[මෙය But Live Here? No Thanks: Surrealism and Anti-fascism at the Lenbachhaus in Munich explores the political roots of the Surrealist movement මැයෙන් 2025 අප්‍රේල් 17දා පල කල ලිපියේ පරිවර්තනයයි.]
2024 ඔක්තෝබර් 15 - 2025 මාර්තු 30 දක්වා, මියුනිච්හි ලීන්බාක්හවුස් කලා කෞතුකාගාරයේ පැවති ප්‍රදර්ශනයක්, ප්‍රථම අධියථාර්ථවාදී ප්‍රකාශනයේ (The Manifesto of Surrealism) ශත සංවත්සරය (2024) අලලා ගත් ජාත්‍යන්තර ප්‍රදර්ශන සහ රැස්වීම් මාලාවට සැපයුනු, වැදගත් සම්ප්‍රදානයක් විය.
ලීන්බාක්හවුස් වෙබ් අඩවියෙහි මෙකී මියුනිච් ප්‍රදර්ශනය පිලිබඳ ව වන ඉංග්‍රීසි භාශා සංඥාපනය සහ ඉංග්‍රීසි උපසිරැසි ගැන් වූ ජර්මානු භාශා වීඩියෝව ඔස්සේ එය සම්බන්ධයෙන් සංක්ශිප්ත මුලුදැක්මක් ලබා ගත හැකි ය.
ෆැසිස්ට්වාදයට, විජිතවාදයට සහ විජාතික භීතිකාවට එරෙහි ව සටන් වැදුනු අධියථාර්ථවාදී ව්‍යාපාරයේ ස්වභාවය සහ එහි දේශපාලන අක්මුල් සමඟ ගනුදෙනු කරන මුඛ්‍ය ලිපි ලේඛන, කාව්‍ය සහ ප්‍රකාශන ආදියෙන් සමන්විත පිටු හයසියයකට අධික නාමාවලියක් ප්‍රදර්ශනය උදෙසා සංගෘහිත ය. අධියථාර්ථවාදී ව්‍යාපාරයේ පරිනාමය කෙරෙහි ලියොන් ට්‍රොට්ස්කි සහ ට්‍රොට්ස්කිවාදයේ ආනුභාව තහවුරු කෙරෙන ලිපිලේඛන සහ වාචක මෙකී සංග්‍රහයට ඇතුලත් වේ.
නාමාවලි-සංග්‍රහයෙහි ආමුඛය ප්‍රබල කරුනක් ඉස්මතු කරයි. එනම්, අධියථාර්ථවාදයේ නිල පිලිගැන්වීම් වැඩි වසයෙන් “පටු නිර්වචනයන්හි සිර වී” සෞන්දර්යාත්මක ව (විලාසිතාවක් ලෙස), භූගෝලීය ව (පැරිසියෙහි), කාලීන ව (1920 ගනන්වල සිට 1940 ගනන් තෙක්) සහ “මුඛ්‍ය නේතෘන්ගේ කුඩා කන්ඩායමක් (ආන්ද්‍රෙ බ්‍රෙතෝන්, මැක්ස් අර්නස්ට්, රෙනේ මැග්‍රීඩ්, සැල්වදෝර් ඩාලි) වටා සංකේන්ද්‍රිත ව” පැවතිය ද, සැබවින් ම එය ඉතා පෘථුල ව්‍යාපාරයක් වූ බව එම සංග්‍රහය නිවේදනය කරයි.
එය මෙසේ ඉදිරියට යයි:
මහා ප්‍රදර්ශන සහ කෝපි මේස සඟරා පතුරු වන අධියථාර්ථවාදය ගැන චිත්‍රය සමන්විත වන්නේ ලිංගිකත්වය ඉසිනු ලැබූ, සහකරු හුවමාරුව පිලිබඳ රසකතා සහ උඩින් පල්ලෙන් අල්ලා ගත් වර නො ලත්[1] ෆ්‍රොයිඩ්වාදයක් සමගින් අනන්‍ය වූ ජනප්‍රිය පුද්ගලයන් කන්ඩායමකගේ තරු සංකල්පයකිනි. ඒ වනාහි, එම ව්‍යාපාරය පිලිබඳව අපේ කලායතන ඉතා උනන්දුවෙන් ප්‍රචාරය කර ඇති ලොඹු ස්වරූපයකි.
