නන්ද වික්‍රමසිංහ (1939-2025): යාවජීව ට්‍රොට්ස්කිවාදී නායකයෙක්

[මෙය Nanda Wickremesinghe (1939-2025): A lifelong Trotskyist leader යන මැයෙන් 2025 අප්‍රේල් 23 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

නන්ද වික්‍රමසිංහ (වික්ස්) [Photo: WSWS]

නන්ද වික්‍රමසිංහ සහෝදරයාගේ අභාවය පිලිබඳව, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) හදපිරි සංවේගයෙන් යුතුව නිවේදනය කරයි. ලොව පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සහෝදරවරුන් අතර ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියේ “වික්ස් සහෝදරයා” නමිනි.

වික්ස් සහෝදරයා, අභාවප්‍රාප්ත කීර්ති බාලසූරිය, විජේ ඩයස් සහ සසප වත්මන් ප්‍රමුඛ සාමාජිකයෙකු වන කේ. රත්නායක යන සහෝදරයින් සමඟ 1968 දී හජාජාක ශ්‍රී ලංකා ශාඛාව ලෙස, සසප පූර්වගාමී සංවිධානය වූ, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ආරම්භ කිරීමේදී එකට සිටි සහෝදරයෙකි.

වික්ස් සහෝදරයා අප්‍රේල් 20 වන දින අලුයම මිය ගියේ නිද්‍රෝපගතව සිටියදී ය. ඔහු තම බිරිඳවන මැනිකේ, දියනියන් වන වේරා සහ ස්වොබා, පුත් ලියොන් සහ ඔහුගේ මුනුබුරන්ගෙන් වියෝවී ගියේය.

ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස නන්ද වික්‍ර‍මසිංහගේ දේශපාලන ජීවිතය දශක හතකට ආසන්න කාලයක් පුරා විහිද යයි. වයෝවෘද්ධ බව සමග බැඳුනු රෝගාබාධ හේතුවෙන් ක්‍රියාකාරී පක්ෂ කටයුතුවලින් ඉවත් වීමට සිදු වුවද, අවසානය දක්වාම, අපගේ සහෝදරයා සිය විප්ලවීය ජීවගුනය කිසි විටෙකත් නැති කර නොගත්තේ ය.

මරනයට දින කිහිපයකට පෙර අපගේ සහෝදරවරු ඔහු බැලීමට ගිය විට, ෆැසිස්ට්වාදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය තුල වැඩෙන කම්කරු පන්ති සටන්කාමීත්වය ගැන අසා වික්ස් උද්‍යෝගිමත් විය. “අපේ පක්ෂය [සසප (එක්සත් ජනපදය)] මහජන පක්ෂයක් ලෙස ගොඩනැගීමටත් ලෝක විප්ලවය සඳහාත් මෙය ඉතා වැදගත්,” යනුවෙන් ඔහු පැවසීය.

කේ. රත්නායක සමඟ වික්ස් සාකච්ඡාවක යෙදී සිටියදී මෑත දී ගත් ඡායාරූපයක්. [Photo: WSWS]

වික්ස් සහෝදරයා 1939 ඔක්තෝබර් 15 වන දින, දෙවන ලෝක යුද්ධය ආරම්භ වී සති හයකට පසු, ශ්‍රී ලංකාවේ දකුනු පලාතේ නගරයක් වන දෙනියායට ආසන්නව පිහිටි තලපෙලකන්ද නම් ගම්මානයේ උපත ලැබීය. ඔහුගේ පියා ගමේ පාසල් ප්‍රධාන ගුරුවරයා වූ අතර මව ගුරුවරියකි. ඔහු දරුවන් එකොලොස් දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැන්නා විය.

තමන් වයස අවුරුදු හයක් ව සිටියදී, නිවසට පැමිනි අසල්වැසියන් යුද්ධය ගැන සාකච්ඡා කරනු තමන්ට සවන් දීමට හැකිවූ බව වික්ස් සිහිපත් කලේය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ එහි යුද කටයුතුවලට ලංකාව බද්ධ කරගෙන තිබූ තතුතුල ජනතාවගේ ජීවිතවලට යුද්ධය දරුනු ලෙස බලපෑවේය.

