2025 ඔන්ලයින් ජාත්‍යන්තර මැයි දින රැලිය ආරම්භ කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල ප්‍රධානී ඩේවිඩ් නෝර්ත් May Day 2025: Socialism Against Fascism and War යන මැයෙන් කල කතාවේ වීඩියෝව සහ පෙල පහතින් පල කෙරෙයි .
2025 මැයි දින සැමරුම ආරම්භ කරමින්, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ධනේශ්වර රාජ්‍යයන් සහ ඒවායේ පොලිස් ආයතනයන් විසින්, නිදහස සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ ජීවත් වීමේ අයිතිය පවා අහිමි කරනු ලැබූ සියලු දෙනා සමගින් තම සහයෝගීතාවය ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර කමිටුව කම්කරුවන්ට සහ තරුනයින්ට කියා සිටින්නේ රාජ්‍ය ද්‍රෝහී නඩුවකට මුහුන දෙමින් දැන් වසරක කාලයක් බන්ධනාගාරගත ව සිටින යුක්‍රේන සමාජවාදී බොග්ඩන් සයිරෝටියුක්ගේ නිදහස සඳහා සටන පුලුල් කල යුතු බවයි. ඔහුගේ සැබෑ “අපරාධය” වන්නේ ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදය ආරම්භ කල වක්‍ර යුද්ධයට එරෙහිව මෙන් ම කියෙවු සහ මොස්කව් ආන්ඩු ප්‍රචාරය කරන ප්‍රතිගාමී ජාතිකවාදයට ද එරෙහි ව යුක්‍රේන සහ රුසියානු කම්කරුවන් සහ තරුනයන්ගේ ඒකාබද්ධතාවය සඳහා සටන් කිරීමයි.
සියලු ම අධිරාජ්‍යවාදී බලයන්ගේ පිටුබලය ලබමින් සාපරාධී ඊශ්‍රායල පාලන තන්ත්‍රය විසින් දියත් කරන ලද ජන සංහාරක ප්‍රචන්ඩත්වයට මුහුන දී සිටින ගාසා තීරයේ ජනතාවට අපි අපේ සහයෝගීතාවය ප්‍රකාශ කරන්නෙමු.
ජාත්‍යන්තර කමිටුව සහ එයට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ ඊශ්‍රායල ධනේශ්වර රාජ්‍යයට එරෙහි ව පලස්තීන ජනතාවගේ අරගලයට සහය දෙමින් කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ අරගලය අඛන්ඩ ව ගෙන යාමට ප්‍රතිඥා දෙයි. ඊශ්‍රායලයේ තරුනයන්ට සහ කම්කරු පන්තියට අපි කල කැඳවුම නැවතත් සිහි කැඳවීමට කැමැත්තෙමු: මීනිමරු සයොන්වාදී ජාතිකවාදයේ ආවෘත අන්තය ප්‍රතික්ෂේප කොට මැදපෙරදිග සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස සමාජවාදී පලස්තීනයක් සඳහා අරගලයට අරාබි සහෝදර සහෝදරියන් සමග එක්සත් වන්න.
ඇමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂය ට්‍රම්ප්ගේ ගෙස්ටාපෝ නියෝජිතයන් විසින් පැහැර ගනු ලැබූ මහමුද් කලීල්, රුමේසා ඔස්ටුර්ක් සහ ලෙකා කෝර්ඩියා වහා ම නිදහස් කල යුතු බව කියා සිටියි. ඇමරිකානු ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට මෙන් ම පුරවැසියන් නොවන අය සඳහා ද එක සේ තහවුරු කරන ලද අයිතියක් වන භාෂනයේ නිදහස අභ්‍යාස කරන සිසුන්ට සහ ආචාර්යවරුන්ට හිරිහැර කිරීම වහා ම නතර කල යුතු බව ද අපි කියා සිටිමු.
ඇන්ඩ්‍රි හර්නැන්ඩෙස් රොමේරෝ සහ කිල්මාර් ආමන්දෝ ඇබ්‍රගෝ ගාර්ෂියා වැනි ඇමරිකාවේ ජීවත් වන සංක්‍රමනිකයන් සිය ගනනින් එල් සැල්වදෝරයේ ගාල් කඳවුරකට පිටුවහල් කිරීම අපි හෙලා දකිමු. වසර විස්සකට පෙර අබු ග්‍රයිබ්හි යුද කඳවුරේ ඉරාක ජාතිකයින්ට වධහිංසා පැමිනවීම හෙලි කරන ඡායාරූප ප්‍රකාශයට පත් කිරීමෙන් ලෝකය කම්පනයට පත් විය. බුෂ් පරිපාලනය ඉරාක සොල්දාදුවන් ඛේදජනක ලෙස අපයෝජනය කිරීමේ සෘජු වගකීමෙන් ගැලවීමට උත්සාහ කලේ තනි පුද්ගලයන් නිල අවසරයකින් තොර ව සිදු කල ක්‍රියාවන්ට එම අපරාධ ඌනනය කරමිනි.
අද දින එ ලෙස වගකීමෙන් පැන යාමට දරන උත්සහයක් හෝ දක්නට නොමැත. ඒ වෙනුවට, සීඊසීඕටී (CECOT) ලෙස හඳුන්වන එල් සැල්වදෝරයේ කුප්‍රකට ත්‍රස්තවාදී රඳවා තැබීමේ මධ්‍යස්ථානය වෙත දැන් එක්සත් ජනපදයේ වෙසෙන දහස් ගනන් සංක්‍රමනිකයන් පිටුවහල් කිරීමේ සැලසුම් ගැන ට්‍රම්ප් පරිපාලනය පුරසාරම් දොඩයි. මිනිසුන් 40,000ක් රඳවා තබා ගැනීමට නිර්මානය කර ඇති මෙම පහසුකම ගාල් කඳවුරකට සමානය. සිරකරුවන් 65 සිට 156 දක්වා සිර මැදිරියක රඳවා සිටින අතර, ඔවුහු සදාකාලික කෘතිම ආලෝකය යටතේ දිනකට පැය 23.5 ක් සිර කරනු ලැබ සිටිති. ඔවුහු මෙට්ට, කොට්ට හෝ ඇඳ ඇතිරිලි නොමැති ව ලෝහ බංකු මත නිදා ගනිති. රැඳවියන් පහර කෑම්වලට ලක් වන අතර ප්‍රමානවත් ආහාර සහ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඔවුන්ට නොලැබෙයි. ඔවුහු සැලසුම් සහගත අවමන්වලට ලක්වනු ලබන අතර, විදුලි සැර වැද්දවීම ඇතුලු වධහිංසා පැමිනවීම් වාර්තා වී ඇත.
එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකෙලේ අප්‍රේල් මාසයේදී ධවල මන්දිරයට පැමිනි විට, ජනාධිපති ට්‍රම්ප් “ගෙදර වැඩුනු” ඇමරිකානුවන් - එනම් එක්සත් ජනපද පුරවැසියන් - සීඊසීඕටී වෙත පිටුවහල් කිරීමේ තම අභිප්‍රායන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ය; ට්‍රම්ප්, ඔහු විසින් පිටුවහල් කිරීමට තර්ජනය කරන දස දහස් ගනනක් රැඳවීමට තවත් කඳවුරු පහක් ඉදිකිරීම අවශ්‍ය බව ද ප්‍රකාශ කලේ ය.
