ඉදිරිදර්ශන

සබරගමුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ඛේදජනක මරනය සහ විශ්වවිද්‍යාල තුල මර්දනය දැඩි කිරීමේ උද්ඝෝෂනය

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂන පීඨයේ ඉගෙනුම ලබමින් සිටි චරිත් දිල්ෂාන්, පසුගිය 29 දා, ගම්පොල තම නිවසේදී ඛේදනීය ලෙස දිවි හානි කර ගත්තේ ය. දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි දිල්ෂාන් නවකවදයට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටිමින්, නවක සිසුන් ඉන් මුදා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් උරන වූ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කන්ඩායමක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක් තුල දී ඔහුට දරුනු ලෙස වද හිංසා පමුනුවා ඇත. මේ නිසා ඇති වූ බලගතු සිත් තැවුල දිවි නසා ගැනීමට හේතු වී තිබේ.

සියදිවි නසාගත් චරිත් දිල්ෂාන්

දිල්ෂාන් සමග වදදීමට ලක් වූ තවත් “නවකවද-විරෝධී” ශිෂ්‍ය කන්ඩායමකින් ලද සාක්ෂිවලට අනුව, වද හිංසා සිදුකල බවට සැක කරන ජ්‍යෙෂ්ඨ සිසුන් දස දෙනෙකු මේ වන විට සමනලවැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් සිවුදෙනෙකු බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ශිෂ්‍යයාගේ මරනයත් සමග, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ඇතුලු ධනපති පක්ෂ, ව්‍යාජ-වාම සංවිධාන, ශාස්ත්‍රාලිකයෝ සහ මාධ්‍යයන්, නවකවදය පිලිබඳ විවිධ අදහස් පල කරමින් සිටිති. “නවකවදය මුලිනුපුටා දැමීම', ශිෂ්‍යයාට වදුදුන් සියලු දෙනාට අධිකරනය හරහා “උපරිම දඬුවම් ලබාදීම', “නවකවද පනත අකුරටම ක්‍රියාත්මක කිරීම', නවකවදය මැඩලීම සඳහා විශ්වවිද්‍යාල තුල “විශේෂ ඒකක” පිහිටුවීම ආදිය ඒ අතර වේ.

ජවිපෙ/ජාජබ ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානය මත එය විසින් ක්‍රියාවට නංවා ඇති කප්පාදුවලට එරෙහිව අරගලයට පිවිස සිටින විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහි මර්දනය වඩාත් ගැඹුරු කිරීම සඳහා ශිෂ්‍යයාගේ මරනය සහ නවකවදයට එරෙහි ඉහත යෝජනා වහා ඩැහැගෙන ඇත.

නවකවදය සම්බන්ධව “සොයා බැලීමට” සහ “දඬුවම් දීම් සඳහා නීතිමය පියවර ගැනීමට” නව බලතල හිමි නිලධාරියෙක් සහිත ඒකකයක් සෑම විශ්වවිද්‍යාලයක් තුලම පිහිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යශය නිවේදනය කර තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ, 1998 අංක 20 දරන, “අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ” නමින් ක්‍රියාත්මක මර්දනකාරී “නවකවද-විරෝධි පනත” ට අමතරවයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), දිල්ෂාන්ගේ ඛේදනීය මරනය සම්බන්ධයෙන් අතිශය කම්පාවට පත්වන අතර ඔහුගේ මරනයට හේතු වූ නවකවදය දැඩි පිලිකුලෙන් හෙලා දකී. නවක සිසුන් කායික හා මානසික හිංසාවන්ට ලක්කිරීම ඔවුන්ට නිදහසේ ක්‍රියාකිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාගා දැමීමේ ගර්හිත මර්දන ක්‍රමයකි.

සියදිවි අහිමිකරගත් දිල්ෂාන් නවක සිසුවෙකු නොවේ. ඔහු එම ක්‍රියාව සඳහා තල්ලු කෙරී ඇත්තේ, නවකවදයට එරෙහිවීම හේතුවෙනි. තම සහෝදර ශිෂ්‍යයෙකු දිවි නසා ගැනීමට පොලඹවන මට්ටමේ අමානුෂික වදදීම් දක්වා වූ ප්‍රචන්ඩත්වයක් මෙම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තුල වර්ධනයවූයේ කෙසේද යන ප්‍රශ්නය ඉතිරිව පවතී. දිල්ෂාන්ගේ මරනය සම්බන්ධයෙන් ධනපති මාධ්‍ය තුල පල කෙරෙන කවර හෝ විශ්ලේෂනයක්, දේශපාලන පක්ෂ සහ සංවිධානයන්හි කවර හෝ ප්‍රකාශයක් මෙම ප්‍රශ්නයට ආමන්ත්‍රනය නොකරයි.