වයස අවුරුදු 10 දී, සෝවියට් ලේඛකයෙකු විසින් රචිත ලෙනින්ගේ චරිතාපදානයක් කියවූ ඔහු, 1949 චීන විප්ලවය පිලිබඳ පුවත් ඇසීමෙන් උද්‍යෝගිමත් විය. ඔහුට එම පොත් ලබා ගත හැකිවූයේ සිය පියා ලංකාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වී සිටි හෙයිනි.

පස්වන ශ්‍රේනියේ ප්‍රවීනතා විභාගය සමත් වීමෙන් පසු ඔහු ද්විතීයික අධ්‍යාපනය සඳහා දික්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වීමෙන් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන ලද විෂයධාරාවට සම්බන්ධ වීමට ඔහුට හැකිවිය.

1958 අගෝස්තු මාසයේදී, වික්ස් පේරාදෙනියේ පිහිටි ලංකා විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. රටේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලය වූ එහිදී මාක්ස්වාදී දේශපාලනය, විශේෂයෙන් ට්‍රොට්ස්කිවාදය, උනුසුම් ලෙස විවාදයට ලක් වූ තැනක් ව තිබුනි.

එකල විශ්වවිද්‍යාලයේ බලවත්ව සිටි ට්‍රොට්ස්කිවාදීන් විසින්, ඔහුගේ ස්ටැලින්වාදයට නැඹුරු අදහස් වහාම අභියෝගයට ලක් කෙරුනු බව වික්ස් පැවසීය. ශිෂ්‍ය සංගමය තුල ආධිපත්‍යය දැරුවේ, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය මෙන් නොව, යුද්ධයට සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට නිරන්තරයෙන් විරුද්ධ වූ ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) ආධාරකරුවන් විසිනි. ස්ටැලින්වාදයේ ප්‍රති-විප්ලවවාදී ස්වභාවය තේරුම් ගැනීමෙන් පසු, ඔහු විශ්ව විද්‍යාලයේ සමසමාජ ශිෂ්‍ය කන්ඩායමට සම්බන්ධ විය.

1962 දී විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමෙන් පසු, වික්ස්, දකුනේ මාතර නගරයේ පිහිටි ලසසප ශාඛාවට සම්බන්ධ විය. ඊලඟ වසර දෙක තුල හම්බන්තොට ශාන්ත මරියා පාසලේ ගුරුවරයෙකු ලෙස සේවය කල ඔහු, එහිදී ඔහු පක්ෂය සමඟ වැඩ කරන සිසුන් පිරිසකට ට්‍රොට්ස්කිවාදය ගැන අධ්‍යාපනය ලබා දුන්නේය.

ලසසප බහුජන කම්කරු පන්ති පක්ෂයක් විය. කෙසේ වෙතත්, එය 1950 ගනන්වල මුල් භාගයේදී, හතරවන ජාත්‍යන්තරය තුල පැනනැගුනු, මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල් විසින් නායකත්වය දුන්, සංශෝධනවාදී කන්ඩායමේ පැත්ත ගත්තේය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක ධනවාදයේ ස්ථායිකරයට අනුගත වූ පැබ්ලෝවාදියෝ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා වූ සටන ප්‍රතික්ෂේප කල අතර, ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කිරීමට ඔවුන්ට පීඩනය යෙදිය හැකි යැයි පවසමින්, පවතින අවස්ථාවාදී නායකත්වයන්ට—ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ ධනේශ්වර ජාතිකවාදීන්ට—කම්කරුවන් යටත් කිරීමට තැත් කලහ. එමගින්, ඔවුහු, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය ඇතුලු මාක්ස්වාදයේ මූලික මූලධර්ම ප්‍රතික්ෂේප කලහ.

