2025 ඔන්ලයින් ජාත්‍යන්තර මැයි දින රැලියේදී රුසියාවේ බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානය නියෝජනය කරමින් ආන්ද්‍රෙයි රිට්ස්කි The Soviet victory over Nazism and the fight against imperialism today යන මැයෙන් කල කතාව පහත පල කෙරෙයි.
මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.
අද මෙහි රැස්ව සිටින අනෙකුත් කථිකයන්ට සහ ශ්‍රාවකයන්ට මගේ හෘදයාංගම සුභාශිංසන සහ සුබ පැතුම් පිරිනැමීමට මම කැමැත්තෙමි.
මගේ සටන් සගයා වන බොග්ඩාන් සයිරොටියුක් පසුගිය වසරේ මැයි රැලියට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගනු ලැබුනා. වසරකට පසුව, ඔහු තවමත් යුක්‍රේන රහස් පොලිසිය භාරයේ සිටින අතර, ඔහු පුටින්ගේ පාලන තන්ත්‍රයේ නියෝජිතයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙන්වීමට උත්සාහ දැරෙනවා. බොග්ඩන් සහෝදරයාගේ “අපරාධය” වූයේ ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ සම්ප්‍රදාය තුල, මාක්ස්වාදී මූලධර්ම ඔහු විසින් නොකඩවා ආරක්ෂා කිරීම යි. ඔහු අත් අඩංගුවට ගැනීමත් සමග, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත සෙලෙන්ස්කි සහ පුටින් පාලන තන්ත්‍රයට එරෙහිව රුසියාවේ සහ යුක්‍රේනයේ කම්කරු පන්තියේ ස්වාධීන පිලිවෙතක් සඳහා අරගල 'සාපරාධී වරදක්' සහ 'ද්‍රෝහීකමක්' ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
සැබෑ අපරාධකරුවන් වන්නේ යුක්‍රේන ෆැසිස්ට්වාදයේ අපරාධ වසන් කරන සහ නාසි අපරාධකරුවන් පුනරුත්ථාපනය කරන සෙලෙන්ස්කි පාලනය සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන්. ඔවුන් බටහිර අධිරාජ්‍යවාදයේ සහ කතිපයාධිකාරයේ අවශ්‍යතා වෙනුවෙන් යුක්‍රේන කම්කරුවන් මරනය කරා දක්කමින් සිටිනවා.
එහෙත් පුටින් තන්ත්‍රයේ ප්‍රතිපත්තිය අඩු ප්‍රතිගාමී නොවේ. එය අධිරාජ්‍යවාදය සමග ගනුදෙනුවකට යා හැකි ය යන මනෝරාජික මිත්‍යාව මත පදනම් වෙන්නක්. එහෙත් ඕනෑ ම ගනුදෙනුවක් කතිපයාධිකාරයේ අවශ්‍යතා සඳහා පමනක් සේවය කරන අතර එය තාවකාලික ස්වභාවයක් ගනු ඇත. පැරනි සෝවියට් සංගමයේ කම්කරු පන්තිය තමන් මුහුන දෙන පැවැත්මේ තර්ජනයෙන් මුදවා ගැනීමට එවැන්නක් කිසිවක් නොකරනු ඇත. අධිරාජ්‍යවාදයට තම වාසියට ගසා කෑ හැකි ප්‍රතිපත්ති සහ ජාතිකවාදී ප්‍රචාර සමඟින් පුටින් පාලනය යෝධ ව්‍යසනයක් සූදානම් කරමින් සිටී.
මෙම රැලිය නාසිවාදයට එරෙහි යුද්ධයේ සෝවියට් ජයග්‍රහනයේ 80 වැනි සංවත්සරයට සමගාමී වෙනවා. මෙම ජයග්‍රහනය පුටින්ගේ පාලන තන්ත්‍රය විසින් ගසාකනු ලබන්නේ එහි ප්‍රතිගාමී යුක්‍රේන ආක්‍රමනයට ප්‍රගතිශීලී අරගලයක පෙනුම ලබා දීම සඳහා ය.
