[මෙය Harvard’s rejection of Trump’s authoritarian demands and the fight to defend academic freedom and democratic rights යන මැයෙන් 2025 අප්‍රේල් 15 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
2024 මැයි 23 වන බ්‍රහස්පතින්දා, මැසචුසෙට්ස් හි කේම්බ්‍රිජ් හි හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ හාවර්ඩ් අංගනයේ ආරම්භක උත්සවයේදී, ශිෂ්‍ය කථිකයෙකු, විරෝධතා ක්‍රියාකාරකම් හේතුවෙන් උපාධි ලබා ගැනීම තහනම් කර ඇති සිසුන් 13 දෙනා පිලිබඳ සඳහන් කරන විට, පලස්තීන ධජයක් අසල සිටි සිසුන් අත්පොලසන් දෙයි. [ඒපී ඡායාරූප/බෙන් කර්ටිස්]
සඳුදා (14) හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සභාපති ඇලන් ගාබර් නිවේදනය කලේ, දේශපාලන විරුද්ධත්වය තලා දැමීම, තීරනාත්මක දෙපාර්තමේන්තුවල පාලනය ආන්ඩුවේ අධීක්ෂනයට පැවරීම සහ සාමාන්‍යයෙන් මැසචුසෙට්ස් හි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ දෘෂ්ටිවාදාත්මක භීෂනයත්, දක්ෂිනාංශික චින්තන-පාලනය ස්ථාපිත කිරීමත් සඳහා ට්‍රම්ප් පරිපාලනයේ ඉල්ලීම්වලට විශ්වවිද්‍යාලය අනුගත නොවන බවයි.
ධවල මන්දිරය වහාම ඊට ප්‍රතිචාර දැක්වූයේ, හාවර්ඩ් විශ්ව විද්‍යාලයට ලබා දුන් ඩොලර් බිලියන 2.2 ක බහු-වසර ප්‍රදාන සහ ඩොලර් මිලියන 60 ක බහු-වසර කොන්ත්‍රාත්තු අත්හිටුවීමෙනි. 'දේශපාලනික, දෘෂ්ටිවාදාත්මක සහ ත්‍රස්තවාදයට අනුබල දෙන/සහාය දක්වන' ක්‍රම දිගටම කරගෙන ගියහොත්, ආයතනයට එහි බදු-නිදහස් තත්වය අහිමි විය හැකි බවටත්, 'දේශපාලන ආයතනයක් ලෙස බදු අය කල හැකි' බවටත්, ට්‍රම්ප් අඥාන-මැරයෙකු සේ තර්ජනය කලේ ය.
හාවර්ඩ් විශ්ව විද්‍යාලය සහ ට්‍රම්ප් පාලන තන්ත්‍රය අතර ගැටුම, අධ්‍යයන නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිලිබඳ මූලික ගැටලු මතු කරයි. ඒ සමඟම, මූලික අයිතිවාසිකම්වලට එල්ල වන අඛන්ඩ, නිර්දය ප්‍රහාර මැඩපැවැත්විය හැකි ආකාරය සහ කම්කරු පන්තිය තමන්ගේම වැඩසටහනක් සමඟින් සහ තමන්ගේම සමාජ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා දැවැන්ත පරිමානයෙන් මැදිහත් වීමේ අවශ්‍යතාවය පිලිබඳ ප්‍රශ්න මතු කරයි.
අප්‍රේල් 11 වන දින හාවර්ඩ් වෙත යවන ලද ඒකාධිපති ලේඛනයක, වෙනත් දේ අතර, ආන්ඩුව ඉල්ලා සිටියේ, “ත්‍රස්තවාදයට හෝ යුදෙව් විරෝධයට සහාය දක්වන සිසුන් ඇතුලුව, ඇමරිකානු වටිනාකම් සහ එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නිදහස් ප්‍රකාශනය තුල අභිලේඛනය කර ඇති ආයතනවලට සතුරු සිසුන් ඇතුලත් කර ගැනීම වැලැක්වීමට” විශ්වවිද්‍යාලය පියවර ගත යුතු බවයි.