මෙම දියකර හැරීමේ ප්‍රවනතාවයෙන් අව්‍යාජ ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා 1953 දී ජාත්‍යන්තර කමිටුව ආරම්භ කරන ලදී. ජාත්‍යන්තර කමිටුවට ලසසපයේ විරුද්ධත්වය, පැරිසියේ පැබ්ලෝවාදී මූලස්ථානයේ රුකුල්දීම් ලබා ගනිමින් සිංහල ජාතිවාදයට, පාර්ලිමේන්තුවාදයට සහ වෘත්තීය සමිති සින්ඩිකල්වාදයට අනුවර්තනය වීම මගින් සලකුනු වූ අවස්ථාවාදී පල්ලම් බැසීමේ දශකයක ආරම්භය සලකුනු කලේය.

1964 දී කම්කරු පන්තියේ දැවැන්ත “ඉල්ලීම් 21 ව්‍යාපාරය, ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ආන්ඩුව සහ සමස්තයක් ලෙස පාලක පන්තිය ම තැතිගැන්වීමත් සමග අගමැතිනි සිරිමා බන්ඩාරනායක සභාග ආන්ඩුවක් පිහිටුවීමට ලසසප නායකයින්ට ආරාධනා කලාය. 1964 ජුනි මාසයේ පැවති ලසසප සමුලුවේදී, බහුතරයක් ආන්ඩුවට ඇතුලු වීමට ඡන්දය දුන් අතර එය ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසිකව පාවාදීමක් විය. ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පක්ෂයක් ධනේශ්වර ආන්ඩුවකට ඇතුලු වූ පලමු අවස්ථාව මෙය විය; ලසසප ඉහල නායකයින් අමාත්‍ය ධුර භාරගෙන ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමේ වගකීම භාර ගත්හ.

1953 දී පැබ්ලෝවාදයට එරෙහි සටනට නායකත්වය දුන් ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය (සකප) 1963 දී, සංශෝධනවාදීන් සමඟ නැවත එක් විය. මෙම නැවත එක්සත් වීමට එරෙහිව, හජාජාක විසින් තීරනාත්මක න්‍යායික හා දේශපාලන අරගලයක් මෙහෙයවන ලදී. නැවත එක්සත් වීමට විරුද්ධ වූ සකප සුලුතර කන්ඩායමක්, ලසසපයේ පාවාදීම පිලිබඳ සාකච්ඡාවක් ඉල්ලා සිටියේය. මේ හේතු කොටගෙන, 1964 දී ඔවුන් නෙරපා හරින ලද අතර 1966 දී ජාත්‍යන්තර කමිටුව සමඟ පෙලගැසී, වර්කර්ස් ලීගය පිහිටුවීම දක්වා ඔවුහු ඉදිරියට ගියහ.

1964 ලසසප සමුලුවේදී අපේක්ෂක සාමාජිකයෙකු ව සිටි වික්ස්, බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලුවීමට විරුද්ධ යෝජනාවක් ඉදිරිපත් කල සාමාජිකයින් 159 දෙනෙකුගෙන් යුත් සුලුතර කන්ඩායමට සහාය දැක්වුයේය. යෝජනාව ප්‍රතික්ෂේප වූ විට, ඔවුහු සමුලුවෙන් ඉවත් වී ලසසප (විප්ලවවාදී) හෙවත් ලසසප (වි) පක්ෂය පිහිටුවා ගත්හ.

ලසසප සමුලු ශාලාවට ඇතුලු වන ගේට්ටුව අසල දී, හජාජාක බ්‍රිතාන්‍ය ශාඛාව වන සමාජවාදී කම්කරු සංගමයේ (සකස) නායක ජෙරී හීලි වික්ස් ට හමුවිය. හීලි හමුවීම ගැන, විශේෂයෙන් ඔහු සමුලුවට ඇතුලු වීම වැලැක්වීම සඳහා ද්‍රෝහී ලසසප නායකයින් විසින් එවන ලද මැරයන්ට හීලි කල නිර්භීත අභියෝගය ගැන වික්ස් මහත් උද්‍යෝගයකින් සඳහන් කලේය.