ට්‍රම්ප්ගේ දැලට මෑතදී ගොදුරු කෙරුනු ඇමරිකානු පුරවැසියන් අතර, හොන්ඩුරාස් වෙත පිටුවහල් කරන ලද වයස අවුරුදු 2, 4 සහ 7 යන ලමුන් තිදෙනෙකි. ඉන් එක් දරුවෙකු වයස අවුරුදු 4 ක් වන අතර, ඔහුට හතර වන අදියරේ පිලිකාවක් ඇති බව හඳුනාගෙන ඇත. ඖෂධ සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය නොමැති ව දරුවා පිටුවහල් කර ඇත.
අපි 2025 මැයි දිනය සමරද්දී, සුදුසු ඓතිහාසික සන්දර්භය තුල සිද්ධීන් පිහිටුවීම අත්‍යවශ්‍ය වේ. මෙම මැයි දිනය යුරෝපයේ දෙවන ලෝක යුද්ධය අවසන් වී අසූවන සංවත්සරයට සමගාමී වේ. 1945 මැයි 8 වන දින නාසි පාලනය යටත් විය. ඉන් මාස තුනකට පසු ව, එක්සත් ජනපදය විසින් හෙලන ලද පරමානු බෝම්බ හිරෝෂිමා සහ නාගසාකි දවා අලු කිරීමෙන් පසු ව ජපානය යටත් විය.
1939 සහ 1945 අතර දෙවන ලෝක සංග්‍රාමයේ වසර හය තුල,ලෝකය මීට පෙර අත්විඳින ලද ඕනෑම දෙයක් අභිබවා යන පරිමානයෙන් ම්ලේච්ඡත්වය අත්දිටී ය. යුරෝපයේ ගාල් කඳවුරු විවෘත කිරීම ෆැසිස්ට් ම්ලේච්ඡත්වයේ සුවිශාලත්වය හෙලිදරව් කලේ ය. ක්‍රමානුකූල ව සැලසුම් කරන ලද කාර්මික සමූහ ඝාතන ව්‍යාපාරයකින් යුරෝපීය යුදෙව්වන් සංහාරය ධනවාදය විසින් මුදා හරින ලද ගෝලීය ප්‍රචන්ඩත්වයේ එක් බිහිසුනු අංශයක් පමනි.
යුද්ධයෙන් මිලියන 70 සිට 85 දක්වා ජීවිත අහිමි විය; එය ලෝක ජනගහනයෙන් සියයට 3 ක් පමන වේ. මිලිටරි මරන මිලියන 21 සිට 25 දක්වා ද සිවිල් මරන මිලියන 50 සිට 55 දක්වා ද ඇස්තමේන්තු කර ඇත. යුද්ධයෙන් පසු ජයග්‍රාහකයින් කියා සිටියේ එම ගැටුමේ බිහිසුනු බව යලි ඇතිවීමට ඉඩ දිය නොහැකි බවයි. 1945-46 නියුරම්බර්ග් නඩු විභාගයේ දී, ඇමරිකානු නඩු පවරන්නන් ප්‍රකාශ කලේ නාසි නායකයින් ජන සංහාරය සහ සාමයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවයි. නව නීති අනාගතයේදී එක්සත් ජනපදය ඇතුලුව එ වැනි ම ක්‍රියා සිදු කරන ඕනෑ ම ජාතියක නායකයින්ට එරෙහි ව ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කෙරුනි.
ඇත්ත වශයෙන්ම, එම පොරොන්දුව සැනෙකින් අමතක විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ගත වූ දශක වලදී අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නායකයෝ මිලියන ගනනක් මිය යාමට හේතු වූ යුද්ධ ගෙන ගියහ. එහෙත් අධිරාජ්‍යවාදී අපරාධවල ලේ වැකි වාර්තාව සැලකිල්ලට ගත් විට පවා පැහැදිලි වන්නේ වත්මන් ලෝක පර්යාය කම්පන සහගත දේශපාලන හා සදාචාරාත්මක පරිහානියේ ක්‍රියාවලියකට ලක් ව ඇති බවයි. අධිරාජ්‍යවාදයේ පාලන තන්ත්‍රය ඒකාධිපති හා ප්‍රජාතන්ත්‍රවාදී තන්ත්‍ර අතර වෙනස ප්‍රායෝගික ව අතුගා දැමීම දෙසට නැඹුරු වන බවට පලමු ලෝක යුද්ධය මධ්‍යයේ ලෙනින් අනතුරු ඇඟවීය. ඔහු පැවසුවේ, පොදු රටාව වන්නේ “සැම තැන ම ඇති ප්‍රතිගාමීත්වය” බවයි.
එම නියමය සමකාලීන සිදුවීම් මගින් සනාථ වෙමින් පවතී. සමස්ත ලෝකය ම ඉදිරියේ ගාසා තීරයේ ජනතාවට එරෙහි ව ජන සංහාරයේ අපරාධය ක්‍රියාත්මක වෙමින් පවතී. 1937 දී ගුවර්නිකා නගරයට සහ 1940 දී රොටර්ඩෑම් නගරයට එල්ල වූ නාසි බෝම්බ ප්‍රහාරය සාපරාධී රාජ්‍යයකට පමනක් කල හැකි කුරිරු ක්‍රියාවන් ලෙස සැලකේ. එහෙත් අනාරක්ෂිත වැසියන්ට රාත්තල් 2,000ක බෝම්බ හෙලා ගාසා තීරය ක්‍රමානුකූලව සමූලඝාතනය කිරීම යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ “ප්‍රජාතන්ත්‍රවාදී” ආන්ඩු විසින් ආරක්ෂා කරනු ලැබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරනයේ සොයාගැනීම් නොසලකා හරින අධිරාජ්‍යවාදී බලවතුන් ඊශ්‍රායලය හෙලා දකිනු වෙනුවට ජන සංහාරයට එරෙහි ව සිසුන්ගේ හා කම්කරුවන්ගේ විරෝධතා හෙලා දකිමින් ඒවා සාපරාධීකරනය කරයි. ඒකාධිපති පාලන තන්ත්‍රයන් විසින් පමනක් ක්‍රියාවට නංවනු ඇතැයි විශ්වාස කරන ලද වංචාවේ සහ නරුමත්වයේ මට්ටමක් සමඟ වචන විකෘති කර ඒවායේ මුල් සහ වෛෂයික අර්ථයට ප්‍රතිවිරුද්ධ අර්ථයක් ලබා දී ඇත . එබැවින් ජන සංහාරය හෙලා දැකීම දැන් “යුදෙව් විරෝධය” ලෙස ප්‍රකාශ කර ඇති අතර, නාසි ගනයේ සමූහ ඝාතන ව්‍යාපාරයට එරෙහිව විරෝධතාවේ යෙදෙන යුදෙව් ජනතාව යුදෙව් විරෝධීන් ලෙස හෙලා දකිනු ලැබෙති.
නාසි පාලන තන්ත්‍රයේ බිඳවැටීමෙන් ඉක්බිතිව, අසංඛ්‍ය ශාස්ත්‍රඥයින් තර්ක කලේ තුන්වන රයිකය යනු, තාර්කික පැහැදිලි කිරීම්වලට පටහැනි වූ, අනපේක්ෂිත රිය අනතුරක් වැනි විකාර ඓතිහාසික සිදුවීමක් බවයි. මාක්ස්වාදය ප්‍රතික්ෂේප කිරීමටත්, ව්‍යසනයේ වගකීමෙන් ධනවාදය නිදහස් කිරීමටත් උත්සාහ කරමින්, ෆැසිස්ට්වාදයට හේතුව ධනේශ්වර ආර්ථික විද්‍යාවේ සහ අධිරාජ්‍යවාදී භූ දේශපාලනය තුල නොව මනෝවිද්‍යාව තුල එනම් මානව විඥානයේ අතාර්කික ස්වභාවය තුල සොයා ගත හැකි බවට තර්ක කරන ලදී.
