පලමු කොටස | දෙ වැනි කොටස
ශිෂ්‍ය බලය පිලිබඳ සංකල්පය උත්කර්ෂයට නැංවීම
උපසංස්කෘතියේ තේමාව වන්නේ, සිසුන්ට විශේෂ ආකාරයේ බලයක් හෝ 'ශිෂ්‍ය බලයක්' ඇති බවයි. ඒ අනුව, පසුගිය දශකවල අධ්‍යාපනය හා අනෙකුත් සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අරගලවලට නායකත්වය ලබා දුන්නේ ශිෂ්‍ය සංවිධාන බව කියනු ලැබේ.
ඊට ගැලපෙන පරිදි, අධ්‍යාපනය මුලික අයිතියක් ලෙස පෙරට ගැනුනු ආකාරය ගැන ද, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ අවසන් දශකය තුල ශ්‍රී ලංකාවේ සීමිත නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ ඉතිහාසය ගැනද තමන්ට ගැලපෙන පරිදි කපාකොටන ලද ඉතිහාසයක් ද මෙම කෘතියේ ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මාක්ස් අධ්‍යාපනය අයිතියක් බවද සියලු දෙනා අධ්‍යාපනය ලැබිය යුතු බවද කියා තිබේ. ලෙනින් එය තව දුරටත් වර්ධන කලේ ය. ලංකාව තුල, වාමාංශික ව්‍යාපාරය අධ්‍යාපන අයිතිය සඳහා බලපෑම් කලේ ය. ඒ. නුගවෙල සහ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මෙම ඉල්ලීම ප්‍රමුඛත්වයට ගත් අතර කන්නන්ගර පනතක් ඉදිරිපත් කර 1947 එය සම්මත කර ගත්තේ ය.
මේසා වේගයෙන් අධ්‍යාපන අයිතිය සඳහා අරගලයේ ඉතිහාසය ප්‍රතිසංස්කෘතියක ඇරඹුම තුල ලියා ඇත්තේ, ශිෂ්‍ය සංගම් මගින් තමන් අධ්‍යාපන අයිතිය රැකගැනීමට සැබෑ අරගලය කල බව කියා පෑමටයි. ඒ බව මෙසේ කියා පා තිබේ : 'අද වන තුරුම මෙම අභියෝගවලින් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කලේ ශිෂ්‍ය ව්‍යාපාරයයි.' ඔවුන්ට අනුව, එවැනි අරගලයක් නොතිබුනේ නම් මේ වන විට නිදහස් අධ්‍යාපනය අවසන් වී තිබිය යුතුය.
ඉතිහාසය මීට වෙනස් ය. මාක්ස් සහ එංගල්ස් 1848 නිකුත්කල සුප්‍රසිද්ධ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශය තුල 'සියලු ලමයින්ට ප්‍රසිද්ධ පාසල්වල නොමිලයේ අධ්‍යාපන ලබාදීම' ඇතුලු ඉල්ලීම් ඉදිරිපත්කලේ, එය සාක්ෂාත් කලහැකි ලෙස ධනපති ක්‍රමය පෙරලා දැමීමේ පුලුල් අරගලයට සම්බන්ධිත ව ය. ලෙනින් ට නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඇරඹිය හැකිවූයේ, 1917 ලෙනින්-ට්‍රොට්ස්කි සම නායකත්වය දුන් රුසියාවේ සමාජවාදී විප්ලවයෙන් සාර් අධිරාජ්‍යවාදී පාලනය පෙරලා දමා, අධිරාජ්‍යවාදීන්ගේ ම්ලේච්ච පලමුවන ලෝක යුද්ධය අවසන් කර, ගොවීන්ගේ ද අධාරය ඇතිව කම්කරු පන්තියේ ආඥාදායකත්වය තහවුරු කිරීම නිසා ය.
අවිශිබම/කැවිශිසං මේ ඉතා වැදගත් ඉතිහාසය සාකච්චා කිරීම මගහැර ඇත්තේ පොතේ ලියා ඇති හෑලි අතර ඉඩ නොතිබූ නිසා නොවේ. නිදහස් අධ්‍යාපන අයිතිය සැබෑ ලෙස සහතික කිරීම ධනපති ක්‍රමය පෙරලා දැමීමේ අරගලය සමග බැඳී ඇතිබව වසන් කිරීම සඳහා ය.
ලංකාව තුල 1930 ගනන් අග සහ 1940 ගනන් වල නිදහස් අධ්‍යාපන අයිතියට සම්බන්ධ ඉල්ලීම්, සියලු ලමුන්ට පාසැල් පොත් ලබාදීම සහ දිවා ආහාරය ලබාදීම ඇතුලු ඉල්ලීම් පුලුල් අරගලයක කොටසක් ලෙස ඉදිරිපත් කලේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයක් ලෙස නැගී ආ සම සමාජ පක්ෂය (ලසසප) යි. එය අව්‍යාජ ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ලෙස ඉන්දියාවේ බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) නමින් 1940 ගනන්වල සංවිධානය වූ පසුව එහි නායකයෙකුවූ එන්. එම්. පෙරේරා 1944 බෝගම්බර සිර මැදිරියේ සිටියදී ලියු නිදහස් අධ්‍යාපනය සඳහා ප්‍රකාශය (The Case for Free Education) නිදහස් අධ්‍යාපන අයිතියේ සර්ව සාධාරනත්වය පෙන්වා දුන්නා පමනක් නොව, මුල්‍ය ප්‍රාග්ධනය අධිකාරිත්වය දරන අධිරාජ්‍යවාදී යුගයේ එම අයිතිය සාක්ෂාත් කල හැක්කේ සමාජවාදී ක්‍රමයක් යටතේ බව අවධාරනය කලේය.
