පලමු කොටස | දෙ වැනි කොටස
***
කැලනිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය (කැවිශිසං) විසින් 2024 වසර සඳහා නව උපාධි අපේක්ෂක කන්ඩායම අතර ප්‍රතිසංස්කෘතියක ඇරඹුම යන ග්‍රන්ථයේ නවතම සංස්කරනයක් බෙදා හැර තිබේ. විශ්වවිද්‍යාලය තුල අඛන්ඩ ව වර්ධනය වෙමින් පවතින්නේයැයි කියන උප සංස්කෘතියක් පිලිබඳ ව නවක සිසුන් 'දැනුවත් කිරීම' සඳහා නිර්මානය කරන ලද ලේඛනයක් ලෙස එය හඳුන්වා දී ඇත.
කැවිශිස, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය ට (අවිශිබම) අනුබද්ධිත ය. 1978 දී සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් අවිශිබම සංවිධානය කරන ලද්දේ, සියලුම විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගම්වල එකතුවක් ලෙස ය.
2012 සිට මෙම ශිෂ්‍ය සංවිධානය, ජනතා විමුක්ති පෙරමුනෙන් කැඩී ගිය කන්ඩායමක් විසින් සංවිධානය කරන ලද ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) දේශපාලනික පාලනය යටතේ පවතී. පෙසප මෙන්ම අවිශිබමය තුල ද ජවිපෙ දේශපාලනයේ ලක්ෂන ගැබ්ව ඇත. අවිශිබමයේ සහ කැවිශිසං නායකයින් ගේ දේශපාලනික ගුරාලා වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින්, ප්‍රතිසංස්කෘතියක ඇරඹුම කෘතියේ ඉදිරිපත් කර තිබෙන ‘න්‍යායන්' සහ දේශපාලනය සම්බන්ධයෙන් මුලුමනින් ම වගකිව යුතු ය.
පොතේ අවසාන පිටුවල, අවිශිබම විසින් අතීතයේ සිදු කරන ලද විරෝධතා කිහිපයක් විස්තර කර ඇත. නිදහස් මහජන අධ්‍යාපනය සහ අනෙකුත් සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා දැවෙන උවමනාව සහ සටන්කාමීත්වය පෙන්නුම් කරමින් දහස් සංඛ්‍යාත සිසුහු එවැනි අඛන්ඩ විරෝධතාවලට සහභාගී වූහ.
දශක ගනනාවක් පුරා අවිශිබම නායකත්වය මෙම සිසුන් ජවිපෙ සහ පෙසප දේශපාලන මාවත් ඔස්සේ හරවා යවමින් සහ, ඔවුන් හුදකලා විරෝධතාවලට සීමා කරමින්, බලයේ සිටින ආන්ඩුවලට බලකර ප්‍රතිසංස්කරන සහ සහන ලබාගත හැකි බවට මිත්‍යාවන් වපුරමින් සිටී.
ආන්ඩුවක් විසින් සුලු සහනයක් ලබා දුන්නේ නම්, සිසුන් තම දේශපාලන හස්තය යටතේ තබා ගැනීම සඳහා, අවිශිබමය වහාම එය ඩැහැගන එය විශිෂ්ට ජයග්‍රහනයක් ලෙස ප්‍රශංසා කරයි. එහෙත්, ශිෂ්‍ය නායකත්වයන් විසින් සිදු කරන ලද එවැනි අපගමනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, අති මූලික ප්‍රශ්න වන රාජ්‍ය අධ්‍යාපන කප්පාදුව ද අධ්‍යාපනය ලාභ උපයන කර්මාන්තයක් බවට පත්කරන පුද්ගලීකරනය ද නතර වී නැතුවා පමනක් නොව වේගවත් වී ඇත.
නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා මූලික වන සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටනකට සිසුන් එක්වීම සහ කම්කරු පන්තිය වෙත හැරීම අවිශිබමය සහ කැවිශිසං විසින් අවහිර කර තිබේ.
