2025 මැයි දිනය

ට්‍රම්ප්ගේ තීරු බදු යුද්ධය සහ ගෝලීය ධනවාදයේ බිඳ වැටීම

හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දිගුකාලීන නායකයෙකු සහ මාක්ස්වාදී ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥයෙකු වන නික් බීම්ස් 2025 මැයි දින ඔන්ලයින් රැලියට Trump’s tariff war and the breakdown of global capitalism යන මැයෙන් සිදු කල කතාවේ වීඩියෝව සහ පෙල පහත පල කරමු.

නික් බීම්ස්ගේ 2025 මැයි දින කතාව. මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.

සහෝදරවරුනි, මිතුරනි, මෙම මැයි දිනයේදී ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවධානය තීරුබදු යුද්ධයේ ඓතිහාසික ඇඟවුම් කෙරෙහි යොමු විය යුතුයි.

අප්‍රේල් 2 වැනි දා, ඊනියා “විමුක්ති දිනය” දා, එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් සෙසු ලෝකයට එරෙහිව තම ආර්ථික යුද්ධය දියත් කලා. ප්‍රධාන ඉලක්කය වූ චීනයට එරෙහි තීරුබදු සියයට 145 දක්වා ඉහල දමනු ලැබුවා.

මෙය ආර්ථික අවහිරයකට සමාන වන අතර, ලෝකයේ අංක එකේ සහ අංක දෙකේ ආර්ථිකයන් අතර සියලු වෙලඳාම අවසන් කරන්නක්. සාරය වශයෙන් එය යුධ ක්‍රියාවක්.

2025 අප්‍රේල් 2 වන දින ධවල මන්දිරයේ රෝස් උද්‍යානයේ නව තීරුබදු නිවේදනය කිරීමේ උත්සවයක දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරයි. [AP Photo/Mark Schiefelbein]

සියයට 50ක් තරම් ඉහල ඊනියා “අන්‍යෝන්‍ය තීරුබදු” රටවල් ගනනාවක් මත පනවා තියෙනවා. චීනය සමඟ සමීප ආර්ථික සබඳතා ඇති අග්නිදිග ආසියාවේ රටවල් එහි විශේෂිත ඉලක්කයක් වුනා. ඉතිරි රටවල් සඳහා සියයට 10 ක තීරුබදු පැනවුනා.

හෙට්ටු කිරීමට ඉඩ සැලසීම සඳහා යැයි කියනු ලබන දින 90 ක විරාමයක් “අන්‍යෝන්‍ය තීරුබදු” සඳහා දැන් පනවා ඇත.

තීරුබදු පහත දැමීම සහ වෙනත් සීමා කිරීම් මත පදනම්ව දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු පිහිටුවන ලද ජාත්‍යන්තර වෙලඳ පර්යාය උඩු-යටිකුරු වී ඇත.

ට්‍රම්ප්ගේ තීරුබදු පියවර වැනි කිසිවක් මීට පෙර ක්‍රියාත්මක වෙලා නෑ. මේවා 1930 ගනන්වල එක්සත් ජනපදය විසින් පනවන ලද කුප්‍රකට ස්මූට්-හෝලි (Smoot-Hawley) තීරුබදු පවා ඉක්මවා යනවා. දරුනු ජාතිකවාදය මත පදනම් වූ එම තීරුබදු ආර්ථික උමතුවක් වුනා. ඒවා අවසානයේ ආර්ථික අවපාතය, සමාජ විනාශය සහ දෙවන ලෝක යුද්ධය ඇති කලා.

අද ට්‍රම්ප් ගේ තීරුබදු, ආර්ථික අතාර්කිකත්වය නව පරිමාවකට නංවමින්, ඊටත් වඩා විශාල ගෝලීය ගැටුමක අනතුරක් මතු කරනවා.

1929 අප්‍රේල් හි දී විලිස් සී හෝලි (වමේ) සහ රීඩ් ස්මූට්

අද දවසේ ඉතා සරල භාන්ඩයේ සිට අතිසංකීර්න භාන්ඩය දක්වා සෑම දෙයක් ම සංකීර්න ජාත්‍යන්තර ශ්‍රම විභජනයක ප්‍රතිඵලයක්. කිසිම භාන්ඩයක් “ඇමරිකාවේ නිෂ්පාදිත” නෑ. එය වෙනත් රටවලටත් අදාලයි.

උදාහරනයක් ලෙස, “ඇමරිකානු” SUV රථයක් යැයි නම් කර තිබුනත් ජාත්‍යන්තර ව නිෂ්පාදනය කරන ලද කොටස් සහ උපාංග 1,500ක් තරම් ප්‍රමානයක් එයට අන්තර්ගත වෙනවා. ලෝකයේ ඕනෑම තැනක අලෙවි වන සෑම අවසන් නිෂ්පාදනයක්ම ගෝලීය සැපයුම් දාමයකින් එතැනට ආ දෙයක්.

