[මෙය Global explosion of military spending and the struggle against imperialist war යන මැයෙන් 2025 මැයි 06 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
හෙට, මැයි 3 වන දින, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිය ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැස්වීම ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 12:30 ට පවත්වයි. රැලියේ කේන්ද්‍රීය තේමාවක් වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයයි.
2024 දී ගෝලීය මිලිටරි වියදම් සඳහා ඩොලර් ට්‍රිලියන 2.7 ක දැවැන්ත මුදලක් ලේඛනගත කරමින් මේ සතියේ නිකුත් වූ ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂන ආයතනයේ (SIPRI - සිප්‍රි) වාර්තාව මෙම ඉදිරිදර්ශනයේ හදිසිභාවය ඉස්මතු කරයි.
ගෝලීය මිලිටරි වියදම්වලින් තුනෙන් එකකට වඩා ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් දරන ලද අතර, බයිඩන් පරිපාලනයේ අවසන් වසර වන 2024 තුල, වොෂින්ටනය යුද්ධය සඳහා ඩොලර් බිලියන 997 ක් වියදම් කලේය. ජර්මනියේ (ඩොලර් බිලියන 88.5 දක්වා) සහ ජපානයේ (ඩොලර් බිලියන 55.3 දක්වා) යුද අයවැයවල නාටකාකාර වැඩිවීමක් ද සංඛ්‍යාලේඛන මගින් හෙලි විය; එය, එක් වසරක් තුල, පිලිවෙලින්, සියයට 28 ක සහ සියයට 21 ක වැඩිවීමකි. ජර්මනිය 2023 දී හත්වන විශාලතම මිලිටරි වියදම්කරුගේ සිට පසුගිය වසරේ සිව්වන විශාලතමයා දක්වා ඉහල ගියේය.
ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නැටෝ සන්ධානය ඩොලර් ට්‍රිලියන 1.5 කට වඩා, එනම් ගෝලීය මුලු [මිලිටරි] වියදම් වලින් සියයට 55 කට වඩා වියදම් කර තිබේ. මෙය, යුක්‍රේනයේ සිදුවෙමින් පවතින යුද්ධයේදී, අධිරාජ්‍යවාදීන් විසින් කොල්ලකෑම සඳහා ඉලක්ක කර ඇති රුසියාව විසින් වෙන් කරන ලද ඩොලර් බිලියන 149 ට වඩා 10 ගුනයකින් වැඩිය.
පසුගිය දශකය පුරා මිලිටරි වියදම්වල නිර්දය වැඩිවීමක් දැකගත හැකි විය; එය, 2015 දී ඩොලර් ට්‍රිලියන 1.67 ක මුලු වියදමට වඩා ඩොලර් ට්‍රිලියන 1 ක වැඩි වීමකි. නමුත් මෙය, ගෙවූ මුල් මුදල පමනි. ප්‍රධාන බලවතුන් අතර ලෝකයේ නව නැවත-බෙදාගැනීමේ කොල්ලය තුල තම කොටස සහතික කර ගනුවස්, අධිරාජ්‍යවාදී බලවතුන් ඔවුන්ගේ යුද අයවැයට කල තවත් විශාල වැඩිවීම් එලිදරවු කර තිබේ.
සිකුරාදා නිකුත් කරන ලද, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2026 අයවැය යෝජනාවෙන්, පෙන්ටගනයට සියයට 13 කින්, එනම්, ඩොලර් ට්‍රිලියන 1.01 ක් දක්වා වැඩි කිරීමක් ඉල්ලා සිටී. මෙම දැවැන්ත මුදලට අරමුදල් සැපයීම සඳහා, ට්‍රම්ප් අධ්‍යාපන අයවැය සියයට 12 කින් කපා හැරීමටත්, අනෙකුත් තීරනාත්මක සමාජ වැඩසටහන් සමඟ ජාතික සෞඛ්‍ය ආයතන (එන්අයිඑච්) සහ රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථාන (සිඩීසී) සඳහා දැවැන්ත කප්පාදු පැනවීමටත් සැලසුම් කරයි.
