[මෙය 1 year since the arrest of the Ukrainian socialist Bogdan Syrotiuk යන මැයෙන් 2025 අප්‍රේල් 24 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
හරියටම මීට වසරකට පෙර, 2024 අප්‍රේල් 25 වන දින, ඒ වන විට වයස අවුරුදු 25 ක් වූ අපගේ බොග්ඩාන් සයිරෝටියුක් සහෝදරයා, යුක්‍රේන රහස් ඔත්තු සේවය (එස්බීයූ) විසින් අත්අඩංගුවට ගන්නා ලදී. බොග්ඩාන් යුක්‍රේනයේ යුද්ධයට එරෙහි සමාජවාදී විරුද්ධවාදියෙකු වන අතර ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කර ඇති, අපගේ, බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) සංවිධානයේ ප්‍රමුඛ සාමාජිකයෙකි.
බොග්ඩාන්ට “යුද නීතිය යටතේ රාජද්‍රෝහී” චෝදනා එල්ල වී තිබේ. ඔහු, සිරගත කරන ලද කම්හල් කම්කරුවන් සහ තරුනයින් සමඟ තම ඉරනම බෙදා ගනිමින්, දුර්වල සනීපාරක්ෂක තත්වයන් යටතේ, රැඳවියන්ගෙන් පිරී ගිය නිකොලෙව් හි බන්ධනාගාරයක සිටී. වරදකරු වුවහොත්, ඔහු වසර 15 සිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට මුහුන දීමට සිදුවනු ඇත. අධිචෝදනා පත්‍රයේ සහ නඩු විභාගයේ කේන්ද්‍රීය කාරනය වන්නේ, බොග්ඩාන් “රුසියානු ප්‍රචාරක සහ තොරතුරු ඒජන්සියක් වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නියෝජිතයන් වෙනුවෙන් ප්‍රකාශන සකස් කිරීමට සම්බන්ධ වූ” බවට වන එස්බීයූ හි ප්‍රකාශයයි. චෝදනා සඳහා ප්‍රධාන “සාක්ෂි” ලෙස, ලෝසවෙඅ විසින් ප්‍රකාශයට පත් කරන ලද ඔහු ලියූ ලිපි ඉදිරිපත් කර තිබේ.
යථාර්ථයේ දී, බොග්ඩාන්ගේ සහ ජාත්‍යන්තර කමිටුවේ මනාව ලේඛනගත කර ඇති අදහස්වලින්, එස්බීයූ හි මෙම ප්‍රකාශය සෘජුවම ප්‍රතික්ෂේප කෙරේ. හජාජාක සහ වයිජීබීඑල් ආරම්භයේ සිටම යුක්‍රේනය ආක්‍රමනයට විරුද්ධ වූයේ, එය, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අවශ්‍යතාවලට පමනක් සේවය කරන සහ කම්කරු පන්තිය බෙදන රුසියාව අධිරාජ්‍යවාදීන් විසින් වටලෑමට එරෙහිව රුසියානු කතිපයාධිකාරයේ ප්‍රතිගාමී ප්‍රතිචාරයක් ලෙස පෙන්වා දෙමිනි.
බොග්ඩාන් නිරන්තරයෙන් කැඳවුම් කර සිටියේ, සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත යුක්‍රේන, රුසියානු සහ ලෝක කම්කරු පන්තිය එක්සත් කිරීම හරහා යුද්ධය අවසන් කරන ලෙස යි. ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමේ ප්‍රතිගාමී ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින් ගුනාංගීකරනය කර ඇති සෙලෙන්ස්කි තන්ත්‍රයට සහ පුටින් තන්ත්‍රයට ඔහු නිරන්තරයෙන් විරුද්ධ වී තිබේ.
යුක්‍රේනයේ වයිජීබීඑල් නියෝජිතයා ලෙස බොග්ඩාන් පසුගිය වසරේ හජාජාක මැයි දින අන්තර්ජාල රැලියේදී පැවසීමට සූදානමින් සිටියේ මෙයයි:
ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගීතාවයේ මෙම දිනයේදී, බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ යුක්‍රේන ශාඛාවේ සාමාජිකයින් වන අපි සහ සමස්ත වයිජීබීඑල්, මෙම යුද්ධය අවසන් කිරීම සඳහා යුක්‍රේන සහ රුසියානු නිර්ධන පංතිය අධිරාජ්‍යවාදී රටවල නිර්ධන පංතිය සමඟ එක්සත් වන ලෙස ඉල්ලා සිටිමු!
