[මෙය International condolences on the death of Sri Lankan Trotskyist Nanda Wickremesinghe යන මැයෙන් 2025 අප්‍රේල් 26 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින් සහ ආධාරකරුවන්, පවුලේ සාමාජිකයන්, ඥාතීන් සහ මිතුරන් ඇතුලත්, ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම පාහේ නියෝජනය කෙරුනු පන්සියයකට ආසන්න පිරිසක්, සසප නායකයෙකු වූ නන්ද වික්‍රමසිංහ සහෝදරයාට අවසන් බුහුමන් දැක්වීම සඳහා බ්‍රහස්පතින්දා (24) කොලඹ බොරැල්ල සුසාන භූමියට රැස්වූහ.
සසප සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සාමාජිකයින් විසින් වික්ස් ලෙස හඳුන්වනු ලබන වික්‍රමසිංහ, 1968 ජුනි මාසයේ පිහිටවූ, සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ආරම්භක සාමාජිකයෙකි.
අප්‍රේල් 20 වන දින උදෑසන වික්ස් සහෝදරයා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 85 ක් විය. දින දෙකක් පුරා, නොයෙකුත් ප්‍රදේශවල සිට පැමිනි දහසකට ආසන්න පිරිසක් බොරැල්ලේ ජයරත්න රෙස්ට්පෙක්ට් අවමංගල්‍ය ශාලාවට පැමින වික්ස් සහෝදරයාට ගෞරව දැක්වීය. ඔවුන් අතර සසප සාමාජිකයින්, ආධාරකරුවන්, ඥාතීන් සහ මිතුරන් මෙන්ම කලාකරුවන්, බුද්ධිමතුන්, කම්කරුවන් සහ සිසුන් ද වූහ. උතුරු, දකුනු පලාත්වල මෙන්ම මධ්‍යම පලාතේ වතුකරයේ කන්ඩායම් ද අවමංගල්‍යයට සහභාගී වීම සඳහා පැමිනියහ.
හජාජාක ශාඛාවන්හි නායකයින් විසින් එවන ලද ශෝක පනිවිඩ අපි පහතින් පල කරමු. අවමංගල්‍යය පිලිබඳ සවිස්තර වාර්තාවක් ලබන සතියේ මුලදී ප්‍රකාශයට පත් කෙරේ.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති සහ සසප (එක්සත් ජනපදය) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත්:
ප්‍රිය සහෝදරවරුනි,
වික්ස්ගේ සහෝදරයාගේ අභාවය පිලිබඳ පුවත මට ගෙන ආවේ දැඩි සංවේගයකි. දීර්ඝ හා පූර්න ජීවිතයක් ගත කිරීමට ඔහුට වරප්‍රසාද ලැබුනද, ඔහුගේ අභාවය, ශ්‍රී ලංකාවේ සසප සහ ජාත්‍යන්තර කමිටුව පුරා සිටින ඔහුගේ සහෝදරවරුන්ට, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයක් අහිමි කරන බව අපි කවුරුත් දනිමු.
වික්ස් සහෝදරයාගේ ජීවිතය අති විශාල ඓතිහාසික අත්දැකීමක් ආවරනය කරයි. ඔහු තරුන වියේදී ම, 1964 දී ලසසප (ලංකා සම සමාජ පක්ෂ) නායකත්වය විසින් ට්‍රොට්ස්කිවාදය පාවාදීමට විරුද්ධ වූ අතර, පසුව, දැවැන්ත බාධක හමුවේ, ට්‍රොට්ස්කිවාදයේ ධජය ඔසවා තැබීමට වෙහෙස නොබලා සටන් කල ට්‍රොට්ස්කිවාදීන්ගේ කැපී පෙනෙන පරම්පරාවක කොටස්කරුවෙකි. 1968 දී, දේශපාලන පැහැදිලි කර ගැනීමේ නිශ්චිත ක්‍රියාවලියකින් පසුව, වික්ස් සහෝදරයා, කීර්ති, විජේ සහ රත්නායක සහෝදරවරුන් සමඟ එක්ව, ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ස්ථාපිත කලේය.
