ආන්ඩුව සහ විපක්ෂ, පලාත් පාලන ආයතනවල බලය ඩැහැ ගැනීමේ කැත උපාමාරුවල යෙදී ගනී

පසුගිය පලාත් පාලන මැතිවරනයෙන් පසු, පලාත් පාලන ආයතනයන් හි බලය ඩැහැ ගැනීම සඳහා, පාලක ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) සහ විරුද්ධ පක්ෂ, කුමන්ත්‍රන, නියෝජිතයන් මිල දී ගැනීමට අල්ලස් දීමේ උත්සාහයන් සහ තර්ජන එල්ල කිරීම් සිදු කරමින් සිටින බව මාධ්‍යවල වාර්තාවේ. ඡන්දය පාවිච්චිකල මහජනයාට හොරෙන් සිදුකෙරෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී කූට ගනුදෙනු ඇඟවුම් කරන්නේ පාලක පන්තිය ගිලී සිටින ගැඹුරු දේශපාලන අර්බුදයයි.

ජවිපෙ/ජාජබ ට ඍජුව තම පරිපාලනයන් පිහිටුවිය හැකි පරිදි, පූර්න බහුතරයක් ලබාගත හැකි වූයේ ආයතන 133ක පමනි. තවත් ආයතන 133 ක අනෙකුත් පක්ෂවලට සාපේක්ෂව ආසන වැඩි සංඛ්‍යාවක් ජවිපෙ/ජාජබ හිමිකරගත් නමුත්, අන්‍ය පක්ෂවල හෝ කන්ඩායම් වල සහයෝගය නොමැතිව, එයට එම ආයතන වල බලය හිමිකර ගත නොහැක.

මැයි 19 වැනිදා සජබ සහ එජාප පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් පැවැත් වූ සාකච්ඡාව [Photo by SJB's Facebook page]

ජවිපෙ/ජාජබ ට මෙම තත්වයට මුහුන දීමට සිදුව ඇත්තේ, පාර්ලිමේන්තු මැතිවරනයට සාපේක්ෂව පලාත්පාලන මැතිවරනයේදී, එහි ඡන්ද පදනම මිලියන 2.3 කින් හෙවත් සියයට 18.3 ක් ඛාදනයවීම හේතුවෙනි. මැතිවරනයේදී දුන් බොරු පොරොන්දු ඉවත දමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල වේගවත් කිරීම හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් නිසා ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන අප්‍රසාදය සහ විරෝධය පලකෙරුනේ කලින් මෙම පක්ෂයට ඡන්දය දුන් බොහෝ දෙනා මෙවර ඊට ඡන්දයදීමෙන් වැලකී සිටීමෙනි.

මේ අතර, ආන්ඩු පක්ෂය ද ඇතුලු ධනපති සංස්ථාපිතයේ සියලු පක්ෂ කෙරෙහි තම වෛරය ප්‍රකාශ කරමින්, සමස්ත ඡන්දදායකයන්ගෙන් සියයට 40 ක් පමන ඡන්දය ප්‍රකාශ නොකලහ.

මැතිවරනයන් පලාත් පාලන ආයතන බහුතරයක් ජයගෙන, තම අත ශක්තිමත් කර ගැනීමටත් ජාමූඅ වැඩපිලිවෙලේ ඉතිරි බරපතල කප්පාදු කිරීම් වන රාජ්‍ය සංස්ථා ඇතුලු ව්‍යවසායන් පුද්ගලීකරනය හා ලක්ෂ සංඛ්‍යාත රැකියා කප්පාදුව ක්‍රියාවට දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක බලාපොරොත්තු විය. මතුවන විරෝධයේ පෙර ලකුනු ඡන්දය වැටීමෙන් පෙන්නුම් කෙරුනත් එම පියවර වඩාත් රුදුරු ලෙස ක්‍රියාවට දැමීමට ආන්ඩුව නොපැකිලෙනු ඇත. ජවිපෙ/ජාජබ, තමාට බහුතරය නැති පලාත් පාලන ආයතන අල්ලා ගැනීමට ගෙනයන උපාමරු වලින් පෙන්නුම් කෙරෙන්නේ, ගම්බදට විහිදීගිය මෙම ආයතන අල්ලා ගැනීමෙන් ආන්ඩු යාන්ත්‍රනය කෙසේ හෝ ශක්තිමත් කර ගැනීමට දරන ප්‍රජාතන්ත්‍ර-විරෝධී උත්සාහයයි.

