ව්‍යාජ-වාම පෙසප, ධනපති ගැති ප්‍රතිපත්ති ගෙන යන ගමන් තමන් සමාජවාදී බව කියා ගනී

[මෙය Sri Lanka’s fake-left FSP claims to be socialist while promoting pro-capitalist policies යන මැයෙන් 2025 මැයි 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මැයි දිනයේදී කතා කරමින්, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම්, තම පක්ෂය “සමාජවාදය සඳහා සටන් කරන” බව ප්‍රකාශ කලේය. එහෙත්, රැස්වීමේ තේමාව වූයේ එහි පර්තිවිරුද්ධය වූ “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) මර උගුලට සහ ඉන්දියානු විජිතකරනයට එරෙහිව [පාර්ලිමේන්තුවෙන්] එලියේ බලයක් ගොඩනඟමු!” යන්නයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුනරත්නම් 2025 මැයි දිනයේදී කතා කරමින් [Photo by Facebook/FSP]

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දරන ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාමූඅ හි දැඩි කප්පාදු න්‍යාය පත්‍රය හෙලා දකින අතරම, වැඩ කරන ජනතාව මුහුන දෙන දැවැන්ත සමාජ අර්බුදය සමනය කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට, පාර්ලිමේන්තුවට පිටත බලයකින් පීඩනය යොදා කරගත හැකි ය යන මිත්‍යාව පෙසප ප්‍රවර්ධනය කරයි. ඒ සමඟම, ඉන්දියාව සමඟ ආර්ථික හා මිලිටරි ගනුදෙනුවලට විරුද්ධ වීමෙන් පෙසප ඉන්දියානු විරෝධී ස්වෝත්තමවාදය අවුස්සමින් සිටී.

ගුනරත්නම්ගේ “සමාජවාදය” පිලිබඳ සැඳහුම් විවේක දිනයක පම්පෝරි ගැසීමක් වැනිය - නිෂ්ඵල විරෝධතා දේශපාලනයක එදිනෙදා නියැලෙමින් ධනේශ්වර පක්ෂ සමඟ ආලකම් පාන අතරේ, සමාජවාදය සඳහා අරගලය ගැන කතා කරයි.

පෙසප ලේකම්වරයා රැස්වීමට සවන්දුන්නන්ට පැවසුවේ, තම පක්ෂය ජවිපෙ/ජාජබ ආන්ඩුවේ දක්ෂිනාංශික දිශානතිය තේරුම් ගෙන ආරම්භයේ සිටම එහි ප්‍රතිපත්තිවලට විරුද්ධ වූ බවයි. නමුත් ජනතාව තවමත් ආන්ඩුව පිලිබඳ මිත්‍යාවන්ගේ ගිලී සිටින බව ඔහු පැවසීය.

ඔහු දිවට නොදනීම පච දොඩවයි. ජවිපෙ සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගය (ජාජබ) කුමක් කිරීමට යන්නේ දැයි තම පක්ෂය දැන සිටියේ නම්, ගුනරත්නම් ආරම්භයේ සිටම වැඩ කරන ජනතාවට සත්‍යය පවසමින් ඔවුන්ගේ මිත්‍යාවන්ට එරෙහිව කටයුතු නොකලේ ඇයි?

පසුගිය වසරේ පැවති ජනාධිපතිවරනයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජයග්‍රහනය කිරීමෙන් පසු, සැප්තැම්බර් 24 වන දින ගුනරත්නම් මාධ්‍ය හමුවක් පවත්වා, එහි ප්‍රතිඵලය “ජනතා අපේක්ෂාවන් ප්‍රකාශයට පත් වීමක්” ලෙස වර්නනා කලේය. ජවිපෙ “වාමාංශික” සහ “මාක්ස්වාදී” ලෙස පවා ප්‍රකාශ කරමින් ලංකාව තුල සහ ජාත්‍යන්තරව ගෙනගිය ප්‍රචාරක ව්‍යාපාරය සමඟ එක්වූ පෙසප, ජවිපෙ ජයග්‍රහනය “ප්‍රගතිශීලී” බවට මිත්‍යාවන් වැපිරීය.

ජාමූඅ සමඟ කොන්දේසි නැවත-සාකච්ඡා කිරීමට දුන් පොරොන්දුව ජවිපෙ/ජාජබ ඉක්මනින් ම අතහැර දමා එහි දැඩි කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට පටන් ගත් විට, පෙසප නායකයෝ එම පියවරයන්ට “විරුද්ධ” බව ප්‍රකාශ කල නමුත්, පරාජිත හා දූෂිත සාම්ප්‍රදායික ධනේශ්වර දේශපාලන පක්ෂවලින් ආන්ඩුව “ආරක්ෂා කිරීමට” සූදානම් බව තවදුරටත් පැවසූහ.