1940 ගනන් අග, ලංකාවේ නිදහස් අධ්‍යාපනය නීතිගත කිරීමට එවක රාජ්‍ය මන්ත්‍රන සභාවට සිදුවුයේ කම්කරු පන්තිය තුලින් මතු කෙරුනු උද්ඝෝෂනය තුලය. එය, සීමිත නිදහස් අධ්‍යාපන අයිතියකි.
1964 ලසසපය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ධනපති සභාග ආන්ඩුවකට ඇතුල්වීමෙන් නිදහස් අධ්‍යාපන අයිතිය සඳහා කම්කරු පන්තිය ප්‍රමුඛ කොට තරුනයන් හා සිසුන් රැලි කරගනිමින් කරන ලද අරගලය අත්හැරියා පමනක් නොව එය කප්පාදු කිරීමට හා ප්‍රමිතිකරනය වැනි වාර්ගික භේදකාරී පිලිවෙත් ඇතුල් කිරීමට ධනපති ආන්ඩුවට උදවූ කලේය.
1960 ගනන් අග සිට ජවිපෙ සිසු සංගම් විශ්වවිද්‍යාල තුල හිස එසවූයේ හා සිසුන් අවමන්ගත කිරීම ඇරඹුනේ මුලිකව ලසසප පාවාදීමේ දුෂ්-පතිඵලයක් ලෙසය.
ශිෂ්‍යයන් සුවිශේෂී බලයක් ලෙස උත්කර්ෂයට නැංවීම ලංකාවට පමනක් සිමා වුයේ නොවේ. එය, 1950 ගනන් අග සහ 1960 ගනන්වලද වැඩි ගිය මෝස්තරයකි. එය තවමත් පැතිර පවතී. කම්කරු පන්තියේ විප්ලවවාදී ශක්තිය ගැන විශ්වාසය බිඳවැටෙන වාතාවරනයක අනන්‍යතා දුර් දේශපාලන න්‍යායන් ප්‍රවර්ධනය කල ප්‍රවනතා වල නැගීම සමග එය සම්බන්ධය. පසුවට එය මෙම ලිපියේ සාකච්ජා වේ.
ධනේශ්වර රාජ්‍ය පිලිබඳ දුර්-මත සහ සිසුන් එයට ගැට ගැසීමේ යෝජනා
“නීතිය යුක්තිය පසිඳලයි ද?” යන මාතෘකාවෙන් යුත් පොතේ තවත් කොටසක, සිසුන් සැමට යුක්තිය ඉටු කරන “නීති සංග්‍රහයක්” ස්ථාපිත කිරීමේ අරගලයක යෙදී ගතයුතු බව සඳහන් වේ.
එම කොටසේ මෙසේ සඳහන් වේ: , 'මිනිස්සු තමන්ගේ සාමූහික ව්‍යායාමයක ප්‍රතිඵලයක් විදියට ගොඩනගා ගත්තු මානව සංවිධාන අතර උසස්ම සංවිධානය රාජ්‍යයයි කියල ඔයා දැන් දන්නවා. මේ රාජ්‍ය කියන සංවිධානය අක්‍රමවත් වෙන්න නොදී හික්මීමෙන් යුතුව මෙහෙය වන්න හිතාගෙන ‘නීති’ කියන සංකල්පය හදුන්වා දුන්නා. (21 පිටුව, අවධාරනය අපගේ)
මාක්ස් සමාජ සමානතාවය ඉල්ලා සිටි බව එහි සඳහන් වේ. ෆූකෝ වගේ අය 'සමාජයක නීති රාමුව නිසා මිනිස්සුන්ට වන පීඩාවට එරෙහිව රැඩිකල් අරගලයක් ගෙන ගියා' යයි ද එහි සඳහන් වේ.
වෛෂයික සත්‍ය සහ ද්‍රව්‍යමය යථාර්ථයේ පැවැත්ම ප්‍රතික්ෂේප කල ෆූකෝ ක්‍රමානුකූල පන්ති අරගලය වර්ධනය කිරීමට ප්‍රතිවිරුද්ධ ව, විවිධ අනන්‍යතා පාදක කරගත් අරගල කිරීම දේශනා කලේ ය. අවිශිබම සහ කැවිශිසං නායකයන් අනුගමනය කරන්නේ මෙම මාක්ස්වාද-විරෝධී සංකල්පයන් ය.
