[මෙය The demoralized pessimism of Chris Hedges’ “New Dark Age” යන මැයෙන් 2025 මැයි 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
මෙම ලිපිය, මුලින් X හි පල කරන ලද පනිවුඩයක සංස්කරනය කරන ලද අනුවාදයකි.
පසුගිය වසරේ, ගාසා ජන සංහාරයට විරෝධය දැක්වීමේ මාර්ගයක් ලෙස ක්‍රිස් හෙජස් ස්වයං-බිලිපූජාව (විරෝධය පෑම සඳහා තමාටම ගිනි තබා ගැනීම) වෙනුවෙන් පෙනී සිටියේය. ඔහුගේ නවතම දිරිසුන් හෑල්ලේ දී, ඔහු ඊශ්‍රායල-සියොන්වාදී රාජ්‍යයේ සහ ධනවාදී අධිරාජ්‍යවාදයේ අපරාධවලට සමස්ත මානව වර්ගයාටම දොස් පවර යි. ගාසා තීරය, මානව ප්‍රගතියේ ශක්‍යතාවය පිලිබඳ ඕනෑම විශ්වාසයක නිෂ්ඵලභාවය ඔප්පු කරන බව ඔහු ප්‍රකාශ කරයි.
මනුෂ්‍යවර්ගයාගේ බලාපොරොත්තු රහිත තත්වය පිලිබඳ ඔහුගේ අවධාරනයට සහාය දැක්වීම සඳහා, හෙජස් පවසන පරිදි, ඔහු, ඔගස්ටේ බ්ලැන්කිගේ සර්වාශුභවාදී අදහස් හේගල් සහ මාක්ස්ගේ අදහස්වලට ප්‍රති-තුලනය කරයි.
හෙජස් මෙසේ ලියයි: “ඔහුගේ සමකාලීනයන් සියල්ලටම වෙනස් ලෙස, 19 වන සියවසේ සමාජවාදී ලුවී-ඔගස්ට් බ්ලැන්කි, මානව ඉතිහාසය යනු සමානාත්මතාවය සහ උසස් සදාචාරය කරා යන රේඛීය ප්‍රගතියකි ය යන ජෝර්ජ් විල්හෙල්ම් ෆ්‍රෙඩ්‍රික් හේගල් සහ කාල් මාක්ස්ගේ කේන්ද්‍රීය විශ්වාසය ප්‍රතික්ෂේප කලේය.”
ඔහුගේ බොහෝ පූර්ව ලේඛනවල මෙන්, හෙජස් නැවත වරක් පෙන්නුම් කරන්නේ, මාක්ස්වාදයේ දාර්ශනික පදනම් හෝ ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය සම්බන්ධව ඔහුට කිසිවක් නොවැටහෙන බවයි. හේගල් හෝ මාක්ස්, ඉතිහාසය පාරාදීසය දෙසට ගමන් කරන “රේඛීය ප්‍රගතියක්” බව ප්‍රකාශ කලේ නැත.
ප්‍රංශ විප්ලවයේ සංකීර්න හා ඛේදජනක ඉරනම සියැසින් දුටු හේගල් (1770-1831), ඉතිහාසය යනු, “ජනතාවගේ සතුට, රාජ්‍යයන්ගේ ප්‍රඥාව සහ පුද්ගලයින්ගේ සදාචාරයේ ගෙල සිඳින දංගෙඩියක්” බව මාහැඟි ලෙස විස්තර කලේය. එතකුදු වුව, මානව වර්ගයාගේ ඓතිහාසික සංවර්ධනය ප්‍රතිවිරෝධතා සහ ගැටුම් හරහා ඉදිරියට යන බව ඔහු විඥානවාදී ආකාරයකින් පැහැදිලි කලේය.
මාක්ස් සහ එංගල්ස් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් කොමියුනිස්ට් ප්‍රකාශනයේ (1847) ලිවුවේ, පන්ති අරගලය “සමස්ත සමාජයේ විප්ලවීය ප්‍රතිසංවිධානයකට හෝ තරඟකාරී පන්තිවල පොදු විනාශයකට” හේතු වන බව යි. ඔවුන් ඕනෑම ආකාරයක සරල නියතිවාදයක් ප්‍රතික්ෂේප කලහ. සමාජවාදයේ වෛෂයික භව්‍යතාවය නිර්මානය කලේ ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධතා බව මාක්ස් සහ එංගල්ස් පැහැදිලි කලහ. නමුත් එහි සාක්ෂාත්කරනය සහ මානව වර්ගයාගේ ඉරනම තීරනය කරනු ඇත්තේ අරගලයයි.
ඔගස්ට් බ්ලැන්කි ප්‍රගතියේ ශක්‍යතාවය ප්‍රතික්ෂේප නොකල අතර ඔහු තමාගේ මුලු ජීවිතයම විප්ලවයේ අරමුන වෙනුවෙන් කැප කලේය. නමුත් මෙම ශ්‍රේෂ්ඨ සටන්කරුවාට, විප්ලවයේ සමාජ ආර්ථික පදනම හෝ කම්කරු පන්තියේ වෛෂයික විප්ලවවාදී භූමිකාව පිලිබඳ අවබෝධයක් නොතිබුනි. කුඩා කුමන්ත්‍රනකරුවන් කන්ඩායමක් විසින් සංවිධානය කරන කුමන්ත්‍රනයක ප්‍රතිඵලයක් ලෙස ධනවාදය පෙරලා දැමීම, බ්ලැන්කි සංකල්පනය කලේය.
