රැකියා අහිමි කෙරුනු නෙක්ස්ට් ඇඟලුම් කම්කරුවන් ආරක්ෂා කිරීමට කම්කරුවන් පෙරට පැමිනිය යුතුයි

රැකියා අහිමි කෙරුනු, නෙක්ස්ට් ඇඟලුම් කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා පෙරට එන ලෙස, ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ පෞද්ගලික හා රාජ්‍ය අංශවල අනෙකුත් කම්කරුවන්ගෙන්, ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව (ඇකක්‍රික) සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටී. කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටා ඇති නෙක්ස්ට් මැනුෆැක්චරින් සමාගමේ ප්‍රධානීන් මැයි 20 වන දා හොර රහසේ කම්හල වසා දැමුවේ රැකියා 1,500 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කරමිනි.

නෙක්ස්ට් සමාගමට අයත් තවත් කම්හල් දෙකකි: එකක් ආඩිගම ද, අනෙක කටුනායකට ඈතින් වූ නවගත්තේගම ද පිහිටා ඇත. මේවාහි කම්කරුවෝ 1,000 කට අධික සංඛ්‍යාවක් සේවය කරති. මෙම කම්හල්, බ්‍රිතාන්‍යයේ ඉහල පෙලේ විලාසිතා සිල්ලර වෙලඳ සමාගමක් වන නෙක්ස්ට් යූකේ (Next UK) බහුජාතික සමාගම සතු ය.

නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ ලෝසවෙඅ වාර්තාකරුවන් සමග සාකච්ඡා කරමින් (2025 මැයි 21) [Photo: WSWS]

කර්මාන්තශාලාව වසා දැමීමට හේතුව 'ඉහල මෙහෙයුම් පිරිවැය' බව නෙක්ස්ට් සමාගමේ පරිපාලනය පැවසීය. මෙය, තම රැකියා ද තර්ජනයට ලක්ව ඇතිි බවට කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස, අනෙක් කම්හල් දෙකෙහි සේවකයින් ගත යුතුය.

රැකියා අහෝසි කිරීමේ නිවේදනයේ දී සමාගම පැවසුවේ රටේ කම්කරුවන්ගේ රක්ෂා අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත (ටීඊඩබ්ලිවුඒ) යටතේ “නියමිත වන්දි” සහ අනෙකුත් ප්‍රතිලාභ ගෙවන බවයි. මෙය කූටෝපායකි.

සමාගම, ටීඊඩබ්ලිවුඒ නීතිය අමු අමුවේ උල්ලංඝනය කර ඇත. මෙම නීතියට අනුව සමාගම විසින් කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු ය. එමෙන්ම මෙම සමාගම් ආයෝජන මන්ඩලය යටතේ ලියා පදිංච් වී ඇති බැවින්, ඒවා අධීක්ෂනය කරනු ලබන එම මන්ඩලයටද විධිමත් දැනුම්දීමක් කල යුතුය. මීට අමතරව, අදාල වෘත්තීය සමිති ද දැනුවත් කල යුතු වේ.

තමන්ගේ ජීවනෝපාය හදිසියේ අහිමි වීමකට මුහුන දී ඇති ඇතැම් කම්කරුවෝ, සෑම දිනකම කටුනායක කලාපයේ පිවිසුමට පැමින, අඩු දෛනික වැටුප් ගෙවන කම්කරු කොන්ත්‍රාත් සමාගම්වල නියෝජිතයන් විසින් ඔවුන් කුලියට රැගෙන යන තෙක් බලා සිටිති.

නෙක්ස්ට් කම්හල වසා දැමීම ගෝලීය වශයෙන් ඇඟලුම් කර්මාන්තයේ මතුවෙමින් පවතින අර්බුදය පෙන්නුම් කරයි. ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල දැවැන්ත සිල්ලර වෙලඳ සමාගම් අඩු පිරිවැය සහිත නිෂ්පාදනයන් අඛන්ඩව ඉල්ලා සිටින බැවින් ඇඟලුම් නිපදවන රටවල් පිරිවැය කප්පාදු කිරීමේ තරඟයක නිරතව සිටිති.

