මාලිනී ෆොන්සේකා, 1947-2025

ශ්‍රී ලාංකික සිනමාවේ විශිෂ්ට රංගධාරිනියක වූ මාලිනී ෆොන්සේකා 2025 මැයි 24 දා, තම දිවිසැරිය නිම කලා ය. 1947 අප්‍රේල් 30 දා උපත ලද මාලිනී සෙනෙහලතා ෆොන්සේකා 78 වන වියේ දී මිය යන විට, 150කට අධික සිනමා නිර්මානයන්ට රංගනයෙන් දායක වී තිබූ අතර, ඇය, නිසැක ව ම, ශ්‍රී ලාංකික සිනමාවේ එතෙක් මෙතෙක් පහල වූ ජනකාන්ත ම රංගධාරිනිය ලෙස ජනමනසේ රැඳී සිටින්නී ය.

ඇගේ ආකර්ශනීය රංගනයන් පිලිබඳ මතකය ආවර්ජනය කරමින්, ලක්ෂ සංඛ්‍යාත රසිකයෝ ඇගේ අභාවය ගැන ශෝක වූහ. දස දහස් සංඛ්‍යාත රසිකයෝ අවසන් ගෞරවය දැක්වීම සඳහා ඇගේ නිවසට සහ අවමංගල්‍යය පැවති කොලඹ නිදහස් චතුරශ්‍ර භූමියට රොක් වූහ.

දේශපාලන නායකයින්ගේ කුහකත්වය ඉහලින්ම ප්‍රකාශයට පත්විය. ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව, මියගිය නිලිය වෙනුවෙන් 'රාජ්‍ය අවමංගල්‍යයක්' ප්‍රකාශයට පත් කලේ ඇගේ කලා කුසලතාවන්ට හෝ කලාවට ගරු කිරීම සඳහා නොව, දේශපාලන වාසි අත්පත් කර ගැනීමේ අරමුනෙනි.

කෙසේ නමුත්, ප්‍රමුඛ වනුයේ ෆොන්සේකා ගේ කලාත්මක භාවිතාව විමසා බැලීමයි.

පෑලියගොඩ ප්‍රදේශයේ කම්කරු පංතික පවුලක උපත ලද ෆොන්සේකා, පලමුව නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයෙන් ද, දෙවනුව කැලනිය ගුරුකුල විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා ඇත. ෆොන්සේකාගේ රංගන ප්‍රතිභාව හඳුනාගත් ගුරුකුල විද්‍යාලයේ ගුරුවරයෙකු, පහලොස්වන විය සැපිරෙද්දී, ඇය ප්‍රසිද්ධ වේදිකාවට හඳුන්වා දී තිබේ.

එනයින්, 1960 දශකයේ මුල් භාගයේ දී, සුමන ආලෝකබන්ඩාර, ධර්මදාස ජයවීර, එස්.කරුනාරත්න සහ රංජිත් ධර්මකීර්ති වැනි තරුන නාට්‍යකරුවන්ගේ නිර්මාන වලට දායකවීමේ අවස්ථාව ෆොන්සේකාට හිමි ව ඇත. 1965 දී, වයස අවුරුදු 18 ක් වන විට, ධර්මදාස ජයවීරගේ 'අකල් වැස්ස' නාට්‍යයේ ඇය කල රංගනය හේතුවෙන්, එම වසරේ රාජ්‍ය නාට්‍ය උලෙලේ දී දක්ෂතම නිලියට හිමි සම්මානය දිනා ගැනීමට ෆොන්සේකා සමත් වූවාය.

වේදිකාවේ ඇය ප්‍රකට කල කුසලතා හේතුවෙන් 1960 අගභාගය වනවිට, සිනමා නිර්මානකරුවන්ගේ දෑස් ඈ වෙත යොමු වන්නට විය. තිස්ස ලියනසූරිය විසින් අධ්‍යක්ෂනය කරන ලද 'පුංචි බබා' චිත්‍රපටය, ඇය රංගනයෙන් දායක වූ පලමු සිනමා නිර්මානය ලෙස 1968 දී තිරගත වූ අතර, එතැන් පටන් දශක පහක කාලයක්, බැරෑරුම් කලාත්මක සිනමා නිර්මානයන් හි මෙන්ම සරල වානිජ සිනමාවේ ද තම අනුහස දරා සිටියා ය.