වික්ස් සහෝදරයා, ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයට සුවිසල් දේශපාලන දායකත්වයක් සම්පාදනය කලේය. අත්‍යසාමාන්‍ය බුද්ධිමය කුතුහලයකින් හෙබි වික්ස්, ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල කිඳී සිටියේය
වික්ස් සහෝදරයා, වසර 40 කට ආසන්න කාලයක් පුරා දැන හැඳිනගෙන, ඔහු සමඟ වැඩ කිරීමට ලැබීමට මම වාසනාවන්ත වීමි. 1988 දී ඔහුගේ එක්සත් ජනපද සංචාරය, ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ ඉතිහාසය සාකච්ඡා කිරීමට මට අවස්ථාවක් ලබා දුන්නේය. මෙම සාකච්ඡා 1988 ලෝක ඉදිරිදර්ශන යෝජනාව ලිවීමට සැලකිය යුතු ලෙස දායක වූ අතර එය ජාත්‍යන්තර කමිටුවේ වැදගත්ම ලියකියවිලි අතර පවතී.
ඔහුගේ අභාවය ගැන අපි ශෝක වන අතරම, වික්ස් සහෝදරයා හජාජාක කාර්යයන් තුල නොනස්නා සහ ආශ්වාදජනක දේශපාලන උරුමයක් ඉතිරි කර ගොස් ඇත.
ඩේවිඩ් නෝර්ත්
ඕස්ට්‍රේලියාවේ සසප වෙනුවෙන් පීටර් සිමන්ඩ්ස්:
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය වෙත,
ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන්, නන්ද වික්‍රමසිංහගේ අභාවය පිලිබඳව ශ්‍රී ලංකාවේ සසප සහෝදරවරුන්ට සහ ආධාරකරුවන්ට මෙන්ම ඔහුගේ පවුලේ අයට සහ මිතුරන්ට අපගේ ශෝකය පල කරමු. වික්ස් සහෝදරයා, නැතහොත් සරලව වික්ස් ලෙස, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පුරා ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහු, තම මුලු වැඩිහිටි ජීවිතයම, ට්‍රොට්ස්කිවාදය සඳහා සටන සහ ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප කලේය.
වික්ස්, 1964 දී ලංකා සම සමාජ පක්ෂය (ලසසප) සමාජවාදී ජාත්‍යන්තරවාදය අත්හැර දමා බන්ඩාරනායක මැතිනියගේ ධනේශ්වර ආන්ඩුවට එක් වී කල පාවාදීමට විරුද්ධ වූ කීර්ති බාලසූරිය, විජේ ඩයස් සහ රත්නායක ඇතුලු අසාමාන්‍ය තරුන කන්ඩායමේ කෙනෙකි. ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පක්ෂයක් ධනේශ්වර ආන්ඩුවකට ඇතුලු වූ පලමු අවස්ථාව මෙය වූ අතර වික්ස් සහ ඔහුගේ සගයෝ, ජාත්‍යන්තර කමිටුව සමඟ සහයෝගයෙන්, දුරදිග යන දේශපාලන නිගමනවලට එලැඹුනහ. පාවාදීම පැබ්ලෝවාදී අවස්ථාවාදයේ ප්‍රතිවිපාකයක් බවත්, 1953 දී හජාජාක පිහිටුවන ලද්දේ එයට එරෙහිව සටන් කිරීම සඳහා බවත් යන අවබෝධය මත පදනම්ව, ඔහු 1968 දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ආරම්භක සාමාජිකයෙකු විය.
1985-86 දී බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) සමඟ ඇති වූ භේදයේදී, සාම්ප්‍රදායික ට්‍රොට්ස්කිවාදීන් හතරවන ජාත්‍යන්තරයේ පාලනය නැවත තහවුරු කරගත් ජාත්‍යන්තර කමිටුව සමඟ සිටි ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරියගේ නායකත්වයේ, වික්ස් ද කොටස්කරුවෙකු විය. මෙම භේදය මාක්ස්වාදයේ පුනරුදයකට සහ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා අතර ජාත්‍යන්තර සහයෝගීතාවයකට මග පෑදීය.
1988 දී ඇමරිකා එක්සත් ජනපදයට සංචාරය කරමින්, වික්ස්, එම කාර්යයේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කලේය. එහිදී ඔහු නිෂ්පාදනයේ ගෝලීයකරනය සහ එහි දේශපාලන ප්‍රතිවිපාක පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ විශ්ලේෂනය සඳහා අඩිතාලම දැමූ මූලික ජාත්‍යන්තර ඉදිරිදර්ශන ලේඛනය ලිවීම වටා පැවති සාකච්ඡාවලට සහභාගී විය.
