්ටත් තියුනු අනතුරු ඇඟවීමක් ලෙස කුමුදේශ්ගේ වැඩ තහනම පවතී.

ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ප්‍රදර්ශනය කර ඇත්තේ, එහි පිලිවෙත් කෙරෙහි ඉතා සුලු විවේචනයක් පවා නො ඉවසන බව යි. ඖෂධ හිඟය, වෛද්‍ය උපකරන හා කාර්ය මන්ඩලය නැති කම වැනි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර ප්‍රශ්න පිලිබඳ ව කුමුදේශ් මෑත දී සීමිත විවේචන ඉදිරිපත් කලේ‍ ය.

කුමුදේශ්ගේ වැඩ තහනම් කෙරුනේ, වෛද්‍ය රසායනාගාර ශිල්පීන් ඇතුලු සෞඛ්‍ය වෘත්තිකයින් දහස් ගනනකගේ සහභාගීත්වයෙන් ඔහුගේ සෞවෘස වැඩ වර්ජනයක නිරත වූ ආසන්නයේ ය. සෞඛ්‍ය කම්කරුවන් මුහුන දෙන කොන්දේසි අරබයා වැඩෙන විරුද්ධත්වය සීමා කිරීම සඳහා සෞවෘස නායකයින් මෙම වර්ජනය කැඳවූ අතර, වෘත්තීය සමිති නිලධරයන්ගේ පාලනයෙන් පිටතට එවන් ඕනෑ ම සීමිත ක්‍රියාවක් පැන යා හැකි යයි බිය වන ආන්ඩුව එවන් ක්‍රියා මැඩීමට ඉලක්ක කරමින් සිටී.

මාධ්‍ය හමුවක දී, සෞවෘස සම-කැඳවුම්කාර චානක ධර්මවික්‍රම, වැඩ තහනම් කිරීමට විරෝධය පලකරමින් එය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ය. සෞඛ්‍ය අංශයේ ප්‍රශ්න විසඳීම පසෙක තබා වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීම ගැන ඔහු ආන්ඩුව හෙලා දුටුවේ ය. කුමුදේශ්, මැතිවරනයට තරඟ කිරීමට අවසර ලබාගැනීම සඳහා අනුගමනය කල යුතු ක්‍රමවේදයන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලිඛිත ව විමසා තිබුනු බව ධර්මවික්‍රම කීවේ ය. ඔහු මැතිවරනයට තරඟ කලේ ඔවුන්ගේ උපදෙස්වලට අනුව ය.

මැතිවරනයට පෙර ජවිපෙ, “විශේෂයෙන් ම සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුලු වෘත්තීය සමිති ව්‍යාපාරය සමග එකට ඒකාබද්ධ ව ගමන්ගත්“ බව කී ඔහු, බලයට පැමිනීමෙන් පසු ඒවාට එරෙහි ව හැරී සිටීම ගැන ඔහු කනස්සල්ල පල කලේය.

ඊලඟට සෞවෘස නායකයා කලේ, සිය මාවත වෙනස් කරන ලෙස දැන් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ඇමතිවරුන් බවට පත් වී සිටින ජවිපෙ වෘත්තීය සමිති නායකයින්ට ආයාචනා කිරීමයි: “ඔබ වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල නිරත වූයේ, දේශපාලනික ප්‍රතිඵල බලාගෙන ද නැතහොත් මහජනතාවගේ රැකියා හා ප්‍රතිලාභ සම්බන්ධ ජයග්‍රහන වෙනුවෙන්දැයි ඔබ යලිත් සිතා බැලිය යුතු' යැයි ඔහු පැවසුවේ ය.

ධර්මවික්‍රම මෙලෙස මතක්කර දුන්නේ කලින් පැවති ආන්ඩු සමයේ, තමන් හා ජවිපෙ වෘත්තීය සමිති නායකයින්, කම්කරුවන්ගේ සීමිත ක්‍රියා කැඳවූයේ, ඔවුන්ගේ අයිතීන් සඳහා අරගලය බලමුලුගැන්වීමට නො ව ඔවුන්ගේ විරුද්ධත්වය සීමා කිරීමට බවයි. ජවිපෙ එවන් ක්‍රියා ප්‍රයෝජනයට ගත්තේ, පැරනි පාලන තන්ත්‍රයන්ට එරෙහි මහජන කෝපය ගසාකෑමට ය.

කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන්ගේ කෝපය ගසාකමින් දැන් බලයට පැමින සිටින ජවිපෙ/ජාජබ මහජන විරෝධය මඩිමින් කලින් ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල ම වේගවත් කරමින් අඛන්ඩ ව ගෙන යයි.

කුමුදේශ්ට එරෙහි ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ක්‍රියාව හෙලාදකින අතර, ඔහුගේ ධනපති-ගැති, ජාමූඅ ට පක්ෂ දේශපාලනයෙන් සසප මුලුමනින් ම වෙන්වෙයි. කුමුදේශ් මැතිවරනයට තරඟ කල එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය, අනෙකුත් ධනේශ්වර පක්ෂවලින් මූලික ව වෙනස් නැත. මූලික ව එය ජාමූඅ කප්පාදුව සමග ගැලපෙන ආර්ථික පිලිවෙත් ම බෙදාහදා ගනී.

දිසානායක ආන්ඩුවේ ජාමූඅ න්‍යාය පත්‍රය සමග කුමුදේශ්ට ද මූලික මතභේදයක් නැත. රුදුරු කොන්දේසි පැනවෙනු ඇති වුවත්, හදිසි අරමුදල් පතා ජාමූඅ වෙත යාමට තමන් “පුද්ගලික ව“ සහයෝගය දෙන බව, 2022 ජුනි මාසයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කල සාකච්ඡාවක දී කුමුදේශ් කීවේ ය.

ඔහුගේ වෘත්තීය සමිතිය සෞඛ්‍ය කම්කරුවන්ගේ සීමිත ක්‍රියා කැඳවුම් කල සෑම අවස්ථාවක දී ම, එහි ඉලක්කය වූයේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි කම්කරු විරුද්ධත්වය සීමා කිරීම යි. හෙද-හෙදියන් හා අතුරු වෛද්‍ය සේවකයින් ඇතුලු රාජ්‍ය සෞඛ්‍ය අංශයේ සේවකයින් 30,000ක් පමන, ආන්ඩුවේ අයවැය යෝජනා මගින් ඔවුන්ගේ වෘත්තීය දීමනා කප්පාදු කිරීමට විරුද්ධ ව, මාර්තු 17 හා 18 දිනවල ජාතික-පරිමාන විරෝධතාවකට සහභාගි වූ හ.

එහෙත් ආන්ඩුවේ බොරු පොරොන්දු පිලිගනිමින් කුමුදේශ් හා අනෙකුත් වෘත්තීය සමිති නිලධරයෝ එම විරෝධතා උද්ඝෝෂනය අත්හැර දැමූ හ . “සෞඛ්‍ය කම්කරුවන්ට ඔවුන්ගේ දීමනාවලින් කොටසක් අහිමි වෙතත්, රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් වූ වහා ම කලින් පැවති අනුපාත ප්‍රතිස්ථාපනය කිරීමට ආන්ඩුව පොරොන්දු වී තිබෙනවා“ යි කුමුදේශ් කීවේ ය.

2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීමෙන් පසු ව, ජූලි මාසයේ දී රටේ පාලක පන්තිය එක්සත් ජනපද-ගැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ ස්ථාපිත කිරීමෙන් අනතුරු ව, වික්‍රමසිංහ පාලන තන්ත්‍රයට මුක්කුව දීමේ දී කුමුදේශ් තීරනාත්මක භූමිකාවක් ඉටුකලේ ය.

