ව්‍යාජ-වාම පෙසප, පලාත් පාලන ආයතන තුල ජවිපෙ/ජාජබ බලය තහවුරු කිරීමට සහාය දෙයි

පසුගිය පලාත් පාලන මැතිවරනයේදී, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) පැහැදිලි බහුතරයක් දිනාගැනීමට අසමත් වූ ආයතනයන්හි බලය පිහිටුවීම සඳහා ජන අරගල සන්ධානයේ සහයෝගය ලබා දීමට “ප්‍රතිපත්තිමය” වසයෙන් එකඟතාවකට පැමින ඇති බව, එම සන්ධානයට අයත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, මැයි 08 දා හිරු රූපවාහිනී නාලිකාවේ “බලය” වැඩසටහනට සහභාගි වෙමින් පැවසීය.

පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවක් අමතමින් [ෆේස්බුක් පින්තූරය] [Photo by Facebook]

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු ප්‍රහාර වේගවත් කිරීම සඳහා තම අත ශක්තිමත් කරගනුවස්, පලාත් පාලන ආයතනවල අතිමහත් බහුතරයක බලය දිනාගැනීමට දිසානායක අපේක්ෂා කල නමුත්, මහ මැතිවරනයට සාපේක්ෂව, පලාත් පාලන මැතිවරනයේදී ජවිපෙ/ජාජබ ට ලැබුනු ඡන්ද සංඛ්‍යාව මිලියන 2.3 කින් පහත වැටුනි.

ඒ හේතුවෙන්, පලාත් පාලන ආයතන 339 ක් සඳහා පැවති ඡන්ද විමසීමේදී, ජවිපෙ/ජාජබ ට පූර්න බහුතරයක් ලබාගත හැකි වූයේ ආයතන 166ක පමනි. තවත් ආයතන 99 ක වැඩි ඡන්ද සංඛ්‍යාව දිනා ගත් නමුත් පූර්න බහුකරයක් නොමැති බැවින්, තම පරිපාලනයක් පිහිටුවීම සඳහා විරුද්ධ පක්ෂ හෝ ස්වාධීන පුද්ගලයින් සමඟ සාකච්ඡා කිරීමට ජවිපෙ/ජාජබ ට සිදුව ඇත.

'නීතිය කෙසේ වෙතත්', කිසියම් පලාත් පාලන ආයතනයක් සඳහා වැඩිම ඡන්ද රැගෙන ඇති පක්ෂයට හෝ කන්ඩායමට එම ආයතනයෙහි බලය පිහිටුවීම සඳහා “සදාචාරාත්මක අයිතියක්” ඇතිබව ජයගොඩ පැවසීය. ජවිපෙ/ජාජබ එසේ වැඩි ඡන්ද ලබාගෙන ඇති සහ තම සන්ධානයේ සහයෝගය “තීරනාත්මක” වන, බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව-පරනගම සහ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම පලාත් පාලන ආයතනයන් දෙකෙහි බලය පිහිටුවීමේදී, තම සන්ධානයේ සහයෝගය ජවිපෙ/ජාජබ ට ලබාදෙන බව ඔහු කීවේය.

ජවිපෙ/ජාජබ ආරක්ෂාකර ගැනීමට පෙසප මෙසේ ඉදිරියට පැන ඇත්තේ, ජවිපෙ/ජාජබ ට පැහැදිලි බහුතරයක් නොමැති පලාත් පාලන ආයතන තුල බලය අත්කර ගැනීම සඳහා, එම ආයතන වලට තේරි පත්ව ඇති අනෙකුත් නියෝජිතයන්ගේ පක්ෂ සහ කන්ඩායම් අතර නොයෙකුත් සාකච්ඡා සහ ගනුදෙනු සිදු වෙමින් පවතින තතු තුලයි.

පෙසප තොරොම්බල් කරන “දේශපාලන සදාචාරමය අයිතිය', පලාත් පාලන ආයතන 265 ක බලය පිහිටුවීමට තමාට “ජනවරමක්” ලැබී ඇති බවට ජවිපෙ/ජාජබ ඉදිරිපත් කරන තර්කය සමග තකටතක ගැලපේ.

