මැයි 23දා පටන්ගත් මිදිගම මිචෙලින් ටයර් කම්හලේ කම්කරුවන්ගේ විරෝධතා හා වර්ජන ක්‍රියාමාර්ගය දැන් තෙවන සතියට එලැඹ ඇත.
කම්කරුවන් අරගලයට එලැඹුනේ, ටයර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ දිගු කලක් ප්‍රසිද්ධ යෝධ ජාත්‍යන්තර සංගතයක් වන මිචෙලින් සමාගම, ඉන්දියාවේ දැවැන්ත සියැට් සමාගමට ලංකාවේ මිදිගම ටයර් කම්හල ඇතුලු ආයතන ගනනක් විකුනා දැමීමත් සමග මතුවුනු අවිනිශ්චිතතාව හමුවේ රැකියා ඇතුලු තම අයිතීන් සුරක්ෂිත කරගැනීම පිනිස ය.
දෙසැම්බර් මාසයේ ඇරඹුනු ගනුදෙනු කටයුතු ජුනි මස මුල අවසන් වීමට නියමිත විය. මිදිගම කම්හලේ ක්‍රියාත්මක, පාලක ජනතා විමුක්ති පෙරමුනට අනුබද්ධ අන්තර් සමාගම් සේවක සංගමය (අසසේසං), මිචෙලින් හා සියැට් සමාගම් අතර ගනුදෙනුවේ කොටසක් ලෙස කම්කරුවන් හුවමාරු කරදීම සඳහා මැයි 22 අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව කම්කරුවන්ගේ අරගලය ඇරඹුනි.
අසේසං කම්කරුවන් සමාගම්වල අවශ්‍යතාවලට බැඳ දමන ගිවිසුම් අත්සන් කලේ තම සාමාජිකයන්ගෙන් කිසිදු විමසීමක් නොකර ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් පාවා දෙමිනි. ජවිපෙ වෘත්තීය සමිතිය කල මෙම පාවාදීමේ තතු යටතේ, මිදිගම සේවකයන් 1,500ක් පමන දෙනා යුක්ති සහගත ලෙස තම අයිතීන් රැක ගැනීමේ සඳහා තමන් ම ඉල්ලීම් සුත්‍ර ගත කර ගෙන ස්වයංසිද්ධ ව අරගලයට එලඹුනහ. ඔවුහු දැන් මෙතනින් එහාට ගතයුතු ක්‍රියාමාර්ගය කුමක් ද යන ප්‍රශ්නය සමග පොර බදති.
තෙවන සතියට එලඹ ඇති මේ අරගලයේ පාඩම් සමස්ත කම්කරු පන්තියට ම වැදගත් ය.
දිග්ගැස්සෙමින් යන ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදය මධ්‍යයේ තම ලාභ තරකර ගැනීම සඳහා කෙරෙන බෙලි කපාගන්නා තරඟයේ දී, යෝධ කර්මාන්ත සහ සංගත වඩාත් ලාභදායි, කෘතීම බුද්ධිය හෙවත් ඒඅයි තාක්ෂනය මත පදනම්වූ විසඳුම් වෙත මාරුවීම ආරම්භ කර ඇත. ඒඅයි තාක්ෂනය ඇතුලු විද්‍යාවේ වර්ධනයන් ධනපති පන්තිය යොදාගනිමින් ඇත්තේ, අඩු ශ්‍රම බලකායකින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගනිමින් තම ලාභ උපරිම කරගැනීමට ය. මෙහි අනිවාර්ය ප්‍රතිපලයක් ලෙස ලෝකය පුරා වාහන නිෂ්පාදනය, තොරතුරු තාක්ෂනය ඇතුලු ක්ෂේත්‍ර ගනනාවක කර්මාන්ත වසා දමමින් දසදහස් ගනනක් රැකියාවලින් දොට්ට දැමීම දැනටම ආරම්භ කෙරී ඇත.
