ලංකාවේ තිස් අවුරුදු “යුද්ධය කලේ සාමය අපේක්ෂාවෙන්” යැයි ජනාධිපති දිසානායක “රනවිරු සැමරුම්” කතාවේදී කියයි

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය මිලිටරිමය වසයෙන් පරාජය කිරීමෙන් දහසය වැනි සංවත්සරයේදී ඊනියා “රනවිරු සැමරුම” වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 19දා කල කතාව, දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධයට සහයෝගය දෙමින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඉටුකල සාපරාධී භූමිකාව වසා ගැනීමට “සාමය” ගැන කල දෙඩවිලිවලින් සරසා තිබුනි.

වසර තිහකට ආසන්න යුද්ධයේදී මරනයට පත් දසදහස් සංඛ්‍යාත හමුදා සෙබලුන්ගේ නම් සටහන් කල පුවරු සියගනනක් අතර කඳුලින් තෙත්වූ දෙනෙතින් හා සෝ තැවුලින් තම දරුවන්, සැමියන් සහ ඥාතීන්ගේ නම් සොයන දුසිම් ගනන් ගැහැනුන් හා මිනිසුන් ද අභිමුව අහසට නැගුනු බත්තරමුල්ල, රනවිරු ස්මාරකය අභියසදී දිසානායක “යුද්ධය අවසන් කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම” ගැන වර්නනා කලේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගනන් බැලීම් වලට අනුව, අවසන් සතිවල පමනක් දෙමල සිවිල් වැසියන් 40,000කට වඩා ඝාතනය කෙරුනු යුද්ධයේ දී ජාත්‍යන්තර නීතින් උල්ලංඝනය කරමින්, යුද අපරාධ සිදුකලේ යයි චෝදනා එල්ල වන, එකල හමුදාපතිවූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ඇතුලු ඉහල මිලිටරි නිලධාරීන් පසෙක ද යුද්ධය නිසා අත් පා අහිමිවී සදා ආබාධිත පත්වයට පත්ව රෝදපුටුවලට වැටුනු හමුදා නිලධාරීන් පිරිසක් තවත් පසෙක ද තබාගෙන “අද දිනය වැදගත් හා ඓතිහාසික දිනයක්” බව දිසානායක පැවසුවේය.

ජනාධිපති දිසානායක මෙම සැමරුමට සහභාගී නොවනු ඇතැයි ප්‍රකාශවී තිබුනි. එසේ වුවද, වර්ගවාදී නඩ වල අවලාද මැද සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා ද වන දිසානායක අවසානයේ සැමරුම් උත්සවයේ මුලසුන ගත්තේය. අනෙකුත් ධනපති පක්ෂ මෙන් ම ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ද වර්ගවාදී කන්ඩායම් හා මිලිටරිය මත යැපී සිටියි.

දිසානයක සිය කතාවේදී ලේවැකි යුද්ධයට සිල්‍ රෙද්දක් පොරවමින් එය මෙසේ යුක්ති සහගත කලේය: “යුද්ධය විශාල ඛේදවාචකයක්....මේ සටන් කරන ලද කිසිවෙක් යුද්ධ කලේ යුද්ධය අපේක්ෂාවෙන් නොව...සාමය අපේක්ෂාවෙන්!”

බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය සමග යුද්ධය පටන්ගත් දා සිට ලංකාවේ ජනාධිපතිවරුන් හා ආන්ඩුවල නායකයන් ප්‍රකාශ කලේ, “ත්‍රස්තවාදයට පරාජය කොට, ලංකාවේ ඒකීය රාජ්‍ය රකිමින් සාමය ඇතිකිරීමට” යුද්ධ කරන බවයි. යුද්ධය ඇරඹු තැන් පටන්, එහි ප්‍රධාන කසකරුවා ලෙස ක්‍රියාකල දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුනේ සටන් පාඨය වුයේ ද එයයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක 16 වැනි යුද සැමරුමෙදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුලු මිලිටරි නායකයන් සමග [Photo by Facebook - Anura Kumara Dissanayake]

ලංකාවේ ධනපති ආන්ඩු 1983 පටන් යුද්ධය ගෙන ගියේ “සාමය සඳහාය” යන්න අමු පචයකි. දිසානායක ඉතිහාසය කනපිට හරවයි. 1983 එල්ටීටීඊය සමග යුද ගැටුමක් ලෙස කුලුගන්වුනේ, 1948 නාමික නිදහසේ පටන් පාලනය භාරගත් ලංකාවේ බෙලහීන ධනපති පන්තිය තම පන්ති පාලනය කම්කරු පන්තියේ ප්‍රහාරයෙන් ආරක්ෂා කරගැනීම සඳහා, එය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට හා දුර්වල කිරීමට දෙමල සුලුතරයට එරෙහිව වෙනස්කම් කිරීම නීතිගත කරමින් ඇරඹු ප්‍රකෝපකරනයන්ගෙනි.

