රජයේ රෝහල්, වෛද්‍ය පර්යේෂන ආයතන, ඔසුසැල් සහ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ඇතුලු සමස්ත නිදහස් සෞඛ්‍ය පද්ධතිය මුහුනදෙන පෙරනොවූවිරූ භෞතික සහ මානව සම්පත් හිඟය හේතුවෙන්, එක් පසෙකින්, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ඇතුලු බහුල රෝගාබාධ වලින් පෙලෙන මහජනතාව ඉමහත් පීඩාවකට පත්ව ඇති අතර, අනෙක් පසින්, ඩෙංගු සහ චිකුන්ගුන්‍යා වැනි බෝවන රෝගවල ව්‍යාප්තිය අපාලිත තත්වයකට ඇද වැටී තිබේ.
මෙය, අනුප්‍රාප්තික ධනපති ආන්ඩු දශක ගනනාවක් පුරා සෞඛ්‍ය සේවය තුල අඛන්ඩව සිදු කල කප්පාදුවල ප්‍රතිඵලයක් වන අතර, වත්මන්, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ජත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත ක්‍රියාත්මක කරන රුදුරු කප්පාදු හේතුවෙන්, මෙම බිඳවැටීමේ සන්තතිය වඩාත් වේගවත් කෙරී ඇත.
මහනුවර ප්‍රධාන රජයේ රෝහලක සේවයේ යෙදෙන වෛද්‍යවරයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කියා සිටියේ, උග්‍ර දියවැඩියා රෝගීන්ට හදිසි ප්‍රතිකාරයක් ලෙස ලබා දෙන සොලියුබල් ඉන්සියුලින් (Soluable Insulin) ඖෂධයේ දැවැන්ත හිඟයක් මේ වනවිට රජයේ රෝහල්වල පවතින බවයි. එම නිසා දියවැඩියා රෝගීන්ට ඔවුන් භාවිතා කරන ඖෂධ පුද්ගලික ඔසුසැල් වලින් ලබා ගැනීමට සිදුව ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේ ය.
'සැබැවින්ම, රජයේ රෝහල් වලට එන බහුතරයක් රෝගීන්ට ඒ වියදම දරන්න බෑ. කීප දෙනෙක් කෙසේ හෝ මුදල් සොයාගෙන එම ඖෂධ මිල දී ගත්තත් අනෙක් අයට රෝග පීඩාවන් දරාගෙන ජීවත් වීමට සිදුව තිබෙනවා' යැයි එම වෛද්‍යවරයා පැවසීය.
මාධ්‍ය වාර්තාවන්ට අනුව, 2025 අප්‍රේල් 29 වන විට, මෙරට රජයේ රෝහල් කිසිවක සොලියුබල් ඉන්සියුලින් ඖෂධය නොතිබූ බව, ජාතික ඖෂධ තොරතුරු අඩංගු දත්ත පද්ධතිය පෙන්නුම් කර ඇත.
මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ඊටීයූ) ඉතා මෑතක් වන තුරු සේවය කර ඇති ඉහත වෛද්‍යවරයා එහි පවත්නා මෙසේ විස්තර කලේය: 'මහනුවර රෝහල කියන්නේ රටේ තියෙන දෙවෙනි ජාතික රෝහල. ඒත් අප්‍රේල් මාසෙ සති තුනක් යනකම් ඇදුම රෝගයට ලබාදෙන ප්‍රතිකාර වලට අවශ්‍ය සැල්බියුටමෝල් නෙබියුලයිසේෂන් සොලූෂන් (salbutamol nebulisation solution) තිබුනෙ නෑ. මෙය හදිසි ප්‍රතිකාර ඒකකයට අත්‍යවශ්‍ය ඖෂධයක්.'
නිරන්තරව අවශ්‍ය වන ප්‍රතිජීවක (antibiotics) ඖෂධවල දැවැන්ත හිඟය හේතුවෙන්, රෝගීන්ට එය පුද්ගලික ඔසුසැල් වලින් මුදල් ගෙවා ලබා ගැනීමට සිදුව ඇති අතර, දින තුනකට ප්‍රමානවත් වන කො-ඇමොක්සික්ලේව් (co-amoxiclav) පෙති දහයකට රුපියල් 1000 ක් වැනි මුදලක් වැය කිරීමට ඔවුනට සිදුවේ.
