2025 මැයි දිනය

දකුනු ආසියාව තුල අර්බුදය සහ සමාජවාදය සඳහා සටන

2025 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සහ සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) මධ්‍යම කාරක සභික එම්. දේවරාජා විසින් Crisis in South Asia and the fight for socialism යන මැයෙන් පවත්වන ලද කතාව:

දීපාල් ජයසේකර සහ එම් දේවරාජා ගේ මැයි දින කතාව. මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.

සහෝදරවරුනි, මිත්‍රවරුනි, අප්‍රේල් 22 දා ඉන්දියානු පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රදේශයේ සිදුවුනු ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට පකිස්තානය වගකිය යුතු බවට ඉන්දියාව කල චෝදනාවෙන් පසුව ඉන්දියාව සහ පකිස්තානය වේගයෙන් යුද්ධයක් දෙසට ඇදී යනවා. ඒ සමග දකුනු ආසියාව භූ-දේශපාලනික ආතතීන්වල වාසුලිය තුලට ඇද ගැනෙමින් තිබෙනවා.

මේ න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රටවල් දෙක, 1947 පටන් මේ වන තෙක් දැනටමත් තුන් වතාවක් යුද වැදිල තියෙනවා. ඒ වුනත් දැන් ඔවුන්ගේ දරුනු එදිරිවාදීකම, චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම සමග භයංකර ලෙස එකිනෙක වෙලී පවතිනවා, එය වඩා පුලුල් යුද්ධයක් ඇවිලීමේ තර්ජනය මතු කරනවා. ඉන්දියාව දකුනු ආසියාව තුල වොෂිංටනයේ මූලෝපායික හවුල්කරු. ඒ වගේ ම පකිස්තානය බෙයිජිං සමග පෙල ගැහිලා ඉන්නවා.

2025 අප්‍රේල් 29 වැනි දා අඟහරුවාදා, ඉන්දීය පැරාමිලිටරි සෙබලු, ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ශ්‍රීනගර් නගරයේ ජනාකීර්න වෙළඳපොළක් ආශ්‍රිත ව මුර සංචාරයේ යෙදෙමින්. [AP Photo/Mukhtar Khan]

සමාජවාදී සමානතා පක්ෂය, ධනවාදයට සහ යුද තර්ජනයට අවසන් තිත තැබීමේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද-විරෝධී ව්‍යාපාරයක කොටසක් ලෙස, දකුනු ආසියාව පුරා කම්කරුවන් සහ තරුනයන් බලමුලුගැන්වීමේ අපගේ ප්‍රයත්නයන් දෙගුන තෙගුන කරනවා.

යුද ධාවනය, ධනේශ්වර පාලනයේ ගැඹුරු අර්බුදයක් සහ පන්ති අරගලයේ නැගීමක් අවුලුවන ධනවාදයේ ගෝලීය අර්බුදය, ශ්‍රී ලංකාව තුල තියුනු රූපාකාරයක් ගන්නවා. 2022 දී, විදේශ නය ගෙවීම අත්හිටුවන්න ආන්ඩුවට බල කෙරුනා. එය ව්‍යසනකාරී සමාජ අර්බුදයකට තුඩු දුන්නා, මිලියන ගනන් කම්කරුවො වීදිවලට බැස්සා. ජනාධිපතිට රටෙන් පලා යන්න බල කෙරුනා. දේශපාලන සංස්ථාපිතය එකමුතු වෙලා රනිල් වික්‍රමසිංහ බලයට පත් කලා. වික්‍රමසිංහ කියන්නෙ, කිසිදු මහජන සහයෝගයක් නොතිබුනු කෙනෙක්. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රුදුරු කප්පාදු පිලිවෙත් සහිත නය ගිවිසුමක් අත්සන් කලා.

පසුගිය වසරෙදි, කම්කරුවන්ගෙ සහ දුගීන්ගෙ විරුද්ධත්වය පාලනය කරන්න වික්‍රමසිංහ අපොහොසත් බව ඔප්පු වුනු කොන්දේසි යටතෙ දි, පාලක පන්තිය හැරුනෙ හොදටම අපකීර්තියට පත් වෙලා තිබුනු සම්ප්‍රදායික පක්ෂ දෙසට නොව, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එහි මැතිවරන පෙරමුනු වන ජාතික ජන බලවේගය (ජාජබ) වෙතට යි. ඊට කලින් කිසිදාක බලයේ නොසිටි ජවිපෙ බලයට ආවේ, ජාතියේ ගැලවුම්කාරයා ලෙස තමන්ව ප්‍රවර්ධනය කරගනිමින් සහ මහජනතාවගේ දුක්වේදනාවන් අවසන් කරන බවට පොරොන්දු දෙන අතරෙම, මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමට තමන්ට පවතින අධිෂ්ඨානය ගැන මහ ව්‍යාපාරිකයන්ට සංඥා කරමිනුයි.

