[මෙය India-Pakistan conflict threatens nuclear catastrophe යන මැයෙන් 2025 මැයි 11 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
දකුනු ආසියාවේ ප්‍රතිවාදී න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාව සහ පකිස්ථානය දැන් පූර්න යුද්ධයක අද්දර සිටී. එවැනි ගැටුමක් කලාපයේ බිලියන 2 ක ජනතාවට පමනක් නොව, මුලුමහත් ලෝකයටම විනාශකාරී වනු ඇත. ඉන්දු-පකිස්ථාන යුද්ධයක් වේගයෙන් න්‍යෂ්ටික විලෝපනයක් දක්වා වර්ධනය විය හැකි අතර අනෙකුත් ප්‍රධාන බලවතුන්, විශේෂයෙන් එක්සත් ජනපදය සහ චීනය එයට ඇදඒමේ හැකියාව පවතී.
ඉන්දියාවේ ජනගහනයෙන් හයෙන් එකක් සහ ආර්ථිකයෙන් දහයෙන් එකක් වන පාකිස්තානයට තම න්‍යෂ්ටික අවි ගබඩාව භාවිතා කිරීමට බලකෙරෙනු ඇතියි පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය ක්වාජා අසිෆ් නැවත නැවතත් අනතුරු අඟවා තිබේ. පසුගිය බදාදා (07), නවීන රෆේල් ජෙට් යානා ඇතුලු යුධ ගුවන් යානා 75 කට වැඩි ප්‍රමානයක් සම්බන්ධ කර ගනිමින් ඉන්දියාව සිදු කල මහා පරිමාන මිසයිල ප්‍රහාරයෙන් පසුව, අසිෆ් ප්‍රකාශ කලේ ඉන්දියාව “කලාපයට එරෙහිව සම්පූර්න යුද්ධයක් දියත් කලහොත්... ඕනෑම වේලාවක න්‍යෂ්ටික යුද්ධයක් පුපුරා යා හැකි” බවයි.
දින හතරක් පුරාවට, එනම්, නවදිල්ලිය සහ ඉස්ලාමාබාද් අතර සටන් විරාමයකට එකඟ වූ සෙනසුරාදා (10) දිනය දක්වා ම, මතභේදාත්මක කාශ්මීර කලාපය කේන්ද්‍ර කර ගනිමින් දේශසීමා හරහා දැඩි මිසයිල ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර හුවමාරු විය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ ටෲත් සමාජ වේදිකාවේ ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය ක්‍රියාත්මක වේද යන්න පිලිබඳව ඇත්තේ බරපතල සැකයකි.
එසැනින් ම වාගේ, දෙපාර්ශ්වයම සටන් විරාමය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගත් අතර, සටනේදී එකෙකුට වඩා අනෙකා දක්ෂයැයි පාරම්බෑහ. එසේම, නවදිල්ලිය සහ ඉස්ලාමාබාද්, සිවිල් වැසියන් සහ ආගමික ස්ථාන හිතාමතාම ඉලක්ක කරගත් බවට ප්‍රකෝපකාරී, වාර්ගික චෝදනා එකිනෙකාට එරෙහිව දමා ගැසුවේය.
අප්‍රේල් 22දා ඉන්දියාවෙන් පාලනය වන කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්ථානයට චෝදනාකිරීමෙන් පසුව ගත් සියලු ක්‍රියාමාර්ග එලෙසම ක්‍රියාත්මක වන බවට ඉන්දියාව තවමත් දැඩි ලෙස අවධාරනය කරයි. ඉන්දුස් ජල ගිවිසුමට තම සහභාගීත්වය අත්හිටුවීම ද මෙයට ඇතුලත් වේ—ඉස්ලාමාබාදය මෙම පියවර හෙලා දකින්නේ, 'යුද ක්‍රියාවක්' ලෙස හුවාදක්වමිනි; එසෙම එය පකිස්ථානයේ කෘෂිකර්මාන්තය, ආහාර සැපයුම සහ විදුලිබලජනන පද්ධතියට තර්ජනයක් වන බවට අනතුරු අඟවයි.