මැයි 6 වන දින පැවති පලාත් පාලන මැතිවරනයෙන් පසුව, විවිධ පලාත් පාලන ආයතනවල ආසන 15 ක් දිනා ගනිමින්, පෙසප මෙම දේශපාලන පිලිවෙත ක්‍රියාවට නංවමින් සිටී. මෑතක දී හිරු රූපවාහිනී නාලිකාවේ “බලය” වැඩසටහනට එක්වෙමින්, පෙසප නායකයෙකු වන පුබුදු ජයගොඩ ප්‍රකාශ කලේ, පලාත් පාලන ආයතනවල පාලනය ස්ථාපිත කිරීම සඳහා තම පක්ෂය ජවිපෙ/ජාජබ ට අවශ්‍ය අවස්ථාවන්හි දී සහාය ලබාදෙන බවයි.

2022 මහජන නැගිටීමේ දී පෙසප ද්‍රෝහී භූමිකාව

ගුනරත්නම් සිය මැයි දින කතාවේදී මෙසේ ප්‍රකාශ කලේය: “අපට වර්තමාන තත්වය වෙනස් කල හැක්කේ නවතා දැමූ 2022 අරගලය දිගටම කරගෙන යාමෙන් පමන යි.” එම මහජන අරගලය මර්දනයට හා බාධකවලට මුහුන දුන් බව ද පාර්ලිමේන්තු උපාමාරු වෙත හැරවුනු බව ද ඔහු පැවසීය. මෙම අරගලය දිගටම කරගෙන යාම සඳහා පාර්ලිමේන්තුවෙන් “එලියේ බලයක්” ගොඩනැගීමට ඔහු නැවත නැවතත් ආයාචනා කර සිටියේය.

ගුනරත්නම්ගේ ප්‍රකාශ, 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීමේදී පෙසප භූමිකාව වංචනික ලෙස වසන් කිරීමකි: එහි ක්‍රියා කලාපය කම්කරුවන් සහ තරුනයින් දේශපාලනික ව නිරායුධ කරමින්, ඔවුන්ව පාර්ලිමේන්තු උපාමාරුවල ආවෘත-අන්තයට ගෙන ගියේය. මිලියන ගනනක් ජනයා විරෝධතා සහ වැඩවර්ජන සඳහා වීදි බැස්සේ, උග්‍ර විදේශ විනිමය අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාවට විදේශ නය ගෙවීම පැහැර හැරීමට සිදු වූ පසු, දැවැන්ත මිල ඉහල යාම, ඉන්ධන, ආහාර සහ ඖෂධ හිඟයෙන් හා නිතිපතා විදුලිය කැපීමෙන් පීඩා විඳින තතු තුලය.

2022 අප්‍රේල් 28 බ්‍රහස්පතින්දා කොලඹ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරන වැඩ වර්ජනයක්. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසි නීතිය පැනවීමට සහ හමුදාව යොදාගෙන විරෝධය මර්දනය කිරීමට දැරූ උත්සාහයන් ට කම්කරුවන් සහ තරුනයින් විසින් අභියෝග කිරීමෙන් පසුව, පාලක පන්තිය මෙම මහජන ව්‍යාපාරය පාලනය කිරීමට මංමුලා සහගත විය. අවසානයේ රාජපක්ෂ ට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට සිදුවිය.

ධනේශ්වර විරුද්ධ පක්ෂවල, එනම් ජවිපෙ/ජාජබ සහ සමගි ජන බලවේගයේ (සජබ), පාර්ලිමේන්තු උපාමාරුවලට විරුද්ධ වීම වෙනුවට, මහජන අරගලය පාර්ලිමේන්තු ආවෘත-අන්තයට හරවා යැවීමේ දී පෙසප තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේය.

ජවිපෙ/ජාජබ සහ සජබ විසින් අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් පිහිටුවීමට යෝජනා කිරීමේ දී වෘත්තීය සමිති නිලධරයන් සමග එක්ව පෙසප ඒ සඳහා මූලිකත්වය ගත්තේය. “යථාර්ථවාදී විසඳුම වන්නේ” පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතා කන්ඩායම් සමඟ කටයුතු කිරීම සඳහා “පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ සියලු පක්ෂ එකතුවූ තාවකාලික අන්තර්වාර පාලනයක්” ස්ථාපිත කිරීමයි” එය ප්‍රකාශ කලේය. “ඉක්බිතිව ඉක්මනින් මැතිවරනයක් පැවැත්විය යුතු ය.” [මන්දිර කැලඹූ අරගලය, පෙසප ප්‍රකාශනය, 241 පිටුව]

වෙනත් වචන වලින් කිවහොත්, පෙසප සමස්ත ඉදිරිදර්ශනයම පදනම් ව තිබුනේ, “අන්තර්කාලීන ආන්ඩුවක්” සහ මැතිවරනයක් සඳහා පාර්ලිමේන්තුවේ උපාමාරුවලට වීදිවලට බට ජනතාව යටත් කිරීම මත ය. එහි ප්‍රතිඵලය වූයේ, මහජන සහයෝගයක් නොතිබූ, ජාමූඅ සහ එක්සත් ජනපදයේ කුප්‍රකට ගැත්තෙකු වන ,රනිල් වික්‍රමසිංහ සංගත ප්‍රභූවේ සහාය ඇතිව බලයට පත්වීමයි. ජවිපෙ/ජාජබ සහ සජබ එකඟතාවයෙන්, ඔහු වහාම ඩොලර් බිලියන 3 ක ජාමූඅ ඇප නයක් සඳහා සාකච්ඡා කර, එහි කප්පාදු ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට පටන් ගත් අතර මහජන විරෝධය මර්දනය කිරීම සඳහා පොලිසිය සහ හමුදාව මුදා හැරියේය.