පලමුවෙන්ම, 'මිනිස්සු තමන්ගේ සාමූහික ව්‍යායාමයක ප්‍රතිඵලයක් විදියට ගොඩනගා ගත්තු මානව සංවිධාන අතර උසස්ම සංවිධානය රාජ්‍යයයි' යන අවිශිබම/කැවිශිසං ප්‍රකාශය සම්පූර්නයෙන් ම අසත්‍යයකි. එය ධනේශ්වර රාජ්‍යයට වන්දනාමාන කිරීම සඳහා ගොතාගත් සුත්‍රයකි.
රාජ්‍යයේ උපත පිලිබඳව, අදට ද මුලුමනින්ම අදාල සම්භාව්‍ය විශ්ලේශනය කර ඇත්තේ මාක්ස්වාදය විසිනි. රාජ්‍යය යනු 'පන්ති ප්‍රතිඝතිතතාවයේ අශමනීයභාවයේ' ප්‍රතිඵලයක් වන අතර එය පන්ති පාලනයේ අවයවයක් ලෙස මතු විය. එංගල්ස් මෙසේ සඳහන් කලේය:
'...රාජ්‍යය සදා කල්හිම පැවතියේ නොවේ. එය නොමත්ව කටයුතු කල රාජ්‍යය හා රාජ්‍ය බලය ගැන හැඟීමක් නොමැතිව පැවති සමාජ තිබී ඇත. සමාජය පන්තිවලට බෙදීයාම සමග අවශ්‍යයෙන් ම බැඳුනු ආර්ථික සංවර්ධනයේ එක්තරා අවධියක දී, මෙම භේදවීම නිසා රාජ්‍යය අවශ්‍ය දෙයක් වූයේ ය.” (මාක්ස්-එංගල්ස් තෝරාගත් කෘති, 3 වෙලුම, එංගල්ස් විසින් ලියන ලද පවුල, පෞද්ගලික දේපොල සහ රජය ඇතිවූ සැටි, 317 පිටුව)
රාජ්‍යය 'සාමය' ඇතිකිරීම සඳහා ඇතිකල එකක්ය යන බොරුව හෙලිදරවු කරමින් ලෙනින් මෙසේ ලීවේය:
'... 'සාමය' ගෙන ඒම සඳහා සන්නද්ධ රාජ්‍ය ආයතන සහ නීති නිර්මානය කිරීම යනු පන්ති අතර ගැටුම සමනය කිරීමෙන් මෙම පීඩනය නීතිගත කිරීම සහ පවත්වාගෙන යාමයි. කෙසේ වෙතත්, සුලු ධනේශ්වර දේශපාලනඥයන්ගේ මතය අනුව, 'සාමය' යන්නෙන් අදහස් කරන්නේ පන්ති අතර සංහිඳියාවයි (ලෙනින්).
ධනපති රාජ්‍යයේ කර්තව්‍යය වන්නේ, කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත පන්තීන් ධනපති පන්තියේ අවශ්‍යතාවලට අනුව යටත් කර දීමයි. සාපේෂව පන්ති සාමය පවත්නා කාලවල රාජ්‍යය බේරුම් කරුවෙකු ලෙස හෝ අපක්ෂපාති ලෙස පෙනී සිටිය ද පන්ති අරගලයේ වඩවඩාත් තියුනු වන කොන්දේසි තුල එහි නග්න ප්‍රචන්ඩ පන්ති ආයුධය ලෙස ක්‍රියාවට බසී. මෙය යථා අත්දැකීමයි.
ශිෂ්‍ය නායකයින් නවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම ධනේශ්වර රාජ්‍යය සඳහා යහපත්, සමානාත්මතාවය පදනම් කරගත් නීති සංග්‍රහයක් ස්ථාපිත කිරීමට පෙරමුන ගත යුතු බවයි. අවිශිබම සහ කැවිශිසං, ධනපති රාජ්‍යය කම්කරුවන්ට සහ දුප්පතුන්ට සේවය කිරීම සඳහා ප්‍රතිසංස්කරනය කරගත හැකිය යන දුෂ්ටතම මිත්‍යාවක් සිසුන් මතට පටවන්නේ එලෙස ය. මෙලෙස, ධනපති ක්‍රමයට හා රාජ්‍යයට ගැට ගැසුනු සිසු නායකයන් බිහි කරන්නේ පෙසප විසිනි.
ස්ත්‍රීවාදය ප්‍රචාරය කිරීම
අරගලයේ ස්ත්‍රිය කොතැනකද? මෙම කොටසින්, ප්‍රතිසංස්කෘතිය ලේඛනය “ස්ත්‍රීවාදය” ප්‍රවර්ධනය කරයි. කාන්තාවන් ගැන දැඩි ලෙස සැලකිලිමත් වන බව පෙන්වීමට තැත් කරන ශිෂ්‍ය සංගමය, ඔවුන් අයිතිවාසිකම් සඳහා අරගල කිරීම සහ “සුදුසු ස්ථානයන්ට පැමිනීම” ගැන ප්‍රශංසා කරයි.
