[මෙය Sri Lanka: Michelin workers continue struggle, defying management’s threats යන මැයෙන් 2025 ජූනි 06 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ දකුනු පලාතේ මිදිගම ප්‍රදේශයේ මිචෙලින් ටයර් කර්මාන්තශාලාවේ සේවකයින් විසින් දියත් කර ඇති උද්ඝෝෂනය තීරනාත්මක අවධියක පවතී. පාලක ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවනු ලබන අන්තර්-සමාගම් සේවක සංගමයේ (අසසේස) සහාය ඇතිව කලමනාකාරිත්වය සහ කම්කරු දෙපාර්තමේන්තු ඉහල නිලධාරීහු, රැකියා සුරක්ෂිතභාවය සහ දඩයමට ලක් වූ සගයන් ආරක්ෂා කර ගැනීම සඳහා මිචෙලින් සේවකයින් ගෙනයන සටන බිඳ දැමීමට උත්සාහ කරති.
ඔවුන්ට එරෙහිව ඒකාබද්ධ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුවද, සේවකයෝ තවමත් වැඩ වර්ජනයේ යෙදී සිටිති. සේවකයින්ගේ පෙර කාර්මික ක්‍රියාවන්ට ප්‍රතිචාර වශයෙන් දින කිහිපයක් වසා දැමීමෙන් පසු කලමනාකාරිත්වය බදාදා (04) කම්හල නැවත විවෘත කල විට ඔවුහු නැවත රැකියාවට යාම ප්‍රතික්ෂේප කලහ.
1,500 ක ශ්‍රම බලකායකින් යුතු එම කම්හල ඉන්දියාව පදනම් කරගත් සමාගමක් වන සියැට් (CEAT) වෙත විකුනා ඇති බව ඔවුන්ට දැනගන්නට ලැබුනේ පසුගිය මාසයේ දී ය.
සැබෑ තත්වය නොදැන සිටි කම්කරුවෝ පහත සඳහන් ඉල්ලීම් මත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කලහ: මිචෙලින් සමාගමේ සෑම සේවකයෙකුටම රුපියල් මිලියන තුනක වන්දි මුදලක්, සියැට් විසින් නැවත සේවයේ යෙදවීමෙදී, සියලුම සේවකයින්ගේ සේවය සම්පූර්නයෙන් අඛන්ඩව පවත්වාගෙන යාමට හැකි වීම සහ මෙම කොන්දේසි ලබා නොදුනහොත්, මිචෙලින් විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ, ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීම සඳහා අයදුම් කිරීමට සේවකයින්ට අවසර දීම.
මිචෙලින් සේවකයින් මැයි 23 වන දින ඔවුන්ගේ ක්‍රියාමාර්ගය ආරම්භ කලහ. මෙයට, ඔවුන් තම සේවා මුර සඳහා පැමිනි විට වැඩ නොකර සිටීම, රැස්වීම් පැවැත්වීම සහ කර්මාන්තශාලා පරිශ්‍රයෙන් පිටත විරෝධතා පැවැත්වීම ඇතුලත් විය.
සම්පත් කරුනාසේන යන අයගේ සේවය අත්හිටුවමින් ද, චිරංගිවි සෙනෙවිරත්න සහ ප්‍රියංග දිමුතු කුමාර යන තවත් සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරමින් ද සමාගම ඊට ප්‍රතිචාර දැක්වීය. ඔවුන් සේවයෙන් පහ කරන ලද්දේ, කිසිදු විමර්ශනයකින් තොරව සහ පවතින කම්කරු නීති උල්ලංඝනය කරමිනි. දංයමට ලක් වූ තම සගයන් වහාම සහ කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිමින් කම්කරුවෝ ඊට ප්‍රතිචාර දැක්වූහ. ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ව්‍යාපාරික ගැති ප්‍රතිපත්තිවලට අනුකූල අසසේස නිලධරය මෙම දඩයම සඳහා සම්පූර්නයෙන්ම වගකිව යුතුය.
මිචෙලින් සහ සියැට් අතර හුවමාරු ගනුදෙනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සංවිධානය කරන ලදී. අසසේස නිලධාරීන්, කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කෙසේදැයි ඔවුන්ගෙන් විමසනවා තබා, තම සාමාජිකයින්ට ගනුදෙනුව ගැන කිසිවක් කීවේ හෝ නැත. ඒ වෙනුවට, වෘත්තීය සමිති නායකත්වය මිචෙලින් සහ සියැට් සමඟ අවබෝධතා ගිවිසුමක් (අගි) අනුමත කලේ වෘත්තීය සමිති සාමාජිකයින්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමිනි.