ව්‍යාජ-වාම සංවිධානයක් වන “සමාජවාදී ජනතා සංසදය', දිල්ෂාන් ගේ මරනය සම්බන්ධයෙන් පසුගිය දා නිකුත්කල ප්‍රකාශය, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල නවකවදය “මුල් බැස ගෙන සාමාන්‍යකරනය වී ඇති” බවත්, “නවකවද සංස්කෘතිය අතීතයේ දී බොහෝ සිසුන්ගේ ජීවිත බිලිගෙන” ඇති බවත් පවසයි.

එම සංසදය, මෙසේ කියයි: “ශිෂ්‍ය සංගම් ඔවුන්ගේ පැත්තෙන් මෙම ප්‍රචන්ඩ සංස්කෘතියට සෘජුවම දායක වී ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරය තුල තම බලය පවත්වා ගැනීම සඳහා එයට (නවකවදයට) සහභාගී වීමෙන් හෝ ඉවසා සිටීමෙනි.”

ජවිපෙන් බිඳීගිය ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) දැන් නායකත්වය දෙන, කලින් ජවිපෙ නායකත්වය දුන්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය ඇතුලු ශිෂ්‍ය සංගම්වල නායකයන් ප්‍රමුඛ කන්ඩායමක් තම දේශපාලන බලපෑම පවත්වා ගැනීම සඳහා නවකවදය යොදා ගැනීම එම දේශපාලන මතවල පවතින ප්‍රතිගාමී ස්වභාවය හෙලිදරවු කරයි. මෙම නායකත්වයන් විශ්වවිද්‍යාල තුල “උප සංස්කෘතියක්” හා “ප්‍රති-සංස්කෘතියක්” ඇතැයි පසුගාමී චින්තනයක් පතුරුවා ගෙන නවක වදයට උඩගෙඩි දෙයි.

ඔවුන්ගේ දායකත්වය ලබා විශ්වවිද්‍යාල තුල නවක වද ස්වරුපයෙන් හා වෙනත් ආකාරවලින් වර්ධනය වී ඇති ඇතැම් ශිෂ්‍යන්ගේ ප්‍රචන්ඩ ක්‍රියා, පසුගිය දශක කීපය තුල ආන්තික මට්ටම් දක්වා වැඩී ඇති සමස්ත සමාජ පරිහානියෙන් හා ප්‍රචන්ඩත්වයෙන් වියෝකොට සැලකිය නොහැක.

ප්‍රචන්ඩ ක්‍රියාවල නැගීම නිතිපතා වාර්තාවේ. රජයේ වාර්තාවන්ට අනුව, පසුගිය මාස 7 තුල රටෙහි වෙඩි තැබීම් 79 ක් සිදුවී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් 52 දෙනෙකු මිය ගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇත. මහජනතාව නිරන්තරව පොලිස් ප්‍රචන්ඩත්වයට ලක්වන අතර, කුරිරු වධබන්ධන හේතුවෙන් පොලිස් සිරමැදිරි තුල මියයන “සැකකරුවන්” සංඛ්‍යාව ඉහල යමින් පවතී. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අනුව, 2020 ජනවාරි සිට 2023 අගෝස්තු දක්වා කාලය තුල, පොලිස් අත්අඩංගුවේ සිටිය දී මරන 24 ක් සහ පොලීසිය සමග “ගැටුම් වලදී” මරන 13 ක් සිදුව ඇත. ස්ත්‍රී දූෂන සහ ලමා අපචාර පිම්මේ ඉහල යමින් පවතී.