යුරෝපයේ, ජර්මනිය යුද්ධයට සූදානම් වීම සඳහා යුරෝ ට්‍රිලියන 1 ක් (ඩොලර් ට්‍රිලියන 1.13 ක්) කැප කර ඇත: මාර්ග, පාලම් සහ රෝහල් වැනි සමාජ යටිතල පහසුකම් මිලිටරි භාවිතය සඳහා සූදානම් කිරීමට යුරෝ බිලියන 500 ක “විශේෂ අරමුදලක්” සහ මිලිටරි උපකරන මිලදී ගැනීම සඳහා යුරෝ බිලියන 500 ක් කැප කර ඇත. මිලිටරි උපකරන සඳහා වන යුරෝ බිලියන 500 ජර්මනියේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11 කට සමාන වේ; එය පලමු ලෝක යුද්ධයේ පලමු වසර තුල ජර්මානු යුද නය ප්‍රතිශතය වන දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.6 ට වඩා වැඩි ප්‍රමානයකි. 1938 දී හිට්ලර්ගේ මිලිටරි වියදම් මේ හා සැසඳිය හැකි මට්ටමකට ලඟා වූයේ, ඔහුගේ නාසි තන්ත්‍රය පාලන බලය ගෙන වසර පහකට පසු සහ දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට වසරකට පෙර, දැඩි ලෙස නැවත සන්නද්ධ වීමෙන් පසුව පමනි.
මිලිටරි අයවැයවල දැවැන්ත වර්ධනය ආයුධ නිෂ්පාදකයින්ට—නූතන මරනයේ වෙලෙන්දන් වන මූල්‍ය කතිපයාධිකාරයට—විපුල ලාභයක් සහතික වේ. 2023 දී, ඉහලම ගෝලීය අවි නිෂ්පාදකයින් 100 දෙනාගේ මුලු වෙලඳාම් ඩොලර් බිලියන 632 ක් බවට වාර්තා වූ අතර, එයින් ඩොලර් බිලියන 317 ක් එක්සත් ජනපද නිෂ්පාදකයින්ගේ ය.
දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි තන්ත්‍රයට අවි සැපයූ ජර්මනියේ රයින්මෙටල්, 2024 වෙලඳාමේ විශ්මයජනක සියයට 36 ක වර්ධනයක් අත්කර ගත් අතර මෙම වසරේ තවත් සියයට 25-30 ක වර්ධනයක් අපේක්ෂා කෙරේ. නැටෝ බලවතුන් විසින් මිලිටරි වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 දක්වා වැඩි කිරීම—මෙය ජර්මානු, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය ආන්ඩු විසින් අනුමත කරන ලද ඉලක්කයකි—2030 වන විට ඇනවුම් “යුරෝ බිලියන 400 දක්වා” වැඩි කරනු ඇතැයි රයින්මෙටල් යෝජනා කරයි.
සියලුම අධිරාජ්‍යවාදී බලවතුන් කියා සිටින්නේ, සිය මිලිටරි වියදම් තනිකරම ආරක්ෂක අරමුනු සඳහා බවයි; ඔවුන් තම අයවැයෙන් ඒ සඳහා වෙන් කරන කොටස නම් කර ඇත්තේ “ආරක්ෂක වියදම්” ලෙස ය. මෙය විකාර සහගත බොරුවකි. වොෂින්ටනයේ, බර්ලිනයේ, ලන්ඩනයේ, පැරිසියේ හෝ ටෝකියෝවේ වේවා, පාලක ප්‍රභූන්, ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම තම ප්‍රතිවාදීන්ට සහ නාමමාත්‍ර “සහචරයින්ට” එරෙහිව මිලිටරි ක්‍රම මගින් තම කොල්ලකාරී ආර්ථික සහ භූ මූලෝපායික අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට උපරිමයෙන් සන්නද්ධ වෙමින් සිටිති.