විශේෂයෙන්, 'ජාතික සමගිය' ආරක්ෂා කිරීම සඳහා ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ප්‍රතිගාමී දේශප්‍රේමී ව්‍යාපාරයක් දියත් කරමින් සිටි ජනතා විමුක්ති පෙරමුන (ජේවීපී) විසින් 1988-89 දී විකොසට එරෙහිව එල්ල කරන ලද ෆැසිස්ට් ප්‍රහාර මධ්‍යයේ, අප ශාඛා දෙක අතර සබඳතා ශක්තිමත් විය. විකොස සිංහල ස්වෝත්තමවාදී ව්‍යාපාරයට විරුද්ධ වීමෙන් පසුව, ජවිපෙ තුවක්කුකරුවන්—1988 නොවැම්බර් මාසයේදී ආර්.ඒ. පිටවෙල, 1988 දෙසැම්බර් මාසයේදී පී.එච්. ගුනපාල සහ 1989 ජුනි මාසයේදී ග්‍රේෂන් ගීකියනගේ යන—විකොස සාමාජිකයින් තිදෙනෙකු අමු අමුවේ ඝාතනය කලහ.
1987 දී කීර්ති බාලසූරියගේ අකල් මරනයෙන් පසු පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයට පත් විජේ ඩයස්, 1988 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ කම්කරු සංවිධාන වෙතට එල්ල වූ ෆැසිස්ට් හා රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව කම්කරු පන්තිය ආරක්ෂා කිරීමට එක්සත් පෙරමුනක් සඳහා ලිපියක් නිකුත් කලේය. එය, සෑම වැඩපොලකම සහ කම්කරු පන්ති නිවාස ප්‍රදේශයකම ආරක්ෂක කන්ඩායම් පිහිටුවීම, ඒකාබද්ධ පිකට් කිරීම් සහ විරෝධතා සහ “පන්ති සතුරාගේ ම්ලේච්ඡ ප්‍රතිවිප්ලවවාදී ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ ශක්තිය” එක්සත් කිරීම සඳහා ප්‍රතිප්‍රහාරයක කොටසක් ලෙස මහා වැඩ වර්ජනයක් කැඳවුම් කර සිටියේය.
එක්සත් පෙරමුනක් සඳහා වූ කැඳවුම, විකොස සහ ශ්‍රී ලාංකික කම්කරු පන්තිය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා විසින් දියත් කරන ලද ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසකි. වික්ස් සහ ශ්‍රී ලංකාවේ මහ බැංකු සේවක සංගමයේ ලේකම් වූ එච්.එම්.බී. හේරත් සහෝදරයා, එක්සත් පෙරමුන සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගය ලබා ගැනීම සඳහා සහ ශ්‍රී ලාංකික කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා උද්ඝෝෂනය කරනුවස් 1989 අප්‍රේල්/මැයි මාසවලදී ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ගියහ.
මෙම උද්ඝෝෂනය කම්කරු ව්‍යාපාරය පුරා පුලුල් සහයෝගයක් දිනා ගත්තේය. ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති නිලධාරීන් 100 කට වැඩි පිරිසක් මෙන්ම ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයින් ද විකොස ඉල්ලීමට සහාය දක්වමින් ප්‍රකාශයකට අත්සන් තැබූහ. එක්සත් පෙරමුනක් සඳහා කැඳවුම් කරන ප්‍රකාශවලට දහස් ගනනක් තනි තනි කම්කරුවන් අත්සන් කලහ. ශ්‍රී ලංකාවේ ලසසප, නව සම සමාජ පක්ෂය (නසසප) සහ කොමියුනිස්ට් පක්ෂය, විකොස සමඟ එක්සත් පෙරමුනක් පිහිටුවීම ද්‍රෝහී ලෙස ප්‍රතික්ෂේප කිරීම, මෙම සංවිධාන පාලක පන්තියේ ඒජන්සි බව කම්කරුවන්ගේ ඇස් ඉදිරිපිට අනාවරනය කලේය.