සිනමා නිර්මානයන්හි ෆොන්සේකා කල විශිෂ්ට රංගනයන් හේතුවෙන් ඇයට හිමි වූ සම්මාන බොහොමයකි. ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ 'නිධානය' චිත්‍රපටයේ කල රංගනය හේතුවෙන්, ශ්‍රී ලංකා විචාරකයන්ගේ සංගමය 1972 දී ඇය දක්ෂතම නිලිය ලෙස නම් කලේ ය. ධර්මසේන පතිරාජ ගේ 'එයා දැන් ලොකු ලමයෙක්' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්, 1975 පැවති නව වැනි මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උලෙලේ දී ඩිප්ලෝමා සහතිකයක් දිනා ගැනීමට ෆොන්සේකා සමත් වූ අතර, එය ශ්‍රී ලාංකික නිලියක් ජාත්‍යන්තර ඇගයීමකට පාත්‍ර වූ පලමු අවස්ථාව විය.

'සිරිපාල සහ රන්මැනිකා' හි ඇය කල රංගනය අගය කරමින්, 1977 පැවති හයවැනි නව දිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උලෙල ෆොන්සේකාට ඩිප්ලෝමා සහතිකයක් ප්‍රදානය කල අතර, ධර්මසේන පතිරාජ ගේ 'බඹරු ඇවිත්' චිත්‍රපටයේ කල රංගනය හේතුවෙන්, 1978 දී දක්ෂතම නිලියට හිමි ජනාධිපති සම්මානය දිනා ගැනීමට ඇය සමත් වූවාය.

2009 දී, ප්‍රසන්න විතානගේ නිර්මානය කල ආකාස කුසුම් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 39 වන ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උලෙලේ දී හොඳම රංගනය සඳහා වන රිදී මයුර සම්මානය ෆොන්සේකාට හිමි විය. ඊලඟ වසරේදී ඇය නැවතත් ඉතාලියේ හත්වන ලෙවන්ටේ ජාත්‍යන්තර චිත්‍රපට උලෙලේ දී එම චිත්‍රපටය සඳහා හොඳම නිලියට හිමි සම්මානය දිනා ගත්තා ය.

මෙලෙස තම රංගන කුසලතාව වෙනුවෙන් විවිධ ජාතික සහ ජාත්‍යන්තර සම්මාන දිනාගත් මාලිනී ෆොන්සේකා, 1970 සහ 1980 දශකයන් හි විවිධ සමිමාන උලෙල හි දී ජනප්‍රියම නිලිය ලෙස ද අඛන්ඩව සම්මාන හිමිකර ගත්තා ය. චිත්‍රපට විචාරකයෝ ඇය ශ්‍රී ලංකාවේ 'නිලි රැජින' ලෙස නම් කලෝ ය.

වේදිකාව සහ සිනමාව තුල ෆොන්සේකාගේ සමස්ත රංග කාර්යය විමසන විට, ඇය ප්‍රකට කරනුයේ 'යතාර්ථවාදී'(realistic) රංගන විලාසය යි. චරිත සහ තත්වයන්, විශ්වාසනීය සහ ජීවමාන අයුරින්, අතිනාටකීය (melodramatic) බවකින් හෝ අතිශයෝක්තියකින් තොර ව නිරූපනය කිරීම අරමුනු කරගත් යථාර්ථවාදී රංගනය කේන්ද්‍රගත කෙරෙනුයේ, මනෝවිද්‍යාත්මක ගැඹුර, චිත්තවේගීය සත්‍යය සහ විශ්වාසනීය හැසිරීම කෙරෙහි ය.