ප්‍රංශය කේන්ද්‍රකරගත් මිචෙලින් අන්තර්ජාතික සමාගම ද “මිචෙලින් ඉන් මෝෂන්-2030” වැඩසටහන යටතේ වඩාත් ලාභදායි, ඒඅයි-සක්‍රීය විසඳුම් වෙත ක්‍රියාශීලී ලෙස මාරුවෙමින් මෙම නව වෙනස්කම් ක්‍රියාවට දැමීමේ ප්‍රතිපලයක් ලෙස දැනටමත් රටවල් කිහිපයකම ඔවුන්ගේ කර්මාන්ත ශාලා ගනනාවක්ම වසා දමා ප්‍රතිව්‍යුහකරනය සිදුකර තිබේ. මිදිගම කම්හල විකිනීම මෙම ක්‍රියාවලියේ කොටසකි.
“මිචෙලින් ඉන් මෝෂන්-2030” අඛන්ඩ ව සිදුකරගෙන යන බව අවධාරනය කරමින්, එහි කලමනාකාර සභාපති ෆ්ලොරන්ට් මෙනෙගෝස්, ග්ලෝබල් නිව්ස් වයර් වෙත මෙම වසරේ පෙබරවාරි 12දා සඳහන් කලේ, “අපගේ තරඟකාරිත්වය පවත්වා ගැනීම සඳහා, පෝලන්තය, චීනය, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය යන රටවල දුෂ්කර කාර්මික ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරන ගැනීමට ද සිදු වූ” බවයි.
මිචෙලින් කලමනාකාර සභාපති සඳහන් කරන, ලාභ වැඩිකර ගැනීමේ අරමුනින් ක්‍රියාවට දමා ඇති “දුෂ්කර කාර්මික ප්‍රතිව්‍යුහගතකිරීම්”වල වේදනාබර ගාස්තුව ගෙවීමට සිදුව ඇත්තේ එහි කම්හල්වල දහදිය වගුරන දස දහස් ගනක් කම්කරුවන්ට ය. ඒවා කෙතරම් දුෂ්කරද යන්න හොඳම උදාහරනය වන්නේ වසර ගනනාවක් සමාගම වෙත දැවැන්ත ලාබ කඳු ගොඩ ගසා ගැනීමට තම ශ්‍රමය කැප කල මිදිගම කම්කරුවන්ට එය ලබා දීමට එකඟ වී ඇති රුපියල් දෙලක්ෂය බැගින් වන සොච්චම් “වන්දි” මුදල යි. පසුගිය වසරේ සමාගමේ ආදායම වූ යුරෝ බිලියන 3.4හා සන්සන්දනය කල විට මිදිගම කම්කරුවන් 1500ට ම රුපියල් ලක්ෂ දෙක බැගින් ලබා දීමට වැය වන මුදල මෙම ආදායමෙන් යන්තම් සියයට 0.025ක් තරම් හූනු බිජුවකි.
මීට විපරීතව කම්කරුවන්ගේ ඉල්ලීම වන්නේ, එක කම්කරුවෙකුට රුපියල් ලක්ෂ 30 බැගින් වන වන්දි මුදලක් ලබා දෙන ලෙසයි. (සියලු කම්කරුවන්ට එම මුදල ලබා දීම සදහා වැයවන්නේ සමාගමේ පසුගිය වසරේ ආදායමෙන් යන්තම් සියයට 0.39ක ප්‍රමානයකි.) එසේ නැතහොත් මිචෙලින් ක්‍රමවේදය යටතේ සේවය අවසන් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස කම්කරුවෝ ඉල්ලා සිටිති. එමෙන්ම මිදිගම කම්හලේ වර්තමානයේ තමන් භුක්ති විඳින සියලුම සේවා හා වැටුප් කොන්දේසි ඒ ආකාරයෙන්ම නව සමාගම යටතේද සුරක්ෂිත විය යුතු බව ඔවුන්ගේ අනෙක් ප්‍රධාන ඉල්ලීමයි.
කම්කරුවන්ට එරෙහි වෘත්තීය සමිති නිලධරය, කම්හල් පාලකයන්, ආන්ඩුව සහ ආරක්ෂක අංශවල විෂකුරු සන්ධානය
කම්කරුවන්ගේ අරගලය නතරකොට ඔවුන් වැඩට දැක්කීමට අසසේසං, සමාගම ද පොලිසිය හා මාධ්‍ය ද සමග එකට අත්වැල් බැඳගෙන ඉටුකල ප්‍රතිගාමී භූමිකාව කම්කරුවන් විසින් සිහියේ තබාගත යුතු ප්‍රමුඛත ම පාඩම්වලින් එකකි. වර්ජනයේ පලමු දිනයේ ම ඔවුන් බිය ගැන්වීමට පොලිසිය වැඩබිම ආසන්නයට ගෙන්වාගත් ෆැක්ටරි පාලකයෝ, වට්ස්ඇප් හරහා සේවකයන්ට එවන ලද පනිවිඩ හරහා සමාගමේ “කීර්ති නාමයට හානි කිරීම”, “බලාත්කාරයෙන් ඇතුලු වීම”, නිෂ්පාදනය “කඩාකප්පල් කිරීම” යනාදී චෝදනා නගමින් කම්කරුවන්ට එරෙහි ප්‍රකෝපකරනය ඇවිලවූවේ ය.
නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ජූනි 4දා මිචෙලින් කලමනාකරනය සහ කම්කරුවන්ගේ නියෝජිතයන් සමග මිදිගම කම්හල් පරිශ්‍රයේ පැවති රැස්වීමක දී වර්ජනයට “නීති විරෝධී” ලේබලය අලවා, එය හුදෙක් “වෘත්තිය සමිතිය හා එහි සාමාජිකයන් අතර පැනනැගී ඇති ආරාවුලක්” බව ප්‍රකාශ කරමින් කොල්ලකාරී ධනපති සමාගමට රැකවරනය ලබාදී ඇත.
කම්කරුවන් බිය ගැන්වීමට මෙය ද අප්‍රමානවත් බව වටහාගත් කම්හලේ පාලකයින්, වර්ජක කම්කරුවන් බිය ගැන්වීම සඳහා, සම්පත් කරුනාසේන, චිරංගිවි සෙනෙවිරත්න සහ ප්‍රියංග දිමුතු කුමාර යන සේවකයින්ට බොරු චෝදනා නගමින්, පලමුව නම සඳහන් සේවකයා වැඩතහනමට ලක් කල අතර අනෙක් දෙදෙනා සේවයෙන් පහකලේ ය. කම්කරු නීති උල්ලංඝනය කරමින් සිදුකල මේ දඩයමට එරෙහි ව එම කම්කරුවන් යලි සේවයේ පිහිටුවන ලෙස වර්ජක කම්කරුවන් කරන ඉල්ලීම සමාගම විසින් මුලුමනින් ම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
මෙම විසකුරු ප්‍රහාරවලට මුලුමනින්ම සහාය දෙන අසසේසං නිලධරයේ නියෝග මිචෙලින් කම්කරුවන් ප්‍රතික්ෂේප කිරීම නිසා කම්හල් පාලකයන් පමනක් නොව කම්කරුවන් පාලනය කර දීමට අසසේසං තම තම අත්ගෙඩියක් ලෙස යොදාගන්නා ආන්ඩුව ද තැති ගැන්වී ඇත.
ජවිපෙ මෙහෙයවන අසසේසංහි කම්කරු පන්තියට සතුරු භූමිකාව
දෙවන වැදගත්ම පාඩම වන්නේ, කම්කරුවන්ට හොර රහසේ සමාගම් සමග ප්‍රෝඩාකාරී අවබෝධතා ගිවිසුමක් අත්සන් කල අසසේං ඇතුලු වෘත්තීය සමිති නිලධරයේ ද්‍රෝහී භූමිකාවයි. මෙම ගිවිසුම තමන්ට හෙලිකරන්නැයි කම්කරුවන් කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන සමිති නායකයින් පෙන්නුම් කරන්නේ ඔවුන් වගකියන්නේ ධනපති හාම්පුතුන්ට බවයි.
වෘත්තීය සමිතිවල මෙම ප්‍රතිගාමී භූමිකාව, මාක්ස්වාදී ව්‍යාපාරය විසින් විශ්ලේෂනයට බඳුන්කර තිබේ. වෘත්තීය සමිති ආරම්භ වූයේ සංවර්ධනය වෙමින් පවතින ධනේශ්වර ජාතික රාජ්‍යය තුල කම්කරු පන්ති සංවිධානයක ආකාරයකිනි. වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධයෙන් කම්කරුවන් සහ සේවා යෝජකයින් අතර ස්වාභාවිකවම පවතින ගැටුම මගින් මෙහෙයවෙන ඒවා විසින් කම්කරුවන්ට සලකනු ලැබුවේ, වෙලඳපොලේ ශ්‍රම ශක්තියේ විකුනුම්කරුවන් ලෙස ය. නිෂ්පාදනයේ භූගෝලීයකරනයත් සමග වඩාත් දකුනට ගමන්කල මෙම සංවිධාන සමාජවාදී විප්ලවයට ඉඳුරා ම සතුරු වන අතර, කම්කරුවන් සමාගම්වලට හා රාජ්‍යයට ගැටගසන කාර්මික පොලිසීයක භූමිකාව ඉටුකරයි.
