ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීම් ඉන්දියාවේ ආර්ථික හා සමාජ අර්බුදය වැඩි දියුනු කරයි

අප්‍රේල් 9 වැනි දා, ඉන්දියාව ඇතුලු රටවල් 75 ක් සඳහා වැඩි කරන ලද තීරුබදු සඳහා දින 90 ක “විරාමයක්” ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් නිවේදනය කල අතර, ඔහු චීන භාන්ඩ සඳහා පමනක් වොෂිංටන් හි තීරු බදු වැඩි කලේ ය. “අන්‍යෝන්‍ය තීරුබදු” වලින් ඉන්දියාවට සෘජු ව ම වැඩි කල සියයට 26 තාවකාලික ව නතර වුව ද, නව දිල්ලියට පොදුවේ ඉහල දමන සියයට 10 ක සහ වානේ, ඇලුමිනියම් සහ මෝටර් රථ ආනයන සඳහා වෙන වෙන ම සියයට 25 ක තීරුබදු වලට මුහුන දීමට සිදුවේ. වෙලඳ යුද්ධය තීව්‍ර කිරීමේ පියවර, ඉන්දියාවේ ආර්ථික හා සමාජ අර්බුදය වැඩි කරනු ඇත.

2025 අප්‍රේල් 2 වන දින ධවල මන්දිරයේ රෝස් උද්‍යානයේ නව තීරුබදු නිවේදනය කිරීමේ උත්සවයක දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරයි. [AP Photo/Mark Schiefelbein]

ඉන්දියාවේ තීරුබදු අනුපාතය පකිස්ථානය (සියයට 29), බංග්ලාදේශය (සියයට 37) සහ ශ්‍රී ලංකාව (සියයට 44) වැනි දකුනු ආසියානු රටවලට පනවා ඇති ඒවාට වඩා අඩු වුව ද, මෙය දකුනු ආසියාවේ පමනක් නොව, ඇමරිකා එක්සත් ජනපදය ද ඇතුලු ලොව පුරා කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි මත දැඩි ප්‍රහාර එල්ල කිරීමට තුඩුදෙනු ඇත. දින 90 ගතවීමෙන් පසු එක්සත් ජනපද ජනාධිපතිවරයා සැලසුම් කරන්නේ කුමක්ද යන්න අවිනිශ්චිතය.

තීරුබදු මගින් බලපෑමට ලක් වූ ප්‍රධාන ඉන්දියානු අංශ අතර ඉලෙක්ට්‍රොනික උපකරන, මැනික් හා ස්වර්නාභරන, සමුද්‍ර නිෂ්පාදන සහ වාහන අමතර කොටස් ඇතුලත් වේ. ඇමෙරිකාවට ඉන්දියාවෙන් සිදු කෙරෙන ඩොලර් බිලියන 14 කට ආසන්න වටිනාකමක් ඇති ඉලෙක්ට්‍රොනික අපනයන සහ ඩොලර් බිලියන 9 ඉක්මවන මැනික් හා ස්වර්නාභරන අපනයන වඩාත් තර්ජනයට නිරාවරනය වී ඇති භාන්ඩ අතර වේ. ඉන්දියානු මෝටර් රථ කර්මාන්තය, විශේෂයෙන් මෝටර් රථ උපාංග සැපයුම්කරුවන්, සැලකිය යුතු අවදානමකට මුහුන දෙයි: ඉන්දියාවේ ගෝලීය මෝටර් රථ අමතර කොටස් අපනයනයෙන් සියයට 29 ක් පමන (2024 දී ඩොලර් බිලියන 2.2 ක් වටිනා) අපනයනය කෙරුනේ එක්සත් ජනපදයටයි.

වාර්ෂික ව ඩොලර් බිලියන 8.7–9 ක් වටිනා, එක්සත් ජනපද සාමාන්‍ය ඖෂධවලින් සියයට 40 ක් සපයන ඖෂධ නාම බෙහෙත් අපනයන, නවත ම තීරුබදු වලින් නිදහස් ව පවතී. කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනය අනාගතයේ දී මෙම අංශය ද අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමේ දී ඉලක්ක වන බවට ප්‍රකාශ කර තිබේ.