ලෝක දේශපාලන වේදිකාවේ කාන්තාවන් ඉදිරියෙන් සිටිනු දැකිය හැකි බව කියන ඔවුහු ඒ පිලිබඳව මෙලෙස උදාහරන දෙති: එක්සත් රාජධානියේ ඇති දක්ෂිනාංශික පක්ෂයක් වන කොන්සර්වේටිව් පක්ෂයේ තෙරේසා මේ අගමැතිනියක් වීම (2016-2019) ; එවකට දක්ෂිනාංශික ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායිකා ඇන්ජෙලා මර්කල් ජර්මානු චාන්සලර් වීම (2005-2021). මලාලා යූසුෆ්සායි, මුනිඛා මුසාරි, වරිස් දයිරි වැනි රැඩිකල් මධ්‍යම පන්තික මානව හිමිකම් ක්‍රියාකාරිනියන්ගේ නම් ද ඉදිරිපත් කර තිබේ.
මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ධනේශ්වර නායකයින් සහ ධනපති සංස්ථාපිතයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් උත්කර්ෂයට නැංවීම, කැවිශිසං සහ අවිශිබම අවධානය යොමු වී ඇත්තේ කුමන පන්ති වෙත ද යන්න පැහැදිලි කිරීමට ප්‍රමානවත් ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ, තමන් ද ආසක්තව සිටින, ධනේශ්වර ක්‍රමය තුල යම් ප්‍රභූ තනතුරු සොයන තැනට ශිෂ්‍යාවන්ගේ ඇස් යොමු කිරීමයි.
ස්ත්‍රීවාදය යනු අනන්‍යතා දේශපාලනයේ ප්‍රධාන රූපාකාරයකි. කාන්තාවන්ට වෙන වෙන ම උද්ඝෝෂන කල හැකි බවත් සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් ජය ගත හැකි බවත් එය කියා සිටී. මෙය අසත්‍යයකි, මන්ද සමාජ වෙනස්කම් කිරීමේ මූලය පවතින්නේ පන්ති සමාජය තුල—විශේෂයෙන් නූතන ධනේශ්වර ක්‍රමය තුල බැවිනි.
සමාජයේ මූලික බෙදීම ලිංගභේදය නොව පන්තියයි. කාන්තාවන්ට එරෙහි වෙනස්කම් කිරීමට විරුද්ධ සටන මුල් බැස ඇත්තේ ධනේශ්වර පන්ති සමාජය තුල ය. එය සමාජ අසමානතාවයෙන් සහ රැකියා, සෞඛ්‍ය සේවා, විශ්‍රාම වැටුප් සහ අධ්‍යාපනයට ඇති අයිතියට එල්ල වන ප්‍රහාරයන්ට එරෙහි සටනින් වෙන් කල නොහැකි ය.
ගබ්සා කිරීමේ අයිතිය වැනි, කාන්තාවන් මුහුන දෙන විශේෂිත ගැටලු ඇති අතර, සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් වලට එරෙහි ව පවතින විරුධත්වය විසඳාගත හැක්කේ ධනවාදය පෙරලා දමා කම්කරු බලය ස්ථාපිත කිරීමේ අරගලය තුලනි. ස්ත්‍රී අනන්‍යතා ව්‍යාපාර ගොඩනැගීම යනු මෙම අරගලයෙන් කාන්තාවන් වෙනතකට යොමුකිරීමේ ප්‍රයත්නයකි.
ප්‍රතිසංස්කෘතිය පිලිබඳ සංකල්පයේ ප්‍රතිගාමීත්වය
ප්‍රති-සංස්කෘතිය යන සංකල්පය මුලින්ම ප්‍රමුඛ ලෙස හඳුන්වා දුන් ආකාරය පැහැදිලි කිරීම මෙහිදී වැදගත් වේ. මේ සම්බන්ධයෙන්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් කල විශ්ලේෂනයක් දීර්ඝ ලෙස උපුටා දැක්වීම උචිත ය:
'පුද්ගල අනන්‍යතාව හා ජීවන රටාව කේන්ද්‍ර කර ගත්තා වූ ද දැන් අප ඉතා නිවැරදිව 1980, 1990 සහ 2000 ගනන්වල 'ව්‍යාජ වාම දේශපාලනය ලෙස සඳහන් කරන නිර්නායකයට සුදුසුකම් ඇත්තා වූ ද දේශපාලන තේමාවන් බොහොමයක් උපත ලැබුවේ 1950 හා 60 ගනන්වල සුලු ධනපති වාම හා පැබ්ලෝවාදී පරිසරය තුලය. විශේෂයෙන් ම මාකියුස් විසින් අර්ථ ගන්වන ලද පරිදි ෆ්‍රොයිඩ් හා මනෝවිද්‍යාව, මාක්ස්ට හා භෞතිකවාදයට විකල්පයක් ලෙස හුවා දැක්වූ අවධිය වූයේ මෙය