ඉදිරිදර්ශන

ඇමරිකානු-පෙරුවියානු පාප්වරයා තෝරාගැනීම පසුපස පවතින දේශපාලනය

[මෙය The politics behind the selection of the American-Peruvian Pope මැයෙන් 2025 මැයි 12දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.]

තම පලමු ප්‍රසිද්ධ පෙනී සිටීමේ දී, අලුතින් තෝරාගන්නා ලද දහහතරවන ලියෝ පාප්වරයා සාන්ත පීතර චතුරස්‍රයේ සිට සෙනගට අත වනයි. [Photo by Edgar Beltrán / The Pillar / CC BY 4.0]

කාඩිනල් රොබට් ප්‍රෙවොස්ට් දහහතරවන ලියෝ යන නමින් පාප්වරයා ලෙස තෝරාගැනීම, දේවධාර්මික තීරනයකට වඩා, කතෝලික පල්ලිය විසින් ගනන් බලා ගන්නා ලද දේශපාලනික තීරනයකි. පෙර නුවූ විරූ ගෝලීය අර්බුදයක් මධ්‍යයේ, ධනවාදයට නැවුම් මුහුනුවරක් දිය හැකි චරිතය ලෙස ඔහු තෝරාගනු ලැබ ඇත.

නව-විජිතවාදී අල්ලා ගැනීම් සහ විදේශයන්වල ගෝලීය යුද්ධය හා රට තුල මහා පරිමාන පිටුවහල් කිරීම් ද ෆැසිස්ට් ප්‍රතිගාමීත්වය ද සඳහා තර්ජනයන් ද මගින් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය අර්ථ දැක්වෙයි. දැන් ගෝලීය ධනවාදයෙහි කේන්ද්‍රයේ ආධිපත්‍යය දරන නග්න කතිපයාධිකාරී පාලනයට එරෙහි “සදාචාරාත්මක“ ප්‍රතිබලයක් ලෙස කතෝලික පල්ලිය පෙනී සිටීමට යත්න දරයි.

ලෝකය පුරා සිටින බිලියන 1.4ක් වන අනුගාමිකයින් -මින් ආසන්න වසයෙන් අඩක් පමන ඇමරිකාවන් දෙක තුල ද (කතෝලික දහම) සියයට 20ක් වේගයෙන් වර්ධනය වන අප්‍රිකානු ජාතීන් තුල ද සිටිති- සහිත කතෝලික පල්ලිය, ලෝකයේ බොහෝ ප්‍රදේශ තුල පන්ති අරගල සීමා කරමින් ද කම්කරු-පන්තික රැඩිකලීකරනය මර්දනය කරමින් ද ධනවාදී පවත්නා තත්ත්වයේ ආරක්ෂක ප්‍රාකාරයක් ලෙස තව දුරටත් පවතී.

පල්ලිය ඇතුලත පවතින ගැඹුරු බෙදීම් පැවතිය ද ලතින් ඇමරිකාව, එක්සත් ජනපදය, යුරෝපය, ආසියාව හා අප්‍රිකාවේ කාදිනල්වරුන්ගේ පලල් සහයෝගය දිනාගැනීමට ප්‍රෙවොස්ට් සමත් වූ බව වාර්තා වේ. රටවල් දෙක තුල ම ඔහු ඉටු කර ඇති නායක භූමිකාව සහ ස්පාඤ්ඤ, ඉතාලි, ප්‍රන්ස, පෘතුගීසි හා ඉංග්‍රීසි යන ඔහුගේ බහු භාෂීය නිපුනත්වය සමගින් එක්සත් ජනපද හා පේරු යන රටවල් දෙකේ ද්විත්ව-පුරවැසි භාවය, වැඩි දියුනු හා පීඩිත යන රටවල් දෙවර්ගය ම තුල මහජන දුක්ගැනවිලි නාලිකාගත කිරීම මගින් ගෝලීය දේශපාලනය තුල මැදිහත් වීමට පල්ලිය දරන ප්‍රයත්නයන් සඳහා ප්‍රශස්ත ගුනාංගයන් ලෙස දැකගන්නා ලදී.