බදාදා, මිචෙලින් කම්කරු නියෝජිතයින් 11 දෙනෙකු තම ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා මිදිගම කර්මාන්තශාලා කලමනාකාරිත්වය හමුවිය. කලමනාකාරිත්වය, නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයෙකුගේ නායකත්වයෙන් යුත් කම්කරු නිලධාරීන්ට සහ අසසේස ශාඛා නායකයින්ට ආරාධනා කල අතර, සමාගමේ ප්‍රධාන කාර්යාල කලමනාකරන නිලධාරීන් අන්තර්ජාලය ඔස්සේ සහභාගී විය.
වැඩ තහනම් කරන ලද සහ සේවයෙන් පහ කරන ලද සේවකයින් නැවත සේවයේ පිහිටුවන ලෙසත්, මිචෙලින්, සියැට් සහ අසසේස නායකයින් විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ පිටපත් සියලුම සේවකයින්ට නිකුත් කරන ලෙසත් කම්කරු නියෝජිතයෝ කලමනාකාරිත්වයෙන් ඉල්ලා සිටියහ. වැඩ තහනම් කරන ලද සහ සේවයෙන් පහ කරන ලද සේවකයින් නැවත සේවයේ පිහිටුවීමේ ඉල්ලීම කලමනාකාරිත්වය එකහෙලා ප්‍රතික්ෂේප කලේය.
සමාගමේ හොරනෑවක් ලෙස ක්‍රියාත්මක වන නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයා, කම්කරුවන් 'නීති විරෝධී වැඩ වර්ජනයක' නිරත වී සිටින බවත්, එය නතර කල යුතු බවත් කියා සිටීම සැලකිය යුකුය.
මිදිගම කලමනාකාරිත්වය විසින් සියලුම සේවකයින්ට යවන ලද, සාකච්ඡාව පිලිබඳ කෙටි විස්තරයක් තුල, කම්කරුවන් තම අරගලය දිගටම කරගෙන ගියහොත් 'බරපතල ප්‍රතිවිපාකවලට මුහුන දීමට සිදුවනු ඇති' බවට නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයාගේ අනතුරු ඇඟවීම ප්‍රචාරය කලේය.
මිදිගම කලමනාකාරිත්වය කම්කරුවන්ට බලපාන සැබෑ ගැටලු කිසිවක් විසඳීමට උත්සාහ කලේ නැත. ශ්‍රී ලංකාවේ කම්කරු දෙපාර්තමේන්තුව සහ එහි නිලධාරීන් කම්කරුවන්ට සානුකම්පික බවක් සාමාන්‍යයෙන් පින්තාරු කර ඇත. නැවත වරක්, මෙය අසත්‍ය බව ඔප්පු වී ඇත.
වෘත්තීය සමිති නිලධාරීන් විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ පිටපතක් සඳහා සේවක නියෝජිතයින් කල ඉල්ලීම ප්‍රතික්ෂේප විය. සමාගම් නිලධාරීන් විසින් සාකච්ඡාවට කැඳවනු ලැබූ අසසේස ශාඛා නායකත්වය තවමත් පිටපතක් ලබා දීම ප්‍රතික්ෂේප කරයි. මෙම වෘත්තීය සමිති නිලධාරීන්ට සහාය දක්වමින් නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයා ප්‍රකාශ කලේ, සේවකයින්ට අවබෝධතා ගිවිසුමේ පිටපතක් ඉල්ලා සිටීමට අයිතියක් නොමැති බවයි.
ඇත්ත වශයෙන්ම, තම සාමාජිකයන්ගෙන් විමසීමකින් තොරව, සේවකයින්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි කෙරෙහි බලපාන කිසිදු අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට වෘත්තීය සමිති නිලධාරීන්ට අයිතියක් නැත.
කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහාය ඇතිව වෘත්තීය සමිති නිලධාරීන් සහ සමාගම, අවබෝධතා ගිවිසුම කම්කරුවන්ගෙන් සඟවන්නේ ඇයි? එහි අඩංගු වන කම්කරුවන් නොදැන සිටිය යුතු රහස් මොනවාද? රාජ්‍ය නිලධාරීන් මෙම ගනුදෙනුව ආරක්ෂා කරන්නේ ඇයි? මේවා යුක්තිසහගත ප්‍රශ්න වේ.