එබඳු “ලොඹු ස්වරූපයක්” සඳහා එක් නිදසුනක් වූයේ බර්ලිනයේ මායිම් නගරයක් වන පොට්ස්ඩෑම්හි බාර්බෙරිනි කෞතුකාගාරයේ පසුගිය වසරේ පැවති අධියථාර්ථවාදය සහ මැජික්: වශීකෘත නූතනත්වය නමැති ප්‍රදර්ශනය යි. අධියථාර්ථවාදී කලාකරුවන්ගේ ආකර්ශනීය කෘති රැසක් එයට අන්තර්ගත වූ අතර, මාතෘකාවෙන් ඇඟවෙන පරිදි, එම ව්‍යාපාරයට මැජික් ඉන්ද්‍රජාල සමඟ ඇති සබඳතාව අවධාරනය කෙරුනි! මෙයට ප්‍රතිකූල ව, මියුනිච්හි මෑත ප්‍රදර්ශනයේ පසුබිම පැහැදිලි කරමින් සංවිධායකයෝ මෙසේ පැහැදිලි කරති:
මේ ව්‍යාපෘතියෙහිලා අපේ අරමුන වනුයේ, අධියථාර්ථවාදයේ නියෝජිතයන් බොහෝ දෙනෙක් එය සටන්කාමී, ජාත්‍යන්තරික ව සම්බන්ධිත සහ දේශපාලනීකෘත ව්‍යාපාරයක් හැටියට අවබෝධ කර ගත් අයුරු යලි වතාවක් දැක ගැනුමට සැලැස්වීම යි. ස්වකීය කලාව තුලින් අධියථාර්ථවාදීන් අවධානය යොමු කලේ, අවශේශ සමාජය ආසාදනය කල හැකි පරම “නිදහසක්” කෙරෙහි ය. ඔවුන්ගේ අවබෝධය ෆැසිස්ට් නිදහසට – අන දීමට සහ කීකරු වීමට ඇති නිදහසට පටහැනි විය. අධියථාර්ථවාදීන්ට අනුව, ඉන් අදහස් කෙරුනේ, සිය රිද්මය වැටුප් ශ්‍රමයේ රිද්මය නො වූ සහ සිය අරමුනු ජාතියට සහ ලාභයට වඩා විශාල වූ ජීවන රටාවකි.
අධියථාර්ථවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල ට්‍රොට්ස්කිවාදය ඉටු කල භූමිකාවට උපහාරයක් ලෙස, නාමාවලි-සංග්‍රහයෙහි ආමුඛය ඇරැඹෙනුයේ කෙටි පැදියක රූපාකාරයෙනි:
කව් ගෙතුමට වඩා වෙනත් කරදර වෙතා අපේ අවදියටා
කියත අප සමඟා: “අපිදු පෙරලා හඬගා කියමු එබසා”
ආමුඛය තවදුරටත් මෙසේ කියයි:
අධියථාර්ථවාදී කවීන් සහ “La Main a plume” (පන්හිඳ ගත් අත) නමැති ප්‍රතිරෝධී කවයේ සාමාජිකයෝ, 1941 දී තම ලාක්ෂනික ව උභයාර්ථවාචී ප්‍රකාශනයක් තුල එලෙස නිවේදනය කලාහු ය. ඇත්ත වසයෙන් ම, ප්‍රංශ ප්‍රතිරෝධයට[2] සම්බන්ධිත ට්‍රොට්ස්කිවාදීන් ලෙස විශාල අනතුරකට නිරාවෘත ව සිටි බැවින්, කවි පබැඳීමට වඩා ඉටු කල යුතු වෙනත් දෑ ඔවුන්ට තිබුනි. එසේවතුදු, ජර්මානු හමුදා වාඩිලා ගෙන සිටි පැරිසියෙහි දී, ඔවුහු (බොහෝ විට හවුලේ) කවි ලියූ අතර, දර්ශනය සහ දෘශ්‍ය න්‍යාය පිලිබඳ රහසිගත සඟරාවන්හි ඒවා පල කලහ; ඡායාරූපකරන ක්‍රියාවලියෙහිලා ද්‍රව්‍යයේ කාර්යභාරය සාකච්ඡා කලහ; සිය සාමාජිකයන් විසින් රචනා කෙරුනු පඨිත සහිත පත්‍රිකා බෙදාහරින ලදහ. සමනන්තර ව, ඔවුහු අන්‍යයන් උදෙසා කූට ලිපිලේඛන සකස් කලහ; සැඟවී ගැනුමට ස්ථාන සැපයූහ; කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කලහ; පලා යෑමේ ජාල සංවිධානය කලහ.