යි. කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය මාකියුස් විසින් අශුභවාදීව ප්‍රතික්ෂේප කිරීම, සර්ව බලධාරි යැයි කියන ලද පීඩාකාරී සමාජය තුල පුද්ගල විමුක්තිය සඳහා පදනම ලෙස පන්ති අරගලයට විකල්ප සෙවීමට අනුමැතියක් පමනක් නොව බලකිරීමක් ද විය. ඔහුට විශේෂයෙන් ම විශ්වවිද්‍යාල තුල බෙහෝ උද්‍යෝගිමත් ගෝලයන් ලැබුනි. එවක දී පැවති බුද්ධිමය මනෝභාවයේ ප්‍රකට ප්‍රකාශනය දක්නට ලැබුනේ තියඩෝර් රොසාක් 1968 ලියු The Making of a Counter-Culture (ප්‍රතිසංස්කෘතියක් ගොඩ නැගීම) නම් කෘතිය තුල ය. රොසාක්, මාකියුස් ද Love's Body (අනුරතියේ ශරීරය) රචනා කල නෝමන් බ්‍රවුන් ද මාක්ස් ඉක්මවා ඉදිරි පියවර ගත්හ යි උත්කර්ෂයෙන් ලිවීය:
''....මාකියුස් හා බ්‍රවුන් විමුක්තිය පිලිබඳව කථා කල ස්වරය සුවිශේෂිතවම නිර්මාක්ස්වාදී ය. මාකියුස් පිලිබඳව කිව හොත් එය 'ලුබ්ධිමය තාර්කිකත්වය' සාක්ෂාත් කර ගැනීමකි. ඔවුන් සම්බන්ධයෙන් නම් එය 'යථාර්ථය පිලිබඳ ශෘංගාරාත්මක සංවේදනයක්' හෙවත් 'ඩයොනීසියානු මමංකාරයක් නිර්මානය කිරීමකි. මෙම පරමාදර්ශයන් පහදා දීමට උත්සාහ දැරූ ඔවුන් දෙදෙනාම පුරානෝක්තියේ හා කාව්‍යයේ සංකල්ප රූප හඳුන්වා දීමේ ප්‍රහර්ෂි රචකයන් බවට විෂය ස්වභාවය විසින් ම පත් කරනු ලැබූහ. මේ ආකාරයට ඔවුහු සමාජ දෘෂ්ටිවාද සාහිත්‍යයෙන් හා ඊටත් වඩා විද්‍යාවන්ගෙන් අපකීර්තිමත් ලෙස විෂයෝ වූ තානයක් වාදනය කලහ...
''ෆ්‍රොයිඩ් - මානව ස්වභාවය පිලිබඳ සිය සංකල්පය බාගත්තේ පුරානෝක්තිය, ආගම, සිහින, දෘෂ්‍යයන් යන අන්ධකාර ජලාශයෙනි. එහෙත් මේ සියලු ගුප්ත විෂය සම්බන්ධයෙන් මාක්ස්ට අල්පමාත්‍ර තැකීමක් හෝ නො වී ය. ඔහුගේ තෝරා ගැනීම වූයේ, මිනිසාට homo economicus, ... (ආර්ථික -මිනිසා), homo faber (නිර්මානක මිනිසා) හැර වෙනත් කිසිදු සෙයියාවකින් පෙනී සිටීමට ඉඩක් නොපැවති බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේඛනාගාරයේ කර්මාන්ත පිලිබඳ දත්ත හාරා අවුස්සමින් සෝබර පැය ගනන් ගත කිරීම ය.
''කුපිත සදාචාරවාදියා, මහා ව්‍යසනයේ ජ්වලිත වක්තෘ සහ බහුශ්‍රැත බුද්ධි දාසයා වූ මාක්ස්ට සූරා කනු ලබන්නා වූ ද ප්‍රීති රහිත වූ ද හෝමෝ ඉකොනොමිකස් හැර අන් කිසිදු මිනිසෙකු ගැන සිතන්නට අර්බුදයේ ගිනියම හා පීඩනය තුල කවර අවකාශයක් පැවතිනි ද?'
'මානව වර්ගයේ අනාගතය සඳහා තීරනාත්මක සටන් කෙරෙනු ඇත්තේ පන්ති අරගලයේ ක්ෂේත්‍රය මත නොව මිනිස් සිරුර මත බව ෆ්‍රොයිඩ් වටහා ගත්තේ යැයි රොසාක් වෙනත් තැනක ලියා තැබීය.' (ව්‍යාජ වමෙහි න්‍යායික සහ ඓතිහාසික සම්භාවයෝ, ඩේවිඩ් නොර්ත්, කම්කරු මාවත ප්‍රකාශන, 21-22 පිටු)
ප්‍රතිසංස්කෘතික ඇරඹුම පොතේ ලේඛකයින් මෙම කෘති කියවා තිබුනත් නැතත්, අවම වශයෙන් මෙම සංකල්ප, පශ්චාත් නූතනවාදය වැලඳගත්, පන්ති අරගලය ප්‍රතික්ෂේප කල සහ අනන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කල විවිධ ශාස්ත්‍රාලිකයන් හරහා ද ඒවායින් මුසපත්ව සිටින පෙසප නායකයන් හරහා ද ඔවුන් වෙත පෙරහන් ව ඇතුවාට සැක නැත.