“අපේ රටට විශාල ගෞරවයක්“ ලෙස ප්‍රෙවොස්ට් වෙනුවෙන් ට්‍රම්ප් පල කල සමාජ මාධ්‍ය උත්කර්ෂනය, යටින් දිවෙන ආතතීන් වසා දමයි. ට්‍රම්ප්ගේ මහා පරිමාන පිටුවහල් කිරීම්, දේශගුන වෙනස්කම් ප්‍රතික්ෂේප කිරීම මෙන් ම උප ජනාධිපති ජේඩී වැන්ස් සංක්‍රමනිකයන්ට චෝදනා නැගීමට මධ්‍ය-කාලීන කතෝලික ධර්මය විකෘත කිරීම ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට ප්‍රෙවොස්ට් කටයුතු කර ඇත. මීට පෙර ඔහු “නරක මිනිසුන්” ලෙස සංක්‍රමනිකයන් නම් කරමින් ට්‍රම්ප් සිදු කල පූච්චානම් කතා වර්ගවාදී ඒවා යැයි හෙලා දැක්කේ ය. ජාත්‍යන්තර ව බොහෝ කම්කරුවන් සමග අනුනාද වන ප්‍රෙවොස්ට්ගේ සංක්‍රමනික අයිතීන් ආරක්ෂා කිරීම, වොෂින්ටනයේ වෙන්න-නායක උතුමානන් ගෙන් අවදානය තමන් වෙතට ඇද ගැනීමට තැත් දරන්නකි.

ප්‍රෙවොස්ට්ගේ තේරී පත්වීම, එක්සත් ජනපදය නායකත්වය දෙන අධිරාජ්‍යවාදී කන්ඩායම ඇතුලත වැඩෙන ජාතිකවාදී බෙදීම් හා ගැටුම් ද පිලිබිඹු කරයි. “විශේෂයෙන් ම ට්‍රම්ප් වැනි නායකයන් විසින් බහුපාර්ශවවාදයට හානි කරන සන්දර්භය තුල, ප්‍රෙවොස්ට් සෑමවිට ම සේතු හා සංවාදය ගැන ද මුනගැටුම් ජයගන්නා ආකාරය ද ගැන කතා කර ඇත“ යි දේවධාර්මික මිගෙල් පෙරෙස් හෆින්ටන් පෝස්ට් පත්‍රයට කීවේ ය.

ප්‍රෙවොස්ට් තෝරාගැනීමේ ක්‍රියාදාමයේ දී අදහස් විමසනු ලැබ ඇති යුරෝපීය නායකයන් අතර, ට්‍රම්ප් පරිපාලනය සමග තම ගැටුමේ දී සගයෙක් ලෙස පාප්වරයා අපේක්ෂා කරන බවට සැකයක් නැත.

නව පාප්වරයා කෙරෙහි ඇමරිකානු පාලක පන්තික කොටස් ඇතුලත පවතින හිතවාදී දැක්ම ප්‍රකාශ කරමින්, සීඑන්එන් වතිකානු විශ්ලේෂක එලිස් එලන් ඔහු විස්තර කලේ, “යුක්ති සහගත“ හා “සුවිශේෂී නායකත්වයක්“ සහිත “සිසිල් හා සමතුලිත“ මාධ්‍යමිකවාදියෙකු ලෙස ය. අනෙක් අතට ට්‍රම්ප්ගේ හිටපු ප්‍රධාන උපදේශක ෆැසිස්ට්වාදී ස්ටීවන් බැනන් ඔහුගේ තේරී පත්වීම “ඇස්අකුරු වැටීමක්“ ලෙස කීවේ, ට්‍රම්ප්ගේ නිලධාරීන් විවේචනය කරමින් ඔහු කලින් කල ප්‍රකාශ නිසා ය.

ප්‍රෙවොස්ට් තෝරාගැනීම පිටුපස පවතින තවත් දේශපාලනික සලකා බැලීමක් වන්නේ, ලොව පුරා සිටින පලල් මහජනයා අතර ඉහල යන සමාජීය කෝපය කෙසේ හෝ සීමා කිරීමේ ප්‍රයත්නයක් ලෙස යි.