අධියථාර්ථවාදය විශය කර ගත් සාහිත්‍යය තුල “පන්හිඳ ගත් අත” (ප්‍රංශ කවීන්ද්‍ර ආතර් රිම්බෝගේ පද්‍ය පාදයකිනි) කන්ඩායම වැඩ කලේ අති දුශ්කර තතු යටතේ බැව් සඳහන් වනුයේ කලාතුරෙකිනි. පැබ්ලෝ පිකාසෝගේ අරමුදල් මත අඩ වසයෙන් යැපුනු මේ පිරිස, ස්වකීය ෆැසිස්ට් විරෝධී සහ විප්ලවවාදී පනිවුඩය ප්‍රචාරය කිරීම සඳහා සඟරා මාලාවක් බිහි කල හ. නාසි වාරනයේ අවධානය මගහරිනු පිනිස එක් එක් සංස්කරනය සඳහා ග්‍රන්ථ නාමය වෙනස් කල යුතු විය.
මියුනිච් ප්‍රදර්ශනය වැඩිපුර ම සංවිධානය කර තිබුනේ, සංවිධායකයන් විසින් “තනි තනි කතාංග” ලෙස විස්තර කෙරෙන දෑ වටා ය. එනම්, සුවිශේශී වාදවිශයන් මත සහ කලාකරුවන් බොහෝ දුරට කාලානුරූපී ව ඒකරාශී වීම මත පදනම් වෙමිනි. කථාන්තරය පැරිසියෙන් ඇරැඹෙතුදු අනතුරු ව චෙකොස්ලොවැකියාව, බෙල්ජියම, ස්පාඤ්ඤය, ඊජිප්තුව, මාර්ටිනීක් සහ කෙලවර එක්සත් ජනපදය තෙක් පැතිර යයි.
අධියථාර්ථවාදී ව්‍යාපාරයේ අංකුර 1924 වසරෙහි ස්ථානගත කරමින්, ප්‍රදර්ශනය එහි දේශපාලන අක්මුල් කෙරෙහි වැඩි බර යොදයි. සාත්තු සේවකයෙකු ලෙස ප්‍රංශ යුද පෙරමුනෙහි සේවය කරමින් සිටිය දී ප්‍රථම ලෝක සංග්‍රාමයේ සංත්‍රාස සියැසින් දුටු ආන්ද්‍රෙ බ්‍රෙතෝන් දෙවැනි ලෝක සංග්‍රාමය මැද භාගයෙහි (1942) මෙසේ ලිවී ය. අධියථාර්ථවාදය “ඓතිහාසික ව වටහාගත හැක්කේ යුද්ධයට සාපේක්ශ ව පමනි. මා අදහස් කරනුයේ – 1919 සිට 1938 දක්වා – එනම්, එමගින් පැනනගින යුද්ධයට (1914-18) සහ සමනන්තර ව දැන් පැතිරෙන යුද්ධයට (1939-) අදාල ව ය.” ව්‍යාපාරයේ සෙසු ප්‍රමුඛයන් වූ ලුවී ඇරගොන්, පෝල් එලුවාර්ඩ් සහ ජාක්ස් වශේ ද යුද්ධයේ ක්ශතිය අත්විඳි අතර, අනුශංගික ව ජාතිය හෝ පීතෘභූමිය පිලිබඳ කවර මතයකට වුව දෘඩතර ව එරෙහි වූහ.
මොරොක්කෝවේ කඳුකර ප්‍රදේශයන්හි සටන් වැදි රිෆ් යුද්ධයෙහිලා (1925-1926), විජිතවාදී බලවතෙකු ලෙස ප්‍රංශයේ භූමිකාව හෙලාදැකීමෙන් ආරම්භ වන, බ්‍රෙතෝන් නායකත්වය දුන් අධියථාර්ථවාදීන් විසින් සිදු කෙරෙනු දේශපාලන මැදිහත්වීම් මාලාව ප්‍රදර්ශනය සහ නාමාවලි-සංග්‍රහය ඉස්මතු කර ගනී.
එම කාලයේ දී පිහිටුවන ලද ප්‍රංශ කොමියුනිස්ට් පක්ශය (පීසීඑෆ්) තුල සහ එකල ඒ වටා ක්‍රියාකාරී ව සිටි අධියථාර්ථවාදීහු, 1925 ඔක්තෝබර් 12 වැනි දින යුද්ධයට එරෙහි මහා වැඩ වර්ජනයකින් කූටප්‍රාප්ත වූ මහජන බලමුලුගැන්වීමට සහාය දැක්වූහ. එමෙන් ම, බ්‍රෙතෝන්ගේ නායකත්වය ලද අධියථාර්ථවාදීහු ද 1931 දී පැරිසියෙහි වේදිකාගත කෙරුනු ජාත්‍යන්තර යටත් විජිත ප්‍රදර්ශනයට (Exposition coloniale internationale) විරුද්ධ වෙමින් සක්‍රීය භූමිකාවක් ඉටු කලහ. ප්‍රංශ විජිතයන්හි අපරාධවලට සුදු හුනු ගෑ ප්‍රදර්ශනය වර්ජනය කරන මෙන් ඔවුහු ඉල්ලා සිටියා මතු නො ව තමන්ගේ ම විජිත විරෝධී විකල්ප ප්‍රදර්ශනයක් ද සංවිධානය කලහ.