තම අනුදැනීමකින් තොරව, ටිපීඒ නියෝජිතයන්ගේ සහාය ලබා ගැනීමට ජවිපෙ/ජාජබ උත්සාහ දරා ඇති බව දෙමල ප්‍රගතිශීලී සන්ධානයේ (ටීපීඒ) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් මාධ්‍යට පවසා තිබුනි. ආන්ඩු. පක්ෂය සමඟ ඒකාබද්ධ පරිපාලන පිහිටුවීමට' ටීපීඒ කිසිදු තීරනයක් ගෙන නොමැති බව' ඔහු පවසා ඇත. ටීපීඒ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) සමග සන්ධානගතව සිටී.

ජවිපෙ/ජාජබ උත්සාහය 'ස්වභාවික' එකක් යැයි ගනේසන් ඒ සමගම පවසා ඇත්තේ, බලය අල්ලා ගැනීමට උපාමාරු දැමීම, ධනපති දේශපාලනයේ ස්වාභාවික කොටසක් ලෙස ඔහු ද සලකන හෙයිනි. ගනේසන් ඇතුලු වතුකරයේ ධනපති දේශපාලනඥයන්ට සහ ඔවුනගේ සංවිධාන වලට කවර හෝ මූලධර්මයක් නොමැත. ඔවුනට ඇත්තේ, ධනපති පක්ෂ සමග තම වරප්‍රසාද තර කරගැනීමේ ගනුදෙනු වලට යාමේ සහ කම්කරු පංතියට එරෙහිව ක්‍රියා කිරීමේ කුප්‍රකට ඉතිහාසයකි.

ජවිපෙ/ජාජබ ජයගත්, එහෙත් බහුතරයක් නොමැති සියලුම පලාත් පාලන ආයතනයන්හි පරිපාලනයන් පිහිටුවීමට අවශ්‍ය සහාය අන්‍ය නියෝජිතයන්ගෙන් ලැබෙන බවට සහතික වී ඇතැයි, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කැබිනට් අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක පසුගිය දා මාධ්‍යයට පැවසීය.

ජවිපෙ/ජාජබ යෙදී සිටින මෙම උපාමාරු අතර, ජනාධිපති දිසානායක සහ ඔහුගේ කැබිනට් ඇමතිවරුන් කරන තර්ජනයන් ප්‍රමුඛ ස්ථානයක් ගනී. ජවිපෙ තම හැට වන සංවත්සරය සමරමින් කොලඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවත් වූ රැස්වීම අමතමින්, දිසානායක මෙසේ කියා සිටියේ ය: “ජනවරමට එරෙහිව කවුරුහරි කටයුතු කරනවානම්, ව්‍යවස්ථාව, නීතිය, දේශපාලනය, මේ ඔක්කෝගෙන්ම අපි වැඩ කරන්න ලෑස්තියි” යි පැවසීය.

ජවිපෙ/ජාජබ වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් ආයතනවල වෙනත් පක්ෂ සහ කන්ඩායම් එකතුව බලය පිහිටවුවහොත්, ඒවාට වැඩිකල් පැවතීමට ඉඩ නොදෙන බව ඔහු මෙසේ තර්ජනය කලේය: “හදන්න....හදන්න....හදල පුලුවන්නම් මාස තුනක් හතරක් යන්න එච්චරයි මම කියන්නෙ.” අවශ්‍ය වුවහොත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය යොදා ගනිමින් ව්‍යවස්ථාව ද වෙනස් කරන බවට ඔහු ඉඟි කලේය.

මැයි17 දා 'සිලෝන් ටුඩේ' පුවත්පත, ඇමති බිමල් රත්නායක කල අසික්කිත තර්ජනයක් වාර්තා කොට තිබුනේ මෙසේය: 'විපක්ෂය එකතුවෙල ගේම් ගහල සභා පිහිටෙවුවොත්, ඒ සභා අකාර්යක්ෂම වෙනව. රට විනාශ කල අයට අරමුදල් සපයන්න අපි මෝඩයො නෙවෙයි. අපිට ඔවුන්ගේ වැටුප් ගෙවන්න පුලුවන්, නමුත් සංවර්ධන අරමුදල් දෙන්නෙ නෑ.'

ජවිපෙ/ජාජබ ක්‍රියාවට නංවමින් සිටින කූටෝපායන්, ඔවුන් ගොඩනගන බව කියූ 'පිරිසිදු දේශපාලන සංස්කෘතිය' පිලිබඳ පොරොන්දුව කැඩීමකැයි විරුද්ධ පක්ෂ සහ මාධ්‍ය වල ලියන්නප්පුලා ප්‍රකාශ කරති. එවැනි මිත්‍යා වපුරමින් ක්‍රියා කිරීමට, ජනාධිපති මැතිවරනයේ දී හා පාර්ලිමේන්තු මැතිවරනයේ දී මේ ලියනප්පුලාගෙන් බොහෝ දෙනෙක් ජවිපෙ/ජාජබට සහය දුන්හ.