මෙම ප්‍රතිගාමී සංකල්ප වැලඳගෙන සිටින අවිශිබම සහ කැවිශිසං සහ ඔවුන්ගේ පෙසප උපදේශකයෝ කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කරති. අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරගලවල පෙරමුනේ සිටින ප්‍රධාන බලවේගය ලෙස පෙසප නායකයින් විසින් “ශිෂ්‍ය ව්‍යාපාරය” හුවා දක්වයි. මෙම පක්ෂය, එහි අනන්‍යතා දේශපාලනයේ කොටසක් ලෙස, ශිෂ්‍ය ව්‍යාපාරය, ස්ත්‍රීවාදය හෝ කාන්තා විමුක්ති ව්‍යාපාරය, එල්ජීබීටීක්යු යනාදි කන්ඩායම් උත්කර්ෂයට නංවයි.
මෙම විවිධ කොටස්වලට ධනේශ්වර සමාජය තුල සහන දිනා ගැනීම සඳහා විරෝධතා ව්‍යාපාර යෝජනා කරමින්, ධනේශ්වර ක්‍රමය විසින් ඇතිකර තිබෙන සියලුම ආකාර වෙනස්කම්වලට එරෙහිව සමානාත්මතාවය මත පාදකවූ සක්‍ය විසඳුමක් සම්පාදනය කිරීමට කම්කරු පන්තියට පවත්නා විප්ලවවාදී විභවය ප්‍රතික්ෂේප කරති. ව්‍යාජ වාමාංශිකයන් ධනේශ්වර පාලනයට සේවය කරන්නේ එලෙසිනි.
මෙම වෙනස්කම් කිරීම් තුරන් කල හැකි කම්කරු පන්තිය, විප්ලවවාදී බලවේගය වීම හා එහි විප්ලවවාදී ස්වභාවය තීරනය වී ඇත්තේ ධනේශ්වර නිෂ්පාදනයට ඊට පවතින ප්‍රමුඛ සබඳතා මගිනි. ධනවාදය පෙරලා දැමීමට හා නිෂ්පාදන ක්‍රමය සමාජවාදී ආකාරයට ප්‍රතිසංවිධානය කිරීමට ඓතිහාසික ව හැකියාව ඇති පන්තිය කම්කරු පන්තියයි. මාක්ස් පැහැදිලි කල පරිදි, 'එය, නිර්ධන පංතිය යනු කවරේද, සහ එහි පැවැත්මට අනුකූලව එයට ඓතිහාසිකව කිරීමට බල කෙරෙනු ඇත්තේ කුමක්ද යන්න පිලිබඳ ප්‍රශ්නයකි.' (ශුද්ධ වූ පවුල, 37 පිටුව, මාක්ස් එංගල්ස්, 4 වන වෙලුම).
කැවිශිසං සහ අවිශිබම හි උපසංස්කෘතික සහ ප්‍රතිසංස්කෘතියක ව්‍යාපෘතිය සම්පූර්නයෙන්ම සමාජවාද-විරෝධී සහ මුලුමනින් ම ජාතිකවාදී ය.
මෙබඳු සංකල්ප සහ ව්‍යාපාර පැනනැගීම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලට පමනක් සීමා වී නැත. බොහෝ රටවල ව්‍යාජ-වාම සහ රැඩිකල් කන්ඩායම් විසින් පුලුල් ලෙස මෙවැනි ව්‍යාපාර ඉස්මත්තට ගනු ලබයි. ඔවුහු ජාතිකවාදය, කුලවාදය සහ වර්ගවාදය ආදී සියලු කුනු වූ මතවාදයන් තොරොම්බල් කරති. එය කම්කරු පන්තිය භේදභින්න කිරීමට සේවය කරයි.
වර්ගවාදය සහ අවිශිබම/කැවිනිශිසං
ලංකාවේ ඉතිහාසය පුරා ජාතිවාදී අන්තවාදය යොදාගත් බවත්, අපේ රට කෑලි කෑලි වලට කඩල බෙදා ගන්න ගිය කුරිරු යුද්ධයක් කාලයක් ක්‍රියාත්මක වූ බවත්, පාලකයෝ බලය රැක ගන්න සූක්ෂම ක්‍රියාත්මක කරපු සැලසුම් නිසා මේ යුද්ධය ඇතිවුන බවත් මෙම කෘතිය කියා සිටි. 'හැබැයි ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය සෑම විටම අරගල භූමියේ බෙදුම්වාදී අන්තවාදයට එරෙහි වුනා. සෑම විටම එකම පරපුරක මිනිස්සු එක් කරන්න වෙහෙසුනා.'
කැවිශිසං සහ අවිශිබම ඔවුන්ගේ ම ඉතිහාසය උඩු යටිකුරු කර ඇත. 1978 දී ජවිපෙ විසින් විශ්වවිද්‍යාලයන්හි තම කේඩරයන් යොදා ගනිමින් අවිශිබමය සංවිධානය කරන ලදී. ශිෂ්‍ය සංවිධානයේ දේශපාලනය තීරනය කරනු ලැබුවේ එහි දේශපාලන සංවිධායකයා වූ ජවිපෙ විසිනි.