රජයේ රෝහල්වල නිසි රසායනාගාර පහසුකම් නොමැතිවීම හේතුවෙන්, අධික මුදලක් ගෙවා, පුද්ගලික රසායනාගාර වලින් වෛද්‍ය පරීක්ෂන කර ගැනීමට රෝගීන්ට සිදුව ඇත. උදාහරනයක් ලෙස, දියවැඩියා රෝගීන් මාස තුනකට වරක් ලබාගතයුතු HbA1c පරීක්ෂනයට එක් වරක් සඳහා රුපියල් 2200 ක් පමන ද, ලිපිඩ් ප්‍රොෆයිල් පරීක්ෂනයට රුපියල් 2000 ක් පමන ද වැයවේ. මෙම වියදම් දැරිය නොහැකි රෝගීන් එම පරීක්ෂන වලින් වැලකී සිටින බවත්, ඒ හේතුවෙන් නිසි පරිදි රෝග විනිශ්චය කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් වෛද්‍යවරු පවසති.
මැයි 21 දා පැවති මාධ්‍ය හමුවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චමිල් විජේසිංහ පවසා ඇත්තේ, 'රටේ රෝහල් ජාලය, ප්‍රතිජීවක, ඉන්සියුලින්, වේදනා නාශක සහ හෘද රෝග සහ අධි රුධිර පීඩනය සඳහා වන ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් සමග පොරබදමින් සිටින' බවයි. අප්‍රේල් මාසය අවසන් වන විට වෛද්‍ය සැපයුම් අංශයේ අත්‍යවශ්‍ය ඖෂධ 180කට ආසන්න ප්‍රමානයක් සම්පූර්නයෙන්ම අවසන් වූ බවත්, තවත් වර්ග 50ක් රෝහල් තොගවල නොමැති බවත් ඔහු පැවසීය.
මේ අතර, කරාපිටිය, මහරගම අපේක්ෂා රෝහල, මඩකලපුව සහ යාපනය යන ප්‍රධාන රෝහල්වල පිලිකා ඒකකයන්හි පවතින 'ලීනියර් ඇක්සලේටර්' පිලිකා විකිරක යන්ත්‍ර හතරක් අක්‍රිය වීම හේතුවෙන් රෝගී ප්‍රතිකාර කටයුතු සම්පූර්නයෙන් බිඳවැටී ඇතැයි රජයේ විකිරන විද්‍යා තාක්ෂනවේදීන්ගේ සංගමය පවසයි.
වෛද්‍යවරුන්, හෙදියන්, උපස්ථායකයන් සහ තාක්ෂනික ශිල්පීන් ඇතුලු කාර්ය මන්ඩලවල පවත්නා දැඩි හිඟය, නිදහස් සෞඛ්‍ය සේවයේ අර්බුදය වඩාත් උග්‍ර කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞස) ට අනුව, කිසියම් රටක මහජනතාවගේ සෞඛ්‍ය තත්වය යහපත් තත්වයත පවත්වා ගැනීමට, අවම වසයෙන්, ජනගහනයේ සෑම 1000 කට ම එක් වෛද්‍යවරයෙක් හෝ අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ එම අනුපාතය පවතින්නේ ඊට පහලිනි. 2020 සිට එය තවතවත් පහලට වැටෙමින් පවතී. ලෝසෞස ට අනුව, 2020 දී එම අනුපාතය 1000: 0.95 ක් වූ අතර 2022 දී එය 0.82 ක් වී 2023 දී 0.78 ක් බවට පත්ව තිබේ.
ලෝසෞස ගනන් බැලීම් වලට අනුව, ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් වලට, අවම වසයෙන් හෙද-හෙදියන් 88,000 ක් අවශ්‍ය වන නමුත්, දැනට සේවයේ යෙදී සිටින්නේ 40,000 කට ආසන්න සංඛ්‍යාවක් පමනි. එය අවශ්‍ය ප්‍රමානයෙන් අඩකටත් අඩු අගයකි. මෙම තතු තුල, ඉහත හෙද හිඟයට අලගු තැබීමටවත් ප්‍රමානවත් නොවන, නව හෙදියන් 3147 ක් පසුගිය දා රාජ්‍ය සේවයට බඳවාගත් ජවිපෙ/ජාජබ ආන්ඩුව, එය හෙද හිඟය විසඳීමට ගත් දැවැන්ත පියවරක් ලෙස හුවා දැක්වීමට යත්න දරයි.