ශ්‍රී ලංකාව, ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදය තියුනු ලෙස ප්‍රකාශිත ව ඇති රටකි. ආර්ථික බිඳවැටීම මධ්‍යයේ 2022 අප්‍රේල්-ජූලි මාසවල මහජන නැගිටීමට මිලියන සංඛ්‍යාත කම්කරුවෝ එක් දින මහා වැඩවර්ජන දෙකක් පවත්වමින් සහභාගී වුහ.
පෙසප සහ වෘත්තීය සමිති නිලධරයන්, ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (ජාජබ) සහ සමගි ජන බලවේගය (සජබ) සමග සහයෝගී ව, මහජන අරගලය “අන්තර්කාලීන ආන්ඩුවක්” ඉල්ලීමේ ව්‍යාපාරයක් දෙසට හරවා යැවූහ. පෙසපයේ සහචරයින් ලෙස අවිශිබම නායකයෝ ද මෙම පාවාදීමට දායක වූහ.
එහි ප්‍රතිඵලය වූයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ම්ලේච්ඡ ප්‍රහාර ආරම්භ කල ඇමරිකානු ගැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට ඔසවා තැබීමට කොන්දේසි සකස් වීමයි. දැන් ජවිපෙ/ජාජබ ආන්ඩුව මෙම ප්‍රහාර දිගටම ගෙන යමින් සිටී.
මහජන අධ්‍යාපනය සඳහා වන අරමුදල් තවදුරටත් කප්පාදු කිරීම ජාමූඅ මුර්ග වැඩපිලිවෙලෙහි කොටසකි. මින් අවධාරනය කෙරෙන්නේ, සිසුන් කම්කරු පන්තිය වෙතට හැරී, අධ්‍යාපනය සඳහා ඇති මූලික අයිතිය ආරක්ෂා කිරීම සඳහා ශක්‍ය, විකල්ප ඉදිරිදර්ශනයක පදනම මත සටන් කිරීමේ අවශ්‍යතාවයයි.
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ, අවිශිබම සහ කැවිශිසං හි අනන්‍යතා දේශපාලනය පදනම් කරගත් විරෝධතා දේශපාලනයෙන් ඉවත් වන ලෙසයි. මෙම දේශපාලනය, සිසුන් ධනපති ක්‍රමය සහ ජාතිකවාදී රාමුව තුලට කොටු කර, නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ සැබෑ අරගලයකට යොමු වීම වෙනතකට හරවයි.
ප්‍රතිසංස්කෘතියක ඇරඹුම යනු සිසුන් මෙම සමාජවාදී අරගලයට හැරීම වැලැක්වීම සඳහා අවිශිබමය සහ කැවිශිසං විසින් දරන ලද තවත් කඨෝර උත්සාහයකි.
අනන්‍යතා දේශපාලනය
ප්‍රතිසංස්කෘතියක ඇරඹුම උඩසිට පහලට පදනම් වී ඇත්තේ, විශ්වවිද්‍යාල ශාස්ත්‍රාලිකයින් ද අවිශිබම නායකයින්ගේ පෙසප ගුරාලා ද විසින් ප්‍රවර්ධනය කෙරෙන, මාක්ස්වාදයට එරෙහි පශ්චාත් නූතනවාදී න්‍යායන් ගෙනි; වෙසෙසින්ම අනන්‍යතා දේශපාලනය මත ය.
මෙම පොත, විශ්වවිද්‍යාල සිසුන්ට, උපසංස්කෘතියක් ලෙස හඳුන්වනු ලබන සුවිශේෂී සංස්කෘතියක් ඇති බව කියා සිටී. එය සිසුන්ට විශේෂ බලයක් ඇති බව ප්‍රකාශ කරයි; එසේම ස්ත්‍රීවාදය ප්‍රචාරය කරයි; එය සමාජයේ සියලුම පන්ති මහා සමාජයක් බවට සිඳුවයි; එය විසින් නම් කෙරෙන මෙම මහ සමාජය, ශිෂ්‍ය අරගලය හරහා පමනක් අවබෝධය ලඟාකර ගත යුතු අඥානයන් කන්ඩායමක් ලෙස හෙලා දකී.