මියුනිච් ප්‍රදර්ශනයේ මාතෘකාව වන Aber hier leben, nein danke (ජීවත් වෙන්න මෙහේ? අපෝ බෑ!) යන පදය, ටොකෝට්‍රොනික් නමැති ජර්මානු පොප් සංගීත කන්ඩායම විසින් 2005 දී නිකුත් කෙරුනු ගීයකින් උපුටා ගැනුනකි. 1933 දී, හිට්ලර් බලයට පත් වීමෙන් පසු, ජර්මනිය තුල දහස් සංඛ්‍යාත කලාකරුවන්ට සහ බුද්ධිමතුන්ට (ඔවුන්ගෙන් වැඩි දෙනෙක් යුදෙව්වෝ වූහ) පිටුවහල් වීමට බල කෙරී පැවති තතු කෙරෙහි අධියථාර්ථවාදීන්ගේ ප්‍රතිචාරය පිලිබඳ වක්‍රෝක්තියක් ලෙස එය අර්ධ වසයෙන් හැඳින්විය හැකි ය.
නාමාවලි-සංග්‍රහයෙහි සඳහන් පරිදි:
ජර්මනියෙහි නාසි පාලනය සහ අනුශංගික ව ස්පාඤ්ඤ සිවිල් යුද්ධය සමඟ තතු වෙනස් විය: ප්‍රචන්ඩත්වය සහ අරගලය වඩා සංයුක්ත විය. බොහෝ අධියථාර්ථවාදීන්ගේ අභිනව ජීවන යථාර්ථය නිර්මානය කෙරුනේ පිටුවහල් වීම, ප්‍රතිරෝධය පෑම, සැඟවී ගැනුම සහ සිරගත වීම මගිනි. හුදෙක් ක්‍රියාමාර්ගික ප්‍රකාශන සමඟ ගනුදෙනු කිරීම තවදුරටත් කල නො හැකි විය. ඉයුජීනියෝ ග්‍රැනෙල්, වයිෆ්‍රෙඩෝ ලැම්, ආන්ද්‍රෙ මැසන්, කැටී හෝර්නා, මේරි ලෝ, ජුවාන් බ්‍රියා සහ කාල් අයින්ස්ටීන් ඇතුලු බොහෝ අධියථාර්ථවාදීහු ස්පාඤ්ඤයේ දෙවැනි ජනරජය වෙනුවෙන් උද්ඝෝශනය කලහ; ක්‍රියා කලහ.
1930 ගනන් මුල දී, ප්‍රංශ අධියථාර්ථවාදීන් සහ ස්ටැලිනීකරනය වූ පීසීඑෆ් අතර සබඳතා බිඳ වැටෙන ලකුනු පහල විය. 1932 දී, බ්‍රෙතෝන් වටා සිටි ප්‍රධාන කන්ඩායම, ස්ටැලින්වාදයට සහ එහි ජාතිකවාදී දිශානතියට අනුගත වූ අයගෙන් භේද විය. ඇරගොන් සහ ජෝර්ජස් සඩෝල් පීසීඑෆ් වෙත පක්ශපාතී බවට දිවුරුම් දී සිය අධියථාර්ථවාදී සගයන් අත්හැර දැමූහ.
1933 දී, “සෝවියට් සංගමයෙන් හමන ක්‍රෙටිනීකරනයේ[3] මාරුතය” හෙලා දුටු අධියථාර්ථවාදී සඟරාවේ පල වූ ෆර්ඩිනන්ඩ් ඇල්කිගේ ලිපියක් නිසා බ්‍රෙතෝන්, පෝල් එලුවාර්ඩ් සහ රෙනේ ක්‍රෙවෙල් නිල වසයෙන් පක්ශයෙන් නෙරපා හරින ලදහ. වසරකට පසුව, මොස්කව්හි නිලධාරිවාදී ආඥාවක් විසින් කොමියුනිස්ට් පක්ශ සහ ගෝලීය පරිමාන ව ඒවායෙහි ආධාරකරුවන් අනුගමනය කල යුතු නිල කලා ආකෘතිය ලෙස “සමාජවාදී යථාර්ථවාදය” නම් කෙරුනු අතර එය අධියථාර්ථවාදීන් තැතිගැන්වී ය.