මෙය යොමු කෙරෙන්නේ, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පූර්න පරිමානයෙන් පහර දෙන, නිරන්තරයෙන් වර්ධනය වන නීති විරෝධී ක්‍රියාකාරකම් වට්ටෝරුවක නියැලී සිටින ෆැසිස්ට්වාදී ආන්ඩුවකිනි. හාවර්ඩ් සිසුන් “ත්‍රස්තවාදයට හෝ යුදෙව් විරෝධයට” සහාය දක්වන බවට කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ගත් කල, එය, ඇමරිකානු ආන්ඩුවේ සහාය ඇති ව ඊශ්‍රායල තන්ත්‍රය ගාසා වැසියන් දස දහස් ගනනින් මරා දමන මහා ජන සංහාරයට එරෙහි විරෝධය මැඩපැවැත්වීම අරමුනු කරගත් දැවැන්ත බොරුවකි.
තවද, හාවර්ඩ් විශ්ව විද්‍යාලය, “දෘෂ්ටිකෝන විවිධත්වය සඳහා විගනනයක් සිදු කිරීමට බැඳී සිටිනු ඇත; එනම් එක් එක් දෙපාර්තමේන්තුව, ක්ෂේත්‍රය හෝ ඉගැන්වීමේ ඒකකය තුල තනි තනි දෘෂ්ටිකෝන විවිධත්ව විගනනයක් තිබිය යුතු ය.” එනම්, එය, දක්ෂිනාංශික සහ ඔල්මාදකාර-දෘෂ්ටිකෝන පවා නියෝජනය කල යුතු ය. පරිපාලනයට අවශ්‍ය වන්නේ, නාසි-පන්නයේ ගොලේටරයින් (ගොලේටර් යනු නාසි පාලනය යටතේ දිස්ත්‍රික්කයක් පාලනය කරන දේශපාලන නිලධාරියෙකි) යටතේ, මෙම ආයතන ප්‍රචාරක මධ්‍යස්ථාන බවට පත් කිරීමට යි; එහිදී ජීව විද්‍යා හෝ තාරකා විද්‍යා දෙපාර්තමේන්තුවලට “දේව නිර්මානය” සහ මැවුම්වාදය ඉගැන්වීමට බල කෙරෙනු ඇත; බයිබලානුකූල අධ්‍යයනයන් සඳහා අරමුදල් සපයනු ලැබේ; එන්නත් සංවර්ධනය හා භාවිතය ආයතනික මට්ටමින් ප්‍රශ්න කෙරෙනු ඇත.
ඊට අමතර ව, සියොන්වාදයට සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි විරෝධය තුරන් කිරීම සහතික කරනු වස් ආන්ඩුව, විවිධ පාසල් සහ දෙපාර්තමේන්තු තුල, සෘජු ව ම ඔත්තු බැලීමට සහ නිරීක්ෂනය කිරීමට නියෝග කලේ ය. දේවධර්ම පාසල, අධ්‍යාපන උපාධි පාසල, මහජන සෞඛ්‍ය පාසල, වෛද්‍ය විද්‍යාලය, මැද පෙරදිග අධ්‍යයන මධ්‍යස්ථානය, පෙරදිග-ආසන්න භාෂා සහ සංස්කෘතීන් පිලිබඳ දෙපාර්තමේන්තුව සහ තවත් දේ ඒ අතර වේ.
ප්‍රතිචාර වශයෙන්, ගාබර් සහ හාවර්ඩ් නිවැරදි ලෙස ප්‍රකාශ කරන්නේ, ට්‍රම්ප් ආන්ඩුව “පලමු සංශෝධනයට පටහැනි ව, ශ්‍රේෂ්ඨාධිකරනය විසින් පිලිගත් විශ්ව විද්‍යාල නිදහස ආක්‍රමනය කරන ආකාරයේ ඉල්ලීම් ඉදිරිපත් කරන” බවයි.
විශ්ව විද්‍යාලය එහි ස්වාධීනත්වය හෝ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් අත්හරින්නේ නැත. හාවර්ඩ් හෝ වෙනත් කිසිදු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ෆෙඩරල් ආන්ඩුව විසින් පවරා ගැනීමට ඉඩ දිය නොහැක. ඒ අනුව, හාවර්ඩ්, ආන්ඩුවේ කොන්දේසි, ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුමක් ලෙස පිලිගන්නේ නැත.