නිශ්චිතව ම කිවහැකි දෙය නම්, අනතුරුදායක ලෙස, ලෝකය, න්‍යෂ්ටික අවි දරන රාජ්‍යයන් අතර පලමු මහා යුද්ධයක ආසන්නයට පැමින ඇති බවයි.
මෙම වර්ධනයන් වටහා ගත යුත්තේ, රාජ්‍යයන් අතර ගෝලීය සබඳතාවල පුලුල් බිඳවැටීමක කොටසක් ලෙසය. ලෝක භූ-දේශපාලනය තුල වඩ වඩාත් ආධිපත්‍යය දරන්නේ, උත්සන්න වන වෙලඳ ගැටුම්, එක්සත් ජනපදය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් දැවැන්ත ප්‍රතිසන්නද්ධකරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඇති ගෝලීය කඩිමුඩිය, කලාපීය යුද්ධ පුපුරා යාම, ගාසා තීරය තුල අධිරාජ්‍යවාදී පිටුබලය ලත් ජන සංහාරය සහ “සාමාන්‍යකරනය” කර තිබෙන න්‍යෂ්ටික අවි ගැටුමක ආසන්නතාව යනාදිය යි.
ඉන්දියාව සහ පකිස්ථානය නැවත නැවතත් යුද අර්බුදවලට මුහුන දී ඇත; විශේෂයෙන්ම, 2016 සහ 2019 දී, පකිස්ථානයට එරෙහිව නීති විරෝධී දේශසීමා ප්‍රහාර දියත් කරමින් 'සටන් නීති වෙනස් කිරීමට' නවදිල්ලිය ගත් උත්සාහයන්ට වොෂින්ටනය සහාය දුන් විට එසේ ගැටුමකට ගියේය. කෙසේ වෙතත්, පසුගිය සතියේ හමුදා ගැටුම් දශක ගනනාවකින් පසුව සිදුවූ වඩාත් තීව්‍රතම ගැටුම් වූ අතර, මහා පරිමාන ප්‍රහාරක ජෙට්යානා යොදාගෙන සිදුකල ගුවන් ප්‍රහාර, ගුවන් ආරක්ෂක පද්ධතිවලට ප්‍රහාර සහ පලමු වරට ඩ්‍රෝන් සහ දේශසීමා හරහා මිසයිල ප්‍රහාර ඊට ඇතුලත් විය.
ඉන්දියාව සහ පසුව පකිස්ථානය හිතාමතාම එකිනෙකාගේ රතු රේඛා ඉක්මවා ගොස් ඇත. ඉන්දියාවේ මැයි 6-7 ප්‍රහාරය පාකිස්තානයේ පන්ජාබි ප්‍රන්තියේ කේන්ද්‍රීය ඉලක්ක කිහිපයකට පහර දුන්නේය. සටන් උත්සන්න වන විට, දෙපාර්ශ්වයම හමුදා කඳවුරු ඉලක්ක කරගත් අතර, ඉස්ලාමාබාද්ට අනුව, රාවල්පින්ඩි හි පකිස්ථාන හමුදා මූලස්ථානය අසල ගුවන් කඳවුරට පහර දීමට ඉන්දියාව ගත් උත්සාහයක් ද ඊට ඇතුලත් විය. උපායාත්මක න්‍යෂ්ටික යුධ ශීර්ෂ රැගෙන යා හැකි බැලස්ටික් මිසයිල එක් රටක් හෝ රටවල් දෙකම භාවිතා කල හැකිව තිබුනේයැයි වාර්තා පෙන්වා දෙයි.