19 වන සියවසේ දී, හෙන්රික් ඉබ්සන් සහ ඇන්ටන් චෙකොව් වැනි නාට්‍යකරුවන් විසින් වර්ධනය කරන ලද මෙම රංගන විලාසයට, සෛද්ධාන්තික පදනම දමනු ලැබුවේ රුසියානු සහ සෝවියට් නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වූ කොන්ස්ටන්ටින් සර්ජියෙවිච් ස්ටැනිස්ලාව්ස්කි විසිනි. යතාර්ථවාදී රංග ශෛලියට අනුව, නලු නිලියන් චරිතයේ හැඟීම් විඳිය යුතුය. ස්ටැනිස්ලාව්ස්කි මෙය හැඳින්වූයේ 'චරිතය අත්විඳීම' ලෙසයි: නලුවා හෝ නිලිය චරිතයේ තත්වයන් සරලව නිරූපනය කරනවා වෙනුවට ඒවා තුල ජීවත් විය යුතුය.

ඇගේ ජීවිතයේ අවසන් භාගයේ, බර්ට්‍රම් නිහාල් විසින් නිෂ්පාදනය කරන ලද 'සිය රූ' වැඩසටහනට සහභාගි වෙමින්, ෆොන්සේකා මෙසේ කියා සිටියාය:, 'හැම තිස්සෙම චරිතය මං මගේ කර ගත්ත.' ඇගේ භාෂාවෙන් ඇය පවසනුයේ, ස්ටැනිස්ලාව්ස්කි පවසන 'චරිතය අත්විඳීම' ගැනයි.

1960 ගනන් වල දී වේදිකාවට ඇය හඳුන්වාදුන් තරුන නාට්‍යකරුවෝ, ඊට පෙර පැවති 'අති නාටකීය' සම්ප්‍රදායෙන් බැහැර වෙමින්, යතාර්ථවාදී සම්ප්‍රදාය අනුගමනය කල අතර, ජාත්‍යන්තර ව පැතිර ගිය “ක්‍රමවේද රංගනය' (The Method Acting) නම් වූ රංගන විලාසය තම නිර්මානයන්හි දී භාවිතා කිරීමට යත්න දැරූහ. 'ක්‍රමවේද රංගනය' වනාහි, ස්ටැනිස්ලාව්ස්කි ගේ 'ස්වභාවිකවාදී' ක්‍රමවේදයන් මත ලිහිල්ව පදනම් වූවක් බව, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රමුඛ කලා විචාරක ඩේවිඩ් වොල්ෂ් පෙන්වා දෙයි.

කෙසේ නමුත්, මෙම වේදිකා නාට්‍යවල රංගනයේ දී ඇයට ලැබුනු මෙම 'යතාර්ථවාදී' ඇසුර, සවිඤ්ඥානික වහෝ අවිඤ්ඤානික ව, ෆොන්සේකා ගේ රංග ශෛලිය හැඩගැන්වීමේ ලා දායක වී ඇති බව නිසැක ය. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ වැනි යතාර්ථවාදී සිනමාකරුවන්ගේ නිර්මාන වලට දායක වීමෙන් සහ ඔවුනගේ ඇසුරෙන්, ඇගේ ශෛලිය වඩාත් ඔපමට්ටම් වී ඇත.

බැරෑරුම් කලා නිර්මානයන්හි දී ඇය ලැබූ සාර්ථකත්වයන්ට මෙන්ම, වානිජ චිත්‍රපට තුලින් ඇය ලැබූ ඉමහත් ජනාදරයට ද හේතු වූයේ මෙම 'යතාර්ථවාදී' රංගන විලාසය යි.

ෆොන්සේකාගේ විශිෂ්ට රංගන අවස්ථා කීපයක් ආවර්ජනය කරමු:

නිධානය

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'නිධානය' චිත්‍රපටයේ ෆොන්සේකා කල රංගනය ඇගේ යතාර්ථවාදී රංගන විලාසය මැනවින් ප්‍රකට කරයි. ගරා වැටුනු රදල පවුලක අවසාන පුරුක වන විලී අබේනායක (ගාමිනී ෆොන්සේකා), තම නයතුරුස් වලින් අත්මිදීමට දරන මංමුලාසහගත ප්‍රයත්නයක් තුල, පැරැනි පුස්කොල පොතක සඳහන් වන නිධානයක් අත්පත්කර ගැනීමට යත්න දරයි. ඒ සඳහා මුහුනේ ලප සතරක් සහිත තුන් කුලුඳුල් කන්‍යාවක බිලිදිය යුතු වේ. එම ලක්ෂන සහිත තරුනියක් වන අයිරින් (මාලිනී ෆොන්සේකා), අබේනායකට අහම්බෙන් හමුවන අතර, බිලිදීමේ අදහසින් ඔහු ඇය විවාහ කර ගනී.

