මැයි දිනය 2025

ගාසා ජනසංහාරය අවසන් කිරීම සඳහා සමාජවාදය සඳහා සටන අවශ්‍ය වේ

එක්සත් රාජධානියේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටු සභික ජීන් ෂෝල් 2025 ජාත්යන්තර මැයි දින ඔන්ලයින් රැලියේදී Ending the Gaza genocide requires the fight for socialism යන මැයෙන් කල කතාව:

2025 මැයි දින රැලියේදී ජීන් ෂෝල් කල කතාව.
මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.

ලොව පුරා කම්කරුවන් සහ තරුනයින් 21 වන සියවසේ විශාලතම අපරාධය වන ගාසා තීරයේ අනාරක්ෂිත පලස්තීනුවන් ඝාතනය කිරීම, භීතියෙන් හා කෝපයෙන් බලා සිටිනවා.

ඊශ්‍රායලය, හිරෝෂිමා (බෝම්බ) හයකට සමාන පුපුරන ද්‍රව්‍ය ටොන් 70,000ක් ගාසාවට හෙලා ඇති අතර අවම වශයෙන් මිනිසුන් 51,000ක් මිය ගොස් තිබෙනවා. තහවුරු කරන ලද මරනවලින් සියයට 70 ක් කාන්තාවන් සහ ලමුන්.

මෙම සංඛ්‍යාවෙන් සුන්බුන් යට වලලනු ලැබූ දස දහස් ගනනක් හෝ කිසි දිනෙක රෝහලට නොපැමිනි අය බැහැර කෙරී තියෙනවා. පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ, එක් සෘජු මරනයක් සිදුවනවිට, අසනීප, රෝග සහ වෛද්‍ය ප්‍රතිකාර, ඖෂධ, ආහාර සහ පිරිසිදු ජලය නොමැතිකම හේතුවෙන් වක්‍ර මරන 3 සිට 15 දක්වා සිදුවිය හැකි බවයි. සියල්ල සලකා බලන කල, සැබෑ මරන ගනන 200,000 ට වඩා වැඩි විය හැකියි.

2025 ජනවාරි 27 වැනි දින විනාශ කෙරුනු උතුරු ගාසා තීරයට අවතැන් වූ සියදහස් ගනන් පලස්තීනුවන් නැවත පැමිනෙමින් [AP Photo/Mohammad Abu Samra]

ජනගහනයෙන් සියයට 90 ක් වූ මිලියන 1.9 කට වැඩි ජනතාවක් අභ්‍යන්තරව අවතැන් වී ඇත. පොදු සහ සමාජ යටිතල පහසුකම් නටබුන් වී ඇත.

මෙම සමූහ ඝාතනය හිතාමතා ක්‍රියාවට දැමූ ප්‍රතිපත්තියක්. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු අමලෙක්වරුන් විනාශ කර දැමීම ගැන වන බයිබල් කතාව ගැන කියනවා. හිටපු ආරක්ෂක ඇමති ගැලන්ට් පලස්තීනුවන් හැඳින්වූයේ 'මිනිස් තිරිසනුන්' ලෙසින්. ආරක්ෂක ඇමති කට්ස් 'ගාසා තීරයට සම්පූර්න අවහිරයක්' පැනවූ අතර, 'විනාශය' පමනක් ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නා. ඊශ්‍රායලය ගාසා තීරයේ වාර්ගික ශුද්ධ කිරීම සඳහා රාජ්‍ය ආයතනයක් පිහිටුවා ඇති අතර ට්‍රම්ප්ගේ සැලැස්ම මත එය පදනම් වෙනවා.

නෙතන්‍යාහුට සියලු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය ලැබෙනවා. ප්‍රථමයෙන් බයිඩන් යටතේ සහ දැන් ට්‍රම්ප් යටතේ එක්සත් ජනපදය මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන තිබෙනවා. මෙය සම්පත්වලින් පොහොසත් මැදපෙරදිග තම පාලනය සුරක්ෂිත කිරීමේ සැලසුම්වල කොටසක්. දැන් මෙම සැලසුම් ඉරානයට එරෙහි පූර්න යුද්ධයක තර්ජනයක් මතු කරනවා. තමන්ගේ අපරාධවලට විරුද්ධත්වයක් ඔවුන් ඉවසන්නේ නෑ. ජන සංහාරයට එරෙහි විරෝධතා කුරිරු ලෙස යටපත් කිරීමට සහ විරුද්ධ හඬවල් නිශ්ශබ්ධ කිරීමට 'යුදෙවු විරෝධවාදය' පිලිබඳ බොරු චෝදනා යොදා ගැනෙනවා.