මෙයට අමතරව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය අපනයන රටවල් මත පෙර නොවූ විරූ තීරුබදු පනවමින් තීරුබදු යුද්ධයක් අවුලුවා ඇත. මෙ මගින් ශ්‍රී ලංකාව සියයට 44 ක තීරුබදු වැඩිවීමකට මුහුන දෙයි. අප්‍රේල් මාසයේ සිට දින 90 ක විරාමයක් තිබුනද, අවිනිශ්චිතතාවය තවමත් පවතී.

එක්සත් ජනපද තීරුබදු ඉහල නැංවීමේ බලපෑම ගැන පවසමින් අප්‍රේල් මස මුලදී, දකුනු පලාතේ වැලිගම සහ හික්කඩුව හි පිහිටි වෝග් ටෙක්ස් කම්හල් කලමනාකාරිත්වය, සේවකයින් 2,000 කගේ අලුත් අවුරුදු ප්‍රසාද දීමනාව අඩකින් කපා හැරියේය. දැන්, වෝග් කලමනාකාරිත්වය පවසන්නේ ඔවුන්ට අපනයන ඇනවුම් හිඟ බවයි. අනෙකුත් ඇඟලුම් කම්හල්වල ද එවැනිම තත්වයක් පවතී.

කම්හල් වසා දැමීම්, දොට්ට දැමීම්, වැටුප් කප්පාදු සහ අධික වැඩ භාරයන්වලට මෙම කර්මාන්ත ක්ෂේත්‍රයේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් ගොදුරු වීමට නියමිතය.

කෝපයට පත් නෙක්ස්ට් සේවකයෝ, දැන් මුද්‍රා තබා ඇති තම කර්මාන්ත ශාලාවට පිවිසෙන ප්‍රධාන පිවිසුම අසල ඇකක්‍රික සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින් අමතා, ඔවුන්ගේ රැකියා කප්පාදු කිරීම හෙලා දකිමින්, ඔවුන්ට ඔවුන්ගේ රැකියා නැවත අවශ්‍ය බවත්, එසේ නොමැති නම් සාධාරන වන්දි අවශ්‍ය බවත් පැවසූහ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව සමාගමට පක්ෂපාතිය. එහි නියෝජ්‍ය කම්කරු ඇමති මහින්ද ජයසිංහ මැයි 22 වන දින සමාගම් ප්‍රධානීන් හමුවීමෙන් පසු මාධ්‍යයට ප්‍රතිරාවය කලේ කර්මාන්ත ශාලාව වසා දැමීමට ඔවුන් දැක්වූ හේතුවයි: “2019 සිට පසුගිය වසර හය තුල කර්මාන්ත ශාලාව රුපියල් මිලියන 10 කට වඩා පාඩු ලබා තියෙනවා“ යනුවෙනි.

ඊට ප්‍රතිකූලව, වාර්තා පෙන්වා දෙන්නේ එක්සත් රාජධානියේ නෙක්ස්ට් හි මව් සමාගම සිය ලාභය සියයට 10.1 කින් වැඩි කර ගෙන ඇති අතර, “2025 ජනවාරි 25 වන දින දක්වා වසර තුල පවුම් බිලියන 1.011 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.31) බදු ගෙවීමට පෙර ලාභයක්” ලබා ඇති බවයි. මෙම ලාභ සූරා ගෙන ඇත්තේ, දැවැන්ත සමාගම ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාව ඇතුලු අනෙකුත් රටවල කම්හල්වල සේවකයින්ගෙනි.