වැඩිදුර වැඩ වර්ජන වැලැක්වීම සඳහා තමන්ට හැකි සියල්ල කරන බව පැහැදිලි කරමින්, 2022 අගෝස්තුවේ දී කුමුදේශ්, වික්‍රමසිංහ සමග රැස්වීමක් පැවැත්වී ය. ඔහු මෙසේ කීවේ ය: “සෑමවිට ම අරගල කිරීම අපට දරාගන්න බැහැ. අපි සියලු දෙනා එකට එකතු වී කැපකිරීම් කර රට ගොඩනැගිය යුතු කාලය මෙය යි. ඒ වෙනස කල හැක්කේ ඔබතුමාට පමනයි.“

ජාමූඅ ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් සිටි වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි ව කම්කරුවන්ගේ කෝපය වර්ධනය වෙද්දී, කම්කරුවන්ගේ වැඩෙන විරුද්ධත්වය මැඩීමට කුමුදේශ් දැනුවත් ව වැඩකලේ ය. “ඒකාබද්ධ අරගලයකට සහභාගි වන ලෙස අපි කම්කරුවන්ට කැඳවුම් කලොත් සෑම කෙනෙක් ම වීදිවලට එනවා. මේ වර්ගයේ වැඩ වර්ජන කරන්න බැහැ කියා, අපි මහජනයා යටපත් කරගෙන ඉන්නවා.“

මෙලෙස ක්‍රියකල වෘත්තිය සමිති නායකයෙකුට, ජවිපෙ සලකන්නේ මෙසේ නම් තමන්ගේ පන්ති සතුරා ලෙස සලකන කම්කරු පන්තිය අරගලවලට එනවිට කෙසේ ක්‍රියාකරුනු ඇත්ද?

ආන්ඩුවේ කප්පාදු ක්‍රියාවන්ට අවහිරයක් වන කිසිදු පන්ති ක්‍රියාවක් දරාගත නො හැකි තත්ත්වයකට දිසානායක ආන්ඩුව පැමින ඇත. කුමුදේශ් සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගල කොපමන කඩාකප්පල් කරමින් හා වලක්වමින්, ධනපති පාලනයට මුක්කුව දී ජාමූඅ කප්පාදු පියවරයන්ට කීකරුකම පෙන්වා තිබුන ද ඔහුට එරෙහි දඩයම පිටුපස පවතින්නේ ද එම හේතුව ම යි.

ජුනි 9දා කල සැඳහුම්වල දී, සෞවෘස නිලධරයා අනතුරු ඇඟවූයේ, කුමුදේශ්ගේ වැඩ තහනම විසඳීමට ආන්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් නො ගන්නේ නම්, අනෙකුත් වෘත්තීය සමිති පවා ඒකාබද්ධ කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවට යි. එහෙත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට වරද පටවමින්, ආන්ඩුව හා එහි සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කොක්කෙන් ගලවා යැවීමට ඔහු උත්සාහ කලේ ය. “ඇමතිවරයා අලුතින් පත්වුනත්, සෞඛ්‍ය නිලධාරීන් ආන්ඩුව අර්බුදයට යවමින් වැඩ කරනවා“ යි ඔහු කීවේ ය.

ආන්ඩුව කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මතට එල්ල කරන ප්‍රහාරයන්ට විරුද්ධ ව, ඔවුන් බලමුලුගැන්වීමක් වෘත්තීය සමිති නිලධරය කිසි කලක නො කරන නිසා, වෘත්තීය සමිති කරන එවන් ව්‍යාජ අනතුරු ඇඟවීම්වලින් සෞඛ්‍ය කම්කරුවන් නොමග නො යා යුතු ය.

කුමුදේශ්ට එරෙහි සියලු චෝදනා ඉවත් කරගනිමින්, කොන්දේසි විරහිත ව ඔහු යලි සේවයේ පිහිටුවන ලෙස බලකරන්නැයි සසප කම්කරුවන්ට අවධාරනය කරයි. කුමුදේශ්ට එරෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව, තම කප්පාදු පියවරයන්ට එරෙහි පන්ති ක්‍රියා සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කරන බවට දිසානායක ආන්ඩුව කල අනතුරු ඇඟවීමක් ලෙස කම්කරුවන් සිය අවධානයට ගත යුතු ය.

වෘත්තීය සමිති නිලධරයන්ගෙන් හා ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා කම්කරුවන් සූදානම් විය යුතු ය. දැන් අවශ්‍ය වන්නේ, ආන්ඩුවේ හා පාලක පන්තියේ ප්‍රහාරවලට විරුද්ධ ව, සමාජවාදී පිලිවෙත් මත පදනම් වන, ගම්බද දුගීන් රැලි කරගන්නා කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයකි.

Loading