සමාජවාදී යථාර්ථවාදය සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි පසුව මෙසේ සඳහන් කලේ ය:
මේ නාමය මත්, (සෝවියට් සංගමයේ) කලා දෙපාර්තමේන්තුවේ යම් ඉහල නිලධාරියෙකු විසින් නවෝත්පාදිත බැව් පැහැදිලි ය. මෙකී ‘යථාර්ථවාදය’ සමන්විත වනුයේ පසුගිය (දහනවවැනි) සියවසේ තෙවැනි කාර්තුවේ ප්‍රාදේශීය ඩැගිරෝචිත්‍ර[4] (daguerreotypes) අනුකරනයෙනි. එනම්, සාටෝප ඡායාරූපීකරනයක වේශයෙන්, කිසි දා සිදු වී නොමැති සිද්ධි ‘සමාජවාදී’ ලක්ෂන තුල නිරූපනය විය.
මොස්කව් නඩු විභාග සහ සෝවියට් සංගමය තුල සමාජවාදීන් සංහාරය කිරීම, ප්‍රංශ හා ස්පාඤ්ඤ විප්ලව පාවාදීම (1936-39) සහ 1939 අගෝස්තු හිට්ලර්-ස්ටැලින් ගිවිසුම මගින් ප්‍රංශ අධියථාර්ථවාදයේ ප්‍රධාන පාර්ශ්වය සහ පීසීඑෆ් අතර පැවති අගාධයට ස්ථිර කලේ ය.
පීසීඑෆ් සහ ස්ටැලින්වාදී තෙවැනි ජාත්‍යන්තරයේ ජාතිකවාදී පරිහානිය වටහා ගනු පිනිස ද ඊට එරෙහි ව සටන් වදිනු පිනිස ද ප්‍රංශ අධියථාර්ථවාදීහු වඩවඩා ට්‍රොට්ස්කි සහ වාම විපාර්ශ්වයේ ජාත්‍යන්තර ඉදිරි දර්ශනය වෙත නැඹුරු වූහ. 1938 අප්‍රේල්හි දී, ට්‍රොට්ස්කි හමු වීම සඳහා බ්‍රෙතෝන් මෙක්සිකෝවට ගිය අතර දෙදෙනා හවුලේ “ස්වාධීන විප්ලවවාදී කලාවක් සඳහා ප්‍රකාශනය” ලියූහ.[5] මෙක්සිකානු කලාකරු දියේගෝ රිවේරා ද ඊට අත්සන් තැබූ අතර, එමගින් ස්වාධීන විප්ලවවාදී කලාව සඳහා ජාත්‍යන්තර සම්මේලනයක් (ෆියාරි) පිහිටුවීම උදෙසා කැඳවුම් කෙරුනි.
ඊලඟ වසරේ ජනවාරියෙහි දී, ෆියාරි සම්මේලනයේ ප්‍රංශ කන්ඩායම Clé (යතුර) නමැති සිය කෙටිකාලීන ප්‍රකාශනයෙහි “පීතෘභූමිය එපා!” යන මැයෙන් බලගතු වාචකයක් පල කලහ. මෙකී වාචකයේ සම්පූර්න පඨිතය මියුනිච් ප්‍රදර්ශනයේ නාමාවලි-සංග්‍රහයට ඇතුලත් වී ඇති නමුදු එහි කොටසක් මෙහි උපුටා දක්වනු වටී. වෙනස් කල යුතු දෑ වෙනස් කල විට එම ලේඛනය අමෙරිකා එක්සත් ජනපදයේ සහ තවත් බොහෝ දේශයන්හි ධනේශ්වර ප්‍රභූන් වඩවඩා උමතු ජාතිකවාදය සහ ෆැසිස්ට්වාදය වැලඳ ගනිමින් පවතින වර්තමාන තත්වයට අදාල කර ගත හැකි ය.
