රජය සතු පුද්ගලික සමාගමක් වන ලිට්‍රෝ ගෑස් ලංකා (පුද්ගලික) සමාගමෙහි මුතුරාජවෙල (වත්තල) පර්යන්තයේ සේවය කරන 250කට ආසන්න “මිනිස්බල” කම්කරුවන් තම දෛනික වැටුප රුපියල් 2,050 සිට රුපියල් 3,000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මැයි 14 දින එක්දින වැඩ වර්ජනයක නිරත වූහ. අනතුරුව, තමන්ගේ ඉල්ලීම් ගැන දින පහක් ඇතුලත සලකා බලා විසඳුමක් ලබා දෙන බවට “මිනිස්බල සමාගම්” වල නියෝජිතයන් දෙන ලද පොරොන්දුවක් මත කම්කරුවෝ උද්ඝෝෂනය තාවකාලිකව නැවැත්වූහ.
වර්ජනය පැන නැගුනේ, මෙම කම්කරුවන්, වසර ගනනාවක් පුරා පහල වැටුප් මට්ටම් යටතේ ඉතා රුදුරු සූරාකෑමකට ලක් කරන ලද තතු යටතේ ය. ඔවුහු, ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ඍජුව බඳවා ගැනුනු සේවකයන් නොවන අතර, ටස්මා ඉන්ටර්නැෂනල්, වීරසිංහ ඉන්ටර්නැෂනල් සහ විවිධසේවා යනාදි මිනිස්බල සමාගම් විසින් සපයනු ලැබූවෝ වෙති. ලිට්‍රෝ ගෑස් සමාගමේ, ස්ථීර සේවකයින් සිටින්නේ ඉතාමත් සුලු සංඛ්‍යාවකි.
තමා මුහුන දෙන රුදුරු කොන්දේසි පිලිබඳව එක් කම්කරුවකු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට මෙසේ පැවසීය:
'ලිට්‍රෝ සමාගමේ අපි මෑන්පවර් කම්කරුවෝ විදියට වැඩකරනවා. දැනට ලැබෙන්නේ දවසකට රුපියල් දෙදහස් පනහයි. අතිකාල පැයකට රුපියල් 170 ක් ලැබෙනවා. ඒකෙන් අපි කොහොමද ජීවත් වෙන්නේ? වෙන කරන්න දෙයක් නැති නිසා මේ පඩියට වැඩකරනවා. මෑන්පවර් කම්කරුවන්ගේ පඩි වැඩි වෙන්නේ අවුරුදු පහෙන් පහට. රුපියල් 240 ක් විතර තමයි මේ පාර වැඩි කරනවා කියන්නේ. ඒ කියන්නේ පඩියෙන් සියයට දහයක් විතර. අපිට මේ පාර තවම ඒක වැඩි කලෙත් නැ. ඒ පාර අපි ඔක්කොම කතා කරල දවසකට රුපියල් 3,000 ක් දෙන්න කියලා ස්ට්‍රයික් කලේ.'
සිලින්ඩරවලට ගෑස් පිරවීමේ සහ ඒවා වාහනවලට පැටවීමේ කාර්යය මෙම කම්කරුවන්ට පැවරී ඇත. එම කාර්යයේ දී අත් පා තුවාලවීම් සහ තැලීම් සිදුවන බවත්, එවන් අවස්ථාවල දී සුලු වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා දී, එදිනට පමනක් වැටුප් සහිත නිවාඩුවක් ලබා දෙයි. ආබාධයන් හේතුවෙන්, වැඩට යාමට නොහැකිවන අනෙක් දිනයන් සදහා වැටුප් නොලැබේ. ඉරිදා සහ පෝය දිනවලදී පවා ආයතනයේ වැඩ තිබුනොත් සේවයට පැමිනිය යුතු අතර, වැඩ නොමැති දින වල වැටුප් නොලැබේ. ආයතනය තුල වසර විස්සක පමන දිගු කලක් සේවය කල මිනිස්බල කම්කරුවන් පවා ස්ථිර සේවකයන් ලෙස බඳවාගෙන නොමැත.