1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිහිටුවීමත් සමඟ අපගේ ශාඛා දෙක අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය විය. දකුනු ආසියාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පිලිබඳ ඔහුගේ පුලුල් දේශපාලන අත්දැකීම් සහ දැනුම උපයෝගී කරගනිමින්, වික්ස් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දේශපාලනය පිලිබඳ ලෝසවෙඅ ට නිතිපතා දායක විය. 2014 දී බාලා තම්පෝගේ මරනය පිලිබඳ 'සමාජවාදී විප්ලවවාදියාගේ සිට පන්ති ද්‍රෝහියා දක්වා' යන මැයෙන් යුත් වැදගත් ලිපියක ඔහු විජේ ඩයස් සමඟ සම-කර්තෘවරයා විය; එය, මෙම සුප්‍රසිද්ධ දේශපාලන චරිතයේ ඓතිහාසික පරිනාමය අනාවරනය කලේ ය. ලසසප පාවාදීමේ 50 වන සංවත්සරය වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද, ලෝසවෙඅ ජාතික කර්තෘ කේ. රත්නායක සමඟ ලියූ ලිපි හතරක් තුල, එහි අර්ථභාරය සහ අද කම්කරුවන් සඳහා අවශ්‍ය දේශපාලන පාඩම් පරීක්ෂා කලේය.
වික්ස්, පොත පත කියවීමට හුරුපුරුදු, ඉතා සංස්කෘතික මිනිසෙකි. ඇත්ත වශයෙන්ම, ඔහු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සහ හජාජාක කෘති පිලිබඳව මනාව දැන සිටියේය—ඔහු උපත ලැබුවේ හතරවන ජාත්‍යන්තරය ආරම්භ කිරීමෙන් වසරකට පසුව වුවද, ඔහුගේ විකොස/සසප සාමාජිකත්වය, එහි පැවැත්මෙන් අඩකට වඩා වැඩි කාලයක් ආවරනය කලේ ය. ඔහු සැමවිටම හජාජාක අනෙකුත් ශාඛාවල වැඩ කටයුතු කෙරෙහි උනන්දුවක් දැක්වීය.
ඔහුගේ ලැදිකම් පෘථුල විය. ඔහු ඉන්දියානු සහ ශ්‍රී ලංකා ඉතිහාසයේ සහ සංස්කෘතියේ සංකීර්නතා පිලිබඳ ප්‍රවීනයෙකු මෙන්ම, ඉංග්‍රීසි සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨයන් ගැන හුරුපුරුදු විය. වික්ස් සමඟ මගේ බොහෝ සාකච්ඡා ආරම්භ වූයේ, 1988 දී අපි ප්‍රථම වරට ඇමරිකා එක්සත් ජනපදයේ දී හමුවූ විට, ඩෙට්‍රොයිට් වීදිවල එකට ඇවිද යද්දී ය. ඇමරිකානු කම්කරු පන්තියේ ගැටලු වල සිට, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත මිථ්‍යාවන් සහ බුද්ධාගමේ පන්ති සම්භවය පිලිබඳ මාක්ස්වාදී අවබෝධය දක්වා පරාසයක මාතෘකා විහිද ගියේය. ඔහු, විශේෂයෙන් දේශපාලනය ගැන කතා කරන විට ඇස් දීප්තිමත් වන, ආකර්ශනීය හා සජීවී බවකින් යුතු කථිකයෙකි.
වික්ස්ගේ අඩුව ශ්‍රී ලංකාවේ ඔහුගේ සහෝදරවරුන්ට පමනක් නොව, ජාත්‍යන්තර කමිටුව පුරා සිටින ඔහුගේ සහෝදරවරුන්ට සහ ලොව පුරා සිටින තවත් බොහෝ දෙනෙකුට දැනෙනු ඇත.
සහෝදරාත්මක සුභ පැතුම් සමඟින්,
පීටර් සිමන්ඩ්ස්
හජාජාක ප්‍රංශ ශාඛාව වන සසප වෙතින්:
හිතවත් සහෝදරවරුනි,
නන්ද වික්‍රමසිංහ සහෝදරයාගේ වියෝවෙන් ශෝකයට පත් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින සහෝදරවරුන්ට, පවුලේ අයට සහ මිතුරන්ට, ප්‍රංශ සමාජවාදී සමානතා පක්ෂයේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.
