ජවිපෙ වෘත්තීය සමිති නායකයින්, සමාගම සමඟ ඇති කරගත් රහස් ගිවිසුමෙන් පසු මිචෙලින් සේවකයින්ගේ රැකියා බරපතල අනතුරක

[මෙය Sri Lankan Michelin workers’ jobs in danger after JVP trade union leaders’ secret deal with the company මැයෙන් 2025 මැයි 28 දා පල වූ ලිපියේ පරිවර්තනයකි.]

2025 මැයි 26 වැනි දින මිදිගම කර්මාන්තශාලාව ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන මිෂෙලින් කම්කරුවෝ [Photo: WSWS]

ප්‍රංශ සංගතයක් වන මිචෙලින් සමාගමට අයත්, මිදිගම ටයර් කම්හල ඉන්දියානු සියැට් සමාගමට විකුනන බව නිවේදනය කිරීමත් සමඟ සෙනසුරාදා එහි කම්කරුවෝ බලගතු විරෝධතාවයක යෙදී ගත්හ. ජූනි 6 දා සියැට්‍ සමාගම තම වැඩකටයුතු ආරම්භ කරනු ඇත.

1984 සිට ක්‍රියාත්මක වන මෙම කම්හලේ, වර්තමානයේ සේවකයින් 1500 කට වැඩි පිරිසක් සේවය කරති.

ඉදිකිරීම් සඳහා යොදා ගැනෙන කැටර්පිලර් සහ බැකෝ වැනි බරවාහන සඳහා ටයර් සහ ට්‍රැක් නිෂ්පාදනය කරන, තම මිදිගම කම්හලේ ටයර් සහ වාත්තු අංශ, සියැට් සමූහයට විකුනා දැමූ බව මිචෙලින් සමූහය, දෙසැම්බර් 6 වන දා, නිවේදනය කලේය. “වසර තුනක බලපත්‍ර කාල සීමාවක් අවසානයේ මෙම අංශවල කීර්තිමත් කැස්මෝ (Camso) සන්නාමය ද මෙලෙස සියැට් සමාගමට හිමිවන” බව මිචෙලින් සමුහයේ ප්‍රකාශය සඳහන් කරයි.

ඔවුනට කුමක් සිදුවේදැයි අවිනිශ්චිත බැවින් පසුගිය සෙනසුරාදා සියලුම සේවකයින් තම රැකියා සුරක්ෂිතභාවය ඉල්ලා කර්මාන්තශාලා පරිශ්‍රය ඉදිරිපිට විරෝධතා දැක්වූහ. 'කම්හල ආරක්ෂා කරනු!', 'වෘත්තීය සමිතිය අපිව පාවා දුන්නා!', 'කම්හල වසා දමන්නේ නම් , ජීවත් වීමට සරිලන සාධාරන වැටුපක් දෙනු!' වැනි සටන් පාඨ ඔවුහු හඬ නැගුහ.

ඉන්දියානු සමාගම පෙර පරිදි ම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යනු ඇත්ද සහ ඔවුන්ගේ සේවය බිඳ දැමීමකින් තොරව ඔවුන් ව සේවයේ යොදවනු ඇත්ද යන බරපතල අවිශ්වාසයකින් සේවකයෝ පසුවෙති. ඊට පැහැදිලි පිලිතුරු නොදී, කර්මාන්තශාලාවේ වත්මන් කලමනාකාරිත්වය අත සෝදා ගැනීමට උත්සාහ කර ඇත. ඉන්දියානු සමාගම රැකියා ලබා දෙනු ඇත්තේ නව රැකියා ලෙස පමනක් බවට ඔවුන් ට සැකයක් පවතී.

ගැටලුව සාකච්ඡා කිරීම සඳහා කම්කරුවෝ සඳුදා තමන්ගේ ම නියෝජිතයන් කන්ඩායමක් කොලඹ කම්කරු කාර්යාලයට යැවූහ. අන්තර් සමාගම් සේවක සංගමයේ (අසසේස) නායකයින් රහසිගත ව සමාගම සමඟ ගිවිසුමකට එලැඹ ඇති බව කම්කරුවන්ට දැනගන්නට ලැබුනේ එවිට ය.

මිචෙලින් සමාගම සමඟ වෘත්තීය සමිතිය එකඟතාවයකට පැමින ඇති බව කම්කරු කොමසාරිස්වරයා කම්කරු නියෝජිතයින්ට දැනුම් දී තිබේ. ගිවිසුම යටතේ,සේවයෙන් පහ කිරීම සඳහා ගෙවීමක් ලෙස, සේවකයින්ට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හෝ සේවා කාලය නොසලකා ඇමරිකානු ඩොලර් 650 ක (රුපියල් 200,000 ක් පමන) ස්ථාවර අනුපාත වන්දියක් මිචෙලින් විසින් ගෙවනු ඇත. වෙනත් වචන වලින් කිවහොත්, අසසේස කම්කරුවන්ට හොරෙන්, සොච්චම් වන්දි පැකේජයක් පිලිගෙන ඇති අතර අඛන්ඩ රැකියා සුරක්ෂිතභාවය පිලිබඳ කිසිදු සහතිකයකින් තොර ව එය බලහත්කාරයෙන් පටවමින් සිටී.