අනෙකාගේ මහජනයා සංකේන්ද්‍රනයවූ නගර දවා හලු කල හැකි උපායික සහ මූලෝපායාත්මක න්‍යෂ්ටික අවි, දෙරටම සතුව ඇත. 2008 අධ්‍යයනයකින් හෙලි වූයේ, හිරෝෂිමාවට එල්ල කල ප්‍රමානයේ බෝම්බ 100 ක් —මෙගාටොන් 1.5 ක්— එකිනෙකාට එල්ලකර ගැනීම පමනක්වුව, ව්‍යසනකාරී ගෝලීය “න්‍යෂ්ටික ශීත කාලයක්” ඇති කල හැකි බව යි; එය බිහිසුනු නොවන්නේ ද?
රිචඩ් රෝඩ්ස් විසින් රචිත පරමානු බෝම්බය නිර්මානය කිරීම නම් කෘතියේ 2012 සංස්කරනයේ පැහැදිලි කල පරිදි, ඉන්දියාව සහ පකිස්ථානය අතර න්‍යෂ්ටික හුවමාරුවක්,
අනිවාර්යයෙන්ම දහනය කල හැකි [ගිනි කුනාටු ඇති කරන] ද්‍රව්‍යවලින් පිරුනු නගර ඉලක්ක කර ගනු ඇත; එය, ඉහල වායුගෝලයට දැවැන්ත කලු දුමාරයක් එක් කරනු ඇත; එය ලොව පුරා පැතිර යනු ඇත; එමඟින් ලොව පුරා කෘෂිකාර්මික බිඳවැටීමක් ඇති කිරීමට ප්‍රමානවත් වන තරම් කාලයක් පෘථිවිය සීතලකරනයට බාජනයවී පවතිනු ඇත.
පිපිරීම්, ගින්න සහ විකිරන හේතුවෙන් මිලියන 20 ක් [ ලංකාවේ ජනගහනයට ආසන්න සංඛ්‍යාවක්-පරිවර්ථක]පමන ක්ෂනිකව මිය යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, ඉන්පසු ජනතාව සාගින්නට ලක්වීමෙන් බිලියනයක් දක්වා මරන සිදුවනු ඇත.
ෆැසිස්ට් ජනාධිපතිවරයා තමා සාමයේ කප්පිත්තෙකු බවට වන නරුම මවාපෑම ශක්තිමත් කිරීම සඳහා, ඉන්දු-පකිස්ථාන ගැටුම සමනය කරගන්නා ලෙස වොෂින්ටනයේ ප්‍රමාදවූ ඉල්ලීම් ගසාකෑමට ට්‍රම්ප් සහ ඔහුගේ හෙංචයියන් දරන උත්සාහයන් කම්කරුවන් විසින් අවඥාවෙන් සැලකිය යුතුය.
මෙය හුදෙක් ට්‍රම්ප්, අලුත් මිලිටරි ප්‍රහාරයක් සහ හිතාමතා සාගතයක් හරහා ගාසා තීරයේ ජන සංහාරය සම්පූර්න කිරීමට ඊශ්‍රායලයේ උත්සාහයන් සක්‍රීය කරමින්, ඉරානය 'මකා දැමීමට' තර්ජනය කරමින්, චීනය සමඟ වොෂින්ටනයේ ගැටුම උත්සන්න කරමින් සහ ඩොලර් ට්‍රිලියන 1 ක ආරක්ෂක අයවැයක් තල්ලු කරමින් සිටින නිසා පමනක් නොවේ. සෑම තැනකම මෙන් දකුනු ආසියාව තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූමිකාව ගිනි අවුලුවන සුලුය.
දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ වොෂින්ටනය, නැගී එන චීනයට එරෙහි මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට ඉන්දියාව ඒකාබද්ධ කරගැනීමට ප්‍රමුඛත්වය දී තිබේ. මේ සඳහා, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පරිපාලන දෙකම නවදිල්ලියට ප්‍රධාන උපායමාර්ගික සහන ලබා දී ඇති අතර පකිස්ථානය සමඟ සබඳතා නාටකාකාර ලෙස පහත දමා ඇත.