විශේෂයෙන්ම අනුප්‍රාප්තික ආන්ඩු අඛන්ඩව වර්ධනය කල රාජ්‍ය ප්‍රචන්ඩත්වය හමුවේ මිනීමැරීම සාමාන්‍යකරනය විය. 1971 ජවිපෙ සන්නද්ධ කැරුල්ල තුල, තරුනයින් 15,000 ක් ද, 1983 ආරම්භ කෙරුනු 26 අවුරුදු වර්ගවාදී යුද්ධය තුල ලක්ෂයකට අධික දෙමල ජනයා ද, 1988-89 දී ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ජවිපෙ ගෙනගිය “මවුබිම රැකීමේ” ව්‍යාපාරය මැඩීමේ නාමයෙන් රාජ්‍ය හමුදා දියත්කල සංහාරය තුල ගම්බද තරුනයන් 60,000 ක් ද මරා දැමුනි.

එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් සහ ඔවුනගේ පිටුබලයෙන් විවිධ රටවල පාලක පංතීන් ගෙනයන යුද්ධ හරහා ලක්ෂ සංඛ්‍යාත ජනයා අමුඅමුවේ මරා දැමීම සහ කෝවිඩ්-19 වසංගතය වැලැක්වීමේ අවම පියවර පවා ප්‍රතික්ෂේප කරමින් මිලියන සංඛ්‍යාත මහජනයා මරනයට බිලි කිරීම තුලින් මිනීමැරීම ජාත්‍යන්තර පරිමානව සාමාන්‍යකරනය කෙරී ඇත.

හිසේ සිට දෙ පතුල දක්වා ලේ නාගත් ධනපති පාලක පංතියක් යටතේ පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව තුල වැඩුනු දැවැන්ත සමාජ අසමානතාව, එයින් බහුතර ජනතාව තුල වර්ධනය වී ඇති දරිද්‍රතාව සහ අපේක්ෂාභංගත්වය, මෙම ආන්තික සමාජ ප්‍රචන්ඩත්වයට ඝෘජුව සම්බන්ධිතය. මෑත වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත ගෘහස්ත ආදායමෙන් සියයට 50 කට වැඩි පංගුවක් ධනවත්ම සියයට 20 සතුවන අතර, දුප්පත්ම සියයට 20 ට සතු වන්නේ සියයට 5ත් පමනි. ලෝක බැංකුවට අනුව රටෙහි ජනගහනයෙන් සියයට 22 ක් දරිද්‍රතාවයේ ගිලී සිටිති.

2022 දී විදේශ නය ආපසු ගෙවාගත නොහැකි තත්වයට පත් වූ ශ්‍රී ලංකාවේ පාලක පංතිය, එම අර්බුදයෙන් ගොඩඑනුවස් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාගන්නා බිලියන 3 ක ඇපනයට හිලවු වසයෙන් පනවා ඇති රුදුරු කප්පාදු හමුවේ මෙම සමාජ විභේදනය වඩාත් ගැඹුරු වෙමින් පවතී.

විශ්වවිද්‍යාල තුල සිසුන්ට මුහුන දීමට සිදුව ඇත්තේ අධ්‍යාපනය සහ රැකියා ඇතුලු සමාජ අයිතීන් අහෝසිකර ඇති තත්වයකටය. දරිද්‍ර සමාජ කොන්දේසි තුල සිසුන් වියදම් පිරිමසා ගැනීම සඳහා අර්ධකාලීන රැකියා ලුහුබඳිමින් සිටින්නේ නිදහසේ අධ්‍යාපන ලැබීමේ අවකාශය සිමාකර ගනිමිනි.

ධනවත්තු, වැඩ කරන ජනතාවගේ වියදමින් ධනය ගොඩ ගසති. සමාජය “ජයග්‍රාහකයින්” සහ “පරාජිතයින්” ලෙස පැහැදිලිව බෙදී ඇත. පරාජිතයාට අනාගතය අඳුරු ය. අපේක්ෂාවන්ගෙන් තොරය. පැහැදිලි දේශපාලන ඉදිරිදර්ශනයක් නොමැති තතු තුල, මෙය ප්‍රචන්ඩත්වයට නැඹුරුවීමේ වෛෂයික කොන්දේසි ගැඹුරු කරයි. මෙය ජාත්‍යන්තරව වැඩෙන ප්‍රපංචයකි.

මේ සියල්ල, ලෝක පරිමානව වර්ධනයවන ධනවාදී සමාජ පර්යායේ කුනුවිම හා බංකොලොත්වීම ලංකාව තුල ප්‍රකාශයට පත්වී ඇති එක ආකාරයකි. උපතේ සිට බංකොලොත් ශ්‍රී ලංකාවේ ධනපති පන්තියට කිසිදු සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයක් විසඳීමට නොහැකි බව දශක අටකට ආසන්න ඔවුනගේ පාලන කාලය තුල ඔප්පුකර තිබේ. පාලක පන්තියට කල හැක්කේ මර්දනය උත්සන්න කිරීම හා ආඥාදායක පාලනයක් කරා මාරුවීම පමනයි.