1960 ගනන්වල අග භාගයේදී සිංහල දේශප්‍රේමය සමඟ මාඕවාදී සහ කැස්ත්‍රෝවාදී ගොවි ගරිල්ලාවාදය විසකුරු ලෙස කලතා ගත් දේශපාලනයක් මත පදනම්ව ජවිපෙ බිහි විය. ආරම්භයේ සිටම ජවිපෙ ඉන්දියානු විරෝධි ව්‍යාප්තවාදය ප්‍රචාරය කල අතර, වතු කම්කරුවන් වරප්‍රසාද භුක්ති විඳින, ඉන්දියාවට පක්ෂපාතී 'පස්වන කොලමක්' ලෙස හංවඩු ගැසුවේ ය. මෙම ප්‍රචාරය නෑකම් කීවේ, 1950 සහ 1960 ගනන්වල සිංහල ජාතිවාදී කන්ඩායම්වල නින්දිත ප්‍රචාරයටයි.
1983 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ කොලඹ ආන්ඩුව වාර්ගික යුද්ධයක් අවුලුවාලූ දා සිට, ජවිපෙ එහි දැඩි ආධාරකරුවෙකු විය. අවිශිබම නායකයෝ, එහි යුද්ධයට පක්ෂපාති උද්ඝෝෂනය අනුගමනය කරමින්, සිසුන් එම ව්‍යාපාරය තුලට අද දැමීමට උත්සාහ කලහ.
1987 ජුලි මාසයේ දී, කොලඹ ආන්ඩුව නවදිල්ලිය සමග ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කල විට, එය මව්බිම පාවාදීමක් බව පවසමින්, ඊට එරෙහිව ජවිපෙ 1988-1990 වසරවල 'පලමුව මව්බිම' ෆැසිස්ට් ව්‍යාපාරය දියත් කලේ ය. මෙම ජවිපෙ ව්‍යාපාරය තුල අවිශිබම නායකයින් ද ප්‍රමුඛ විය. මෙම ෆැසිස්ට් ව්‍යාපාරයේ දී ජවිපෙ, කම්කරුවන්, තරුනයින්, දේශපාලන විරුද්ධවාදීන් සහ වෘත්තීය සමිති නායකයින් දහස් ගනනක් ඝාතනය කලේ ය. මෙම කාල පරිච්ඡේදයේ, එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව ගෙන ගිය රාජ්‍ය භීෂන ව්‍යාපාරය මගින් ජවිපෙ හා ශිෂ්‍ය නායකයින් ද සමග ග්‍රාමීය තරුනයින් 60,000 ක් පමන ඝාතනය කරන ලදී.
කැවිශිසං/අවිශිබම තවමත් වාර්ෂික ව, ෆැසිස්ට් ප්‍රහාරවලට සම්බන්ධ වූ ශිෂ්‍ය නායකයින් ශිෂ්‍ය වීරයන් ලෙස අනුස්මරනය කරයි.
එවක, අපගේ සසජාතශි හි පූර්වගාමියා වූ තරුන සමාජවාදියෝ සංවිධානය, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (සමාජවාදී සමානතා පක්ෂයේ පෙරගමන්කරු) සමග එක්ව, එජාප භීෂනයට මෙන්ම ජවිපෙ සහ අවිශිබම ප්‍රතිගාමී ව්‍යාපාරයට එරෙහි ව නිර්ධන පන්තික ඉදිරිදර්ශනයට සටන් කලේය.
එනිසා, ජවිපෙ ෆැසිස්ට් තුවක්කුකරුවෝ අප සහෝදරවරුන් තිදෙනෙකු මරාදැමුහ. . ඉන් එක් අයෙකු වුයේ, සමාජවාදය් සඳහා අරගලය නිසා සිසුන් අතර ද කීර්තියක් දිනා සිටි, පේරාදෙනිය විශ්ව ව්ද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙකු වූ පී. ඒ. ගුනපාල ය. ආර් ඒ පිටවල (වැලිමඩ) හා ග්‍රේෂන් ගීකියනගේ අනෙක් සහෝරවරුන් ය.
අපගේ ක්‍රියාමාර්ගය ලෙස ඉදිරිපත් කෙරුනේ, යුද්ධයට, උතුරු-නැගෙනහිර ඉන්දියානු හමුදා වාඩිලා ගැනීමට සහ ජවිපෙ වර්ගවාදී ව්‍යාපාරයට ද එල්ටීටීටඊ බෙදුම්වාදයට ද එරෙහිව සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් අතර ජාත්‍යන්තරවාදී එකමුතුව සහ ජාත්‍යන්තර සමාජවාදයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් කිරීමයි.