ඉන් විශ්මයට පත් කම්කරු නියෝජිතයින් කම්කරු කොමසාරිස්වරයාට පවසා ඇත්තේ එවැනි ගනුදෙනුවකට ඔවුන් එකඟ වී නොමැති බවයි. කෙසේ වෙතත්, කොමසාරිස්වරයා සේවක නියෝජිතයන් සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කල අතර, ඔහු වෘත්තීය සමිතිය සමඟ පමනක් කටයුතු කරන බව පැවසී ය.

මෙය පාලක ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන සහ එහි අමාත්‍ය සමරසිංහ විසින් නායකත්වය දෙනු ලබන වෘත්තීය සමිති නිලධරයේ ද්‍රෝහී ක්‍රියාවකි. දක්ෂිනාංශික ජවිපෙ/ජාතික ජනතා බලවේග ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙලකට කැපවී සිටින අතර ලාභ වැඩි කර ගැනීම සඳහා ප්‍රධාන සහන ලබා දෙන බවට විදේශීය සහ දේශීය ආයෝජකයින්ට පොරොන්දු වෙමින් ඔවුන්ගේ සමාගම් පිහිටුවීමට ආරාධනා කර තිබේ.

මිචෙලින් කම්කරුවන්ගේ රැකියා සහ සේවා කොන්දේසි මත ප්‍රහාරය එල්ල වන්නේ රටේ වෙනත් තැන්වල ද මෙ වැනි ම ප්‍රහාර සිදුවන අතරතුර ය.

මැයි 19 වන දින, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටි ප්‍රධාන ඇඟලුම් සමාගමක් වන නෙක්ස්ට්, හදිසියේම කම්හල වසා දමා රැකියා 1,500 ක් පමන අහෝසි කලේ ය.

නෙක්ස්ට් කලමනාකාරිත්වය සමඟ පැවති සාකච්ඡාවකින් පසු, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ, කර්මාන්තශාලාව වසා දැමීම සාධාරනීකරනය කලේය. පසුගිය වසර කිහිපය තුල පාඩු ලැබූ බැවින් එය වසා දමා ඇති බව ඔහු පැවසී ය. සේවයෙන් පහ කරන ලද සේවකයින්ට රැකියා සොයා ගැනීමට සමාගම උදව් කරන බවට ද ඔහු ව්‍යාජ ලෙස ප්‍රකාශ කලේ ය.

අඟහරුවාදා මාධ්‍ය හමුවක් පවත්වමින් අසසේස ලේකම් ජනක අධිකාරි, 'සමහර බංකොලොත් දේශපාලනඥයින්' මිදිගම කම්හලේ 'කම්කරුවන් 150 දෙනෙකුගේ' විරෝධතාවය පාතාල ලෝකයේ සහාය ඇතිව සංවිධානය කල බවට චෝදනා කලේ‍ ය.

මෙම සේවකයින් නොමඟ යවා ඇති බවත්, රැකියා ආරක්ෂා කිරීම සඳහා තම සංගමය මිචෙලින් සහ සියැට් සමඟ අවබෝධතා ගිවිසුමකට එලැඹ ඇති බවත් ඔහු පැවසීය. ඇත්ත වශයෙන්ම, මෙම “අවබෝධතා ගිවිසුම” සකස් කිරීමේ දී සේවකයින්ගෙන් අදහස් ලබාගෙන නොමැත.

'නොමඟ යවන ලද' සේවකයින් 150 ක් පමනක් විරෝධතා දැක්වූ බව බොරුවකි. සමස්ත ශ්‍රම බලකායම අරගලයට එක්වී ඇත්තේ වෘත්තීය සමිතිය තමන්ව පාවා දුන් බවට චෝදනා කරමිනි. ඔවුහු තමා වෙත යවන ලද අධිකාරිගේ ශ්‍රව්‍ය පටිගත කිරීම් ද හෙලා දුටුවෝය. බොහෝ කම්කරුවන් පැවසුවේ පසුගිය වසරේ ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරනවලදී තමන් ජවිපෙ/ජාජබ ට ඡන්දය දුන් නමුත් ආන්ඩුව තමන් නොතකා හරිනු ඇතැයි අපේක්ෂා නොකල බවයි.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය පසුගිය දින දෙක තුල, කම්කරුවන් අතර මැදිහත් වී, රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ අවශ්‍යතාවය පැහැදිලි කර තිබේ.

මිචෙලින් සහ නෙක්ස්ට් කර්මාන්තශාලාවල අත්දැකීම්වලින් පැහැදිලි ව පෙන්නුම් කරන පරිදි, රජයේ සහ සංගතවල හස්තයක් ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිතිවලින් එවැනි කමිටු ස්වාධීන විය යුතුය. ඒවායේ අරමුන විය යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ධනපති පන්තිය සහ එහි දේශපාලන නියෝජිතයා වන ජවිපෙ/ජාජබ ආන්ඩුවට ' එරෙහිව මූලික සමාජ අයිතිවාසිකම් සඳහා පොදු අරගලයක් තුල කර්මාන්තශාලා සහ කර්මාන්ත පුරා කම්කරුවන් එක්සත් කිරීමයි.

මෙම ලිපිය සමඟ, සසප ප්‍රමුඛ සාමාජිකයෙකු විසින් ඊයේ මිදිගම කම්කරුවන් අමතමින් කරන ලද කතාවක් අපි ප්‍රකාශයට පත් කරන්නෙමු.

Loading