1874 දී එංගල්ස් මෙසේ ලිවීය: “බ්ලැන්කිට ‘සමාජවාදී න්‍යායක් හෝ සමාජ ව්‍යාධීන්ට පිලියම් සඳහා නිශ්චිත ප්‍රායෝගික යෝජනා’ නොමැත. ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් වලදී ඔහු ප්‍රධාන වශයෙන් ‘ක්‍රියාකාරී මිනිසෙකු’ විය… වසර තුනකට පෙර, 1871 දී, පැරිසියානු කම්කරු පන්තියේ නැගිටීම සහ කොමියුනය නිර්මානය කිරීම මගින්, කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ලෙස විප්ලවය පිලිබඳ මාක්ස්වාදී සංකල්පය සනාථ විය.”
20 වන සියවසේ සියලුම ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන් අනතුරු ඇඟවූයේ ධනවාදයේ අර්බුදය, පහත සඳහන් ප්‍රතිඵල දෙකෙන් එකකට මඟ පාදන බවයි. රෝසා ලක්සම්බර්ග් ප්‍රකාශ කල පරිදි, ඒවා “සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය” විය. විප්ලවවාදී පක්ෂයක තීරනාත්මක කාර්යභාරය පිලිබඳ ලෙනින්ගේ සංකල්පය යටින් පැවතුනේ, ධනවාදී යුගයේ ස්වභාවය පිලිබඳ විද්‍යාත්මකව පදනම් වූ අවබෝධය යි.
1938 දී, ෆැසිස්ට්වාදයේ නැගීමටත්, ස්ටැලින්වාදයේ සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ පාවාදීම්වල ප්‍රතිවිපාකයක් ලෙස යුරෝපීය කම්කරු පන්තියේ පරාජයන්ටත් ප්‍රතිචාර දක්වමින්, ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලේඛනයේ මෙසේ ලිවීය: මානව වර්ගයාගේ අර්බුදය, විප්ලවවාදී නායකත්වය පිලිබඳ අර්බුදයයි.
හෙජස් මෙසේ ලියයි: “සමූහ ඝාතන ව්‍යාපාර මගින් සියලු මිනිසුන් තුල සැඟවී පවතින ම්ලේච්ඡ ගුනාංග මුදා හරිනු ලැබේ... එය අප තුල ඇති කුහකකම, කෲරත්වය සහ වර්ගවාදයට සාක්ෂි දරයි.” මෙය මනුෂ්‍යවර්ගයාට එරෙහි අපහාසයකි. ජන සංහාරය සඳහා පොදුවේ මනුෂ්‍යත්වයට දොස් පැවරීම යනු, ගාසා තීරයේ ජනතාවට එරෙහිව සිදු කරන අපරාධ සඳහා අධිරාජ්‍යවාදී නායකයින් සහ ඔවුන් නියෝජනය කරන ප්දධතිය දරන නිශ්චිත වගකීම බොඳ කිරීමයි. ඔහුගේ දේශපාලනය කෙතරම් වැරදි වුවත්, ක්‍රිස් හෙජස්, ජන සංහාරය සඳහා කිසිදු වගකීමක් දරන්නේ නැත. ඔහු, අඛන්ඩ කුරිරුකම්වලින් යටපත් ව සිටින, දේශපාලනික වශයෙන් මංමුලා වූ මාධ්‍යවේදියෙකි. නමුත් නෙතන්යාහු සහ ඔහුගේ කල්ලියත්, ඔවුන්ට අධිරාජ්‍යවාදී අනුබල දෙන්නනුත් සමූහ ඝාතකයින් ය. මෙය සුලුපටු වෙනසක් නොවේ.
හෙජස් කියා සිටින්නේ මානව වර්ගයා “නව අඳුරු යුගයකට” පිවිසෙමින් සිටින බවත්, එයින් ගැලවීමක් නොමැති බවත් ය. යථාර්ථයේ දී, මානව වර්ගයා විප්ලවවාදී අරගලයේ නව යුගයකට පිවිසෙමින් සිටී. අධිරාජ්‍යවාදයේ සහාය ලත් ගාසා සංහාරය, ලොව පුරා මිලියන ගනන් සහභාගී වන විරෝධතාවලට අභිමුඛ වී සිටී. අධිරාජ්‍යවාදයේ අපරාධ—එනම්, ෆැසිස්ට්වාදය සහ යුද්ධය හරහා තම අර්බුදය විසඳීමට පාලක පන්තිය දරන මංමුලා සහගත උත්සාහය—ධනවාදයට එරෙහි මහජන ව්‍යාපාරයක් ආරම්භ කරමින් තිබේ. මෙම යුගයේ ඓතිහාසික කර්තව්‍යය වන්නේ, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම මගින් විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමයි.
මෙම සටනට සම්බන්ධ වීමට කැමති සියලු දෙනා සමාජවාදී සමානතා පක්ෂයට එක්වන්න. ඒ සඳහා පහත පෝරමය පුරවන්න.