තීරුබදු වැඩිවීම ඉන්දියාවේ දේශපාලන හා ව්‍යාපාරික ප්‍රභූව තුල කනස්සල්ලක් ඇති කර තිබේ. ඉන්දියානු වානිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල්ගේ වොෂින්ටන් සංචාරය ඇතුලු හදිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් නො තකා, නව එක්සත් ජනපද පියවරයන්ගෙන් සහනයක් ලබා ගැනීමට ඉන්දියාව කල වැඩ මේ දක්වා සාර්ථක වී නැත. මෙම තත්වය මඟ හරවා ගැනීම සඳහා ද්විපාර්ශ්වික වෙලඳ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉන්දියාව කටයුතු කරමින් සිටී.

සාකච්ඡා දිගට ම පවතින අතර, ඩොලර් බිලියන 23 ක් වටිනා එක්සත් ජනපද ආනයනවලින් අඩකට වඩා තීරුබදු අඩු කිරීමට ඉන්දියාව --මෙය වසර ගනනාවක් තුල සිදුකල එවැනි විශාලතම අඩු කිරීමක් වනු ඇත - එකඟ බව වාර්තා වේ. ඉන්දියාව දැනටමත් සුඛෝපභෝගී රථ, සූර්ය කෝෂ සහ යන්ත්‍රෝපකරන සඳහා තීරුබදු අඩු කර ඇත. නව දිල්ලිය, එක්සත් ජනපදයෙන් බලශක්ති නිෂ්පාදන මිල දී ගැනීම් වැඩි කිරීමට ද පොරොන්දු වී ඇති අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැඩ කටයුතු වල කොටසක් ලෙස එෆ්-35 ප්‍රහාරක ජෙට් ඇතුලු ප්‍රධාන ආරක්ෂක අත්පත් කර ගැනීම් සලකා බලමින් සිටී.

වොෂිංටනයට ලබා දෙන තවත් සහනයක් ලෙස, ඉන්දියාව විදේශීය සමාගම් විසින් උපයන ඩිජිටල් වෙලඳ දැන්වීම් ආදායම් සඳහා සියයට 6ක සමානකරන බද්ද ('ගූගල් බද්ද') ඉවත් කර තිබේ. මෙම පියවරයන් නො තකා, ඇමරිකාව සමඟ ඉන්දියාවේ ඩොලර් බිලියන 45.6 ක වෙලඳ අතිරික්තය සහ විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ එක්සත් ජනපද භාන්ඩ සඳහා දිගුකාලීන බාධක පෙන්වා දෙමින් එක්සත් ජනපදය තවදුරටත් බලපෑම් කරනු ඇත.

කෘෂිකර්මාන්තය, දෙරට අතර ආරවුලේ ලක්ෂ්‍යයක් ලෙස පවතී. ඉන්දියාවේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමානයක ජීවන මාර්ගය වන නමුත් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 කට පමනක් දායක වන එරට ආරක්ෂිත ගොවි නිෂ්පාදන අංශය තුලට කඩාවැදීම සඳහා එක්සත් ජනපදය දිගු කලක් තිස්සේ වැඩි ප්‍රවේශයක් අපේක්ෂා කර සිටී. මිලියන සංඛ්‍යාත කුඩා ගොවීන්ගේ ජීවනෝපායන්ට ඉන් ඇති කරන හානිදායක බලපෑම නිසා ඉන්දියාව කෘෂිකාර්මික ආනයන සඳහා බින්දුවේ සිට සියයට 150 දක්වා තීරු බදු පවත්වා ගෙන යයි.

ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකාර්මික ශ්‍රම ඵලදායිතාවට වඩා සැලකිය යුතු ලෙස අඩු මට්ටමක සිටින ඉන්දියාවට අනාබාධිතව පැමිනෙන ලාභ කෘෂිකාර්මික භාන්ඩ ගම්බද ආර්ථිකයේ විශාල අර්බුදයක් ජනනය කරනු ඇත. වසර හතරකට පෙර, දසදහස් සංඛ්‍යාත ගොවීන් තමන්ට වඩා හොඳ මිලක් නීතිමය වශයෙන් සහතික කරන ලෙස ඉල්ලා විරෝධතා පැවැත්වූහ. ගම්බද ජනයාගේ මෙම විරෝධතාව අඛන්ඩව පවතී.

තීරුබදු යුද්ධයට මුහුන දීමේදී ඉන්දියාව සමහර කලාපීය තරඟකරුවන්ට වඩා වාසිදායක තත්වයක සිටින බවක් පෙනුනද, නව එක්සත් ජනපද පියවරයන් නව සෑම රටක් ම අලලා ගන්නා ආර්ථික අර්බුදයක් ජනනය කරන හෙයින් ඉන් ගැලවීමට නොහැකිය. ට්‍රම්ප් ඊලඟට කරනු ඇත්තේ කුමක්ද යන්න අවිනිශ්චිත නමුත් න්‍යෂ්ඨික ලෝක යුද්ධයක තර්ජනය මතුකරන වෙලඳ යුද්ධය වඩ වඩාත් තීව්ර වෙමින් තිබේ.

චීනයට සියයට 145ක්, තායිවානයට සියයට 32ක් සහ වියට්නාමයට සියයට 46ක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය ඉහල තීරු බදු පැනවීමත් සමඟ, ඉන්දියාවේ ප්‍රභූ පැලැන්තියේ සමහර කොටස් විශ්වාස කරන්නේ මෙම පියවර නව දිල්ලියට වාසිදායක විය හැකි බවයි. ගෝලීය වෙලඳ පර්යේෂන ආයතනයේ (Global Trade Research Initiative) නිර්මාතෘ අජේ ශ්‍රීවාස්තව තර්ක කරන්නේ, මහා පරිමාන නිෂ්පාදනය, දේශීය අගය එකතු කිරීම සහ වැඩි දියුනු කල තරගකාරිත්වය සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරන සිදු කරන්නේ නම්, ඉන්දියාවට තම ගෝලීය වෙලඳ හා නිෂ්පාදන තත්ත්වය ශක්තිමත් කර ගැනීමට මෙය අවස්ථාවක් ලබා දෙන බවයි. බටහිර හා චීනය අතර උත්සන්න වන ආතතීන් සමඟ, චීනයෙන් ඉවත් ව යන සෘජු විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීමට නව දිල්ලියට ලැබෙන අවස්ථාවක් ලෙස ද මෙය සලකයි. කෙසේ වෙතත්, ධනපති පන්තියේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ මෙවැනි ගනන් බැලීම් සිදුවන්නේ ගෝලීය අර්බුදය ගැඹුරුවීම නොතකාය.

වොෂින්ටනය වැඩි වන මූල්‍ය අභියෝගවලට මුහුන දෙයි: එක්සත් ජනපද රජයේ නය ඩොලර් ට්‍රිලියන 36කට ලඟා වී ඇති දැරිය නො හැකි වේගයකින් අඛන්ඩ ව ඉහල යමින් පවතින අතර වාර්ෂික පොලී ගෙවීම් ඩොලර් ට්‍රිලියන 1කට ආසන්න වේ. පසුගිය වසර තුල වෙලඳ හිඟය සියයට 17 කින් ඉහල ගොස් ඩොලර් ට්‍රිලියන 1 ක් පමන විය. මෙම සීමාවන් නිසා එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයින්ට උපා මාරු දැමීමට ඇති ඉඩකඩ අතිශය සීමාන්තික වන අතර, එහි ප්‍රතිවිපාක ඇමරිකාවේ පමකක් නොව ගෝලීය ආර්ථිකය පුරා දැනෙනු ඇත.

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්ති දැනටමත් පිරිවැය ඉහල නැංවීම, මිල අස්ථාවරත්වය වැඩි කිරීම සහ ව්‍යාපාර අවිනිශ්චිතතාව වැඩි කිරීම මගින් ගෝලීය සැපයුම් දාමයන් කඩාකප්පල් කර ඇත. සමාගම් ඉහල යෙදවුම් මිල ගනන් වලට මුහුන දී ඇත, මූලාශ්‍ර මාර්ග මාරු කර ඇත, ඉන්වෙන්ටරි තොග ගබඩා කර ඇති අතර බොහෝ විට වැඩි වූ පිරිවැය පාරිභෝගිකයින්ට ලබා දී ඇත. අනපේක්ෂිත බව සහ ඉහල යන අවදානම හේතුවෙන් බොහෝ සැපයුම් දාම ගැලපුම් ඇනහිට ඇත.