පෙසප ද්‍රෝහිකමට එරෙහිව දේශපාලන විකල්පයක් තිබුනි. එය ඉදිරිපත්කල සමාජවාදී සමානතා පක්ෂය (සසප) ධනේශ්වර පන්තියේ සියලු පක්ෂවලින් සහ ඔවුන්ගේ වෘත්තීය සමිති උපකරනවලින් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා සටන් කලේය. ඔවුන්ගේ පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමේ මාධ්‍යයක් ලෙස සෑම වැඩබිමකම සහ අසල්වැසි ප්‍රදේශයකම කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට අපි ඉල්ලා සිටියෙමු.

සසප සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරන ලෙසත් මිලියන සංඛ්‍යාත ජනයා මුහුන දෙන සමාජ පීඩාව අවසන් කිරීම සඳහා අරමුදල් වෙන් කරන ලෙසත් ඉල්ලා සිටියේය. රාජපක්ෂගේ හදිසි නියෝගවලට එරෙහිව, අපි ඒකාධිපති විධායක ජනාධිපති ධුරය වහාම අහෝසි කරන ලෙස ඉල්ලා සිටියෙමු.

පෙසප පාර්ලිමේන්තු විපක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කල අතර, ඊට එරෙහිව, සසප වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ මූලෝපායක් සාකච්ඡා කිරීමට, සූත්‍රගත කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා වන ඉල්ලීම ඉදිරිපත් කලේය. සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ අරගලයක නියුතු විය යුතු බව අපි විවෘතව ම ප්‍රකාශ කලෙමු.

පෙසප ධනේශ්වර-ගැති වැඩපිලිවෙල

වසර තුනකට පසුවත්, පෙසප, කොලඹ දේශපාලන සංස්ථාපිතයේ සහකරුවෙකු ලෙස දිගටම ක්‍රියා කරයි. ගුනරත්නම් සිය මැයි දින කතාවේදී, වික්‍රමසිංහටත් “වඩා හොඳින්” ජාමූඅ කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රමුඛ ආන්ඩුව හෙලා දුටුවේය. වැඩ කරන ජනතාව මත බදු වැඩි කිරීම සහ ධනවතුන්ගෙන් බදු අය නොකිරීම සම්බන්ධයෙන් ඔහු එයට පහර දුන්නේය.

'ජාමූඅ මර උගුල පරාජය කිරීමේ” මාධ්‍යය “සමාජවාදය” බව පෙසප නායකයා ප්‍රකාශ කල මුත්, කම්කරු පන්තිය සඳහා කිසිදු සමාජවාදී ප්‍රතිපත්තියක් විස්තාරනය කලේ නැත. යථාර්ථයේ දී, පෙසප ක්‍රියාත්මක වන්නේ, සම්පූර්නයෙන්ම ධනවාදයේ රාමුව තුල ය; එය ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය මුලුමනින් පිලිගන්නා බව එහි ඓතිහාසික වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී, පෙසප මධ්‍යම කාරක සභාව, ජනාධිපති දිසානායක වෙත ලිපියක් යවමින් නය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාමූඅ සමඟ සාකච්ඡා පවත්වන ආකාරය පිලිබඳව උපදෙස් දුන්නේය. ජවිපෙ/ජාජබ ආන්ඩුවේ වගකීම, ජාමූඅ හි “අහිතකර” කොන්දේසි ඉවත් කරන “විකල්ප නය තිරසාර සැලැස්මක් ඉදිරිපත් කිරීම” බව එය ප්‍රකාශ කලේය. මෙය, ” එක්සත් ජනපද-ජාමූඅ න්‍යාය පත්‍රයෙන් ජනතාව බේරා ගැනීම සඳහා ප්‍රගතිශීලී සහ ඓතිහාසික ප්‍රවේශයක් වනු ඇත...” යනුවෙන් එහි සඳහන් විය.

ලිපිය යැවීමේදී, පෙසප තමන්ගේම මනඃකල්පිතයක් වන “ජාමූඅ වෙතින් ඉවත්වීමේ මූලෝපාය ” අතහැර දැමීය. ඒ සුත්‍රය අනුව, ලංකාවේ නය විශ්ලේෂනය කිරීම සඳහා විවිධ “වාමාංශිකයින්', බුද්ධිමතුන් සහ නීති විරෝධී නය අහෝසි කිරීමේ කමිටුව ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර ජාලයකින් සමන්විත නයගැතියන්ගේ සාමූහිකයක් පිහිටුවීමට එය යෝජනා කලේය. ජාමූඅ න්‍යාය පත්‍රයට සහාය දක්වන එම ජාත්‍යන්තර නයහිමියන් සමඟ සෘජුවම, වඩා හොඳ ගනුදෙනුවක් සාකච්ඡා කිරීම සඳහා “ජාමූඅ වෙතින් ඉවත්වීමට” එයට අවශ්‍ය විය!