2025 අප්‍රේල් 7 වැනි දා, සඳුදා, වොෂින්ටනයේ ධවල මන්දිරයේ බටහිර කොටසේ දී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුට සමු දෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් [AP Photo/Mark Schiefelbein]

ඊශ්‍රායලයේ සියොන්වාදී පාලනය මැද පෙරදිග තුල අධිරාජ්‍යවාදයේ එකම සගයා නොවේ. අරාබි රාජ්‍යයන් පලස්තීනුවන්ට උදව් කිරීමට ඇඟිල්ලක්වත් ඔසවා නෑ. වොෂින්ටනය සමඟ එක්ව ඔවුන් තමන්ගේ ම ජනතාවට එරෙහි ව පොලිස් රාජ්‍යයන් තර කරමින් , ඊශ්‍රායලය සමඟ වෙලඳාම් පුලුල් කර තිබෙනවා. ඊජිප්තුව සහ ජෝර්දානය ඊශ්‍රායලයේ දේශසීමා පොලිසිය ලෙස ක්‍රියා කරනවා.

පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස්, ට්‍රම්ප්ගේ සහ නෙතන්‍යාහුගේ ඉල්ලීම්වලට යටත් නොවීම නිසා හමාස් සටන් කරුවන් 'බැල්ලියන්ගෙ පුත්තු' ලෙස හෙලා දකිමින් සංහාරයට වගකිව යුත්තන් ඔවුන් ලෙස හුවා දැක්වූවා. එය සියලු ම අරාබි නායකයන් වෙනුවෙන් කතා කිරීමක්.

ඊශ්‍රායලය තුල නෙතන්යාහුගේ 'ප්‍රජාතන්ත්‍රවාදී' විවේචකයින් ප්‍රකාශ කරන පරිදි, ව්‍යාප්තවාදී ඊශ්‍රායලයට සහ වර්නභේදවාදී පාලනයකට කැපවී සිටින ඊශ්‍රායලයේ වර්ගවාදීන්ගේ සහ ෆැසිස්ට්වාදීන්ගේ ආන්ඩුව අපගමනයක් නොවේ. මෙම විවේචකයන් ද ගාසා තීරයට පහරදීමට සහාය දුන්නා. එය ඊශ්‍රායලය විසින් දශක ගනනාවක් තිස්සේ පලස්තීනුවන් මර්දනය කිරීමේ සහ එහි අසල්වැසියන්ට එරෙහිව නැවත නැවතත් කරන ලද යුද්ධවල කූටප්‍රාප්තියයි.

ගාසා තීරය, සමස්ත සියොන්වාදී ව්‍යාපෘතියට එරෙහි බරපතල අධිචෝදනාවක් ලෙස පවතිනවා. හොලෝකෝස්ට් සමූලඝාතනයෙන් අවසන් වූ යුදෙව්වන්ට එරෙහි නාසි හිංසා පීඩාවලට පිලිතුර ලෙස ඊශ්‍රායල රාජ්‍යය හුවා දක්වනු ලැබුනා. එය ඔවුන්ට ආරක්ෂිත නිවහනක් ලබා දෙනු ඇතැයි කියනු ලැබුනා. එහෙත් එය තවත් ජනතාවක් නෙරපා හරින ලද ධනේශ්වර රාජ්‍යයක ස්වරූපයෙන් සාක්ෂාත් කරගනු ලැබූ අතර යුද්ධයෙන් හා මර්දනයෙන් නඩත්තු වුනා.

