[මෙය Michelin management begins witch-hunt against tyre factory workers in southern Sri Lanka මැයෙන් 2025 මැයි 31 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
මිචෙලින් සමාගම, දකුනු පලාතේ මිදිගම පිහිටි, තම ටයර් කම්හලේ සේවකයන්ට එරෙහි දඩයමක් දියත් කර ඇත. කම්හල ඉන්දියානු සියැට් සමගමට විකිනීම නිසා උද්ගත වී තිබෙන අවිනිශ්චිත තත්වය තුල රැකියා සහ සේවා කොන්දේසි රැක ගැනීමේ අරගලයක කම්කරුවෝ යෙදී සිටිති.
සේවකයන් 1,500ක් පමන සේවය කරන කම්හල දෙසැම්බර් 6 දා ඉන්දියානු සමාගමට විකුනා ඇති අතර, නව සමාගම ජුනි 6 දා සිට වැඩ අරඹන බව පැවසේ. ඉන්දියානු සමාගම යටතේ තම රැකියා හා අනෙකුත් කොන්දේසිවලට කුමක්වේදැයි බියෙන් සිටින කම්කරුවෝ රැකියා සුරක්ෂිතතාව ඉල්ලා මැයි 23 සිට උද්ඝෝෂනයක් අරඹා පසුදින කම්හල ඉදිරියේ බලගතු විරෝධතාවක් පැවැත්වූහ. පාලක ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවන අන්තර්-සමාගම් සේවක සංගමය (අසසේස) තමන් පාවා දී ඇතැයි විරෝධතාවයේ යෙදෙන කම්කරුවෝ චෝදනා කරති.
මැයි 26 වන දින, කම්කරුවෝ තම සැකසංකා පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා කොලඹ කම්කරු කාර්යාලයට තමන්ගේ නියෝජිතයන් යැවූහ. සමාගම සහ අසසේස නායකයින් ගිවිසුමකට එලඹ ඇති බව කම්කරුවන් දැනගත්තේ ඉන් පසුවය.
මිචෙලින් සමූහය සමඟ වෘත්තීය සමිතිය ගිවිසුමකට එලැඹ තිබූ අතර, ඒ යටතේ, එම සමාගමේ සේවය අවසන් කිරීම වෙනුවෙන් කරන ගෙවීමක් ලෙස, ජ්‍යෙෂ්ඨත්වය හෝ සේවා කාලය නොසලකා, සියලු සේවකයන්ට රුපියල් 200,000 ක් පමන වන එක සමාන වන්දි මුදලක් ලැබෙනු ඇත.
වෙනත් වචන වලින් කිවහොත්, අසසේස, කම්කරුවන්ට හොරෙන් සොච්චම් වන්දි පැකේජයක් පිලිගෙන ඇති අතර ඉදිරි රැකියා සුරක්ෂිතභාවය පිලිබඳ කිසිදු සහතිකයකින් තොරව බලහත්කාරයෙන් එය පටවයි.
ජවිපෙ/ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුවේ අමාත්‍යවරයෙකු වූ වසන්ත සමරසිංහගේ නායකත්වයෙන් යුත් අසසේස හි මෙම පාවාදීම සම්බන්ධයෙන් කෝපයට පත් කම්කරුවන්, තම රැකියා සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා අරගලය, වෘත්තීය සමිතියෙන් ස්වාධීනව දිගටම කරගෙන යාමට තීරනය කර ඇත.
මෙම තත්වයන් යටතේ, මිචෙලින් සමාගම, කම්කරුවන් බිය ගැන්වීම මගින් අරගලය මර්දනය කිරීමේ අරමුනින් දඩයමක් දියත් කර තිබේ. මැයි 28 වන දින, සමාගම සෑම සේවකයෙකුටම කෙටි පනිවිඩයක් යවමින් සඳහන් කලේ, “අධීක්ෂකවරයෙකුගේ අවසරයකින් තොරව, වැඩ කරන කාලය තුල, (අතිකාල ඇතුලුව) සේවකයින්ට පවරා ඇති රාජකාරියෙන් ඉවත් විය නොහැකි” බවයි.