ෆැසිස්ට්වාදයට එරෙහිව සෝවියට් සංගමය ආරක්ෂා කිරීමට සෝවියට් ජනතාව දැවැන්ත මිලක් ගෙවුවා. නිල ඇස්තමේන්තු වලට අනුව, සෝවියට් සංගමයට මිලියන 27 ක් පමන ජීවිත අහිමි වුනා. ඔවුන් අතර සිවිල් වැසියන් මිලියන 14 ක් සහ ඉදිරි පෙල සටන්වල දී මිය ගිය රතු හමුදා සොල්දාදුවන් මිලියන 9 ක් සිටිනවා. මිලියන 2 ක් වහල්භාවයේ සහ මරනයේ කඳවුරුවල මිය ගියා; තවත් මිලියන 2 ක් කුසගින්නෙන් හා රෝගවලින් සටන් පෙරමුනට පිටුපසින් මිය ගියා.
ආබාධිත වූවන්, ගාල් කඳවුරුවලින් දිවි ගලවා ගත් සහ ඥාතීන්, ආදරනීයයන්, මිතුරන් සහ සහෘදයන් අහිමි වූවන් අත්විඳින ලද දැවැන්ත මානසික හා ශාරීරික කම්පන මෙයට එකතු කල යුතුයි.
මේ කිසිවක් අමතක කල නොහැකියි. සෝවියට් සිනමාව තුල, සංගීතය, කවිය, සිතුවම්, සෑම තැනකම ඔවුන්ගේ දැවැන්ත වීරෝධාර අරගලය තුලින් ජනතාවගේ මාවතේ පිලිබිඹු සොයාගත හැකියි.
අද ක්‍රෙම්ලිනය උත්සාහ කරන්නේ ජාතිකවාදය ප්‍රවර්ධනය කිරීමට සහ ඓතිහාසික ව්‍යාකූලත්වය වැපිරීමටයි. මෙම ප්‍රචාරනයේ ප්‍රධාන ඉලක්කය වන්නේ යුද්ධයේ ගැඹුරින් මුල් බැසගත් මතකය ගසාකෑම සහ සෝවියට් සංගමය සහ රුසියානු සමූහාන්ඩුව අතර දේශපාලන වෙනස බොඳ කිරීමයි. සෝවියට් සංගමයේ සහ රුසියානු සමූහාන්ඩුවේ භූගෝලීය පිහිටීම සමාන වුව ද, පරම්පරා ගනනාවක් රාජ්‍යයන් දෙකෙහි ම ජීවත් වුව ද, සෝවියට් සංගමයට සහ රුසියානු සමූහාන්ඩුවට මුලුමනින්ම වෙනස් පන්ති හා ඓතිහාසික සම්භවයන් පවතිනවා.
1922 දෙසැම්බරයේ සෝවියට් සංගමය පිහිටුවනු ලැබුවේ, බොල්ෂෙවික්වරුන් විසින් නායකත්වය දුන් කම්කරු පන්තිය ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහන ආරක්ෂා කල ජයග්‍රාහී සිවිල් යුද්ධයෙන් පසුවයි.
ධනේශ්වරය අස්වාමික කිරීමෙන් ජනසතු දේපල සබඳතා සහ සැලසුම්ගත ආර්ථිකයක් ස්ථාපිත කිරීමෙන්, බොල්ෂෙවික්වරු සමාජවාදී සමාජයක් සඳහා සමාජ-ආර්ථික පදනම දැමුවා. ඔවුන් දැනුවත්ව ම සමාජවාදය ගොඩනැගීම ලෝක විප්ලවයේ ජයග්‍රහනයට සම්බන්ධ කලා. එහෙත් මෙම ජාත්‍යන්තරවාදී මාක්ස්වාදී වැඩපිලිවෙල තම වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා “තනි රටක සමාජවාදය” ගොඩනැගීමේ ප්‍රතිගාමී වැඩපිලිවෙල ප්‍රකාශ කල ස්ටැලින්වාදී නිලධරය විසින් පාවා දෙනු ලැබුවා.
