නව සේවකයන් බඳවා නොගැනීම සහ නියමිත පරිදි උසස්වීම් ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරු පසුගිය සතියේ සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට සෙනසුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා පැය 24 ක සංකේත වැඩ වර්ජනයක නිරත වුහ. වැඩ වර්ජනය හේතුවෙන් උඩරට මැනිකේ, පොඩිමැනිකේ, රාත්‍රී තැපැල් දුම්රිය සහ කැලිප්සෝ සංචාරක දුම්රිය ඇතුලු දුරස්ථ දුම්රිය සහ සාමන්‍ය දුම්රිය සේවාවන් බහුතරයක් නතර විය. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ට අනුව, එදින ධාවනය වී ඇත්තේ, දෛනිකව ධාවනය කෙරෙන ධාවන වාර 300-325 න් සියයට 10 ක් පමනි.
ආන්ඩුව වර්ජනයට එරෙහිව වහාම කඩා පැන්නේය. ප්‍රවාහන අමාත්‍යංශය 16 වෙනිදා නිවේදනයක් නිකුත් කරමින්, මෙය,'මහජනයා අපහසුවට පත්කරන අසාධාරන වර්ජනයක්” ලෙස හෙලා දුටු අතර එය පිටුපස ආන්ඩුව “අපහසුතාවයට පත්කිරීමේ අරමුනක්” ඇත්දැයි සොයා බැලිය යුතු බව කියා සිටියේ ය.
ආන්ඩුවේ මෙම හෙලා දැකීමට සහ තර්ජනයට උඩගෙඩි දෙමින් ධනපති ජන මාධ්‍ය ද වර්ජනයෙන් මහජනතාවට සිදුවන “අපහසුතාවය” ගැන කිඹුල් කඳුලු හෙලිය.
තම ඉල්ලීම්වලට ආන්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නො ලැබුනහොත් ඉදිරියේ දී අඛන්ඩ වර්ජනයකට එලැඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසා ඇත. දුම්රිය සේවකයන් මෙන් ම අවශේෂ කම්කරුවන්, සමිති නායකයන්ගේ මෙවන් පුහු තර්ජන කොතෙක් නම් අසා ඇති ද? ඒවා හුදෙක් ම කම්කරුවන්ගේ අරගල අවමංගත කොට විසුරුවා හැරීමේ සහ ධනපති පාලක පන්තියට තම ප්‍රහාර තීව්‍ර කිරීමට කාලය ලබා දෙන පූච්චානම් කතා පමනි.
දුම්රිය පාලනාධිකාරය සහ අනුප්‍රාප්තික ආන්ඩු සමග සාකච්ඡා කර ඇතත් මෙතෙක් එම ප්‍රශ්නවලට විසඳුම් ලැබී නොමැති බව සෝමරත්න වැඩි දුරටත් සඳහන් කරයි. “අලුත් ආන්ඩුව දුම්රිය සේවකයන් ගේ ප්‍රශ්නවලට විසඳුමක් දෙනු ඇත” යි අපේක්ෂාකරන බව ඒ හුස්මට ම සෝමරත්න පවසා තිබේ.
වසර ගනනාවක් පුරා අනුප්‍රාප්තික ධනපති ආන්ඩු යටතේ ඉටු නොවූ ඉල්ලීම් ජනතා විමුක්ති පෙරමුන(ජවිපෙ)/ ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුවෙන් ඉටුවෙතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන් අපේක්ෂා නොකල යුතුය. ජවිපෙ/ජාජබ ආන්ඩුව, වඩාත් රුදුරු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට සහ කම්කරු පන්තියේ අයිතීන්ට කෙටීමට කැප වූ ආන්ඩුවකි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වර්ජනය කැඳවුම් කලේ, වසර ගනනාවක් පුරා තම ඉල්ලීම් නොවිසඳී තිබීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් තුල පවතින බරපත ල විරෝධය සහ කෝපය සමනය කිරීමේ අරමුනින් මිස එම ඉල්ලීම් වෙනුවෙන් අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීමේ වුවමනාවෙන් නොවේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, දුම්රිය රියදුරු සංගමය, දුම්රිය නියාමකවරුන්ගේ සංගමය සහ ජවිපෙ විසින් පාලනය කරන සමස්ත ලංකා දුම්රිය සේවක සංගමය ඇතුලු දුම්රිය සමිති නිලධරය පසුගිය වසර ගනනාව පුරා කලේ තම තම සේවා ගැටලු නොවිසඳී තිබීමට එරෙහිව, දුම්රිය සේවකයකයන් අව්‍යාජ අරගලයක් ඇතිවීම වැලැක්වීමයි. පසුගිය වසර කිහිපය තුල දුම්රිය සමිති නිලධරය විසින් පුහු විරෝධතා වර්ජන දුසිම් ගනනක් කැඳවා ඇත.