1948-1949 ඉන්දියානු සම්භවයක් ඇති වතුකම්කරුවන්ගේ පුරවැසි අයිතිය හා චන්ද බලය අහෝසි කරමින් පටන් ගත් මෙම විසකුරු භේදකරනය, 1956 සිංහල පමනක් රාජ්‍ය භාෂාව කිරීම, 1972 සිංහල රාජ්‍ය භාෂාව කිරීම සමග බෞද්ධාගමට ප්‍රමුඛතාව දීම ව්‍යවස්ථාවෙන් තවදුරටත් ස්ථාපිත කෙරුනි. ලංකා සම සමාජ පක්ෂය (ලසසප), 1964 ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතුල්වී, ජාත්‍යන්තර සමාජවාදයේ මුලධර්ම මුලුමනින්ම පාවාදීමෙන් කම්කරුවන් දුර්මුඛ කිරීම ගසා කා බලයට පැමිනි ජේආර් ජයවර්ධනගේ යුඇන්පී ආන්ඩුව එක දිගට ඇවිල වූ දෙමල විරෝධී ප්‍රකෝපකරනයන් මගින් එල්ටීටීඊය සමග යුද්ධය අවුලුවා ගත්තේය.

ලංකාවේ ආන්ඩු, ගම්බද විරැකියාවෙන් පීඩා විඳිමින් සිටි දරිද්‍ර පවුල්වල තරුනයන් දසදහස් ගනනින් තම ප්‍රතිගාමී යුද්ධය සඳහා ත්‍රිවිධ හමුදාවලට බඳවා ගත්තේය. මියගිය සහ අබාධිත සොල්දාදුවන්, මේ යුද්ධය සඳහා බිලිගත් තරුනයන් ය. ඔවුන් සන්නද්ධ හමුදාවලට බැඳුනේ, ජීවිතය පරදුවට තබමින් තම පවුල්වල දරිද්‍රතාව යන්තමින් හෝ අඩුකරගත හැකිවේයැයි සලකමිනි.

දික් ගැසෙන යුද්ධය නිසා වැඩෙමින් පැවති දේශපාලන අර්බුදය යටපත්කර ගැනීමේ මගක් ලෙස, අධිරාජ්‍යවාදීන්ගේ උදවු ඇතිව 2002, එවක අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ එල්ටීටීඊ නායකයන් සමග සටන් විරාම ගිවිසුමකින්, සාම සාකච්චා ඇරඹුවේය. දිසානායක ඇතුලු ජවිපෙ නායකයන්ගේ ප්‍රතිචාරය වූයේ එබඳු සාම ගිවිසුමක් මහා පාවාදීමක් ලෙස හංවඩු ගසා, වික්‍රමසිංහ ආන්ඩුව බලයෙන් නෙරපා හැරීමට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට සහාය දී පසුව අගේ ආන්ඩුවට අතුල්විමයි. ජවිපෙ හා දිසානායකගේ සාම ලැදියාව එවැනිය!

1988-1990 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ෆැසිස්ට් කැරලි දියත්කරන විට ජවිපෙ උද්ඝෝෂනය තවත් විසකුරු විය. එල්ටීටීඊ ය සමග ගැටුම, “සොලී අධිරාජ්‍යවාදීන්ගේ වත්මන් උරුමක්කාරයන්ගෙන් ශ්‍රී ලංකා මාතෘ භුමිය රැකීමේ සටනක්” යැයි ප්‍රකාශයට පත්කොට දේශපාලන විරුද්ධවාදීන්, කම්කරුවන්, වෘත්තීය සමිති නායකයන් හා තවත් අය ද ඇතුලු දහස් ගනනක් ඝාතනය කලේය. ජවිපෙ නායක රෝහන විජේවීර සමග රහස් සාකච්චාවල යෙදෙමින් සිටි ජනාධිපති රනසිංහ ප්‍රේමදාස, පෙරලා හැරී ජවිපෙ නායකයන්ද ඇතුලු ගම්බද තරුනයන් 60,000ක් පමන ඝාතනය කිරීමෙන් පසු, දිසානායක ඇතුලු කන්ඩායම 1994 පක්ෂය යලි සංවිධානය කරගෙන දේශපාලන කරලියට නැග ගත්තේ යුදඝෝෂාව අවුලුවමිනි.