ලසසපයෙන් බිඳී ගිය නමුත්, ලසසප (වි) නායකයින් පෙලගැසී සිටියේ පැබ්ලෝවාදී ජාත්‍යන්තරය සමඟ ය. ලසසප පාවාදීමේ දී, පැරීසියේ පැබ්ලෝවාදී නායකත්වයේ සෘජු වගකීම පිලිබඳ කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට ඔවුහු විරුද්ධ වූහ.

ලසසප පාවාදීම මගින් නිර්මානය කරන ලද ලංකාවේ දේශපාලන අර්බුදයට සකස නායකත්වය දුන් හජාජාක මැදිහත් විය. සකස නායකයින් සමඟ සාකච්ඡාවට සහභාගී වූ ප්‍රමුඛ තරුනයින් අතර කීර්ති, විජේ සහ වික්ස් ද සිටියහ; පාවාදීමේ ගැඹුරු මුල් පැබ්ලෝවාදය තුල ඇති බව ඔවුන් වටහා ගත්හ.

හජාජාක මඟ පෙන්වීම යටතේ, මෙම තරුනයෝ, 1968 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ විකොස පිහිටුවීමට කටයුතු කලහ. එම තරුනයින් අතර න්‍යායිකව සහ දේශපාලනිකව කැපී පෙනෙන චරිතයක් වූ කීර්ති, වයස අවුරුදු 19 දී නව පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් විය. විකොස පිහිටුවීම හැරවුම් ලක්ෂ්‍යයක් විය. එය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියානු උප මහාද්වීපයේ ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලය පන ගැන්වුයේය. .

ලසසප සමාජවාදී ජාත්‍යන්තරවාදය පාවාදීම නිසා කම්කරුවන් සහ තරුනයින් අතර ජනනය කලේ ඉමහත් ව්‍යාකූලත්වයකි. එය රටේ දකුනේ ග්‍රාමීය ප්‍රදේශවල ගරිල්ලාවාදය සහ සිංහල ස්වෝත්තමවාදය මත පදනම් වූ ජනතා විමුක්ති පෙරමුන (ජේවීපී) වැනි සුලු ධනේශ්වර රැඩිකල් සංවිධාන මතුවීමට පරිසරය නිර්මානය කලේය. උතුරේ, දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය ඇතුලු බෙදුම්වාදී ව්‍යාපාර මතු විය. මාක්ස්වාදය සහ කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කල මෙම සංවිධාන න්‍යායාත්මකව හෙලිදරව් කිරීමේ දී මූලිකත්වය ගත්තේ විකොස යි.

වික්ස් තුල්හිරිය පෙහෙ-කම්හලේ සේවකයින් සහභාගී වූ 1970 දශකයේ අගභාගයේදී පැවති විකොස රැස්වීමක් අමතයි. [Photo: WSWS]

තම සුලු ධනේශ්වර දේශපාලනය මත පදනම්ව, ජවිපෙ 1971 අප්‍රේල් මාසයේදී අතිධාවනකාරී නැගිටීමකට නායකත්වය දුන්නේය. එම කැරැල්ල, ශ්‍රීලනිප-ලසසප සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය අතර දෙවන සභාග ආන්ඩුව විසින් කුරිරු ලෙස තලා දමන ලද්දේ ගැමි තරුනයින් 15,000 ක් පමන ඝාතනය කරමිනි. ජවිපෙ සමඟ මූලික දේශපාලන වෙනස්කම් පැවතියේ වුවත්. විකොස රාජ්‍ය මර්දනයට එරෙහිව බරපතල උද්ඝෝෂනයක් දියත් කලේය.

ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ, කම්කරු පන්තිය සභාග තන්ත්‍රය සමඟ වඩ වඩාත් ගැටුමකට එලඹුනි. කම්කරු අරගලවලට මැදිහත් වූ විකොස, ලසසප සහ කොමියුනිස්ට් පක්ෂය ආන්ඩුවෙන් බිඳී වෙන් වී කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් වෙනුවෙන් සහ සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කරන ලෙස ඉල්ලා සිටිමින් ගෙනගිය දේශපාලන සටන තුලින් සැලකිය යුතු සහායක පදනමක් දිනා ගත්තේය.