එම පොතේ උපසංස්කෘතිය විස්තර කර ඇත්තේ මෙසේය:
විශ්ව විද්‍යාල උප සංස්කෘතිය පිලිබඳව මහා සමාජයේ බොහෝදෙනා දැනුවත් නෑ. නමුත් ඒ ගැන නිසි අවබෝධයක් ලබාගන්න පුලුවන් කැම්පස් එකක ඉන්න අපි වගේ කෙනෙකුට විතරයි...(46 පිටුව)
“විශ්වවිද්‍යාලයකට ආවේනික අනන්‍යතාවයක් ගොඩනැගෙන්නෙ උප-සංස්කෘතිය තුලින්. විශේෂයෙන්ම, උප-සංස්කෘතියක් තමයි කියා දෙන්නෙ සාමූහිකත්වය, පරාර්ථකාමිත්වය මත කැම්පස් එකක ඉන්න හැමෝගෙම එකමුතුකමට කරන්න බැරි දෙයක් නැහැයි කියන අදහස….” (එම)
තවත් කොටසක, එයම නැවත සඳහන් වේ:
ආත්ම-පරිත්‍යාගය හෝ පරාර්ථකාමිත්වය නිර්මානය කිරීම, 'විශ්ව විද්‍යාල තුල ඔබට උගන්වා ඇති සෑම දෙයකම සාරයයි.... ඉදිරි දිනවලදී ඔබට පෙනෙනු ඇති සියලුම ක්‍රියාකාරකම් වලදී ඔබ තුල මුල් බැස ඇති විෂ සහිත ආත්මාර්ථකාමී ගස මුලිනුපුටා දමා ඔබ තුල ශක්තිමත් ගසක් රෝපනය කරනු ඇත' (අපගේ අවධාරනය).
මේ කියා සිටින්නේ, සිසුන් මහා සමාජය තුලින් එන නිසා ඔවුන් 'විෂ සහිත ආත්මාර්ථකාමී ගස' පැල කෙරුනු අමනයන් පිරිසක් ලෙස හෙලා දැක, සිසු සංගම් නායකයන් විසින් එම විෂ ශුද්ධබුද්ධ කර දැමෙන බවයි.
නේවාසිකාගාර ජීවිතය මගින් මෙම ගුනාංග ගොඩනැගෙනු ඇත—ඔබ ඇඳන්, ආහාර, දත් බුරුසු පවා බෙදා ගනී! මෙම හැසිරීම් වලින් ඔබ ඔබ ගැන පමනක් නොව, පොදු අවශ්‍යතා, සමීප සබඳතා සහ අන් අය ගැන සිතීම ඉගෙන ගනු ඇත.
විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල උපසංස්කෘතිය මතුවන්නේ, කැවිශිසං අවිශිබම නායකත්ව ස්ථර විසින් නවකයින් නව අදහස් වලින් අධ්‍යාපන ගත කිරීම, වඩාත් නිවැරදිව කිවහොත්, මෙම පොතේ ඉදිරිපත් කර ඇති විවිධ ප්‍රතිගාමී මතවාදයන්ගෙන් නවක සිසුන්ගේ මොල සේදීම මගිනි.
ඔවුන් විස්තර කරන මහා සමාජය හෙවත් මහා සංස්කෘතිය යනු කුමක් ද? 'මහා සමාජය කිසිම විටෙක සර්ව සාධාරන පොදු අවශ්‍යතා නියෝජනය කරන්නේ නැහැ.' මහා සංස්කෘතිය [හෝ මහා සමාජය] සැමවිටම පුද්ගලික සහ පටු අවශ්‍යතා මත පදනම් වේ. ජනතාව මිථ්‍යාවන්හි ගිලී සිටින නිසා ඔවුන්ට දේශපාලනඥයන්ගේ කිසිදු වැරැද්දක් නොපෙනේ. මෙම ජනතාව දූෂිත දේශපාලනඥයන්ට සහාය දක්වන අතර එක් සාම්ප්‍රදායික කඳවුරක් අනුගමනය කරති. ජනතාව 'මිථ්‍යාවන්ගෙන් යථාර්ථය' කරා ගෙන ආ යුතු ය.
