ප්‍රමුඛ සසප සාමාජිකයෙකු, රැකියා ආරක්ෂා කර ගැනීමේ අරගලයේ නියුතු මිචෙලින් කම්හල් සේවකයින් අමතයි

[මෙය Leading SEP member addresses Sri Lankan Michelin factory workers struggling to defend their jobs මැයෙන් 2025 මැයි 27 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඊයේ (26) උදෑසන, සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාවේ) ප්‍රමුඛ සාමාජිකයෙකු වන අරුන නිශාන්ත මලලගම, මිදිගම මිචෙලින් කර්මාන්තශාලා සේවකයින් ඇමතීම සඳහා ආරාධනා ලැබීය. මිචෙලින් අන්තර්ජාතික සංගතය එහි කර්මාන්ත ශාලාව ඉන්දියානු සියැට් සමාගමට විකුනා දැමීමෙන් පසු, ඔවුන් රැකියා ආරක්ෂා කර ගැනීමේ අරගලයක නිරතව සිටිති.

සසප සාමාජික අරුන නිශාන්ත මලලගම 2025 මැයි 26 වන දින මිචෙලින් සේවකයින් සමඟ කතා කරමින් [Photo: WSWS]

සඳුදා (26), අන්තර් සමාගම් සේවක සංගමය (අයිසීඊයූ) සහ මිචෙලින් කලමනාකාරිත්වය අතර රහසිගත ගිවිසුමක් පිලිබඳව කම්කරුවන්ට දැනගන්නට ලැබුනි. සේවකයින්ගේ අනුදැනුමකින් තොරව ඇති කරගත් ගිවිසුම යටතේ, සියලුම සේවකයින් සඳහා ඇමරිකානු ඩොලර් 650 (රුපියල් 200,000 ක් පමන) බැගින් වන ගෙවීමක් සඳහා වෘත්තීය සමිතිය එකඟ වී ඇති බව වාර්තා වේ.

ඊයේ (25) නිවාඩු දිනයක් වුවද, ප්‍රදේශයේ කම්කරුවන් සහ ආධාරකරුවන් 2,000 ක් පමන කර්මාන්ත ශාලාවට රැස්වී විරෝධතා දැක්වූහ. ඔවුන් සියලු දෙනාම, මෙගාෆෝනයකින් මලලගම පැවැත්වූ කතාව උනුසුම් ලෙස පිලිගත්හ. අපි ඔහු දැක්වූ අදහස් පහතින් පල කරමු.

***

මම, සමාජවාදී සමානතා පක්ෂයේ, අරුන නිශාන්ත මලලගම. රැකියා සහ අනෙකුත් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ නායකත්වය දෙන මෙම බලගතු අරගලයේදී මම සහ මගේ පක්ෂය ඔබ සමග යි.

සහෝදරවරුනි, ඔබගේ ඉල්ලීම් ඉතා සාධාරන ඒවා බව මම පිලිගන්නවා.

ඔබ මෙම අරගලයේ යෙදී සිටින්නේ, මිචෙලින් සහ සියැට් (CEAT) අතර ඇති කරගත් ගනුදෙනුවක් සම්බන්ධයෙන්. සහෝදරවරුනි, වෘත්තීය සමිතිය විසින් වංචනික ක්‍රම මගින් ඔබ පාවා දී තිබෙනවා. සමිතිය විසින් ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගය මම තරයේ හෙලා දකිනවා.

ඔබගේ මෙම කර්මාන්ත ශාලාව වසා දැමීම ගෝලීය ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක්. පසුගිය සතියේ, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටි නෙක්ස්ට් ඇඟලුම් කම්හල එක රැයකින් වසා දැමූ හැටි අපි දුටුවා.

මෙහි මිචෙලින් කම්හලේ ක්‍රියාකාරිත්වය ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාවගේ ජීවිත සමඟ බැඳී පවතිනවා. සහෝදරවරුනි, එබැවින්, ඔබේ රැකියා මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන මාර්ගයක් ආරක්ෂා කර ගැනීමේ බරපතල වගකීමක් ඔබට තිබෙනවා.

වෘත්තීය සමිති නායකයින් විසින් කරන ලද පාවාදීම් පිලිබඳ එක හා සමාන අත්දැකීම අපි සෑම තැනකම දැක තිබෙනවා. කර්මාන්ත ශාලාවක් වැසෙන විට හෝ වෙනත් ඕනෑම ගැටලුවක් මතු වන සෑම අවස්ථාවකම වෘත්තීය සමිති නායකයින් හාම්පුතුන් සමඟ එකතු වී කම්කරුවන්ගේ අරගල පාවා දෙනවා.

කොග්ගල නිදහස් වෙලඳ කලාපය සහ අනෙකුත් වසා දැමූ කර්මාන්තශාලා සම්බන්ධයෙන් අප ගේ අත්දැකීම එයයි.

සහෝදරවරුනි, ඔබ මේ සටන ඔබේ අතට ගත යුතුයි. ඒ සඳහා, වෘත්තීය සමිති මත විශ්වාසය තබනවා වෙනුවට, ඔබේම කම්කරු ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගන්නා ලෙස මම යෝජනා කරනවා.

මෙම මිචෙලින් කර්මාන්ත ශාලාව අන්තර්ජාතික සංගතයක්. එය ලොව පුරා බොහෝ රටවල කර්මාන්තශාලා ගනනාවක ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සේවයේ යොදවනවා. සහෝදරවරුනි, ඔබ එම කම්කරුවන් සමඟ එක්විය යුතුයි. ඒ සඳහා, අපගේ අරගලයට සහාය දෙන ලෙස අපි එම පන්ති සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිය යුතු අතර අපි ද පෙරලා ඔවුන්ට සහාය දිය යුතුයි.

ශ්‍රී ලංකාව තුල මෙවැනි දුෂ්කර තත්වයන්ට මුහුන දී සිටින රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙහිම සේවකයින්ගේ සහාය අප ඉල්ලා සිටිය යුතුයි.

සහෝදරවරුනි, මෙම ජාත්‍යන්තර එකමුතුව ගොඩනැගීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඔබ සමඟ එක්ව කටයුතු කරනවා.

ඔබේ අරගලයට මගේ උනුසුම් සුභ පැතුම්. ස්තූතියි.

Loading