ශ්‍රී ලංකාවේ අගමැතිනි කරෙයිනගර් හි දී දුන් බොරු පොරොන්දු

[මෙය Sri Lankan prime minister’s false election promises in Karainagar මැයෙන් 2025 අප්‍රේල් 27 දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]

කරෙයිනගර්හි ඌරි ගම්මානයේ දී ඩිලක්ෂන් මහාලිංගම් ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින්, 2025 අප්‍රේල් 27. [Photo: WSWS]

.

මැයි 6 වෙනිදා පැවැත්වෙන පලාත් පාලන මැතිවරනයට ඉදිරිපත් වන ජවිපෙ/ජාජබ අපේක්ෂකයන්ට සහයෝගය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා අගමැතිනි හරිනි අමරසූරිය අප්‍රේල් 11 දින කරෙයිනගර්හිදී රැස්වීමක් ඇමතුවාය.

පලාත් පාලන මැතිවරනයෙන් ලොකු ජයග්‍රහනයක් අත්‍යවශ්‍ය වී සිටින අමරසූරිය, කරෙයිනගර් සහ සෙසු ප්‍රදේශවල ගම්බද දුගී ජනයාගේ ජීවන තත්වය ඔසවා තැබීම සඳහා ජවිපෙ/ජාජබ කැපවී සිටින බව කියමින් ඡන්දදායකයන්ගේ සහයෝගය ඉල්ලා සිටියාය.

සැප්තැම්බරයේ ජනාධිපතිවරනය සහ නොවැම්බරයේ පාර්ලිමේන්තු මැතිවරනය ජයග්‍රහනය කොට මාස හයකට පසුව, ජවිපෙ/ජාජබ ජනතාවගේ ජීවන තත්වයන් ඔසවා තැබීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට දුන් සියලු පොරොන්දු කඩ කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) සහ මහා ව්‍යාපාරිකයන්ගේ අතේ ක්‍රියාත්මක වන මෙවලමක් බව හෙලිදරව් වී තිබේ.

කරෙයිනගර් කොට්ඨාසයට ඉදිරිපත් වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපේක්ෂකයා ලෙස මම, ජවිපෙ/ජාජබයේ අලුත්ම මැතිවරන පොරොන්දු කිසිවක් විශ්වාස නොකරන ලෙස අනතුරු අඟවමි. අමරසූරිය එම රැස්වීමේදී කිව්වේ බොරුය, එලිපිටම සත්‍යය සැඟවීම්‍ ය.

සසප තම මැතිවරන ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි, උතුරේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවට සහ කොලඹ තදාසන්න කොලොන්නාව නගර සභාවට සසප තරඟ කරන්නේ කම්කරු පන්තිය සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් වටා බලමුලු ගැන්වීමටය.

කරෙයිනගර් වනාහී, ප්‍රධාන වශයෙන් දෙමල ජනතාව වාසය කරන යාපන අර්ධද්වීපය වටා තිබෙන කුඩා දූපත් වලින් එකකි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව 1983 දී ඇරඹුනු වසර 26 ක් දීර්ඝ කුරිරු වර්ගවාදී යුද්ධයේදී උතුරු සහ නැගෙනහිර පලාත් වල අනෙක් ප්‍රදේශ මෙන්ම කරෙයිනගර්ද විනාශයට පත්විය.

නොවැම්බර් පාර්ලිමේන්තු මැතිවරනයේදී ඉලංකෙයි තමිල් අරසු කච්චි සහ සිලෝන් ටැමිල් කොන්ග්‍රස් යන පැරැනි පක්ෂ පරාජය කරමින් කරෙයිනගර් ද ඇතුලත් වන වඩුක්කොඩෙයි ආසනය ජවිපෙ/ජාජබ දිනා ගත්තේය. එම අපකීර්තියට පත් සම්ප්‍රදායික ධනපති පක්ෂ කෙරෙහි දෙමල මහජනතාව තුල වූ කෝපය ගසා කෑමට ජවිපෙ/ජාජබ ට හැකි විය.

අමරසූරිය තම කථාව ආරම්භයේදී, 1970 ගනන්වල 80,000 පමන වූ ප්‍රාදේශික ජනගහනය දශක හතරකට පසු 10,500 කට තරම් අඩුවී තිබීම ගැන තම කනගාටුව ප්‍රකාශ කලාය.

