විදුලි ගාස්තුව සියයට 20 කින් පමන වැඩි කරන ලෙස ජාමූඅ ශ්‍රී ලංකා ආන්ඩුවට බල කර සිටී

[මෙය IMF demands Sri Lankan government increase electricity tariff by nearly 20 percent යන මැයෙන් 2025 ජූනි 01 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ඇප නයේ සිව්වන වාරිකය වන ඩොලර් මිලියන 344 ක නය මුදල නිදහස් කිරීම සඳහා කොන්දේසියක් ලෙස, ජුනි මාසය වන විට ශ්‍රී ලංකා ආන්ඩුව කරුනු දෙකක් සම්පූර්න කල යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) අවධාරනය කර තිබේ.

ඒ අනුව, පලමුව, ජනවාරි මාසයේ හඳුන්වා දුන් විදුලි ගාස්තු අඩු කිරීම ආපසු හැරවිය යුතු බවටත්, දෙවනුව, ආන්ඩුව විදේශ නය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්න කල යුතු බවටත් ගෝලීය මූල්‍ය ආයතනය අවධාරනය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක [Photo by Lankatruth/JVP website ]

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනතා බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ජාමූඅ හි ම්ලේච්ඡ කප්පාදු පියවරයන්ට සම්පූර්නයෙන්ම කැපවී සිටී. කෙසේ වෙතත්, පක්ෂයට මුහුන දීමට සිදු වූ මැයි 6 වන දින පලාත් පාලන මැතිවරනයෙන් ඡන්ද දිනා ගැනීමට කල උත්සාහය තුල ජනවාරි මාසයේදී විදුලි ගාස්තු සියයට 20 ක පමන සාමාන්‍යයකින් අඩු කලේය.

2022 අගෝස්තු මාසයේදී විදුලි ගාස්තු සියයට 75 කින් ද, 2023 පෙබරවාරි මාසයේදී සියයට 66 කින් සහ 2024 ජූලි මාසයේදී අතිරේක සියයට 18 කින් ද ඉහල නැංවීම්වලට, එනම්, මේ සියල්ල එක්ව ගත් කල සියයට 159 ක ඉහල නැංවීමට අනුව මෙය හුදු සංකේතාත්මක අඩු කිරීමක් පමනක් විය.

ජාමූඅ ප්‍රකාශිකා ජූලි කොසැක්, මැයි 22 වන දින පැවැත්වුනු සතිපතා මාධ්‍ය හමුවකදී නැවත අවධාරනය කලේ, ජාමූඅ, 'විදුලි පිරිවැය පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමේ මිලකරනය යථා තත්වයට පත් කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැලපුම් යාන්ත්‍රනයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම සම්බන්ධයෙන්' ක්‍රියාත්මක වීම බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පූර්ව ආන්ඩුව විසින් වැඩි කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවේ පවතින්නේ දකුනු ආසියාවේ ඉහලම ගෘහස්ථ විදුලි ගාස්තු වේ. එය කලාපීය සාමාන්‍යයට වඩා 2.5 සිට 3 ගුනයක් දක්වා ප්‍රමානයකින් වැඩි ය.

මෙම වැඩි කිරීම නිසා, අඩු ආදායම්ලාභී පවුල් මිලියනයකට අධික සංඛ්‍යාවකට ගෙවීම් කිරීමට නොහැකි වූ විදුලි සම්බන්ධතා විසන්ධි කර තිබේ. බොහෝ දෙනෙකුට නැවත සම්බන්ධතා ලබා ගැනීමට නොහැකි වී හෝ පරිභෝජනය අඩු කිරීමට බල කෙරී ඇත.

2024 දී ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) රුපියල් බිලියන 144 ක ලාභයක් ලබා ගත් බව ජාමූඅ පවසා තිබේ. ආන්ඩුව විසින් විදුලි ගාස්තු අඩු කිරීම නිසා 2025 පලමු කාර්තුව සඳහා ලංවිම ට රුපියල් බිලියන 18.5 ක පාඩුවක් සිදුවී ඇති බව එය පැමිනිලි කරයි.

