[මෙය Reinstate victimised Michelin workers in Sri Lanka! Mobilise working-class support to defend Michelin employees’ struggle! යන මැයෙන් 2025 ජූනි 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ දකුනු පලාතේ, මිදිගම පිහිටි, මිචෙලින් ටයර් කම්හලේ සේවයෙන් පහ කරන ලද කම්කරුවන් තිදෙනා වහාම සහ කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවීමට බලකරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප-ශ්‍රී ලංකාව) ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
ප්‍රංශය පදනම් කරගත් ජාත්‍යන්තර සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රහාරයන්ට එරෙහිව තම රැකියා සහ වැටුප් ආරක්ෂා කර ගැනීම සඳහා මැයි 23 සිට සටන් වදින මිදිගම, මිචෙලින් සේවකයින්ගේ උද්ඝෝෂනය මර්දනය කිරීමට කලමනාකාරිත්වය දරන උත්සාහයේ කොටසක් ලෙස මෙම සේවකයින් සේවයෙන් පහ කර ඇත.
සේවකයින් 1,500 කට අධික සංඛ්‍යාවක් සේවය කරන මෙම කර්මාන්ත ශාලාව ඉන්දියාව පදනම් කරගත් සියැට් (CEAT) සමාගමට විකුනා දමා ඇති අතර ගනුදෙනුව මෙම මාසයේ අවසන් වීමට නියමිතය.
දඩයමට ලක්වූ සේවකයින් තිදෙනා වන්නේ, සම්පත් කරුනාසේන, චිරංගිවි සෙනෙවිරත්න සහ ප්‍රියංග දිමුතු කුමාර ය. දින තුනකට පෙර ඔවුන්ගේ වැඩ තහනම් කරමින් සමාගම පැවසුවේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර පසුව පරීක්ෂනයක් පවත්වන බවයි. කෙසේ වෙතත්, කිසිදු පරීක්ෂනයකින් තොරව ම සමාගම වහාම ඔවුන් සේවයෙන් පහ කලේය.
මෙය ශ්‍රී ලංකාවේ පවතින කම්කරු නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන අතර ඔවුන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහරදීමකි. අවසරයකින් තොරව කර්මාන්ත ශාලාවට ඇතුලු වූ බවට කලමනාකාරිත්වයේ ප්‍රකාශයෙන් පසුව, සේවකයින් තිදෙනා මිදිගම පොලිසිය විසින් ද කැඳවා තිබේ.
දඩයමට ලක්වූ සේවකයින් සහ ඔවුන්ගේ සියලු රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා සිකුරාදා දහවල් සිට වැඩ වර්ජනයක යෙදී සිටින මිදිගම මිචෙලින් සේවකයින්ගේ නීත්‍යානුකූල කාර්මික ක්‍රියාමාර්ගය 'නීති විරෝධී' එකක් ලෙස ද සමාගම විසින් නම් කර ඇත.
ජුනි 1 වන දින පනිවිඩයක් නිකුත් කරමින්, කලමනාකාරිත්වය, 'මාධ්‍යයට අසත්‍ය තොරතුරු ලබා දීමෙන් සමාගමේ කීර්ති නාමයට හානි කල' බවට සේවකයින්ට චෝදනා කල අතර, ආයතනයට බලහත්කාරයෙන් ඇතුලුවීමට එරෙහිව අනතුරු ඇඟවීය. එසේම එය, 'නිෂ්පාදනය දිගටම කරගෙන යාමට සහයෝගීතාවයක් නොමැතිකම' හේතුවෙන් 'දැඩි මූල්‍ය පාඩු' සිදුකිරීම සම්බන්ධයෙන් සේවකයින්ට දොස් පැවරීය.
කම්කරුවන්ගේ කාර්මික ක්‍රියාවන් කඩාකප්පල් කිරීමට උත්සාහ කරමින්, කලමනාකාරිත්වය, ජුනි 1 වන දින රාත්‍රී වැඩ මුරයේ සිට ජුනි 3 වන දින රාත්‍රී වැඩ මුරය දක්වා මිදිගම කම්හලේ මෙහෙයුම් වසා දැමීය.
කම්හල ඉන්දියානු හිමිකාරීත්වය දරන සියැට් සංගතයට විකුනා ඇති බව දැනගත් පසු, මිචෙලින් සේවකයින් මැයි 23 වන දින ඔවුන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් උද්ඝෝෂන ආරම්භ කලහ.
මැයි 26 වන දින කම්කරුවන් කොලඹ කම්කරු කොමසාරිස් කාර්යාලයට නියෝජිතයින් යැවූ විට, අන්තර්-සමාගම් සේවක සංගමය (අසසේස) මිචෙලින් සහ සියැට් සමඟ අවබෝධතා ගිවිසුමක් (එම්ඕයූ) අත්සන් කර ඇති බව ඔවුන්ට දන්වන ලදී. ගනුදෙනුව අවසන් වූ විට සෑම සේවකයෙකුටම රුපියල් 200,000 ක වන්දියක් ගෙවන බව කම්කරු කොමසාරිස්වරයා පැවසීය.
මිචෙලින් සහ පාලක ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සමඟ අනුබද්ධිත අසසේස, ආයතනික ගනුදෙනුව ගැන හෝ ඔවුන්ගේ අවබෝධතා ගිවිසුමේ අන්තර්ගතය ගැන කම්කරුවන්ට කිසිවක් පවසා නැත. රහස් ගනුදෙනුව සංවිධානය කර ඇත්තේ අසසේස සාමාජිකයින්ගේ පිටුපසින් සහ ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමෙනි. අසසේස නායකත්වය දරන්නේ, ජවිපෙ/ජාතික ජන බලවේග ආන්ඩුවේ වෙලඳ අමාත්‍යවරයා ද වන වසන්ත සමරසිංහ විසිනි.
මිචෙලින් සේවකයින් අසසේස හි ගිවිසුම ප්‍රතික්ෂේප කරමින් පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත: (1) සේවය අවසන් කෙරුනු සෑම මිචෙලින් සේවකයෙකුටම රුපියල් මිලියන තුනක වන්දි මුදලක්; (2) මිචෙලින්-සියැට් ගනුදෙනුව සිදුවන විට ඔවුන්ගේ සේවයේ අඛන්ඩතාවයේ බිඳීමක් නොමැති වීම සහ අනෙකුත් කොන්දේසි; (3) මෙම කොන්දේසි සපුරා ගත නොහැකි නම්, මිචෙලින් සමාගමේ වන්දි යෝජනා ක්‍රමයට අනුකූලව මිචෙලින් සේවකයින්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට අවසර දිය යුතුය.
මෙම නීත්‍යානුකූල ඉල්ලීම් අසසේස නායකත්වය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර, ඔවුන් දැනටමත් මිචෙලින් සහ සියැට් සමඟ ගිවිසුමකට එලඹ ඇති බව ප්‍රකාශ කල විට, කම්කරුවෝ ඔවුන්ගේ කාර්මික ක්‍රියාවන් දිගටම කරගෙන යාමට තීරනය කලහ.
ජවිපෙ/ජාජබ ආන්ඩුව අඛන්ඩ වැඩ වර්ජනය බිඳ දැමීමට ක්‍රියාකාරීව උත්සාහ කරමින් සිටී. ජවිපෙට අනුබද්ධ අසසේස එහි මෙවලම ලෙස භාවිතා කරද්දී ම, නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ කම්කරුවන් සතුටු කිරීමට ද උත්සාහ කර ඇත. මිචෙලින්-සියැට් ගනුදෙනුව සම්පූර්න වීමේදී කම්කරුවන්ට කිසිදු අවැඩක් සිදු නොවන බව ඔහු මැයි 29 වන දින මාධ්‍ය වෙත පැවසීය. ඔහු නරුම ලෙස ප්‍රකාශ කලේ, ආන්ඩුවේ ප්‍රතිපත්තිය “ආයෝජකයින් මෙන්ම සේවකයින් ද ආරක්ෂා කිරීම” බව යි.
ජවිපෙ/ජාජබ ආන්ඩුව, සමීපව සහ තැතිගැන්මෙන් තත්වය නිරීක්ෂනය කරමින් සිටී. මිචෙලින් සේවකයින්ගේ රැකියා සහ නීත්‍යානුකූල අයිතිවාසිකම් ගැන ඔවුන්ට කිසිදු තැකීමක් නැත; නමුත් ඔවුන් ජාත්‍යන්තර ආයෝජකයින් නඩත්තු කිරීමට සහ ආකර්ෂනය කර ගැනීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරමින් සිටින්නේ ඔවුන්ට අත දිගහැර සහන ලබා දෙමිනි.
සියල්ලටත් වඩා, මිචෙලින් සේවකයින් විසින් ගනු ලබන ස්වාධීන සටන්කාමී ස්ථාවරය සහ අසසේස සහ අනෙකුත් වෘත්තීය සමිති නිලධරයන්ට ඔවුන් දක්වන විරෝධය පිලිබඳව ජවිපෙ/ජාජබ තන්ත්‍රය දැඩි කනස්සල්ලට පත්ව සිටී. මිචෙලින් සේවකයින්ගේ ක්‍රියාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන කප්පාදු පියවරයන්ට සහ කම්කරු පන්තියට තවදුරටත් එල්ල කරන ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට මාර්ගයක් සොයන අනෙකුත් සේවකයින් දිරිමත් කරනු ඇතැයි ඔවුන් කනස්සල්ලට පත්ව සිටී.
ගැඹුරු වන ගෝලීය අර්බුදයක් මධ්‍යයේ ලාභ ඉහල නැංවීම සඳහා මිචෙලින් සමාගමේ මිදිගම කර්මාන්ත ශාලාව විකිනීම, ලෝක ව්‍යාප්ත ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාදාමයේ කොටසකි. යෝධ අන්තර්ජාතික සමාගමක් වන මෙම සමාගම, එහි ප්‍රතිව්‍යුහගතකරන වැඩපිලිවෙල පිටුපස ඇති ගාමකය ලෙස දක්වා ඇත්තේ, 'ඉහල මෙහෙයුම් වියදම්' සහ 'අඩු වියදම් ආසියානු නිෂ්පාදකයින්ගෙන් එල්ල වන තරඟකාරිත්වය තීව්‍ර කිරීම' යි.
මැයි මස මුලදී, පෝලන්තයේ සහ චීනයේ කම්හල්වල ට්‍රක් ටයර් නිෂ්පාදනය ක්‍රමානුකූලව ඉවත් කල අතර, නිෂ්පාදන ධාරිතාව “ඉලක්කගත වෙලඳපොලවල්” සමඟ වඩා හොඳින් පෙලගැස්වීම සඳහා මෙය අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කලේය.
'වෙලඳපොල නැවත-පෙලගැස්වීම', 'අධික ධාරිතාව' සහ 'ඉහල යන නිෂ්පාදන පිරිවැය' උපුටා දක්වමින් මිචෙලින් සමූහය කර්මාන්තශාලා වැසීමේ රැල්ලක් ද නිවේදනය කර තිබේ. පසුගිය නොවැම්බරයේදී, බටහිර ප්‍රංශයේ පිහිටි එහි කර්මාන්තශාලා දෙකක්—චොලට් සහ වැන්ස්—වසා දැමීමට සැලසුම් කර ඇති බව හෙලි කල අතර එය ආසන්න වශයෙන් කම්කරුවන් 1,250 කට බලපායි.