සිය ආරම්භක පූජාවේ දී, ස්පාඤ්ඤ හා ඉතාලි භාෂාවලින් කතා කල ප්‍රෙවොස්ට්, යුක්‍රේන හා ඉන්දු-පකිස්තාන ආතතීන් උපුටා දක්වමින් ඒවා “තුන්වන ලෝක යුද්ධයක කැබලි” ලෙස අනතුරු අඟවමින්, ගාසාවේ “සටන් විරාමයක්“ හා “සැබෑ සාමයක්“ සඳහා කැඳවුම් කලේ ය. කෘතිම බුද්ධි-ධාවිත අසමානතාව හා දේශගුන ව්‍යසනයන් ගැන ඔහු ඍජු ව ආමන්ත්‍රනය කලේ, ස්වයංක්‍රීයකරනයෙන් හා පාරිසරික බිඳ වැටීමෙන් ඇති වන රැකියා අහිමිවීම්වලට මුහුන දෙමින් සිටින කම්කරුවන්ට හා දුගීන්ට කල ආයාචනයක දී ය.

ප්‍රෙවොස්ට්ගේ තෝරාගන්නා ලද නම 13වන ලියෝ පාප්වරයාගේ උරුමය මත පදනම් වන්නකි. 13වන ලියෝ 1891 දී බිෂොප්වරුන්ට යවන රේරම් නොවාරම් නමැති නිල ආඥාව, පසුගිය ශතවර්ෂය ආරම්භයේ කාර්මිකකරනය සමයේ මාක්ස්වාදයෙහි ආනුභාවය ප්‍රතිතෝලනය කිරීමට උත්සාහ දැරුවේ ය. එම ලේඛනය වෘත්තීය සමිතිවලට හා සාධාරන වැටුප්වලට අනුමැතිය දුන්නේ, මෙසේ ප්‍රකාශ කරමින් සමාජවාදය හා විප්ලවය හෙලාදකිමිනි: “ශ්‍රමයෙන් තොර ව ප්‍රාග්ධනයට පැවතිය නො හැකි අතර, ප්‍රාග්ධනය නොමැති ව ශ්‍රමයට ද පැවතිය නො හැක. අන්‍යොන්‍ය එකඟතාව සාධුතර පර්යායේ අලංකාරය ප්‍රතිඵල කරන්නේ, අවිච්ඡින්න ගැටුම ආවශ්‍යයෙන් ම ව්‍යාකූලත්වය හා රුදුරු ම්ලේච්ඡත්වය නිපදවන අතරේ ය.“

පල්ලියෙන් මාධ්‍යගත කරන “සාකච්ඡාව“ හරහා විසඳිය හැකි සදාචාරාත්මක ප්‍රශ්නයක් බවට පන්ති ගැටුම රාමුගත කරන රේරම් නොවාරම් ලේඛනය, ආන්තික අසමානතාවට හා අනෙකුත් සමාජීය ව්‍යාධීන්ට තුඩු දෙන ලෝක ධනවාදයේ ආවේනික ප්‍රතිවිරෝධතාවන් විද්‍යාත්මක ව හඳුනා ගන්නා මාක්ස්වාදයෙන් සහ පන්ති අරගලයෙන් කම්කරුවන් අපසරනය කිරීමට උත්සාහ කලේ ය. “එක් ධ්‍රැවයක ධනය සමුච්ඡය වීමත්, ඒ නිසා ම, ඊට ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ කාලකන්නි කම, පීඩාවේ ලතෝනිය, වහල් භාවය, අඥානවත් කම, ම්ලේච්ඡත්වය, මානසික කඩාවැටීමත් සිදු වේ” යි මාක්ස් ප්‍රාග්ධනය තුල විස්තර කලේ ය.

ප්‍රෙවොස්ට්ගේ පාප් ධූරය 13 වැනි ලියෝ පාප්ගේ මූලෝපාය දැනුවත් ව පුනර්ජීවනය කිරීමකි. පල්ලියේ නිලධර්මය නොහොත් කතෝලික කැටකිසම විසින් සමාජවාදය කෙලින් ම ප්‍රතික්ෂේප කිරීම තුල සටහන් වන ආස්ථානයක් වන, පුද්ගලික දේපොලේ පූජනීයත්වය අනුමත කරන අතර, රේරම් නොවාරම් ලේඛනයේ “සමාජ සාධාරනත්වයට ඇති කැපවීම“ ප්‍රෙවොස්ට්ගේ උත්කර්ෂනයට ලක් වී ඇත.