ජාමූඅ ඉල්ලීම පිලිගනිමින්, ජවිපෙ/ජාජබ ආන්ඩුව මෙතැන් පටන් දෙසැම්බර් දක්වා මාසික විදුලි බිල්පත් සියයට 18.3 කින් වැඩි කිරීමට තීරනය කර තිබේ. විදුලි ගාස්තු පිලිබඳ ඊලඟ සංශෝධනය ජනවාරි මාසයේදී සිදු කෙරේ. මෙම වැඩිවීම ආර්ථිකයට බලපෑම් මාලාවක් ඇති කරන අතර දුප්පත් පාරිභෝගිකයින් විනාශ කරනු ඇත.

විදුලිබල ගාස්තු වැඩි කිරීම සඳහා ජාමූඅ පීඩනය ශ්‍රී ලංකාව තුල එහි මැදිහත්වීමේ කුරිරු ස්වභාවය පෙන්නුම් කරන අතර, එය ඇප නය ලබා දී ඇති අනෙකුත් රටවල ක්‍රියාමාර්ගවලට සමාන වේ.

නය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්න කිරීමට ජාමූඅ හි පීඩනය

නය මුදලේ සිව්වන වාරිකය නිදහස් කිරීම සඳහා ජාමූඅ හි දෙවන කොන්දේසිය වන්නේ ජාත්‍යන්තර නයහිමියන් සමඟ නය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සම්පූර්න කිරීමයි.

2023 අවසානයේ සිට, නයහිමියන් සමඟ සාකච්ඡා ඇදී එමින් පැවතුනද, පූර්ව වික්‍රමසිංහ පාලනය සහ වත්මන් දිසානායක පාලනය ගිවිසුම පිලිබඳව 'ශුභවාදී' අදහස් පල කර ඇත.

පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේ, 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව නය ආපසු ගෙවීම් පැහැර හැරියේය. එහි විදේශ සංචිත පහත වැටුනි. බංකොලොත් කොලඹ ආන්ඩුව, නය ප්‍රමානයේ අඩු කිරීමක් හෝ නය ආපසු ගෙවීම් වල හා පොලී අනුපාතවල අඩු කිරීමක් අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, ජාමූඅ සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව, 2028 සිට විදේශ නය ආපසු ගෙවීම නැවත ආරම්භ කල යුතුය.

දිග්ගැස්සුනු නය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවෙන් පෙනී යන්නේ, මෙම නයදෙන මිනී මෝරුන්, බංකොලොත් රට සහ එහි දුප්පත් ජනතාව කෙරෙහි ඔවුන්ගේ ව්‍යාජ අනුකම්පාව පසෙක දමා කොලඹින් තවත් සහන අපේක්ෂා කරන බවයි.

රජය සතු සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම

ඇත්ත වශයෙන්ම, කොලඹ ආන්ඩුව බදු වැඩි කරමින්, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරමින් සහ නය ආපසු ගෙවීමට ආදායම් වැඩිකර ගැනීම සඳහා ජනතාවගේ ගෙල සිර කරමින් සිටී. දිසානායක ආන්ඩුව සියලු උත්සාහයන් දරමින් සිටින්නේ, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට සේවය කිරීමට ය.

අප්‍රේල් 29 වන දින පැවති ඔන්ලයින් මාධ්‍ය හමුවකදී, ශ්‍රී ලංකාව සඳහා වූ ජාමූඅ මෙහෙයුමේ නව ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ පෞද්ගලීකරනය අනෙකුත් වැදගත් ක්‍රියාමාර්ග බව අවධාරනය කලේය. ඔහු මෙසේ පැවසීය: “පොදුවේ ගත් කල, රාජ්‍ය ව්‍යවසායන් සමඟ, ඉදිරි මාවතක් ඇතැයි අපි සිතමු. එහි වැඩි ප්‍රගතියක් දැකීමට අපට අවශ්‍යයි.”