එවැනි පැහැදිලි කිරීම් 1930 ගනන්වල සහ 1940 ගනන්වල ව්‍යසනවල සැබෑ හේතු පිලිබඳ ව විද්‍යාත්මකව පදනම් වූ අවබෝධයක් ලබා නොදුන් අතර, වර්තමානයේ දිග හැරෙමින් පවතින සිදුවීම් පැහැදිලි කිරීම සඳහා ඒවායින් පලක් ඇත්තේ නැත. නාසි පාලන තන්ත්‍රය බිඳ වැටීමෙන් හා දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් වසර 80කට පසු ව, ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙමින් පවතී; ෆැසිස්ට් දේශපාලකයින්ගේ බලපෑම සහ බලය වර්ධනය වෙමින් පවතී; සියලු අධිරාජ්‍යවාදී බලවත්තු මිලිටරි වියදම් දැවැන්ත ලෙස වැඩිකරමින් සිටිති; ජර්මානු දේශපාලන නායකයෝ දශකය අවසන් වීමට පෙර රුසියාව සමඟ නව යුද්ධයකට සූදානම් වීමේ අවශ්‍යතාවය ගැන කතා කරති. දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයෙන් පසු ඕනෑ ම අවස්ථාවකට වඩා මානව වර්ගයා න්‍යෂ්ටික ලෝක යුද්ධයකට සමීප ව සිටියි.
දේශපාලන ම්ලේච්ඡත්වයට හා ව්‍යසනකාරී ගෝලීය යුද්ධයට පල්ලම් බැසීමේ අත්‍යාවශ්‍ය හේතු වන්නේ පසුගිය ශතවර්ෂයේ යුද්ධයට හා ෆැසිස්ට්වාදයට තුඩු දුන් ධනේශ්වර පද්ධතියේ ආර්ථික හා සමාජ ප්‍රතිවිරෝධතා ම ය. මෙම අන්තර් සම්බන්ධිත ප්‍රතිවිරෝධතා නම්, පලමුව, ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය සමග ලෝක ආර්ථිකයේ නොගැලපීම ය; දෙවනුව, මුදල් උමතු කතිපයාධිකාරීන් විසින් පාලනය කරනු ලබන නිෂ්පාදන බලවේගවල ධනේශ්වර පුද්ගලික හිමිකාරිත්වයේ සමාජීය විනාශකාරී ස්වභාවය සහ ජාත්‍යන්තර කම්කරු පන්තියෙන් සමන්විත බිලියන ගනන් ජනයාගේ ශ්‍රමය සම්බන්ධ සමාජ නිෂ්පාදනයයි.
මෙම ප්‍රතිවිරෝධතා අද ක්‍රියාත්මක වන්නේ පලමු හා දෙවන ලෝක යුද්ධවලට තුඩු දුන් ප්‍රමානයට වඩා විශාල පරිමානයෙන් හා තීව්‍රතාවයකින් ය. ජාතික ආර්ථිකයන්හි පරමාධිපත්‍යය දැවැන්ත ගෝලීය නිෂ්පාදන ජාලයක් විසින් දිය කර හැර ඇත. භාන්ඩ නිෂ්පාදනයට ලොව පුරා සිටින කම්කරුවන්ගේ ශ්‍රමය ඒකාබද්ධ කරන ක්‍රියාවලියක් ඇතුලත් වේ. වෙලඳ භාන්ඩවල විශාල කොටසක නිශ්චිත ජාතික සම්භවය හඳුනා ගැනීමට දරන උත්සාහයන් සියල්ල විකාර සහගත ය. ජාතික ආර්ථිකයේ පරිශුද්ධ භාවය ඉල්ලා සිටින අතර ම, ජාතික වශයෙන් පදනම් වූ නිෂ්පාදනය එහි උත්තරීතර පරමාදර්ශය ලෙස ප්‍රකාශ කරන අතරම, සියලු අධිරාජ්‍යවාදී රාජ්‍යයන්ගේ සැබෑ ඉලක්කය, ලෝක නිෂ්පාදන ජාලයන් සහ ගෝලීය වෙලඳ භාන්ඩ දාමය, එක්කෝ පාලනය කිරීම හෝ, අවම වශයෙන්, ඒ තුල වාසිදායක තත්ත්වයකි. ආධිපත්‍යය සහ පැවැත්ම සඳහා වන අරගලය, ශ්‍රමය සහ ලෝක වෙලඳපොල ඇතුලු තීරනාත්මක සම්පත් වෙත ප්‍රවේශය පිලිබඳ උග්‍ර අරගල වලට අනිවාර්යයෙන්ම තුඩු දෙයි.
මෙම ලෝක අරගලයේ ප්‍රධාන භූමිකාව රඟ දක්වනුයේ එක්සත් ජනපදයයි. එහි ක්‍රියාවන්ට විශේෂයෙන් නිර්දය හා ප්‍රචන්ඩ ස්වභාවයක් ලබා දෙන්නේ ගෝලීය ආධිපත්‍යය සඳහා ඇමරිකානු පාලක පන්තියේ අරගලය එහි සැබෑ ආර්ථික බලයේ දිග්ගැස්සුනු පරිහානියේ සන්දර්භය තුල සිදුවෙමින් පැවතීම යන කාරනයයි. ඩොලරයේ ආධිපත්‍යය රත්‍රන් මගින් පිටුබලය ලැබූ සහ විදේශ වෙලඳ අතිරික්තයන් මගින් සත්‍යාපනය කරන ලද එහි සැබෑ දැවැන්ත කාර්මික පදනම මත පදනම් වූ ලොව පුරා ආධිපත්‍යය දැරූ ඇමරිකානු නිෂ්පාදන බලයේ සාමකාමී සමෘද්ධිමත් දින ගෙවී ගොස් බොහෝ කාලයක් ගත ව ඇත.
පසුගිය අඩ සියවස පුරා, ඇමරිකානු ආර්ථිකයේ සැබෑ පදනම කාර්මික නිෂ්පාදනයේ සිට මූල්‍ය පරපෝෂිතභාවය දක්වා පරිවර්තනය වී ඇත. ඇමරිකානු පාලක පන්තියේ ධනය පදනම් වී ඇත්තේ නිෂ්පාදනයේ වර්ධනය මත නොව නයෙහි අසීමිත ප්‍රසාරනය මත ය. ඇමරිකානු ධනවාදය දැන් සමන්විත වන්නේ නය සහ අසීමිත ආකාරයේ නය නිර්මානය කිරීම් වලින් පැන නගින අනාගත ආදායම් මාර්ග සඳහා නීතිමය හිමිකම් කියන ව්‍යාජ ප්‍රාග්ධනයේ දැවැන්ත ප්‍රාසාදයකි.
1970 දී එක්සත් ජනපදයේ දල ෆෙඩරල් නය ඩොලර් බිලියන 371 ක් විය. එය 1980 දී ඩොලර් බිලියන 908 දක්වා වැඩි විය. 2020 වන විට එය ඩොලර් ට්‍රිලියන 26 දක්වා ඉහල ගිය අතර මේ වසර ආරම්භය වන විට එය තවත් ඩොලර් ට්‍රිලියන 10 කින් වැඩි විය. පරපෝෂිතභාවයේ පරිමාව තේරුම්ගත නොහැකි තරම් ය. එක්සත් ජනපද මූල්‍ය ආයතන හරහා සංසරනය වන අරමුදල්වලින් සියයට 15ක් පමනක් නව ව්‍යාපාර ආයෝජන සඳහා මුල්‍ය සම්පාදනය කිරීම, ධනයේ ව්‍යාජ ස්වභාවය පිලිබඳ උදාහරනයකි. ඉතිරි සියයට 85 පවතින වත්කම් පසුපස හඹා යයි. මේ අනුව, වෝල් වීදියේ සහ ගෝලීය මූල්‍ය වෙලඳපොලවල මිල දී ගනු ලබන සහ විකුනනු ලබන කොටස්වල මිල, සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියක් තුල ශ්‍රම ශක්තියේ වියදම සමග බැඳී පවත්නා අතිරික්ත වටිනාකම් උත්පාදනයට කවර හෝ සම්බන්ධයක් නැත.
මැකින්සි ගෝලීය ආයතනය (McKinsey Global Institute) විසින් 2021 දී ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අධ්‍යයනයක් මෙසේ වාර්තා කලේය: “2000 සිට 2020 දක්වා, කොටස්, බැඳුම්කර සහ ව්‍යුත්පන්නයන් වැනි මූල්‍ය වත්කම් දල දේශීය නිෂ්පාදිතයෙන් 8.5 ගුනයක සිට 12 ගුනයක් දක්වා වර්ධනය විය. වත්කම් මිල ඉහල යාමත් සමඟම, සෑම ඩොලර් 1 ක ශුද්ධ ආයෝජනයකට ඩොලර් 2 කට ආසන්න නයක් සහ නය ද ඇතුලුව සමස්ත වගකීම් ඩොලර් 4ක් නිර්මානය විය.”
වෝල් වීදියේ තියුනු විකුනා දැමීම් කිහිපයකට සහ රන් අවුන්සයක මිල ඩොලර් 3,500 දක්වා වාර්තාගත ලෙස ඉහල යාමට තුඩු දී ඇති එක්සත් ජනපද ඩොලරය පිලිබඳ විශ්වාසයේ වැඩෙන අර්බුදය ගැන, ලිපි සෑහෙන ප්‍රමානයක් මෑත මාසවලදී ලියැවී ඇත. මෙය ජනාධිපති රිචඩ් නික්සන් විසින්, ඩොලර් 35 ක් රත්‍රන් අවුන්සයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව අවසන් කල, 1971 අගෝස්තු මාසයේ දී රත්‍රන්වල නිල මිලට වඩා සිය ගුනයකින් වැඩිය.
“විශ්වාසය නැතිවීමේ” වෛෂයික වැදගත්කම වනුයේ, එක්සත් ජනපදයේ වෙලඳ හිඟයේ සහ නය කන්දේ තිරසාර නොවන ස්වභාවය දැන් ගෝලීය ආයෝජකයින් විසින් දැන් හඳුනාගෙන තිබීමයි. කෙලින්ම ප්‍රකාශ කලහොත්, එක්සත් ජනපදය බංකොලොත් භාවයට ලඟා වෙමින් සිටින බවට බියක් පවතී.
ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්ති අවබෝධ කර ගැනීමේ යතුර මෙහි තිබේ. ඔහුගේ ප්‍රතිපත්ති කෙතරම් උමතු සහ නොසැලකිලිමත් බවක් පෙනෙන්නට තිබුන ද, ඒවා සියල්ල, අවසාන විග්‍රහයේ දී, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සැබෑ අර්බුදයකට මංමුලා සහගත ප්‍රතිචාරයන් වේ. ධනවාදයේ පදනම මත විසඳිය නොහැකි ගැටලු වලට කිසිදු මානුෂීය ප්‍රතිචාරයක් නොමැත; ට්‍රම්ප් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග අර්බුදය ගැඹුරු කරන අතර තත්වය වඩාත් නරක අතට හරවයි.
තීරුබදු පැනවීම මගින් ඩොලර් ට්‍රිලියන බහු වෙලඳ හිඟය කපා හරිනු ඇත. තීරනාත්මක සමාජ වැඩසටහන් මත ම්ලේච්ඡ ප්‍රහාරයක් මගින් දැවැන්ත අයවැය හිඟය කපා හරිනු ඇත. නිෂ්පාදනයෙන් ධනය උත්පාදනය කිරීමට නොහැකි තතු තුල, ට්‍රම්ප් වෙනත් රටවල සම්පත් කොල්ලකෑමට විවෘතව සැලසුම් කරයි. ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව කරන ලද එකම සත්‍යවාදී ප්‍රකාශය නම්, යුක්‍රේනයේ ඉරනම ගැන එක්සත් ජනපදය උනන්දුවක් දක්වන්නේ ඩොලර් ට්‍රිලියන ගනනක් වටිනා මූලෝපායික ඛනිජ ප්‍රභවයක් ලෙස පමනක් බව කෙලින්ම ප්‍රකාශ කිරීමයි.
1938 දී හිට්ලර් විසින් ඔස්ට්‍රියාව සහ චෙකොස්ලොවැකියාව ඈඳා ගැනීම අනුකරනය කරමින් ට්‍රම්ප් කැනඩාව සහ ග්‍රීන්ලන්තය අල්ලා ගැනීමට තර්ජනය කරයි. පැනමා ඇල ඇමරිකානු පාලනයට නැවත නතු කර ගැනීමේ සිය අභිප්‍රාය ඔහු ප්‍රකාශ කර ඇත.
හිට්ලර් සහ ට්‍රම්ප් ගත්කල, ඔවුන්ගේ වෛෂයික අභිප්‍රේරන සහ තීරන ගැනීමේ ක්‍රියාවලීන්හි පැහැදිලි සමානකමක් තිබේ. නැසීගිය බ්‍රිතාන්‍ය ඉතිහාසඥ ටිම් මේසන් හිට්ලර්ගේ ආන්ඩුව විස්තර කලේ, “තමා විසින් ම වැඩිමනත් වගකිව යුතු ආර්ථික සහ දේශපාලන ප්‍රතිවිරෝධතා තුල දිගින් දිගට ම සිර වෙමින් සිටින්නා වූ, මෙම ප්‍රශ්නවලින් පැන යාමට, ඒවා විසඳීමට හෝ ඒවායේ අනන්‍ය ස්වභාවය පවත්වා ගෙන යාමට හිසේ රදේට කොට්ට මාරු කරන්නාක් මෙන් ප්‍රතිපත්ති මාරු කරන්නා වූ සහ එන්න එන්න ම පුපුරා යන සුලු අවදානමක් ගන්නා වූ රාජ්‍ය නායකත්වයක්,” යනුවෙනි. යටින් පවතින අර්බුදය දශක ගනනාවක් තිස්සේ එක්සත් ජනපදයේ වර්ධනය වෙමින් පවතී යන ප්‍රස්තූතය සමඟ, හිට්ලර්ගේ ප්‍රතිපත්ති සම්පාදනය පිලිබඳ ඉතිහාසඥයාගේ විස්තරය වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයාට ද අදාල වේ.
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති, දුෂ්ට මන්ද බුද්ධිකයෙකුගේ මානසික ව්‍යාකූලතා ලෙස නොව, ප්‍රගතිශීලී හෝ සාමකාමී පිලිතුරක් නොමැති අර්බුදයකට ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිචාරය ලෙස විමසා බලන විට, එක්සත් ජනපදයේ “බලයට ඇති කැමැත්තේ” ප්‍රතිගාමී සහ ප්‍රචන්ඩ සාරය පිලිබඳ ට්‍රොට්ස්කිගේ තීක්ෂන බුද්ධිය සනාථ කරයි. ට්‍රොට්ස්කි 1928 දී මෙසේ ලිවීය:
'අර්බුද කාලපරිච්ඡේදයේ දී, එක්සත් ජනපදයේ ආධිපත්‍යය උත්පාත කාලයට වඩා සම්පූර්නයෙන්, විවෘතව සහ නිර්දය ලෙස ක්‍රියාත්මක වනු ඇත. එක්සත් ජනපදය මූලික වශයෙන් යුරෝපයේ වියදමින් තම දුෂ්කරතා සහ රෝගවලින් මිදීමට උත්සහ දරනු ඇත්තේ එය ආසියාවේ දී ද, කැනඩාවේ දී ද දකුනු ඇමරිකාවේ දී ද, ඕස්ට්‍රේලියාවේ දී ද නැතිනම් යුරෝපය තුල දී ම ද යන්න නොතකා ය; සාමයෙන් ද යුද්ධයෙන් ද යන්න නොතකා ය.'
වසර හයකට පසු, 1934 දී ඔහු තවත් තියුනු අනාවැකියක් පල කලේය. ඔහු මෙසේ ලිවීය:
'ලෝකය බෙදී තිබේද? එය නැවත බෙදිය යුතුය. ජර්මනියට එය 'යුරෝපය සංවිධානය කිරීමේ' ප්‍රශ්නයක් විය. එක්සත් ජනපදය ලෝකය 'සංවිධානය' කල යුතුය. ඉතිහාසය විසින් මානව වර්ගයා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රචන්ඩ පුපුරා යාමට අභිමුඛ කරනු ලබයි.'
එම පුපුරායාම දැන් සිදුවෙමින් පවතී. එහෙත් ගෝලීය යුද්ධය සඳහා සූදානම් වීම සඳහා රටතුල යුද්ධය උත්සන්න කිරීම අවශ්‍ය වේ. ඔහුගේ දෙවන ධූර කාලය ආරම්භයේ සිට, ට්‍රම්ප් ජනාධිපති කාර්යාලය භාවිතා කරන්නේ මිලිටරි-පොලිස් රාජ්‍ය ආඥාදායකත්වයක නියමු කුටිය ලෙස ය. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති සම්මුතීන් කෙරෙහි ඔහු දක්වන නිග්‍රහය පිලිබඳ කිසිදු මවාපෑමක් නොකරයි. ට්‍රම්ප් විසින් කොන්ග්‍රස් අනුමැතිය ලබා ගැනීම වෙනුවට විධායක නියෝග නැවත නැවත භාවිතා කිරීම, ඔහුගේ අසීමිත බලතල ප්‍රදර්ශනය කිරීමක් ලෙස පවතියි. ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද සහ අප්‍රේල් 28 දින නිකුත් කරන ලද විධායක නියෝගයක් නීතිමය බාධාවකින් තොරව මිලිටරි සහ පොලිස් බලය භාවිතා කිරීමට අවසර දෙයි. නියෝගයේ 4 වන වගන්තිය, “නීතිය සහ සාමය සඳහා ජාතික ආරක්ෂක වත්කම් භාවිතා කිරීම” ලෙස නම් කර ඇත. එය මෙසේ ප්‍රකාශ කරයි:
'මෙම නියෝගයේ දින සිට දින 90 ක් ඇතුලත, නීතිපතිවරයා සහ ආරක්ෂක ලේකම්, ස්වදේශ ආරක්ෂක ලේකම් සහ ඒජන්සි ප්‍රධානීන් සමඟ සුදුසු පරිදි සාකච්ඡා කර, රාජ්‍ය සහ ප්‍රාදේශීය නීතිය බලාත්මක කිරීමට සහාය වීම සඳහා ප්‍රාදේශීය අධිකරන බල ප්‍රදේශවල අතිරික්ත මිලිටරි සහ ජාතික ආරක්ෂක වත්කම් සැපයීම වැඩි කල යුතුය.'
අනතුරු ව එම කොටසේ සඳහන් වන්නේ මෙසේ ය:
“ආරක්ෂක ලේකම්, නීතිපතිවරයා සමඟ සම්බන්ධීකරනයෙන්, අපරාධ වැලැක්වීම සඳහා මිලිටරිය සහ ජාතික ආරක්ෂක වත්කම්, පුහුනුව, මාරාන්තික නොවන හැකියාවන් සහ පිරිස් වඩාත් ඵලදායී ලෙස භාවිතා කල හැකි ආකාරය තීරනය කල යුතුය.'
ඇමරිකානු ඉතිහාසයේ පූර්වාදර්ශයකින් තොර මෙම නියෝගය - “අපරාධවලට එරෙහිව සටන් කිරීම” යන විනිවිද පෙනෙන වංචනික මුවාවෙන් - අයිතිවාසිකම් පනත අහෝසි කරයි. මෙම විධායක නියෝගයේ ආඥාදායක ස්වභාවය අවධාරනය කරමින්, 6 වන වගන්තිය මෙසේ ප්‍රකාශ කරයි:
'නීතිපතිවරයාට සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම්වරයාට, 2025 ජනවාරි 20 දින නිකුත් කල 14159 වැනි විධායක නියෝගය (ආක්‍රමනයට එරෙහිව ඇමරිකානු ජනතාව ආරක්ෂා කිරීම) අනුව පිහිටුවන ලද ස්වදේශ ආරක්ෂක කාර්ය සාධක බලකාය, මෙම නියෝගයේ අරමුනු සම්බන්ධීකරනය කිරීමට සහ ඉදිරියට යාමට යොදා ගත හැකි ය.'
ඔහුගේ ජාත්‍යන්තර ප්‍රතිපත්තිවල දී මෙන්, ට්‍රම්ප් ක්‍රියා කරන්නේ හුදෙක් ඔහුගේ පුද්ගල අභිමතයන් මත නොව, එක්සත් ජනපදය පාලනය කරන කතිපයාධිකාරයේ නියෝජිතයා ලෙස ය.
ට්‍රම්ප් පරිපාලනය අපගමනයක් නොවේ; එය, ඒ වෙනුවට, ප්‍රජාතන්ත්‍රවාදය සමග දැවැන්ත සමාජ අසමානතාවයේ නොගැලපීම පිලිබඳ දේශපාලන ප්‍රකාශනයකි. ඔහුගේ ප්‍රධාන උපදේශක ලෙස, ලෝකයේ ධනවත්ම මිනිසා වන එලොන් මස්ක් තෝරාගත් සහ මෙගා-කෝටිපතියන් සහ ප්‍රකෝටිපතියන් ඔහුගේ කැබිනට් මන්ඩලය ලෙස පත් කරගත් ට්‍රම්ප් තම ආන්ඩුව කතිපයාධිකාරය විසින් කතිපයාධිකාරය සඳහා වන ආන්ඩුවක් බව වසන් කිරීමට වෙහෙසෙන්නේ නැත. නමුත් ට්‍රම්ප් කතිපයාධිකාරය නිර්මානය කලේ නැත. එය මූල්‍යකරක ක්‍රියාවලියේ සහ ව්‍යාජ ප්‍රාග්ධනය සමුච්චය වීමේ ප්‍රතිඵලයකි.
කතිපයාධිකාරයේ ආදායම් ප්‍රවාහය වන කොටස්හිමි වටිනාකම ඉහල දැමීම මත යොදන ආර්ථික වසයෙන් ව්‍යාධිමය අවධාරනය, නිෂ්පාදන ක්‍රියාවලියෙන් නොව, කොටස් ආපසු මිලදී ගැනීම්, ඒකාබද්ධ කිරීම් සහ උත්තෝලිත අත්පත් කර ගැනීම් ආදී මුල්‍ය වත්කම් උපාමාරු මගින් ලාභ උත්පාදනය කරන්නා වූ නෛසර්ගික ව දූෂිත පද්ධතියක් නීත්‍යානුකූල කරයි.
නිරපේක්ෂ වශයෙන්, උද්ධමනය අනුව සකස් කල විට පවා, බහු-ප්‍රකෝටිපති කතිපයාධිකාරීන්ගේ පුද්ගලික ධනය දහනවවන සියවසේ අගභාගයේ සහ විසිවන සියවසේ මුල් භාගයේ කොල්ලකාරී වංශාධිපතීන්ගේ ධනය ඉක්මවා යයි. ජනගහනයේ අතිශය කුඩා කොටසක් අත සංකේන්ද්‍රනය වී ඇති ධනයේ පරිමාව සිතා ගැනීම පවා දුෂ්කරය. එක්සත් ජනපදයේ ධනය බෙදී ගොස් ඇති ආකාරය පිලිබඳ මෑත විශ්ලේෂනයක් පෙන්වා දෙන්නේ 2024 දී පමනක් ධනවත්ම ඇමරිකානු කුටුම්බ 19 සඳහා ඩොලර් ට්‍රිලියන 1ක අතිරේක ධනයක් උත්පාදනය වූ බවයි. ජනගහනයෙන් 0.00001%ක් වන මෙම පිරිසට සමස්ත එක්සත් ජනපද කුටුම්බ ධනයෙන් සියයට 2ක් පමන උරුම වේ.
සමාජ ධ්‍රැවීකරනයේ ක්‍රියාවලිය මාරාන්තික පිලිකාවක් මෙන් වර්ධනය වෙමින් පවතී. 2021 දී බිලියනපතියෝ 1,370 ක් සිටියහ. 2024 අවසන් වන විට එම සංඛ්‍යාව 1,990 දක්වා ඉහල ගොස් ඇති අතර එය සියයට 45ක වැඩිවීමකි. ධනවත්ම සියයට 1ට එක්සත් ජනපදයේ ධනයෙන් සියයට 31ක් හිමි ය. සාමූහික ව, ධනවත් ම සියයට 10 ජාතික ධනයෙන් සියයට 67ක් හිමිකර ගනී. සංසන්දනය කිරීමේදී, පහල ම සියයට 50 සතු වන්නේ සියයට 3ක් පමනි.
සමාජ අසමානතාවයේ මෙම විශ්මයජනක මට්ටම ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වා ගත නොහැක. කතිපයාධිකාරීන් රඳා පවතින්නේ, 2008 සහ 2020 දී මෙන්, සමස්ත වංචනික පද්ධතියම බිඳවැටීමේ අනතුරට මුහුන දෙන අවස්ථාවන්හි දී මූල්‍ය වෙලඳපොලවලට අඛන්ඩව නය සැපයීම සහ එන්නත් කිරීම මත බව අවධාරනය කල යුතුය.
කෝවිඩ්-19 වසංගතයට ඇමරිකානු මහ බැංකු සහ සෙසු මහ බැංකු දැක් වූ ප්‍රතිචාරය මගින් මෙම ක්‍රියාවලිය ප්‍රකාශයට පත් විය . ආන්ඩුවල ප්‍රධාන උත්සුකය වූයේ ජීවිත බේරා ගැනීම නොව, මූල්‍ය වෙලඳපොලවල් සහ ඔවුන්ගේ පාලක පන්තියේ ආයෝජකයින් බේරා ගැනීමයි.
මෙම රැලියේ දී කතා කිරීමට නියමිත මගේ සහෝදර නික් බීම්ස් පැහැදිලි කර ඇති පරිදි:
'මූල්‍ය කතිපයාධිකාරයේ ධනය පදනම් වන්නේ නිෂ්පාදනය හරහා වටිනාකමක් නිර්මානය කිරීමෙන් නොව, රාජ්‍යය විසින් මූල්‍ය වෙලඳපොලවලට ව්‍යාජ ප්‍රාග්ධනය අඛන්ඩව එන්නත් කිරීමෙනි.'
වෛෂයික අර්ථයෙන් ගත් කල, ට්‍රම්ප් පරිපාලනය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ප්‍රහාරය සමාජය තුල පවතින පන්ති සබඳතාවලට අනුකූලව පාලනයේ රූපාකාරයන්හි ප්‍රචන්ඩ ප්‍රතිනිර්මානය කිරීමක් හඟවයි. වංචාවේ දුගඳ හමන අසූචි කන්දක් මුදුනේ ධවල මන්දිරය පාවෙමින් පවතී. ට්‍රම්ප්, හොර වෙලෙන්දා, වංචාවේ ගුරු, සාපරාධී කතිපයාධිකාරියක පුද්ගලාරෝපනය මිස අන් කිසිවක් නොවේ.
නමුත් ඇමරිකානු අත්දැකීම එයට අනන්‍යවූවක් නොවේ. එය සියලු ප්‍රධාන ධනේශ්වර රටවල් හරහා හමා යන දේශපාලන හා සමාජ ප්‍රති-විප්ලවයේ රැල්ලේ වඩාත්ම කැපී පෙනෙන ප්‍රකාශනයයි. මුසෝලිනිගේ මලසිරුර මිලානෝහිදී ඔහුගේ විලුඹින් එල්ලා සහ හිට්ලර් තම කටට වෙඩි තබා ගෙන සිය ජීවිතය අවසන් කර වසර 80කට පසු, ෆැසිස්ට් පක්ෂ සහ දේශපාලකයින් සෑම දියුනු රටවලම පාහේ ශක්තිමත් වෙමින් පවතී. මේ භයානක සත්‍යයට මුහුන දිය යුතුයි. අනතුර කෙසේ හෝ පහව ගොස් සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි සහතික කරන ස්වයං රැවටීමක්, යථාර්ථය හෑල්ලු කර ඉදිරිපත් කිරීමක් සේවය කරන්නේ දේශපාලන ව්‍යසනය සඳහා මාවත කැපීමට පමනි.
එහෙත් ෆැසිස්ට් අන්තරාය සහ ලෝක යුද්ධයේ තර්ජනය පිලිගැනීම යන්නෙන් අදහස් වන්නේ ලෝක ධනවාදයේ අර්බුදයේ නොවැලැක්විය හැකි ප්‍රතිඵලය එය ලෙස පිලිගැනීම නොවේ. බෙහෙවින් වෙනස් දෙයක් ද විය හැකියි. ෆැසිස්ට්වාදයේ අනතුර අවතක්සේරු නොකල යුතුය. එහෙත් කිසිවකු එය අතිශයෝක්තියට නැංවිය යුතු නැත. ට්‍රම්ප්, ඔහුගේ අභිප්‍රායන් සහ ඔහුගේ පෞරුෂය අනුව, ෆැසිස්ට්වාදියෙකි. එහෙත් ඔහු තවමත් හිට්ලර් කලාක් මෙන් මහජන ෆැසිස්ට් ව්‍යාපාරයකට නායකත්වය දී නැත. එවන් ප්‍රතිගාමී මහජන ව්‍යාපාරයක වර්ධනය හා ජයග්‍රහනය රඳා පවතින්නේ කම්කරු පන්තියේ දිරියබල සිඳීයාම මත බව ඉතිහාසය උගන්වයි. නමුත් අද පවතින තත්ත්වය එය නොවේ.
මෙම දශකයේ මුල් වසර පහ තුල ධනේශ්වර දේශපාලනය දරුනු ලෙස ප්‍රතිගාමී ස්වභාවයක් අත්පත් කරගෙන ඇති බව සැබෑය .
එහෙත් ධනේශ්වර-අධිරාජ්‍යවාදී ප්‍රතිගාමිත්වයේ වර්ධනය සමග තවත් ප්‍රතිවිරෝධක ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතී- කම්කරු පන්තියේ වැඩෙන සමාජ හා දේශපාලන රැඩිකලීකරනයයි ඒ. මෙම ව්‍යාපාරය ලෝක පරිමානව ශක්තිමත් වෙමින් පවතී.
පාලක ප්‍රභූව ෆැසිස්ට්වාදය හා යුද්ධය දෙසට තල්ලු කරන එම ආර්ථික, සමාජීය හා දේශපාලන ප්‍රතිවිරෝධතා ම පන්ති අරගලය සහ සමාජ විප්ලවය තීව්‍ර කිරීම සඳහා ආවේගය සම්පාදනය කරයි. මතක තබා ගන්න, 1914 අගෝස්තුවේ පලමු ලෝක යුද්ධය පුපුරා යාමෙන් පසු ව 1917 පෙබරවාරි මාසයේ රුසියානු විප්ලවය පුපුරා ගිය අතර, එය 1917 ඔක්තෝබර් මාසයේ දී බොල්ෂෙවික්වරුන් විසින් බලය අත්පත් කර ගෙන ලෝකයේ පලමු කම්කරු රාජ්‍යය පිහිටුවීමට හේතු විය. දෙවන ලෝක සංග්‍රාමය විසින්, ලොව පුරා පැතිර ගිය කම්කරු පන්තියේ සහ යටත් විජිත මහජනතාවගේ මහජන විප්ලවවාදී අරගල ජනිත කෙරුනි.
එම ඓතිහාසික අපෝහකයම අද ක්‍රියාත්මක වේ. යල්පැන ගිය ධනේශ්වර ක්‍රමයක පදනම මත වර්ධනය වන ගෝලීය අර්බුදය, විභව යෝජනා දෙකකට ඉඩ සලසයි - එක්කෝ ෆැසිස්ට්වාදයේ සහ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මානව සමාජයේ අවසානය හෝ සමාජවාදී විප්ලවය හරහා එහි නව්‍යකරනයයි.
වර්තමානයේ මෙම දැවැන්ත අන්තරාය පැවතිය ද, පාලක පන්තියේ දැවැන්ත විනාශකාරී සම්පත් සහ හැකියාවන් අවතක්සේරු නොකර ම, සමාජ විප්ලවයේ විභවය ඉතිහාසයේ කවර කාලයකටත් වඩා අද සුවිසල් බව පැවසිය යුතු ය. වෛෂයික අර්ථයකින් කම්කරු පන්තියේ බලය එහි උච්ඡස්ථානයේ පවතී. ජාතික රාජ්‍ය පද්ධතියේ බිඳ වැටීම ධනේශ්වර පාලනයේ ඓතිහාසික පදනම දැඩි ලෙස ඛාදනය කර ඇත. නිෂ්පාදනයේ ගෝලීයකරනය ජාත්‍යන්තර කම්කරු පන්තියේ භෞතික ප්‍රමානය හා විභව ආර්ථික බලය විශාල වශයෙන් පුලුල් කර ඇත.
පසුගිය වසර 30 තුල පමනක් ගෝලීය නිර්ධන පංතිය බිලියන 1කට වඩා වැඩි පිරිසකින් වර්ධනය වී ඇත. අප්‍රිකාවේ, ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ නිර්ධන පංතියේ විශාලත්වය ඉහල ගොස් ඇත. දියුනු රටවල නිර්ධන පංතිකකරන ක්‍රියාවලිය විසින් සුලු ධනේශ්වර හෝ මධ්‍යම පන්තිය ලෙස කලින් නිර්වචනය කරන ලද වෘත්තීන් අවශෝෂනය කර ඇත. කලින් මධ්‍යම පන්තික වෘත්තීන්හි යෙදී සිටි බොහෝ දෙනෙක් ඇතුලුව ඇමරිකානුවන්ගෙන් සියයට 60කට වැඩි ප්‍රමානයක් වැටුප් චෙක්පතෙන් වැටුප් චෙක්පතට දැන් ජීවත් වෙති . ඉහල වැටුප් ලබන කම්කරුවන් පවා දැන් තම සියලුම ආදායම පාහේ උපයා ගන්නේ තම වැටුපෙනි. 1930 ගනන්වල ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්, එක්සත් ජනපදය නිවාස හිමියන්ගේ ජාතියක් බවට පත් කිරීමෙන් විප්ලවය වලක්වන බව නරුම ලෙස ප්‍රකාශ කලේය. නමුත් පසුගිය වසර 45 තුල කම්කරු පන්තියේ නිවාස හිමිකම සියයට 65 සිට සියයට 35 දක්වා වේගයෙන් පහත වැටී ඇත.
කලක් “අසීමිත අවස්ථා සහිත දේශය” ලෙස ප්‍රකට වූ එක්සත් ජනපදය, අසීමිත නය බරෙහි දේශය බවට පත්ව ඇත. එක්සත් ජනපද කුටුම්බ නය දැන් ඩොලර් ට්‍රිලියන 17.5 ක් වන අතර, එයින් උකස් නය ඩොලර් ට්‍රිලියන 12.4 ක්, මෝටර් රථ නය ඩොලර් ට්‍රිලියන 1.6 ක්, ක්‍රෙඩිට් කාඩ් නය ඩොලර් ට්‍රිලියන 1.1 ක් සහ පුද්ගලික නය ඩොලර් බිලියන 600 කි. සිසුන් සම්බන්ධයෙන් ගත් කල, ජීවිතයේ ආරම්භයේදීම, ඔවුන් ඩොලර් ට්‍රිලියන 1.7 ක නය බරක් දරයි. මිලියන 43ක් වන වත්මන් සිසුන් ගේ හෝ පෙර සිසුන්ගේ නයෙහි සාමාන්‍යය ඩොලර් 37,000කි. බොහෝ උපාධිධාරී සිසුන් තවත් බොහෝ දෑට නය වී ඇත.
එහෙත් මෙම සංඛ්‍යාලේඛන, සමාජ ව්‍යසනයේ දර්ශක ලෙස කෙතරම් වැදගත් වුවත්, ඒවා පමනක් සමාජවාදී විප්ලවයේ තීරනාත්මක ගාමක බලය නොවේ. ජාතික රාජ්‍ය පද්ධතියට විනාශකාරීවන ගෝලීයකරන ක්‍රියාවලිය කම්කරු පන්තිය එක්සත් කරයි. ගෝලීය වෙලඳ භාන්ඩ දාමයන්, විප්ලවවාදී ක්‍රියාවන් දැනුවත්ව මෙහෙයවන ගෝලීය ජාලයන් බවට පරිවර්තනය කල හැකිය.
එපමනක් නොව, අප දැනට ජීවත් වන්නේ ඉතිහාසයේ විශාලතම විද්‍යාත්මක විප්ලවයක් මධ්‍යයේ ය. මෙම විප්ලවයේ අතුරු ඵලයක් වන සන්නිවේදනයේ දියුනුව, ගෝලීය පරිමානයෙන් තම අරගල සැලසුම් කිරීම, සංවිධානය කිරීම සහ මෙහෙයවීම සඳහා වූ අසාමාන්‍ය මාධ්‍යයන් කම්කරු පන්තියට ලබා දී ඇත.
කම්කරු පන්තියේ භාවිතය සඳහා තවත් බලගතු ආයුධයක් දැන් තිබේ. කෘත්‍රිම බුද්ධි තාක්ෂනයන් දියුනු කිරීම කම්කරු පන්තියේ තොරතුරු සහ දැනුම වෙත ප්‍රවේශ වීමේ හැකියාවෙහි වේගවත් වර්ධනයක් ඇති කරයි. ඇත්ත වශයෙන්ම, පාලක ප්‍රභූන් ලාභ පද්ධතියේ අවශ්‍යතා සඳහා මෙම තාක්ෂනයන් භාවිතා කිරීමට උත්සාහ කරයි.
නමුත් කෘතීම බුද්ධිය විසින් මෙතෙක් සිතාගත නොහැකි වූ හැකියාවන් මහජනතාවගේ අධ්‍යාපනය සහ දේශපාලන බුද්ධි ප්‍රබෝධය සඳහා විවෘත කරයි. සමාජවාදී ව්‍යාපාරයේ ඓතිහාසික ගීතය වන “ද ඉන්ටර්නැෂනාල්” හි කම්කරුවන් වෙත කරන ආයාචනය - “ඔබේ සියලු මිථ්‍යා විශ්වාසවලින් ඉවත් වන්න” - එය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රබල මාධ්‍යයක් අත්පත් කරගෙන ඇත. 1945 ජූලි මාසයේදී පරමානු බෝම්බයක් ප්‍රථම වරට පුපුරුවා හැරීම නිරීක්ෂනය කරමින් භෞතික විද්‍යාඥ රොබට් ඔපන්හයිමර් හින්දු ග්‍රන්ථයක ඡේදයක් සිහිපත් කලේය: “දැන් මම ලෝකයන් විනාශ කරන මරුවා බවට පත්වෙමි.” “ඉමහත් වේගයෙන් පුලුල් වූ මානව බුද්ධිය” ලෙස වඩාත් යෝග්‍ය ලෙස සංලක්ෂනය කල හැකි කෘතීම බුද්ධියෙහි වර්ධනයත් සමඟ, එය මහජනතාවගේ දේශපාලන භාවිතයට විනිවිද යන හා බලපෑම් කරන තරමට ධනවාදයේ නාශකයා බවට පත්වේ.
එහෙත් තාක්ෂනයෙන් ම සමාජවාදී විප්ලවය සාක්ෂාත් කල නොහැක. කම්කරු පන්තිය ලෝක ධනවාදයේ අර්බුදයට සිය සමාජවාදී විසඳුම පැනවීමට නම්, එය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳිය යුතුය. පන්ති අරගලය මැඩපැවැත්වීම සඳහා තමන්ට හැකි සෑම දෙයක්ම කරන ධනේශ්වර ගැති දේශපාලන පක්ෂවලින් සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ පාලනයෙන් එය මිදිය යුතුය .
සියල්ලටත් වඩා, කම්කරු පන්තිය ප්‍රතිගාමී ජාතිකවාදයේ සියලු ප්‍රභේද ප්‍රතික්ෂේප කල යුතුය. ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව සඳහා වන කැඳවීම මනෝරාජික සිහිනයක් නොවේ. එය නූතන ලෝකයේ විප්ලවවාදී මූලෝපායේ අත්‍යවශ්‍ය හා එකම යථාර්ථවාදී පදනමයි.
වසර පනහකට පෙර, 1975 දී, වියට්නාම කම්කරුවන් සහ ගොවීන් මැයි දිනය සමරනු ලැබුවේ සයිගොන් නගරයට ඇතුලු වී එක්සත් ජනපදයේ රූකඩ ආන්ඩුව පෙරලා දැමීමෙනි. එය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දැවැන්ත පරාජයකි. එහෙත් මොස්කව් හා බීජිංහි ස්ටැලින්වාදී නිලධරයන්ගේ ජාතිකවාදී පිලිවෙත් මගින් විප්ලවය හුදකලා විය. 30 වසරක අරගලයේ සියලු කැපකිරීම් නොතකා ජාතික හුදකලාව ධනවාදය ප්‍රතිස්ථාපනය කිරීමට සහ වියට්නාමය ලාභ ශ්‍රමයේ මූලාශ්‍රයක් බවට පරිහානියට හේතු විය.
මෙම ඓතිහාසික අත්දැකීම අධිරාජ්‍යවාදයේ ගෝලීය ප්‍රතිවිරෝධතා සඳහා කම්කරු පන්තියට ජාතික විසඳුම් නොමැති බවට තවත් උදාහරනයකි. ජාතික රාජ්‍යවල බහු-ධ්‍රැවීය සන්ධානයක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යයට විකල්පයක් නියෝජනය කරයි යන ප්‍රකාශය මුලාවකි. අවශ්‍ය වන්නේ බටහිර යුරෝපයේ එක්සත් ජනපදයට එරෙහිව පෙල ගැසී සිටින ජාතික රාජ්‍යයන්ගේ නව මූලෝපායික සන්ධානයක් නොව, ජාතික රාජ්‍ය පද්ධතිය සහ නිෂ්පාදන මාධ්‍යවල ධනේශ්වර අයිතිය අහෝසි කිරීමයි.
මානව වර්ගයාගේ ඉරනම රඳා පවතින ලෝක ඉතිහාසයේ දැවැන්තම විප්ලවවාදී අරගලයන්ගේ කාල පරිච්ඡේදයකට අපි ඇතුලු වී සිටිමු. කම්කරු පන්තිය විප්ලවවාදී පන්තියක් ද, සමාජවාදය කල හැකි දෙයක් ද යන්න ගැන අනුමාන කරමින් කාලය නාස්ති කිරීමෙන් පලක් නැත. මාක්ස් තම ෆොයර්බාක් පිලිබඳ නිබන්ධනයෙහි ලියා ඇත්තේ භාවිතයෙන් තොරව, චින්තනයේ යථාභාවය හෝ අයථාභාවය පිලිබඳ කෙරෙන විවාද අර්ථ විරහිත බවයි. පන්ති අරගලයට සහභාගී වීමෙන් තොර ව යුද්ධය නැවැත්වීමේ, ෆැසිස්ට්වාදය පරාජය කිරීමේ සහ සමාජවාදය ස්ථාපිත කිරීමේ හැකියාව පිලිබඳ වාද විවාද මුලුමනින්ම නිෂ්ඵල ය. සමාජවාදය අත්කර ගැනීමේ හැකියාව ඔප්පු කල හැක්කේ භාවිතයෙනි.
පසුගිය ශතවර්ෂයේ ඉතිහාසය සමාජවාදී විප්ලවයේ හැකියාව පෙන්නුම් කලේය. එහෙත් ජයග්‍රහනය රඳාපවතින්නේ කම්කරු පන්තිය තුල මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී නායකත්වයක් ගොඩනැගීම මත බව ද එයින් සනාථ විය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එයට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ මෙම කාර්යය ඉටු කිරීම සඳහා කැපවී සිටියි.
මෙම තීරනාත්මක මැයි දිනයේදී, මෙම ලෝක ව්‍යාප්ත රැලියට සහභාගී වන සියලුම දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ අපගේ ලෝක පක්ෂයට එකතු වී සමාජවාදයේ ජයග්‍රහනය සඳහා සටන් කරන ලෙසයි.