ජවිපෙ මැතිවරන ජයග්‍රහනය, දේශපාලන සංස්ථාපිතය විසින් සාර්වත්‍රික ලෙස සාදරයනේ පිලිගනු ලැබුවා. ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කලා, “වාමාංශික” සහ “මාක්ස්වාදි” පක්ෂයක් බලයට පත්වෙලා කියලා. සසප පමනක් ම අනතුරු ඇගෙව්වා, ජවිපෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ ආඥාවන් ක්ෂමාවිරහිත ක්‍රියාවට දමනවා ඇති කියලා, ඒ වගේ ම එයට විරුද්ධව පැන නගින ඕනෑම විරුද්ධත්වයක් තලා දමන්න පොලිස් රාජ්‍ය පිලිවෙත්වල පිහිට පතන්න ඔවුන් කිසිසේත්ම නොපැකිලෙන බව.

ජ්‍යෙෂ්ඨ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස, 2024 නොවැම්බර් 18 වැනි දින, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති දිසානායක (මැද) සහ අලුතින් පිහිටුවන ලද ආන්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරුන් හමුවිය. [ ඡායාරූපය: ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකාව] [Photo by Presidential Secretariat Sri Lanka]

සිංහල ස්වෝත්තමවාදයේ කරවටක් ගිලී ඇති ජවිපෙ ඔවුන්ගෙ සමාජවාදී වචාල කතා අත ඇරලා දැන් බොහෝ කල්. ඔවුන්ගේ අධිරාජ්‍ය-විරෝධී පූච්චානම්, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පැවැතුවුන රහස් සාකච්ඡා මගින් විස්ථාපනය වෙලා. අපි මතක් කලා, ඔවුන් දහස් සංඛ්‍යාත කම්කරුවන්, තරුනයන් සහ දේශපාලන විරුද්ධවාදීන් පැසිස්ට්වාදී ආකාරයට ඝාතනය කිරීම ගැන. ජවිපෙ ඔවුන් එසේ මරා දැම්මෙ, 1980 ගනන් අග ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ජවිපෙ දක්ෂිනාංශික දේශප්‍රේමී උද්ඝෝෂනයට ඒකාබද්ධ වීම ඔවුන් ප්‍රතික්ෂේප කරපු නිසයි.

බලයට පත් වුනාට පස්සෙ, ජනාධිපති අනුර කුමාර දිසානායක, ජවිපෙ/ජාජබ පොරොන්දු සියල්ල ඉවත දැම්මා. මුදල් ඇමති හැටියට, මේ වසරෙ ඔහු ඉදිරිපත් කරපු අයවැය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම්වලට දැඩි ලෙස බැදුනු එකක්. රාජ්‍ය සතු ව්‍යවසායන් කුනු කොල්ලයට විකුනා දැමීම, කම්කරුවන් මත ඉහල බදු පැනවීම සහ සෙෘඛ්‍ය හා අධ්‍යාපනය තව දුරටත් කප්පාදුවට ලක් කිරීම ඒ ඉල්ලීම්වලට ඇතුලත් වෙනවා. රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි සියල්ල ප්‍රහායට ලක් වෙනවා. ඒ නිසා පුදුමයක් නෙවි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකරන අධ්‍යක්ෂ ජෝර්ජීවා දිසානායකට පනිවිඩයක් යවලා, “ජනාධිපතිතුමනි, ඔබ නිර්භීතයි ! මගේ හදවත ඔබ සමගයි!” කියලා කියපු එක.