අධිරාජ්‍යවාදී බලයන් සමඟ යම් සම්මුතියක් සඳහා මංමුලාසහගත ප්‍රයත්නයක යෙදී සිටින පාලන තන්ත්‍රයන් වන රුසියාව සහ චීනය සම්බන්ධයෙන් ගත් කල, අධිරාජ්‍යවාදය සමඟ ගනුදෙනුවක් සඳහා සහ තමන්ගේම රටවල කම්කරු පන්තිය සූරාකෑමේ “අයිතිය” ආරක්ෂා කිරීම සඳහා ඔවුහු මිලිටරි යුද මෙහෙයුම් තර්ජන සහ ප්‍රතිගාමී ජාතිකවාදය යොදා ගනිති.
අමුද්‍රව්‍ය, වෙලඳපොලවල්, ශ්‍රම-තටාක සහ ලොව පුරා බලපෑම් ක්ෂේත්‍ර පාලනය කිරීම සඳහා අධිරාජ්‍යවාදී යුද්ධ පුපුරා යාම සමඟ පසුගිය දශකය තුල මිලිටරි වියදම්වල පුපුරන සුලු වර්ධනය අත්වැල් බැඳගෙන ඇත. 2014 දී, ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය කියෙව්හි ෆැසිස්ට්වාදීන් මෙහෙයවූ කුමන්ත්‍රනයක් දියත් කලේ, රුසියානු හිතවාදී ජනාධිපතිවරයා පෙරලා දමා, යුක්‍රේනය සෘජුවම අධිරාජ්‍යවාදී පාලනය යටතට ගෙන ඒමට ය; එය 2022 දී යුක්‍රේනය ආක්‍රමනය සඳහා මොස්කව් ප්‍රකෝප කිරීමටත්, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයටත් හේතු විය.
වසර දහයකට පසු, ෆැසිස්ට්-මානසිකත්වයෙන් යුත් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් වොෂින්ටනය, තුන්වන ලෝක යුද්ධයකට වේගයෙන් වර්ධනය වන ගැටුම්, විවිධ පෙරමුනු වල උත්සන්න කරමින් සිටී. යුක්‍රේනය, රුසියාව සහ සමස්ත යුරේසියානු භූමි ප්‍රදේශයම ඇමරිකානු ප්‍රාග්ධනයේ අවශ්‍යතාවලට යටත් කිරීම අරමුනු කරගත් අඛන්ඩ යුද්ධවලට අමතරව, චීනයේ ආර්ථික නැග්ම වැලැක්වීම සඳහා, වොෂින්ටනය එය සමග, ආසියා-පැසිෆික් කලාපයේ යුද්ධයකට විවෘතවම සූදානම් වෙමින් සිටී.
මෑත වසරවල තියුනු මිලිටරි වියදම් වැඩිවීම් වල ගාමකය, 2022 එක්සත් ජනපද ජාතික ආරක්ෂක මූලෝපාය බව නවතම සිප්‍රි වාර්තාව පැහැදිලිව පෙන්වා දුන්නේය. එලඹෙන “තීරනාත්මක දශකය” තුල රුසියාව සහ චීනය පරාජය කිරීමට පොරොන්දු වූ බයිඩන් පරිපාලනයේ ජාතික ආරක්ෂක මූලෝපාය නිකුත් කොට සති දෙකකට පසුව එලිදක්වන ලද එම ලේඛනය චීනය විස්තර කරන්නේ, “එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට වඩාත්ම පුලුල් හා බරපතල අභියෝගය” ලෙසට ය.
මැද පෙරදිග දී, බලශක්තියෙන් පොහොසත් කලාපය මත තම අනභියෝගී ආධිපත්‍යය සුරක්ෂිත කර ගැනීමේ වොෂින්ටනයේ අධිෂ්ඨානය, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය සිදු කල ජන සංහාරයට සහාය දැක්වීමට හේතු වී තිබේ. වොෂින්ටනය සහ බර්ලිනය සියොන්වාදී තන්ත්‍රයට ඩොලර් බිලියන ගනනක ආයුධ සැපයූ අතර, එමඟින් ලෙබනනයට ලේ වැකි ප්‍රහාරය පුලුල් කිරීමට ඉඩ සැලසීය; එහිදී ඔවුන් දස දහස් ගනනක් මරා දමා ආබාධිත කල අතර, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන කලාපීය ඉලක්කය වන ඉරානයට ප්‍රහාර දියත් කලහ.