ප්‍රතිසංස්කාරකයෙකු ලෙස ව්‍යාජ ව පෙනී සිටින අතර, ප්‍රෙවොස්ට් තෝරාගන්නා ලද්දේ, ප්‍රාග්ධනය සමග පල්ලියේ සන්ධානය වඩා හොඳින් නඩත්තු කරමින් පෝෂනය කිරීමටත්, එහි ම ප්‍රධාන ඉඩම්හිමි හා මූල්‍ය අවශ්‍යතා ආරක්ෂා කිරීමටත් ය. එහි විපාකයක් ලෙස, ප්‍රෙවොස්ට් වැනි ඊනියා “ප්‍රගතිශීලී“ අංශ, දීර්ඝ කාලයක් තිස්සේ “මානව අභිමානය“ මත නාභිගත වන ලෙස කෘතිම බුද්ධි සදාචාරධර්මවලට සහ තරුනයන් හා කොන් වූ කන්ඩායම් “ඇතුලත් කරගන්නා“ හා ඔවුන්ට “ඇහුම්කන් දෙන“ ලෙස ඔහු කර ඇති කැඳවීම් සෑමවිට ම කෑදර ධනපති පන්තියකට කරන බෙලහීන සදාචාරාත්මක ආයාචනාවන් හා හිස් නිස්සරායන් බවට සෑමවිට ම ලඝු කෙරෙයි.

ප්‍රෙවොස්ට් සහ ඔහුගේ නැසී ගිය ගුරුවරයා වූ (ජෝර්ජ් මාරියෝ බර්ගෝග්ලියෝ හෙවත්) ෆ්‍රැන්සිස් පාප්වරයා වැනි චරිත ඉහලට නැංවීම, “කීකරු විපාර්ශවයක්“ ලෙස පල්ලියෙහි ඓතිහාසික භූමිකාවේ නවතම උදාහරන පමනි: එනම්, යුද්ධය හා සමාජ පිරිහීම විවේචනය කරන අතර ඒවා අනිවාර්යයෙන් ගලා එන ධනපති පර්යාය අනුමත කිරීම යි.

උදාහරනයක් ලෙස, 19වන ශතවර්ෂීය යුරෝපයේ, සමාජවාදී වෘත්තීය සමිතිවලට විරුද්ධ ව පල්ලිය “ක්‍රිස්තියානි ශ්‍රම සංගම්“ ඉදිරියට දැමුවේ, කම්කරුවන් හා හාම්පුතුන් අතර උපකල්පිත සුසංවාදය අවධාරනය කරමිනි. කම්කරු-පන්තික එකමුතුව කඩා දැමීම සඳහා ජර්මනියේ කොල්පිං සමාජය සහ ඉතාලියේ ඒසීඑල්අයි සමාජය මෙම මාදිලිය භාවිතා කලේ ය.

1960 ගනන්වල ලතින් ඇමරිකාවේ විමුක්තිවාදී දේවධර්මවාදීන් වන ගුස්ටාවෝ ගුටියරෙස් වැනි අය පන්ති අරගලය වෙනුවෙන් පෙනී සිටිද්දී, වතිකානුව රැඩිකල් මූලිකාංග මර්දනය කලේ ය. “යුද්ධයේ අපිරිසිදු පාප්වරයා“ වූ බර්ගෝග්ලියෝ මත් පල්ලිය “දෘෂ්ටිවාදාත්මක විජිතකරනය කිරීම“ හෙලාදුටු අතර, පල්ලිය ඇතුලත රැඩිකල් මූලිකාංග “අතුරුදන් කිරීමට“ ආජන්ටිනියානු ආඥාදායකත්වය සමග ඒකාබද්ධ විය.

ක්වඩ්රාජෙසිමෝ අනෝ (1931) සහ සෙන්තෙසිමුස් අනුස් (1991) ඇතුලු රේරම් නොවාරම් ගෙන් පසු නිකුත් කරන ලද පාප් ලේඛන, පල්ලියේ “තුන්වන මාවත“ නොහොත් පුද්ගලික දේපොල අනුමත කරන සමාජවාදය සහ අබාධිත ධනවාදය යන දෙක ම හෙලාදැකීම පිරිපහදු කලේ ය.