සමාගම විසින් ටීඊඩබ්ලිවුඒ නීතිමය අවශ්‍යතා උල්ලංඝනය කර ඇතැයි යන කාරනය ජයසිංහ වසන් කලේය. නෙක්ස්ට් පරිපාලනයේ තෝල්කයෙකු ලෙස පෙනී සිටිමින්, ඔහු කියා සිටියේ සමාගම ටීඊඩබ්ලිවුඒ යටතේ සේවයෙන් පහ කරන ලද සේවකයින් සඳහා වන්දි සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවයි. රැකියා 1,500 ක් විනාශ කල නෙක්ස්ට් සමාගම, මෙම සේවකයින්ට වෙනත් කර්මාන්තවල රැකියා ලබා දීමෙන් පවා උදව් කිරීමට සූදානම් බව ඔහු තවදුරටත් පැවසුවේ ය.

ජවිපෙ නායකත්වයෙන් යුත් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජයසිංහ, ඔහුගේ ජනාධිපති දිසානායකගේ ප්‍රතිපත්තිය ප්‍රතිරාවය කරයි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී දිසානායක ව්‍යාපාරික සංසද රැස්වීමකදී මෙසේ පැවසීය: “පලමු වතාවට, ඔබේ උවමනාව අපගේ උවමනාවයි. අපගේ උවමනාව ඔබගේ උවමනාවයි.”

නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ (නිවෙකපොසේසේස) නායක ඇන්ටන් මාකස්, ආන්ඩුව සහ සමාගම සමඟ පෙලගැසී සිටී.

මැයි 23 වන දින ඔහු නියෝජ්‍ය කම්කරු ඇමති ජයසිංහ සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, නෙක්ස්ට් කලමනාකාරිත්වය, වෘත්තීය සමිති නිලධාරීන් සහ නියෝජ්‍ය ඇමති අතර සෘජු රැස්වීමක් සංවිධානය කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. රැස්වීමෙන් පිටතට පැමිනි පසු, මාකස් පැවසුවේ තම උත්සුකය වන්දි ලබා ගැනීම නොව රැකියා නැවත ලබා ගැනීම බවයි.

රැකියා නැවත ලබා ගැනීම පිලිබඳව නිවෙකපොසේසේස නායකයාගේ උත්සුකය තනිකරම කුහකකමකි. මැයි 21 දින, ඔහු නෙක්ස්ට් සේවකයින් කන්ඩායමකට යෝජනා කලේ වෘත්තීය සමිතිය අධිකරනයට යා යුතු බවයි. සේවය අහිමි වූ එක් කම්කරුවකු සසප/ඇකක්‍රික සාමාජිකයින්ට පැවසුවේ තමන් සහ ඇයගේ සගයන් අධිකරනයට යාමට එකඟ නොවූ බවත්, එය ඔවුන්ගේ රැකියා යලි ලබා ගැනීමට උපකාරී නොවන බවත්ය.

මාකස් සහ අනෙකුත් වෘත්තීය සමිති නිලධාරීන් දිගු කලක් තිස්සේ ඇදීගෙන යන අධිකරන නඩු වලට කම්කරුවන් පටලවා ඇති අතර, එමඟින් අවසානයේ කම්කරුවන්ට සමාගමේ විසඳුම පිලිගැනීමට යොමු කෙරෙයි. වෘත්තීය සමිති නායකයන් සොච්චම් වන්දි සැලසුම්වලට ද කම්කරුවන්ගේ රැකියා විකිනීමට සූදානම් ය. ඇතැම් අවස්ථාවලදී, සමාගම් එම සැලසුම් පවා මඟ හැර තම මව් රටට ආපසු පලායති.

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල දමමින්ද, මිලියන අඩකට රැකියා අහිමි කෙරෙන රාජ්‍ය අංශයේ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් වෙමින්ද ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් ක්‍රියාවේ යොදවනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන තීව්‍ර කිරීමත් සමඟ පෞද්ගලික අංශයේ රැකියාවලට ප්‍රහාර එල්ල වී ඇත.

කල යුත්තේ කුමක්ද?