'කම්හල් පරිශ්‍රය තුල හෝ පිටත, විරෝධතා, වැඩවර්ජන සහ පෙලපාලි යාම ආදිය සිදුකිරීම, වංක සිතින් සමාගම පිලිබඳ අසත්‍ය තොරතුරු සංසරනය කිරීම සහ සමාගම් ප්‍රතිපත්ති සහ නීතිය උල්ලංඝනය කිරීම හරහා කර්මාන්තශාලාවේ මෙහෙයුම්, සාමාජිකයින්ගේ [සේවකයින්ගේ] ආරක්ෂාව සහ ඵලදායිතාවය කඩාකප්පල් කිරීමට ක්‍රියා කිරීම' සම්බන්ධයෙන් ද සමාගම අනතුරු ඇඟවීය.
එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ ඕනෑම සේවකයෙකුට එරෙහිව 'සේවයෙන් පහ කිරීම ඇතුලු විනය ක්‍රියාමාර්ග' ගන්නා බවට එම පනිවිඩය තුල තර්ජනය කර තිබේ. සමාගමේ තර්ජන එල්ල වී ඇත්තේ, කම්කරුවන්ට තම ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා විරෝධතා, වැඩවර්ජන සහ පෙලපාලිවල යෙදීමට ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එරෙහිව ය.
සේවකයින් විසින් බෙදා හරින ලදැයි කියනු ලබන, 'සමාගම පිලිබඳ සාවද්‍ය තොරතුරු' මොනවාදැයි සමාගම නිශ්චිතව දක්වා නැත. මෙය පැහැදිලිවම, කම්කරුවන්ට එරෙහි අසත්‍ය චෝදනාවකි.
තම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක කරමින්, මිචෙලින් කලමනාකාරිත්වය මැයි 30 වන දින එම්.එම්.එස්. කරුනාසේන නම් සේවකයෙකුගේ වැඩ තහනම් කලේ, 'සාමාජිකයෙකුට නුසුදුසු ආකාරයේ විෂමාචාරයකට සම්බන්ධ වීම' සම්බන්ධයෙන් ඔහුට චෝදනා කරමිනි.
'2025.05.23 දින රාත්‍රී වැඩ මුරයේ සිට 2025.05.26 දින රාත්‍රී වැඩ මුරය දක්වා කාලය තුල මිදිගම කර්මාන්ත ශාලාවේ සාමාජිකයින් පිරිසක් විසින් සමාගමේ නිෂ්පාදන මෙහෙයුම් සහ කාර්මික සාමය කඩාකප්පල් කිරීම සඳහා නීති විරෝධී වැඩ වර්ජන ඇතුලුව සිදු කරන ලද විෂමාචාරය පිලිබඳව සිදුකල මූලික පරීක්ෂනයක්' ගැන ලිපියේ සඳහන් කර ඇත. 'මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් පවත්වන' බවත්, 'ඔහුගේ සේවය වැටුප් ගෙවීමකින් තොරව තාවකාලිකව අත්හිටුවා ඇති' බවත් සමාගම ප්‍රකාශ කර ඇත.
කරුනාසේන සම්බන්ධ වූ බවට චෝදනා කරන 'විෂමාචාර හැසිරීම' කුමක්දැයි ලිපිය තුල විශේෂයෙන් සඳහන් කර නැත. එපමනක් නොව, සමාගමේ තර්ජනාත්මක කෙටි පනිවිඩවලින් පෙනී යන්නේ, මැයි 23 වන දින රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා සේවකයින් විරෝධතාවල යෙදීම වැනි නීත්‍යානුකූල කාර්මික ක්‍රියාමාර්ග පවා මෙම කාන්ඩයට ඇතුලත් වන බවයි.
මිචෙලින් සමාගමේ ප්‍රකෝපකාරී දඩයම පුලුල් මර්දනයකට සූදානම් වීමකි. කලමනාකාරිත්වයේ සැබෑ කනස්සල්ල වන්නේ, කම්කරුවන් අසසේස නිලධරයේ ග්‍රහනයට පිටතින්, කාරනා තමන්ගේ අතට ගැනීමට පටන් ගැනීමයි.
කොලඹදී කම්කරු කොමසාරිස්වරයා හමුවූ නියෝජිත පිරිස අතර කරුනාසේන ද සිටි බව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට පැවසූහ. ඔවුන් තරයේ ම විශ්වාස කරන්නේ, ඔහු කම්කරුවන්ගේ ස්වාධීන අරගලයට නායකත්වය දෙන නිසා තෝරාගෙන ඇති බවති.