“පීතෘභූමිය එපා!” ආරම්භ වනුයේ මෙසේ ය:
“ප්‍රංශය පිබිදේ” සහ “ප්‍රංශ ජාතිකයන් සඳහා ප්‍රංශය” යන සටන් පාඨ යටතේ දියත් වූ නීච ව්‍යාපාර, ස්වකීය විසකුරු ඵල දරන්නට පටන්ගෙන තිබේ. ස්වෝත්තමවාදී ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සාරෝ මහතාගේ මැයි නියෝග සහ නොවැම්බර් හදිසි අවස්ථා නියෝගවලට එකතු කරන ලද ඇතැම් ක්‍රියාත්මක කිරීමේ රෙගුලාසි ප්‍රංශයේ පදිංචි විදේශිකයන්ගේ – වෙසෙසා දේශපාලන සංක්‍රමනිකයන්ගේ වියදමින් ෆැසිස්ට් රාජ්‍යයන්ට සමාන තුච්ඡ ක්‍රියාපටිපාටි ක්‍රියාවට නඟමින් සිටී. දැනට මත් බලපවත්වන පිටුවහල් කිරීමේ පියවර සහ අප අත්දකිමින් සිටින දඟගෙහි ලෑමේ සූදානම, ප්‍රංශය තුල ‘අධිකාරීවාදී’ සහ තදනන්තර ව ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීම ඉලක්ක කර ගත් භීශන ප්‍රතිපත්තියක් සහ ප්‍රචන්ඩ ක්‍රියා උත්සන්න කිරීමක් පෙන්නුම් කරමින් ‘ප්‍රජාතන්ත්‍රවාදී’ දේශයන්හි ශීඝ්‍රයෙන් පැතිරෙන පීඩාකාරී ගෙනදෙන සංස්පර්ශන වසංගතයක් පිලිබඳ ව සාක්ශි දරයි. මූලික මානව සලකා බැලීම්වලට පටහැනි ව, දිගු කලක් පූජනීය ලෙස සැලකුනු සරනාගත අයිතිය පිලිබඳ මූලධර්මය අත්හැරීමට මේවා වර්තමානයෙහි ඉඩ සලසයි...
කම්කරුවන්ට මෙන් ම කලාවට ද පීතෘභූමියක් නැත. ෆැසිස්ට්වාදීන් මතු නොව ස්ටැලින්වාදීන් ද වර්තමානයෙහි සිදු කරන පරිදි ‘ප්‍රංශ’ කලාව වෙත ආපසු යෑම වෙනුවෙන් පෙනී සිටීම යනු කලාව සඳහා අත්‍යවශ්‍ය මෙකී සමීප සබඳතාව සංරක්ශනය කිරීමට විරුද්ධ වීම යි; ජනතාව බෙදීම සහ අන්‍යෝන්‍ය වැරදි වැටහීම පිනිස කටයුතු කිරීම යි; ඓතිහාසික ප්‍රතිගමනය සවිඥානික ව ප්‍රවර්ධනය කිරීම යි.
ට්‍රොට්ස්කි හා බ්‍රෙතෝන් අතර පැවති සැකෙව්, එහෙත්, ඉතා ඵලදායී සහයෝගීතාව 1940 අගෝස්තුවෙහි ස්ටැලින්වාදී ඒජන්ත රේමන් මර්කාඩර් විසින් ශ්‍රේශ්ඨ විප්ලවවාදියා ඝාතනය කරනු ලැබීම නිසා කුරිරු ලෙස කෙටි විය.
මියුනිච් ප්‍රදර්ශනයේ නාමාවලි-සංග්‍රහය අධියථාර්ථවාදී ව්‍යාපාරයේ දේශපාලන අක්මුල් සහ එහි ස්වභාවය තහවුරු කරන වැදගත් ලේඛන එකතුවකි. එහි අස්ථාවර සහ නිරතුරු ව විතැන් වන සාමාජිකත්වය තුල මතු වූ ගැටුම් සහ ප්‍රතිවිරෝධතා පිලිබඳ වඩා විස්තීර්න හා ගැඹුරු අවබෝධයක් සඳහා එය අගනා අමුද්‍රව්‍ය රැසක් සපයයි.
අධියථාර්ථවාදයේ පූර්වංගම කලා ව්‍යාපාර අතරින් වැදගත් එකක් වූයේ ඩාඩාවාදය[6] (Dadaism) යි. 1914 දී, ප්‍රථම අධිරාජ්‍යවාදී ජන සංහාරයට ලෝකය ඇද දැමීම සාධාරනීකරනය සඳහා යුරෝපයීය ප්‍රභූන් විසින් භාවිත කෙරුනු සකලසියලු මුර පද – එනම්, ජාතිකවාදය, ස්වෝත්තමවාදය, මිලිටරිවාදය සහ පල්ලියට හා පවුලට ආයාචනා කිරීම කෙරෙහි ඩාඩාවාදයේ බද්ධ වෛරය උකහා ගත් අධියථාර්ථවාදය, සමනන්තර ව, ඩාඩාගේ විඥානවාදයේ සහ බුද්ධි විරෝධයේ අංග ද වැලඳ ගති. සමාරම්භක ඩාඩාවාදී සාමාජික ට්‍රිස්ටන් සාරාට අනුව, “සිතිවිල්ල තැනෙනුයේ මුඛය තුල ය.”