තම සේවා ස්ථානයේ පවතින දුෂ්කර කොන්දේසි තවදුරටත් විස්තර කරමින් ඔහු කියා සිටියේ, “සේවා වැඩමුරය පටන් ගන්නෙ උදේ හතහමාරට වුනත් ඉවර වන වේලාව ස්ථීරව කියන්න බැරි” බවයි. ගෑස් රැගෙන යාමට කැඳවන වාහන සියල්ලටම ගෑස් පැටවියයුතු බව ද, වැඩ නිම කරනවිට බොහෝවිට මධ්‍යම රාත්‍රිය පසුවන බව ද ඔහු පැවසුවේය. ඔවුන්ගේ රැකියා ගිවිසුමට අනුව දිනකට පැය දොලහක් සේවය කල යුතු අතර ඉතිරි පැය ගනනට අදාලව අතිකාල ගෙවනු ලැබේ.
නිෂ්පාදන, ඉදිකිරීම්, ප්‍රවාහන සහ නිදහස් වෙලඳ කලාප යනාදී ක්ෂේත්‍රයන් හි බහුලව යොදා ගැනෙන මිනිස්බල කම්කරුවන් පොදුවේ මුහුන දෙන්නේ මේ හා සමාන වහල් කොන්දේසිවලටය. ඇඟලුම් කර්මාන්තය තුල යොදවනු ලැබ ඇති 350,000 ක කම්කරුවන්ගෙන් බහුතරයක් මිනිස්බල කම්කරුවෝ වෙති. මෙම කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1,200-2,000 ක් වන අතර සතියකට දින කිහිපයක් පමනක් ඔවුනට වැඩ ලැබේ.
කටුනායක ගුවන් තොටුපොලේ “එයාර් කාගෝ” සමාගමේ මිනිස්බල කම්කරුවෙකු ලෝසවෙඅ ට පැවසුවේ අතිකාල දීමනාද, නිවාඩු දිනයන්හි සේවය සඳහා ලැබෙන දීමනාද සමග ඔහුගේ මුලු මාසික වැටුප රුපියල් 50,000 නොඉක්මවන බවයි.
මිනිස්බල කම්කරුවන්ට විශ්‍රාම වැටුප් හෝ අර්ථසාධක අරමුදල් (ඊපීඑෆ්) අහිමි ය. ඕනෑම මොහොතක කවර හෝ වන්දියකින් තොරව සේවයෙන් ඉවත් කිරීමේ තර්ජනයට ඔවුහු සෑමවිටම මුහුන දී සිටිති. ඔවුන්ට වෛද්‍ය සහ රක්ෂන ආවරන නොමැත. දැනට නාමිකව පමනක් පවතින ඊනියා කම්කරු නීති සහ පනත් මිනිස් බල කම්කරුවන්ට අදාල නැත.
එමෙන්ම, වෘත්තීය සමිතියක් ගොඩනැගීමට හෝ සමිතියකට බැඳීමට හෝ කිසිදු අයිතියක් ඔවුන්ට නැත. සමස්තයක් ලෙස, වෘත්තීය සමිති, කම්කරුවන්ට එරෙහි ධනපති පංතියේ උපකරන බවට ලෝක පරිමානව පරිවර්තනය වී ඇති තතු යටතේ පවා, මිනිස්බල කම්කරුවන්ට මෙම තහංචිය පනවා ඇත්තේ, වෙනත් කවර ආකාරයකින් හෝ සංවිධානය වීමෙන් ඔවුන් වැලැක්වීමේ අරමුනෙනි.