දිසානායක ආන්ඩුව ජාමූඅ වෙත සම්පූර්නයෙන්ම යටත් වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ ධනේශ්වරයට—හා එමෙන්ම, කුමන හෝ නයගැති රටක පාලක පන්තියකට—ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය සමඟ කේවල් කිරීමට හැකියාවක් නොමැති බවයි. පෙසප යෝජනා දෙකම—ජාමූඅ සමඟ කොන්දේසි නැවත සාකච්ඡා කිරීම හෝ, ඒ වෙනුවට, ශ්‍රී ලංකාවේ නයහිමියන් සමඟ සෘජුවම සාකච්ඡා කිරීම මනෝරාජික සිහිනයන් විය.

පෙසප යෝජනාවලට මොනම ආකාරයක හෝ සමාජවාදී බවක් ගෑවීවත් තිබුනේ නැත. සමාජවාදීන් ජාමූඅ හෝ ජාත්‍යන්තර නයහිමියන් සමඟ කරන සාකච්ඡා වලදී ධනේශ්වර ආන්ඩුවලට උපදෙස් දෙන්නේ නැත. සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ ජාත්‍යන්තරව කම්කරුවන් සමඟ ඒකාබද්ධ අරගලයකින් ධනවාදය පෙරලා දැමීමෙන්, ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය අවසන් කිරීම සම්බන්ධව කම්කරුවන්ට පැහැදිලි කිරීමට සහ ඔවුන් ස්වාධීනව බලමුලු ගැන්වීමට අව්‍යාජ සමාජවාදීහු උත්සාහ කරති.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය වසර පුරා මැතිවරනවලදී සහ කම්කරු පන්තිය තුල දිනපතා පවත්වන උද්ඝෝෂනවලදී සටන් කලේ හරියටම එයට යි. සියලු විදේශ නය සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කරන ලෙසත්, ජනතාවගේ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා අරමුදල් නැවත වෙන් කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු. රටේ වසර 26 ක විනාශකාරී වාර්ගික යුද්ධය වෙනුවෙන් ගෙවීම හෝ විදේශීය හා දේශීය ආයෝජකයින් දිරිමත් කිරීම සඳහා දීමනා ලබා දීම වෙනුවෙන් එකතු වූ දැවැන්ත නය කන්දරාව සඳහා කම්කරුවන් සහ දුප්පතුන් වගකිව යුතු නොවේ.

පෙසප මූලාරම්භයෝ

ගුනරත්නම්ගේ නායකත්වයෙන් යුත්, ජවිපෙ සාමාජිකයින් පිරිසක් විසින් 2012 දී ඉන් බිඳී පෙසප පිහිටුවන ලදී. සිංහල ස්වෝත්තමවාදය සහ සුලු ධනේශ්වර රැඩිකල්වාදයේ පදනම මත, කලකිරුනු ග්‍රාමීය තරුනයින්ට ආයාචනා කිරීමෙන් ජවිපෙ 1960 ගනන්වල ස්ථාපිත කරන ලදී. ජවිපෙ මාක්ස්වාදය මත පදනම් නොවනවා පමනක් නොව, එය කම්කරු පන්තියට සතුරු විය. එහි දෘෂ්ටිවාදාත්මක පදනම් මාඕවාදී සහ කැස්ත්‍රෝවාදී ගොවි ගරිල්ලාවාදය තුල මුල් බැස තිබුනි.

ජාත්‍යන්තරව “සන්නද්ධ අරගලය” මත පදනම් වූ ඒ හා සමාන බොහෝ කන්ඩායම් මෙන්, 1990 ගනන්වල සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් හා ධනේශ්වර පුනස්ථාපනය දෙසට හැරී ගැනීමෙන් පසුව, ජවිපෙ ද කොලඹ දේශපාලන සංස්ථාපිතය තුල තැනක් ලබාගැනීම සඳහා තම ආයුධ බිම තැබීය. එය ක්‍රමයෙන් තම ව්‍යාජ සමාජවාදී සහ අධිරාජ්‍ය-විරෝධී වාචාල කතා අතහැර දැමීය.

කීකරු ජවිපෙ සාමාජිකයින් ලෙස, ගුනරත්නම් නායකත්වය දුන් කන්ඩායම, 1983 දී පුපුරා ගිය බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි කුරිරු දෙමල විරෝධී වාර්ගික යුද්ධයට පූර්න සහයෝගය දැක්වීම සහ 1994 සිට ධනේශ්වර ආන්ඩු සඳහා විවෘතව සහාය දැක්වීම ඇතුලු එහි ප්‍රතිපත්ති අනුගමනය කලහ.

පෙසප ආරම්භකයෝ ජවිපෙ හි “දේශපාලන වැරදි” කිහිපයක් නිසා එයින් වෙන් වූ බව කියා සිටියහ. යථාර්ථයේ දී, ජවිපෙ බලය ලබා ගැනීමේ අභිලාෂයන් සහිත පාර්ලිමේන්තු ධනවාදී පක්ෂයක් ලෙස උදක්ම ක්‍රියාත්මක වෙමින් සිටි අතර, 2004 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ධනේශ්වර සභාග ආන්ඩුවට එක්වීමට ගත් තීරනයෙන් එය වඩාත් පැහැදිලිව පෙන්නුම් කෙරිනි. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ආන්ඩුවේ වෙලඳපොල ගැති ප්‍රතිපත්ති ගොවීන් මත පැටවූ දිසානායක ද ඇතුලු ජවිපෙ නායකයින් හතර දෙනෙකු ඇමතිවරුන් බවට පත්විය.