යේමනයේ ඉරානය සමග පෙලගැසී සිටින හූති කරලිකරුවන්ට එරෙහිව මාර්තු මාසයේදී ට්‍රම්ප් විසින් ආරම්භ කරන ලද ම්ලේච්ඡ බෝම්බ හෙලීමේ ව්‍යාපාරයේ පලමු මාසය තුලම, එක්සත් ජනපදය විසින් ඩොලර් බිලියන 1 ක අවි ආයුධ සහ මිලිටරි සම්පත් වියදම්කොට ඇති බව වාර්තා වේ.
යුරෝපීය අධිරාජ්‍යවාදීන් වැඩි වැඩියෙන් තම පැරනි එක්සත් ජනපද සගයා සතුරෙකු ලෙස සලකන අතර ගෝලීය ආධිපත්‍යය සඳහා අරගලයේ දී වොෂින්ටනයේ කෙනෙහිලිකම් දරා ගැනීමට කිසිදු අදහසක් නැත. ට්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” විදේශ ප්‍රතිපත්තිය යනු, පශ්චාත් යුධ සමයේ ආධිපත්‍යය දැරූ පාර-අත්ලාන්තික් සම්බන්ධතාවයේ (transatlantic relationship) අවසානය බව හඳුනා ගනිමින්, යුරෝපීය බලවතුන්, එක්සත් ජනපදයෙන් ස්වාධීනව යුද්ධ කල හැකි වන පරිදි නැවත සන්නද්ධ කිරීමේ මෙහෙයුම් වේගවත් කරමින් සිටිති.
මෙම ක්‍රියාවලිය පන්ති ගැටුම් තියුනු ලෙස උග්‍ර කරනු ඇත. මෑතකදී, යුද වියදම් සඳහා අතිරේක යුරෝ බිලියන 800 ක් කැප කරන බවට පොරොන්දු වූ යුරෝපීය සංගමය පුරා, එහි සාමාජික රටවල් 27 තුල, 2024 දී මිලියන 93 ක ජනතාවක් හෙවත් ජනගහනයෙන් සියයට 21 ක් දරිද්‍රතාවයේ ජීවත් වූහ.
සෑම අධිරාජ්‍යවාදී රටකම නිල දේශපාලන ජීවිතය තුල ආධිපත්‍යය දරන මූල්‍ය කතිපයාධිකාරීන්ගේ අදහස, මිලිටරිවාදයේ සහ යුද්ධයේ බර කම්කරු පන්තියේ උර මත පැටවීම ය.
මේ සඳහා, ආන්ඩු, රාජ්‍ය වියදම් සහ සියලු සමාජ සේවා කපා හරිමින් ද, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි මහජන විරෝධය මැඩපැවැත්වීම සඳහා ඒකාධිපති පාලන ක්‍රම ස්ථාපිත කරමින් ද සිටී. වෘත්තීය සමිති, යුද්ධය සඳහා කම්කරුවන් බලමුලු ගැන්වීමට පාලක පන්තිය විසින් භාවිතා කරන ජාතිකවාදී අන්ධදේශානුරාගය අවුස්සමින් සිටින අතර සිවිල් ජනයා සඳහා කරන නිෂ්පාදනය මිලිටරි නිෂ්පාදනයක් බවට පරිවර්තනය කිරීම උද්‍යෝගයෙන් ප්‍රවර්ධනය කරයි.