ජවිපෙ 60 වන සංවත්සරය සමරමින් කොලඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති රැස්වීමේදී මෙම “ජනවරම” ඉදිරියට දමමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ පැවසුවේය: “ජනවරමට එරෙහිව කවුරුහරි කටයුතු කරනවානම්, ව්‍යවස්ථාව, නීතිය, දේශපාලනය, මේ ඔක්කෝගෙන්ම අපි වැඩ කරන්න ලෑස්තියි.” අනතුරුව ඔහු, ජවිපෙ/ජාජබ වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්, නමුත් බහුතරයන් නොමැකි ආයතනවල, වෙනත් පක්ෂ සහ කන්ඩායම් එකතුව බලය පිහිටවුවහොත්, ඒවාට වැඩිකල් පැවතීමට ඉඩ නොදෙන බවට මෙසේ තර්ජනය කලේය: “හදන්න....හදන්න....හදල පුලුවන්නම් මාස තුනක් හතරක් යන්න එච්චරයි මම කියන්නෙ.”

අවශ්‍ය වුවහොත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය යොදා ගනිමින් ව්‍යවස්ථාව ද වෙනස් කරන බවට ඉඟි කරමින්, “දන්නවනෙ, නීති මදිනම් තුනෙන් දෙකක් තියෙනව” යැයි දිසානායක කීවේය. දිසානායක කරන මෙම තර්ජනයේ “දේශපාලන සදාචාරය” සමිබන්ධයෙන් පෙසප මෙතෙක් කට ඇර නැත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල අකුරටම ක්‍රියාත්මක කරමින් සිටින සහ එම කප්පාදු ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිත කොටස් රුදුරුම ආකාරයෙන් මඩිනුවස් ආඥාදායකත්වයක් වෙතට වේගයෙන් මාරු වෙමින් සිටින, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ පාලනයට පෙසප දෙන මෙම ප්‍රතිගාමී සහයෝගය, “සදාචාරාත්මක අයිතියේ” කඩතුරාවෙන් ආවරනය කිරීම සඳහා පෙසප නායක, එහි ප්‍රධාන ලේකම්, කුමාර් ගුනරත්නම් ද, මැයි 11 දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී දැඩි උත්සාහයක් ගත්තේ ය.

ගුනරත්නම් මෙසේ පැවසීය: “දේශපාලන සදාචාරය පැත්තෙන් ගත්තොත් බහුතරයක් සභාවල (පලාත් පාලන ආයතන වල) බලය පිහිටුවීමේ දේශපාලන සදාචාරමය අයිතිය මාලිමාවෙ කන්ඩායමට (ජවිපෙ/ජාජබ) තියෙනබව අපි පොඩ්ඩක්වත් ප්‍රතික්ෂේප කරන්නෙ නෑ.'

ජවිපෙ/ජාජබ ආන්ඩුවට විරුද්ධ බවක් පෙන්නුම් කරමින් ඔහු කියා සිටියේ, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ දේශපාලන සහ ආර්ථික පිලිවෙත්, විපක්ෂ සමගි ජන බලවේගය (සජබ), ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ එක්සත් ජාතික පක්ෂය ඇතුලු අනෙකුත් පක්ෂවල “ජනතා විරෝධී” පිලිවෙත් වලින් වෙනස් නොවන බවයි.

ජවිපෙ/ජාජබ ට පෙසප පෙන්වන විරුද්ධත්වය ව්‍යාජ ය, වංචනික ය. මේ සියලු පක්ෂවල පිලිවෙත් සමාන බව පවසන ගමන්ම, පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා, ජවිපෙ/ජාජබ ට පෙසප ප්‍රසිද්ධියේම සහයෝගය දෙයි.