නිධානය

අබේනායක නයතුරුස් වලින් මිරිකී සිටිය ද, ඔහුගේ සහ අයිරීන්ගේ සමාජ පසුබිම් අතර ඇත්තේ ඉමහත් පරතරයකි. මෙම සමාජ පරතරය සහ ඔහු ගේ ගුප්ත හැසිරීම් රටාව, දෙදෙනා අතර සමීප සබඳතාවක් ගොඩනගා ගැනීමට ඇය දරන ප්‍රයත්නයට එරෙහි ව සිටී. මේ හේතුවෙන් අයිරින් ගේ මනස තුල වැඩෙන අභ්‍යන්තර ගැටුම ෆොන්සේකා තම රංගනය තුලින් ප්‍රබල ව ප්‍රකාශයට පත් කරයි.

විලීගේ සැලසුම් කිසිවක් නොදන්නා අයිරින්, ඇය මරා දැමීමට පෙර කරන පූජාව සහ ඔහුගේ පරල වීම දෙස විමතිය මුසු තැති ගැන්මකින් බලා සිටින අවස්ථාවේ ඇගේ චිත්තවේගය, මුහුනේ සහ දෙනෙතේ සියුම් භාවයන් මගින් ප්‍රකාශ කරන ආකාරය, ඇගේ රංග ප්‍රතිභාව මනාව පිලිබිඹු කරයි.

යථාර්ථවාදී රංගනයක පැවතිය යුතු, සත්‍යවාදීභාවය, විශ්වාසනීයත්වය සහ අභ්‍යන්තර සන්තතිකභාවය රැක ගැනීමට ෆොන්සේකා ගැඹුරින්ම සමත් වෙයි.

බඹරු ඇවිත්

ධර්මසේන පතිරාජගේ 'බඹරු ඇවිත්' චිත්‍රපටයේ 'හෙලන්' ලෙස ෆොන්සේකා ඉදිරිපත් කල රංගනය ද ඇගේ ප්‍රතිභාව මැනැවින් ප්‍රකට කරයි.

බඹරු ඇවිත්

නිධානයේ 'අයිරින්' නම් වූ සම්ප්‍රදායික කුල කාන්තාවකගේ චරිතයට හාත්පසින් වෙනස්, යම් ආකාරයකින් සම්ප්‍රදායට එරෙහි ව යන දුගී ධීවර තරුනියක වන හෙලන් ගේ චරිතය විශිෂ්ට ලෙස නිරූපනය කරමින් ෆොන්සේකා, තම රංගනයේ බහුවිධ නිපුනත්වය (versatility) පෙන්නුම් කලාය.

හෙලන්, ඈ හා විවාහ වීමට නියමිත ව සිටින අසල්වැසි ධීවර තරුනයෙකු වන සිරිල් ගේ බලාපොරොත්තු කඩකරමින්, නගරයේ සිට මසුන් මිල දී ගැනීමට පැමිනෙන තරුන ව්‍යාපාරිකයෙකු වන වික්ටර් (විජය කුමාරතුංග) වෙත ආකර්ශනය වේ.

වික්ටර් දුටු සැනින්, ඔහුගේ කඩවසම්භාවයට හෙලන්ගේ සිත ඇදී යන අයුරු නිරූපනය කෙරෙන ෆොන්සේකා ගේ රංගනය අතිශය චිත්තාකර්ශනීය ය. පලමුව ඇය, ඇගේ දෙනෙත් ඔහු වෙත යොමා සිටින්නීය. දෙවනුව, තම මවට මෙසේ කියන්නී ය: 'වික්ටර් බේබි මහත්තය හරි හැඩයි නෙ අම්මෙ. අම්මෝ ලස්සන'. වික්ටර් ගේ පියා 'ඊටත් වඩා හැඩ' යැයි කියමින් ඊට ප්‍රතිචාර දක්වන මව, 'ඒ කාලෙ පේදුරු මුදලාලිට ලමිස්සියක් පේන්න බෑ' යැයි පවසයි. 'ඒ කාලෙ ඉතින් අම්මත් ලමිස්සියක් නෙ' යැයි කියමින් හෙලන් ඇයට සමච්චල් කරන්නීය.