ප්‍රංශයේ සහෝදරවරුන් විසින් ඔහු සිහිපත් කරනු ලබන්නේ ට්‍රොට්ස්කිවාදය වෙනුවෙන්, ස්ටැලින්වාදයට, පැබ්ලෝවාදයට සහ සියලු ආකාරයේ ධනේශ්වර ජාතිකවාදයන්ට එරෙහිව වෙහෙස නොබලා සටන් කල අයෙකු ලෙසය.
මට වික්ස් සහෝදරයා දැන හැඳින ගැනීමට අවස්ථාව ලැබුනේ, 1985-86 දී කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) සමඟ භේද වීමෙන් පසුව ය. ඔහු ලසසප මහා පාවාදීමට සහ එය පැබ්ලෝවාදය දෙසට හැරීමට එරෙහිව, ට්‍රොට්ස්කිවාදය සහ හජාජාක වෙනුවෙන් පෙනී සිටි පරම්පරාවේ ශ්‍රේෂ්ඨ නියෝජිතයෙකි.
කම්කරු විප්ලවවාදී පක්ෂය සමඟ භේදය අතරතුර, වික්ස් සහෝදරයා, අභාවප්‍රාප්ත කීර්ති බාලසූරිය, විජේ ඩයස් සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ අනෙකුත් සහෝදරවරුන් සමඟ එක්ව, ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය සඳහා සටන් කලේය.
කවිප සමඟ භේදය, ජාත්‍යන්තරවාදයේ පුනර්ජන්මයක් විය. ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය ඉන්දියානු උප මහද්වීපයේ කම්කරුවන්, සිසුන් සහ බුද්ධිමතුන් වෙත ගෙන ඒමටත්, එහි ඉතිහාසය ඔවුන්ට ඉගැන්වීමටත් වික්ස් සහෝදරයා වෙහෙස නොබලා සටන් කලේය.
ගෝලීයකරනයට සහ ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමට ජාත්‍යන්තර කමිටුව දැක්වූ ප්‍රතිචාරයේ බලය වික්ස් සහෝදරයා ගැඹුරින් වටහා ගත්තේය.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායක ඩේවිඩ් නෝර්ත් සහෝදරයා විසින් රචිත අප රක්නා උරුමය පොතේ ආධාරය ඇතිව, බොම්බාය, කල්කටා සහ චෙන්නායි යන ඉන්දියානු අගනගරවල පැබ්ලෝවාදීන් විසින් නිර්මානය කරන ලද දේශපාලන හා ඓතිහාසික ව්‍යාකූලත්වයන්ට එරෙහිව, වික්ස් සහෝදරයා බුද්ධිමතුන් සහ කම්කරුවන් අතර සටන් කලේය.
1990 දශකයේ මුල් භාගයේදී කලාතුරකින් සිදුවන දුරකථන සංවාදයකදී ඔහු මට පැහැදිලි කලේ, කල්කටාවේ අප රක්නා උරුමය පොත පිලිබඳ සාකච්ඡාව පැබ්ලෝවාදී අවස්ථාවාදීන් හෙලිදරව් කිරීමට ඔහුට බෙහෙවින් උපකාරී වූ ආකාරයයි.
ඒ කාලයේ දුරකථන ඇමතුම්වල ඝෝෂාව නොතකා, ඔහු ඉතා සන්සුන්ව හා ඉතා ප්‍රවේශමෙන් මෙසේ පැවසීය, “දෙවන ලෝක යුද්ධය ආරම්භයේදී ලියොන් ට්‍රොට්ස්කි විසින් ලියන ලද ඉන්දියානු කම්කරුවන්ට විවෘත ලිපියක් නම් වූ ලිපිය, ඒ කාලයේ තරුන සටන්කාමී පරම්පරාව—ඩෲබෝ ජෝති මජුම්ධාර්, දුලාල් බෝස්, ගනේෂ් දත්තා නිර්මාල් සමාජ්පති සහ තවත් බොහෝ අය—හතරවන ජාත්‍යන්තරයට දිනා ගැනීමට සමත් විය.”