සීමිත විරෝධතා උද්ඝෝෂනවලට දුම්රිය සේවකයන් කොටුකිරිම සහ අවසානයේ ධනපති ආන්ඩුවේ සහ දුම්රිය බලධාරීන්ගේ බොරු පොරොන්දුවලට ඔවුන් ව යටත් කොට අරගල විසුරුවා හැරීම සහ ඉතා දැනුවත් ව ශ්‍රේනිවාදී සතුරුකම් නිර්මානය කිරීම සමිති නිලධරයේ භූමිකාව යි.
සමිති නිලධරය මෙම ශ්‍රේනිවාදී සතුරුකම් කෙතරම් ප්‍රතිගාමී අන්තයන්ට ගෙන යන්නේද යත්, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් දුන්නොත් ඉන් රියදුරන්ට සහ සෙසු දුම්රිය සේවකයන් ට ආසාධාරනයක් වන නිසා ඊට එරෙහිව වර්ජනය කරන බව 17 වෙනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී දුම්රිය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව සඳහන් කලේ ය.
ජවිපෙ විසින් පාලනය කරන සමස්ත ලංකා දුම්රිය සේවක සංගමය ඇතුලු එහි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (එන්ටීයූසී), රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව පසුගිය වසරේ පැනනැගුනු අරගල, ජවිපෙ/ජාජබ අතට ආන්ඩු බලය ගැනීමේ උද්ඝෝෂනය තුලට පෙල ගස්වා ගැනීමට කටයුතු කලේ ය. පසුව “රටේ පවතින අර්බුදකාරී තත්වය” තුල වර්ජන නොකල යුතු බව පවසමින්, එන්ටීයූසී ය එම අරගල යටපත් .කලේ ය. දුම්රිය සමිති ඇතුලු සෙසු වෘත්තීය සමිති ද ඒ වටා පෙල ගැසුනි
ශ්‍රී ලංකා දුම්රිය සේවය තුල පවතින බරපතල සේවක හිඟය, දුම්රිය එන්ජින් යල් පැනීම, මාර්ග අබලන්වීම, සඥා පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක් නොවීම ඇතුලු දීර්ඝ කාලයක් තුල නොවිසඳී පවතින ප්‍රශ්න නිසා දුම්රිය සේවකයෝ අතිශය දුෂ්කර කොන්දේසිවලට මුහුන දී සිටිති. දැනට සිටින්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් 1050 වන අතර 250 ක හිඟයක් පවතී. සමස්ත සේවක හිඟය 7000ක් පමන වේ. 2023 නිකුත් කල පාලන වාර්තාවකට අනුව දුම්රිය සේවයෙහි සිටින සමස්ත සේවක සංඛ්‍යාව 14,629කි. එහෙත් දුම්රිය සේවය පවත්නා තත්ත්වයෙන් ගෙන යාම සඳහා පමනක් 21,500 ක් අවශ්‍යවේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන් 106 ක් ඇතුලුව සේවක පුරප්පාඩු 909 පිරවීම සඳහා මාස කිහිපයකට පෙර අමාත්‍ය මංඩලයේ අනුමැතිය ලැබී ඇතත් “පරිපාලනයේ අකාර්යක්ෂතාවය” නිසා එය මෙතෙක් ඉටු වී නැති බව 16 වෙනිදා ප්‍රවාහන අමාත්‍යංශය නිකුත් කල මාධ්‍යය නිවේදනයේ සඳහන් වෙයි. එය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මත වරද පටවා ආන්ඩුවේ ඇඟ බේරාගැනීමේ තුච්ඡ උත්සාහයකි.
අබලන් එන්ජින් සහ මාර්ග හා සඥා පද්ධතීන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ද, රියදුරු හිඟය හේතුවෙන් වැඩි පැය ගනනක් සේවය කිරීමට රියදුරන්ට සිදුවීම ද හේතුවෙන් මෑත වසරවල දුම්රිය අනතුරු බහුලව සිදු වී ඇත. එහෙත් එහි වරද බොහෝවිට පැටවෙන්නේ දුම්රිය රියදුරන් මතය. එමෙන් ම, ප්‍රමානවත් තරම් දුම්රිය නොමැතිකම නිසා මගීන් බහුල සතියේ දිනවල උදේ සහ සවස ඔවුන් ට ගමන් කිරීමට සිදුව ඇත්තේ තදබද දුම්රිය මැදිරිවල පිටත එල්ලීගෙන ය. ඇතැම් විට දුම්රිය මැදිරි මත හෝ එන්ජිමේ පිටත සිට ගෙන ඉතා අවදානම් ආකාරයට ය.