ඉන්දු-ඇමරිකානු 'ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය,' හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) නායකත්වයෙන් යුත් ආන්ඩුවේ පකිස්ථානය කෙරෙහි එහි ගැටුම්කාරී ස්ථාවරය දිරිමත් කර ඇති අතර, බීජිං සමඟ එහි සන්ධානය ගැඹුරු කරගැනීමට ඉස්ලාමාබාදය තල්ලු කරයි. චීනයට, ඉන්දියානු සහ පැසිෆික් සාගරයේ මර්මස්ථාන අවහිර කිරීමට එක්සත් ජනපදය දරන උත්සාහයන්ට විකල්ප සැපයීම අරමුනු කරගත් චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝවේ සහයෝගීතාවය මෙයට ඇතුලත් වේ.
මේ අනුව, ඉන්දු-පකිස්ථාන ගැටුම, චීනයේ නැගීම වැලැක්වීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය දරන උත්සාහයන් සමඟ වඩ වඩාත් බැඳී ඇති අතර, ගැටුම් දෙකෙහිම පුපුරන සුලු ස්වභාවය වැඩි කරයි. ඉන්දියාව සහ පකිස්ථානය අතර පූර්න පරිමාන යුද්ධයක්, එක්සත් ජනපදය සහ චීනය ඇද ගනිමින්, කලාපීය ගැටුමක් ගෝලීය වහ්නිජාලාවක් බවට පරිවර්තනය කරනු ඇති අතර යුරේසියානු භූ-දේශපාලනික පර්යාය උඩු යටිකුරු කිරීමට තර්ජනය කරයි.
ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදයකට සහ ගෝලීය පන්ති අරගලයේ පුනර්ජීවනයකට මුහුන දී සිටින අධිරාජ්‍යවාදී පාලක පන්තීන්ගේ සාහසිකත්ව පෙන්නුම් කෙරෙන්නේ, ඉන්දියාව සහ පකිස්ථානය ව්‍යසනය කරා වේගයෙන් වර්ධනය, වන පලි ගන්නාසුලු මිලිටරි ප්‍රහාර චක්‍රයක සිරවී සිටින විටත්, වොෂින්ටනය දකුනු ආසියානු යුද අර්බුදය නොසලකා හැරතිබීමේ කාරනයෙනි.
ට්‍රම්ප්ගේ පලමු ධුර කාලය තුල රාජ්‍ය ලේකම් ව සිටි මයික් පොම්පියෝ මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ මතක සටහන් වල, 2019 දී එවකට ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා, පාකිස්තානය න්‍යෂ්ටික අවි යෙදවීමට සූදානම් වන බව නව දිල්ලිය විශ්වාස කරන බවත්—ඊට ප්‍රතිචාර වශයෙන් තමන්ගේම අවි ගබඩාව සූදානම් කරන බවත් තමාට පැවසූ බව සිහිපත් කරයි.
පොම්පියෝ මෙසේ ලිවීය:
මම හිතන්නේ නැහැ, 2019 පෙබරවාරි මාසයේදී ඉන්දියා-පකිස්ථාන එදිරිවාදිකම්, න්‍යෂ්ටික ගැටුමක් දක්වා කොතරම් සමීපව පැවතියා ද යන්න ලෝකය නිසි ලෙස දැනුවත් ද කියලා.
එහෙත් පසුගිය බ්‍රහස්පතින්දා තරම් මෑතකදී, ඉන්දු-ඇමරිකානු චීන විරෝධී මිලිටරි සන්ධානය ගැඹුරු කිරීම සඳහා පසුගිය මාසයේ නවදිල්ලියට පැමිනි එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, දකුනු ආසියාවේ උත්සන්න වන යුද්ධය ගැන ට්‍රම්ප් පරිපාලනය සැලකිලිමත් නොවන බව ප්‍රීතියෙන් ප්‍රකාශ කලේය; ඒ මන්ද, ගැටුම “මූලික වශයෙන් අපට අදාල නොවන” බැවිනි.