නමුත් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය උමතුවක් වුවත් එයට තර්කයක් ඇත. එය ජාතික ආර්ථිකය යුද්ධයට සූදානම් කිරීම සඳහා අත්‍යවශ්‍ය එක්සත් ජනපද කර්මාන්ත “නැවත හැඩගැස්වීම” අරමුනු කරනවා. “අන්‍යෝන්‍ය තීරුබදු” පිලිබඳ විධායක නියෝගයේ දී ට්‍රම්ප් ප්‍රකාශ කලේ එජ වෙලඳ හිඟය රටෙහි කාර්මික පදනම “හිස්” කර “අපගේ ප්‍රධාන ආරක්ෂක අවශ්‍යතා සපුරාලීම සඳහා අපගේ ජාතිය වෙනත් රටවල් මත යැපීමට” පත් කර ඇති බවයි .

ඉතා සැබෑ අර්ථයකින්, එක්සත් ජනපදය දැනටමත් ගෝලීය මිලිටරි යුද්ධයක නිමග්න ව සිටියි - යුක්‍රේනයේ රුසියාවට එරෙහි යුද්ධය, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ ජන සංහාරයට පිටුබලය දීම, ඉරානයට එරෙහි අඛන්ඩ තර්ජන.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය තම ගෝලීය ආධිපත්‍යය රැක ගැනීමට දරන ප්‍රයත්නයේ කේන්ද්‍රීය ඉලක්කය චීනයයි. චීනයේ ආකර්ශනීය වර්ධනය - වසර 40කට පෙර පසුගාමී රටක සිට අද ලෝකයේ අංක 2 ආර්ථිකය දක්වා - එක්සත් ජනපද ආධිපත්‍යයට තම පැවැත්ම පිලිබඳ තර්ජනයක්. එය තලා දැමිය යුතු බවට එක්සත් ජනපද දේශපාලන හා මිලිටරි සංස්ථාපිතයේ සියලුම කොටස් එකඟයි.

2020 දී චීනයේ ෂෙන්සෙන් වරාය [Photo by Charlie Fong / CC BY-SA 4.0]

ආර්ථික පියවර මගින් මෙය කල නොහැකි වන විට, එකම ශක්‍ය විකල්පය ලෙස යුද්ධය තව තවත් විශාල ව පෙරට එනු ඇත.

ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධය සහ එහි ප්‍රතිඵලයක් ලෙස වෙලඳපොල ගරාවැටීම්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී රාජ්‍යයේ මූල්‍යයේ දිගුකාලීන ව වර්ධනය වෙමින් පැවති අර්බුදයක් මතුපිටට ගෙනැවිත් තිබෙනවා. එහි මූල්‍ය ව්‍යූහය නය හා පරපෝෂිතභාවයෙන් දැදුරු ව පවතිනවා.

මෙය ප්‍රකාශයට පත් ව ඇත්තේ, වැඩිවන මිලිටරි වියදම් සමග සංගත හා බැංකුවලට අඛන්ඩ ඇපදීම මගින් විශේෂයෙන් එකතු වූ ආන්ඩුවේ නය කන්ද තුලින්. එය දැන් ඩොලර් ට්‍රිලියන 36ක් වන අතර වාර්ෂික පොලිය ඩොලර් ට්‍රිලියනයක් සමඟින් ඉහල යමින් පවතිනවා.

මෙම තත්ත්වයට පත් වෙනත් ඕනෑම රටක් බංකොලොත් බව ප්‍රකාශයට පත් කරනු ඇත. නමුත් ඩොලරයේ උත්තරීතරභාවය නිසා එක්සත් ජනපදය දිගටම රැකුනා. නමුත් එය දැන් අර්බුදයට පැමිනිලා.

මූල්‍ය කැලඹීම්වල පෙර කාල පරිච්ඡේද එක්සත් ජනපද මූල්‍ය වත්කම් වෙත යොමු වීම “ආරක්ෂිත තෝතැන්නක්” ලෙස සැලකුවා. අද, ඩොලරය පහලට ලිස්සා යමින් තිබෙනවා. මූල්‍ය වෙලඳපොලවල පොදු ඇමතුම වන්නේ: “ඇමරිකානු වත්කම් විකුනනු!” යන්නයි.

මෙය සමස්ත ගෝලීය ධනේශ්වර පද්ධතියේ අර්බුදයක්. එය ට්‍රම්ප්ගේ නිර්මානයක් නොවේ. ඔහු එහි මර ලතෝනියේ පුද්ගලාරෝපනය පමනයි.

කම්කරුවන්ට තමන්ගේම ජාතික ධනේශ්වර පංතිය ඔසවා තැබීමට අවශ්‍යතාවක් නෑ. ජාතික ධනේශ්වරය තීරුබදු වල බලපෑම කම්කරු පන්තිය මත පටවනු ඇත. කම්කරුවන්ගේ අවශ්‍යතාව වන්නේ චීනයේ සහ ගෝලීය වශයෙන් තම පන්ති සහෝදරයන් සමග එක්සත් වීමයි.

කම්කරු පන්තියට පෙර කවරදාටත් වඩා තියුනු ලෙස ඉදිරිපත් කෙරී ඇති කර්තව්‍යය වන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ එකම ශක්‍ය වැඩපිලිවෙල සඳහා වන අරගලය තුල ධනවාදයට තිත තැබීමයි.

Loading