වෘත්තීය සමිතිවල මෙම ප්‍රතිගාමී භූමිකාව පිලිබඳ ලියෝන් ට්‍රොට්ස්කි විශේෂ අවධානයක් යොමු කලේ ය. අධිරාජ්‍යවාදී යුගයේ, විශේෂයෙන් ධනේශ්වර අර්බුදයේ තත්වයන් යටතේ, වෘත්තීය සමිතිවලට “ස්වාධීනත්වය වැඩි වැඩියෙන් අහිමි වන අතර ධනේශ්වර රාජ්‍යයේ සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ උපකරන බවට පරිවර්තනය වේ” යැයි ට්‍රොට්ස්කි ලියුවේ ය. “කම්කරු පන්තිය තුල ධනේශ්වර පර්යායේ අවයව” බවට පත්ව තිබෙන 'වෘත්තීය සමිති අවසාන විග්‍රහයේ දී කම්කරුවන් හික්මවීමේ, ඔවුන්ගේ පන්ති විඥානය මොට කිරීමේ මෙවලම් වේ”යැයි ට්‍රොට්ස්කි සඳහන් කලේ ය.
මිචලින් කම්කරුවන්, අසසේසංහි ද්‍රෝහී භූමිකාව වටහා ගත යුත්තේ මෙම ඓතිහාසික සත්‍යතාවන් මත පදනම් වෙමිනි. අසසේසං ,කම්කරුවන් අතර අපකීර්තියට පත්වන තත්වය තුල ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙයවන 'කම්කරු අරගල මධ්‍යස්ථානය' ඉදිරිපත්වී “කම්කරුවන්ට වගකියන වෘත්තීය සමිති” හදාගන්නා ලෙස ගොඩවෙදකමක් යෝජනා කර ඇත. උක්ත ගෙනහැර පෑ මාක්ස්වාදී විශ්ලේෂනයෙන් පෙන්නුම් කෙරුනේ, එවන් ප්‍රගිතිශීලී හා සටන්කාමි වෙස් පැලඳගත සමිති වල ද භූමිකාව අනෙකුත් සම්ප්‍රදායික සමිතිවලට නොවෙනස් බවයි.
සසප යෝජනා කරන ස්වාධීන ක්‍රියාකාරී කමිටුවල වැදගත්කම
මිදිගම මිචෙලින් කම්කරුවන් ස්වයංසිද්ධව, සමිති නායකත්වයේ පාවාදීම ප්‍රතික්ෂේප කරමින් අරගලයට එලඹීම සමාජවාදී සමානතා පක්ෂය (සසප) අගය කරයි. ඉන් නොනැවතී තම අයිතීන් සඳහා අරගලය දැනුවත්ව අතට ගැනීමට, තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් පත්කරගන්නා ස්වාධීන කම්කරු සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍යය. මෙම ක්‍රියාකාරී කමිටු තුල වෘත්තිය සමිති නායකයන්ට සහභාගිවීමට ඉඩ නොදිය යුතුය.
එවන් කමිටුවක් සියලු කම්කරුවන්ගේ අදහස් විමසමින්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාකච්ඡා කර සියලු තීන්දු තීරන ගැනීමට ද තමන් මෙන්ම ප්‍රහාරවලට ලක්වී සිටින අවශේෂ කම්කරුවන් සමග, අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතුව ගොඩනගා ගැනීමට ද අවස්ථාව සලසයි.
මෙම මුලිකත්වය ගැනීම මිචෙලින් සේවකයන් සම්බන්ධයෙන් පමනක් නොව, අවශේෂ ධනපති සමාගම් වල ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පියවර මගින් රැකියා හා වැටුප්වලට ඍජුව පහර එල්ලවන රාජ්‍ය අංශයේ ද, සමස්ත කම්කරු පන්තියට ම, අත්‍යවශ්‍ය ය. වැටුප්, රැකියා හා ජීවන කොන්දේසි රැකගැනීම සඳහා අරගල ගනනාවකට ම එලඹුනු රාජ්‍ය අංශයේ කම්කරුවෝ වෘත්තීය සමිති නායකයන් විසින් අවමංගතකොට පාවාදීම අත්විඳිනු ලැබුහ.