කම්කරු පන්තිය, ඔවුන්ගෙ සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් විනාශ කිරීම නිකම්ම පිලිගන්න එකක් නැහැ. දැනටමත් පාසල් සංවර්ධන නිලධාරින්, විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන් සහ සෙෘඛ්‍ය කම්කරුවන් අතරෙ අරගල පැනනැගිල තියෙනවා. ආන්ඩුව දැනටමත් ප්‍රතිචාර දක්වලා තියෙන්නෙ පොලිස් ප්‍රචන්ඩත්වය මුදා හැරලා. ට්‍රම්ප්ගෙ තීරුබදු යලිත් වතාවක් ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැට්ටවීමේ තර්ජනය මතු කරන කොන්දේසි යටතෙ, මෙම පන්ති අරගලය අනිවාර්යයෙන් ම උත්සන්න වෙනවා ඇති.

මේ දිවයිනේ සිද්ධ වෙන දේවල්, දකුනු ආසියාව පුරා සහ ගෝලීයව කම්කරුවන් මුහුන දෙන තත්වය පිලිබද පූර්වනිමිත්තක්. පාලක පන්තීන් පැසිස්ට් හා ආඥාදායක පාලන රූපයන් කරා වඩවඩා දකුනට ගමන් කරනවා. ජාත්‍යන්තර කම්කරු පන්තිය, තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සටන් වදින්න, තමන්ගේ ම ස්වාධීන සංවිධාන ගොඩනැගිය යුතුයි.

2022 මහජන අරගලය තුලදි, අපි කැදවුම් කලා, කම්කරුවන්ගේ සහ ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයකට. දිවයින පුරා වැඩපොලවල, නිවහන් ප්‍රදේශවල සහ ගම්බද ප්‍රදේශවල ගොඩනැගෙන ස්වාධීන ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම් විය යුතු එම සම්මේලනය, සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් ඒකාබද්ධ කරනවා ඇති. ධනපති පන්තියට ඔවුන්ගේ ආන්ඩුවක් හා රාජ්‍ය යන්ත්‍රයක් තියෙනවා. කම්කරු පන්තියට සහ ගම්බද ජනයාට, තමන්ගේ ම මූලෝපාය ගැන සාකච්ඡා කරන්න, සැලසුම් කරන්න සහ එය ක්‍රියාවට දාන්න අපගේ ම දේශපාලන මධ්‍යස්ථානයක් තියෙන්න ඕන.

ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමට දින කිහිපයකට පෙර, 2022 ජූලි 9 වන දින, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිවස දෙසට දිවෙන වීදියක විරෝධතාකරුවෝ රැස්ව සිටිති. [ඒපී ඡායාරූපය/අමිත තෙන්නකෝන්] [AP Photo/Amitha Thennakoon]

එවන් සම්මේලනයක් සදහා සසප අරගලය, අද දින එදාට වඩා හදිසි භාවයක් අත්පත් කර ගන්නවා. එය, ධනපති පාලනය පෙරලා දමා කම්කරුවන්ගේ සහ ගොවි ජනතාවගේ ආන්ඩුවක් පිහිටුවීම පිනිස වූ බලගතු සමාජවාදී ව්‍යාපාරයක් තුල කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමේ සහ ඒ වටා ගම්බද දුගීන් හා තරුනයන් රැලි කරගැනීමේ මාධ්‍යයයි. අපි සටන් වදින්නෙ, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සදහායි. එය දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර පරිමානව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක්.

අපි, ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, ගම්බද වැඩ කරන ජනයාගෙන් සහ සමාජවාදයට හිතැති බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම තීරනාත්මක දේශපාලන අරගලය තුල අප සමග එකතු වෙන ලෙසයි.

අප්‍රේල් 20 දා 85 වන වියේ දී මිය ගිය, කෘතහස්ත ට්‍රොට්ස්කිවාදී නායක නන්ද වික්‍රමසිංහ සහෝදරයාට උපහාර දැක්වීමෙන් අපගේ කතාව සමාප්ත කරනවා. අපගේ ජාත්‍යන්තර ව්‍යාපාරය පුරා වික්ස් සහෝදරයා ලෙස දන්නා ඔහු, 1968 දී පිහිටුවනු ලැබූ සසපයේ පූර්වගාමී සංවිධානය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ආරම්භක සාමාජිකයෙක්. එලඹෙන විප්ලවවාදී කාලපරිච්ඡේදය සදහා අත්‍යවශ්‍ය පාඩම් අඩංගු දකුනු ආසියාව තුල ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය සදහා වූ පක්ෂයේ සමස්ත දේශපාලන අරගලය සමග ඔහුගේ ජීවිතය මුලුමනින් ම බැදී පැවතුනා.

ඔබට ස්තුතියි.

Loading