පැරනි සෝවියට් සමූහාන්ඩුවට අයත් සියලුම රටවල, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා නිර්මානය කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
අප, මුලු ලෝකයේම නිර්ධන පංතියෙන් ඉල්ලා සිටින්නේ එහි නියමුවා වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ධජය යටතේ එක්සත් වන ලෙසයි.
කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්‍රික් එංගල්ස්ගේ වචන ශක්තිමත්ව හඬ නඟා කියමු: “සියලු රටවල කම්කරුවනි, එක්වව්!'
ඔහු අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර ලියා ඇති මෙම වචන ප්‍රකාශ කිරීමට ඔහුට නොහැකි විය. ඔහුගේ “අපරාධවල” අන්තර්ගතය පැහැදිලි කිරීමට මෙම වචන පමනක් වුව ප්‍රමානවත් ය.
ඇත්ත වශයෙන්ම බොග්ඩාන් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහුගේ යුද විරෝධී සමාජවාදී අදහස් ප්‍රකාශ කිරීමත්, යුක්‍රේන ෆැසිස්ට්වාදීන්ගේ අපරාධ හෙලිදරව් කිරීම සහ සියල්ලටත් වඩා, පැරනි සෝවියට් සංගමය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය නැවත ගොඩනැගීම සඳහා ඔහුගේ අරගලයත් නිසාය.
2018 දී වයිජීබීඑල් ආරම්භ කරන ලද්දේ, ස්ටැලින්වාදය විසින් ඔක්තෝබර් විප්ලවය ජාතිකවාදී ලෙස පාවාදීමට එරෙහිව ට්‍රොට්ස්කි සහ වාම විපාර්ෂවයේ අරගලය පිලිබඳ සත්‍යය අනාවරනය කර ගැනීමට උත්සාහ කරන සංවිධානයක් ලෙස ය. සෝවියට් ඉතිහාසඥ වදිම් රොගොවින් විසින් ට්‍රොට්ස්කිවාදය සඳහා තෝතැන්නක් ලෙස උචිත ලෙස විස්තර කරන ලද තත්වයන් යටතේ වයිජීබීඑල් මතු විය. 1930 ගනන්වල මහා භීෂනයේදී, සියලුම ට්‍රොට්ස්කිවාදීන් සහ අනෙකුත් සියලුම විප්ලවවාදීන් පාහේ ස්ටැලින්වාදී නිලධරය විසින් කායිකව විනාශ කර තිබුනි. ඉන් පසු දශක කිහිපය තුල, ට්‍රොට්ස්කි සහ ස්ටැලින්වාදයට එරෙහි වාම විපාර්ෂවයේ අරගලය පිලිබඳ සියලු තොරතුරු විකෘති කර හෝ සඟවා තිබුනි.
අපගේ වැඩිදුර වර්ධනයේ දී, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සවිඥානික අරගලයට සම්බන්ධ වීම අවශ්‍ය බවට අපි නිගමනය කලෙමු. කම්කරු පන්තියට නායකත්වය දිය හැකි එකම බලවේගය ලෙස, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට සම්බන්ධ වීමට අප ගත් තීරනයෙන් මෙම පිලිගැනීම ප්‍රකාශ විය. අද, වයිජීබීඑල්, හජාජාක සමඟ එක්ව, ස්ටැලින්වාදයේ බලපෑම ජය ගැනීමට සහ පැරනි සෝවියට් සංගමයේ කම්කරු පන්තිය තුල ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ ජාත්‍යන්තරවාදී සම්ප්‍රදායන් පුනර්ජීවනය කිරීමට සටන් කරමින් සිටී.