‘මහා සමාජය’ සමන්විත වන්නේ කවුරුන්ගෙන් ද යන්න පොතේ නිශ්චිත ව දක්වා නැත. එහෙත් එයින් ගම්‍ය කරනු ලැබ ඇත්තේ, මහා සමාජය විශ්වවිද්‍යාල සිසුන් හැර අනෙකුත් සියලු ම පුද්ගලයින්ගෙන්, එනම්, සමාජයේ බහුතරය වන කම්කරුවන් සහ දුප්පතුන් ද ධනපති පන්තිය සහ ඉහල මධ්‍යම පන්තිය යන සියලු පන්තීන්ගෙන් සමන්විත වන බවයි.
ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාල තුල පරාර්ථකාමී, ආත්ම-පරිත්‍යාගී ගුනාංග සහිත උපසංස්කෘතියක් වර්ධනය කරමින් සිටී. මෙම පරාර්ථකාමී “උප-සංස්කෘතිය,” පොදු අවශ්‍යතා නියෝජනය නොකරන ආත්මාර්ථකාමී මහා සමාජයට “එන්නත්” කරනු ලැබේ, එමගින් ප්‍රතිසංස්කෘතිය නිර්මානය වෙයි. එය ක්‍රමයෙන් මහා සමාජය තුල ප්‍රචලිත වී යයි!
නවක සිසුන් විනය ගතවීමට, හික්මීමට සහ අසාධාරනයට වහාම විරුද්ධ වීමට පුහුනු කෙරෙන බව කැවිශිසං සහ අවිශිබම පවසයි. එයට මහා සංස්කෘතියේ දූෂිත ලක්ෂන කෙරෙහි විශාල බලපෑමක් ඇති කල හැකිය. මෙය 'අවිඥානික සමාජය සවිඥානකත්වයට ගෙන ඒමේ' අරගලයකි.
ප්‍රතිසංස්කෘතියක ඇරඹුම කෘතියේ සඳහන් මේ ප්‍රකාශ සියල්ල වනාහි, සිසුන් යනු, අවමන්ගත වී සිටින මිනිසුන්ට ඉගැන්විය හැකි සුවිශේෂී ආකාරයක පුද්ගලයන් පිරිසක් ලෙස හුවා දැක්වීමට දරන උත්සාහයකි. තව ද මේ ප්‍රකාශ මගින් පෙන්නුම් කරන්නේ ශිෂ්‍ය සංගම්වල පන්ඩිතයන්, කම්කරුවන් සහ දුප්පතුන් ගෙන් සමන්විත 'මහා සමාජයේ' මිනිසුන් කාලකන්නි, අඥාන කන්ඩායමක් ලෙස අවඥා සහගත ව සලකනු ලබන බවයි.
මෙම අතාර්කික, තකතීරු ආරෝපනයන් හා යතා ලෝකය අතර සම්බන්ධයක් නැත. ප්‍රතිසංස්කෘතිය කෘතියේ ලේඛකයින්ට අනුව, අප ජීවත් වන්නේ පන්තිවලට බෙදී ඇති ධනවාදී ලෝකයක හෝ ධනවාදී සමාජයක නොවේ. සමාජය, මහා සමාජය සහ ශිෂ්‍ය සමාජය ලෙස මෙසේ බෙදීම මුලුමනින් ම අවිද්‍යාත්මක ය.
මාක්ස් පැවසූ පරිදි, නූතන සමාජයේ ප්‍රධාන පන්ති වන්නේ ධනපති පන්තිය සහ කම්කරු පන්තිය යි. සුලු ධනේශ්වරය ඇතුලු තවත් අවශේෂ පන්ති ද තිබේ. මෙම බෙදීමේ ද්‍රව්‍යමය පදනම වන්නේ නිෂ්පාදන මාධ්‍යයන්ට ඔවුන්ගේ සම්බන්ධතාවය යි.