'සමාජවාදී මහජන සංසදය,” විශ්වවිද්‍යාල තුල නවකවදයට දායක වී ඇතිබව පිලිගන්නා ගමන් ම අවිශිබමය ඇතුලු ශිෂ්‍ය සංවිධානවලින් ඒවා වැලක්වීමේ ක්‍රියාමාර්ගයක් ඉල්ලයි. මෙය ප්‍රෝඩාවකි.

ඒ සමගම මෙම සංසදය, 1998 නවකවද පනත අකුරට ක්‍රියාවට දමන ලෙස ඉල්ලමින් ආන්ඩුව, ජන මාධ්‍යය හා දේශපාලන පක්ෂ ගෙනයන ප්‍රතිගාමී උද්ඝෝෂනය සමග පෙල ගැසී ඇත.

අධ්‍යාපන හා බුද්ධිමය අධ්‍යාසයේ යෙදෙන විශ්වවිද්‍යාල සිසුන් හා ආචාර්යවරුන් ගේ අවධානය යොමුවිය යුත්තේ ඉහතින් දැක්වූ සමාජ ව්‍යාධීන් අහෝසිකිරීමේ ඉදිරිදර්ශනයක් කෙරෙහිය. මේ පිලිබඳ සාකච්ඡාවක් අවුලුවා ගැනීම හා ශක්‍ය විකල්පයක් වෙතට හැරීම අවශ්‍ය ය.

වැඩකරන ජනතාව විසින් නිෂ්පාදනය කෙරෙන සමාජ ධනය හා මානව වර්ගයාගේ සාමුහික අරගලයේ ප්‍රතිඵලයක් වන තාක්ෂනයේ ප්‍රගමනය --කෘතීම බුද්ධිය එහි අසන්න්නතම දැවැන්ත වර්ධනයයි--වත්මන් පද්ධතිය තුල යොදා ගැනෙන්නේ ලාභ හඹායාමට, වංචනික ජාවාරමවලට, හොරකම් සහ මංකොල්ලයට මිස මිනිස් වර්ගයාගේ යහපත සඳහා නොවේ. එක්සත් ජනපදයේ ධනකුවේරයන්ගේ ෆැසිස්ට් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය එහි කුටප්‍රාප්තියකි. ලංකාවේ ජවිපෙ/ජාජබ “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය වනාහි, කුනුවූ පද්ධතියක් ආරක්ෂාකිරීම සහ තරකිරීමයි. මෙම පද්ධතියයට ලබාදිය හැක්කේ සමාජ අසමානතාව, දරිද්‍රතාව, ෆැසිස්ට් හා ආඥාදායක පාලනය සහ න්‍යෂ්ටික යුද්ධය පමනකි.

ඇමරිකාවේ, ලතින් ඇමරිකාවේ, යුරෝපයේ, ඉන්දියාවේ හා ලංකාවේ කම්කරුවන් අරගලවලට පිවිසෙන්නේ ධනපති ක්‍රමයේ අර්බුදයේ බර තමන් මත පැටවීමට එරෙහිවයි. මෙම අරගල විප්ලවවාදී පිපිරීම් වල ආරම්භක අවස්ථාවන් ය. මෙම කුනුවන ධනේශ්වර පද්ධතිය පෙරලා දමා සමානාත්මතාවයේ පදනම මත සමාජය ප්‍රතිසංවිධානය කල හැකි බලවේගය මෙම කම්කරු පන්තියයි. ශිෂ්‍යයන් මෙම විප්ලවවාදී බලවේගය බලමුලු ගැන්වීමේ අරගලයට හැරීගත යුතුය.

සසජාතශි ඉදිරිපත් කරන මෙම ඉදිරි දර්ශනය පිලිබඳව අප සමග සාකච්ඡාවකට එලඹෙන ලෙස විශ්වවිද්‍යාල සිසුන්ගෙන් හා ආචාර්යවරුන් ගෙන් අපි ඉල්ලමු.

අපව අමතන්න: 0773562327

Loading