වාර්ගික වෙනස්කම් කිරීමට එරෙහිව දෙමල ධනපති පන්තියේ පක්ෂවල ප්‍රතිචාරය වූයේ, දෙමල ජාතිකවාදය අවුලුවමින් ෆෙඩරල් පාලන ක්‍රමයක් යටතේ තමන්ගේ වරප්‍රසාද තහවුරුවන පාලනයක් ඉල්ලීමයි. එය දෙමල කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීමේ ඉල්ලීමක් නොව, ඔවුන් සුරාකෑමේ ඍජු අයිතිය සහතික කරගැනීමේ ප්‍රයත්නයක් මෙන්ම, සිංහල-දෙමල කම්කරුවන් බෙදීම තවත් ගැඹුරු කිරීමට කොලඹ පාලකයන් ගෙනගිය ප්‍රකෝපකරනයට උඩගෙඩි දීමකි.

කිසිදු සම්මුතියක් දෙනවා වෙනුවට, කොලඹ ආන්ඩු භේදය උග්‍රකිරීමත් සමග, ලසසපයේ පාවාදීමේ කොන්දේසි තුල, වෙන්වී වෙනම රාජ්‍යක් පිහිටුවීමේ දෙමල බෙදුම්වාදී ව්‍යාපාරය පෝෂනයවී පෙරට ආවේය. එල්ටීටීඊය, ප්‍රතිවාදීන් මැඩ බෙදුම්වාදී ව්‍යාපාරය තුල සිය නායකත්වය තහවුරු කර ගත්තේය. එය තම ඉල්ලීම ඉටුකරගැනීමට හැරුනේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැසීමේ ලේවැකි වාර්තාවක් ඇති එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ඇතුලු බලවත් රටවල් වෙත ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි පුර්වගාමි විලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) මෙම වර්ගවාදී යුද්ධයට මුල පටන්ම විරුද්ධ විය. එහි මූලයේ පැවතියේ, කම්කරු පන්තිය බෙදීමේ ධනපති පන්තියේ ප්‍රතිවිප්ලවවාදී මුලෝපායට එරෙහිව ජාත්‍යන්තරවාදයේ මුලෝපාය මත ධනවාදයට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි. විකොස/සසප එල්ටීටී බෙදුම්වාදයට විරුද්ධවුයේ ද එම පදනම මතයි. උතුරෙන් හා නැගෙනහිරෙන් හමුදාව ඉවත් කරනු යි අපි කියා සිටියෙමු.

සැමරුම් දිනයේ උදේ දිසානායක, අබාධිත සොල්දාදුවන් රඳවා සිටින එක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වන අත්තිඩියේ මිහිඳු සෙත්පුරට ගොස්, ඔවුන්ගේ දුකසැප විමසා දිගට ම ඔවුන්ට ආධාර කරන බවට සහතික වූ බව වාර්තා වේ. එදින සවස, පැවැත්වූ සැමරුමේදී දිසානායක “දකුනේ පමනක් නොවෙයි, උතුරේ ජනතාවත් ඡායාරූප මහ මග තබාගෙන තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවා පිලිබඳ විලාප දෙනවා” යැයි කියමින් යුද්ධයෙන් විනාශවූ උතුරේ ජනයා පිලිබඳව ද තමන්ට උත්සුකතාවක් ඇතයි පෙන්වීමට වෑයම් කලේ ය. මේ තවත් ප්‍රෝඩාවකි.

දිසානායකට හෝ ජවිපෙට දෙමල ජනයාගේ දුක්පීඩා ගැන පිලිබඳ අබමල් රේනුවක කැක්කුමක් ඇත්තේ නැත. 2004 දෙසැම්බර් අතිමහත් මානව ව්‍යසනයක් ගෙනආ සුනාමි ව්‍යසනයේදී විනාශයට පත් උතුරු-නැගෙනහිර ජනයා සඳහා සහන සැලසීම සඳහා, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුවට පිටරටවලින් එවන ලද අධාර බෙදාදීමට සකස්කල පශ්චාත් සුනාමි මෙහෙයුම් කලමනාකරන යාන්ත්‍රනය (පීටොම්ස්) , “ජාතිය පාවා දෙන, ඒකීය රාජ්‍යය ව්‍යුහයට එරෙහිවූවක්” ලෙස හෙලා දැක එය කඩාකප්පල් කලේ, දැන් දෙමල ජනයා ගැන කිඹුල් කඳුලු හෙලන දිසානාකලාම ය.

වර්ගවාදයට තමන් විරුද්ධ බව මවා පෙන්වීම සඳහා දිසානායක, නම් සඳහන් නොකරමින්, “උතුරේත් දකුනේත් බලය වෙනුවෙන් මේ ජාතිවාදය නැවත කැරැලි ඇති කරන්න පටන් ගෙන තිබෙනවා” යයි ද වර්ගවාදයට හා අන්තවාදයට හිස ඔසවන්නට ඉඩ නොදෙන්නෙමැයි ද වහසි බස් දෙඩවුයේය.