2012 දී ප්‍රකාශයට පත් කරන ලද “පක්ෂය දෙස ස්වයං-විවේචනාත්මකව ආපසු හැරී බැලීමක් සහ අනාගතය වෙත ප්‍රවේශයක්” නම් වූ ලේඛනයෙහි, පෙසප, එල්ටීටීඊයට එරෙහි ප්‍රතිගාමී සිවිල් යුද්ධය නැවත ආරම්භ කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමට සහාය වීමට 2005 දෙසැම්බර් මාසයේ ජවිපෙ ඇති කරගත් ගිවිසුම ද උපුටා දක්වයි. රාජපක්ෂ අනුකම්පා විරහිතව යුද්ධය දියත් කල අතර, අවසානයේ එය 2009 දී දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් ඝාතනය කරමින් එල්ටීටීඊය පරාජය කිරීමෙන් අවසන් විය. 2010 දී, එල්ටීටීඊයට එරෙහි අවසාන ලේ වැකි ප්‍රහාරවලට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරන අපේක්ෂකත්වයට සහාය දැක්වීම සඳහා ජවිපෙ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය සමඟ පෙරමුනක් පිහිටුවා ගත්තේය.

ජවිපෙ හි “දේශපාලන වැරදි” පිලිබඳව පෙසප නායකයින්ගේ මෙම පසු විපරම්වල අරමුන වූයේ, කම්කරු පන්තියට එරෙහි ජවිපෙ අපරාධ සහ ධනේශ්වර පාලනයට මුක්කු ගැසීමේ එහි ක්‍රියාවන්ට තමන්ගේ සහාය දැක්වීම් සාධාරනීකරනය කිරීම සහ වසන් කිරීමයි.

පෙසප ජවිපෙන් වෙන්වීමට හේතු වූයේ, දේශපාලන මූලධර්ම නොව, වැඩ කරන ජනතාව අතර සහ විශේෂයෙන් තරුනයින් අතර ජවිපෙට ලැබුනු සහයෝගයේ තියුනු කඩා වැටීම යි. ෆොන්සේකා සහ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතව තරඟ කල 2010 පාර්ලිමේන්තු මැතිවරනයේදී, එයට කලින් පැවති ආසන 39 න් ඉතිරි කරගැනීමට හැකි වූයේ 4 ක් පමනි. එය එහි සාමාජිකයින් තුල කලකිරීමට හේතු විය. වසරකට පසු, ගුනරත්නම් ඇතුලු කන්ඩායම තම ශිෂ්‍ය සංවිධානයේ විශාල කොටසක් ද සමඟ පක්ෂයෙන් ඉවත් වී 2012 දී පෙසප පිහිටුවා ගත්හ.

පෙසප ජවිපෙන් වෙන් වූ නමුත් එහි ප්‍රතිගාමී වාර්ගික හා ධනේශ්වර ගැති දේශපාලනයෙන් බිඳී ගියේ නැත. ජවිපෙ හි ප්‍රතිගාමී ජාතිකවාදය සහ සිංහල ස්වෝත්තමවාදය තුල මුල් බැස ඇති එය, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මාක්ස්වාදී ඉදිරිදර්ශනයට අශමනීය ලෙස සතුරු වේ.

පෙසප ඉන්දියානු-විරෝධී ස්වෝත්තමවාදය

පෙසප යනු ජවිපෙ දූෂිත දේශපාලන උරුමයේ සැබෑ නියෝජිතයා බව සිය මැයි දින කතාවේදී ප්‍රකාශ කල ගුනරත්නම්, ජවිපෙ නායකයින් එය පාවා දුන් බවට චෝදනා කලේ ය.

ඔහුගේ කතාවේ අක්ෂය වූයේ, අප්‍රේල් 5 වන දින ජනාධිපති දිසානායක විසින් ලංකාවට පැමිනි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ අත්සන් කරන ලද ආරක්ෂක සහ ආර්ථික ගිවිසුම්වලට පහර දීමයි. 1971 අප්‍රේල් කැරැල්ලේදී සහ ඉන්දියානු අධිපතිවාදී සැලසුම්වලට එරෙහිව 1988-1990 ව්‍යාපාරයේදී “තම ජීවිත පරිත්‍යාග කල” අය “මහා පාවාදීමකට” ලක්කිරීම සම්බන්ධයෙන් ඔහු දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුන හෙලා දුටුවේය.