ශ්‍රී ලංකා අගමැති හරිනි අමරසූරිය කරෙයිනගර් හි මැතිවරන රැස්වීම අමතයි - අප්‍රේල් 11. [Photo: WSWS]

අධ්‍යාපනය සහ බොහෝ ධනවත් වීම වැනි අරමුනු වෙනුවෙන් ජනයා කරෙයිනගර් හැරගිය නිසා මෙය සිදු වූ බව ඇය කියා සිටියාය. එසේ හැරයන්නට නොහැකි මිනිසුන්ට සිදු වන්නේ කුමක්ද? “ඔවුනුත් මේ රටේ පුරවැසියන් නොවේ ද?” යනුවෙන් ඈ ප්‍රශ්න කලාය.

වර්තමානයේ මේ දිස්ත්‍රික්කයේ තවදුරටත් නොසිටින එම දස දහස් සංඛ්‍යාත ජනයා උගතුන් හා මහා ධනවතුන් වී ලංකාවේ සහ විදේශවල වාසය කරතැයි ඇඟවීම විකාර කතාවකි. එය, 2009 දී පමනක් අවසන් වූ වර්ගවාදී යුද්ධය සමයේ සිදු වූ, තවමත් බොහෝ දෙනාගේ මතකයේ නැවුම්ව පවතින දරුනුතම ඛේදවාචකයන් සඟවයි.

යුද්ධයේ දී බොහෝ අය මියගියහ, තුවාල ලැබූහ. නිවාස වලට බෝම්බ හෙලා මුලුමනින්ම විනාශ කෙරුනි. සමහරු හමුදාවට සම්බන්ධ ඝාතක කන්ඩායම් අතේ 'අතුරුදන්' වූහ. පුළුවන් කමක් තිබූ අය එක් සරනාගත කඳවුරකින් තවත් එකකට මාරු වෙමින්, හෝ රටින් පලාගොස් බොහෝ විට ඉතා අඩු වැටුප් ලැබෙන, කය වෙහෙසන රැකියාවන්හි නතර වූහ.

අමරසූරිය වාර්ගික ගැටුම ගැන සඳහන් කලේම නැත. ඇය තම කථාවේදී 'යුද්ධය' යන වචනය තුන්වරක් පමනක් සඳහන් කලේ යුද්ධයෙන් පසු කිසිවක් වෙනස් වී නැතැයි කීමටය. යුද්ධය ගැන හෝ එය ඇවිලවූයේ කුමක් නිසාද යන්න ගැන හෝ ඇය කිසිවක්ම කීවේ නැත.

අගමැතිවරිය කිසිදිනෙක, ඇය 2011 දී විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මන්ඩලිකයකු හැටියට දේශපාලනයට අවතීර්න වූ පසුව වත්, 26 වසරක වර්ගවාදී යුද්ධයට එරෙහිව කට ඇර නැත. 'ප්‍රචන්ඩත්වය' ට එරෙහි සහ 'සංහිඳියාව' ට පක්ෂ ඇගේ හිස් වාගාලාප මහජනතාව රැවටීමට පාවිච්චි කරන කුහක වචන පමනකි.

මෙම සැඟවීම පිටුපසින් තිබෙන්නේ කුමක්ද?, 2019 දී ජවිපෙ හි සාපරාධී ඉතිහාසය වසන් කිරීම සඳහා වෙස්මුහුනක් හැටියට ජාජබය සංවිධානය කර ගැනීමට ජනාධිපති දිසානායකට උදව් කල ප්‍රමුඛතමයා වූයේ ඇයයි.

සිංහල ස්වෝත්තමවාදයේ ගැඹුරටම එරී සිටින ජවිපෙ මුල සිටම යුද්ධයේ ප්‍රබල සහායකයකු විය. කොලඹ පාලන තන්ත්‍රයට එරෙහි එකම විවේචනය වූයේ ඔවුන්ගේ යුද මෙහෙයුම් ආක්‍රමනශීලී මදිය යන්නය.