ආන්ඩුව රාජ්‍ය ව්‍යවසායන් පවත්වාගෙන යා යුතු ආකාරය ඔහු පහත පරිදි පැහැදිලි කලේය: 'මෙය ඔබ පෞද්ගලික සමාගමකින් අපේක්ෂා කරන දෙයට සමාන දෙයකි. වෙනත් වචන වලින් කිවහොත්, ඔබට රාජ්‍ය ව්‍යවසායන් වඩාත් කාර්යක්ෂම ආකාරයකින්, සම්පූර්නයෙන්ම වානිජමය පදනමක් මත පවත්වාගෙන යාමට අවශ්‍ය වනු ඇත...'

රාජ්‍ය ව්‍යවසාය (රාව්‍ය) “ප්‍රතිසංස්කරන” කඩිනම් කිරීම සඳහා වන මෙම බලපෑම්වලට හිස නමමින්, ජවිපෙ/ජාජබ කැබිනට් මන්ඩලය අප්‍රේල් මස අවසානයේදී “රාජ්‍ය වානිජ ව්‍යවසාය කලමනාකරන පනත් කෙටුම්පතේ” මූලික කෙටුම්පත සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දුන්නේය.

කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය: “දේශීය හෝ විදේශීය ආයෝජනවල සහාය ඇතිව, මහා භාන්ඩාගාරයට සහ රටේ ආර්ථිකයට දිගින් දිගට බරක් නොවන ආකාරයෙන් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කර හොඳින් කලමනාකරනය කල යුතු බව හඳුනාගෙන තිබේ.” මෙහි තේරුම රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීම හෝ වානිජකරනය කිරීමයි.

රාජ්‍ය ව්‍යවසායයන් 400 කට අධික සංඛ්‍යාවක් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත අතර, ලක්ෂ සංඛ්‍යාත රැකියා කප්පාදු කෙරෙනු ඇත. 'කාර්යක්ෂමතාව' යන යෙදුම යටතේ, පසුගිය කාලය තුල රාජ්‍ය සේවකයින්ගේ අරගල මගින් දිනාගත් කොන්දේසි ඉවත් කරන අතර, වැඩ බර දරාගත නොහැකි මට්ටම් දක්වා වැඩි කිරීමට නියමිතය. ජාත්‍යන්තර සහ දේශීය ආයෝජකයින්ට ලාභ තරකර ගැනීමට හොඳම කොන්දේසි ලැබෙනු ඇත.

ජාමූඅ ට ප්‍රධාන සමාගම් 52 ක් ඉක්මනින් ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වේ. ඒවාට ලංකා විදුලිබල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස්, ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුලත් වේ.

මෙම ප්‍රහාර, දැනටමත් දරුනු සමාජ තත්වයන්ගෙන් බැට කමින් සිටින කම්කරුවන්ට සහ දුප්පතුන්ට එරෙහිව පැටවීමට නියමිතය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, පෙබරවාරි මාසය වන විට පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවම වශයෙන් මසකට රුපියල් 16,318 ක් අවශ්‍ය විය. මෙම අගය දිස්ත්‍රික්ක අනුව වෙනස් වේ. 2019 දී එම අගය රුපියල් 6,966 ක් විය. මෙයින් පෙන්නුම් කරන්නේ පුද්ගලයෙකුට අවශ්‍ය අවම මාසික වියදම දෙගුනයකට වඩා වැඩි වී ඇති බව යි.

එම මාධ්‍ය හමුවේදීම කතා කරමින්, ජාමූඅ ශ්‍රී ලංකා දූත මන්ඩල ප්‍රධානියා පැවසුවේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු වැඩි කිරීම් “ගෝලීය වෙලඳ ප්‍රතිපත්තිවල අවිනිශ්චිතතාවයන්” නිර්මානය කර ඇති බවත් එය “සැලකිය යුතු අවදානමක්” බවත්ය.

ජාමූඅ එහි “ප්‍රතිපත්ති පෙලගැසීම්” යටතේ රටට උපකාර කරන බව පවසමින්, වැඩසටහනනේ අරමුනු සාක්ෂාත් කර ගැනීමට සහ වැඩසටහනේ ඉලක්ක වලින් සිදුවන ඕනෑම අපගමනයකට ප්‍රතිකර්ම පියවර මගින් විසඳුම් සෙවීමට බලධාරීන් කැපවී සිටීම ගැන ඔහු ප්‍රශංසා කලේය.