ට්‍රම්ප්ගේ මිලිටරි වියදම් තවදුරටත් වැඩි කිරීම පිලිබඳ නිවේදනය, එක්සත් ජනපදය තුල ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩනැගීමට, ලක්ෂ සංඛ්‍යාත රජයේ සේවකයින් සේවයෙන් පහ කිරීමට සහ සමස්ත රාජ්‍ය දෙපාර්තමේන්තු වසා දැමීමට ඔහු ගෙන යන අනවරත තල්ලුව සමග අත්වැල් බැඳගෙන තිබේ.
පසුගිය දශකය තුල ජර්මනියේ මිලිටරි වියදම් සියයට 80 ඉක්මවමින් යලි ඉහල නැංවුනේ, දරිද්‍රතාවයේ සහ අසමානතාවයේ මට්ටම් තියුනු ලෙස ඉහල යද්දී ය. පාලක ප්‍රභූව, අන්ත-දක්ෂිනාංශික, 'ජර්මනිය සඳහා විකල්පය' (ඒඑෆ්ඩී) ස්වරූපයෙන් ෆැසිස්ට්වාදය ක්‍රමානුකූලව පුනරුත්ථාපනය කර ඇති අතර සෞඛ්‍ය සේවා සඳහා වන වියදම් ඇටපොත්තටම කප්පාදු කර ඇත.
අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ව ඇත්තේ, තම කොල්ලකාරී ගෝලීය අභිලාෂයන් සුරක්ෂිත කර ගැනීම සඳහා 20 වන සියවසේ ලෝක යුද්ධ දෙකේදී පැවති කුරිරු, ඒකාධිපති සමාජ ක්‍රමය දක්වා ඔරලෝසුව ආපසු කරකැවීමටයි.
පලමුවන ලෝක යුද්ධයේ ලේ වැකි සංහාරය අවසන් කරන ලෙස ඉල්ලා සිටි 1916 දී බර්ලිනයේ පැවති ඔහුගේ ප්‍රසිද්ධ මැයි දින කතාවේදී, ජර්මානු සමාජවාදී කාල් ලිබ්නෙක්ට්, එවකට ජර්මානු පුරවැසියන් භුක්ති විඳි “මහා ප්‍රෂියානු රාජ්‍ය වරප්‍රසාද තුන” කටුක උත්ප්‍රාසයෙන් යුතුව හෙලා දුටුවේය: “අපට සොල්දාදුවන් විය හැක, අපට බදු ගෙවිය හැක, අපට ගොලුවන් සේ සිටිය හැක.”
අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයේ සහ ඒකාධිපතිත්වයේ පාලක ප්‍රභූන්ගේ යලිනැග්ම නැවැත්වීමට සමත් සමාජ බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියයි. ට්‍රම්ප්ට එරෙහිව වැඩෙන විරෝධයෙන් ද, යුරෝපය සහ උතුරු ඇමරිකාව පුරා වැඩවර්ජනවල නැගීමෙන් ද පෙන්නුම් කරන පරිදි, ජාත්‍යන්තර කම්කරු පංතිය දැනටමත් ප්‍රධාන පන්ති සටන්වල නිරත වී සිටී. ගාසා සංහාරයට එරෙහි ගෝලීය මහජන විරෝධතා, සියොන්වාදී තන්ත්‍රයේ සහ එහි අධිරාජ්‍යවාදී අනුග්‍රාහකයන්ගේ ම්ලේච්ඡත්වයට මිලියන සංඛ්‍යාත ජනතාවගේ කටුක සතුරුකම ප්‍රකාශ කරයි.
තීරනාත්මක කර්තව්‍යය වන්නේ, අරගලයේ යෙදෙන කම්කරුවන් මිලිටරිවාදයට, යුද්ධයට සහ ඒවායේ මූල හේතුව වන ධනේශ්වර ලාභ ක්‍රමයට විරුද්ධ වීම සඳහා අවශ්‍ය සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීමයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මැයි 3 වන දින අනුග්‍රහය දක්වන ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලිය මෙම සටනට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇත. අපගේ සියලුම පාඨකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ එයට සහභාගී වන ලෙසයි.