දෙවන සභාග ආන්ඩුව අවසානයේ බිඳ වැටීම, 1977 දී ජේ.ආර්. ජයවර්ධනගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) බලයට පත්වීමට මග පෑදීය. එජාප ආන්ඩුව එහි “විවෘත වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්ති” හරහා වැඩ කරන ජනතාවට එරෙහිව බරපතල ප්‍රහාරයක් එල්ල කලේය. ජයවර්ධන 1980 දී රාජ්‍ය සේවකයින්ගේ දැවැන්ත මහා වැඩ වර්ජනයක් මර්දනය කලේ සේවකයින් 100,000 ක් සේවයෙන් පහ කරමිනි.

සමාජ ආතතීන් හා විරුද්ධත්වය ඉහල යාම මධ්‍යයේ, කම්කරු පන්තිය බෙදීම සඳහා එක්සත් ජාතික පක්ෂය දෙමල විරෝධී ස්වෝත්තමවාදය ඇවිස්සීම කරා යොමු වූ අතර, එය 1983 දී දිවයින පුරා සංහාරයකින් කූඨප්‍රාප්තියට පැමිනියේ, විවෘත සිවිල් යුද්ධයක් පුපුරා යාම සනිටුහන් කරමිනි. ඊලඟ වසර 26 තුල, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු සමස්ත දිවයිනම විනාශයට පත්කල ප්‍රතිගාමී වාර්ගික යුද්ධය ක්‍රියාත්මක කරමින්, වෘත්තීය සමිතිවල සහාය ඇතිව, කම්කරු පන්තිය මත එහි බර පැටවුයේය.

යුද්ධයට ස්ථිරසාරවම විරුද්ධ වූ එකම පක්ෂය වන විකොස/සසප, දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, උතුරු නැගෙනහිරින් පලාත්වලින් හමුදාව ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටීමේ ද දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුක් සඳහා ද සටනක මූලිකත්වය ගත්තේය.

සමාජවාදී කම්කරු සංගමයෙහි අනුප්‍රාප්තිකයා වූ බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) 1970 ගනන්වල දකුනට හැරී ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය අතහැර දැමීමත් සමඟ, විකොස දේශපාලන ප්‍රහාරයකට හා හුදකලාවකට ලක් විය. 1985-86 භේදයේදී කවිප භ්‍රෂ්ටයන්ට එරෙහිව වර්කර්ස් ලීගය විසින් නායකත්වය දුන් ජාත්‍යන්තර කමිටුවේ අරගලයට සහාය දුන් විකොස නායකත්වයේ කොටස් කරුවෙක් ලෙස වික්ස් ද සිටියේය. මෙම භේදය හතරවන ජාත්‍යන්තරය තුල මාක්ස්වාදයේ පුනරුදයකට මග පෑදීය.

විකොස සහ ජාත්‍යන්තරයේ නායකත්වය තුල තීරනාත්මක න්‍යායික හා දේශපාලනික කාර්යභාරයක් ඉටු කල කීර්ති බාලසූරිය 1987 දෙසැම්බර් මාසයේ දී මිය යන විට ඔහුගේ වයස යන්තම් අවුරුදු 39 කි. මින් සිදුවූ දරුනු පාඩුව මධ්‍යයේ, ඔහුගෙන් පසු ප්‍රධාන ලේකම් ධුරයට පත් වූ විජේ ඩයස්, 2022 ජූලි මාසයේදී මිය යන තෙක් පක්ෂයේ අරගල මෙහෙයවීමේ දැවැන්ත වගකීමට උර දුන්නේය.

වික්ස් ද වැදගත් වගකීම් භාර ගත්තේය. 1988 දී, කවිප සමඟ භේදයෙන් පසු හජාජාක පලමු ඉදිරිදර්ශන ලියවිල්ල වූ “ලෝක ධනවාදී අර්බුදය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ” සකස් කිරීම සඳහා සාකච්ඡාවලට සහභාගී වීමට ඔහු ඇමරිකා එක්සත් ජනපදයට ගියේය. මෙම ලියවිල්ල, ජාත්‍යන්තර කමිටුවේ පසුකාලීන කටයුතු සඳහා මූලික වූ නිෂ්පාදනයේ ගෝලීයකරනය සහ එහි දේශපාලන ප්‍රතිවිපාක පිලිබඳ විශ්ලේෂනයක් සපයන ලදී.