ඊයේ (05) උදෑසන, කලමනාකාරිත්වය සියලුම සේවකයින්ට නැවත සේවයට පැමිනෙන ලෙස ඉල්ලා අවසන් අනතුරු ඇඟවීමේ කෙටි පනිවුඩයක් යවා ඇත. එහි නිවේදනය කර තිබුනේ, ඔවුන් තම කාර්මික ක්‍රියාමාර්ගය අවසන් නොකලහොත්, කලමනාකාරිත්වය නිෂ්පාදනය වසා දමන බවත්, අහිමි වූ දින සඳහා වැටුප් නොගෙවන බවත් ය.
ඊයේ දහවල් කලමනාකාරිත්වය තවත් කෙටි පනිවිඩයක් යවමින්, අඛන්ඩ ක්‍රියාමාර්ග නොඉවසන බවත්, “ආයතනයේ වැඩ නැවත ආරම්භ කරනවා හැර අන් විකල්පයක් නොමැති” බව කම්කරුවන්ට අනතුරු අඟවන බවත් කියා සිටියේය.
සරල භාෂාවෙන් කිවහොත් මෙයින් අදහස් කෙරෙන්නේ, කම්හල වසා දමා, සේවකයින් සේවයෙන් පහ කර, නව සේවකයින් සමඟ නිෂ්පාදනය නැවත ආරම්භ කරන බවයි.
ඉහල-දුම් මෙහෙයුම (upper-steam operation), සේවා සහ නිෂ්පාදන අංශවල සේවය කරන අයට බදාදා වැඩ කිරීමට කලමනාකාරිත්වය විසින් නියම කරන ලද අතර අනෙක් අයට සම්පූර්න නිෂ්පාදනය සූදානම් වන තෙක් “වසා දැමීමේ නිවාඩු” ලබා දෙන ලදී. මෙය වර්ජනය බිඳ දැමීමේ උත්සාහයකි.
ඉහල-දුම් මෙහෙයුම, සේවා සහ නිෂ්පාදන අංශයේ සේවකයින් සේවයට වාර්තා කලද, අත්හිටවූ සහ සේවයෙන් පහ කරන ලද සියලුම සේවකයින් නැවත සේවයේ පිහිටුවන තුරු ඔවුන් වැඩ කිරීම ප්‍රතික්ෂේප කලහ.
මිචෙලින් කම්කරුවන් විසින් ගෙන යනු ලබන අධිෂ්ඨානශීලී සටන ආරක්ෂා කිරීම සඳහා, සමාජවාදී සමානතා පක්ෂය (සසප), ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරුවන් බලමුලු ගැන්වීමේ ව්‍යාපාරයක් දියත් කර තිබේ.
ජුනි 2 වන දින, සසප ප්රමුඛ සාමාජිකයින් දෙදෙනෙකු—අරුන මලලගම සහ පානි විජේසිරිවර්ධන—මිචෙලින් කම්කරුවන් 200 ක් පමන සහභාගී වූ රැස්වීමක් ඇමතූහ.
රැකියා සුරක්ෂිතභාවය සහ වඩා හොඳ සේවා කොන්දේසි සඳහා වන මිචෙලින් කම්කරුවන්ගේ සටනට සසප සම්පූර්නයෙන් ම සහයෝගය දෙන බව මලලගම පැවසීය. සමාගම් සහ රාජ්‍ය මර්දනයට එරෙහිව කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරනය කලේය. “ඔබේ අරගලයේ වර්ධනයන් අපි අනුගමනය කරමින් සිටිනවා. ඔබේ සටන ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ පුලුල් පන්ති අරගලයක කොටසක්,” ඔහු පැවසීය.
මිචෙලින් කම්කරු අරගලයට එරෙහිව හාම්පුතුන්, ආන්ඩුව, වෘත්තීය සමිති සහ පොලිසිය එක්සත් වූ ආකාරය විජේසිරිවර්ධන පැහැදිලි කලේය. “මූලික කාරනය වන්නේ, කම්කරු අයිතිවාසිකම්වලට වඩා ලාභයට ප්‍රමුඛත්වය දෙන ධනේශ්වර ආන්ඩුවේ ප්‍රතිපත්ති, මේ සටන දේශපාලනික සටනක් බවට පත්කර තිබීමයි. ඔවුන්ගේ අරගලය ඉදිරියට ගෙන යාම සඳහා, කම්කරුවන් සෑම වැඩබිමකම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කල යුතුයි; වෘත්තීය සමිති නිලධාරීන්ට සහ ධනේශ්වර දේශපාලන පක්ෂවලට ඒවා තුල ඉඩක් නොතිබිය යුතුයි,” ඔහු පැවසීය.
ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ එක්සත් වීමේ අවශ්‍යතාවය අවධාරනය කරමින් ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “ලොව පුරා සිටින මිචෙලින් සේවකයින්ට ඔබ කරන ආයාචනය ජාත්‍යන්තර සමගිය කරා යන වැදගත් ඉදිරි පියවරක්.”
ජුනි 2 වන දින රැස්වීමට සහභාගී වූ මිචෙලින් කම්කරුවන්, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට, ඔවුන්ගේ සටන දිගටම කරගෙන යාමට සහ ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන් වෙත ලඟා වීමට ඒකමතිකව එකඟ වූහ. දඩයමට ලක් වූ සේවකයින් කම්කරු විනිශ්චය සභාවට පැමිනිල්ලක් ගොනු කර ඇති අතර මූලික පරීක්ෂනයක් ජුනි 16 වන දින පැවැත්වීමට නියමිතය.
සියලුම ජාත්‍යන්තර සමාගම්-සමූහ මෙන්, මිචෙලින් සමාගම ද ගෝලීය නිෂ්පාදන දාමයක් හරහා ක්‍රියාත්මක වේ. මිදිගම කම්හල විකිනීමට ගත් තීරනය, නරක අතට හැරෙන ජාත්‍යන්තර ආර්ථික අර්බුදයක් මධ්‍යයේ තම ලාභ වැඩි කර ගැනීම සඳහා මෙම යෝධ සමාගම සිදුකරගෙන යන ගෝලීය ප්‍රතිසංවිධානයක කොටසකි.
මෙම ප්‍රතිසංවිධානය මිචෙලින් සමාගමට පමනක් සීමා නොවේ. සියැට් නිෂ්පාදන සමාගම පුලුල් බෙදාහැරීමේ ජාලයක් සහිත කම්හල් ගනනාවක් හරහා ක්‍රියාත්මක වේ. ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදය නිසා, සෑම තැනකම සමාගම්, දොට්ට දැමීම් සහ දැඩි සේවා කොන්දේසි පැනවීම ඇතුලුව ලාභ ඉලක්ක කරගත් ප්‍රතිව්‍යුහගත කිරීම් අනුගමනය කිරීමට පටන් ගෙන තිබේ.
ඒ අතරම, එක්සත් ජනපදය සහ අනෙකුත් සියලුම අධිරාජ්‍යවාදී බලවතුන්—තෙල්, ගෑස් සහ බැර ලෝහ—සම්පත් බහුල කලාප කෙරෙහි තම ආධිපත්‍යය ස්ථාපිත කිරීම සහ ශ්‍රමය සහ වෙලඳපොලවල් සුරක්ෂිත කිරීම සඳහා යුද්ධයට සූදානම් වෙමින් ද, ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රතිව්‍යුහගත කරමින් ද සිටිති.
මෙම වර්ධනයන්ගේ බර, ධනේශ්වර ආන්ඩු සහ සමාගම් විසින් රැකියා කප්පාදු, අඩු වැටුප් සහ කුරිරු සේවා කොන්දේසි හරහා පටවනු ලැබේ. මෙම ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් විප්ලවීය මූලෝපායක් වර්ධනය කල යුතුය.
ජුනි 2 වන දින සසප නිකුත් කල ප්‍රකාශයේ පරිදි: “ශ්‍රී ලංකාවේ මිචෙලින් කම්කරුවන් දැන්, ජාත්‍යන්තරව ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් මිලියන ගනනක් මුහුන දෙන එම ගැටලුවලටම, එනම්, විශේෂයෙන්, රැකියා සුරක්ෂිතභාවය පිලිබඳ ප්‍රශ්නවලට මුහුන දී සිටිති…
'මිචෙලින් කම්කරුවන් ශ්‍රී ලංකාව පුරා රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයින් වෙත හැරී, ඔවුන්ගේ සහයෝගය රැස් කර ගැනීමට සහ රැකියා සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ අරගලයක් සඳහා ඒ හා සමාන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටිය යුතුය.'
ප්‍රකාශය අවසන් වන්නේ, 'ආන්ඩුවේ සහ මහා ව්‍යාපාරික ප්‍රහාරවලට එරෙහිව ජාත්‍යන්තරව ඔවුන්ගේ අරගල ඒකාබද්ධ කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීමේ සටන සමඟ පෙලගැසෙන ලෙස' මිචෙලින් සහ අනෙකුත් කම්කරුවන්ට කරන කැඳවුමකිනි.