අභාවප්‍රාප්ත පේරු ආඥාදායක ඇල්බර්ටෝ ෆුජිමෝරි යටතේ සිදු වූ “අසාධාරනයන්“ විවේචනය කිරීම ද අඩංගු වන ඔහුගේ විස්තීර්න යෝග්‍යතා විස්තරය නො තකා, “ප්‍රගතිශීලියෙකු“ ලෙස ප්‍රෙවොස්ට්ගේ පින්තූරය ක්ෂනික ප්‍රහාරයට ලක්වන්නේ, පේරු රටේ හා චිකාගෝවේ පූජක ලිංගික අපචාර ආවරනය කිරීම ආමන්ත්‍රනය කිරීම ඔහු ප්‍රතික්ෂේප කලේය යන වාර්තා ඉස්මතු වීමෙන් පසු ය.

ඉතාම මෑත, 2022 දී පේරු රටේ ඔහුගේ දියෝසීසයෙහි පූජකවරු දෙදෙනෙක් 2004 තමන් කුඩා ලමුන් වූ අවදියේ තමන් ව ලිංගික අපයෝජනයට ලක් කල බව කියන කාන්තාවෝ තිදෙනෙක් ප්‍රෙවොස්ට්ට එම සිද්ධි වාර්තා කල හ. බැරෑරුම් විමර්ශනයක් කිරීමට, සිවිල් අධිකාරීන්ට ප්‍රමානවත් පරිදි දැනුම් දීමට හා චූදිත පූජකයන්ට එරෙහි ව සීමා පැනවීමට ප්‍රෙවොස්ට් අසමත් වූ බව කාන්තාවෝ කියා සිටිය හ.

කෘතිම බුද්ධි-ධාවිත රැකියා අහිමිවීම්, දේශගුන ව්‍යසන, ජනසංහාරය හා අධිරාජ්‍යවාදී යුද්ධය, මානව අවශ්‍යතාවන්ට ඉහලින් ලාභයට ප්‍රමුඛතාව දෙන පද්ධතියකට ආවේනික වේ. ප්‍රෙවොස්ට්ගේ සාමවාදී ආයාචනා සහ අසමානතාව හා ෆැසිස්ට් ප්‍රතිගාමීත්වය සදාචාරාත්මක ව හෙලාදැකීම්වල ඉලක්කය වන්නේ, ධනවාදයෙහි මෙම සමාජීය ප්‍රශ්නවල ගැඹුරු මුල් ආවරනය කිරීම යි.

එහෙත්, විප්ලවවාදී විඥානයට වලකැපීම සඳහා පැරනි යුගයක දී ආගමික හෝ ධනේශ්වර ආයතන හරහා මාධ්‍යගත කරන සොච්චම් ප්‍රතිසංස්කරන පවා, ගෝලීය ධනවාදයෙහි අර්බුදයේ වඩා අභිවර්ධිත අවදියකට මුහුන දෙන පාලක ප්‍රභූන් විසින් එකහෙලා අද දින ප්‍රතික්ෂේප කරනු ලැබේ.

මධ්‍ය-කාලීන බුද්ධි-විරෝධවාදය තුල ගිලී සිටින ආයතනයක් වන පල්ලියට මත්, භූගෝලයේ සෑම කොනක ම කම්කරුවන්ගේ අත්ලවල් වෙත කෘතිම බුද්ධි තාක්ෂනයේ ලැව් ගින්න ලඟා වීමට ප්‍රතිචාර දැක්විය හැක්කේ, ධනපති කතිපයාධිකාරයේ වලිග කබායන්හි මංමුලා සහගත එල්ලී සිටින අතර එහි සියලු ප්‍රතිගාමී සේවාවන් පුදකරමින් පමනි.

පෙරුවියානු පතල් කම්කරුවන්ගේ සිට එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් දක්වා අද දින ඉස්මතු වන වැඩ වර්ජන හා විරෝධතාවල පුනර්ජීවනය, පාප්ගේ කිසිදු ලේඛනයකට සීමා කල නො හැකි ගෝලීය පන්ති අරගලයේ පුපුරනසුලු රැල්ලක ඉස්මතු වීම සංඥා කරයි. “ගෞරවනී සාමයක්“ සහ සෑමතැනක ම කම්කරුවන්ගේ ජීවිකාවන් හා ජීවිත ආරක්ෂා කිරීමට, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ ධනවාදී ලාභ පද්ධතිය විප්ලවවාදී ලෙස පෙරලා දැමීම අවශ්‍ය කරයි.

Loading