කටුනායක නෙක්ස්ට් සමාගම දොට්ට දැමූ කම්කරුවන් ස්වෙච්ඡාවෙන් අස්වූ බවට ඔවුන්ගෙන් ලිපි ලබා ගනියි

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) නෙක්ස්ට් මැනුෆැක්චරින්, කම්හල වසා දමා දොට්ට දැමූ කම්කරුවන්ගෙන් 'ස්වේච්චාවෙන්' ඉල්ලා අස්වූ බවට ලිපි ලබාගෙන ජුනි මස 5 වනදා වන විට සොච්චම් වන්දි මුදලක් ගෙවා අත් සෝදා ගෙන ඇත. මෙම කම්හල මැයි 20 දා අගුලු දමා වසා දමමින් කම්කරුවන් 1,500 කට ආසන්න සංඛ්‍යාවකගේ රැකියා විනාශ කලේ ය.

නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ ලෝසවෙඅ වාර්තාකරුවන් සමග සාකච්ඡා කරමින් (2025 මැයි 21) [Photo: WSWS]

තමන්ගේ සේවාවන් අත්හිටු වූ බවට පාලනාධිකාරය කම්කරුවන්ට දැනුම් දුන්නේ මැයි 19 දා හවස් වරුවේ කම්කරුවන් වැඩ නිම වී තම නිවහන්වලට ගිය පසු ව ය. සේවය අහෝසි කිරීමේ පනතට අනුකූල ව වන්දි ගෙවන බවට ප්‍රකාශ කරමින් එ දින ම නෙක්ස්ට් කලමනාකරනය තවත් වට්ස්ඇප් පනිවුඩයකින් සේවකයන්ට දැනුම් දුන්නේ, ඔවුන් සමග කලක් එකට වැඩකර මේ තීන්දුව ගැනීම ගැන කනගාටුවන බවට කිඹුල් කඳුලු හෙලමිනි.

නෙක්ස්ට් හිමිකරුවන්ට නග්න ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියා මගින් කම්කරුවන්ගේ රැකියා අහෝසි කොට සොච්චම් වන්දි මුදලකින් බේරී යාමට හැකි වූයේ එහි නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ (නිවෙකපොසේසේස) ඇතුලු වෘත්තීය සමිතිවල නායකයන්ගේ පාවා දීම් සහ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ පිටුබලය නිසා ය.

හදිසියේ රැකියා අහෝසි කිරීම ගැන කෝපයට පත් සේවකයන් සියයක් පමන මැයි 20 දා සමිති කාර්යලයට ගිය විට නිවෙකපොසේසේස සමිතියේ නායක ඇන්ටන් මාකස් නඩුවක් දමන්ට බලමු' යි ප්‍රකාශ කොට කර ඇරියේය.

නෙක්ස්ට් හාම්පුතුන්ගේ කුරිරු කම්කරු විරෝධී ප්‍රහාරය ගැන පුවත පලල් කම්කරු කොටස්වල ආන්දෝලනයක් මතුකල තතු තුල, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මැයි 23 දින ප්‍රකාශයක් කරමින්, පූර්ව දැනුම්දීමකින් තොරව කම්හල වසා දැමීමෙන් සමාගම 'කම්කරු නීති උල්ලංඝනයකර ඇතැයි' වහසිබස් කීවේය.

එ දින ම කම්හලේ පාලකයන් හමුවීමට බඩ ගෑ උප ඇමති පසුව ආයතනය වසා දැමීම යුක්ති සහගත කරන ප්‍රකාශයක් කලේ ය. ඔහු සඳහන් කලේ, 2019 කෝවිඩ්-19 වසංගතය කාලයේ පටන් ඩොලර් මිලියන 10කට ආසන්න පාඩුවක් විඳදරා ඇති බැවින් නෙක්ස්ට් ආයතනය වසා දැමීම සිදුකර ඇතිබව තමන්ට පැහැදිලි කල බවයි. කම්කරුවන්ට වෙනත් ආයතන වල රැකියා 1,900ක් පමන සමාගමේ හාම්පුතුන් විසින් සොයාගෙන ඇතැයි ද උප ඇමති ජයසිංහ කීවේ ය.