බොග්ඩාන්ට එරෙහි පැමිනිල්ල, යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව නැටෝව විසින් දියත් කරන ලද යුද්ධය, පුටින්ගේ ඒකාධිපතිත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ යුද්ධයක් බවට වන අධිරාජ්‍යවාදී ප්‍රචාරය හෙලිදරව් කරයි. යුක්‍රේන ආන්ඩුව පුරවැසියන් “රාජ්‍ය ද්‍රෝහීන්” යැයි සැක කරන විට, ඔවුන්ගේ ප්‍රකාශ සඳහා නඩු පැවරීමට ඉඩ සලසන පරිදි බලමුලු ගන්වා ඇති ඒකාධිපති නීති, මෙම සමාජවාදී තරුනයාට හිංසා කිරීම සඳහා යොදාගෙන තිබේ. එවැනි අපරාධ “ඔප්පු කිරීම” සඳහා, එනම්, ප්‍රකාශවල “සාපරාධී” අන්තර්ගතය ඔප්පු කිරීම සඳහා විශේෂ භාෂාමය “විශේෂඥයින්ගේ” සහය ලබාගෙන තිබේ. ඇත්ත වශයෙන්ම, සිදුවෙමින් පවතින්නේ “චින්තන අපරාධ” සඳහා මිනිසුන්ට හිංසා පීඩා කිරීමයි; එය, සියල්ලටමත් වඩා, ඉහත දී නාසි ජර්මනිය සමඟ සම්බන්ධ වූ ක්‍රියා පටිපාටියකි. මෙම පදනම මත දස දහස් ගනනක් තරුනයින් සහ කම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
යුද්ධය ආරම්භයේ සිට, ලක්ෂ සංඛ්‍යාත යුක්‍රේන තරුනයින් සහ කම්කරුවන් යුද පෙරමුනේ දී මිය ගොස් ඇත; තවත් බොහෝ දෙනෙක් සදහටම තුවාල ලබා හෝ ආබාධිත වී ඇත. ඔවුන්ගේ ජීවිත කුරිරු ලෙස නාස්ති කර දමා ඇත. ඒ “නිදහස” සහ “ප්‍රජාතන්ත්‍රවාදය” වෙනුවෙන් නොව, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහ කෑදර කතිපයාධිකාරීන්ගේ කොල්ලකාරී අවශ්‍යතා වෙනුවෙනි.
බොග්ඩාන් අත්අඩංගුවට ගනු ලැබුවේ යුද්ධයට එරෙහිව වැඩෙන විරෝධය සහ යුක්‍රේනයේ දැවැන්ත සමාජ අර්බුදයක් මධ්‍යයේ ය. ඔක්තෝබර් විප්ලවයේ ස්ටැලින්වාදී පාවාදීමෙන් මතු වූ යුක්‍රේන කතිපයාධිකාරය, එහි රුසියානු ප්‍රතිමූර්තිය මෙන් ම, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් තම පාලනයට එල්ල කරන තර්ජනයට තියුනු ලෙස සංවේදී ය. ඔවුන් ඔහුව අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේ, යුද්ධයට එරෙහිව කම්කරුවන් සහ තරුනයින් අතර නැගී එන ව්‍යාපාරයක් මධ්‍යයේ බොග්ඩන්ගේ අදහස්වලට පුලුල් ප්‍රේක්ෂකත්වයක් ලැබෙනු ඇතැයි බියෙනි.
බොග්ඩාන් අත්අඩංගුවට ගැනීම බොග්ඩාන්ට සහ වයිජීබීඑල් සංවිධානයට එල්ල වූ ප්‍රහාරයක් පමනක් නොව, සමස්ත කම්කරු පන්තියට සහ විශේෂයෙන් හජාජාක ට එල්ල වූ ප්‍රහාරයකි. ට්‍රොට්ස්කිවාදය අපරාධකරනය කිරීමේ අරමුනින් රාජ්‍යය තම නඩුව ගොඩනඟමින් සිටී. බොග්ඩාන්ගේ නඩු විභාගය හෙලිදරව් කිරීම සහ ඔහුගේ අදහස් පිලිබඳ සැබෑ තොරතුරු වෙත යුක්‍රේනියානුවන්ට ප්‍රවේශ වීම කපා හැරීම සඳහා, බොග්ඩාන් අත්අඩංගුවට ගැනීමෙන් මාසයකට පසු හජාජාක අන්තර්ජාල ප්‍රකාශනය වන ලෝසවෙඅ තහනම් කරන ලදී.