මේ ව්‍යාජ උද්ඝෝෂනයේ වහන්තරාවන්ට මුවා වී ජවිපෙ/ජාජබ බලයට ඒමට ක්‍රියා කලේ, පැරැනි පක්ෂ අපකීර්තියට පත්ව ඇති තත්වය තුල ජාමුඅ වැඩපිලිවෙල ක්‍රියාවට දමීමෙට සපථ කරමින් බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය පැහැදිලිව පෙන්වා දුන්නේය.

මෙම තතු තුල, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ-වාම සංවිධානයන්ගේ එකතුවක් වන ජන අරගල සන්ධානය, ජවිපෙ/ජාජබ වැඩි ඡන්ද ලබාගෙන ඇති ආයතනයන්හි ඔවුනගේ බලය පිහිටුවීම එය සතු 'සදාචාරමය අයිතියක්' බව කියා සිටි. ඒ අනුව, තම නියෝජිතයන්ගේ ඡන්දය තීරනාත්මක වන අවස්ථාවන් හි දී, ආන්ඩු පක්ෂයට එය නිසැකවම ලබාදෙන බව පවසයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයෙකු බලයේ තැබීමට ජන අරගල සන්ධානය දෙන මෙම සහයෝගය ඔවුන් හඳුන්වන්නේ තමන්ගේ 'දේශපාලන සදාචාරය' ලෙසයි.

ධනපති පක්ෂ වලට සහ වර්ගවාදී යුද්ධයට විවෘතවම සහයෝගයදීම හේතුවෙන් ජවිපෙ මහජනතාව අතර කුජීත වී සිටි තතු තුල, 2012 දී පෙසප ඉන් බිඳීගියේ කවර හෝ මූලධර්මාත්මක පදනමක් මත නොවේ. මහජන අරගල ගැන වහසිබස් දොඩවමින් කම්කරුවන් විරෝධතාවල කොටුකර ධනපති පන්ති පාලනය ආරක්ෂා කිරීම, පෙසප නායකත්වය දෙන මේ ව්‍යාජවාම දේශපාලන පෙරමුනේ භූමිකාවයි.

විරද්ධ පක්ෂ වල යාටිකූට්ටු ක්‍රියාවන් ඒ හා සමානවම ජුගුප්සා ජනකය. පසුගිය මැතිවරන තුනේදීම මහජනතාව විසින් බලගතු ලෙස ප්‍රතික්ෂේප කරන ලද සම්ප්‍රදායික ධනපති පක්ෂ වන, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප), පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ සජබ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) අතර, පලාත් පාලන ආයතනයන්හි ඒකාබද්ධව බලය ලබා ගැනීම සඳහා යම් එකඟතාවක් ඇතිකර ගැනීමට දැරූ සියලුම ප්‍රයත්නයන් බිඳ වැටෙමින් පවතී.

එජාප යේ ආරම්භකත්වයෙන්, කොලඹ මල්පාරේ පිහිටි එහි කාර්යාලයට ඉහත පක්ෂ සහ තවත් පක්ෂ ගනනාවක් කැඳවා, රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව, එජාප සභාපති වජිර අබේවර්ධනගේ අත්සනින් නිකුත් කෙරුනු ප්‍රකාශයක, සාකච්ඡාවට සහභාගි වූ පක්ෂ සියල්ල 'රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ කටයුතු කිරිමට එකඟ වූ' බව සඳහන් වී තිබුනේ යැයි, සිලෝන් ටුඩේ මැයි 17 දා වාර්තා කර තිබුනි.

ශ්‍රීලපොපෙ සහ සජබ ඇතුලු පක්ෂ ගනනාවක් අබේවර්ධනගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කොට ඇති අතර, 'මෙවැනි ආරම්භකත්වයකට ශ්‍රීලපොපෙ කවර හෝ සහයෝගයක් නොදෙන' බව එහි ලේකම් සාගර කාරියවසම් පවසා තිබේ. මෙම පක්ෂ වලට ඇත්තේ, තම බලය තහවුරු කර ගැනීම සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පලාත් පාලන ආයතන නියෝජිතයන් මිල දී ගැනීමේ දුගඳ හමන ඉතිහාසයකි.

මේ අතර, ජාතික කම්කරු සංගමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගමිබරම්, ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමාන් අතර ඇතිවූ එකඟතාවන් මත, එම දෙපාර්ශවයේ සහයෝගයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන කීපයක බලය පිහිටුවීමට තීරනය කොට ඇති බව මැයි 14 දා අනිද්දා පුවත්පත වාර්තා කලේය. ඒ අනුව, නෝර්වුඩ්, ආගරපතන, කොටගල, මස්කෙලිය, නුවරඑලිය යන ප්‍රාදේශීය සභාවන් හි සභ හැටන් දික්ඔය නගර සභාවෙහි බලය පිහිටුවීමට ඔවුහු බලාපොරොත්තු වෙති.