වෘත්තීය සමිති නායකයන් රැකියා රැක ගැනීමේ අරගලයකට කම්කරුවන් නොමෙහෙයන බව ද ආන්ඩුවෙන් තමන්ට සහයෝගය ලැබෙන බව ද එලෙස සහතික කරගැනීමෙන් පසුව සමගම වහා ක්‍රියාත්මක විය. මැයි 26න් ආරම්භ වූ සතිය තුල කන්ඩායම් බැගින් සේවකයන් කම්හල් කාර්යාලයට ගෙන්වා ගෙන 'ස්වෙච්ඡාවෙන් රැකියාව හැර යන' බව සඳහන් ලියැවිල්ලකට අත්සන් කරන ලෙස ඔවුන්ට දැන්වූ කලමනාකරුවන්, ලිපිය අත්සන් නොකලහොත් වන්දි කිසිවක් නොලැබෙන බවට තර්ජනාත්මක ව පවසා ඇත.

උප ඇමති ජයසිංහගේ මැදිහත් වීමෙන්, නෙක්ස්ට් කම්හල සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශයේ ලේකම්, ආයෝජන මන්ඩලයේ කටුනායක කලාපය භාර අධ්‍යක්ෂ නිවෙකපොසේසේස ලේකම් ඇන්ටන් මාකස් ඇතුලු සමිති නිලධාරීන් සහභාගිවූ සාකච්ඡාවක් මැයි 27 පැවැත්විනි.

මෙහිදී මාකස් සේව්‍ය-සේවක සාමූහික ගිවිසුමට අනුව පාලනාධිකාරය කටයුතු නොකල බව පැවසූ විට ඊට පිලිතුරු දෙමින් අදාල සාමූහික ගිවිසුම නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස පිලිගන්නේ නැතිබව නෙක්ස්ට් කම්හල් නියෝජිතයා කියා ඇත.

මැයි 30 දා නැවතත් කම්කරු අමාත්‍යංශයේ හා ආයෝජන මන්ඩලයේ නිලධාරීන්, මාකස් ඇතුලු සමිති නිලධාරීන් ද එකතු වී තවත් සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජිතයා පවසා ඇත්තේ සේවකයින් ඉවත් කිරීමට නෙක්ස්ට් පාලනාධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත නීත්‍යානුකූල ද නැද්ද යන්න ගැන තවමත් අධ්‍යයනය කරමින් සිටින බවයි! කම්කරු නිලධාරියා මේ ප්‍රකාශය කර ඇත්තේ කම්හල වසා දින 10ක් ගතවී ඇති තක්වයකය.

කම්කරුවන් කෲර ලෙස නෙරපා හරිමින් ද, පසුව කූඨ ලෙස ඔවුන් වන්දිවලට යටත් කරමින්ද කම්හල් හිමිකරුවන්ට අත් සෝදා ගැනීමට ක්‍රියාකල හැකි ව තිබෙන්නේ ආන්ඩුව, කම්කරු නිලධාරීන් සහ සමිති නායකයන් දුන් මේ සහයෝගය නිසා ය.

ජූනි මස 1 දින සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව නෙක්ස්ට් සමාගම, කොන්ත්‍රාත් පදනම මත කම්කරුවන් සපයන සමාගම් (මෑන් පවර්) මගින් දෛනික පදනමට සේවකයන් ලබා ගනිමින් ඉතිරි වී ඇති වැඩ කරගෙන යන බව වාර්තා කර ඇත. පැරනි කම්කරුවෝ කිහිප දෙනෙක් ද එහි වැඩ කරති.

කම්කරුවන් දොට්ට දැමීමේ දී එය පරිපාලනය විසින් යුක්ති සහගත කලේ “ඉහල මෙහෙයුම් පිරිවැයක්” කම්හලට දැරීමට සිදුවූ බැවින් පාඩු ලැබීමක් සිදුවූ බවත් එය සිදුවූයේ කම්හලේ කම්කරුවන්ට වැටුප් ගෙවීමට සිදුවීම නිසා බවයි.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) ලේකම් යොහාන් ලෝරන්ස්, ද සන්ඩේ මෝනින් පුවත්පතට කියා සිටියේ කටුනායක කලාපයේ අනෙකුත් කම්හල්වල කම්කරුවන්ට රුපියල් 3,000 ක මාසික වැටුප් වැඩිවීමක් ලබා දුන්නද නෙක්ස්ට් කම්හලේ කම්කරුවන්ට රුපියල් 5,000 ක වැටුප් වැඩිවීමක් ලබාදීමට සිදුවූ බවයි. රුපියල් 3,000 ක හෝ රුපියල් 5,000ක සොච්චම් පඩි වැඩිකිරීමක් නැගී ඇති දැවැන්ත ජීවන වියදමට අලගු තැබීමට වත් ප්‍රමානවත් නොවේ.