පුද්ගලික අංශයේ, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ නෙක්ස්ට් සේවකයන් අත්විඳි කොන්දේසි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ තවත් තැනක පලවන ලිපියකින් පැහැදිලි කර තිබේ. නෙක්ස්ට් ජාත්‍යන්තර සංගතයට,1,500ක් වූ සිය සේවකයන් එක රැයෙන් දොට්ටදමා, පසුව රැකියාවෙන් ස්වේච්ඡාවෙන් අස්වූ බවට ඔවුන්ගෙන් බලහත්කාරයෙන් ලිපි ලබාගෙන සොච්චම් වන්දියකින් අත් පිසදා ගැනීමට හැකිවූයේ ආන්ඩුවේ සහාය ද, අති මූලිකවම, නිදහස් වෙලද කලාප හා පොදු සේවක සංගමයේ (නිවෙකපොසේස) නායකත්වයේ පාවාදීම ද නිසාය. නිවෙකපොසේස ඇන්ටන් මාකස් නායකත්වය අවශේෂ කම්කරුවන්ගේ ද සහයෝගය ගොනුකරගනිමින් රැකියා රැක ගැනීමේ අරගලයක් මෙහෙයවීමට ඉඳුරාම සතුරුව සමාගමේ හා අන්ඩුවේ වැඩපිලිවෙලට සහාය දුන්හ.
ජාත්‍යන්තර එකමුතුව
වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුරදී , සසප සහාය ලැබ මිචෙලින් කම්කරුවන් සිය ගනනකගේ ඒකමතික ඡන්දයෙන් යුතුව එතෙර මිචලින් කම්කරුවන් ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහාය ඉල්ලා ජූනි 3දා නිකුත් කල ප්‍රකාශ්‍ය තවත් වැදගත් ඉදිරි පියවරකි.
ඔවුන් මුහුන දී සිටින කොන්දේසිවලට තම ජාත්‍යන්තර සගයන් ද මුහුනදී සිටින ආකාරය පිලිබඳ ඔවුන්ගේ අවබෝධය පෙන්නුම් කල ප්‍රකාශය පහත කරුන තීරනාත්මකව අවධාරනය කලේ ය. “අප ද අප මෙන් ප්‍රහාරයන්ට ලක්ව සිටින මිචලින් සමාගමේ සෙසු කම්කරුවන් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් ගෙන යන අරගලයන්ට අපගේ පන්ති සහෝදරාත්මක සහයෝගය ප්‍රකාශ කරන අතර දැවැන්ත කප්පාදුවලට ලක්වෙමින් සිටින යුරෝපයේ කම්කරු පන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ද කැපවී සිටින්නෙමු”.
වෘත්තීය සමිති විසින් ඔවුන් මත පැටවීමට වෑයම් කරන ජාතිකවාදී අගතීන් ප්‍රතික්ෂේප කිරීමට මෙම ප්‍රකාශය යොමුවී ඇත.
නිශ්චිත ඉදිරි පියවර වන්නේ දැනටම දියත්කෙරී තිබෙන, 'කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය' ගොඩනැගීමයි. එය සිදුකල හැක්කේ, ලංකාව තුල ගොඩනගන ක්‍රියාකාරී කමිටු අනෙකුත් රටවල ගොඩනගන ක්‍රියාකාරී කමිටු සමග එක් කිරීමෙනි.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඒ සඳහා මුලිකත්වය ගෙන ඇති අතර එහි ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂ කම්කරුවන්ට ආධාර කිරීමට සැමවිටම සුදානම්ව සිටි. නිෂ්පාදනය ගෝලීයව සංවිධානය කෙරෙන ඇති මේ අවධියේ, ප්‍රාග්ධනයේ ගෝලීය ප්‍රහාරයට එරෙහිව කම්කරුවන්ට ප්‍රතිප්‍රහාරයක් එල්ල කල හැක්කේ ජාත්‍යන්තරව සංවිධානය වීමෙන් පමනකි.