'කම්කරු පන්තිය කොංග්‍රසයෙන් හා ස්ටැලින්වාදී පක්ෂවලින් ස්වාධීනව තමන්ගේම පන්ති අවශ්‍යතා සඳහා සටන් කල යුතුය... එහි ප්‍රතිඵලය, අවසානයේ, ඉන්දියාවේ බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂයේ මතුවීමට හේතු විය' යන ට්‍රොට්ස්කිගේ කැඳවුම ඔවුන් පිලිගත් බව ඔහු පැහැදිලි කලේය.
'1948 දී ඉන්දියානු බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂයේ ඉන්දියානු ශාඛාව විසුරුවා හැරීමෙන් දශක හතරකට පසු, ඔවුන් සමඟ අප රක්නා උරුමය පොතේ ආධාරයෙන් සාකච්ඡාවක් පවත්වා, ඔවුන් දිනා ගත හැකි වෙතැයි මම කිසි විටෙකත් සිතුවේ නැහැ,' ඔහු උද්‍යෝගයෙන් හා ආඩම්බරයෙන් පැවසීය.
වික්ස් සහෝදරයා, ඔබ ඔබේ ජීවිත කාලය තුල දැක ඇති පරිදි, ඔබ ජීවිතය කැප කල ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය, ස්ටැලින්වාදී තන්ත්‍රයට වඩා ශක්තිමත් ය; එය ජාත්‍යන්තර කමිටුව සහ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය විසින් ඉදිරියට ගෙන යනු ලැබේ.
ඉන්දියානු උප මහද්වීපයේ සහ ලොව පුරා විප්ලවවාදී කම්කරුවන්, තරුනයින් සහ බුද්ධිමතුන්ගේ නව පරම්පරාවක් ඔබේ නොපසුබට චරිතයෙන්, ඔබේ තරුන කාලයේ ශිෂ්‍ය අරගලවලට ඔබ දැක්වූ නිර්භීත මැදිහත්වීමෙන් සහ කම්කරු පන්තිය වහල්භාවයෙන් මුදා ගැනීම කෙරෙහි ඔබේ නොසැලෙන විශ්වාසයෙන් මහත් ශක්තියක් ලබා ගනු ඇත. වික්ස් සහෝදරය, ඔබට ස්තූතියි.
ඉමහත් ගෞරවයෙන්,
වී. ඥානා, සහකාර ජාතික ලේකම්, ප්‍රංශයේ සසප
හජාජාක තුර්කි ශාඛාව වන සමාජවාදී සමානතා කන්ඩායම වෙතින්:
ආදරනීය සහෝදරවරුනි සහ මිත්‍රවරුනි,
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ තුර්කි ශාඛාව වන සමාජවාදී සමානතා කන්ඩායම ලෙස, වික්ස් (නන්ද වික්‍රමසිංහ) සහෝදරයාගේ අභාවය පිලිබඳව අපගේ ශෝකය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකාවේ සියලුම සහෝදරවරුන්ට සහ වික්ස් සහෝදරයාගේ පවුලේ අයට සහ ආදරනීයයන්ට අපගේ හදපිරි සංවේගය ප්‍රකාශ කරමු.
වික්ස් සහෝදරයාගේ ජීවිතය අපගේ යුගයේ ශ්‍රේෂ්ඨ සිදුවීම් සමඟ බැඳී තිබුනි. දෙවන ලෝක යුද්ධය පුපුරා ගිය වර්ෂයේ උපත ලැබූ වික්ස් සහෝදරයා මිය ගියේ තුන්වන ලෝක යුද්ධයක උග්‍රවන අනතුර මධ්‍යයේ පමනක් නොව, එම අනතුරට සහ එහි ප්‍රධාන මූලාශ්‍රය වන ධනේශ්වර ක්‍රමයට අවසානයක් ගෙන ඒමට සමත් එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩෙන රැඩිකලීකරනය මධ්‍යයේ ය. 1939 ට පෙර පැවති මූලික ප්‍රශ්නය එලෙසම පවතී: එනම්, කම්කරු පන්තිය බලය අල්ලාගෙන ධනේශ්වර ක්‍රමය අවසන් කිරීමට මඟ පෙන්වන විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම යි. එම පක්ෂය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි.
ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා මෙම පක්ෂය ගොඩනැගීමේ අරගලයට කැප වූ වික්ස් සහෝදරයාගේ ජීවිතය, එම ඉතිහාසයේ ඉතා තීරනාත්මක කාල පරිච්ඡේදයක් ආවරනය කරයි. ඔහු, අභාවප්‍රාප්ත කීර්ති බාලසූරිය, විජේ ඩයස් සහ සමස්තයක් ලෙස ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාවේ සහෝදරවරුන් සමඟ එක්ව, තුර්කියේ සහ ජාත්‍යන්තරව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වර්ධනයට දැවැන්ත දායකත්වයක් ලබා දුන්නේය. 2023 මාර්තු මාසයේදී මට ඔහුව හමුවීමට අවස්ථාව ලැබුනි. ජාත්‍යන්තර කමිටුවේ කොටසක් තුර්කියේ ගොඩනැගෙමින් තිබීම ගැන ඔහු ඉතා සතුටු විය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දශක ගනනාවක් පුරා පැවති දේශපාලන අරගල මත ගොඩනැගුනු මෙම සංවර්ධනයට දායක වූ අය අතර නිසැකවම වික්ස් සහෝදරයා සිටියේය.
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර බොහෝ වෙනස්කම් ඇත, නමුත් බොහෝ සමානකම් ද ඇත. ප්‍රමාද වූ ධනේශ්වර සංවර්ධනයක් ඇති මෙම රටවල, පසුගිය සියවස පුරාම ලියොන් ට්‍රොට්ස්කි විසින් විස්තාරනය කරන ලද නොනවතින විප්ලව න්‍යාය නැවත නැවතත් සනාථ කර තිබේ: එනම්, මූලික ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් ඉටු කිරීමට, විශේෂයෙන් ජාතික ප්‍රශ්නය (දෙමල සහ කුර්දි ප්‍රශ්න) විසඳීමට හෝ අධිරාජ්‍යවාදයෙන් නිදහස සහතික කිරීමට ධනේශ්වර පන්තියට ඇති නොහැකියාව යි; මෙම කාර්යයන් ඉටු කල හැක්කේ, වාර්ගික හා ජාතික බෙදීම් කපාගෙන එක්සත් ව, සියලු පීඩිත ජනතාව තමන් පිටුපස පෙලගස්වා ගන්නා කම්කරු පන්තිය, සමාජවාදය සඳහා වූ ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස බලය ලබා ගන්නේ නම් පමනි.
1964 මහා පාවාදීමට එරෙහිව සහෝදර වික්ස් ඇතුලු තරුන ශ්‍රී ලාංකික ට්‍රොට්ස්කිවාදීන් දැක්වූ විරෝධය, කම්කරු පන්තියේ විප්ලවවාදී සමාජවාදී එක්සත්කම සඳහා ඔවුන්ගේ මූලධර්මාත්මක මැදිහත්වීම සහ ජාතිකවාදයට කිසිදු සහනයක් නොදී පීඩිත දෙමල ජනතාව ආරක්ෂා කිරීම සහ නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනය ඉදිරියට ගෙන යාම, අපගේ කන්ඩායමේ වර්ධනයේදීත්, ජාත්‍යන්තර කමිටුවේ ඓතිහාසික පදනම් සහ ඉදිරිදර්ශනය උකහා ගැනීමේදී සහ සම්මත කර ගැනීමේදීත් තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේය.
දැන් කර්තව්‍යය වන්නේ වික්ස් සහෝදරයා සිය ජීවිතය කැප කල මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී මූලධර්ම සහ වැඩපිලිවෙල සඳහා අරගලය ඉදිරියට ගෙන යාමයි. මෙය කල හැකි මාර්ගය නම්, ඔහු ද එහි කොටසක් වූ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය අධ්‍යයනය කර උකහා ගැනීම සහ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස හජාජාක ගොඩනැගීමයි. වික්ස් සහෝදරයාට අපි උපහාර දක්වමු; ලෝක සමාජවාදී විප්ලවය සඳහා වූ අරගලයට ඔහු දැක්වූ දායකත්වයට අපගේ කෘතඥතාව පල කරමු.
උලාස් අටෙසි
තුර්කියේ සමාජවාදී සමානතා පක්ෂ කන්ඩායම වෙනුවෙන්