ලංකාවට ආපසු පැමිනි පසු, වික්ස් සහ විකොස නායකත්වය, 1988-90 දී එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා ඉන්දීය සාම සාධක හමුදා දිවයිනට ගෙන ආ 1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ජවිපෙ විසින් දියත් කරන ලද ෆැසිස්ට් ප්‍රහාරයකට මුහුන දුන්හ. ගිවිසුම ජාතිය පාවාදීමක් ලෙස හෙලා දකිමින්, ජවිපෙ තම සිංහල ස්වෝත්තමවාදී ව්‍යාපාරයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කල දේශපාලන විරුද්ධවාදීන්, කම්කරුවන් සහ තරුනයින් දහස් ගනනක් ඝාතනය කිරීම සඳහා තම තුවක්කුකරුවන් යැවීය. ඊට ගොදුරු වූවන් අතර විකොස සාමාජිකයින් තිදෙනෙක් ද වෙති.

කම්කරු ආරක්ෂක කන්ඩායම් පිහිටුවීම සහ මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීම ඇතුලුව කම්කරු පන්තිය සහ එහි සංවිධාන ආරක්ෂා කිරීම සඳහා සංයුක්ත පියවර ගැනීමට, හජාජාක සහාය ඇතිව, විකොස, කම්කරු පක්ෂවල එක්සත් පෙරමුනක් සඳහා ව්‍යාපාරයක් දියත් කලේය.

මෙම ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් ලෙස, වික්ස් සහ විකොස සාමාජිකයෙකු සහ වෘත්තීය සමිති නායකයෙකු වූ අභාවප්‍රාප්ත එච්.එම්.බී. හේරත්, එක්සත් පෙරමුනක අවශ්‍යතාවය පිලිබඳව කම්කරුවන් ඇමතීම සඳහා 1989 දී ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ගියහ. වෘත්තීය සමිති නිලධාරීන් බොහෝ දෙනෙකු ඇතුලු දහස් ගනනක් කම්කරුවන්, විකොස ඉල්ලීමට සහාය දක්වමින් ප්‍රකාශවලට අත්සන් තැබූහ.

වික්ස්, එච්.එම්.බී. හේරත් සහ සකස ජාතික ලේකම් නික් බීම්ස් (දකුනේ) 1989 මැයි මාසයේදී සිඩ්නි නුවරදී ඕස්ට්‍රේලියානු තැපැල් සේවකයෙකු සමඟ කතා කරමින් [Photo: WSWS]

1996 දී, පැරනි අවස්ථාවාදී නායකත්වයන්ගේ දිරාපත්වීම මධ්‍යයේ, හජාජාක ශාඛා, කම්කරු පන්තිය මෙහෙයවීමේ වගකීම භාර ගත යුතු බවට කරන ලද විශ්ලේෂනය මත පදනම්ව, විකොස සමාජවාදී සමානතා පක්ෂය බවට පරිවර්තනය කෙරුනි. වික්ස් සහ අනෙකුත් දිගුකාලීන විකොස නායකයින්, ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදය සඳහා වූ දිග්ගැස්සුනු අරගලයෙන් අවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගත් පක්ෂයේ ආරම්භක පදනම් ලේඛනය වූ “ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්” ලිවීම වටා පැවති සාකච්ඡාවලට, ඔවුන්ගේ දැවැන්ත දේශපාලන අත්දැකීම් ගෙන ආහ.

1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පිහිටුවීමත් සමඟ, වික්ස්, කම්කරු පන්තිය සඳහා මෙම වර්ධනයේ ඓතිහාසික වැදගත්කම උද්‍යෝගයෙන් වැලඳගෙන, ග්‍රහනය කර ගත්තේය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පුලුල් පරාසයක ඓතිහාසික හා දේශපාලනික කරුනු ආවරනය කරමින් ඔහු ලෝසවෙඅ සඳහා ලිපි සිය ගනනක් ලියා ඇත.