කෙසේ නමුත්, මෙම කම්කරුවන්ගේ සේවය ලබා ගන්නා සමාගම්, ඔවුන් රුදුරු සූරාකෑමට ගොදුරු කරමින්, දැවැන්ත ලාභ උපයා ගනී. විගනකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවකට අනුව, 2023 මුදල් වසරේදී ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් මිලියන 1,540.4 ක ලාභයක් උපයා ඇත්තේ, පෙර වසරේ ලාභය වූ රුපියල් මිලියන 582.4 ඉක්මවා සියයට 250 කින් වාර්තාගත ලෙස ලාභය වැඩිකර ගනිමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලක ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත ක්‍රියාවට නංවා ඇති කප්පාදු වැඩපිලිවෙල යටතේ පුද්ගලීකරනය හෝ ප්‍රතිව්‍යූහකරනය කිරීමට නියමිත 400 කට අධික රාජ්‍ය ව්‍යවසායන් (එස්ඕඊ) අතර ලිට්‍රෝ ගෑස් සමාගම පවතී.
මෙම කප්පාදු ක්‍රියාවලිය යටතේ, ස්ථීර සේවයේ යෙදී සිටින ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා කප්පාදු කෙරෙන අතර, ඒ වෙනුවට මිනිස්බල කම්කරුවන් යෙදවීමට නියමිතය. ජාමූඅ කප්පාදු යටතේ රාජ්‍ය අංශයේ රැකියා 500,000 ක් කපා හැරීමට නියමිතය.
ශ්‍රීලංකා වරාය අධිකාරිය, ස්ථීර රැකියා කප්පාදුකොට මිනිස්බල කම්කරුවන් යොදවා ගැනීම පිලිබඳව මනා නිදසුනකි. 1979 සිට දියත්වූ වරාය පුද්ගලීකරනය මගින් සේවක සංඛ්‍යාව හරි අඩකට වඩා කපා හැර, ඒ වෙනුවට දරුනු සූරාකෑමේ කොන්දේසි යටතේ මිනිස්බල කම්කරුවන් සේවයේ යොදවා ඇත. පසුගිය වසර ගනනාව තුල රාජ්‍ය බැංකු, තැපැල් දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මන්ඩලය, වැනි රාජ්‍ය අංශයේ ආයතනවලටද මිනිස්බල කම්කරුවන් අනුයුක්ත කරනු ලැබ ඇත.
කම්කරුවන් දරිද්‍ර මට්ටමේ වැටුප් ලබන්නේ මූර්ත වැටුප් හා ආදායම් අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ජනගහනයෙන් සියයට 60 කට වැඩි පිරිසකට තම ආහාර ගැනීමේ රටාව වෙනස් කිරීමට සිදුව ඇති තතු යටතේය. 2024 ඔක්තෝබර් 10 වන දින නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිලිබඳ ලෝක බැංකුවේ යාවත්කාලීනයක් ප්‍රකාශ කලේ, 2024 දී “ආහාර අනාරක්ෂිතභාවය ඉහල මට්ටමක පවතින අතර දරිද්‍රතාවය දෙගුනයකට ආසන්න අගයක් දක්වා ඉහල ගොස්” ඇති බවයි. එය 2026 දක්වා පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත.
මෙම තතු යටතේ ලිට්‍රෝ ගෑස් සමාගමේ මිනිස්බල කම්කරුවකුගේ වැටුප දිනකට රුපියල් 3,000 ක් දක්වා වැඩි වූව ද, වැඩෙමින් පවතින ආර්ථික අර්බූදය හමුවේ එය කිසිසේත්ම නොසෑහේ.
ධනපති හාම්පුතුන්ට කම්කරුවන් මේ ආකාරයට සූරා කෑම පහසු කෙරී ඇත්තේ වෘත්තීය සමිති නායකයන් විසින් දශක ගනනාවක් පුරා කම්කරුවන් පාවා දෙමින් හාම්පුතුන්ගේ ප්‍රහාර කම්කරුවන් මත පැටවීමට දායකවීම නිසාවෙනි. වෘත්තීය සමිති කෙරෙහි කම්කරුවන්ට ඇත්තේ තදබල කෝපයකි. ආන්ඩුවේ ප්‍රහාරවලට සහ ධනපති සමාගම්වල සූරා කෑමට එරෙහි සටන කම්කරුවන් විසින් තම අතට ගතයුතු ය. ඒ සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමේ කම්කරුවන් තම වැඩබිම තුල, වෘත්තීය සමිතිවලින් සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනඟා ගැනීම අත්‍යවශය ය.