බයිඩන් පාලනය යටතේ, ඇමරිකා එක්සත් ජනපදය විසින් ආරම්භ කරන ලද ගෝලීය යුද්ධයක සමෝච්ඡයන් හැඩගැසී ඇත්‌තේ, රුසියාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය-නැටෝව විසින් උසිගන්වන ලද යුද්ධය, 'පලස්තීන ප්‍රශ්නයට' 'අවසාන විසඳුමක්' පැනවීමේ ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රයත්නය සහ මැද පෙරදිග සිතියම නැවත ඇඳීම සහ චීනයට එරෙහිව තීව්‍ර කරන ලද එක්සත් ජනපද යුද ධාවනය මගිනි.
දැන් කතිපයාධිකාරයේ, ආඥාදායකත්වයේ සහ අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ ප්‍රතිමූර්තියක් වන ට්‍රම්ප්, ඔහුගේ ගෝලීය වෙලඳ යුද්ධය සහ කැනඩාව සහ ග්‍රීන්ලන්තයේ සිට පැනමා ඇල සහ ගාසා තීරය දක්වා ඈඳා ගැනීමේ ඉලක්ක ලැයිස්තුව පුලුල් කිරීම හරහා රාජ්‍ය අතර සබඳතා බිඳවැටීම වේගවත් කර තිබේ.
නමුත් සියලුම අධිරාජ්‍යවාදී සහ කුඩා-ධනේශ්වර බලවතුන් එකම මාවත අනුගමනය කරමින්, වෙලඳපොලවල්, සම්පත් සහ උපායමාර්ගික භූමි ප්‍රදේශ පාලනය කිරීම සඳහා අනුකම්පා විරහිත අරගලයක සිරවී සිටිති. මෙම ධාවනය ඉදිරියට ගෙන යනු ලැබෙන්නේ, පසුගිය සියවසේ ලෝක යුද්ධ දෙකට හේතු වූ එම මූලික ප්‍රතිවිරෝධතා මගින්ම ය.
ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය අමතමින් කල කතාවේදී පැහැදිලි කල පරිදි:
දේශපාලන ම්ලේච්ඡත්වයට සහ විනාශකාරී ගෝලීය යුද්ධයට ඇද වැටීමට අතිමූලික හේතු වන්නේ පසුගිය සියවසේ යුද්ධයට සහ ෆැසිස්ට්වාදයට හේතු වූ ධනේශ්වර පාලන තන්ත්‍රයේ එම ආර්ථික හා සමාජීය ප්‍රතිවිරෝධතාම ය. මෙම අන්තර් සම්බන්ධිත ප්‍රතිවිරෝධතා වන්නේ, පලමුව, ලෝක ආර්ථිකය ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය සමඟ නොගැලපීමයි; දෙවනුව, මුදල්-උමතු කතිපයාධිකාරීන් විසින් පාලනය කරනු ලබන, නිෂ්පාදන බලවේගවල ධනේශ්වර පෞද්ගලික අයිතියේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමන්විත වන බිලියන සංඛ්‍යාත ජනතාවගේ ශ්‍රමය සම්බන්ධ, සමාජ නිෂ්පාදනයේ සමාජීය වශයෙන් විනාශකාරී ස්වභාවයයි.
ව්‍යසනය වලක්වා ගැනීමට නම්, තීරනාත්මක කාර්යය වන්නේ, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම්වලට එල්ල වන ගැඹුරු වන ප්‍රහාරවලට එරෙහි සටන, යුද්ධයට සහ එය බිහි කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලය සමඟ බලමුලු ගැන්වෙන ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ සටන සමග ඒකාබද්ධ කිරීම යි.