වික්ස් ගැඹුරින් ම සංස්කෘතිසම්පන්න මිනිසෙකි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ට අමතරව, ඔහු ඉන්දියාවේ බුද්ධාගමේ නැගීම හා සම්බන්ධ පුරාන පාලි භාෂාව හැදෑරීය. ශ්‍රී ලාංකික සහ ලෝක සාහිත්‍යය කෙරෙහි ඔහුට පුලුල් උනන්දුවක් තිබුනි. විලියම් ෂේක්ස්පියර් සහ අනෙකුත් ප්‍රමුඛ ඉංග්‍රීසි කතුවරුන්ගේ කෘති ඔහු මනාව හුරුපුරුදු විය. ඉතිහාසය, විශේෂයෙන් දකුනු ආසියාවේ සහස්‍ර ගනනාවක් පුරා පැවති ඉතිහාසය පිලිබඳ තියුනු අවබෝධයක් ඔහුට තිබුනි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී වික්ස්ගේ 85 වන උපන්දිනයට ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති වන ඩේවිඩ් නෝර්ත් සහෝදරයා විසින් එවන ලද සුබ පැතුම් වලින් උපුටා දක්වමින් අපි ඔහු වෙත අපගේ මෙම උපහාරය අවසන් කරමු.

හිතාදර වික්ස්, ඔබ 1939 සැප්තැම්බර් මාසයේ දෙවන ලෝක යුද්ධය පුපුරා යාමෙන් පසු සමස්ත ඉතිහාසයේ ගමන් මග හරහා ගමන් කිරීමට තරම් දීර්ඝායු ලබා ඇත. දේශපාලන කාලයේ මෙම සැලකිය යුතු වපසරිය දෙස බලා, ඔබ ඔබේ ජීවිතය කැප කල මූලධර්ම සනාථ වී ඇති බව, විලි-බිය නැතිකමේ සලකුනකින් පවා තොරව පැවසීමට දැන් ඔබට හැකි ය. ට්‍රොට්ස්කි තමාගේම ජීවිතය ගැන මනාව මතකයේ රැඳෙන ලෙස ලියා ඇති පරිදි, ඔබේ ජීවිතය ගැන ඔබට මෙසේ පැවසිය හැකිය: ‘මට නැවත මුලසිට ආරම්භ කිරීමට සිදුවුවහොත්, මම ඇත්ත වශයෙන්ම, ඒ හෝ මේ වැරැද්ද වලක්වා ගැනීමට උත්සාහ කරනු ඇත, නමුත්, මගේ ජීවිතයේ ප්‍රධාන ගමන් මග එලෙසම නොවෙනස්ව පවතිනු ඇත.’

මම පෞද්ගලිකව කතා කලොත්, පසුගිය දශක හතර තුල ඔබගේ සමීප සහෘදයෙකු සහ මිතුරෙකු වීමට ලැබීම ගැන මම අතිශයින් කෘතඥ වෙමි. ඔබේ දේශපාලන ලාලසාව, ඔබේ බුද්ධිමය හා සංස්කෘතික අවශ්‍යතාවල පුලුල් පරාසය සහ විප්ලවවාදී මූලධර්ම කෙරෙහි ඇති නොසැලෙන ධෛර්යය සහ භක්තිය මම අගය කර ඇත්තෙමි. නමුත් ඔබේ ජීවන ගමන තවමත් එහි ගමන් මග සම්පූර්න කර නොමැති අතර, අප ඉදිරියේ ඇති අරගලවලදී ඔබේ දැනුම සහ දැවැන්ත අත්දැකීම් හජාජාක සේවය සඳහා පවතිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

වික්ස් සහෝදරය, අපි ඔබට ආචාර කරමු. අනාගත පරම්පරාවන්, නිසැකවම ඔබ ඔබේ යාවජීව ඓතිහාසික කාර්යය මල්ඵල ගන්වනු ඇත. වික්ස් සහෝදරයා පිලිබඳ විප්ලවවාදී මතකය දිගු කල් දිනේවා!

Loading