ප්‍රතිපාදන හිඟය නිසා ශ්‍රී ලංකා දුම්රිය සේවය “ඉතා අවදානම් තත්වයක” පවතින බවද දැනට තිබෙන දුම්රිය “වසර 50-60 ක්” තරම් පැරනි ඒවා බව ද පසුගිය ආන්ඩුවේ ප්‍රවාහන ඇමති බන්දුල ගුනවර්ධන 2024 මැයි 28 මාධ්‍යට පවසා තිබුනි.
දුම්රිය සේවය ප්‍රතිපාදන හිඟයකට මුහුන දී ඇත්තේ අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් පසුගිය දශක කිහිපය තුල අනෙකුත් සමාජ සේවාවන් මෙන් ම දුම්රිය සේවය ද කප්පාදු කිරීමේ ඍජු ප්‍රතිපලයක් ලෙසය. ගුනවර්ධන “ප්‍රතිපාදන හිඟය” සහ දුම්රිය සේවය “අවදානම් තත්වයක” පවතින බව ගැන අවධාරනය කලේ එය යහපත් මගී ප්‍රවාහන සේවාවක් ලෙස වැඩිදියුනු කිරීමේ හෝ සේවක අයිතිවාසිකම් ලබා දීමේ උවමනාව ඇතිව නොව, දුම්රිය සේවය පුද්ගලිකරනය කිරීමේ අවශ්‍යතාවය අවධාරන ය කරනු පිනිසය.
එහි කොටසක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බට පත් කිරීමට මෛත්‍රිපාල සිරිසේන- රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ සිට අනුප්‍රාප්තික ආන්ඩු උත්සාහ කල ද සේවක විරෝධය නිසා එය යලි යලිත් කල් දැමීමට එම ආන්ඩුවලට බල කෙරුනි.
දන් ජවිපෙ/ ජාජබ ආන්ඩුව, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය/පුද්ගලීකරනය, ජාමුඅ විසින් නියෝග කර ඇති කප්පාදු වැඩපිලිවෙල අකුරට ම ක්‍රියාව ට දමමින් සිටි. ඒ යටතේ ලක්ෂ පහකට වඩා රාජ්‍ය සේවකයන් දොට්ට දැමීම, බදු වැඩි කිරීම සහ සමාජ සහන කප්පාදු කිරීමට නියමිතය. ජාමුඅ න් ලබා ගන්නා බිලියන් 3 ක නය මුදලේ 4 වන වාරිකය මුදා හරීන්නේ ආන්ඩුව එම කොන්දේසි සැපිරීම මතය.
මැයි දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක නිකුත් කල ප්‍රකාශයේ දී රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමේ බරට උරදිය යුත්තේ කම්කරු පන්තිය බව සඳහන් කලේ ය. ඊට පසුදින පැවති මැයි දින රැලියේ දී ඔහු “ලූනු බිකටත් වර්ජනය නොකල යුතු” යයි කම්කරු පන්තියට තර්ජනය කලේ ය.. මේ ප්‍රකාශයන්ගේ අර්ථය වන්නේ, කම්කරු පන්තිය ධනපති පාලක පන්තියේ අර්බුදයට කර ගැසිය යුතු බව සහ වැටුප් වැඩිවීම් ඇතුලු ඉල්ලීම් නොඉල්ලිය යුතු බවය.
දුම්රිය සේවකයන්ගේ හෝ කම්කරු පන්තියේ සෙසු කවර කොටසකවත් ඉල්ලීම් ආන්ඩුවෙන් ඉටු කෙරුනු ඇතැයි බලාපොරොත්තුවීම බරපතල මිත්‍යාවක් වන්නේ එබැවිනි. එමෙන් ම, කම්කරුවන්ගේ මෑත අරගලවලින් යලි යලිත් සනාථ කෙරී ඇත්තේ දුම්රිය හෝ සෙසු වෘත්තීය සමිති නිලධරයන් ජාමුඅ කප්පාදු පිලිවෙත් සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ සෙසු ප්‍රහාරවලට එරෙහිව කිසිදු අරගලයක් සංවිධානය කිරීමට නුසුදානම් බව යි.
දුම්රිය සේවකයන්ගේ සහ අවශේෂ කම්කරුවන්ගේ අයිතීන් සඳහා අරගලය ජවිපෙ/ජාජබ ක්‍රියාවට දමන ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි සටනකි. එය ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනකි. වෘත්තීය සමිති නිලධරය එවන් සටනකට සපුරාම සතුරුය. එම සටන කම්කරුවන් විසින් තම අතට ගතයුතු ය. කම්කරුවන් තම වැඩබිම තුල, වෘත්තීය සමිතිවලින් සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනඟා ගනිමින් එම දේශපාලන අරගලයකට සුදානම් විය යුතුය.