මැයි 30 වන දින පස්වරුවේ කරුනාසේනගේ වැඩ තහනම් කිරීම ගැන දැනගත් මිචෙලින් කම්කරුවෝ, වහාම වැඩ නතර කර, සමාගමේ දඩයම් ක්‍රියාමාර්ගය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා කර්මාන්තශාලාව තුල වාඩිලා ගැනීමක් ආරම්භ කලහ.
කම්කරු කොමසාරිස්වරයා හමුවීමට නියෝජිත පිරිසට එක් වූ තවත් සේවකයින් තිදෙනෙකුට ද එවැනි අත්හිටුවීම් ලිපි යවා ඇති බව දැනගත් පසු, සියලු අත්හිටුවීම් වහාම ඉවත් කරන ලෙස කම්කරුවන් බලකර සිටියහ. මානව සම්පත් දෙපාර්තමේන්තුවේ කර්මාන්තශාලා කලමනාකරු සහ කලමනාකරන කාර්ය මන්ඩලය පරිශ්‍රයෙන් පිටවීම ද කම්කරුවෝ අවහිර කලහ.
මෙම අත්හිටුවීම්වල ප්‍රකෝපකාරී අරමුන අවධාරනය කරමින්, මැයි 30 වන දින සවස 4 ට පමන පොලිස් ජීප් රථයක් කර්මාන්ත ශාලාව වෙත ලඟා විය. කෙසේ වෙතත්, කර්මාන්ත ශාලාව තුල වාඩිලාගෙන සිටි කෝපයට පත් සේවකයින්ගෙන් එල්ල වියහැකි ප්‍රතිචාරයට බියෙන් ඔවුන් මැදිහත් වීමට උත්සාහ නොකලහ.
සවස 5 ට පමන, සේවකයෝ කලමනාකරන කාර්ය මන්ඩලයට පරිශ්‍රයෙන් පිටව යාමට අවසර දුන්හ. සවස 6.30 ට පමන, කම්කරුවන් තම වාඩිලාගැනීම අවසන් කර කර්මාන්ත ශාලාවෙන් පිටව ගියහ. එම අවස්ථාවේදී කර්මාන්තශාලා ආරක්ෂක නිලධාරීන්, වැඩ තහනම් කරන ලද අනෙකුත් සේවකයින් තිදෙනා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කලහ. කෙසේ වෙතත්, අනෙකුත් කම්කරුවන් එම උත්සාහය වලක්වා ඔවුන්ගේ සගයන් ආරක්ෂිතව පිටතට ගෙන ගියහ. සවස 7 ට පමන, පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ (එස්ටීඑෆ්) නිලධාරීන් කර්මාන්ත ශාලාව අසලට පැමිනියහ.
මෙම වර්ධනයන් පෙන්නුම් කරන්නේ, මිදිගම කම්හලේ අනාගතය පිලිබඳ අවිනිශ්චිතතාවය මධ්‍යයේ රැකියා සුරක්ෂිතභාවය සඳහා වන ඔවුන්ගේ අරගලය තලා දැමීම සඳහා මිචෙලින් සමාගම මිදිගම කම්හලේ සේවකයින්ට එරෙහිව පුලුල් දඩයමක් සූදානම් කරමින් සිටින බවයි.
ජවිපෙ මගින් පාලනය වන අසසේස නායකත්වය විසින් ඉටු කරන ලද ද්‍රෝහී භූමිකාව, කම්කරුවන්ට එරෙහිව මිචෙලින් සමාගමේ දෑත් ශක්තිමත් කර ඇත.
මැයි 28 වන දින සමාගමෙන් තර්ජනාත්මක කෙටි පනිවිඩය ලැබීමෙන් පසු දින, අසසේස ලේකම් ජනක අධිකාරි කෙටි ශ්‍රව්‍ය-පනිවිඩයක් මගින් මිචෙලින් සේවකයින් අමතමින් කියා සිටියේ, ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කරන බවත්, තම වෘත්තීය සමිතිය එක් සේවකයෙකුට රුපියල් 200,000 කට වඩා වන්දි ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් ය.