1994 ජවිපෙ ප්‍රතිසංවිධානය වූ අතර, අවිශිබමය අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතිවාසිකම් කප්පාදු කිරීමට එරෙහි විරෝධතා ව්‍යාපාර සමඟින් සිය කටයුතු නැවත ආරම්භ කලේ ය. කෙසේ වෙතත්, අවිශිබම නායකයෝ, එල්ටීටීඊය පරාජය කරන තෙක් ජාතිවාදී යුද්ධයට සහාය දක්වමින් ජවිපෙ ව්‍යාපාරවලට සහභාගී වූහ. දැන්, පෙසප ඉදිරියට දමා ඇති ඉන්දියානු විරෝධී උද්ඝෝෂනයට අවිශිබම/කැවිශිසං නායකයෝ ද සම්මාදම් වී සිටිති.
කැවිශිසං ප්‍රති-සංස්කෘතිය ඔවුන් ජාතිවාදයට එරෙහි ව සටන් කල බවට කරන ලද අසත්‍ය ප්‍රකාශය ඒ ආකාර ය. කැවිශිසං සහ අවිශිබම, ඒවායේ දූෂිත ම වාර්ගික ඉතිහාසය නරුම ලෙස වර්නනා කරමින් පෙසප සහ ජවිපෙ තුල නායකයින් පුහුනු කලහ. එදත් අදත් සිසුන්ගෙන් බහුතරය ඔවුන්ගේ දේශපාලනයට සහාය දක්වන්නේ නැත.
අවිශිබම, කැවිශිසං සහ අනෙකුත් ශිෂ්‍ය නායකයින්, සසජාතශි සහ සසප සාමාජිකයින් සිසුන් සමඟ සාකච්ඡා කිරීමට දැඩි ලෙස විරුද්ධ වී ඇත. කැලනිය, ජයවර්ධනපුර සහ පේරාදෙනිය විශ්වවිද්‍යාල අසල දී ශිෂ්‍ය නායකයින් අප සාමාජිකයන්ට තර්ජනය කලා පමනක් නොව, ශාරීරික බලය යෙදවීමට උත්සාහ කල අතර විශ්ව විද්‍යාලවල පොලිසිය වන මාර්ෂල්වරුන්ට පැමිනිලි කලහ.
මෙම ක්‍රියාවන් මගින් පෙන්නුම් කෙරෙන්නේ, ශිෂ්‍ය සංගම්වල දේශපාලනය සහ ක්‍රියාමාර්ග පිලිබඳ විවෘත සාකච්ඡාවකට ඇති භීතිය, මාක්ස්වාදී දේශපාලනයට ඇති සතුරුකම සහ අපගේ සංවිධානවල පමනක් නොව සිසුන්ගේ ද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ද උල්ලංඝනය කිරීමයි.
ප්‍රතිසංස්කෘතියක ඇරඹුම විසින් ඉදිරිපත් කරන ඇති දේශපාලනය ප්‍රතික්ෂේප කරන ලෙස සිසුන්ගෙන් අපි ඉල්ලා සිටිමු. මෙම කෘතියෙන් හා අවිශිබම ඉදිරපත් කරන ප්‍රලාප, පුච්චානම් දුර්-මතවාදයන් ගෙන් විශ්ව විද්‍යාල සිසුන් නොමග නොයා යුතු ය. ඔවුන් හැදෑරිය යුත්තේ මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කි ගේ කෘතීන් සහ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී විශ්ලේෂනයන් ය.
ධනවාදයට දිය හැක්කේ ගැඹුරුවන සමාජ අසමානතාව, ආඥාදායකත්වය සහ ෆැසිස්ට්වාදය සහ මානව වර්ගයා විනාශ මුඛයට ඇදලන න්‍යෂ්ටික ලෝක යුද්ධයයි. සෑම රටකම ඊට එරෙහිව කම්කරුවන්ගේ, පීඩිතයන්ගේ, සිසුන් ඇතුලු තරුනයන්ගේ අරගල වර්ධනය වෙමින් පවතී. 2022 ලංකාවේ මහජන නැගිටීම දෙස බලන්න. අද, එක්සත් ජනපදයේ ෆැසිස්ට් ජනාධිපතිගේ මුර්ග ප්‍රහාර වලට එරෙහිව අරගල මතුවී ඇත. ගාසාවේ අමුඅමුවේ සිදුකරන ජනඝාතන හා යුක්‍රේනයේ යුද්ධය හා ඉන්දියාව සහ පකිස්ථානය න්‍යෂ්ටික යුද්ධයක් අද්දරට යාම බරපතල අනතුරු ඇඟවීම් ය.
සිසුන් කම්කරු පන්තිය වෙතට හැරී, එය සමග ඒකාබද්ධ වෙමින්, අද දින මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදයේ පදනම මත විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමේ අරගලයට එක්වීම අවශ්‍ය ය. ශ්‍රී ලංකාවේ මෙම අරගලය මෙහෙයවනු ලබන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සසජාතශි සහ සමාජවාදී සමානතා පක්ෂය විසිනි. අපගේ ජාත්‍යන්තර ප්‍රකාශය ලෝක සමාජවාදී වෙබ්අඩවියයි (wsws.org) .