1971 සහ 1988-1990 කාලයේ ජවිපෙ හි සන්නද්ධ නැගිටීම් “සමාජවාදය සඳහා කල අරගල” බව ප්‍රකාශ කල ගුනරත්නම් පෙසප එම සම්ප්‍රදායන් දිගටම කරගෙන යන බවට පොරොන්දු විය. ඔහු පැවසුවේ, ජවිපෙ ආරම්භයේ සිටම “ඉන්දියානු ව්‍යාප්තිවාදයට” විරුද්ධ වූ බව යි. ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන් නවදිල්ලිය විසින් තම වාසිය සඳහා හසුරුවන බවට වන ජවිපෙ හි දෙමල-විරෝධී අපවාදය ඔහු පුනරුච්ඡාරනය කලේ ය.

එහි මුල් වසරවලදී, ජවිපෙ හි පන්ති පහකින් සමන්විත දේශන මාලාවකින් එකක් කැප වූයේ, “ඉන්දියානු ව්‍යාප්තිවාදය” පිලිබඳ කේඩරයට ඉගැන්වීම සඳහා ය. දෙමල කතා කරන වතු කම්කරුවන් ශ්‍රී ලංකාවේ වරප්‍රසාද ලත් සමාජ ස්ථරයක් බවත්, ඉන්දියාවේ “පස්වන කොලමක්” ලෙස ක්‍රියා කරන බවත් එය ප්‍රකාශ කලේය. මෙය කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමේ අරමුනින් ලක්ෂ සංඛ්‍යාත දුගී වතු කම්කරුවන්ට එල්ල කරන ලද නින්දිත ස්වෝත්තමවාදී ප්‍රහාරයක් මිස අන් කිසිවක් නොවේ.

'සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ආරම්භක ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය, 1970 දී ඔහුගේ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය සහ පන්ති ස්වභාවය යන ලිපි මාලාවේ දී, ජවිපෙ හි කම්කරු පන්ති විරෝධය සහ ස්වෝත්තමවාදී ස්වභාවය දීප්තිමත් ලෙස හෙලිදරව් කලේය. ජවිපෙ “ඒකාධිකාරී ප්‍රාග්ධනයේ නග්න මෙවලමක්” සහ “අනාගත ෆැසිස්ට් ව්‍යාපාරයකට භාවිතා කල හැකි කම්කරු පන්තියට සතුරු බලවේගයක්” බවට පරිනාමය විය හැකි බවට ඔහු නිවැරදි ලෙස අනතුරු ඇඟවීය.

කීර්ති බාලසූරියගේ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය සහ පන්ති ස්වභාවය කෘතියේ පලමු මුද්‍රනයේ කවරය (1970 දෙසැම්බර් 11) [Photo: WSWS]

1971 අප්‍රේල් මාසයේ පැවති ජවිපෙ කැරැල්ල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ධනේශ්වර සභාග ආන්ඩුවට එරෙහිව පැන නැගුනු කම්කරු පන්තියෙන් සම්පූර්නයෙන්ම හුදකලා වූ අතිධාවනකාරී නැගිටීමක් විය. 1970 මැතිවරනයේදී ජවිපෙ හි සහාය ලද මෙම ආන්ඩුව, කැරැල්ල නිර්දය ලෙස තලා දැමීම සඳහා හමුදාව බලමුලු ගන්වා, අවම වශයෙන් ගැමි තරුනයින් 15,000 ක් ඝාතනය කල අතර ජවිපෙ නායක රෝහන විජේවීර ඇතුලු තවත් දහස් ගනනක් සිරගත කලේය.

ජවිපෙ දේශපාලනයට විරුද්ධ වන අතරම, විකොස, සභාග ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා වූ තමන්ගේම දේශපාලන අරගලයේ කොටසක් ලෙස, මර්දනයට එරෙහිවත්, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහාත් ප්‍රතිපත්තිමය උද්ඝෝෂනයක් ගෙන ගියේය.

ජවිපෙ දක්ෂිනාංශික පරිනාමය පිලිබඳ බාලසූරියගේ අනතුරු ඇඟවීම්, එහි 1988-1990 කාලයේ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි දේශප්‍රේමී ව්‍යාපාරය මගින් සනාථ විය. දෙමල විරෝධී සිවිල් යුද්ධයෙන් පැනනැඟුනු දැවැන්ත අර්බුදයක් මධ්‍යයේ, කොලඹ ආන්ඩුව 1987 ජූලි මාසයේදී නවදිල්ලිය සමඟ ගිවිසුමට අත්සන් තැබීය. ගිවිසුම යටතේ, ඊනියා ඉන්දියානු සාම සාධක හමුදා එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිරට ඇතුලු වූ අතර දෙමල ප්‍රභූවට ඇතැම් සහන ලබා දෙන ලදී.

ජනතා විමුක්ති පෙරමුන, “මව්බිම” පාවාදීමක් ලෙස ගිවිසුම හෙලා දුටු අතර ගිවිසුමට එරෙහිව විරෝධතා සහ කැරලි සඳහා කැඳවුම් කලේය. එය විවෘතව ම සිංහල-වර්ගවාදී කන්ඩායම් කිහිපයක් සමඟ “මව්බිම සුරැකීමේ කිරීමේ ව්‍යාපාරය” පිහිටුවා ගත් අතර එහි සන්නද්ධ අංශය ලෙස “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය” ස්ථාපිත කලේය.