හාවර්ඩ් පීඨයේ පුලුල් කොටස් සහ සිසුන්ගෙන් අතිමහත් බහුතරයක් විශ්ව විද්‍යාල සභාපතිවරයාගේ, කෙසේ වෙතත්, ප්‍රමාද වී හෝ පැමිනි ප්‍රකාශය උද්‍යෝගයෙන් පිලිගෙන ඇත. එය පැමින ඇත්තේ, සති ගනනක වැනි වැනී සිටීමකින් පසුව ය. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ නින්දිත යටත් වීම පිලිකුලක් ඇති කලේ ය. ධවල මන්දිරයේ ෆැසිස්ට් මැරයාට එරෙහි ව හාවර්ඩ් විශ්වවිද්‍යාලය ස්ථාවරයක් ගත යුතු බවට සිසුන්ගේ සහ පීඨයේ ඉල්ලීම් මත, ගාබර්ට මෙම ප්‍රකාශය නිකුත් කිරීමට බල කෙරුනු බව පැහැදිලි ය. මෙම ප්‍රකාශය කර ඇත්තේ, බොස්ටන් සහ එක්සත් ජනපදය පුරා නගරවල, ට්‍රම්ප්ට එරෙහි ව මහජන විරෝධතා පැවැත්වීමෙන් සතියකටත් යන්තම් වැඩි කාලයකට පසු ව ය.
ට්‍රම්ප් පරිපාලනය කතා කිරීමේ නිදහස මුලිනුපුටා දැමීමට සහ විශ්ව විද්‍යාල සහ පාසල් ආන්ඩුවේ යකඩ සපත්තුව යට තැබීමට දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන තාක් දුරට, හාවර්ඩ් විසින් නිකුත් කරන ලද ප්‍රකාශය සැලකිය යුතු වර්ධනයකි. කෙසේ වෙතත්, ප්‍රීති වීමට ඉක්මන් වීම බරපතල වැරැද්දකි.
විවේචනාත්මක ඇසකින් කියවා බලන්න; ගාබර්ගේ ලිපිය, ට්‍රම්ප් පරිපාලනය පිලිබඳ නිසැක හෙලා දැකීමක් තබා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිලිබඳ හඬ නගන තහවුරු කිරීමකින් හෝ තොර ය. හාවර්ඩ් හි “යුදෙව්-විරෝධවාදයට” එරෙහිව සටන් කිරීම අවශ්‍ය බවට වූ මූලික බොරුව එය පිලිගනී; එමඟින් සිසුන් මර්දනයට සම්පූර්නයෙන්ම අසාධාරන නීත්‍යානුකූලභාවයක් ලබා දෙයි.
එපමනක් නොව, ට්‍රම්ප් සහ සමාගමට යැවූ විශ්ව විද්‍යාල පනිවිඩය අවසන් වන්නේ “විශ්ව විද්‍යාලය කර ඇති දේ සහ කිරීමට සැලසුම් කරන දේ පිලිබඳ සංවාදයට හාවර්ඩ් විවෘතව සිටින” බවට පොරොන්දු වෙමිනි. මෙයින් පැහැදිලි ව ම පෙන්නුම් කරන්නේ විශ්ව විද්‍යාලය ප්‍රතිපත්ති විරහිත සම්මුතියකට එලඹීමට කැමැත්තෙන් සිටින බවයි.
1636 දී ආරම්භ කරන ලද හාවර්ඩ් විශ්ව විද්‍යාලය, එක්සත් ජනපදයේ පැරනිත ම සහ වඩාත් කීර්තිමත් ම විශ්ව විද්‍යාලය වේ. එහි ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 50.7 ක උරුමය එය ලෝකයේ ධනවත්ම ආයතනය බවට පත් කරයි.
එය ප්‍රධාන ධනේශ්වර-අධිරාජ්‍යවාදී ආයතනයක් වන අතර, ලොව පුරා රාජ්‍ය නායකයින් සහ ආන්ඩු නායකයින් සිය ගනනක්, එක්සත් ජනපද ජනාධිපතිවරුන් සහ උප ජනාධිපතිවරුන්, කැබිනට් ලේකම්වරුන්, ප්‍රාන්ත ආන්ඩුකාරවරුන්, සෙනෙට් සභිකයින් සහ නියෝජිතයින් සහ අනෙකුත් දේශපාලන චරිත මෙන්ම පවතින තත්වය ආරක්ෂා කරන අසංඛ්‍යාත ශාස්ත්‍රාලික ආරක්ෂකයින් සඳහා පුහුනු භූමියකි. එයට මිලිටරි-බුද්ධි අංශ සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ ගැඹුරු, වාසිදායක සම්බන්ධතා ඇත.