හෙලන්ගේ චරිත ස්වභාවයේ පවත්නා විවෘතභාවය ආරම්භක දර්ශන පෙලෙන් ම ප්‍රේක්ෂකයාට දැනවීමට සමත්වන ෆොන්සේකා, සමස්ත භූමිකාව තුල එම චරිත ලක්ෂන රඳවා ගනී.

පසුව වික්ටර් සමග ගොඩනැගෙන සම්බන්ධතාවයේ දී, ඔහු සමග කායික ව හැසිරෙන හෙලන්, ඒ පිලිබඳව ප්‍රශ්න කරන තම පියා ඇතුලු සියලු දෙනාට, වික්ටර් සමග එසේ හැසිරුනු බව විවෘත ව ම ප්‍රකාශ කරයි. එපමනක් නොව, ගම්මුන්ගේ අපහාස වලට ඈ නොබිය ව මුහුන දෙයි. මෙහි ලා ෆොන්සේකා වර්ධනය කරන රංගන භූමිකාව විශිෂ්ට ය.

චිත්‍රපටයේ අවසාන දර්ශන පෙලේ එන, වික්ටර්, හෙලන් හැර යන අවස්ථාවේ, ඔහු ඇයට මෙසේ පවසයි: 'මම ටික දවසකට මෙහෙන් යනව.... ඒත් ආයි එනව.' හිස් බැල්මෙන් වික්ටර් දෙස බලන හෙලන්, 'එතකොට මං?' යැයි අසයි. එයට පිලිතුරු නොදෙන වික්ටර් ආපසු හැරී තම ජීප් රථය දෙසට පියමං කරයි. ඇය හිස්බැල්මෙන් මොහොතක් බලා සිට, තම මව වෙත සෙමෙන් පිය නගයි.

දුගී ධීවර දිවිපෙවෙතින් මිදී අගහිඟකමෙන් තොර ජීවිතයක් අත්විඳීමේ සියලු අපේක්ෂාවන් බිඳ වැටුනු, ඒ සියල්ලටමත් වඩා තමා රවටා ඇති බව පසක් කරගත්, හෙලන්ගේ මුහුනෙන් සියුම් ව පිලිබිඹු වන හැඟීම්, එවන් අවස්ථාවන්ට ගොදුරු වන අසංඛ්‍ය ස්ත්‍රීන්ගේ වේදනාව තියුනු ව දනවයි.

ෆොන්සේකා දැන හෝ නොදැන අනුගමනය කොට ඇත්තේ, ‘මුහුන ඉදිරිපිට රඟ නොපාන්න - ඇතුලතින් රඟ පාන්න, මුහුනට ප්‍රතිචාර දැක්වීමට ඉඩ දෙන්න' නම් වූ ස්ටැනිස්ලව්ස්කි ගේ සිද්ධාන්තය යි.

ආකාස කුසුම්

ප්‍රසන්න විතානගේ නිර්මානය කරන ලද 'ආකාස කුසුම්' චිත්‍රපටයේ ද, ඇය විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරයි. කලකට පෙර ජනකාන්ත නිලියක්ව සිට, ජීවිතයේ සන්ධ්‍යා භාගයේ චිත්‍රපට ලෝකයෙන් ඉවත්ව හුදෙකලාව ජීවත්වන සන්ධ්‍යාරානි නම් නිලියකගේ භූමිකාව ඇය මෙහිදී රඟන්නී ය.

ආකාස කුසුම්

ජනකාන්ත නිලියක් ලෙස ජීවිතය ගොඩ නැගෙද්දී, අකමැත්තෙන්ම, තමාට සිටි එකම දියනිය අමතක කර දමන්නට ඇයට සිදුව ඇත. තම ජනප්‍රියත්වය රැකගනුවස්, තමාට දියනියන් සිටින බව පවා වසන් කරගෙන සිටීමට ඇයට සිදුව තිබේ.