කැවිශිසං සහ අවිශිබම විසින් ධනේශ්වර සමාජය තුල පන්ති බෙදීම්, එක්, පන්තිමය නොවන ස්ථිතියක්, එනම් මහා සමාජයක් බවට දියකර හැරීම, ධනේශ්වර ක්‍රමයට සම්පූර්නයෙන්ම අනුගතවීමකි.
විශ්වවිද්‍යාල පිහිටා ඇත්තේ ධනේශ්වර සමාජයෙන් පිටත නොවේ; ඒවා, ශ්‍රී ලංකාවට පමනක් සීමා නොවන ලෝක ධනේශ්වර ක්‍රමයේ කොටසකි. ධනපති පන්ති පාලනය තුල පවතින විශ්වවිද්‍යාලවල ප්‍රධාන කර්තව්‍ය ලෙස නියම වී ඇත්තේ, මහ ජනතාව ධනේශ්වර ක්‍රමයට බැඳ තබා ගැනීමට අවශ්‍ය ධනේශ්වර දෘෂ්ටිවාද පාලක පන්තියට නිෂ්පාදනය කරදීම හා ඒවා ප්‍රචලිත කිරීම යි. බොහෝ විශ්වවිද්‍යාල සහ ශාස්ත්‍රාලිකයෝ, අධ්‍යයන හා පර්යේෂන මගින් ධනේශ්වර ක්‍රමයේ සදාකාලිකත්වය ගැන සහ එහි සාධාරනත්වය පිලිබඳ න්‍යායන් නිෂ්පාදනය කරති, දේශන සිදු කරති; පොත් ලියති.
සියලුම ශාස්ත්‍රඥයින් එක හා සමාන ව ක්‍රියාකරන බව වත්, ප්‍රතිගාමී මතවාදයන්ට අභියෝග නොකරන සිසුන් නොමැති බව වත් මින් අදහස් නොකෙරේ.
සදාචාරාත්මකව උසස් 'ශිෂ්‍ය සමාජය' එම මතවාද ඉගෙන ගෙන එහි ඊනියා උපසංස්කෘතිය ගොඩනඟා ගැනීමෙන් දූෂිත, අවිඥානික 'මහා සමාජය' වෙනස් කල හැකි බවත්, උසස් අදහස් එන්නත් කල හැකි බවත් පිලිබඳ අදහස, ද්‍රව්‍යමය ලෝකය ඔලුවෙන් සිටුවන කඨෝර විඥානවාදයකි.
මෙම සංකල්ප ඒවා ඉදිරිපත් කරන්නන් මතට අහසින් කඩා පාත්වූ ඒවා නොවේ. ඒවා,1960 ගනන්වල පශ්චාත්-නූතනවාදයට අඩිතාලම දැමූ ජාන් ෆ්‍රන්සුවා ලයොටාර්, මයිකල් ෆුකෝ, හර්බට් මාකූස් වැනි මාක්ස්වාද-විරෝධී න්‍යායාචාරීන් විසින් වර්ධනය කරන ලද අනන්‍යතා න්‍යායන් සහ දේශපාලනයට සම්බන්ධ වේ.
අවිශිබම/කැවිශිසං පොත ප්‍රචාරය කරන්නේ, සියලු ගැටලුවලට හේතුව, 'මහ සමාජය' ආත්මාර්ථකාමී, දූෂිත, සාම්ප්‍රදායික පක්ෂ පිටුපස යාම බවට වන විඤ්ඤානවාදී සංකල්පය යි; ඔබ කල යුත්තේ පරාර්ථකාමිත්වය, ආත්ම-පරිත්‍යාගය, කැපවීම යනාදිය පිලිබඳ ව මෙම සමාජයට 'එන්නත් කර' ඉගැන්වීමයි. මෙය පූජක වරයෙකුගේ අභ්‍යාසයකට සමානය.