ගාබර් සිය ප්‍රකාශය නිකුත් කිරීමට පෙර, හමුදා-බුද්ධි ප්‍රජාවේ බලගතු සාමාජිකයින් සමඟ, විශේෂයෙන්, ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තිවල අංග කෙරෙහි අතෘප්තිය වර්ධනය වෙමින් පවතින මහා මිලියනපති සහ බිලියනපති මූල්‍යකරුවන් සමඟ තියුනු සාකච්ඡා පැවැත් වූ බව නිසැක ව උපකල්පනය කල හැකි ය.
කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදයේ සම්මුති විරහිත ආරක්ෂාව සඳහා විශ්ව විද්‍යාලයේ කැපවීම පිලිබඳ මිත්‍යාවන් ඇති කර නොගත්තේ වුවද, හාවර්ඩ්, වැදගත් අධ්‍යයන හා ශාස්ත්‍රීය සම්පතක් වන අතර අනෙකුත් සැලකිය යුතු ඇමරිකානු විශ්ව විද්‍යාල මෙන්ම, බොහෝ වටිනා පර්යේෂන සිදු කරන සහ අත්‍යවශ්‍ය බුද්ධිමය ශ්‍රමයක් සඳහා සත්කාරකත්වය සපයන ආයතනයකි. ආන්ඩුව දැනටමත් ඒ සියල්ලට එරෙහි ව විනාශකාරී මෙහෙයුමක් දියත් කර ඇත. බොස්ටන් ග්ලෝබ් වාර්තා කරන්නේ,
ක්ෂය රෝගයේ අභිරහස් හෙලි කිරීමට වසර ගනනාවක් ගත කල හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉහලම විද්‍යාඥවරියක් අඟහරුවාදා උදෑසන අවදි වූ විට, ඇගේ පර්යේෂන නතර කරන ලෙස පවසමින් ෆෙඩරල් ආන්ඩුවෙන් ලැබුනු නියෝගයක් දුටුවා ය.
උපරිම වශයෙන් ගත් කල, හාවර්ඩ් සහ විශ්ව විද්‍යාල සහ විද්‍යාල වැදගත් අධ්‍යාපන ආයතන වේ., ආන්ඩුව අධ්‍යාපනය ලැබ ගැනීමේ ආයතනයක් ලෙස පවතින විශ්ව විද්‍යාලය විනාශ කිරීමට උත්සාහ කරයිග. දාර්ශනික ජෝන් ඩූවිගේ වචන වලින් කිවහොත්:
සත්‍යය විමර්ශනය කිරීමට; විවේචනාත්මක ව කරුනු සත්‍යාපනය කිරීමට; බාහිර බියකින් හෝ අනුග්‍රහයකින් තොර ව, අභිමතය පරිදි හොඳම විධික්‍රම භාවිතා කරමින් නිගමනවලට එලඹීමට, මෙම සත්‍යය ශිෂ්‍යයාට සන්නිවේදනය කිරීමට; ජීවිතය තුල ඔහුට මුහුන දීමට සිදුවන ප්‍රශ්නවලට එහි අදාලත්වය අර්ථකථනය කිරීමට.
මෙම ඕනෑ ම ක්‍රියාංකයකට පහර එල්ල කිරීම යනු “විශ්ව විද්‍යාලයටම මාරක තුවාලයක් සිදු කිරීමයි” යනුවෙන් ඩූවි තවදුරටත් පැවසීය.