එක්සත් ජාතීන්ගේ ඇස්‌තමේන්තු අනුව, අඩු ගනනේ සිවිල් වැසියන් 40,000 ක් පමන ඝාතනය වූ, තවත් දහස් ගනනක් අතුරුදන් වූ, 300,000 ක් සිවිල් වැසියන් හමුදාව විසින් පාලනය කල කඳවුරු තුල මාස ගනන් රඳවා තැබූ, එල්ටීටීඊය පරදවා 2009 මැයි මාසයේ ලද මිලිටරි ජයග්‍රහනය ගැන කොලඹ සමස්ත දේශපාලන සංස්ථාපිතයත් ජවිපෙත් ඔල්වරසන් දුන්නේය. එපමනක් නොව ජවිපෙ දිගින් දිගටම හමුදාවේ යුද අපරාධ සහ සාහසික ක්‍රියා ආරක්ෂා කලේය.

කරෙයිනගර්හි පැමිනෙන ඕනෑම කෙනෙකුට නිවාස බිමට සමතලා වූ ස්ථාන තවමත් දැකිය හැකිය. ඔබ වැඩිහිටි කෙනෙක් සමග කතා කලහොත් ඔහු හෝ ඇය තමුන් අත්දුටු මරනය, විනාශය සහ ඛේදනීයත්වය ඔබට විස්තර කරදෙනු ඇත. මිනිසුන්ට අතීතය අමතක කරවීමට අමරසූරියට අවශ්‍යය.

දශක ගනනක් තිස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාව කරෙයිනගර්හි සමුද්‍රාසන්න ප්‍රදේශවල ලැගුම් ලා ගෙන අධි ආරක්ෂක කලාප ලෙස .ඒවා පාලනය කරන ලදී. මෙහි තිබූ සී-නෝර් මාලු බෝට්ටු නිෂ්පාදන කම්හල විනාශ වී ගොසිනි. දැන් එහි ප්‍රධාන නාවික කඳවුරක් පිහිටුවා ඇත.

කරෙයිනගර්හි ඌරි ගම්මානයේ ඉස්සන් ඇල්ලීම රැකියාව කරගත් පවුලක් වාසය කරන තල්අතු සෙවිලි කල නිවස, ඔවුහු අවුරුදු 12 ක් පමන කාලයක් මෙහි වාසය කරති, අප්‍රේල් 2025. [Photo: WSWS]

1987 දී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඉන්දීය සාම සාධක හමුදාව (අයිපීකේඑෆ්) කරෙයිනගර් ද ඇතුලත් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්වල වාඩි ලා ගත්තේය. ඊනියා සාම සාධක භටපිරිස්, මතුවන ඕනෑම විරෝධයක් මර්දනය කිරීම හා එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා දහස් ගනන් ඝාතනය කරමින්, මෘග මර්දනය අඛනන්ඩව ගෙන ගියහ.

ජවිපෙ, කම්කරු පන්තිය ආරක්ෂා කිරීමේ ආස්ථානයෙන් නොව “ජාතිය” ආරක්ෂා කිරීමේ ආස්ථානයෙන් 1987 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ විය. ඔවුහු ඉන්දීය භට පිරිස් ලංකා භූමියේ සිටීම සහ දෙමල ප්‍රභූන් අතට සීමිත බලතල දීම ජාතිය පාවා දීමකැයි කියමින් ඉන්දියානු විරෝධී විසකුරු වර්ගභේදවාදී උද්ඝෝෂන ව්‍යාපාරයක් ගෙන ගියහ.

ජවිපෙ, තමන් ගෙන යන විරෝධතා ව්‍යාපාරවලට හා වැඩ වර්ජනවලට සම්බන්ධ වීමට බල කරමින් දකුනේ දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සාංගමිකයන්, කම්කරුවන් හා තරුනයින් දහස් ගනනක් ඝාතනය කරමින් ෆැසිස්ට්වාදී ප්‍රහාර එල්ල කල බව ඉතිහාසයේ ලියවී තිබේ.

සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සහෝදරවරුන් තිදෙනෙක් ජවිපෙ තුවක්කුකරුවන් විසින් ඝාතනය කරන ලදී. ජාතිය රැක ගැනීමේ ආස්ථානයකින් නොව, සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමේ සමාජවාදී ඉදිරි දර්ශනයේ ආස්ථානයෙන්, ගැටුම වහා අවසන් කරන ලෙසත් උතුරු හා නැගෙනහිර පලාත් වලින් හමුදා ඉවත්කර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමින් විකොස ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ විය.

යුද්ධය, 1948 නිදහසෙන් පසු පත්වූ සියලුම ආන්ඩු විසින් ගෙන ගිය දෙමල ජනයාට වෙනස්කම් කිරීමේ ප්‍රතිපත්තියම ඉදිරියට ගෙන යාමක් බව පැහැදිලි කරමින් විකොස/සසප පමනක් මුලසිටම යුද්ධයට විරුද්ධ විය. යුද්ධය ආරම්භ වූයේ ධනපති පාලනය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තිය බෙදා වෙන්කිරීම අරමුනු කරගත්, සිංහල ස්වෝත්තමවාදය මත පදනම් වූ 1983 දෙමල සංහාරය සමගය.

එල්ටීටීඊයේ බෙදුම්වාදය ඇතුලු දෙමල ධනපති පක්ෂවල ජාතිකවාදී දේශපාලනයටද අපි විරුද්ධ වීමු. එම පක්‍ෂ, එදා මෙන්ම අදත් දෙමල ප්‍රභූවේ වරප්‍රසාද ගැන මිස දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන උත්සුක වූයේ නැත.

එල්ටීටීඊයත් මෙම දෙමල පක්ෂ සියල්ලත්, උතුරු නැගෙනහිරට පුලුල් ලෙස ලැබෙන බලතල බෙදීම අත ඇතිව වෙනම ධනපති රාජ්‍ය කැබිලිත්තක් පිහිටුවා ගෙන කම්කරුවන් හා ගම්බද දුගී ජනයා හවුලේ සූරාකෑමට උදව් කරන ලෙස අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලා සිටියහ.

විකොස /සසප දකුනු ආසියානු හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් හැටියට ශ්‍රී ලංකා - ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් කිරීමට කම්කරු පන්තිය එකමුතු වන ලෙස ඉල්ලා සිටියේය.

කරෙයිනගර් වැසියන් මුහුන දෙන ශෝචනීය ජීවන කොන්දේසි ගැන සොවින් සුසුම් හෙලූ ඇය, අධ්‍යාපන පහසුකම්වල අඩුකම, පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ ගැටලු සහ මාර්ග හා ප්‍රවාහනය නොතකා හැරීම ආදිය හුවා දැක්වූවාය.

ඇගේ ඡන්ද ව්යාපාරය පිලිබඳ මාතෘකාවට පැමිනෙමින් ඇය මෙසේ කීවාය: ' ප්රාදේශීය පාලනය තීරනාත්මකව වැදගත් වෙන්නේ මෙතනදී. මාසෙකට විතර උඩදී අයවැය ලේඛනයක් සම්මත උනා. රටේ ඉහත කී වැඩ සේරම කරන්න සල්ලි අනුමත කරලයි තියෙන්නෙ. සෑම සතයක්ම බුද්ධිමත් විදියට පාවිච්චි කරන්න ඕන. ඉතින් ඒකට ඔබලා පිරිසිදු දූෂනයෙන් තොර පුද්ගලයන් පත්කර ගන්න ඕන'

ඇය ඇත්තටම කියන්නේ ජවිපෙ/ජාජබයට ඡන්දය දෙන ලෙසයි.

සියළු දසමහා දෝෂවලට කෝකටත් තෛලය හැටියට අගමැතිවරිය වර්නනා කල අයවැය ලේඛනය පිලිබඳ තත්වය කුමක්ද? එය, ජාත්යන්තර මූල්ය අරමුදලේ සුපරීක්ෂාව යටතේ සකස් කල, තව තවත් කැපකිරීම් ඉල්ලන වැඩ කරන ජනතාව මත තවතවත් බර පටවන සැලැස්මකි. ජාත්යන්තර මූල්ය අරමුදලේ කලමනාකාර අධ්යක්ෂවරිය වන ක්රිස්ටලීනා ජෝජීවා අයවැය ලේඛනය ගැන මුළු හදවතින්ම ප්රසංශා කරමින් ජනාධිපති දිසානායකට මෙසේ පනිවිඩයක් එව්වාය: ' ජනාධිපති තුමනි, කදිමයි. මගේ හදවත ඔබ සමගයි'

