සසප මැතිවරන උද්ඝෝෂනයේ සමාප්ත රැස්වීමට සහභාගි වෙන්න! සමාජවාදී වැඩපිලිවෙලට එක් වන්න!

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිය පලාත්පාලන මැතිවරන උද්ඝෝෂනය සමාප්ත කරමින් මැයි 03 දා, සවස 3ට කොලොන්නාව නගරයේ පවත්වන ප්‍රසිද්ධ රැස්වීමට සහභාගිවන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ අවශේෂ පීඩිත ජනයාගෙන් සසප සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ (සසජාතශි) ඉල්ලා සිටි.

පලාත්පාලන මැතිවරන උද්ඝෝෂනය ඇරඹි මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇත. සසප, තම මැතිවරන උද්ඝෝෂනය ආරම්භ කරමින්. මාර්තු 27 දා, “අයිතීන් කප්පාදුවට, ආඥාදායකත්වය සහ යුද්ධයට එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගයක්” මැයෙන් නිකුත්කල ප්‍රකාශයේ කම්කරු පංතියට සහ අවශේෂ පීඩිත මහජනතාවට කල අනතුරු ඇඟවීමි බලගතු ලෙස සනාථ වී ඇත.

අනුර කුමාර දිසානායක නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ඇමරිකාවේ ඝෘජු උපකරනයක් ලෙස ඉස්මතුවී සිටී. ඔහුගේ දක්ෂිනාංශික ආන්ඩුව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ චීනයට එරෙහි යුද මූලෝපායික වැඩ කටයුතු වලට වඩවඩාත් ඒකාග්‍රවෙමින්, කලාපයේ එක්සත් ජනපද මූලෝපායික හවුල්කරු වන ඉන්දියාව සමග අප්‍රේල් 5 දා ආරක්ෂක ගිවිසුමක් අත්සන් කලේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධයට අවනතවී සාකච්ඡා අරඹා ඇත.

වරද්දා ගන්න එපා! ජවිපෙ/ජාජබ ආන්ඩුවට අවශ්‍යව ඇත්තේ පලාත් පාලන ඡන්දය දිනාගෙන, තම අත වැඩිදුරටත් ශක්තිමත් කරගෙන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිලිවෙල තවතවත් රුදුරු ලෙස ක්‍රියාවට දැමීමයි. ආන්ඩුව මාසහයකට පෙර මහජනයාට දෙමින් සිටි පච පොරොන්දු එකක් නෑර කඩකර, දැනුත් ඒවාම පුනරුච්චාරනය කරන අතර “පොහොසත් රටක්! ලස්සන ජීවිතයක්!” යන මායා ලෝකයක ප්‍රලාපය ජපකරමින් සිටී.

මේ අතර සිදු වෙමින් පවතින්නේ, ෆැසිස්ට් ට්‍රම්ප් ඇමරිකාවේ කම්කරු පන්තියේ අයිතීන් තලා දමමින් ආඥාදායක පාලනයක් තහවුරු කිරීමේ වැඩ වේගවත් කිරීමකි; ලෝකයට විරුද්ධව වෙලඳ යුද්ධය ප්‍රකාශ කොට අනෙකුත් බලයන් කාකොටා ගැනීම අවුලුවමින් මුලු ලෝකයම විනාශකාරී තුන්වන ලෝක යුද්ධයක් තුලට ඇදගෙන යාම වේගවත් කිරීමයි. කලාපයේ බලවතුන් වන ඉන්දියාව හා පකිස්ථානය යුද්ධයක් අද්දර ය.

වැඩෙන දරුනු වෙලඳ යුද්ධයේ හා ලෝක යුද සුදානමේ විනාශකාරී බර ලංකාව ද ඇතුලු වැඩකරන ජනයා මත පැටවීමට සෑම රටකම ආන්ඩු පියවර ගනු ඇත. දිසානායක ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කයිවාරු දෙසාබාන ගමන් රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ හා මාර්ගගත සුරක්ෂිතතා පනතේ නීති ක්‍රියාවට දමමින් සිටියි. රටපුරා ගම් 16,000ක පොලිසියේ මුලිකත්වයෙන් ආරක්ෂක කමිටු ජාලයක් තැනීමේ වැඩ අරඹා ඇත. ක්‍රමානුකුලව ආන්ඩුව වර්ධනය කරමින් සිටින්නේ ආඥාදායක පාලනයක් බවට අපි අනතුරු අඟවමු.

එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලයන්ගේ රාජයතාන්ත්‍රික ආශිර්වාදය ලබාගත් ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙන ඒමට ධනපති පන්තියේ සැලකියයුතු කොටසක් රැලිවුනේ අපකීර්තියට පත් පැරැනි පක්ෂවලට තවදුරටත් ධනපති අර්බුදයේ බර මහජනතාව මත පැටවීමට නොසමත් නිසා එම කාර්ය ඉටුකරගැනීමේ රුදුරු වැඩපිලිවෙලට කරගැසීම සඳහා ය.

විපක්ෂ සමගි ජන බලවේගය, යුඇන්පී ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ දෙමල හා මුස්ලිම් පක්ෂ ඇතුලු සියලු ධනපති පක්ෂ ආන්ඩුව ගැන විවේචන අමු ව්‍යාජයන් ය. මෙම පක්ෂ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධාන වලට මුලුමනින් ම එකඟ ය. වෘත්තීය සමිති නිලධරයන් ආන්ඩුව හා මේ පක්ෂ සමග එකට සිටිති.

මේ අතර, වයාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය නායකත්වය දෙන “ජන අරගල සන්ධානය', ජවිපෙ/ජාජබ ආන්ඩුවට බලපෑම් දමා සහන උදුරා ගැනීමේ බංකොලොත් වැඩපිලිවෙලක් ගෙනයති. ජනතා විමුක්ති පෙරමුන 1988-1989 කාලයේ ගෙනගිය ඉන්දියානු විරෝධී ෆැසිස්ට් වර්ගවාදී උද්ඝෝෂනයේ පෙරමුනේ සිටි පිරිසක් විසින් සංවිධානය කර ඇති මෙම පක්ෂය දැන් එම බිහිසුනු ක්‍රියා වර්නනා කරමින් ඉන්දියානු විරෝධය අවුලුවති.

ධනපති ආන්ඩුවට හා ධනපති විපක්ෂයටත් ඒවායේ අවතේවකාරයන්ටත් එරෙහිව කම්කරුවන්ට, ගම්බද හා නගරබද දුගීන්ට සහ තරුනයන්ට සසප අවධාරනය කරන්නේ ඔබගේ දැවෙන අවශ්‍යතා එකක්වත් ධනපති ක්‍රමය තුල හා ජාතික රාමුව තුල සහතික කරගත නොහැකි බවයි.

මෙම මැතිවරනය ආරම්භයේ දීම අප ප්‍රකාශ කර සිටියේ, අපේ අරමුන, “ග්‍රාමීය දුප්පතුන් පෙලගස්වාගෙන ආන්ඩුවේ කප්පාදු ක්‍රියාමාර්ගයට එරෙහිව සටන් කිරීමට, සියලු ධනපති පක්ෂ වලින් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මගින් සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන සුදානම් කිරීමයි.

මෙම ජාත්‍යන්තර සහ ජාතික වර්ධනයන් සහ ඉහත සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කෙරෙන මැයි 03 දා කොලොන්නාවේ සසප රැස්වීමට සහභාගී වන්න.

රැස්වීම පැවැත්වෙන ස්ථානය: කොලොන්නාව ලංකා බැංකුව අසල

ෆැසිස්ට්වාදයට, ආඥාදායකත්වයට සහ යුද්ධයට එරෙහි සටන සඳහා ලොවපුරා කම්කරුවන් එක්සත් කරනුවස් එදිනම (3) මැයි රාත්‍රි 12,30 ට හජාජක සහ ලෝසවෙඅ පවත්වනු ලබන ජාත්‍යන්තර මැයිදින ඔන්ලයින් රැලියට සහභාගි වන ලෙස සසප/සසජාතශි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ අවශේෂ පීඩිතයන්ගෙන් ඉල්ලා සිටී.

Loading