ජර්මානු දෘෂ්ටිවාදයේ දී, මාක්ස් යෞවන [හෝ වාම] හේගල්වාදීන් ගැන මෙසේ ලිවීය:
[ඔවුන්] “සංකල්ප, සිතුවිලි, අදහස්, ඇත්ත වශයෙන්ම ඔවුන් ස්වාධීන පැවැත්මක් ආරෝපනය කරන විඥානයේ සියලු නිෂ්පාදන, මිනිසුන්ගේ සැබෑ විලංගු ලෙස සලකයි... [එවිට] යෞවන හේගල්වාදීන්ට විඥානයේ මායාවන්ට එරෙහිව සටන් කිරීමට සිදුවන බව පැහැදිලි ය. ඔවුන්ගේ මනඃකල්පිතයන්ට අනුව, මිනිසුන් අතර සබඳතා... ඔවුන්ගේ විඥානයේ නිෂ්පාදන වන බැවින්, තරුන හේගල්වාදීහු තර්කානුකූලව මිනිසුන්ට ඔවුන්ගේ වර්තමාන විඥානය... විවේචනාත්මක හෝ ආත්මාර්ථකාමී විඥානය සමග හුවමාරු කර ගැනීමේ සහ එමඟින් ඔවුන්ගේ සීමාවන් ඉවත් කිරීමේ සදාචාරාත්මක උපකල්පනය ඉදිරිපත් කලහ.” (පි. 35-36, ප්‍රගති ප්‍රකාශකයෝ, 1976)
තරුන හේගල්වාදීන්, 'ලෝකය දෙදරා යවන' වාක්‍ය ඛන්ඩ දේශනා කලේ නමුත්, මාක්ස් පෙන්වා දුන්නේ, ඔවුන් 'දැඩි ගතානුගතිකයින්' වූ බවයි.
අවිශිබම සහ කැවිශිසං විසින් ඉදිරිපත් කරන ලද 'ලෝකය දෙදරා යවන' අදහස්වල අවසාන ප්‍රතිඵලය වන්නේ, ධනේශ්වර ක්‍රමය තුල සිසුන් කොටු කිරීමයි. ඔවුන්ට අනුව ශිෂ්‍යයාට කල හැක්කේ, ධනේශ්වර ක්‍රමය තුල යම් යම් වෙනස්කම් සිදුකිරීම හෝ එයින් සහන ලබා ගැනීමයි.
කැවිශිසං නායකයන් විසින් පුරුදු පුහුනු කෙරුනු ඔබට දානපතියෙකු වීමේ ගුනධර්ම ගැන කෝටිපතියෙකුට පවා උගැන්විය හැකිය! ධනවාදී සමාජය ම එකිනෙකා අතර බෙදා හදා ගෙන ජීවත්විය හැකි රාජධානියක් බවට පරිවර්තනය කල හැකිය! පන්ති සමාජය සහ පන්ති අරගලය ප්‍රතික්ෂේප කල විට, සමාජය අපන්තික බුරුත්තක් බවට, එනම් මහා සමාජයක් බවට පත්කල විට එවන් විකාර සහගත ප්‍රතිගාමී නිගමනයන්ට එලඹීම පුදුමයක් නොවේ.
ආත්මාර්ථකාමී අවශ්‍යතා සමඟ මිනිසුන් ගමන් කරන බව පැවසීම, සැබෑ වෛෂයික වර්ධනයන් ප්‍රතික්ෂේප කිරීමකි. ශ්‍රී ලංකාවේ, 2022 අප්‍රේල් 8 සහ මැයි 6 යන දිනවල පැවති මහා වැඩවර්ජනවලට මිලියන සංඛ්‍යාත කම්කරුවන් එක්වීමට, ඔවුන් පෙලඹවූයේකුමකින් ද? ධනේශ්වර පාලනයට සෘජුව ම එරෙහිව ගිය පොදු පන්ති අවශ්‍යතා විසිනි. ධනේශ්වර පාලනයෙන් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය ජනතාව වීදි බැස්සේ පුද්ගල ආත්මාර්ථකාමිත්වය නිසා නොව, ධනේශ්වර ක්‍රමය තුල ජීවත් විය නොහැකි වෛෂයික කොන්දේසි නිසා ය.