ඔහු මේ ප්‍රකාශ කරන්නේ, සිංහල වාර්ගික හා බෞද්ධ ආගමික ප්‍රමුඛස්ථානයට පත්කර ඇති ඒකීය රාජ්‍ය ව්‍යවස්ථාව මුලුමනින් ම ආරක්ෂා කරන ගමන් ය. ලංකාවේ මිලිටරිය විසින් උතුරු-නැගෙනහිර ජනයා මැඩලීමේ යුද්ධයක ජයග්‍රහනය “ජාතික රනවිරු සැමරුමක්” ලෙස සංස්ථාගත කිරීම හා එහි වේදිකාවට නැගීම සිංහල ස්වොත්තමවාදයේ අධිපතිත්වය ප්‍රකාශයට පත්කිරීමකි.

දිසානායක ඇතුලු ධනපති පාලක පන්තිය භීතියට පත් කර ඇත්තේ වාර්ගික බෙදුම් රේඛා කපාහරිමින්, කම්කරු පන්තියේ පන්ති එකමුතුව වැඩීම කෙරෙහි ය. 2022 ලංකාවේ මහජන නැගිටීමේදී සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එක්සත්ව මහා වර්ජනවලට එලැඹීම පාලක ධනපති පක්ෂ භීතියට පත් කලේය. දුගීන් හා පහල මධ්‍යම පන්තික කොටස් තුලින් ද එවන් එකමුතුවක් එදා ප්‍රදර්ශනය වී තිබුනි. ජවිපෙ, සමගි ජන බලවේගය, වෘත්තීය සමිති නිලධරය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග එක්වී එම අරගලය පාර්ලිමේන්තු විසඳුමක් ලබාගැනීමේ ප්‍රෝඩාවකට යටකර, ඇමරිකාවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) රුදුරු එජන්තයෙකු වන වික්‍රමසිංහට බලයට ඒමට ඉඩ සැලසුවේය.

දැන්, අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට ලංකාවේ පාලක පන්තිය විසින් තෝරාගනු ලැබ ඇත්තේ, වර්ගවාදී විස කැවුනු, ලේවැකි වාර්තාවක් සහිත ඇමරිකාව සමග සමීප සම්බන්ධතා ගොඩනගාගෙන සිටින, ජවිපෙ මුලිකත්වය ගත් දක්ෂිනාංශික ආන්ඩුවකි. රැකියා, වැටුප්, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ අනෙකුත් සුබසාධන වැඩපිලිවල් කප්පාදුවේ දංගෙඩිය මත තබා බිලීගැනීමට ක්‍රියාකරන ආන්ඩුව, සමාජ පිපිරීමක් වැඩෙන කොන්දේසි යටතේ දැන් කරගෙන යන දෙඩවිලි වහා පසෙකලා, දීර්ඝ කාලයක් තිස්සේ පාලක පන්තිය යොදාගත් වර්ගවාදී අවිය අමෝරා ගැනීමට ක්ෂනිකවම හැරෙනු ඇත. සාමය හා ජාතිවාදයට අන්තවාදයට ඉඩ නොදීම ගැන වාචාල කතා කියන ගමන්, “රනවිරුවන් සමරන” දිසානායක සාමය සඳහා යුද්ධ කිරීම දේශනා කරන්නේ මේ නිසාය.

අප දෑස් ඉදිරියේ දිගහැරෙමින් පවතින්නේ, ලෝක ධනපති ක්‍රමයේ අර්බුදය වඩවඩාත් ගැඹුරුවන තතුතුල, ෆැසිස්ට්වාදයට හා ආඥාදායක පාලනක්‍රම වලට හැරෙන පාලක පන්ති ඇමරිකාව තුල, යුරෝපයේ රටවල, ඉන්දියාවේ පරභීතිකාව හා ස්වොත්තමවාදයන් අවුලුවන සැටිය.

සියලු ආකාරයේ ස්වොත්තම වාදයන් ප්‍රතික්ෂේප කරනු! කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී එකමුතුව තහවුරු කරමු!

දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කල හැක්කේ, දෙමල සිංහල කම්කරු පන්තියේ එකමුතුවෙන් සමාජවාදය සඳහා කරන අරගලයක් හරහා පමනකි. කම්කරු පන්තිය බෙදන සියලුම ආකාරයේ වර්ගික භේදකරනයට සහ විෂකුරු වර්ගවාදී යුද්ධයට එරෙහිව දශක ගනනක් අනවරතව සටන් කර තිබීමේ දශක ගනනක ඓතිහාසික වාර්තාවක් ඇති හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය මේ සඳහා ඉදිරි දර්ශනය ඉදිරිපත් කර තිබේ. එනම්, දකුනු ආසියාවේ සමාජවාදී සමුහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ හා දෙමල ඊලම්හි එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් කිරීම යි.

.

Loading