බොග්ඩන් අත්අඩංගුවට ගැනීම කියෙව්වල පමනක් නොව, බර්ලිනයේ, ලන්ඩනයේ සහ වොෂින්ටනයේ සෙලෙන්ස්කි තන්ත්‍රයේ අධිරාජ්‍යවාදී ආධාරකරුවන් විසින් ද සංවිධානය කරන ලද බවට කිසිදු සැකයක් නැත. හජාජාක වසර ගනනාවක් තිස්සේ මෙම ආන්ඩුවල ප්‍රහාරයට ලක්ව ඇති බව මතක තබා ගැනීම වටී. 2018 දී ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය (එස්ජීපී) “වාමාංශික අන්තවාදී සංවිධාන” ලැයිස්තුවට එකතු කරන ලදී. පසුගිය වසරේ, එස්ජීපී හි තරුන අංශය වන ජර්මනියේ සසජාතශි, “ව්‍යවස්ථා විරෝධී සංවිධාන” ලැයිස්තුවට එකතු කලේය.
නමුත් අපි එවැනි ප්‍රහාරවලින් බියට පත් වී නැත, කිසිදා බියට පත් වන්නේ ද නැත. බොග්ඩාන්ගේ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර කමිටුව ගෝලීය මට්ටමින් බලගතු ව්‍යාපාරයක් දියත් කරමින්, ඔහු වහාම නිදහස් කරන ලෙසත්, ඔහු පෙනී සිටින ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ජනප්‍රිය කරන ලෙසත් ඉල්ලා සිටියේය. බොග්ඩාන් රඳවා තබා ගැනීමෙන් පසු පලමු දිනවලදී, ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා දියත් කරන ලද පෙත්සමට අත්සන් 4,700 කට වඩා එක්‍රැස් විය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විශේෂ පිටුවක බොග්ඩාන් සහ මෙම ව්‍යාපාරය පිලිබඳ තොරතුරු අඩංගු වේ.
ජුනි 13 වන දින, හජාජාක ලොව පුරා යුක්‍රේන තානාපති කාර්යාල ඉදිරිපිට පිකට් උද්ඝෝෂන පැවැත්වූ අතර, බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරන ලෙස ඉල්ලා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් යුක්‍රේන ආන්ඩුවට ලියන ලද ලිපියක් කියවන ලදී. බොග්ඩාන්ගේ නිදහස් කිරීම එක්සත් රාජධානියේ, ශ්‍රී ලංකාවේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂවල මැතිවරන ව්‍යාපාරවල කේන්ද්‍රීය තේමාවන්ගෙන් එකකි.
මෙම ව්‍යාපාරයට පින්ක් ෆ්ලොයිඩ් සම-නිර්මාතෘ රොජර් වෝටර්ස් ඇතුලු බොහෝ සංවිධාන, බුද්ධිමතුන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙන් සහයෝගය ලැබී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, රජයේ නඩු පවරන්නන් සියුම් මහජන පරීක්ෂාවට ලක්ව ඇති අතර බොග්ඩාන්ට එරෙහි ඔවුන්ගේ නඩුව ඔප්පු කිරීමට අධිකරනය තුල පොර බදති.