මෙම වර්ධනයේ වෛෂයික අර්ථය වූයේ, කම්කරු පන්තිය විසින් පීඩිත ග්‍රාමීය ජනතාව ද ඒකාබද්ධ කරගෙන, ධනේශ්වර ආන්ඩුව පමනක් නොව, ධනපති ක්‍රමය ම බිඳ දැමිය යුතු බවත්, සමාජවාදී මාවත් ඔස්සේ සමාජය ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කල යුතු බවත් ය. එය එහි අවසන් ජයග්‍රහනය ජාත්‍යන්තර තලයේ විකසිත විය යුතු සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා අරගලයකි.
සමාජය හුදෙක් ආත්මාර්ථකාමී පුද්ගලයින්ගේ එකතුවක් නම්, මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ පීඩිත ග්‍රාමීය ජනතාව ඒකරාශී වූයේ ඔවුන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් සඳහා ද? මෙලෙස අරගලවලට පිවිසීම ආත්මාර්ථකාමී කෝලාහලයක් නොව, වෛෂයික ව ගත්කල, බිඳ වැටෙන ආර්ථිකයක කෝව තුල පන්නරය ගැන්වුනු පොදු පන්ති අවශ්‍යතා සඳහා නැගී සිටීමේ ප්‍රකාශනයන් ය.
කම්කරු පන්තියට නොතිබුනේ මෙම අරගලය ගෙන යාමට අවශ්‍ය විප්ලවවාදී ඉදිරිදර්ශනය සහ මුල් බැසගත් විප්ලවවාදී නායකත්වයයි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) සමග එක්වී, සසජාතශි සටන් කලේ මෙම ඉදිරිදර්ශනය හා නායකත්වය සම්පාදනය කිරීම සඳහා ය.
මාක්ස් ලියූ පරිදි, 'මිනිසුන්ගේ විඥානය ඔවුන්ගේ පැවැත්ම තීරනය කරනවා නොව, සමාජ පැවැත්ම විසින් ඔවුන්ගේ විඥානය තීරනය කරයි.” (කාල් මාක්ස් 1859, දේශපාලන ආර්ථික විද්‍යාව පිලිබඳ විචාරයට ප්‍රතිපදානයක්, පෙරවදන)
ශ්‍රී ලංකාව තුල ප්‍රකාශයට පත්වුයේ, ගෝලීය ව වර්ධනය වී ඇති ආර්ථිකය සහ යල්පිනූ ජාතික රාජ්‍ය අතරත්, නිෂ්පාදන බලවේගවල සාමාජීයකරනය සහ පුද්ගලික ලාභ ක්‍රමය අතරත් පැන නැගී ඇති ප්‍රතිවිරෝධතාවල තියුනු ප්‍රකාශයකි.
මාක්ස්ගේ ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පයෙන් පැහැදිලි කෙරුනේ, මිනිස් විඥානය පැන නගින්නේ, මිනිසුන් වෙලා ගෙන ඇති ද්‍රව්‍යමය සමාජ සම්බන්ධතාවලින් බවයි. කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ උර මත පැට වූ නොඉවසිය හැකි තත්වයන්, ඔවුන් මහජන අරගල කරා ගෙන ගියේ ය. මෙම සමාජය 'ආත්මාර්ථකාමී' ලෙස ලේබල් කිරීම, ධනපති ක්‍රමයේ සැබෑ, ව්‍යුහාත්මක අර්බුදය ගුප්තකරනය කිරීමක් සහ විප්ලවවාදී වෙනසක් සඳහා පවතින විභවය වසන් කිරීමකි.
අර්ථභාරී කරුන නම්, පෙසප ද එය සමග පෙලගැසී ඇති අවිශිබම සහ කැවිශිසං මෙම වර්ධනයන් පිලිබඳ කිසිදු බැරෑරුම් විශ්ලේෂනයක් කිරීමට එරෙහිව සිටීමයි. එම සතුරුකම පැනනැගී ඇත්තේ පෙසප ධනපති ගැති පිලිවෙත්වලිනි. රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන ලද සහ දැන් ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් දිගටම කරගෙන යනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග මත ක්‍රියාත්මක කරන කප්පාදු පියවරවල මූලයන් ගැන ප්‍රතිසංස්කෘතික ඇරඹුම කිසිත් නොකියයි.
***