මැයි දිනය 2025

ට්‍රම්ප්ගේ ආඥාදායකත්වය, ගෝලීය යුද්ධය සහ සමාජවාදය සඳහා සටන

ඇමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිශෝර් 2025 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට Trump’s dictatorship, global war, and the fight for socialism යන මැයෙන් සිදු කල කතාවේ වීඩියෝව සහ පෙල පහතින් පල කරන්නෙමු.

ජෝසෆ් කිශෝර් 2025 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට කල කතාව.
මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.

මෙම රැලිය පැවැත්වෙන්නේ, පාලක පන්තීන් ෆැසිස්ට්වාදයට, ආඥාදායකත්වයට හා යුද්ධයට හැරෙද්දී, ධනවාදයේ ලෝක අර්බුදයේ අසාමාන්‍ය තීව්‍රවීමක් මධ්‍යයේ ය.

මෙම වර්ධනයන් ඉහල ම ප්‍රකාශනයක් ගෙන ඇත්තේ ඇමරිකාවේ දී ය. ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය දෙවන ධූර කාලයට දින සියයක් ගත වෙද්දී, ඇමරිකානු ජනාධිපති ධූරය ආඥාදායකත්වයේ හිතුවක්කාරී උපකරනයක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ කරනවා.

ට්‍රම්ප් විසින් මූර්තිමත් කෙරෙනුයේ ඇමරිකානු ධනවාදයේ සාපරාධීත්වයයි; කතිපයාධිකාරයේ සහ සංස්කෘතික පරිහානියේ අතිනත් ගැනීමයි; දැන් ධවල මන්දිරයේ සිට පාලනය කෙරෙන දේශපාලන පාතාල ලෝකයේ පුද්ගලාරෝපනයයි.

ඔහුගේ පරිපාලනයේ පලමු මාස තුන තුල, ට්‍රම්ප් උසාවි නියෝග නොතකා, සංක්‍රමනික සිසුන් නීතිවිරෝධී ලෙස පැහැරගෙන යාමට ෆෙඩරල් නියෝජිතයන් යොදවා, විනිසුරුවන් අත්අඩංගුවට ගෙන, දේශපාලන විසම්මුතියට එරෙහි ව යුද්ධයක් දියත් කර, එක්සත් ජනපද පුරවැසියන් විදේශීය ගාල් කඳවුරුවලට පිටුවහල් කිරීමේ තම අභිප්‍රාය ප්‍රකාශ කලා.

ඉතාමත් කුරිරු ආඥාදායකත්වයන් හා සම්බන්ධ දර්ශන දැන් දිනපතා දිග හැරේ. සංක්‍රමනිකයන්, පිටස්තර සතුරන් පිලිබඳ පනත (Alien Enemies Act) යටතේ සමූහ වශයෙන් පිටුවහල් කිරීම් කෙරෙනවා. මේරිලන්ඩ් හි පදිංචිකරුවෙකු වන කිල්මාර් ඇබ්‍රෙගෝ ගාර්ෂියා ඔහුගේ පවුලෙන් දුරස් කොට 'අත්වැරදීමකින්' එල් සැල්වදෝරයේ සිරකර තබනු ලැබුනා. රුමේසා ඔස්ටර්ක්, ටෆ්ට්ස් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්, ගාසා ජන සංහාරයට එරෙහිව ලිපියක් ලිවීම නිසා මුහුනු ආවරනය කර ගත් පොලිස් ඒජන්තයින් විසින් මහ පාරේ දී පැහැර ගනු ලැබුනා. කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ මොමොඩු ටාල්ට, ට්‍රම්ප්ගේ විධායක නියෝගවලට අභියෝග කිරීම නිසා රට හැර යාමට සිදු වුනා. කොලොම්බියා විශ්වවිද්‍යාලයේ හරිත කාඩ්පත් හිමි මහමුද් කලීල්, වරෙන්තුවක් නොමැති ව අත්අඩංගුවට ගනු ලැබ පිටුවහල් කරනු ලැබීමේ අන්තරායකට මුහුන දී සිටින්නේ තම දේශපාලන අදහස්වලට දඬුවමක් වශයෙන්.

රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ සටහනක් විවෘතව ප්‍රකාශ කලේ කලීල් ඔහුගේ “අතීත, වර්තමාන හෝ අපේක්ෂිත විශ්වාසයන්” නිසා රටින් පිටුවහල් කල යුතු බවටයි. මෙය මුලින්ම නාසීන් විසින් සංකල්ප ගත කරන ලද 'චින්තන අපරාධයක්' වන අතර දැන් ට්‍රම්ප්ගේ ධවල මන්දිරය විසින් එම සංකල්පය වැලඳ ගනු ලැබ ඇත.

2024 නොවැම්බර් 4 වැනි දා සඳුදා, උතුරු කැරොලිනාවේ රැලේ හි ද ජේ ඇස් ඩෝටන් ඇරීනාවේ මැතිවරන ප්‍රචාරක රැලියක දී ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනෙට් සභික මාර්කෝ රුබියෝ සමග කතා කරමින්. [AP Photo/Evan Vucci]

ඒ අතරම, ට්‍රම්ප් පරිපාලනය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය යුද්ධ තීව්‍ර කරමින් සිටින්නේ වාර්ගික පවිත්‍රකරනයේ අවසන් අදියරේ පවතින ගාසා තීරයේ ජන සංහාරය පෙරට ගෙන යාමේ සිට ඉරානයට, චීනයට එරෙහිව සහ ඉන් ඔබ්බට යුද්ධය සඳහා සූදානම දක්වායි. 'මේඩ් ඉන් ඇමරිකා' යන ධජය යටතේ දියත් කරන ලද ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධය ලෝක ආධිපත්‍යය සඳහා වඩා විශාල ව්‍යාපාරයක් සඳහා වන ආර්ථික පෙරමුනයි.

ඇමරිකානු සමාජයේ කතිපයාධිකාරී ස්වභාවයට අනුරූප වන පරිදි ධනේශ්වර රාජ්‍යය ප්‍රචන්ඩ ලෙස ප්‍රතිනිර්මානය වීම අපි අත්දකිමින් සිටිමු. ලෝකයේ ධනවත්ම මිනිසා වන ඊලෝන් මස්ක් ගේ මඟපෙන්වීම යටතේ, ඊනියා රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ෆෙඩරල් කම්කරුවන් විශාල වශයෙන් දොට්ට දැමීම සහ සමස්ත ආයතන විසුරුවා හැරීම සිදු කරනවා. මෙඩිකේඩ්, මෙඩිකෙයා, සමාජ ආරක්ෂනය ඇතුලු සමාජ වැඩසටහන් කප්පාදු කරනවා. විද්‍යාව සහ මහජන සෞඛ්‍යය නිර්දය ප්‍රහාරයකට ලක් වෙලා.

පසුගිය වසරේ, එක්සත් ජනපදයේ ධනවත්ම කුටුම්භ 19 ඔවුන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 2.6 දක්වා ඩොලර් ට්‍රිලියන 1කින් වැඩි කර ගත්තා. ඇමරිකාවේ සෑම කම්කරුවෙකුට ම ඩොලර් 7,000ක වැඩිවීමක් ලබා දීමට ඩොලර් ට්‍රිලියන 1ක් ප්‍රමානවත්‍ ය. එයට රාජ්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වෙන් කෙරෙන මුදල දෙගුනයක් කල හැකියි. එයට එක රැයකින් නිවාස නොමැතිකම අවසන් කල හැකියි. ඒ වෙනුවට, දැවැන්ත ධනය යුද්ධයට, පිටුවහල් කිරීමේ කඳවුරුවලට, කොටස් වෙලඳපොලට සහ ධනවතුන්ගේ සාක්කුවලට ගලා යමින් තිබෙනවා.