ජවිපෙ තුවක්කුකරුවෝ එහි දේශප්‍රේමී ව්‍යාපාරයට විරුද්ධ වූ කම්කරුවන්ට, දේශපාලන විරුද්ධවාදීන්ට සහ තරුනයින්ට ෆැසිස්ට් ප්‍රහාර එල්ල කල අතර, අවම වශයෙන් 6,000 ක් ඝාතනය කලහ. 1988 නොවැම්බර් මාසයේදී ගුරුවරයෙකු වූ ආර්.ඒ. පිටවෙල; පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සේවකයෙකු වූ පී.එච්. ගුනපාල; සහ 1989 අගෝස්තු මාසයේදී තරුනයෙකු වූ ග්‍රේෂන් ගීකියනගේ ඝාතනයට ලක් වූවන් අතර සිටි විකොස සාමාජිකයින් තිදෙනා ය.

විකොස ප්‍රතිගාමී ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ වූයේ “මව්බිම ආරක්ෂා කිරීමට” නොව, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමුහාන්ඩුවක් සඳහා අරගලයේදී සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමට ය.

පෙසප නායක ගුනරත්නම් එහි ෆැසිස්ට්වාදී ව්‍යාපාරය “සමාජවාදය සඳහා අරගලයක්” ලෙස හුවා දක්වනවා පමනක් නොව, එහි ඔහුගේ භූමිකාව ගැන විවෘතව ම පුරසාරම් දොඩව යි. ජවිපෙ තරුන නායකයෙකු ලෙස, නැගෙනහිර නගරයක් වන ත්‍රිකුනාමලයේ ඉන්දියානු මුරපොලකට ප්‍රහාරයක් එල්ල කරමින් ඉන්දීය හමුදාවන්ට එරෙහි ජවිපෙ සටනට එක් වූ බව ඔහු පවසයි.

ජවිපෙ තම ප්‍රතිගාමී ව්‍යාපාරය ගෙන ගියේ ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ එජාප ආන්ඩුව සමඟ සහයෝගීවය; 1989 දී ජවිපෙ නායක විජේවීර ඔහු සමග රහසිගත සාකච්ඡා පැවැත්වීය. කෙසේ වෙතත්, අවසානයේදී ප්‍රේමදාස ජවිපෙට පහර දුන්නේ විජේවීර නායකත්වයට ඇති බිය නිසා නොව, ජවිපෙට තම ග්‍රාමීය පදනම පාලනය කිරීමට හැකිවේදැයි ඔහු තුල තිබූ සැකය නිසාය. ප්‍රේමදාස හමුදාව සහ එහි ඝාතක කල්ලි මුදා හැර, විජේවීර ඇතුලු ජවිපෙ නායකයින් ඝාතනය කල අතර අවම වශයෙන් ග්‍රාමීය තරුනයින් 60,000 ක් ඝාතනය විය.

ගෝලීය ධනවාදයේ වත්මන් ගැඹුරු අර්බුදය මධ්‍යයේ, පෙසප ජවිපෙ හි සියලු ප්‍රතිගාමී සම්ප්‍රදායන් ආරක්ෂා කරන බවට ගුනරත්නම්ගේ දෙන ප්‍රතිඥාව, ශ්‍රී ලංකාවේ ඒකීය ධනේශ්වර ජාතික රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා ඕනෑම දෙයක් කරන බවට දෙන ප්‍රතිඥාවකි. ඔහුගේ මෙම ප්‍රකාශය කම්කරුවන් සහ තරුනයින් තියුනු අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය.

පෙසප විදේශ ප්‍රතිපත්තිය: නොබැඳි පිලිවෙත

ගුනරත්නම් තම මැයි දින කතාව තුල, ඔහුගේ ජාතිකවාදී, ඉන්දියානු-විරෝධී වහසිබස් අධිරාජ්‍ය-විරෝධී දෙඩවිලිවලින් සැරසීමට උත්සාහ කලේය. ඇමරිකාව ගෝලීය ආධිපත්‍යය සොයමින් චීනය ඉලක්ක කරන බවත්, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ චතුර්පාර්ශ්වික ආරක්ෂක සංවාදයේදී ඉන්දියාව එක්සත් ජනපදයට එක් වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. “ඉන්දියාව සමඟ ආරක්ෂක ගිවිසුමක් ඇති කර ගැනීම හොඳද? අපට නොබැඳි ප්‍රතිපත්තියක් තිබිය යුතුයි,” ඔහු පැවසීය. “

කෙසේ වෙතත්, නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය යුද-විරෝධී හෝ අධිරාජ්‍ය-විරෝධී වැඩපිලිවෙලක් නොවේ. 1960 ගනන්වල ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය, සීතල යුද්ධය අතරතුර ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ සෝවියට් සංගමය අතර උපාමාරු දැමීමට ඉන්දුනීසියාව සහ ඉන්දියාව වැනි රටවල් ගත් උත්සාහයක් විය. සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමඟ එය බිඳ වැටුනු අතර, එහි සාමාජිකයින් බොහෝ දෙනෙකු එක්සත් ජනපදය සමඟ විවෘතව ම පෙලගැස්වීමට එය හේතු විය.

