ශ්‍රී ලංකාවේ මිදිගම මිචෙලින් කම්හලේ කම්කරුවන්ගෙන් ජාත්‍යන්තර මිචෙලින් කම්කරුවන්ට සහෝදරාත්මක ආයාචනයක්

සහෝරදරවරුනි,

ශ්‍රී ලංකාවේ අගනුවරින් දකුනු දෙසට කිලෝමීටර් 150ක් පමන දුරින් වූ මිදිගම පිහිටි මිචෙලින් සමාගමට අයත් ටයර් නිෂ්පාදන කම්හලේ කම්කරුවන් වන අප එම සමාගමේම සහෝදර කම්කරුවන් වන ඔබ වෙත මෙම ආයාචනය කරන්නේ, අපගේ රැකියා සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිත තත්වය හමුවේ අපගේ අයිතීන් රැක ගැනීම පිනිස අප ගෙන යන අරගලයට ඔබගේ සහොදරාත්මක සහයෝගය බලපොරොත්තුවෙනි.

කම්කරුවන් 1500 ක් පමන සේවය කරන අප කම්හල පසුගිය දෙසැම්බර් 06 වන දින ඉන්දියාවේ සියැට් (CEAT) සමාගමට විකුනා ඇති බව අපට දැනගන්නට ලැබුනේ මෑතකදීය. එය කම්කරුවන්ගෙන් වසන් කෙරුනු එම ධනපති සංගත දෙක අතර සිදු කෙරුනු ගනුදෙනුවකි. මිදිගම කම්හල තව නොබෝ දිනකින් සියැට් සමාගමට භාරදීමට නියමිතව ඇත.

සියැට් සමාගම යටතේ අපගේ රැකියා, වැටුප්, සෙසු දීමනා සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් පවතින්නේ බරපතල අවිනිශ්චිතභාවයකි. අප සාමාජිකත්වය දරන අන්තර් සමාගම් සේවක සංගමය අප කම්හල සියැට් සමාගමට පැවරීම සම්බන්ධයෙන්, අපගෙන් කිසිදු විමසීමක් නොකර අපට හොරෙන්, සමාගම් දෙක සමග අවබෝධතා ගිවිසුමකට එලඹ ඇත. එම ගිවිසුමට එලඹුන පසුව හෝ කිසිදාක වෘත්තීය සමිති නායකත්වය අපට ඒ ගැන අපට දැනුම් දී නැත. අප ඒ ගැන දැනගත්තේ, අප කම්කරුවන්ගේ නියෝජිත පිරිසක් මැයි 26 දින කොලඹට ගොස් කම්කරු කොමසාරිස් හමුවූ අවස්ථාවේ ඔහුගෙනි.

සියැට් සමාගම යටතේ අපගේ රැකියා, වැටුප් හා සේවා කොන්දේසි ඇතුලු සියලු අයිතීන් සුරක්ෂිත බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි. එහෙත් අපට හොරෙන් සමාගම් සමග අවබෝධතා ගිවිසුමකට එලඹි එම සමිති නායකයන්ගේ කියාපෑම් ගැන අපට කිසිදු විශ්වාසයක් නැත. ඔවුහු සමාගම් සමග එලඹුන අවබෝධතා ගිවිසුම කම්කරුවන් වන අපගෙන් තවමත් වහංගු කරගෙන සිටිති. ඔවුුන් කියන පරිදි, අපට ලබාදීමට නියමිත රුපියල් ලක්ෂ දෙකක වන්දිය කිසිසේත්ම ප්‍රමානවත් නැත.

මෙම වෘත්තීය සමිතිය මිචෙලින් කම්කරුවන් වන අපගේ අයිතීන් වෙනුනේ කිසිවක් කිරීමට සූදානම් නැත. එබැවින් අපගේ අයිතීන් රැකගැනීමේ අරගලයක් අපි ස්වාධීනව ආරම්භ කර ඇත්තෙමු. එහි කොටසක් ලෙස අපි පසුගිය මැයි 24 දා කම්හල ඉදිරිපිට විරෝධතාවක ද යෙදුනෙමු. අපගේ අරගලය තුල අපි පහත ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

1. මේ වනතෙක් මිචෙලින් සමාගම යටතේ කම්කරුවන් භුක්ති විඳින සියලුම අයිතීන් නව සමාගම යටතේ ද සුරක්ෂිත විය යුතුය.

2. කම්හල සියැට් ආයතනයට හුවමාරු කරන්නේ නම් දීමනාවක් ලෙස එක කම්කරුවෙකුට රුපියල් මිලියන 3ක මුදලක් ලබාදීම.

3. එසේ නැතහොත් මිචලින් ක්‍රමවේදය යටතේ සේවය අවසන් කිරීමට අවස්ථාව ලබාදීම.

අපේ මෙම ඉල්ලීම් අන්තර් සමාගම් සේවක සංගමය වෙත ද ඉදිරිපත් කලෙමු. නමුත් ඔවුන් අපගේ ඉල්ලීම් එකහෙලා ප්‍රතික්ෂේප කොට, රුපියල් ලක්ෂ 2ක සොච්චම් දීමනාවකට අපව සියැට් සමාගමට විකිනීමේ ඔවුන්ගේ වැඩපිලිවෙලට යටත් වෙන ලෙස අපට බල කරයි.

සමාගම තුල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට නියමිත බව මිචෙලින් සමාගමේ වෙබ් අඩවිය දන්වා ඇත.වෙබ් අඩවිය තවදුරටත් දක්වා ඇත්තේ සමාගමේ ගිය වසරේ ලාභය යුරෝ බිලියන 3.4 ක් බවයි. එබැවින් අප සැම එක්ව ඉල්ලා සිටින වන්දිය ගියවර සමාගමේ ලාභයේ ප්‍රතිශතයක් ලෙස 0.39% පමනි. එය කොතරම් සාධාරන ඉල්ලීමක් දැයි ඔබට වැටහෙනවා ඇත.

අපගේ ස්වාධීන උද්ඝෝෂන ව්‍යාපාරය මර්දනය කිරීමට උත්සාහ කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ මිචෙලින් කලමනාකාරිත්වය, අපගේ කම්කරු සහෝදරවරුන් තිදෙනෙකු - සම්පත් කරුනාසේන, චිරංගිවි සෙනෙවිරත්න සහ ප්‍රියංග දිමුතු කුමාර - කිසිදු පරීක්ෂනයකින් තොරව වහාම සේවයෙන් පහ කර ඇත.

එබැවින් අපි තවත් ඉල්ලීමක් එකතු කර ඇත්තෙමු:

4. නෙරපා හරින ලද මිචෙලින් සේවකයින් තිදෙනා වහාම නැවත සේවයේ පිහිටුවනු!

ඉහත ඉල්ලීම් සම්බන්ධයෙන් පන්ති අරගලේ මාවත වෙත ප්‍රවිෂ්ට වීමට තීරනය කොට ඇත්තෙමු.එය සඳහා අපහට මිචෙලින් සමාගමේ සහෝදර කම්කරුවන් වන ඔබගේ සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

වෘත්තීය සමිතිය කර ඇති නින්දිත පාවාදීමේ අත්දැකීම් හමුවේ ඔවුන් ගැන අපට කිසිදු විශ්වාසයක් නැත. එබැවින් එයින් ස්වාධීනව අපගේ අයිතීන් වෙනුවෙන් කරන අරගලය අපගේ අතට ගැනීම පිනිස අප කම්කරු ක්‍රියාකාරි කමිටුවක් ද පිහිටුවාගෙන ඇත. ඔබ ද ඔබ අයිතීන් වෙනුවෙන් ගෙනයන අරගලය, සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව වර්ධනය කර ගැනීම පිනිස එවන් ක්‍රියාකාරී කමිටු ඔබගේ කම්හල්වල පිහිටුවා ගන්නා ලෙස ද අපි ඉල්ලා සිටිමු.

අපට දැනගැනීමට ලැබී ඇති ආකාරයට 2017 වර්ෂයේ සිට යුරෝපය ඇතුලත මි‌චෙලීන් සමාගම සතු කර්මාන්ත ශාලා කිහිපයක් වසා දමා කම්කරුවන් දහස් ගනනක් දොට්ට දමා ඇත. එනම් ඔබ ද අප මෙන් ම සමාගමේ ලාභ තර කරගැනීමේ ප්‍රතිව්‍යුහගත වැඩපිලිවෙල යටතේ රැකියා ඇතුලු තම මූලික අයිතීන් විනාශභාග් වීමේ ප්‍රහාරයන්ට මුහුන දී සිටිති. සමාගමේ එවන් ප්‍රහාරයන්ට එරෙහි ඒකාබද්ධ අරගලයක අවශ්‍යතාව එමගින් බලගතු ලෙස මතු කරයි.

අප ද අප මෙන් ප්‍රහාරයන්ට ලක්ව සිටින මිචලින් සමාගමේ සෙසු කම්කරුවන් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් ගෙන යන අරගලයන්ට අපගේ පන්ති සහෝදරාත්මක සහයෝගය ප්‍රකාශ කරන අතර දැවැන්ත කප්පාදුවන්ට ලක් වෙමින් පවතින යුරෝපයේ කම්කරු පන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමටද කැපවී සිටින්නෙමු.

අප මෙම අරගලය ඒකාබද්ධව ඉදිරියට වර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා ඔබගේ සහෝදරාත්මක සහයෝගය අපේක්ෂා කරමු.

ස්තුතියි

සහෝදරත්වයෙන්,

ශ්‍රී ලංකාවේ මිදිගම මිචෙලින් කම්කරුවෝ

Loading