නව ඉදිරි මාවතක් අවශ්‍යයි. ට්‍රම්ප්ට එරෙහි සටන දියත් කල හැක්කේ ට්‍රම්ප්ට සෑම පියවරකටම හැකියාව ලබා දී ඇති ඩිමොක්‍රටික් පක්ෂයට එරෙහිව පමනි. බයිඩන් පරිපාලනය, එහි දක්ෂිනාංශික යුධ න්‍යාය පත්‍රය සහ ප්‍රතිගාමිත්වය ට්‍රම්ප්ගේ නැවත තේරී පත්වීමට මග පෑදුවා. එහි මූලික අවධානය යොමු වූයේ යුක්‍රේනයේ රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න කිරීමට වන අතර, රට තුල දී එය ඓතිහාසික මට්ටම්වල අසමානතාවය ගෙනඑනු ලැබුවා.

ඊශ්‍රායල පාලන තන්ත්‍රය ගාසා තීරයේ ගෙනයන ජනසංහාරයට සහ පලස්තීනුවන් ලක්ෂ සංඛ්‍යාතව ඝාතනයට ආයුධ සහ මුදල් සැපයුවේ බයිඩන්. ජන සංහාරයට විරුද්ධ ශිෂ්‍ය විරෝධතාකරුවන් සමූහ වශයෙන් මර්දනය කිරීම ආරම්භ කලේ බයිඩන්. ට්‍රම්ප් ව්‍යවස්ථාවට එල්ල කරන ප්‍රහාරයට ඩිමොක්‍රටිකයන් ප්‍රතිචාර දක්වා ඇත්තේ ප්‍රතිරෝධයෙන් නොව සහයෝගීතාවයෙන්: ඒ ඔහුගේ පදවි ප්‍රාප්තියෙන් පසු ට්‍රම්ප් ධවල මන්දිරයට පිලිගැනීම, සහයෝගීතාවට ප්‍රතිඥා දීම සහ ඔහුගේ පාලන තන්ත්‍රය සඳහා බාධාවකින් තොරව අරමුදල් සැපයීම සහතික කිරීම ආදියෙනි.

බර්නි සැන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටෙස් වැනි චරිත කතා කරන්නේ කතිපයාධිකාරය ගැන මිස ධනවාදය ගැන නොවේ. ඔවුන්ගේ වැඩපිලිවෙල සමන්විත වන්නේ මූල්‍ය ප්‍රතිසංස්කරන සඳහා වන ඉල්ලීම් වලින්, හරියට බංකොලොත් සමාජ හා ආර්ථික පද්ධතියකට අන්ඩ දමා පාලක පන්තිය ආඥාදායකත්වයට හැරීම වැලැක්විය හැකිවාක් මෙන්. සියල්ලටත් වඩා ඔවුන්ට අවශ්‍ය වන්නේ ඩිමොක්‍රටික් පක්ෂය කෙරෙහි විශ්වාසය රඳවා ගෙන සිටිය යුතු බවට කම්කරුවන්ට හා තරුනයින්ට ඒත්තු ගැන්වීමටයි.

බර්නි සෑන්ඩර්ස් (වමේ කතා කරමින්) සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකෑසියෝ කෝර්ටෙස් (බලා සිටී) “කතිපයාධිකාරයට එරෙහි ව සටන් කිරීම” යන තම සංචාරයේ දී 2025 මාර්තු 21 වැනි දින ඩෙන්වර් හි දී [AP Photo/David Zalubowski]

කතිපයාධිකාරයේ බලය බිඳ දැමීමකින් තොරව සටන් කල නොහැකියි. එයින් අදහස් වන්නේ බිලියනපතියන් ගේ ධනය පවරා ගැනීමයි - ඔවුන්ගේ ධනය අත්පත්කර ගැනීම සහ කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා සමාජය සමාජවාදී ප්‍රතිසංවිධානය කිරීමයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ සදාචාරාත්මක ආයාචනා හෝ රාජ්‍ය යාන්ත්‍රනය තුල දේශපාලන උපාමාරු නොව, මහජන විප්ලවවාදී අරගලය තුල කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි

එම අරගලය ජාත්‍යන්තරවාදය මත පදනම් විය යුතුයි. එක්සත් ජනපදයේ කම්කරුවන් පෘථිවියේ බලවත්ම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ කොටසක්. ලොව පුරා පවතින්නේ එකම කොන්දේසියි: මහා දරිද්‍රතාවය, යුද්ධය, ආඥාදායකත්වය. තවද සෑම රටකම පාලක පන්තීන් කම්කරුවන් එකිනෙකා සමඟ ගැටුමකට ඇද දැමීමට උත්සාහ කරනවා.

එක්සත් ජනපදයේ මෙම විෂ ජාතිකවාදය ප්‍රවර්ධනය කරනු ලබන්නේ වෘත්තීය සමිති නිලධරය විසින්. තමන් ප්‍රතිසංස්කරනවාදීන් ලෙස පෙන්වාගන්නවුන් හෝ එසේ පෙන්වාගත්තවුන්, දැන් එලිපිට ම ට්‍රම්ප්ගේ තීරුබදුවලට සහය දෙමින් කම්කරුවන් යුද යන්ත්‍රය පිටුපසට තල්ලු කිරීමට සූදානම් වෙන, බයිඩන්ගේ වඩාත් උද්‍යෝගිමත් දිරිගන්වන්නා, යූඒඩබ් සභාපති ෂෝන් ෆේන් වැන්නවුන් මෙයට ඇතුලත්.

හරියටම සති දෙකකට පෙර අපි ඇමරිකානු විප්ලවය සහ බ්‍රිතාන්‍ය රාජාන්ඩුවට එරෙහි අරගලය ආරම්භ කල ලෙක්සිංටන් සහ කොන්කෝඩ් සටන්වල 250 වැනි සංවත්සරය සනිටුහන් කලා. වහල්හිමි දේපොල ක්‍රමය අහෝසි කරමින් වහල්භාවය තුරන් කල දෙවන ඇමරිකානු විප්ලවයට නායකත්වය දුන් ඒබ්‍රහම් ලින්කන් ඝාතනයේ 160 වැනි සංවත්සරය ද අපි සැමරුවා.

1775 අප්‍රේල් 19 ලෙක්සිංග්ටන්හි සටන, විලියම් බාර්න්ස් වොලන්ගේ (1857-1936) කැන්වසය මත තෙල් සිතුවම 1910

අපගේ කාලයේ ශ්‍රේෂ්ඨ කර්තව්‍යය වන්නේ තුන් වැනි ඇමරිකානු විප්ලවය එනම් ලෝක විප්ලවයේ කොටසක් ලෙස සමාජවාදී විප්ලවය, මූල්‍ය කතිපයාධිකාරයේ ආඥාදායකත්වය පෙරලා දැමීම, ධනවාදය අහෝසි කිරීම සහ සමාජ සමානාත්මතාවය සහ ආර්ථික ජීවිතය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මත පදනම් වූ කම්කරු ආන්ඩුවක් පිහිටුවීමයි.

මෙය සිදු කිරීමට නම්, වැඩපිලිවෙලකින්, මූලෝපායකින් සහ ඉතිහාසයේ පාඩම් වලින් සන්නද්ධ වූ තමන්ගේම පක්ෂයක් කම්කරු පන්තියට අවශ්‍ය වේ එම පක්ෂය ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කොටසක් වන සමාජවාදී සමානතා පක්ෂයයි.

සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්න! සමාජවාදය සඳහා, සමානාත්මතාවය සඳහා සහ අනාගතය සඳහා අරගලය භාර ගන්න.

Loading