අමරසූරිය, ඇගේ ප්‍රධාන ප්‍රමුඛතා දෙක ගැන කෙටියෙන් සඳහන් කරද්දී ආන්ඩුවේ සැබෑ පන්ති අවශ්‍යතාවන් එලියට ආවේය. “අපි ඉස්සරවෙලාම මේ ආර්ථිකය හරි පාරට ගන්න ඕනෑ” යයි ඇය කීවාය. දුක් විඳින මිනිසුන්ට කිසියම් සහනයක් දිය යුතුය. ආර්ථිකයේ තිබෙන නරක කලමනාකරනය සහ බරපතල දූෂනය නිවැරදි කල යුතුය. නමුත් ඇය මේ ටිකත් එකතු කලාය: ” අපි අපේ ආර්ථිකය ගැන ඉතාම විනය සහගත වෙන්න ඕන. වැඩිය වියදම් නොකර “

'ආර්ථිකය හරි පාරට ගැනීම” සහ “වැඩිය වියදම් නොකර” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එයින් අදහස් කරන්නේ ජාමූඅ හි නියෝග අනුගමනය කිරීම සහ වැඩකරන ජනයාට තවත් පටි තද කරගන්නට බල කිරීමය. දිසානායක කලේ ජාත්‍යන්තර නය මෝරුන්ගේ මුදල් ආපසු ගෙවීමට හා මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ පොදි තර කිරීමට බදු, උපයෝගිතා බිල් (විදුලිය, ජලය, ටෙලිෆෝන්) සහ සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල දැවැන්ත ලෙස වැඩි කල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පක්ෂග්‍රාහී තම පූර්වගාමික රනිල් වික්‍රමසිංහගේ කප්පාදු පියවරයන් තව දුරටත් ඉදිරියට ගෙනයාම පමනකි.

දෙවන ප්‍රමුඛතාව වන්නේ “මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යලි පිහිටුවීම” යයි අමරසූරිය ප්‍රකාශ කලාය. මේ සඳහා ඈට තිබෙන එකම සාක්ෂිය මාස හයක් තුල ඡන්ද දෙකක් පැවැත්වීමය. එම ඡන්ද දෙක පැවැත්වූයේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ජවිපෙ /ජාජබයේ තිබෙන ප්‍රේමයක් නිසා නොව, මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා තම හස්තය ශක්තිමත් කර ගැනීමටය.

ජවිපෙ /ජාජබ ආන්ඩුව, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මුකවාඩම් බඳින, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, මාර්ගගත ආරක්ෂක පනත ආදී නීති අහෝසි කරන බව ද, දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කරන බව ද, හමුදාව වාඩි ලා සිටින උතුරු නැගෙනහිර පලාත් වල ඉඩම් ඒවායේ මුල් අයිතිකරුවන්ට පවරා දෙන බවද ඡන්ද ව්‍යාපාරය තුලදී දිසානායක ප්‍රකාශ කලේය.

සිදුවෙමින් පවතින්නේ එහි ප්‍රතිවිරුද්ධයයි. තරුනයන් රඳවාගැනීම සඳහා ආන්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පාවිච්චි කරයි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට විරුද්ධව ජේෂ්ඨ හමුදා ජෙනරාල්වරු මාර්ගගත පනත යොදා ගනිති. විවිධ ත්‍රස්තවාදී ක්‍රියාවලට වැරදිකරුවන් වූ අය දේශපාලන සිරකරුවන් අතර සිටිතැයි කියමින් ඇමතිවරු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ පොරොන්දුවෙන් පස්ස ගසති. උතුරු නැගෙනහිර පලාත් වල පීඩාකාරී මිලිටරි වාඩිලා ගැනීම එලෙසම පවතී.

දෙසැම්බරයේදී පොලීසිය පාසල් සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවක් ප්‍රචන්ඩ ලෙස මර්දනය කලේය. ශිෂ්‍ය විරෝධතාවලට විරුද්ධ පොලිස් ප්‍රචන්ඩත්වය දිගටම සිදු වේ. අරගලයන්ට පිවිසෙන කම්කරුවන්ට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ආන්ඩුව ගන්නා උත්සාහය කඩාකප්පල් නොකරන ලෙසට තර්ජනාත්මකව අනතුරු අඟවා තිබේ.

සියල්ලටමත් වඩා, එලිපිටම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් ගනිමින්, ආන්ඩුවේ උසිගැන්වීම මත, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ බලධාරීන් ජනවාරි 3 දිනට යොදා තිබූ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සංවිධානයේ රැස්වීමක් තහනම් කලේය. යෝජිත රැස්වීමේ තේමාව වූ “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කරන්නේ කෙසේද” යන්න ආනන්ඩුවේ ප්‍රතිපත්තියට අභියෝග කරන්නක් යයි බලධාරීහු ප්‍රකාශ කලහ.