අනෙකුත් රෝහල් කාර්ය මන්ඩලයන්හි හිඟය ද මේ සා දැවැන්තය. මෙම තතු තුල, වෛද්‍යවරුන්, හෙද-හෙදියන් සහ අනෙකුත් රෝහල් සේවකයන් මත අධික වැඩභාරයක් පැටවී ඇති අතර ඔවුහු සියලු දෙනාම දැඩි ආතතියකින් පසුවෙති. ජවිපෙ/ජාජබ ආන්ඩුව අකුරක් නෑර ක්‍රියාත්මක කරමින් සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු හේතුවෙන් අහස උසට නැගෙමින් පවත්නා ජීවන වියදම මෙම ආතතිය වඩාත් ඉහල නංවා ඇත.
පේරාදෙනිය රෝහලේ හෙදියක් කියා සිටියේ, තම කායික සහ මානසික ශක්තිය ඉමහත් වේගයෙන් පිරිහෙමින් පවත්නා බවයි. 'අපිට දරුවන් සහ සැමියා ඇතුලු පවුලේ අය සමග ජීවත් වීමට ඇති කාලය ඉතා අවමයි. කොටින්ම මේක ජීවිතයක් නෙවෙයි' ඇය කීවාය.
මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල කේන්ද්‍ර කරගත් මහජන සෞඛ්‍ය සේවාවන් ට ද අත්ව ඇත්තේ මේ හා සමාන ඉරනමකි.
එම ආයතන වලින් ඉටුවියයුතු කාර්යයන් නිසි පරිදි ඉටු කිරීම සඳහා අවශ්‍ය මානව සහ භෞතික සම්පත් නොමැතිවීම හේතුවෙන්, ඩෙංගු සහ චිකුන්ගුන්‍යා වැනි රෝග ව්‍යාප්තිය ඉතා වේගයෙන් ඉහල යමින් පවතී. 'වසර 16 ක කාල පරිච්ඡේදයකට පසු ශ්‍රී ලංකාවේ විශාලතම චිකුන්ගුන්‍යා පැතිරීම 2024 අවසානයේ සිට අත්විඳින' බව වෛරසවේදය පිලිබඳ මහාචාර්ය නිලීකා මලවිගේ පසුගිය දා පැවසුවාය.
ඩෙංගු මෙන්ම, චිකුන්ගුන්‍යා බෝ වනුයේ මදුරුවන්ගෙනි. මදුරුවන් බෝවීම වැලැක්වීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වලින් සහ පලාත් පාලන ආයතනයන්ගෙන් ඉටුවියයුතු කාර්යයන් සඳහා අවශ්‍ය මානව සහ භෞතික සම්පත් නොමැතිවීම මෙම රෝග ව්‍යාප්තියට ප්‍රධානතම හේතුවයි.
මෙම අත්‍යවශ්‍ය සම්පත් සම්පාදනය සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට බිලියන සංඛ්‍යාත මුදල් වෙන්කල යුතුව තිබිය දී, අනුප්‍රාප්තික ධනපති ආන්ඩු අනුයමින්, ජවිපෙ/ජාජබ ආන්ඩුව, 2025 අයවැයෙන් නිදහස් සෞඛ්‍යය ට වෙන්කර ඇත්තේ, දල ජාතික නිශ්පාදනයෙන් (දජානි) සියයට 1.83 ක් වැනි සොච්චමකි.
පසුගිය දශක දෙක තුල අනුප්‍රාප්තික ආන්ඩු විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල කරන ලද කප්පාදුවේ දැවැන්ත පරිමාව පහත ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරයි.
ඉහත කරුනු මගින් පෙන්වා දෙන්නේ, නිශ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති නිශ්පාදන ක්‍රමය තුල, මහජනතාවගේ අති මූලික අයිතියක් වන සෞඛ්‍යමත්ව ජීවත්වීමේ අයිතිය වලලා දැමෙමින් පවතින ආකාරය යි.