සෝවියට් රාජ්‍යයේ සහ බොල්ෂෙවික් පක්ෂයේ නිලධාරිවාදී පරිහානිය කූටප්‍රාප්තියට පත් වූයේ මහා භීෂනය තුල විප්ලවවාදීන්ගේ පරම්පරා ගනනාවක් සමූල ඝාතනය කිරීමෙන්. එහෙත් කම්කරු රාජ්‍යයේ මූලික පදනම තවමත් පවත්වා ගෙන යනු ලැබුනා. මාක්ස්වාදයේ කැපී පෙනෙන නියෝජිතයන් ඝාතනය කර තිබියදීත්, ඔක්තෝබර් විප්ලවයේ සම්ප්‍රදායන් පිලිබඳ ප්‍රාථමික විඥානයක් තවමත් ජනතාව අතර පැවතුනා. නාසිවාදයට එරෙහි යුද්ධයේ දී බලගතු ප්‍රකාශනයක් අත්පත් කර ගනිමින්, සෝවියට් සංගමයේ ජයග්‍රහනය සහතික කලේ මෙම සම්ප්‍රදායන්.
රුසියානු සමූහාන්ඩුව ඔක්තෝබර් විප්ලවයේ සම්ප්‍රදායන් හා ජයග්‍රහනවලට එරෙහි ව ස්ටැලින්වාදී ප්‍රතිවිප්ලවයෙන් පැන නැඟුනක්. 1985 පටන්, මිහායිල් ගොර්බචෙව්ගේ පෙරෙස්ත්‍රොයිකා පරිහානියට පත් කම්කරු රාජ්‍යයේ අත්තිවාරම්වලට නිසැකව ම වලකැපුවා. 1991 දී නිලධරය සෝවියට් සංගමය විසුරුවා හැරියා. මෙම ප්‍රතිවිප්ලවයෙන් මතු වූයේ යෙල්ට්සින්ගේ සහ පසුව පුටින්ගේ කතිපයාධිකාරී පාලන තන්ත්‍රයන්. යුක්‍රේනයේ යුද්ධයත් සමග පුටින්ගේ තන්ත්‍රය ආරක්ෂා කරන්නේ අධිරාජ්‍යවාදයට එරෙහිව ජනතාව නොව රුසියානු කතිපයාධිකාරයේ ධනේශ්වර දේපලයි.
නාසිවාදයට එරෙහි යුද්ධයේදී සෝවියට් මහජනතාවගේ අතිමහත් පරිත්‍යාගයන්ට අවංක උපහාරය වන්නේ සත්‍යය ප්‍රකාශ කිරීමයි: පුටින් සහ රුසියානු කතිපයාධිකාරය නාසිවාදයට එරෙහි යුද්ධයේ සම්ප්‍රදායන්ගේ සතුරන් ය. ඔවුන් රුසියානු, යුක්‍රේන සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතාවලට සතුරන්.
අද අධිරාජ්‍යවාදයට එරෙහි ව සටන් කිරීමට ඇති එක ම මාර්ගය වන්නේ රුසියානු කම්කරු පන්තිය, යුක්‍රේන හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක්ව ඔක්තෝබර් විප්ලවයේ ධජය යටතේ ස්වාධීන ව බලමුලු ගැන්වීම සඳහා සටන් කිරීමයි.
යුක්‍රේනයේ යුද්ධය එපා!
රුසියානු සහ යුක්‍රේන කම්කරු පන්තිය එක්සත් කරමු!
අධිරාජ්‍යවාදයට සහ ධනේශ්වර ජාතිකවාදයට එරෙහිව!
ඔක්තෝබර් විප්ලවයේ සම්ප්‍රදායන්ගේ පුනර්ජීවනය සඳහා!
බොග්ඩාන් සයිරොටියුක්ගේ නිදහස වෙනුවෙන්!
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනඟන්න!