අධියථාර්ථවාදය, ප්‍රංශ ප්‍රති-ඒකාධිපතිවාදී දෘශ්ටිවාදයේ හා සාහිත්‍යයේ ගැඹුරු ධමනියකින් මෙන් ම සැලකිය යුතු තරමින් අතාර්කික සහ ආත්මීයවාදී උපරිතානයන්ගෙන් ද උකහා ගති. එසේ ම, මනෝ-විශ්ලේශනයෙහි පීතෘ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ලේඛන සහ චින්තනය ද, එහි නාභිය වන ලිංගික ජීවිතය සහ පුද්ගල අවිඥානයේ කාර්යය ද අධියථාර්ථවාදී ලිපි, සාකච්ඡා හා ප්‍රකාශන තුලට මතු නො ව ක්‍රියාකාරකම්වලට පවා ඇතුලු වී ඇත.
අධියථාර්ථවාදී කව තුල මහා පරිමාන දෘශ්ටිවාදී ව්‍යාකූලත්වයක් පැතිරී තිබුනි. පවතින පර්යාය කෙරෙහි අව්‍යාජ විප්ලවවාදී වෛරයේ සහ තියුනු විඥානවාදයේ බලගතු මිශ්‍රනයක් වූ එය විටෙක චින්තනයට පැවැත්ම සමඟ ඇති සබඳතාව පිලිබඳ ගූඪ සංකල්පනයන්ට මායිම් විය.
එම අවධියෙහි අධියථාර්ථවාදීන් සහ සෙසු වාමාංශික කලාකරුවන් වෙලා ගත් සෞන්දර්යමය, දේශපාලනික සහ දාර්ශනික ගැටලු නිරවුල් කිරීම, සියල්ලට ම වඩා, කොමියුනිස්ට් පක්ශ තුල ස්ටැලින්වාදයේ පහල වීම සහ එහි පසුකාලීන ආධිපත්‍යය මගින් අශක්‍ය කෙරුනි.
ප්‍රංශයේ, ජර්මනියේ සහ සමස්ත යුරෝපයේ ප්‍රගතිශීලී කලාකරුවන් සහ සෝවියට් කලාකරුවන් හා බුද්ධිමතුන් අතර 1917 ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරු ව දලු ලා වැඩුනු සහයෝගීතාවයේ නැවුම්, පුශ්ටිමත් අංකුර මොස්කව්හි ස්ටැලින්වාදී නිලධරය විසින් ම්ලේච්ඡ ලෙස සිඳ දමන ලදී.
කලාත්මක අදහස් සහ ආවේග නිදහසේ සාකච්ඡාවට භාජන වීමෙහිත් ව්‍යාප්ත වීමෙහිත් වැදගත්කම තහවුරු කරනුව ප්‍රමුඛතම සම්ප්‍රදාන සැපයූ ට්‍රොට්ස්කිට පිටුවහල් වීමට බල කෙරුනු අතර කෙලවර දී ඔහු ඝාතනය විය. ඔහුගේ වාම විපාර්ශ්වයේ ආධාරකරුවෙකු සහ 1920 ගනන්වල ඉතා ම වැදගත් සෝවියට් සාහිත්‍ය සඟරාව වූ රතු නැවුම් පස සංස්කාරකවරයා වූ ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි බඳු සම චින්තකයන් සෝවියට් කොමියුනිස්ට් පක්ශයෙන් නෙරපන ලද අතර “මහා විරේකය” අතරතුර (1937) ඝාතනය කෙරුනි.
විශිශ්ටතම කලාකරුවන් අව්‍යාජ මාක්ස්වාදයෙන් වෙන් වීම වැඩී ඒමට මෙකී වර්ධන තුඩු දුනි. එමගින් කලාකරුවන්ගේ වඩා දුර්වල පැති සහ අධියථාර්ථවාදීන් නිබඳ ප්‍රදර්ශනය කල පරිදි, එක්තරා විධියක දෘශ්ටිවාදීමය ”ඒකපාර්ශ්වීයත්වය” (අවිඥානය, ප්‍රතිභානය, ස්වප්න ආදිය කෙරෙහි සම්මෝහය) දිරිමත් කෙරුනි.