අලුතින් දෛනික ව කම්කරුවන් බඳවා ගනිමින් නෙක්ස්ට් සමාගම වැඩ කරගෙන යාම මගින් පෙන්නුම් කෙරෙන්නේ, කම්හල වසාදැමීම පිටුපස පවතින සැබෑ අරමුන අඩු වැටුපකට සේවකයන් බඳවාගෙන සුරාකෑම වේගවත් කරගැනීමේ සැලැස්මක් ක්‍රියාවට දැමීම බවයි.

වසර ගනන් සූරාකෑමෙන් පසු කිසිදු දැනුම් දීමකින් තොරව සේවකයන් මහ පාරට ඇද දමා, ස්වේච්ඡාවෙන් අස්වුවන් ලෙසට ඔවුන්ගෙන් ලිපිවලට අත්සන් ගෙන, පසුව සොච්චම් 'වන්දියකින්' අත් සෝදා ගනිමින් නෙක්ස්ට් සමාගම පෙන්වා ඇත්තේ, වටිනාකම් නිෂ්පාදානය කරන කම්කරුවන්ට වැටුප් වහලුන් ලෙස සලකන ලාභ පිපාසිත ධනපති සුරකන්නන්ගේ නග්න ස්වභාවයයි.

කිලිනොච්චියේ සිට පැමින වසර පහමාරක් පමන නෙක්ස්ට් කම්හලේ වැඩකර වන්දි ලබාගත් එක් තරුන කම්කරු කාන්තාවක් ලෝසවෙඅට පැවසුවේ තමන්ට අට ලක්ෂ දහදාහක් වන්දිය ලෙස ලැබුනු බවයි. ඇයගේ මූලික වැටුප මසකට රුපියල් 45,000 ක් ද, සියලුම දීමනා සහිතව අතිකාල තිබුනහොත් රුපියල් 60,000 ක් උපයා තිබිනි. මේ අනුව ගත් කල ඇයට ලැබී ඇත්තේ වසරක් හෝ වසර එක හමාරකට ආසන්න වන්දියකි.

ඇය පැවසුවේ තමන් දැන් දෛනිකව රුපියල් 1,800 ක වැටුපකට මෑන් පවර් කම්කරුවෙක් ලෙස වැඩට යන බවයි. කිලිනොච්චියේ ඇඟලුම් කම්හලක මාසිකව රුපියල් 18,000 ක වැටුපකට අධික වෙහෙසකර කොන්දෙසි යටතේ ඇය වැඩ කර ඇත. තමන්ගේ ගමේ පවතින උග්‍ර රැකියා හිඟය නිසා ඇය කටුනායක කලාපයට පැමිනි බව පැවසුවාය. ඇය ඩුබායිහි එලවලු සකස් කරන කම්හලක රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. වසර දෙකක් ආසන්නව වැඩ කල තවත් කම්කරු කාන්තාවක් පැවසුවේ තමන්ට රුපියල් දෙලක්ෂ පනස්දාහක වන්දියක් පමනක් ලැබුනු බවයි.

තම වෘත්තිය සමිතියේ කීප දහසක් කම්කරුවන් සාමාජිකයින් ලෙස සිටිය ද නෙක්ස්ට් හෝ වෙනත් ආයතනවල සේවකයන්ගේ අයිතීන් රැකීමට කිසිදු අරගලයක් සංවිධානය කිරීමට ඇන්ටන් මාකස් සිය සමිතිය මෙහෙයවීමට සුදානම් නැත. නිවෙකපොසේසේස සහ අනෙකුත් සමිති නිලධරයන්ගේ ද්‍රෝහී ක්‍රියාකලාපය වී ඇත්තේ, තම අයිතීන්ට එල්ලවන ප්‍රහාරවලට එරෙහි ව කම්කරුවන් අතර නැගෙන විරෝධය අවමංගත කර යටපත් කර පාවාදීමයි.