අවසානයේ දී පන්ති අවශ්‍යතා විසින් ආධිපත්‍යය දරන ධනේශ්වර ශාස්ත්‍රාලය පිලිබඳ මෙම තද රෝස පැහැති විස්තරය පිලිගැනීමට යමෙකු බැඳී නොසිටින මුත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිලිබඳ මූලික ගැටලු අවදානමට ලක් ව ඇති බව හඳුනා ගැනීමට බැඳී සිටී. නැවත වරක්, බලගතු බවින් අඩු විද්‍යාල සහ විශ්ව විද්‍යාල බිය ගැන්වීමේ බලාපොරොත්තුවෙන් හාවර්ඩ් වෙත එල්ල කරන ලද ඔවුන්ගේ රලු සහ ප්‍රචන්ඩ ප්‍රහාරයේදී, ට්‍රම්ප් සහ සමාගම කිසිදු නවතාවයක් නොපෙන්වයි.
ඔවුහු හිට්ලර්ගේ නාට්‍ය පොතෙන් තවත් පිටුවක් රඟ දක්වමින් සිටිති. වීනර් හොලොකෝස්ට් පුස්තකාලය (එය, හොලොකෝස්ටය, එහි හේතු සහ උරුමයන් අධ්‍යයනය කිරීම සඳහා කැප වූ ලොව පැරනිත ම ආයතනයයි) පෙන්වා දෙන පරිදි, නාසි පාලනය, “ගුරුවරුන් කවුරුන් ද යන්න” පිලිබඳ ව විශාල අවධානයක් යොමු කලේ ය.” හිට්ලර් බලයට පත්වීමෙන් මාස තුනකට පසු ව පනවන ලද නීතියක් යටතේ, “සියලු ම යුදෙව් ගුරුවරු සහ නුසුදුසු දේශපාලන විශ්වාසයන් ඇති (කොමියුනිස්ට්වාදීන් වැනි) ගුරුවරු සේවයෙන් පහ කරන ලදහ.”
මෙම පනත මගින්, සියලු ම ගුරුවරුන් සඳහා නාසි පක්ෂයේ සාමාජිකත්වය අනිවාර්ය කරන ලදී. [මාසයකට පසු බර්ලිනයේ හම්බෝල්ට් විශ්ව විද්‍යාලය ඉදිරිපිට පලමු පොත් ගිනි තැබීම සිදු විය.] 1929 දී නිර්මානය කරන ලද ජාතික සමාජවාදී (නාසි) ගුරු සංගමය නාසිවාදීන් බලයට පත් වීමෙන් පසු, ගුරුවරුන් පාලනය කිරීමේත්, නාසිවාදී දෘෂ්ටිවාදය තුල ඔවුන් හික්මවා ගැනීමේ වගකීමත් භාර ගත්තේ ය. සියලුම ගුරුවරුන්ට මාසයක අනිවාර්ය නාසි පුහුනු පාඨමාලාවකට සහභාගී වීමට සිදු වූ අතර, එය නාසි දෘෂ්ටිවාදය සහ පාලන තන්ත්‍රයේ අදහස් වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම අවධාරනය කලේ ය.
විශ්වවිද්‍යාලය තුල අධ්‍යයන නිදහසට සහ නිදහස් භාෂනයට වල කැපීමේ අරමුනින්, පරිපාලනය “නීති විරෝධී සහ පෙර නොවූ විරූ අයුරින් ෆෙඩරල් අරමුදල් සහ සිවිල් අයිතිවාසිකම් බලාත්මක කිරීමේ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම” සම්බන්ධයෙන් චෝදනා කරමින්, ඇමරිකානු විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සංගමයේ හාවඩ් ශාඛාව නඩුවක් ගොනු කර ඇත. චෝදනාව නිසැක ව ම සත්‍යයකි; නමුත් අධ්‍යයන නිදහස සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අධිකරනවලට භාර දිය නොහැක; කෙසේ වෙතත්, එහි තීරන, ආන්ඩුව හුදෙක් නොසලකා හරියි.
ආන්ඩුවේ, ඩොලර් බිලියන ගනනක කප්පම් ගැනීමේ උත්සාහයෙන් හෙලි වන පරිදි, ගාබර් සහ මෙම ආයතනවල ප්‍රධානත්වය දරන පරිපාලකයින් ක්‍රියාත්මක වන්නේ දැවැන්ත පීඩනයක් යටතේ ය—ඉහත සඳහන් කල පරිදි—ඔවුන්ට හැකි නම්, ගිවිසුමකට එලඹීමට කැමති වනු ඇත.