නමුත් මෙම අරගලය අවසන් වී නැත. වසරකට පසු, බොග්ඩාන් නිදහස් කර ගැනීමේ සටන කිසිදා නොවූ විරූ හදිසි තත්වයකට පත්ව තිබේ. බොග්ඩාන්ගේ නිදහස පමනක් නොව, ලෝක යුද්ධයේ, ෆැසිස්ට්වාදයේ සහ ආඥාදායකත්වයේ උත්සන්න වන තර්ජනයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීම ද අවදානමට ලක්ව ඇත. යුක්‍රේනය සහ රුසියාව සමඟ ඇමරිකා එක්සත් ජනපදය විසින් දැනට කරගෙන යන සාකච්ඡාවල ප්‍රතිඵලය කුමක් වුවත්, ගමන් පථය වැටී ඇත්තේ ලෝකයේ නව අධිරාජ්‍යවාදී යලි බෙදීමක් කරා ය. නමුත් යුක්‍රේන යුද්ධයේ අත්දැකීම් පෙන්නුම් කරන පරිදි, යුද-විරෝධයට එරෙහිව කුරිරු මර්දනයක් සහ ෆැසිස්ට් බලවේග ශක්තිමත් කිරීමකින් තොරව, අධිරාජ්‍යවාදී යුද්ධය සහ ඉන් පසුව පැමිනෙන මහා මරන කම්කරු පන්තිය මත පැටවිය නොහැක.
ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු, ඔහුගේ පරිපාලනය “නීති විරෝධී සංක්‍රමනිකයින්” පිටුවහල් කිරීම සාධාරනීකරනය කිරීම සඳහා පැවති නීතිය යලි පන ගන්වා ඇති අතර, දැනටමත් 100,000 කට වැඩි පිරිසක් පිටුවහල් කර ඇත; විදේශීය සිසුන් 1,600 කට වැඩි පිරිසකගේ වීසා බලපත්‍ර ද අවලංගු කර ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉලක්ක කර ගෙන ඇත්තේ, ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට විරෝධය පල කරමින් දේශපාලන ප්‍රකාශ නිකුත් කිරීම නිසා ය. ඇත්ත වශයෙන්ම ඔවුන් පීඩාවට පත්කරනු ලබන්නේ, බොග්ඩාන් සම්බන්ධයෙන් මෙන්, යුද්ධයට සහ ෆැසිස්ට්වාදයට ඔවුන්ගේ විරුද්ධත්වය, “චින්තන අපරාධයක්” වන නිසා ය.
එබැවින්, ෆැසිස්ට්වාදය, ආඥාදායකත්වය, යුද්ධය සහ ධනවාදයට එරෙහි සවිඥානික අරගලයේ කේන්ද්‍රීය කොටසක් ලෙස බොග්ඩාන්ගේ නිදහස සඳහා වන ව්‍යාපාරයට එක්වන ලෙස අපි රුසියාව, යුක්‍රේනය, ඇමරිකා එක්සත් ජනපදය සහ ලොව පුරා සිටින කම්කරුවන්ට සහ තරුනයින්ට ආයාචනා කරමු.
• බොග්ඩන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සමට අත්සන් කර එය ඔබේ මිතුරන් හා හිතවතුන් සමඟ බෙදා ගන්න!
• ෆැසිස්ට්වාදය සහ යුද්ධය එපා! ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීම හරහා යුක්‍රේන, රුසියානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා සටන් කරමු!
• මැයි 3 වන දින පැවැත්වෙන 2025 මැයි දින ඔන්ලයින් රැලියට සහභාගී වන්න!
• සමාජවාදී සමානතා පක්ෂයට බැඳී හතරවන ජාත්‍යන්තරය ගොඩනඟන්න!
• බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කර ගැනීම සඳහා සටන් කරමු!
වැඩිදුර කියවන්න
- යුක්‍රේන ආන්ඩුවට විවෘත ලිපියක්: බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු!
- බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා කොන්දේසි විරහිතව සහ වහාම නිදහස් කරනු!
- අසාර්ථක ප්රකෝපකරනයක්: හජාජාක විසින් යුක්‍රේන ට්‍රොට්ස්කිවාදී බොග්ඩාන් සයිරොටියුක් ආරක්ෂා කිරීම අපකීර්තියට පත් කිරීමට ඇලෙක්ස් ස්ටයිනර් දැරූ උත්සාහය පිලිබඳව
- බෝල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ සංවත්සර රැස්වීමට සුබපැතුම්
- පුටින් ආන්ඩුවේ යුක්‍රේන ආක්‍රමනයට සහ එක්සත් ජනපද-නැටෝ යුද ඝෝෂාවට විරුද්ධ වනු! රුසියානු සහ යුක්‍රේන කම්කරුවන්ගේ එකමුතුව සඳහා!