මව නොමැති සොවින් අප්‍රමාන දුක්විඳ ඇති දියනිය, රාත්‍රී සමාජ ශාලාවන් හි, පිරිමින් කායිකව සනසමින් දිවිගැටගසා ගන්නා බව දැන ගැනීමෙන් ඇය ඉමහත් කම්පනයට පත්වෙයි, දියනිය හමුවීමට සන්ධ්‍යාරානි දරන අසාර්ථක ප්‍රයත්නය තුල, තම සිතට ඉමහත් ලෙස වදදෙන වරදකාරී හැඟීම, ඉතා බලගතු ලෙස නිරූපනය කිරීමට ෆොන්සේකා සමත් වෙයි. ඇගේ මුහුනේ සියුම් ඉරියව්, මිලින වූ දෙනෙත්, වා තලයට මුදා හරින දිගු සුසුම් සහ දීර්ඝ නිහැඬියාවන්, ඇගේ ආත්මයේ අභ්‍යන්තර ගැටුම ප්‍රේක්ෂකයාට දනවයි.

නලුවෙකුගේ හෝ නිලියකගේ වැදගත්ම කාර්යය, තමා නිරූපනය කරන චරිතයේ මෙම අභ්‍යන්තර ගැටුම, තම රංගනය තුලින් විදහා දැක්වීමයි. නිධානය, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ලමයෙක්, සොල්දාදු උන්නැහේ සහ ආකාස කුසුම් ඇතුලු බැරෑරුම් චිත්‍රපට ගනනාවක සහ රූපවාහිනී නාටක කීපයකම, ෆොන්සේකා, මෙම කුසලතාව ප්‍රකට කලා ය.

සංගීතමය වානිජ චිත්‍රපට වල ඇය ඉදිරිපත් කල රංගනයන් තුලින් ඇය දිනාගත් ඉමහත් ජනාදරය පිටුපසින්, ඇගේ තාත්වික රංගනයට අමතරව තවත් යමක් පැවතියේ ය. ඒ වනාහි, ඇගේ ආකර්ශනීය රූපකාය, මනස්කාන්ත සිනහව, සංගීතමය ජවනිකාවන් හි දී ඊට අවශ්‍ය රිද්මයානුකූල චලනයන් නිරූපනය කිරීමේ ලා ඇයට තිබූ හැකියාව යි. තමා රංගනයෙන් දායක වූ චිත්තාකර්ශනීය ගීතමය ජවනිකා රැසක්ම ජනමනසේ දිගුකාලීනව රඳවා තැබීමට ඇය සමත් වූවාය.

කෙසේ නමුත්, රංගන ශිල්පිනියක ලෙස ෆොන්සේකා දිනාගත් කීර්තිනාමය, ඇගේ ජීවිතයේ අවසන් භාගයේදී ධනපති සංස්ථාපිතය විසින් අවභාවිතයේ යොදවන ලදී. මෙය, බොහෝ රටවල කීර්තිමත් කලාකරුවන්ට අත් වූ ඛේදනීය ඉරනමකි.

ලේ වැකි වාර්ගික යුද්ධයට නායකත්වය දීමෙන් සහ කම්කරුවන්ගේ සහ දුගීන්ගේ අයිතීන්ට කුරිරු ප්‍රහාර එල්ල කිරීමෙන් අපකීර්තියට පත් ව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇය වෙත ලඟා විය.

යුද ජයග්‍රහනයේ විසකුරු සිංහල ස්වෝත්තමවාදී වාතාවරනය මධ්‍යයේ, රාජපක්ෂ, ෆොන්සේකාට පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පිරිනමන ලදී. 2010 දී ඇය එය පිලිගත්තාය. මෙය ඇගේ කීර්තිමත් ජීවිතයට කලු පැල්ලමක් එක් කලේය. බොහෝ කලාකරුවන් මෙම පීඩනයට යටත් වූ අතර, ඔරොත්තු දුන්නේ අතලොස්සක් දෙනා පමනි.

මේ පරස්පර විරෝධයන් තිබිය දී, ප්‍රතිභාපූර්න සහ ජනකාන්ත රංගන ශිල්පිනියක ලෙස, මාලනී සෙනෙහලතා ෆොන්සේකා ජන විඤ්ඤානයේ දිගුකල් රැඳෙනු නියත ය.

Loading