පෙසප, වත්මන් ජාජබ/ජවිපෙ ආන්ඩුව ආරම්භයේ සිට එය රැකීමට කැපවන පක්ෂයකි. 2024 ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරනය ජවිපෙ/ජාජබ ජය ගැනීම ඔවුන් ගුනාංගීකරනය කලේ “ජනතා අපේක්ෂාවන් ප්‍රකාශයට පත්වීමක්” ලෙසිනි. ගුනරත්නම්, මෙම මාධ්‍ය හමුවේදී ද එය පුනරුච්චාරනය කලේය. ජයගොඩ, ඉහත “බලය” වැඩසටහනේදී ජවිපෙ/ජාජබ ට දෙන සහයෝගය සාධාරනීකරනය කලේ ද මෙම ගුනාංගීකරනය මත පාදක වෙමිනි.

මෙම ගුනාංගීකරනය මුලුමනින්ම සාවද්‍ය ය. ජවිපෙ/ජාජබ එම මැතිවරන ජයගෙන බලයට පත්වූයේ, දැවෙන ප්‍රශ්න වලට වහා විසඳුම් ලබාදෙන බවට පොරොන්දු මාලාවක් ලබාදෙමින්, සම්ප්‍රදායික පක්ෂ කෙරෙහි වැඩී තිබුනු දැවැන්ත මහජන කෝපය ගසා කමිනි.

කම්කරු පංතික ආස්ථානයෙන් ගත් කල, “දේශපාලන සදාචාරයේ” ප්‍රථම ගුනාංගය වනුයේ කම්කරු පංතියට සත්‍යය පැවසීමයි. ඉහත 2024 මැතිවරනවල දී ජවිපෙ/ජාජබ ලබාගත් ජයග්‍රහනය පැහැදිලි කරමින් සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ ලිවීය:

'ජවිපෙ/ජාජබහි “සංස්ථාපිත-විරෝධී” ප්‍රතිරුපය හා ව්‍යාජ පොරොන්දු මත පදනම් වන එහි ආන්ඩුවෙන් කම්කරුවන් හා තරුනයන් අපේක්ෂා කරන දෙයත් ලංකාවේ හා ගෝලීය ප්‍රාග්ධනය වෙනුවෙන් එය ක්‍රියාවට දමනු ඇත්තාවූ මහව්‍යාපාරික-ගැති හා අධිරාජ්‍ය-ගැති න්‍යාය පත්‍රයත් අතර ඇත්තේ යෝධ පරස්පරයකි.'

මාස හයක් වැනි කෙට් කාලයක් තුල සසප පෙරදුටු දෑ බලගතු ලෙස සනාථ වී ඇත. ජවිපෙ/ජාජබ ආන්ඩුව, ඉහත මැතිවරන වලදී මහජනතාවට දුන් පොරොන්දු වහා කුනුකූඩයට විසිකොට, “මහව්‍යාපාරික-ගැති හා අධිරාජ්‍ය-ගැති න්‍යාය පත්‍රය” ට අනුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු විධානයන් අකුරටම ක්‍රියාවට නංවමින් සහ කම්කරුවන්, ශිෂ්‍යයන් සහ අවශේෂ කොටස් තුලින් එම කප්පාදු වලට එරෙහිව මතුවන සෑම විරෝධයක් ම තලා දමමින් සිටී. ඒ සමගම චීනයට එරෙහි එක්සත් ජනපද යුද මූලෝපායික වැඩකටයුතු වලට ශ්‍රී ලංකාව වඩවඩාත් ඒකාග්‍ර කරමින් පවතී.

මහමැතිවරනයට සාපේක්ෂව, පලාත් පාලන මැතිවරනයේදී ජවිපෙ/ජාජබ ට ඡන්ද මිලියන 2.3 ක් අහිමි වීම, ඉහත වැඩකටයුතු සම්බන්ධයෙන් ආන්ඩුව කෙරෙහි වැඩෙන විරෝධයේ ප්‍රකාශනයකි.