කෙසේ වෙතත්, සමාගම සමඟ වෘත්තීය සමිතිය අත්සන් කල අවබෝධතා ගිවිසුමේ කුමන නිශ්චිත විධිවිධාන මගින්, සියැට් සමාගම යටතේ සේවකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ඇත්දැයි පෙන්වීමට ඔහු අපොහොසත් වී ඇත. මෙම ගනුදෙනුව සිදු කිරීමේදී, අසසේස නායකයින් කිසි විටෙකත් විකිනීමට සම්බන්ධ සමාගම් දෙකට යොමු කලයුතු ඉල්ලීම් පිලිබඳව සේවකයින්ගෙන් උපදෙස් ලබා ගත්තේ නැත. සැලකිය යුතු ලෙස, අධිකාරි, 'අනවශ්‍ය උද්ඝෝෂන' වලට සම්බන්ධ නොවන ලෙස සේවකයින්ට අනතුරු අඟවා ඇත. වෙනත් වචන වලින් කිවහොත්, ඔවුන්ගේ නීත්‍යානුකූල ඉල්ලීම් සඳහා සේවකයින්ගේ ව්‍යාපාරයට එරෙහිව අසසේස පැහැදිලිවම මිචෙලින් කලමනාකාරිත්වය සමඟ පෙල ගැසී ඇත.
අසසේස නායකත්වයේ මෙම පාවාදීමෙන් මිචෙලින් කම්කරුවන් උකහා ගත යුතු නිගමනය නම්, සාමාන්‍ය කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කරගත් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමෙන් තම අයිතිවාසිකම් සඳහා අරගලය තමන්ගේ අතට ගැනීමේ අවශ්‍යතාවයයි. එවැනි කමිටුවක් කලමනාකරනයේ හස්තයක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිලධරයෙන් සහ ධනේශ්වර පක්ෂවලින් සම්පූර්නයෙන්ම ස්වාධීන විය යුතුය.
ස්වාධීන ක්‍රියාකාරී කමිටුවකට, රැකියා සහ මූලික අයිතිවාසිකම් ප්‍රහාරයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් අනෙකුත් බොහෝ කම්කරුවන් සමඟ ඒකාබද්ධ අරගලයක් සඳහා බලගතු ආයාචනයක් කල හැකිය.
කම්කරු පන්තිය ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදයකට මුහුන දී සිටී. ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කම්කරුවෝ, අර්බුදයේ සම්පූර්න බර සාමාන්‍ය ජනතාව මත පටවන ආන්ඩු විසින් ක්‍රියාත්මක කරන කුරිරු ප්‍රහාරවලට මුහුන දී සිටිති.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද දැඩි කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් සිටී. එම වැඩසටහන යටතේ, රාජ්‍ය ව්‍යවසායන් 400 කට වැඩි ප්‍රමානයක් ප්‍රතිව්‍යුහගත කිරීමට සහ/හෝ පෞද්ගලීකරනය කිරීමට නියමිත අතර, එමඟින් ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශවනු ඇත.
කම්කරු පන්තියට ධනේශ්වර ක්‍රමය සහ ජාතික සීමාවන් තුල ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගත නොහැක. ධනේශ්වර පාලනය අහෝසි කර සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට සටන් කරන කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක් තුල, රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකෙහිම අනෙකුත් කම්කරුවන් සමඟ මිදිගම මිචෙලින් කම්කරුවන් එක්විය යුතුය. මෙය ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් විය යුතුය.
වැඩිදුර කියවන්න
- ප්රමුඛ සසප සාමාජිකයෙකු, රැකියා ආරක්ෂා කර ගැනීමේ අරගලයේ නියුතු මිචෙලින් කම්හල් සේවකයින් අමතයි
- ජවිපෙ වෘත්තීය සමිති නායකයින්, සමාගම සමඟ ඇති කරගත් රහස් ගිවිසුමෙන් පසු මිචෙලින් සේවකයින්ගේ රැකියා බරපතල අනතුරක
- ස්වෙච්ඡාවෙන් රැකියාව හැර යන බවට ලිපි ලබා නොදුනහොත් වන්දි නොදෙන බවට නෙක්ස්ට් පරිපාලනය කම්කරුවන්ට තර්ජනය කරයි