ජාමූඅට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට සම්පූර්නයෙන්ම යටත් දිසානායක පාලන තන්ත්‍රය, ඩොලර් මිලියන 334 ක සිව්වන වාරිකය ඇතුලුව ඉතිරි ජාමූඅ වාරික අහිමි කර ගැනීමට සූදානම් නැත. මෙම ම්ලේච්ඡ පියවර පැනවීමට කම්කරු පන්තියේ වැඩෙන විරෝධය මැඩපැවැත්වීම සඳහා එය අවශ්‍ය ඕනෑම දෙයක් කරනු ඇත.

තම මැයි දින කතාවේදී ජනාධිපතිවරයා කම්කරුවන්ට අනතුරු ඇඟවූයේ, ලූනු බිකක් වැනි 'සුලු සුලු' කාරනා සම්බන්ධයෙන් විරෝධතා නොදක්වන ලෙසයි. මෙයින් අදහස් කෙරෙන්නේ, ඉහල යන ජීවන වියදමට හානිපූරනය සඳහා වැටුප් වැඩිවීම් හෝ වෙනත් සහන ඉල්ලා නොසිටිය යුතු බවත්, ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ කරන රාජ්‍ය ව්‍යාවසායන් 'ප්‍රතිව්‍යුහගත කිරීමට' විරුද්ධ නොවියයුතු බවත් ය.

වෘත්තීය සමිති නිලධරය, ආන්ඩුව සහ ජාමූඅ ප්‍රතිපත්ති සමඟ පෙලගැසී සිටී. ජවිපෙ පාලනය කරන වෘත්තීය සමිති නායකයින් ආන්ඩුවට විවෘතව ම සහයෝගය දක්වන අතර, අනෙකුත් වෘත්තීය සමිති නිලධරයෝ කම්කරුවන්ගේ වැඩෙන විරෝධය මැඩපැවැත්වීම සඳහා පරිපාලනයේ ප්‍රහාර සම්බන්ධයෙන් ව්‍යාජ විවේචන නිකුත් කරති.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, ජාමූඅ කප්පාදුවට සහ දිසානායක ආන්ඩුවට එරෙහිව සටන් කිරීම සඳහා සෑම වැඩබිමකම සහ ආයතනයකම තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙසයි. ආන්ඩුවට, සංගතවලට සහ ජාමූඅ ට සේවය කරන වෘත්තීය සමිති නිලධරයන්ට මෙම ක්‍රියාකාරී කමිටු තුල ඉඩක් නොතිබිය යුතුය.

ජීවන සහ සමාජ තත්වයන්ගේ වියදමින් විදේශ නය ආපසු ගෙවීම නතර කල යුතුය. මෙම නය ලබාගෙන ඇත්තේ කම්කරුවන්ගේ හෝ දුප්පතුන්ගේ සුභසාධනය සඳහා නොව, 1983 සිට බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව වසර 26 ක් පුරා පැවති වාර්ගික යුද්ධය සහ මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ වැඩි කිරීම සඳහා ය.

කම්කරු පන්තිය මෙම විදේශ නය ප්‍රතික්ෂේප කල යුතු අතර එම මුදල් ගරාවැටෙමින් පවතින මහජන සෞඛ්‍යය හා අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා යෙදවිය යුතුය.

ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ කරන සහ විදේශීය හා දේශීය ආයෝජකයින්ගේ මඩි තරකරන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම නතර කල යුතුය.

මෙම සටනේදී ක්‍රියාකාරී කමිටු මූලිකත්වය ගත යුතුය.

මෙම අරගලය, දිසානායක ආන්ඩුවට එරෙහිව පමනක් නොව, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට ද එරෙහිව සිදුවන්නකි. එබැවින් එයට ජාත්‍යන්තර උපාය මාර්ගයක් අවශ්‍ය වේ. ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල සමඟ එක්වීමෙන්, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීම හරහා මෙම සටන සිදු කල හැකිය.

මෙම අරගලයේදී, ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප යෝජනා කරයි. එවැනි සම්මේලනයකට, සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා සටන් කිරීමේ මාධ්‍යයක් ලෙස සේවය කල හැකිය.

Loading