කෙසේ වෙතත්, මේවා කිසිදු සම්මුතියක් හෝ සමාදානයක් ඇති කර ගත හැකි ගැටලු නොවේ. බුද්ධිමය ජීවිතයේ සහ ජනගහනයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වල ඉරනම පවතින්නේ තරාදියක එල්ලීගෙන ය. ගාසා තීරයේ ජන සංහාරයට විරුද්ධ වීම නිසා විදේශීය සිසුන් පැහැර ගැනීම ඇතුලුව සිසුන්ට සහ පීඨයට එල්ල කරන ප්‍රහාර, උද්ධමනය මගින් ජීවන තත්වයන් කඩා වැටීම, ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයින්ගේ රැකියා විනාශ කිරීම සහ සමාජ ආරක්ෂනය, මෙඩිකේඩ් සහ මෙඩිකෙයාර් වලට එල්ල වන ප්‍රහාර සමඟ සමපාත වන අතර මේ සියල්ල ජනගහනයේ පුලුල් ස්ථර තවදුරටත් දරිද්‍රතාවයට ඇද දැමීමට තර්ජනය කරයි.
පුලුල්තම මහජන බලමුලු ගැන්වීමකින් තොරව ට්‍රම්ප්ට හෝ අනෙකුත් ෆැසිස්ට් බලවේගයන්ට එරෙහි සටන සාර්ථකව දියත් කල නොහැකිය.
කම්කරු පන්තිය සිසුන්ගේ නිදහස සහ සිතීමේ, කතා කිරීමේ සහ රැස්වීමේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ඉදිරියට පැමිනිය යුතුය. විශ්ව විද්‍යාල සහ ඒවායේ අඩංගු දැනුම සමස්ත වැඩ කරන ජනගහනයට ම—අයත් වන හෝ අයත් විය යුතු සම්පත්වල—උරුමයකි. මේ සඳහා එයට තීරනාත්මක කාර්යභාරයක් ඇත. පසුගාමී සහ අඥාන සියල්ල නිර්දය ලෙස ප්‍රවර්ධනය කරන්නන් වන, ධවල මන්දිරය අරක්ගෙන සිටින සංස්කෘතික විනාශකාරීන්ට එවැනි ආයතන විනාශ කිරීමට, කම්කරුවන්ට ඉඩ දිය නොහැක.
දැවැන්ත සමාජ අසමානතාවය සහ කතිපයාධිකාරී පාලනය සහිත ධනේශ්වර ක්‍රමය පිලිබඳ ගැටලුවේ අරටුවට ම ලඟා නොවී, ඒකාධිපතිත්වයේ තර්ජනය පරාජය කිරීමට ක්‍රමයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සටන හාවර්ඩ් අංගනයේ සහ අනෙකුත් විශ්ව විද්‍යාල සහ විද්‍යාලවල සීමාවන් ඉක්මවා යන අරගලයකි.
අවසාන විග්‍රහයේ දී, සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලය සමඟ අවියෝජනීය ලෙස බැඳී ඇත. සමාජය පාලනය කරන කතිපයාධිකාරයට, කතා කිරීමේ නිදහස සහ විවේචනාත්මක චින්තනය ක්‍රියාත්මක කිරීම ඉවසිය නොහැක. තර්කනයේ බලය, සීමාවකින් තොරව ක්‍රියාත්මක වන විට, ධනවාදය නූතන සමාජයේ අවශ්‍යතා සමඟ නොගැලපෙන බවත්, එය අවසන් කර, සමාජවාදය මගින් ප්‍රතිස්ථාපනය කල යුතු බවත් නිගමනය කිරීමට හේතු වන බව එය හොඳින් වටහා ගනී.
ෆැසිස්ට්වාදීන්ට එරෙහිව හාවර්ඩ් සහ අනෙකුත් විශ්ව විද්‍යාල ආරක්ෂා කිරීම සඳහා වන මෙම ව්‍යාපාරයට නායකත්වය දී, එයට සවිඥානික මඟ පෙන්වීමක් ලබා දීම සඳහා, සමාජවාදී වැඩපිලිවෙලක් සහ ඉදිරිදර්ශනයක් මත පදනම් වූ තරුනයින් අතර විප්ලවවාදී ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය ගොඩනැගීම අවශ්‍ය වේ.