ආසියාවේ යුද්ධය සඳහා ඇමරිකානු මිලිටරිය විශාල වශයෙන් ගොඩනැගීම මධ්‍යයේ, විශාල හා කුඩා රටවල් චීනයට එරෙහිව පෙල ගැසෙන ලෙස ඇමරිකා එක්සත් ජනපදය ඉල්ලා සිටින බැවින්, අද “නොබැඳි පිලිවෙත” සඳහා වන ආයාචනා නිෂ්ඵල ක්‍රියාවකි. අවි-හරනය සඳහා සාමවාදී ආයාචනා සමඟින්, “නොබැඳි පිලිවෙත” සේවය කරන්නේ කම්කරුවන් සහ තරුනයින් බෙලහීන විරෝධතා ව්‍යාපාර වෙත හරවා යැවීමට මිස යුද්ධය වැලැක්වීමට නොවේ.

ගුනරත්නම් ඉන්දියාවට පහර දෙන අතරම, ට්‍රම්ප්ගේ කොල්ලකාරී අරමුනු සම්බන්ධයෙන් නිහඬව සිටියි. ග්‍රීන්ලන්තය සහ පැනමා ඇල අත්පත් කර ගැනීම සහ 51 වන ඇමරිකානු ප්‍රාන්තය ලෙස කැනඩාව ඇතුලත් කර ගැනීම යන ඔහුගේ විවෘතව ම ප්‍රකාශිත අභිප්‍රායන් ද ඊට ඇතුලත් ය. ඔහු ඉන්දියාව සමඟ වන ආරක්ෂක ගිවිසුමට පහර දෙයි; එය ප්‍රතිගාමී බව නිසැක ය; නමුත් ශ්‍රී ලංකාව එක්සත් ජනපදය සමඟ ඇති කර ගත් ප්‍රවේශවීමේ සහ සේවා ලබා ගැනීමේ ගිවිසුම (ඇක්සා) සහ වොෂින්ටනයේ යුද සැලසුම් සමඟ එහි වර්ධනය වන ඒකාබද්ධතාවය ගැන ඔහුට කීමට කිසිවක් නැත.

පෙසප ජාතිකවාදය තුල මුල් බැස ඇති බැවින් එය අව්‍යාජ යුද-විරෝධී වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන යාමට ඓන්ද්‍රීයව ම අසමත් ය. වැඩෙන ලෝක යුද්ධයේ තර්ජනය ඇතුලුව, ජනතාව මුහුන දෙන දැවැන්ත ගැටලු සහ අන්තරායන් කිසිවක් ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳිය නොහැක.

දැනටමත් සිදුවෙමින් පවතින යුද්ධ සහ න්‍යෂ්ටික යුද්ධයක අනතුර නැවැත්විය හැක්කේ ධනවාදය අහෝසි කිරීමෙන් පමනි. එය කල හැක්කේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ සමාජවාදී සමානතා පක්ෂ පමනක් සටන් කරන, සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වූ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා පමනි.

සමාජවාදය සඳහා වන සටනේ මුවාත වන්නේ සියලු ආකාරයේ ජාතික අවස්ථාවාදයට එරෙහිව ජාත්‍යන්තරවාදය මත පිහිටා සිටීමයි. මාක්ස්වාදයේ සියලුම ශ්‍රේෂ්ඨ නියෝජිතයන්—මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කි—විසින් දියත් කරන ලද අරගලයේ කේන්ද්‍රයේ පැවතුනේ එයයි. ට්‍රොට්ස්කි විසින් ස්ටැලින්වාදයට සහ එහි ජාතිකවාදී ඉදිරිදර්ශනය වන තනි රටක සමාජවාදයට එරෙහිව දියත් කරන ලද දේශපාලන අරගලයේ අඛන්ඩතාවය හජාජාක නියෝජනය කරයි.

සමාජවාදී බවට පෙසප කරන ප්‍රකාශ අරටුවට ම සාවද්‍ය ය. එය කම්කරු පන්තිය මත පදනම් නොවන අතර, ධනවාදය පෙරලා දැමීමට නොව, එතුල තම පංගුව වැඩිදියුනු කර ගැනීමට කැමති ඉහල මධ්‍යම-පන්තියේ ධනවත් ස්ථර නියෝජනය කරයි. එහි ඉදිරිදර්ශනය වන්නේ පන්ති අරගලය නොව, පන්ති සහයෝගීතාවය සහ සම්මුතියයි. එහි ජාතිකවාදය සහ පන්ති දිශානතිය, මාක්ස්වාදයේ සහ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ප්‍රතිවිරුද්ධයෙන්, එනම්, ස්ටැලින්වාදයේ චීන ප්‍රභේදය වන මාඕවාදයෙන් සහ කැස්ත්‍රෝවාදයෙන් පිලිපන් ජවිපෙ න් සම්භව වේ.

අපගේ ඉතිහාසය සහ වැඩපිලිවෙල ප්‍රවේශමෙන් අධ්‍යයනය කර, ඉදිරියේ ඇති දැවැන්ත පන්ති අරගල සඳහා අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස සසප ගොඩනැගීමට එක්වන ලෙස අපි කම්කරුවන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading