[මෙය Sri Lanka: Local government elections reveal growing popular opposition to ruling JVP/NPP යන මැයෙන් 2025 මැයි 09 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
බලයට පැමින මාස හතක් ගතවෙද්දී, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලක ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) වර්ධනය වන මහජන විරෝධයට මුහුන දෙමින් සිටී.
මැයි 6 වන දින පැවත්වුනු පලාත් පාලන මැතිවරනයේදී, ජවිපෙ/ජාජබ, සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ අභිබවා පලමු ස්ථානයට පත් වූ නමුත්, මාස හයකට පෙර පසුගිය නොවැම්බර් මාසයේ පැවති මහ මැතිවරනයට සාපේක්ෂව ඡන්ද මිලියන 2.3 කට වඩා අහිමි වී තිබේ. ප්‍රතිශතයක් ලෙස ගත්විට, මෙය සියයට 18.3 ක පහත වැටීමකි. එහෙන්ම, පක්ෂය ලැබූ සමස්ත ඡන්ද සංඛ්‍යාව, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරනයේදී දිසානායක ලැබූ ඡන්ද සංඛ්‍යාවට වඩා දශලක්ෂයකින් අඩු ය.
ජවිපෙ/ජාජබ සමස්ත ජාතික ඡන්ද ප්‍රමානය පහත වැටී තිබෙන්නේ, තමාට පුලුල් සහයෝගයක් ඇතිබව පෙන්වීම සඳහා එහි රැලිවලට ප්‍රදර්ශනාත්මකව දහස් ගනනක් ප්‍රවාහනය කිරීම ද ඇතුලුව මැතිවරන ප්‍රචාරක කටයුතුවලට දැරූ අධික වියදම් ද නොතකමිනි. මෙම රැස්වීම්වලදී, විපක්ෂයේ පක්ෂ විසින් දිනා ගන්නා පලාත් පාලන ආයතනවලට මධ්‍යම රජයෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන අහිමි වනු ඇති බවට දිසානායක බරපතල ලෙස ඇඟවුම් කලේය.
කිසිදා බලයේ නොසිටි ජවිපෙ/ජාජබ, පසුගිය වසරේ මැතිවරනය ජයග්‍රහනය කලේ, එක්සත් ජාතික පක්ෂය (එජාප), සමගි ජන බලවේගය (සජබ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොප) සහ දෙමල සහ මුස්ලිම් ධනේශ්වර පක්ෂ ඇතුලු සාම්ප්‍රදායික සංස්ථාපිත පක්ෂවලින් මහජනයා දැඩි ලෙස ඈත්ව සිටීමේ තත්වය ගසාකමිනි.
පලාත් පාලන මැතිවරන නැවත නැවතත් කල් දමා තිබේ. පලමුව, 2022 මාර්තු මාසයේදී, ඊලඟ මාසයේදී විදේශ නය ප්‍රශ්නය මත රට බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට බලකෙරුනු වැඩෙන ආර්ථික ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මැතිවරනය කල් දැමුවේ ය. භාන්ඩ මිල අහස උසට නැගීම සහ ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය මෙන්ම දීර්ඝ දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් දසලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාව සම්බන්ධ වූ වැඩ වර්ජන සහ විරෝධතා හේතුවෙන් රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බලකෙරුනි.
ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ දක්ෂිනාංශික රනිල් වික්‍රමසිංහ 2022 ජූලි මාසයේදී පාර්ලිමේන්තුව විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පත් කරන ලද්දේ, ජවිපෙ/ජාජබ ඇතුලු විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වම්මුන්ගේ සහාය ඇතිවය. මෙම පක්ෂ, අන්තර්වාර ධනේශ්වර ආන්ඩුවකින් සමන්විත පාර්ලිමේන්තු ක්‍රමය තුල ආර්ථික අර්බුදය විසඳා ගත හැකි බව කියමින් මහජන ව්‍යාපාරය පීලිපැන්නවූයේ ය.
වික‍්‍රමසිංහ ඩොලර් බිලියන 3 ක ඇප නයක් සඳහා අයිඑම්එෆ් සමඟ ගිවිසුමක් අත්සන් කල අතර—වැඩ කරන ජනතාව මත බදු වැඩි කිරීම, මිල සහනාධාර සහ අත්‍යවශ්‍ය සේවාවන් කප්පාදු කිරීම සහ පෞද්ගලීකරනය සඳහා පූර්ව සූදානම ලෙස රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ද ඇතුලු—එහි ම්ලේච්ඡ කප්පාදු කොන්දේසි ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය. සැලකිය යුතු දේශපාලන පදනමක් නොමැති තත්වයක් යටතේ, ඔහු කලේ නැවතත් මැතිවරනය කල් දැමීම යි.
සම්ප්‍රදායික පක්ෂවලට සහ වික්‍රමසිංහගේ කප්පාදු වැඩසටහනට එරෙහි විරෝධතා රැල්ල මත දිසානායක සහ ජවිපෙ/ජාජබ බලය කරා යන මාවත එලිපෙහෙලි කර ගත්තේ, ජාමූඅ නය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට සහ වැඩ කරන ජනතාව මුහුන දෙන සමාජ අර්බුදය ලිහිල් කිරීමට පොරොන්දු වෙමිනි. කෙසේ වෙතත්, බලයට පත්වූ වහාම ඔවුන්ගේ සියලු මැතිවරන පොරොන්දු කානුවට විසිකල ජවිපෙ/ජාජබ, අයිඑම්එෆ් ඉල්ලීම් අකුරටම ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේ ය. කම්කරුවන් සහ තරුනයින්ගේ මතුවෙමින් පවතින වැඩවර්ජන සහ විරෝධතාවලට එය ප්‍රතිචාර දැක්වූයේ, පොලිස් රාජ්‍ය මර්දනය දිගේලි කරමිනි.
පලාත් පාලන මැතිවරනයේදී ඡන්ද 4,503,930 ක් හෙවත් මුලු ඡන්දවලින් සියයට 43.26 ක් ලබා ගත් ජවිපෙ/ජාජබ පක්ෂය නිසැකවම ඒ පිලිබඳව පුරසාරම් දොඩනු ඇත. 2018 දී අවසන් වරට පැවති පලාත් පාලන මැතිවරනයේදී ජවිපෙ ඡන්ද 693,875 ක් ලබා ගත් අවස්ථාවට වඩා එය බොහෝ ඉහල අගයක් වුවද, දැනටමත් සඳහන් කර ඇති පරිදි, එය පසුගිය වසරට වඩා ඉතා කැපී පෙනෙන පහත වැටීමකි.
පලාත් පාලන ආයතන 339 න් 266 ක් ජවිපෙ/ජාජබ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් දිනා ගත් නමුත්, පූර්න බහුතරයක් ලබා ගත්තේ ආයතන 133ක පමනි. එහි ප්‍රතිඵලයක් ලෙස, පරිපාලනයක් පිහිටුවීම සඳහා අනෙක් ආයතන 133තුල විරුද්ධ පක්ෂ හෝ “ස්වාධීන” පුද්ගලයින් සමඟ සාකච්ඡා කිරීමට ඔවුන්ට සිදුවනු ඇත.
ආන්ඩුවට සහ සමස්ත දේශපාලන සංස්ථාපිතයට ඡන්දදායකයින්ගේ සතුරුකම පිලිබිඹු කෙරුනේ, ඡන්දය ප්‍රකාශ නොකල සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව දැවැන්ත ලෙස ඉහල යාමෙනි. 2018 දී සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් සියයට 80 ක් වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මේ සතියේ සියයට 60 කටත් වඩා තරමක් අඩු විය. පසුගිය වසරේ ජවිපෙ/ජාජබට ඡන්දය දුන් බොහෝ දෙනෙක් ඇතුලුව මිලියන සංඛ්‍යාත ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කර නැත.
ප්‍රධාන විරුද්ධ පක්ෂ සඳහා වූ ඡන්ද ප්‍රතිශතය, පසුගිය වසරේ පාර්ලිමේන්තු මැතිවරනයේ සිට සැලකිය යුතු ලෙස වැඩි වීමක් පෙන්නුම් කර නැත. මැතිවරනයේදී සජබ, ජාතික මට්ටමින් දෙවන ඉහලම ඡන්ද ප්‍රතිශතය වාර්තා කලේ, ඡන්ද 2,258,480 (සියයට 21.69) ක් ලබා ගනිමිනි; එය 1,968,716 (සියයට 17.66) සිට ඉහල යාමකි. ශ්‍රීලංපොපෙ පක්ෂයට සියයට 9.17 ක් ලැබුනු අතර එජාප පක්ෂයට සියයට 4.69 ක් ලැබුනි—මේ පක්ෂ දෙකම තනිව බලය පිහිටුවිය හැකි එකදු කවුන්සිලයක් හෝ දිනා ගත්තේ නැත.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ, පලාත් පාලන ආයතන 13 න් දෙකක් හැර අනෙක් සියල්ලෙන්ම පෙරමුන ගැනීමට ජවිපෙ/ජාජබ සමත් වූ නමුත්, තනිව බලය පිහිටුවිය හැකි ආකාරයෙන් කිසිදු ආයතනයක බහුතරයක් ලැබුවේ නැත. බදුල්ලේදී, පලාත් ආයතන 18 න් එකක් හැර අනෙක් සියලුම ආයතනවල පලමු ස්ථානයට පැමිනි නමුත්, බහුතරයක් ලබා ගත්තේ දෙකක පමනි. සැලකිය යුතු කාරනාව වන්නේ, හපුතලේ නගර සභාව සඳහා ඡන්දයෙන් ඊනියා ස්වාධීන කන්ඩායමක් පෙරමුන ගැනීමයි.
යුද්ධයෙන් විනාශ වූ උතුරු සහ නැගෙනහිර පලාත්වල, දෙමල සහ මුස්ලිම් බහුතරයක් සිටින ප්‍රදේශවල ප්‍රතිඵල ගැන කිව යුත්තේ ද ඒ ටිකම ය. පසුගිය වසරේ පාර්ලිමේන්තු මැතිවරනයේදී ජවිපෙ/ජාජබ විසින් ලබා ගත් සැලකිය යුතු ජයග්‍රහන බොහෝ දුරට වාෂ්ප වී ගියේය. පාලක පක්ෂය, උතුරු පලාතේ පලාත් පාලන ආයතන 33 න් 5ක සහ නැගෙනහිර පලාතේ කවුන්සිල 39 න් 15ක පමනක් පලමු ස්ථානයට පත්විය.
සිංහල ස්වෝත්තමවාදයේ ගිලී ඇති පක්ෂයක් වන ජවිපෙ/ජාජබ, පසුගිය වසරේදී, රට එක්සත් කිරීමටත්, 2009 දී අවසන් වූ රටේ දිග්ගැස්සුනු වාර්ගික යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ශේෂව තිබෙන සුවිශේෂ දැවෙන ගැටලු විසඳීමටත් පොරොන්දු විය. දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ යුද්ධය අතරතුර හමුදාව විසින් අත්පත් කරගත් ඉඩම් එහි දෙමල හිමිකරුවන්ට ආපසු ලබා දීම යනාදි පොරොන්දු මේවාට ඇතුලත් විය. අනෙකුත් සියලු ජනතාවාදී පොරොන්දු මෙන්, දිසානායක ඒවා ද ඉක්මනින් ම කුනු කූඩයට දැමීය.
දෙමල ධනපති පක්ෂයක් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) සමස්ත ජාතික ඡන්දවලින් සියයට 2.96 ක් ලබා ගත් නමුත්, ප්‍රතිගාමී දෙමල ජාතිකවාදය ඇවිස්සීමේ පදනම මත උතුරු හා නැගෙනහිර පලාත්වල පලාත් පාලන ආයතන 35 න් පලමු ස්ථානයට පත්විය. එකදු දෙමල ධනේශ්වර පක්ෂයක් හෝ දෙමල වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා නියෝජනය නොකරන අතර, දෙමල ප්‍රභූ පැලැන්තියට වැඩි වරප්‍රසාද සඳහා බලකරයි. අයිටීඒකේ, සියලුම විරුද්ධ පක්ෂ සමඟ එක්ව, අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට පූර්න සහාය දැක්වූවේ ය.