1952 දී ලෙබනනයේ ස්ථාපිත කෙරුනු නහර් අල් බාරෙද් සරනාගත කඳවුරේ සිටින පලස්තීනුවෝ

අරාබිවරුන් දෙවන පන්තියේ පුරවැසියන් ලෙස ජීවත් වෙන, අන්ත දක්ෂිනාංශික පදිංචිකරුවන් සහ ආගමික මූලධර්මවාදීන් විසින් ආධිපත්‍යය දරන ගැඹුරු සමාජ අසමානතාවයෙන් හා බෙදීම්වලින් ඉරා දැමූ සමාජයක් බවට ඊශ්‍රායලය වර්ධනය වුනා. යුදෙවු ජනතාවට ප්‍රගතීශීලි ව්‍යාපාර සමග විශේෂයෙන් ම ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය සමග ඉතිහාසයක් තිබෙනවා. දැන් එහෙවු ජනතාවක් මෙම කුරිරු මර්දනය සමග අනන්‍ය කෙරී තිබෙනවා.

නමුත් ඊශ්‍රායල රාජ්‍යය, යුදෙවු කම්කරු පන්තිය හෝ ලෝක යුදෙවු ජනතාවව නියෝජනය කරන්නේ නෑ. එය වොෂින්ටනය වෙනුවෙන් කලාපයේ පොලිස්කාරකම් කරමින් මිලිටරි බලකායක් පවත්වා ගෙන යන දූෂිත බිලියනපති මදාවි කල්ලියකගේ දේශපාලන උපකරනයක්.

පලස්තීනුවන් ආරක්ෂා කිරීමට මිලියන ගනනක් පෙලපාලි ගියා. නමුත් කිසිම අධිරාජ්‍යවාදී බලයකට හෝ ධනේශ්වර ආන්ඩුවකට සදාචාරාත්මක ආයාචනා කිරීමෙන් ඵලක් ලැබෙන්නේ නෑ. කම්කරු පන්තිය වෙත, පන්ති අරගලයේ විධික්‍රම සහ දේශපාලනය වෙත හැරීමක් තිබිය යුතුයි.

එවැනි පන්ති පාදක ක්‍රියාවක නවතම උදාහරනය ලෙස පසුගිය සතිවල මොරොක්කෝ වරාය කම්කරුවෝ ඊශ්‍රායලයට සපයන නැව් වර්ජනය කලා. ග්‍රීසියේ, බෙල්ජියමෙහි, ස්පාඤ්ඤයේ සහ ඉන්දියාවේ වරාය කම්කරුවෝ සහ ගුවන් තොටුපල ගොඩබිම් කාර්ය මන්ඩලය ඒ ආකාරයේ වර්ජන දියත් කලා.

ඊශ්‍රායලයේ, ටෙල් අවිව් හි දී ප්‍රාන ඇපකරුවන් සහ ඝාතනය කරන ලද ගාසා ලමුන්ගේ පින්තූර අතැතිව දහස් ගනන් දෙනා විරෝධතාවල යෙදුනා. ඒවා සමූල ඝාතන (හොලෝකෝස්ට්) අනුස්මරන දිනයේ ඇසුනු “යලි කිසිදිනෙක එපා කියන්නෙ, කිසි කෙනෙකුට යලි කිසිදිනෙක සිදු වෙන්න එපා!” යන ඇමතුම ප්‍රතිරාවය කලා.

කම්කරුවන් අතර ජාතික බෙදීම් අවසන් කිරීමටත් ජන සංහාරයට හා යුද්ධයට එරෙහි ව මහජන සමාජවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීමටත් කොන්දේසි පවතිනවා.

නමුත් මෙයින් අදහස් කරන්නේ කුනු වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ස්ටැලින්වාදී සහ ජාතිකවාදී පක්ෂවලින් බිඳී ගැනීමයි. එහි අර්ථය වන්නේ කම්කරු පන්තිය මත වෘත්තීය සමිති නිලධරයන්ගේ ගෙල සිරකිරීම අවසන් කිරීමයි. එහෙත් සියල්ලටමත් වඩා, එයින් අදහස් කරන්නේ කාල් මාක්ස්ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය වන “ලෝකයේ කම්කරුවනි, එක්සත් වනු!” යන්න මත පදනම් වූ නව නායකත්වයක් ගොඩනැගීමයි.

Loading