මෙය වඩාත්ම විශදවූයේ, 2019 දී කෝවිඩ් වසංගතය පැනනැගීමත් සමගය. ශ්‍රී ලංකාව ද ඇතුලු ලොවපුරා පාලකයෝ, ධනපති ලාභ උත්පාදනය අඛන්ඩව ගෙනයනුවස්, වසංගතය පාලනය කිරීමේ සියලු විද්‍යාත්මක පියවර අත්හරිමින් කම්කරුවන් වැඩට දැක්කූහ. මිලියන සංඛ්‍යාත ජනයාට මරනය අත්කර දෙමින් මරනය සංමාන්‍යකරනය කල මෙම සාපරාධී පිලිවෙතට, ජවිපෙ/ජාජබ ඇතුලු සියලු ධනපති පක්ෂ සහයෝගය දුන්හ. දැන් කෝවිඩ් වසංගතය යලි හිස ඔසවමින් සිටින තතු තුල, ජවිපෙ/ජාජබ ආන්ඩුව සහ එහි නිලධාරින් කියා සිටින්නේ, ඒ සම්බන්ධයෙන් 'අනියත බියක්' ඇතිකර නොගතයුතු බවයි.
ජීවත්වීමට ඇති අයිතිය උදුරා ගැනෙන මෙම සාපරාධී පිලිවෙත ධනපති ක්‍රමය මුහුන දී සිටින ඓතිහාසික අර්බුදයේ නිර්මිතයකි. එක්සත් ජනපදයේ ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෛද්‍යාධාර ඇතුලු සමාජ වැඩසටහන් වලට එල්ල කරමින් පවත්නා ප්‍රහාරය මෙහි ඉහලම ප්‍රකාශනය අත්කර ගනී. ට්‍රම්ප් ඇතුලු ලොවපුරා අධිරාජ්‍යවාදී පාලකයෝ, සමාජ වැඩසටහන් කපා දමා, ඉන් ඉතුරු කර ගන්නා මුදල්, අධිරාජ්‍යවාදී යුද්ධ සඳහා ම්ලිටරිය වර්ධනය කිරීමට විවෘතවම යොදා ගනිති.
ශ්‍රී ලංකාවේ ජනාධිපති දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව, ජාතික සහ ජාත්‍යන්තර මහධනපතියන්ට උපරිම සහන සලසාදෙන අතරේ, ධනපති පාලක පංතිය මුහුනදෙන දැවැන්ත ආර්ථික අර්බුදයේ සියලු බර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටී.
බිඳවැටී ඇති නිදහස් සෞඛ්‍ය සේවය නගා සිටුවීමට අවශ්‍ය බිලියන සංඛ්‍යාත මුදල්, සම්පාදනය කරනු වෙනුවට, බලයට පැමිනෙන අන් කවර හෝ ආන්ඩුවක් සිදු කරනු ඇත්තේ, නිදහස් සෞඛ්‍යය ඇතුලු, කම්කරු පංතිය අතීතයේ සටන්කොට දිනාගත් සියලු සමාජ අයිතීන් වලලා දැමීම බව සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝසවෙඅ පසුගිය ජනාධිපතිවරනයේ දී සහ මහමැතිවරනයේදී කල අනතුරු ඇඟවීම් සනාථ වී ඇත.
ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීමෙන්, සෞඛ්‍යය සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් මුහුනදෙන ප්‍රශ්න විසඳිය හැකිය යන මිත්‍යාව වපුරන වෘත්තීය සමිති වලින් කම්කරුවන් බිඳීගත යුතුය. ඔවුන් තමාගේම බල සංස්ථාවන් ලෙස, වෘත්තීය සමිති වලින් සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලකම ගොඩනගා ඒවා ඒකාබද්ධකර ගනිමින් සහ ඒ වටා ගම්බද දුගීන් රැලිකර ගනිමින්, ධනපති ආන්ඩුවටත්, ධනපති ක්‍රමයටත් එරෙහි දේශපාලන ප්‍රතිප්‍රහාරයකට සූදානම් විය යුතු ය.
මෙම දේශපාලන ප්‍රතිප්‍රහාරය තුල ධනපති ආන්ඩුව හෙලා, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත පාදක වූ කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන එමින්, මහා පරිමාන බැංකු, කම්හල් සහ වතුයායයන් කම්කරු පංති පාලනය යටතේ ජනසතු කල යුතු වේ. එම බැංකුවල පවත්නා මහධනපතියන් සතු බිලියන සංඛ්‍යාත ධනය ඔවුන්ගෙන් අස්වාමික කොට, නිදහස් සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීම ඇතුලු මහජන අවශ්‍යතා සඳහා යොදාගත හැක.