ශ්‍රී ලංකාවේ මිචෙලින් කම්කරුවන් දැන් ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් මිලියන ගනනක් මුහුන දී සිටින එම ගැටලුවලට ම, විශේෂයෙන් රැකියා සුරක්ෂිතභාවය පිලිබඳ ප්‍රශ්නවලට මුහුන දී සිටිති.
ආන්ඩුවට සහ සමාගම්වලට පක්ෂපාතී අසසේස වැනි වෘත්තීය සමිති, ඇඟලුම් අංශයේ ආධිපත්‍යය දරන වෘත්තීය සමිති සමඟ එක්ව, මෙම කර්මාන්තවල සේවකයින් මුහුන දෙන කටුක යථාර්ථය හිතාමතාම සඟවයි. මෙය, තම රැකියා, වැටුප් සහ අතීත අරගලවලින් දිනාගත් ජයග්‍රහන ආරක්ෂා කර ගැනීමේ ලා කම්කරුවන් සතු හැකියාවට වල කැපීමකි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මිලියන සංඛ්‍යාත සේවකයින්ගේ රැකියා සහ සේවා කොන්දේසි, මිචෙලින් සේවකයින්ගේ රැකියාවලට වඩා ආරක්ෂිත නොවන බවට සසප අනතුරු අඟවයි. රාජ්‍ය ආයතන 400 කට වැඩි ප්‍රමානයක් ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ආන්ඩුව දැනටමත් පැහැදිලිව කියා තිබේ.
මිදිගම කම්කරුවන් තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ අරගලය ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ගේ ම ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ඇත. මිචෙලින් කම්කරුවන් ශ්‍රී ලංකාව පුරා රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයින් වෙත හැරී ඔවුන්ගේ සහයෝගය ගොනුකර ගැනීමට සහ රැකියා ඇතුලු මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ඒකාබද්ධ අරගලයක් සඳහා ඒ හා සමාන ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිය යුතුය.
ආන්ඩුවේ සහ මහා ව්‍යාපාරිකයන්ගේ ප්‍රහාරවලට එරෙහිව, ජාත්‍යන්තරව ඔවුන්ගේ අරගල ඒකාබද්ධ කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීමේ සටනට පෙලගැසෙන ලෙස සසප මිචෙලින් සහ අනෙකුත් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලාංකික මිචෙලින් කම්කරුවන් තම ජාත්‍යන්තර සහෝදර සහෝදරියන්ගේ සහයෝගය ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කර තිබේ. දඩයමට ලක්වූ මිදිගම කම්කරුවන් ආරක්ෂා කිරීම, සමස්තයක් ලෙස ජාත්‍යන්තරව කම්කරු පන්තියේ රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන පුලුල් අරගලයක කොටසකි.
සසප, කම්කරුවන්, සිසුන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මිචෙලින් සමාගමට පහත සඳහන් ඉල්ලීම් සහිත ලිපි යවන ලෙසත්, ප්‍රකාශ නිකුත් කරන ලෙසත් ය:
• සේවයෙන් පහ කල මිචෙලින් කම්කරුවන් තිදෙනා වහාම නැවත සේවයේ පිහිටුවනු! සියලුම සේවකයින්ට එරෙහි පොලිස් පැමිනිලි ඉල්ලා අස්කර ගනු!
• මිදිගම කම්කරුවන්ගේ සේවයේ අඛන්ඩතාව නොබිඳ, ඔවුන්ගේ රැකියා, වැටුප්, සේවා කොන්දේසි ආරක්ෂා කර ඇති බවට ලිඛිත සහතිකයක් ලබා දෙනු!
කරුනාකර ඔබගේ ලිපි සහ ප්‍රකාශ, සමාජවාදී සමානතා පක්ෂයට පිටපත් සහිතව පහත ලිපිනයට එවන්න.
මිචෙලින් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්,
අංක 218, මිනුවන්ගොඩ පාර, රීජන්ට් කෝට්ස්, ඒකල, ජා-ඇල, ශ්‍රී ලංකාව.
සසප ඊමේල් ලිපිනය: wswscmb@sltnet.lk