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ මේ කෙටි වාර්තාව පෙන්වා දෙන්නේ ඔවුන් කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරනවා පමනක් නොව මූලිකම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පවා පාගා දමන බවයි. ඇත්ත වශයෙන්ම කියතොත්, ආන්ඩුව, තම කප්පාදු වැඩ පිලිවෙලට එරෙහිව නැගී එන විරෝධය මැද ආඥාදායක පාලනයක් දිසාවට වේගයෙන් ගමන් කරමින් සිටී.

සසප මෙම මැතිවරනයට මැදිහත් වන්නේ සියලු ජන කොටස්වල කම්කරුවන් සමාජවාදී වැඩපිලිවෙලක් වටා ඒකරාශි කොට ධනපති පක්‍ෂවලින් ස්වාධීනව බලමුලු ගැන්වීමටය. ධනේශ්වර පද්ධතිය ඇතුලත හෝ ජාතික රාමුව ඇතුලත විසඳුමක් නැත..

අප ඉදිරිපත් කර ඇති ක්‍රියාමාර්ගය හදාරන ලෙසත් සසප ට බැඳී අරගලයට දේශපාලන නායකත්වය දෙන විප්ලවවාදී පක්ෂය ලෙස එය ගොඩනගන ලෙසත් කම්කරුවන් සහ තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු. මෙම වැඩ පිලිවෙලට ඔබේ සහයෝගය පල කිරීම සඳහා කරෙයිනගර් සහ කොලොන්නාවේ සසප අපේක්ෂකයින්ට ඡන්දය දෙන්න!

***

මෙම ලිපියේ කතුවරයා පහත දැක්වෙන පසු සටහන එකතු කරයි:

සසප ට පෙර පැවති විකොස, 1970 දශකයේදී කරයිනගර් ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරකම් ආරම්භ ක‌ලේය. 'පාපා' ප්‍රකට වූ, අභාවප්‍රාප්ත වෙළුපිල්ලෙයි සරවනපෙරුමාල් එහි ප්‍රමුඛ සාමාජිකයෙකු වූයේ ය. (ඔහු 2005 දී මියගියේය). 1975 දී පක්ෂයට එකතු වූ ඔහු 1977 දී කරයිනගර් සී-නෝර් බෝට්ටු කර්මාන්ත ශාලාවේ විදුලි කම්කරු ලෙස රැකියාවක් ලබාගත්තේය.

සරවනපෙරුමාල් ඔහුගේ පවුල සමඟම සහ අනෙකුත් විකොස සාමාජිකයින් කිහිපදෙනෙකු සමඟ, 1996 දී සිදුවූ දරුනු යුද මෙහෙයුම්වලින් දිවි ගලවා ගැනීමේ අරමුනෙන් කරයිනගර් දූපතෙන් වඩ්ඩුක්කොඩයි ප්‍රදේශයට පලා ගියේය.

මෙම ලියුම්කරුට එවකට වයස අවුරුදු 2ක් පමන වූ අතර, මගේ දෙමාපියන් මා රැගෙන කරයිනගර්වලින් වඩ්ඩුක්කොඩයි ට පලා ගියේ, මරනයෙන් වැලකීම සඳහාය.

ඉදිරි කරයිනගර් ප්‍රාදේශීය සභා මැතිවරනයේදී අපගේ ප්‍රමුඛ අපේක්ෂකයා වන පරමුතිරුඥාන සම්බන්ධර් සහෝදරයා ද එම අවුරුද්දේම එම ප්‍රදේශයෙන් පලා ගියේය. ඔහු අවසානයේදී වන්නි දිස්ත්‍රික්කයේ කිලිනොච්චියේ නතර විය.

1998 දී සම්බන්ධර් සහ සසප සාමාජිකයින් තිදෙනෙකු එල්ටීටීඊ ය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්දීය කම්කරුවන් සමඟ එක්ව සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීම පිනිස සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධතාවය උදෙසා උද්ඝෝෂනය කිරීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතු විය.

අත්අඩංගුවට ගත් සාමාජිකයින් කොන්දේසි විරහිතව නිදහස්කර ගැනීම සඳහා සිදුකළ ජාත්‍යන්තර උද්ඝෝෂනයකින් පසුව ඔවුන් නිදහස් කරන ලදී.

Loading