පෙසප නායක ගුනරත්නම් ඉහත මාධ්‍ය සාකච්ඡාවේදී කියා සිටියේ, පාර්ලිමේන්තුවට “පිටත බලයක්” ගොඩනගමින් ආන්ඩුවේ මෙම න්‍යාය පත්‍රය පරාජය කිරීමට, කටයුතු කරන බවයි. “පිටත බලය ගොඩනැගීමේ” මෙම මන්ත්‍රය පෙසප ජප කරනුයේ, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය පැවතියදී, ධනපති ආන්ඩුවලට පීඩනය යොදා ඒවායේ ප්‍රහාර ආපසු හැරවිය හැකිය යන මිත්‍යාවේ කම්කරු පන්තිය සහ අනෙකුත් පීඩිත කොටස් ගිල්වා, ධනපති පංති පාලනය ආරක්ෂාකරදීමේ අවශ්‍යතාවයෙනි.

ජාත්‍යන්තර පරිමාන අත්දැකීම් මගින් යලියලිත් තහවුරු කරන්නේ, ගෝලීය ධනපති ක්‍රමය මුහුන දී සිටින ඓතිහාසික අර්බුදය හමුවේ, ධනපති ආන්ඩු වලට පීඩනය යෙදීමෙන් ඒවායේ ප්‍රහාර ආපසු හැරවිය නොහැකි බවයි. මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ලෝක පරිමානව ගොඩනගමින් ධනපති ක්‍රමය ගෝලීය පරිමානව පෙරලා දැමීමට සටන් කිරීමෙන් පමනි.

මෙම වැඩපිලිවෙලට එරෙහි පෙසප, ධනපති පංති පාලනය ආරක්ෂාකරදීමේ ලා ඉටු කරමින් සිටින භූමිකාව 2022 මහජන නැගිටීමේදී වඩාත් විශදව ප්‍රකාශයට පත් විය. එම නැගිටීම තුල, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව, සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ කම්කරු-ගොවි ආන්ඩුවකින් විස්ථාපනය කිරීමේ ඉදිරි දර්ශනය සසප ඉදිරිපත් කල අතර, එයට එරෙහි වූ පෙසප, සජබ සහ ජවිපෙ/ජාජබ ගෙන ආ “අන්තර්වාර ආන්ඩු” වැඩපිලිවෙල යටතට මහජන නැගිටීම හරවා යැවීමට වෘත්තීය සමිති නිලධරය සමග එක්ව වැඩ කලහ.

පෙසප ඇතුලු ව්‍යාජ-වාම කන්ඩායම් ඉටුකල එම ද්‍රෝහී ක්‍රියාකලාපයේ ප්‍රතිඵලය වූයේ, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ නියෝජිතයෙකු ලෙස කුප්‍රකට සහ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිගු කාලීන ගැත්තෙකු වන රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පැමිනීමයි. ඔහු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල වහා ක්‍රියාවට නැංවීය. ඒ සමගම එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ භූ-මූලෝපායික වැඩකටයුතු වලට ශ්‍රී ලංකාව වඩවඩාත් ඒකාග්‍ර කලේය.

කෙසේ නමුත්, වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ඇතුලු සම්ප්‍රදායික ධනපති පක්ෂ මහජනතාව විසින් ප්‍රතික්ෂේප කෙරී ඇති තත්වය තුල, ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීම ඇතුලු ප්‍රාග්ධනයේ අවශ්‍යතා සපුරාගනුවස් ජවිපෙ/ජාජබ වෙතට හැරීමට ජාතික ධනපති පංතියේ සැලකියයුතු කොටසක් තීන්දු කිරීම එය බලයට පැමිනීම පිටුපස පවතී. ජවිපෙ/ජාජබ, ඒ වනවිට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සහ එහි කලාපීය සගයා වන ඉන්දියාවට කොල එලිය දල්වා තිබුනි.

ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වෙනුවෙන් කැපවී සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව ආරක්ෂා කරන පෙසප, සමාජවාදය ගැන ඉඳහිට කතා කරන, එහෙත් සමාජවාදය ඈත අනාගතයට තල්ලු කරන සහ ඉහල මධ්‍යම පංතියේ අවශ්‍යතා නියෝජනය කරන, සුලු ධනපති ව්‍යාජ-වාම පක්ෂයකි.. එහි “දේශපාලන සදාචාරය” නිර්නය වනුයේ එකී දේශපාලනයෙනි.

Loading