දැවැන්ත සහයෝගයක් පුරෝකථනය කල ජවිපෙ/ජාජබ නායකයෝ, තමන්ට ජනවරමක් ලැබී ඇති බව ප්‍රකාශයට පත් කරමින්, ඔවුන්ගේ මැතිවරන පරිහානිය සුලුකොට පෙන්වති. නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමටත් පෙර, පක්ෂය “පැහැදිලි” සහ “ශක්තිමත් ජයග්‍රහනයක්” ලබා ඇති බව නිවේදනය කල ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, එහි මැතිවරන සාර්ථකත්වයෙන් අදහස් වන්නේ ආන්ඩුව “රට ගොඩනැගීම” දිගටම කරගෙන යනු ඇති බවයැයි කීවේ ය.
මෙහි තේරුම නම්, ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් පුද්ගලීකරනය, රාජ්‍ය අංශයේ රැකියා විශාල වශයෙන් කප්පාදු කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවන් තවදුරටත් කාබාසිනියා කිරීමටත්, මිල ගනන් සහ බදු ඉහල දැමීම යනාදිය ඇතුලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය වේගවත් කරනු ඇති බවයි. උග්‍රවන ගෝලීය ආර්ථික අර්බුදයක් සහ භූ දේශපාලනික ගැටුමක් මධ්‍යයේ, එක්සත් ජනපදයේ දැවැන්ත තීරුබදු තර්ජනය ඇතුලුව ශ්‍රී ලංකාවේ ධනවාදය මුහුන දෙන වැඩෙන ගැටලුවලට වැඩ කරන ජනතාව මත තවදුරටත් දැවැන්ත බර පැටවීම හැර වෙනත් විසඳුමක් දිසානායකට ඇත්තේ නැත.
කම්කරුවන්ට, ඡන්දය නොදී සිටීමෙන් හෝ ආන්ඩුවට විරෝධය පලකරනුවස් විරුද්ධ ධනේශ්වර පක්ෂයකට ඡන්දය දීමෙන් තම අවශ්‍යතා ආරක්ෂා කර ගත නොහැක. කම්කරු පන්තිය මුහුන දෙන සමාජ ව්‍යසනයට හෝ ලෝක යුද්ධයේ අනතුරට, ධනේශ්වර ක්‍රමය තුල හෝ ජාතික රාජ්‍යය තුල විසඳුමක් නොමැත.
මැතිවරන ව්‍යාපාරයට තිබූ නොයෙකුත් බාධක මධ්‍යයේ වුවද, සමාජවාදී සමානතා පක්ෂය (සසප) තනිවම කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතා වෙනුවෙන් ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ සියලු විපක්ෂ ධනපති පක්ෂවලට, ව්‍යාජ වාම කන්ඩායම්වලට සහ ඔවුන්ගේ වෘත්තීය සමිතිවලට එරෙහිව සටන් කලේය.
අපගේ මැතිවරන ප්‍රකාශනය මෙසේ පැහැදිලි කලේය: “ගම්බද දුගින් පෙලගැස්සවීමට සහ ආන්ඩුවේ කප්පාදු වැඩපිලවෙලට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා සසප උද්ඝෝෂනය කරයි. සියලු ධනේශ්වර පක්ෂවලින් බිඳී, සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කාර්මික හා දේශපාලනික අරගලයකට තම දැවැන්ත ශක්තිය රැස් කර ගන්නා ලෙස අපි කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිමු.'
අපි සිංහල හා දෙමල භාෂාවලින් පත්‍රිකා දස දහස් ගනනක් බෙදා හැර, කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ කොටසක් ලෙස විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමේ වැදගත්කම කම්කරුවන්ට, තරුනයින්ට සහ ග්‍රාමීය දුප්පතුන්ට පැහැදිලි කලෙමු. ඉදිරි අරගලවලදී කම්කරු පන්තියට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස සසප ගොඩනැගීමට, එයට බැඳීමට අයදුම් කරන ලෙස, අපට ඡන්දය දුන් සහ අපගේ උද්ඝෝෂනයට සහාය දුන් සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.