තම නෙක්ස්ට් සගයන්ගේ ආධාරයට ප්‍රමාදයකින් තොරව පැමිනෙන ලෙස ඇකක්‍රික කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී. ඔවුන්ගේ රැකියා සහ අනෙකුත් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ සටන අපගේ සටනෙන් වෙන් කල හැකි දෙයක් නොවේ.

කම්කරුවන්ගේ එක් කොටසකට පහර දීම යනු සියල්ලන්ටම පහර දීමකි! එය, කම්කරුවන් අතර එක්සත්කම සඳහා වන ආදර්ශ පාඨය විය යුතුය. අපි එක්සත් වී පෙරලා සටන් කිරීමට සූදානම් විය යුතුය.

• රැකියා කප්පාදු, වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු කිරීම නවතනු!

• සියලුම වසා දැමීම්වලට විරුද්ධ වනු, කර්මාන්තශාලා වාඩිලාගැනීම් ඇතුලු කාර්මික ක්‍රියාවන් සඳහා සූදානම් වනු.

• සේවා යෝජකයින් සහ වෘත්තීය සමිති නිලධාරීන් විසින් තීරනය කරන ලද සොච්චම් වන්දි ප්‍රතික්ෂේප කරනු. නව රැකියා ලබා දෙන තෙක් සම්පූර්න වැටුප් සහිත වන්දි ඉල්ලා සිටිනු.

• සම්පූර්න වැටුප් සහිත වෛද්‍ය නිවාඩු. යහපත් නිවාස සහ සෞඛ්‍ය පහසුකම් ලබා දෙනු.

නිවෙකපොසේසේස හෝ අනෙකුත් වෘත්තීය සමිති නායකයින් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනු ඇතැයි කම්කරුවන්ට අපේක්ෂා කල නොහැක. ජවිපෙ විසින් පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමය සමාගම්වලට සහාය දක්වමින් සම්පූර්නයෙන්ම නිහඬය. බොහෝ ජවිපෙ වෘත්තීය සමිති නායකයින් ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් වේ. ඉහත ඉල්ලීම් සඳහා සටන් කිරීම සඳහා කම්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සටන් කරන සංවිධාන අවශ්‍ය වේ.

මෙම උද්ඝෝෂනය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස අපි නෙක්ස්ට් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

සෑම සේවා ස්ථානයකම ඇඟලුම් කම්කරුවන් ඒ සමාන ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතුය. මේවා රාජ්‍ය අංශය ඇතුලු සියලුම වැඩබිම් වෙත ව්‍යාප්ත කල යුතුය. සමාගම් සහ ආන්ඩුවේ ඒජන්තයින් බවට පත්ව ඇති වෘත්තීය සමිති නිලධරයන්ට මෙම කමිටුවලට ඇතුලුවීමට ඉඩ නොදිය යුතුය.

නෙක්ස්ට් සේවකයින් ආරක්ෂා කිරීම සඳහා, මෙම ක්‍රියාකාරී කමිටු විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තීරනය කරන ලද විරෝධතා සහ වැඩ වර්ජන වැනි පන්ති ක්‍රියාවන් සංවිධානය කරන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

සිල්ලර වෙලඳ සමාගම් සහ ජාමූඅ ඇතුලු ජාත්‍යන්තර ආයෝජකයින්ගේ ප්‍රහාරවලට එරෙහි අරගලය ජාත්‍යන්තර අරගලයකි. මෙය අපගේ පන්ති සහෝදර සහෝදරියන් සමඟ ජාත්‍යන්තර එකමුතුව ඉල්ලා සිටී. මෙය කල හැක්කේ ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීමට එක්වීමෙනි.

ඒ අතරම, ධනේශ්වර ක්‍රමය සහ ජාතික රාමුව තුල කම්කරු පන්තියට විසඳුමක් නොමැති බව සසප අවධාරනය කරයි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයකදී කම්කරු පන්තියට තම සමාජීය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැක.