පාකිස්ථානය තුලට ඉන්දීය ගුවන් ප්‍රහාර එල්ල වීමත් සමඟ දකුනු ආසියානු ගැටුම උත්සන්න වේ

[මෙය South Asian confrontation escalates as Indian airstrikes hit inside Pakistan යන මැයෙන් 2025 මැයි 08 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

බදාදා (07) මධ්‍යම රාත්‍රිය ඉකුත් වී මඳ වේලාවකට පසු, ඉන්දීය හමුදාව, පාකිස්ථානයෙන් පාලනය වන කාශ්මීරය තුලට සහ පාකිස්ථානය තුලම අභ්‍යන්තර ඉලක්ක වෙතට පහර දීමෙන් පසු, ඉන්දීය ආන්ඩුව, පාකිස්ථානය සමඟ ආතතීන් ප්‍රකෝපකාරී ලෙස උත්සන්න කර තිබේ.

2025 මැයි 7 වන දින, පාකිස්ථානය මගින් පාලනය වන කාශ්මීරයේ අගනුවර වන මුසෆරාබාද් අසල, ඉන්දියානු මිසයිල ප්‍රහාරයකින් හානි වූ බවට සැක කෙරෙන මුස්ලිම් පල්ලියක වහල [AP Photo/M.D. Mughal]

ඉලක්ක නවයකට පහර දුන් බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කල මුත් කිසිදු විස්තරයක් ලබා දී නැත. ප්‍රහාර, “ඉලක්කගත, මැන බලන ලද ලද සහ උත්සන්න නොකරනසුලු ස්වභාවයකින්” එල්ල කල බවත්, “ත්‍රස්තවාදී යටිතල පහසුකම්” ඉලක්ක කර ගනිමින් සහ පකිස්ථාන හමුදා කඳවුරු පරිශ්‍ර සහ සැපයුම් මඟ හැර එල්ල කල බවත් එය කියා සිටියේය.

අප්‍රේල් 22 වන දින ඉන්දියාවෙන් පාලනය වන කාශ්මීරයේ පහල්ගම් අසල පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස පාකිස්ථානය සිටින බවට, ඉන්දියාව, සාක්ෂි ඉදිරිපත් නොකර ම චෝදනා කර ඇති අතර, ඊට පලිගන්නා බවටද සපථ කර තිබේ.

පකිස්ථාන ආන්ඩුව ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බව තරයේ කියා සිටිමින්, සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යස්ථ පරීක්ෂනයක් ඉදිරිපත් කර තිබේ.

මෙම ගුවන් ප්‍රහාර මගින්, ලොවෙහි යුද්ධය වහා පැනනැගිය හැකි භයානකම ස්ථානයක හිතාමතාම ගිනි අවුලුවා ඇත. න්‍යෂ්ටිකව සන්නද්ධ දෙරට, කාශ්මීරය සම්බන්ධයෙන් දැනටමත් යුද්ධ තුනක් කර ඇති අතර, දෙරටම එයට අයිතිවාසිකම් කියා සිටී. ගැටුම, දැන්, පාකිස්ථානය සමඟ ශක්තිමත් සබඳතා ඇති චීනය සමඟ යුද්ධය සඳහා එක්සත් ජනපදයේ නායකත්වයෙන් සිදු කෙරෙන සූදානම් කිරීම් සමඟ බැඳී පවතී. බීජිනය සමඟ ගැටුම උත්සන්න කර ඇති හෙයින්, වොෂින්ටනය දකුනු ආසියාවේ එහි ප්‍රධාන මූලෝපායික සහකරු ලෙස නවදිල්ලිය සමඟ එහි මිලිටරි සබඳතා ශක්තිමත් කරගෙන ඇත.

පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ්, ගුවන් ප්‍රහාර “වංචනික සතුරෙකුගේ” “බියගුලු ප්‍රහාර” ලෙස හෙලා දැක ඇති අතර එම “බියගුලු ප්‍රහාර” සඳහා පලිගැනීමට සපථ කර තිබේ. “ඉන්දියාව විසින් සිදුකරන ලද මෙම යුද ක්‍රියාවට දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට පාකිස්ථානයට සෑම අයිතියක්ම ඇති අතර, ඇත්ත වශයෙන්ම බලගතු ප්‍රතිචාරයක් ලැබෙමින් පවතී,” ඔහු පැවසීය.

පාකිස්ථානය කියා සිටියේ, අවම වශයෙන් ඉන්දීය ගුවන් හමුදා ජෙට් යානා පහක්වත් වෙඩි තබා බිම දැමූ බවයි. ඉන්දීය ගුවන් යානා ඉන්දීය ගුවන් සීමාවේ ම රැඳී සිටි බවත්, ප්‍රහාර සිදු කිරීම සඳහා “දිගු-දුර අවි” භාවිතා කල බවත් එහි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. අල් ජසීරා රූපවාහිනී නාලිකාවට අනුව, පාකිස්ථාන හමුදාව දැනටමත් පාකිස්ථාන පාලනය යටතේ පවතින අසාද් කාශ්මීරය සහ ඉන්දීය පාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීරය වෙන් කරන පාලන රේඛාව (එල්ඕසී) ඔස්සේ දැඩි කාලතුවක්කු ප්‍රහාර එල්ල කර තිබේ. ඉන්දීය පාබල-සේනා මූලස්ථානයක් විනාශ කල බව එය කියා සිටී.

පාකිස්ථානය තුල මුරිඩ්කේ සහ බහවල්පූර් නගර අසල මෙන්ම පාකිස්ථානය යටතේ පවතින කාශ්මීරයේ බාග්, කොට්ලි සහ මුසෆරාබාද් යන ප්‍රදේශවලට එල්ල වූ ඉන්දීය ගුවන් හමුදා මිසයිල ප්‍රහාරවලින් “කාන්තාවන් සහ ලමයින් ඇතුලු අහිංසක සිවිල් වැසියන් මියගිය” බව සන්නද්ධ හමුදා ප්‍රකාශක අහමඩ් ෂරීෆ් චෞද්‍රි පැවසීය. අට දෙනෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති අතර දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

පන්ජාබ්හි මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරයකින් මියගිය අතර දරුවෙකු සහ තවත් දෙදෙනෙකු විය.

පසුගිය සති දෙකක කාලය තුල ඉන්දියානු සහ පකිස්ථාන හමුදා විසින් රාත්‍රී කාලයේ දී සීමා නිර්න රේඛාව හරහා සුලු අවි ප්‍රහාර හුවමාරු කර ගැනීමෙන් පසුව, මෙම ගුවන් ප්‍රහාර එල්ල විය. අවම වශයෙන් ඉන්දීය පැරාමිලිටරි භටයින් 40 දෙනෙකු මිය ගිය මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකට ඉස්ලාමාබාද් වෙත දොස් පැවරීමෙන් පසු එහි යුධ ගුවන් යානා ස්ථාන කිහිපයකට පහර දුන් 2019 වසරෙන් පසු, ඉන්දියාව පකිස්ථාන භූමිය තුල ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කල පලමු අවස්ථාව මෙය විය. එපමනක් නොව, පාකිස්ථානයේ පන්ජාබ් පලාතේ නැගෙනහිර-අහමඩ්පූර් සහ මුරිඩ්කේ වෙත එල්ල වූ නවතම ප්‍රහාර, 1971 ඉන්දු-පකිස්ථාන යුද්ධයෙන් පසු පාකිස්ථානයේ රට-අභ්‍යන්තරයට ම එල්ල වූ ප්‍රහාර වේ.

අද දින ප්‍රහාරවල බරපතලකම අඩු කිරීමට නවදිල්ලිය ගත් උත්සාහයන්ගේ වංචනිකභාවය, අප්‍රේල් 22 ත්‍රස්ත ප්‍රහාරයට අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවේ දක්ෂිනාංශික හින්දු අධිපතිවාදී ආන්ඩුවේ යුදවාදී ප්‍රතිචාරයෙන් සනාථ වේ. එතැන් පටන්, මෝදි සහ ආන්ඩුවේ ඉහල නායකයින් අපරාධකරුවන්ට පමනක් නොව, “ත්‍රස්තවාදයේ ස්වාමිවරුන්ට” සහ “සංවිධායකයින්ට ද” පහර දෙන බවට නැවත නැවතත් තර්ජනය කර ඇත—එය පකිස්ථාන ආන්ඩුවට සහ සන්නද්ධ හමුදාවන්ට එරෙහි වක්‍ර තර්ජනයකි.

මෝදි ආන්ඩුව ප්‍රථම වරට ඉන්දුස් ජල ගිවිසුමෙන් ඉවත්ව ඇති අතර එය පකිස්ථාන නගර සහ උප-නගරවලට මෙන්ම කෘෂිකර්මාන්තවලට ජලය කපා හැරීමට තර්ජනය කරයි. 1960 දී අත්සන් කරන ලද ඉන්දුස් ගංගා ගිවිසුමට, පාකිස්ථානය දැඩි ලෙස යැපෙන ගංගා පද්ධතියේ ජල සම්පත්වල සංකීර්න බෙදා ගැනීමක් ඇතුලත් විය; එහි අවසාන මූලාශ්‍රය චීනය වන මුත් එය ගලා යන්නේ ඉන්දියාව හරහා ය.

ධවල මන්දිරයේදී එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් නොසැලකිලිමත් ලෙස ප්‍රකාශ කලේ, පාකිස්ථානයට එරෙහිව ඉන්දියාව සිදු කරන ලද භයානක මිලිටරි උත්සන්නිය “ලැජ්ජාවට කරුනක්” බවයි. ඉන්දීය ගුවන් ප්‍රහාර ගැන තමා අසා දැන ගත්තේ මේ දැන් බව කියා සිටි ඔහු, “ඔවුන් දිගු කලක් තිස්සේ සටන් කරමින් සිටිනවා. එය ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

යථාර්ථය නම්, ට්‍රම්ප් පරිපාලනයේ සමීප සබඳතා සහ ඉන්දියාව සමඟ මූලෝපායික හවුල්කාරිත්වය, අප්‍රේල් 22 ත්‍රස්ත ප්‍රහාරය කඩතුරාවක් ලෙස යොදා ගනිමින්, පාකිස්ථානයට එරෙහිව ආක්‍රමනශීලී ලෙස ප්‍රතිචාර දැක්වීමට මෝදි දිරිමත් කර ඇති බවයි. ඉන්දීය නිලධාරීන්ට අනුව, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල්, ගුවන් ප්‍රහාර සිදු වූ වහාම රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ට ඒ පිලිබඳව විස්තර කල මුත්, ඉන්දියානු පලිගැනීම් ආසන්න බව ට්‍රම්ප් පරිපාලනය නිසැකවම කල්තියා දැන සිටියේය.

අප්‍රේල් 30 වන දින, රුබියෝ, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමුවී, ඉන්දියාවෙන් පාලනය වන කාශ්මීරය තුල සිදුවූ “බිහිසුනු ත්‍රස්ත ප්‍රහාරය” හෙලා දුටුවේය. “ආතතීන් අඩු කිරීම” සඳහා ආයාචනා කරන අතරම, රුබියෝ කෙසේ වෙතත් “ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එක්සත් ජනපදයේ කැපවීම” නැවත තහවුරු කලේය—මෙම ප්‍රකාශයන්, ආක්‍රමනශීලී ඉන්දියානු පලිගැනීම් සීමා කලා නොව, දිරිමත් කලේය.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර දශක ගනනාවක් පුරා පැවති එදිරිවාදිකම්, 1947 දී ඉන්දියානු උප මහද්වීපය මුස්ලිම් පාකිස්ථානයක් සහ හින්දු ඉන්දියාවක් ලෙස බෙදීම තුල මුල් බැසගත් ප්‍රතිගාමී ගැටුමකි. නවදිල්ලියේ පීඩනය යටතේ, රාජ්‍යයේ රාජකීය හින්දු පාලකයා ඉන්දියාව සමඟ එක්වීමට තීරනය කිරීමෙන් පසුව, මුස්ලිම් බහුතරයක් සහිත කාශ්මීරය සමග මිලිටරි ගැටුම ඉතා වේගයෙන් පුපුරා ගියේය.

ඉන්දියාවේ සහ පාකිස්ථානයේ අනුප්‍රාප්තික ආන්ඩු විශ්වාසය තබා ඇත්තේ, කම්කරු පන්තිය බෙදීමේ සහ ධනේශ්වර පාලනය ශක්තිමත් කිරීමේ මාධ්‍යයක් ලෙස, සමස්ත කාශ්මීරයේම පාලනයේ ප්‍රධාන ලක්ෂනයක් වී ඇති වාර්ගික දේශපාලනය ඇවිස්සීම මත ය. දෙරටේම පාලක පන්ති කාශ්මීර ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පාගා දමා තිබේ. ජම්මු සහ කාශ්මීරය තුල ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපත්ති, 1989 සිට, පාකිස්ථානය විසින් මෙහෙයවන ලද සන්නද්ධ කැරැල්ලක් පුපුරා යාමට හේතු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, ඉන්දියාව කුරිරු පොලිස් රාජ්‍ය පියවර පැනවීය.

2019 දී ජම්මු හා කාශ්මීරයේ විශේෂ, ස්වාධීන තත්වය අහෝසි කර, එය සෘජුවම ඉන්දියාවේ මධ්‍යම රජයේ පාලනය යටතට පත් කල, මෝදිගේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) යටතේ ආතතීන් තීව්‍ර වී තිබේ.

නවතම ගුවන් ප්‍රහාර “මැන බලන ලද සහ උත්සන්න නොකරනසුලු” ඒවා වනවාට වඩා, ඉන්දීය ආන්ඩුව නොසැලකිලිමත් මිලිටරි මෙහෙයුමක් දියත් කර ඇත්තේ, එහි දිගුකාලීන කලාපීය ප්‍රතිවාදියා වන පාකිස්ථානයට වල කැපීමේ අරමුනිනි. ඊයේ රාත්‍රියේ, ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං විසින් X (ට්විටර්) හි සටහන් කරන ලද, “ඉන්දියා මාතාවට ජය” යන උදාන වාක්‍යයකින් එය සාරාංශ විය.

දකුනු ආසියාවේ පමනක් නොව ජාත්‍යන්තරව ද කම්කරු පන්තිය මුහුන දෙන මහා අන්තරාය නම්, න්‍යෂ්ටික අවි දරන රාජ්‍යයන් දෙක අතර උත්සන්න වන මිලිටරි ගැටුම, අනෙකුත් ප්‍රධාන බලවතුන් සමඟ එක්සත් ජනපදය හා චීනය ද ඇදගන්නා, විනාශකාරී ගෝලීය ගැටුමක ගිනි පුපුර බවට පත්වීමට ඇති හැකියාව යි.

Loading