ඔන්ලයින් රැස්වීම: රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් අරගලයේ යෙදෙන මිචෙලින් කම්කරුවන් සඳහා ඉදිරි මාවත

ශ්‍රී ලංකාවේ දකුනු පලාතේ, මිදිගම පිහිටි මිචෙලින් ටයර් කම්හලේ සේවකයින් 1500 ක් පමන රැකියා සුරක්ෂිතභාවය සඳහා සහ සමාගමේ දඩයමට එරෙහිව ගෙන යන අරගලය දැන් තීරනාත්මක අවධියක පවතී. මිචෙලින් කම්කරු අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (කක්‍රිකස) ජුනි 15 වන ඉරිදා සවස 7 ට ඔන්ලයින් රැස්වීමක් පවත්වයි.

2025 මැයි 26 දින මිච්ලින් කම්කරුවෝ කම්හල ඉදිරිපිට උද්ඝෝෂනයක [Photo: WSWS]

තම කර්මාන්ත ශාලාව ඉන්දියාව පදනම් කරගත් සියැට් සමාගමට විකිනීමෙන් පසු ඔවුන්ගේ රැකියා සහ සේවා කොන්දේසි පිලිබඳ අවිනිශ්චිතතාවයක් මධ්‍යයේ මැයි 23 වන දින මිචෙලින් කම්කරුවන් වාඩිලා ගැනීමේ වැඩවර්ජන සහ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කලහ. මිදිගම කම්කරුවන් සාමාජිකයින් වන, පාලක ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස), මිචෙලින් සහ සියැට් සමාගම් දෙකම සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව දැනගත් මිදිගම කම්කරුවෝ අසසේස හි මෙම දරුනු පාවාදීම සම්බන්ධයෙන් කෝපයට පත් ව, වෘත්තීය සමිතියෙන් ස්වාධීනව තම අරගලය ඉදිරියට ගෙන යාමට තීරනය කලහ.

සමාගම සමඟ අසසේස විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ එක් සේවකයෙකුට ගෙවීමට නියමිත රුපියල් 200,000 ක සොච්චම් වන්දි මුදල ප්‍රතික්ෂේප කරමින්, මිචෙලින් කම්කරුවෝ, එක් කම්කරුවෙකුට රුපියල් මිලියන 3 ක වන්දියක්, ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය, ජ්‍යෙෂ්ඨත්වයේ අඛන්ඩතාවය සහ සියැට් හිමිකාරිත්වය යටතේ පවත්නා අනෙකුත් සියලුම ප්‍රතිලාභ පිලිබඳ පැහැදිලි සහතිකයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිති.

නීත්‍යානුකූල කාර්මික ක්‍රියාවන්ට ප්‍රතිචාර වශයෙන්, මිචෙලින් කලමනාකාරිත්වය, කිසිදු පරීක්ෂනයකින් තොරව, සම්පත් කරුනාසේන නම් සේවකයෙකුගේ වැඩ තහනම් කරමින් සහ ප්‍රියංග දිමුතු කුමාර සහ චිරංගිවි සෙනෙවිරත්න යන තවත් සේවකයින් දෙදෙනෙකු සේවයෙන් පහ කරමින්, කම්කරුවන්ගේ උද්ඝෝෂනය බිඳ දැමීම සඳහා දඩයමක් දියත් කර තිබේ. මෙම සේවයෙන් පහ කිරීම්, කම්කරු නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ලද සෘජු ප්‍රහාරයක් ද වේ. මිචෙලින් කම්කරුවන් ඔවුන්ගේ උද්ඝෝෂනයට නව ඉල්ලීමක්–එනම්, දඩයමට ලක් වූ සේවකයින් තිදෙනා වහාම නැවත සේවයේ පිහිටුවීම ද–එකතු කර ඇත.

සමාගම, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කම්කරු නිලධාරීන් සහ අසසේස ජාතික සහ ශාඛා නායකයින් සියලු දෙනාම මිචෙලින් කම්කරුවන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සඳහා වන අරගලය බිඳ දැමීමට පෙල ගැසී සිටිති. මෙම තත්වය තුල, අරගල කරන මිචෙලින් කම්කරුවන්ට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය අතර හැකි තරම් පුලුල් සහයෝගයක් බලමුලු ගැන්විය යුතුය. මිචෙලින් කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා සසප සහ කක්‍රිකසා මෙම ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන ඇත. අපගේ ඔන්ලයින් රැස්වීම එම ව්‍යාපාරයේ තීරනාත්මක පියවරක් වනු ඇත.

මෙම වැදගත් රැස්වීමට සහභාගී වන ලෙස අපි විශේෂයෙන් මිචෙලින් කම්කරුවන්ටත්, අනෙකුත් සියලුම කම්කරුවන්ට සහ තරුනයින්ටත් ආරාධනා කර සිටිමු. සමාගමේ ප්‍රහාර, වෘත්තීය සමිති පාවාදීම් සහ රාජ්‍ය මර්දනයට එරෙහිව මිචෙලින් කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කම්කරු පන්තියේ සහයෝගය බලමුලු ගැන්වීම සඳහා මෙම රැස්වීමේදී ඔබගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය වේ.

රැස්වීම් දිනය සහ වේලාව: ජූනි 15 ඉරිදා, සවස 7 ට

කරුනාකර, නොපමාව පහත සබැඳියෙන් රැස්වීම හා සම්බන්ධ වන්න.

https://us06web.zoom.us/j/81703324487?pwd=PGfxtUQLX7oSkFKb4JUmGt5SkdrbiC.1

Loading