මෙම ආර්ථික ආතතීන් තිබිය දී ත්, වොෂින්ටනය නව දිල්ලිය එහි භූ දේශපාලනික මූලෝපායට වඩාත් ගැඹුරින් ඒකාබද්ධ කිරීමට ක්‍රියාකාරී ව වැඩ කරයි. මාර්තු 18 වන දින දිල්ලියේ පැවති රයිසිනා සංවාදයේ දී අදහස් දක්වමින් එක්සත් ජනපද ජාතික බුද්ධි ප්‍රධානී තුල්සි ගැබාර්ඩ් අවධාරනය කලේ ට්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” යන්නෙන් අදහස් කරන්නේ “ඇමරිකාව පමනක්” නොවන බවයි. කෙසේ වෙතත්, ප්‍රායෝගික ව, පරිපාලනය ඒකපාර්ශ්වික ආර්ථික අවශ්‍යතා අනුගමනය කරන අතරම භූ දේශපාලනික පෙරමුනේ දී මූලෝපායික සන්ධාන ගත වීම් වැඩි දියුනු කිරීමට වැඩ කරයි.

ට්‍රම්ප් පරිපාලනය, හිටපු ජනාධිපති බයිඩන් පරිපාලනයට වඩා උපායික කරුනු කිහිපයක් සම්බන්ධයෙන් වෙනස් වුවද, චීනය කෙරෙහි දැඩි විරුද්ධත්වය සම්බන්ධයෙන් දෙදෙනාම එක්සත් වෙති. ට්‍රම්ප් බීජිනයට එරෙහි ව ආර්ථික, භූ දේශපාලනික සහ මිලිටරි උපාය මාර්ග තීව්‍ර කර ඇති අතර, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් අතර යුද්ධයක් පුපුරා යාමේ අවදානම තියුනු ලෙස වැඩි වී ඇත. ඉන්දියානු ආන්ඩුව චීනයට එරෙහි වොෂින්ටනයේ මුලොපායික සහකරුවා ලෙස ක්‍රියා කරයි.

චීනයට එරෙහි ව සන්ධාන ගත වන නමුත්, වොෂිංටනය ක්‍රියා කරන්නේ තමන් ගේ ම න්‍යාය පත්‍රයට අනුව ය. නීතිවිරෝධී සංක්‍රමනිකයන් ලෙස චෝදනා ලැබූ සිය ගනනක් ඉන්දියානුවෝ එක්සත් ජනපදය විසින් පීඩාකාරී කොන්දේසි යටතේ පිටුවහල් කරන ලදහ. පැය 40 ක ගුවන් ගමනක් පුරා ඔවුනට විලංගු ලා තබන ලද අතර එය ඉන්දියානු මහජනතාවගේ කෝපයට හේතු විය. සිවිල් ගුවන් යානා මගින් ඔවුන් ප්‍රවාහනය කිරීම අඩු වියදම් සහිත වුවද, තම අධිපතිකාරී ස්වභාවය ප්‍රදර්ශය කිරීමක් ලෙස වොෂින්ටනය හමුදා ගුවන් යානා භාවිතා කිරීමට තෝරා ගති.

වොෂින්ටනය සහ එහි සහචරයින් ඔවුන්ගේ ප්‍රකෝප කිරීම් දිගට ම කරගෙන යන තත්වයේ දී, ඉන්දියාවේ, එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරු පන්තිය මෙම වැඩ කටයුතු වලින් මතු වන න්‍යෂ්ඨික යුද්ධයක අන්තරායට එරෙහි ව සංවිධානය විය යුතු ය. ජාත්‍යන්තර සමාජවාදයේ වැඩපිලිවෙල සහ ඉදිරිදර්ශනය මත ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගන්වන, පුලුල් ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක කොටසක් ලෙස දකුනු ආසියානු යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව හදිසි භාවයකින් මතු ව තිබේ.

Loading