අතීතයේ කම්කරුවන් ඉදිරියේ වහසිබස් දොඩවමින් රඟපෑම් දැක්වූ වසන්ත සමරසිංහ සහ ජයසිංහ වැනි වෘත්තීය සමිති නායකයින් අද දවසේ දක්ෂිනාංශික දිසානායක ආන්ඩුවේ ඇමැතිවරුන් බවට පත් වෙමින් සෘජුව ම අධිරාජ්‍යවාදීන්ගේත් කම්හල් හාම්පුතුන්ගේත් සෘජු ආරක්ෂකයින් බවට පත්වී ඇති අතර මාකස් වැනි වෘත්තිය සමිති නායකයෝ ආන්ඩුවට පිටින් ඉඳගෙන දිසානායක ආන්ඩුවේ කම්කරු ලුතිනන්ලා ලෙස ක්‍රියාත්මක වෙමින් සිටිති.

නෙක්ස්ට් සේවකයන් මුහුනදුන් දරුනු තත්වය තමන්ට ද අනතුරු ඇඟවීමක් සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙස නිවෙක හා අවශේෂ කම්කරුවන් ගෙන් අපි ඉල්ලමු. වර්ධනයවන ගෝලීය ධනපති අර්බුදය මධ්‍යයේ, මහා ධනපති සමාගම් ලාභ මිරිකා ගැනීම සඳහා ගෙනයන තරඟයේ දී සෑම තැනකම කම්කරුවන්ට මේ ප්‍රහාරවලට නුදුරු අනාගතයේ දීම මුහුන දීමට සිදුවනු ඇත. කල්තියා සුදානම් වීම එම ප්‍රහාර පරාජය කිරීමට සහ තම අයිතීන් රැක ගැනීමට අරගලය කිරීමේ එක ම ක්‍රමයයි.

නෙක්ස්ට් දොට්ට දැමීම සම්බන්ධයෙන් ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව සහ සමාජවාදී සමානතා පක්ෂය මැයි 26 ප්‍රකාශයක් නිකුත් කරමින් කල යුත්තේ කුමක්ද? යන්න මෙසේ පැහැදිලි කලේය:

'නිවෙකපොසේසේස හෝ අනෙකුත් වෘත්තීය සමිති නායකයින් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනු ඇතැයි කම්කරුවන්ට අපේක්ෂා කල නොහැක. ජවිපෙ විසින් පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමය සමාගම්වලට සහාය දක්වමින් සම්පූර්නයෙන්ම නිහඬ ය. බොහෝ ජවිපෙ වෘත්තීය සමිති නායකයින් ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් වේ. ඉහත ඉල්ලීම් සඳහා සටන් කිරීම සඳහා කම්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සටන් කරන සංවිධාන අවශ්‍ය වේ.

'මෙම උද්ඝෝෂනය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස අපි නෙක්ස්ට් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

'සෑම සේවා ස්ථානයකම ඇඟලුම් කම්කරුවන් ඒ සමාන ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතුය. මේවා රාජ්‍ය අංශය ඇතුලු සියලුම වැඩබිම් වෙත ව්‍යාප්ත කල යුතුය. සමාගම් සහ ආන්ඩුවේ ඒජන්තයින් බවට පත්ව ඇති වෘත්තීය සමිති නිලධරයන්ට මෙම කමිටුවලට ඇතුලුවීමට ඉඩ නොදිය යුතුය.'

යෝධ වෙලඳ සමාගම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ගෝලීය ආයෝජකයින් එල්ල කරන ප්‍රහාරවලට එරෙහි අරගලය ජාත්‍යන්තර අරගලයකි. එහෙයින් ජාත්‍යන්තර කම්කරු එකමුතුව සඳහා 'ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානය' ගොඩනැගීමට එක්වන ලෙස එම ප්‍රකාශය ඉල්ලා සිටියේ ය.

එම ප්‍රකාශය අවධාරනය කලේ කම්කරු පන්තියට තම සමාජීය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැකිවන්නේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය මගින් බවයි.

Loading