ජර්මනිය, ප්‍රංශය සහ යුරෝපය පුරා ෆැසිස්ට්වාදයේ නැඟීමත් සමඟ අධියථාර්ථවාදය මූලාරම්භයෙහි පැවති අනේකවිධ විඥානවාදී අතිරික්තයන්ගෙන් බ්‍රෙතෝන් වඩවඩා දුරස්ථ වීම ඔහුගේ ගෞරවයට හේතු වේ. නිදසුනක් වසයෙන්, සිය ව්‍යාපාරය “චින්තනයේ සර්වබලධාරිත්වය” කෙරෙහි තැබූ මුල් විශ්වාසය “අතිශය සාවද්‍ය” ලෙස තමාට දැන් පෙනී යන බව 1934 දී බෙල්ජියමෙහි පැවති දේශනයක දී හෙතෙම සඳහන් කලේ ය. තෙවසරකට පසුව, “අධියථාර්ථවාදයේ නිර්-ජාතික සීමා” නමැති ඔහුගේ අනගිතම සම්ප්‍රදාන අතරින් එක් රචනාවක් තුල “මූලික හා අදෘශ්‍යමාන ප්‍රස්තුත සමූහයකින්” පලමුවැන්න බ්‍රෙතෝන් නිවේදනය කලේ ය: “අධියථාර්ථවාදය විසින් සාකල්‍යයෙන් පිටසන් කෙරෙන අපෝහක භෞතිකවාදයේ සියලු මූලධර්මයන්ට බැඳී ගැනුම: චින්තනයට එදිරිව ද්‍රව්‍යයේ ප්‍රාථමිකත්වය”. ඛේදනීය ලෙස, ට්‍රොට්ස්කිගේ මරනය සහ දෙවැනි අධිරාජ්‍යවාදී යුද්ධයේ ආරම්භය විසින් බොහෝ දුරට මෙකී බුද්ධිමය පරිනාමය අවසන් කෙරුනි.[7]
මියුනිච්හි ප්‍රදර්ශනය සහ එහි ලිපිලේඛන, එයට ම ආවේනික දේශපාලනික හා දෘශ්ටිවාදීමය ගැටලූන්ගෙන් තොර නො වන නමුදු, මෙකී ගැටලු යලි විමසා බලනු වස් පදනමක් සපයන අතර කෞතුකාගාර හා සංස්කෘතික ආයතන විසින් අධියථාර්ථවාදී ව්‍යාපාරයේ දේශපාලන ඉතිහාසය මන්දනය කෙරෙන, විකෘත කෙරෙන නැතහොත් මුලුමනින් නොතකා හැරෙන වත්මන් ප්‍රවනතාවට අර්ථාන්විත ප්‍රතිභාරයක් ලෙස ද සේවය කරයි.
පරිවර්තනය: දර්ශන මේදිස්
(අක්ශර වින්‍යාසය පරිවර්තකගේ අභිමතය පරිදි ය)
සිගමන් ෆ්‍රොයිඩ් හඳුන්වා දුන් “වර නො ලත් විශ්ලේශනය” (lay-analysis) හෙවත් බලපත්‍රලාභී වෛද්‍යවරයෙකු නො වන තැනැත්තෙකු විසින් සිදු කෙරෙන මනෝ විශ්ලේශනය නමැති සංකල්පය ඇසුරිනි.
දෙවැනි ලෝක සංග්‍රාමය සමයෙහි නාසි හමුදාවට එරෙහි ව ප්‍රංශය තුල සංවිධානගත වූ කුඩා යුද විරෝධී කාන්ඩ සමූහය.
යමෙකු (තයිරොයිඩ් හෝර්මෝන ඌනතාවේ දී සිදු වන මෙන්) සාමාන්‍ය බුද්ධිය හා මනා විනිශ්චය හීන අතිශය මුග්ධයෙකු බවට සිඳු වීම.
ආදි ඡායාරූප ශිල්පය මගින් ගනු ලැබූ කලු-සුදු පින්තූර.
මෙය මූලික ව ම ට්‍රොට්ස්කි විසින් කෙටුම්පත් කල බව බ්‍රෙතෝන් පසුකාලීන ව සඳහන් කලේ ය.
ධනවාදයට හා ලෝක යුද්ධයට ප්‍රතිචාර ලෙස අතාර්කිකය හා ප්‍රති-කලාව උත්කර්ශයට නැංවූ කලා ව්‍යාපාරයකි.
එසේවතුදු, බ්‍රෙතෝන් අඛන්ඩ ව ම මාක්ස්වාදියෙක් ව සිටි අතර ඔහු මිය යාමට ආසන්න ව සිටිය දී, ට්‍රොට්ස්කිගේ භාර්යාව වූ නතාලියා සෙඩෝවාගේ අභාවය (1962) නිමිති කොට ගෙන ට්‍රොට්ස්කිවාදය ආරක්ශා කරමින් මනරම් කව් පන්තියක් ද ලිවී ය.