විපක්ෂයේ සියලු ධනපති පක්ෂ පලාත්පාලන මැතිවරනයේ දී ඒවාය් ඡන්ද සුලු ප්‍රමානයන්ගෙන් වැඩිවීම තමන් වෙත යලි මහජනයාගේ හැරීමක් පෙන්නුම්කරන බවට උදම් අනති. මෙය ව්‍යාජයකි. මේ පක්ෂවල ඡන්ද යම් ප්‍රමානයකින් වැඩිවූයේ, ආන්ඩුවට සිය විරෝධය දැක්වීමක් ලෙස ඇතැම් කොටස් ඒවාට ඡන්දය දීම නිසාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහකල 2022 දී මහජන නැගිටීම හමුවේ, ශ්‍රී ලංකාවේ ධනපති පංති පාලනය රැක ගැනීම සඳහා දිසානායක ප්‍රමුඛ ජවිපෙ/ජාජබ සහ සජබ ඉදිරිපත්කල 'අන්තර් වාර ආන්ඩු' වැඩපිලිවෙල තුලට, මහජන නැගිටීම හරවා යැවීමට පෙසප ඇතුපු ව්‍යාජ-වාම සංවිධාන සහ වෘත්තීය සමිති නායකයෝ ක්‍රියා කලහ. රනිල් වික්‍රමසිංහ බලයට පැමිනියේ සහ ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නැංවුනේ මහජන අරගලය පාර්ලිමේන්තු රාමුව තුල කොටුකර එලෙස පාවාදීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

දීර්ඝ කාලයක් ධනපති පන්ති පාලනයේ මුගුරක් ලෙස ක්‍රියාකිරීමෙන්, දිසානායක නායකත්වය දෙන ජවිපෙ සිය සුදුසුකම පාලක පන්තියට ඔප්පුකර තිබේ. සම්ප්‍රදායික ධනපති පක්ෂ අපකීර්තියට පත්ව ඇති තත්වයක, ජවිපෙ සහ එය නායකත්වය දෙන ජාජබ ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ද, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදයේ සහ එහි කලාපීය සගයන්ගේ ද විශ්වාසය දිනාගනිමින් විකල්පයක් ලෙස ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ ධනපති පංති පාලනය රැක ගැනීමේලා ජවිපෙ/ජාජබ යොදා ගනිඔමට ධනපති පංතියේ සැලකියයුතු කොටසක් තීන්දු කලේ මේ තත්වය තුලයි.

එහි සයමසක පාලනයෙන් පසු පැවැත්වුනු පලාත් පාලන මැතිවරනයෙන් පසු ඒවායේ බලය අල්ලා ගැනීමට අසික්කිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී ගනුදෙනු වල යෙදුනද, මේ සියලු පක්ෂ 2022 මහජන නැගිටීම සක්මන් කිරීම ගැන භීතියෙන් සිටිති. මැතිවරනයේ ප්‍රතිඵලවල අඳුරු සලකුනු වලින් තමන්ට අනතුරු අඟවා ඇතිබව ඔවුහු දනිති.

'ජනවරමට එරෙහිව කවුරුහරි කටයුතු කරනවානම්, ව්‍යවස්ථාව, නීතිය, දේශපාලනය, මේ ඔක්කෝගෙන්ම අපි වැඩ කරන්න ලෑස්තියි' යනුවෙන් දිසානායක කල තර්ජනය හුදෙක් විපක්ෂවලට කල තර්ජනයක් නොව, එය මුලිකවම, ජාමුඅ වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට ආඥාදායක බලතල යොදාගැනීමට සුදානම් බවට කල තර්ජනයකි.

කම්කරු පන්තියේ සහ දුගින්ගේ කිසිදු සමාජ හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් සහතික කිරීමට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිලිවෙලට මුලුමනින් ම කැපවී ඇති මෙම කිසිදු ධනපති පක්ෂකට නොහැක. ගෝලීය ධනපති ක්‍රමයේ අර්බුදය උග්‍රවන කොන්දේසි තුල, ජාත්‍යන්තරවම ධනපති ආන්ඩු හා පාලක පන්ති ෆැසිස්ට් හා ආඥාදායක පාලනක්‍රම වලට හැරි සිටිති.

කම්කරු පන්තිය සිය විප්ලවවාදී ශක්තිය, සියලු ධනපති පක්ෂවලින් හා ඒවායේ ඒජන්තයන්ගෙන් ස්වාධීනව සංවිධානය කරගනිමින්, දුගී ජනතාව රැලිකරගෙන තම අයිතීන් රැකගැනීමේ අරගලය සුදානම් කලයුතුය.

Loading